චීනයට එරෙහිව ශ්‍රී ලංකාව පෙලගස්වා ගැනීම පිනිස ඇමරිකාව, නව "මානව හිමිකම්" යෝජනාවක් පෙරට දමයි

කොලඹ වාර්තා වලට අනුව " ශ්‍රී ලංකාව පිලිබඳ ප්‍රමුඛ කන්ඬායමක්" , මානව හිමිකම් ප්‍රශ්න ගැන කටයුතු කරන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය  වෙත නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කරමින් සිටී.  මෙම කන්ඩායමට බ්‍රිතාන්‍යය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව සහ මොන්ටිනීග්‍රෝ ඇතුලත් ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව බීජිනයේ "බලපෑමෙන්" බිඳ ගැනීමේ අරමුන, වොෂින්ටනයේ පියවර පිටුපස තිබෙන බවට සිියලු ඇඟවීම් පවතියි.

ශ්‍රී ලංකාවේ දේශපාලන රැකවරන සොයන ඉතා අන්තරායකාරී තත්වයක සිටි ජනයාට 2014 ජූලි අගෝස්තු මාසවල මානව හිමිකම් කවුන්සිලය එක්වරෙක ආධාරයක් ලෙස සුපර්මාකට් වවුචර් ලබාදුන්නේය. (UNHCR)

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆැසිස්ට් කුමන්ත්‍රනය මධ්‍යයේ වොෂින්ටනය දේශපාලන අර්බුදයකින් වෙලී තිබියදී වුවත්,   චීනයට එරෙහි එක්සත් ජනපද හමුදා ශක්තිමත් කිරීම දිගටම ගෙන යයි. එක්සත් ජනපදයට අවශ්‍ය වී ඇත්තේ ශ්‍රී ලංකාව, සිය යුද සූදානමට ඒකාග්‍ර  කර ගැනීමට ය.

මාර්තු මාසයේ ජිනීවා හි පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුලුවේ 46 වැනි සැසිය වෙත සූදානම් කෙරෙන යෝජනාව ඉදිරිපත් කරනු ඇත .  සති අන්ත සන්ඩේ ටයිම්ස් වාර්තා කරන පරිදි, යොජනාවට සම අනුග්‍රහය පල කරන ලෙස මූලික කන්ඩායම කල ඉල්ලීම කොලඹ ආන්ඩුවට විසින් ප්‍රතික්ෂේප කර ඇත. 

යෝජනාවට අන්තර්ගත දෑ තවමත් ප්‍රසිද්ධියට පත්ව නැත.  නමුත් අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ පිටුබලය ඇතිව එක්සත් ජනපදය,  බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි යුද්ධයේ අවසන් අදියරේදී සිදුකරන ලද යුද අපරාධ,  කොලඹ ආන්ඩුව තමන් පිටුපස පෙල ගස්වා ගැනීම පිනිස කුහක ලෙස ගසාකමින් සිටියි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව අවධියේ, 2009 මැයි මාසයේදී එල්ටීටීඊයට එරෙහි වසර 30ක ලේ වැකි වර්ගවාදී යුද්ධය අවසන් විය. දැන් ජනාධිපති වන ඔහුගේ බාල සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ , ආරක්ෂක ලේකම් ලෙස එම රුදුරු මිලිටරි මෙහෙයුම් අධීක්ෂනය කලේය.

එක්සත් ජාතීන්ගේ විශේෂඥ කමිටු ගනන් බලා ඇති ආකාරයට, යුද්ධයේ අවසන් සති කිහිපය තුල අඩුම තරමින් සිවිල් වැසියන් 40,000 මරුමුවට පත්කිරීම පිලිබඳව මෙන්ම, එල්ටීටීඊ නායකයන් රැසක් ඝාතනය කර, යුද්ධය අවසානයේදී  භාරවූ අනෙකුත් අය සිය ගනනක් අතුරුදහන් කිරීම පිලිබඳව ද මිලිටරිය වගකිව යුතුය.

යුද්ධයට හා ප්‍රජාතන්ත්‍ර විරෝධී මහින්ද රාජපක්ෂ පාලන තන්ත්‍රයට ද වොෂින්ටනය ආධාර කලේය. කෙසේ වෙතත්, මිලිටරි ආම්පන්න හා මූල්‍ය ආධාර සැපයූ චීනය සමඟ ඔහුගේ සමීප සබඳතාවලට සතුරු වූ එක්සත් ජනපදය බීජිං වෙතින් ඔහු ඈත් කිරීමට පීඩනය දැමීම සඳහා  මානව හිමිකම් කොමිසම වෙත ගෙනආ යෝජනා කිහිපයකම අනුග්‍රාහකයා විය.

අවසානයේදී,  2015 ජනවාරියේ මැතිවරනයේ දී වොෂින්ටනය, මහින්ද රාජපක්ෂ නෙරපා හැර ඔහු වෙනුවට, එක්සත් ජනපද ගැති මෛත්‍රීපාල සිරිසේන  ජනාධිපති ලෙස පත්කිරීම සඳහා පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමක් දියත් කලේය .

සිරිසේන,  රටේ විදේශ ප්‍රතිපත්තිය එක්සත් ජනපදයට වාසිදායක වන පරිදි මාරු කලේය. එයට හිලව් වශයෙන් වොෂින්ටනය, 2015 ඔක්තෝබර් මාසයේ, යුද අපරාධ පරීක්ෂන යටපත් කිරීමට කොලඹ ආන්ඩුවට උදව් කරමින්  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාව දියාරු කලේ, මානව හිමිකම් විමර්ශනය කිරීමට දේශීය වශයෙන් " දෙමුහුන් අධිකරන " (ජාත්‍යන්තර නිරීක්ෂනය යටතේ දේශීය උසාවි) පිහිටුවීම නිර්දශ කරමිනි.  එවැනි අධිකරන කිසි විටෙකත් පිහිටුවනු ලැබුවේ නැත. 

පසුගිය මාර්තුවේදී වත්මන් රාජපක්ෂ ආන්ඩුව, මෙම යෝජනාව සහ අනෙකුත් අදාල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනා සඳහා සහයෝගය දීමෙන් ඉවත් විය. රාජපක්ෂ ආන්ඩුව, කුමන ආකාරයක හෝ යුද අපරාධ සිදුකර ඇති බව ප්‍රතික්ෂේප කරමින්, හමුදාව ආරක්ෂා කරයි. යුද්ධය ගෙනගිය හා ඊට ආධාර කල කොලඹ  අනෙකුත් සියලු දේශපාලන පක්ෂ ද ඒ ආස්ථානයම ගෙන ඇත. 

ගැඹුරු ආර්ථික අර්බුදය මධ්‍යයේ රාජපක්ෂ, ප්‍රධාන පරිපාලන තනතුරු වලට හිටපු හා සේවයේ ඉන්නා හමුදා ජෙනරාල්වරු පත්කරමින් මිලිටරිය මත මුල්බැසගත් ආඥාදායක තන්ත්‍රයක් වේගයෙන් තහවුරු කරමින් සිටියි. 

ඊශ්‍රායලයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් විවේචනය කිරීමට විරෝධය පල කරමින් ට්‍රම්ප් පරිපාලනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වූවත්, නව යෝජනා සඳහා ඔවුන්ගේ සහයෝගය ඉල්ලා වොෂින්ටනය, දෙමල පක්ෂ වෙත එලඹුනි.

දෙසැම්බරය මැද එක්සත් ජනපද කොලඹ තානාපති ඇලේනා ටෙප්ලිට්ස් දෙමල ජාතික සන්ධානයේ (දෙජාස)  ප්‍රකාශක හා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් හමු වූ අතර තම පක්ෂයේ සහාය යෝජනාවට ලැබෙන බවට ඔහු ටිප්ලිට්ස් වෙත සහතික විය.

සුමන්දිරන් පසුව, දෙමල ජනතා සන්ධානයේ (ටීපීඒ) නායක හා හිටපු උතුරු පලාත් සභා ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේස්වරන් සහ දෙමල ජාතික ජනතා පෙරමුනේ (ටීඑන්පීඑෆ්) නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් හමුවිය. මාධ්‍ය වාර්තාවන්ට අනුව ඔවුන්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමට යෝජනාවක් සකස් කිරීමට එකඟ විය. එක්සත් ජනපද සහ එක්සත් රාජධානියේ තානාපතීන් පොන්නම්බලම් සමඟ දුරකථනයෙන් කථා කල අතර, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හෝල්ටන් දෙසැම්බරයේදී සුමන්දිරන් සමග වෙනම සාකච්ඡාවක් පවත්වා ඇත. 

මෙම තරයේම දූෂිත ධනේශ්වර දෙමල ජාතිකවාදී පක්ෂ, දිගු කලක් තිස්සේ  විශේෂයෙන් චීනයට එරෙහිව, එක්සත් ජනපද භූ-දේශපාලනික අවශ්‍යතා වලට පිටුබලය දුන්නේ, එයට හිලව් වශයෙන් තම වරප්‍රසාද ආරක්ෂා කර ගැනීමට අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහ ඉන්දියාවේ පිටුබලය ලබා ගැනීමේ උත්සාහයක යෙදෙමිනි. 

යුද අපරාධ සම්බන්ධයෙන් හෝ දෙමල කම්කරුවන් හා දුගී ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් පිලිබඳව ඔවුන්ට අව්‍යාජ උනන්දුවක් ඇත්තේ නැත. දෙමල ජාතික සන්ධානය 2015 දී, එක්සත් ජනපද අනුග්‍රහය සහිත තන්ත්‍ර මාරුව තුල  ප්‍රමුඛ භූමිකාවක් ඉටු කලේය. 2015 ඔක්තෝබරයේ සුමන්දිරන්, යුද අපරාධ පරීක්ෂන යටපත් කිරීමට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සමඟ වැඩ කරමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාව සකස් කිරීමට උදව් දුන්නේය.   

එක්සත් ජනපද හා එක්සත් රාජධානියේ තානාපති වරුන් සමග තිරය පිටුපස දමන ලද උපාමාරු වලින් පසුව දෙජාස, ටීඑන්පීඑෆ් හා ටීපීඒ නායකයින් හා අනෙකුත් දෙමල නායකයින් පසුගිය සතියේ, නව යෝජනාවක් ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ සාමාජික රටවල් වෙත ලිපියක් යවනු ලැබීය. 

මෙම ලිපියෙන් මානව හිමිකම් කවුන්සලයෙන් ඉල්ලා ඇත්තේ, "ජාත්‍යන්තර අපරාධ අධිකරනය" හා "වෙනත් ඕනෑම සුදුසු හා ඵලදායී  ජාත්‍යන්තර වගවීමේ යාන්ත්‍රනයක් හරහා" සංහාරක අපරාධ, යුද අපරාධ හා මානව වර්ගයාට එරෙහි අපරාධ ගැන පරීක්ෂන පවත්වන මෙන්, ආරක්ෂක මන්ඩලය හා මහ මන්ඩලය ඇතුලු එක්සත් ජාතීන්ගේ අනෙකුත් ආයතන වලින් ඉල්ලා සිටින ලෙසයි.  

ශ්‍රී ලංකාව තුල වගවිය යුතු ඉහත සඳහන් කල කරුනු ගැන ක්‍රියා කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ගේ අවධානය යොමු කරන ලෙස  ද ලිපිය,  මානව හිමිකම් පිලිබඳ කවුන්සල සභාපතිගෙන් ඉල්ලා සිටින අතර, සිදුවන උල්ලංඝනය කිරීම් ගැන මානව හිමිකම් මහ කොමසාරිස්  කාර්යාලයට, නිරීක්ෂන බලය පවරන මෙන් ද ඉල්ලා සිටියි. 

සිරියාවට එරෙහිව පනවා ඇති ආකාරයේ  " ජාත්‍යන්තර ස්වාධීන විමර්ශන යාන්ත්‍රනයක් " පිහිටුන මෙන් ද ලිපිය ඉල්ලා ඇත. මෙහි අර්ථය, පාලන තන්ත්‍ර වෙනසක් අරමුනු කරගෙන සිරියාවට එරෙහිව ඇමරිකාව නායකත්වය ගන්නා ආක්‍රමනික පියවරයන්ට දෙමල දේශපාලන පක්ෂ පිටුබලය දෙන බවයි. 

ඔවුන්ගේ ද්‍රෝහි භූමිකාවෙහි කොටසක් ලෙස මේ දෙමල පක්ෂ, මානව හිමිකම් විමර්ශන, අතුරුදහන්වූවන්ගේ තොරතුරු හා දෙමල දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට දෙමල ජනතාව ගෙන යන සටන කෙරෙහි වචනයෙන් පමනක් සහාය දක්වති. වාඩිලාගත් මිලිටරිය උතුරු නැගෙනහිරෙන් ඉවත් කරන ලෙස ඔවුන් කිසිවිටෙකත් ඉල්ලා නැත.  

ගෝලීය වසංගතයේ බලපෑම හමුවේ රාජපක්ෂ ආන්ඩුව, පෙර නොවූ විරූ ආර්ථික පසුබෑමකට මුහුන දී සිටියි. මහ බැංකුවට අනුව පසුගිය වසරේදී  ආර්ථික නිමැවුම සියයට 3.9 කින් පහත වැටී ඇත. මේ වසරේ ඩොලර් බිලියන 6 ද ඇතුලුව ඉදිරි සිව් වසර තුල, දැවැන්ත විදේශ නය ආපසු ගෙවීමකට මුහුනපා සිටින ආන්ඩුව, සිය මුදල් හිඟය පිවා ගැනීම සඳහා බීජිනය වෙත හැරී ඇත. 

එක්සත් ජනපද හමුදා ශක්තිය තරකිරීම හා ප්‍රකෝපකරනයන්ට මුහුන දෙන බීජිනය, කොලඹට නය සහ දීමනා ලබා දෙමින් සිය අනසක වැඩිකර ගැනීමේ උත්සාහයක යෙදී සිටියි. මෙය කලාපයේ අනෙකුත් රටවල සිය සබඳතා වර්ධනය කර ගැනීමේ ප්‍රයත්නයේ කොටසකි.

ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිනි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ,  එක්සත් ජනපදය සමඟ පෙල ගැසෙන ලෙස කොලඹ ආන්ඩුවට බලකර සිටියේය . පුවත්පත් සාකච්ඡාවකදී ඔහු මෙසේ ප්‍රකාශ කලේය : “නරක ගනුදෙනු, ස්වෛරීභාවය උල්ලංඝනය කිරීම් සහ ගොඩබිම සහ මුහුදේ අවනීතිය මගින් පෙන්නුම් කෙරෙන්නේ චීන කොමියුනිස්ට් පක්ෂය මංකොල්ල කාරයෙක් බවයි. ”

වසංගතයෙන් පහර වැදුන රටවල් වලට මූල්‍ය සහාය පිරිනැමීමේ පදනම මත දෙසැම්බර් 21 දින එක්සත් ජනපද කොන්ග්‍රසය වෙත  ඉදිරිපත් කරන ලද පනතක මෙසේ සඳහන් කරයි: "චීන මහජන සමූහාන්ඩුව කරන බලපෑමට එරෙහිව සිය ස්වෛරීත්වය තහවුරු කර නොගන්නේ නම් ශ්‍රී ලංකාවට දෙන  එක්සත් ජනපද මූල්‍ය සහාය අවිනිශ්චිත වනු ඇත '' . 

තවත් අනතුරු ඇඟවීමක දී වොෂිංටනය, රුපියල් බිලියන 49 ($ 480 ක්) ක් වූ එක්සත් ජනපද සහශ්‍ර අභියෝග සහයෝගිතා (එම්සීසී) ප්‍රදානය " සහකාර රටේ සහාය නොමැති වීම හේතුවෙන් පසුගිය මාසයේ අත්හිටවනු ලැබින. ”

චීනයට එරෙහි  එක්සත් ජනපදයේ ප්‍රධාන මූලෝපායික සහකරුවෙක් වන ඉන්දියාව, මේ මාසයේ සිය විදේශ කටයුතු ඇමති එස්. ජයිශන්කර්  කොලඹට එවනු ලැබුවේ,  ප්‍රධානකොටම බීජිනය සමග වර්ධනය වන රාජපක්ෂගේ සබඳතා පිලිබඳව අප්‍රසාදය පල කිරීමටය. 

යුද අපරාධ පිලිබඳ අව්‍යාජ පරීක්ෂනයක් හා ශ්‍රී ලංකාවේ දෙමල සහ මුස්ලිම් සුලු ජාතීන්ට එරෙහි වෙනස්කම් කිරීම අවසන් කල හැක්කේ, රාජපක්ෂ පාලන තන්ත්‍රයට එරෙහි සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත, සියලු වාර්ගික රේඛා  කපාගෙන යන කම්කරු පන්තියේ එක්සත් අරගලයක් හරහා පමනි. 

මෙම අරගලය අධිරාජ්‍යවාදී යුද සූදානමට එරෙහි සටන සමඟ බැඳී ඇත. ශ්‍රී ලංකාව පෙල ගස්වා ගැනීමට දරන අලුත්ම  ඇමරිකානු ප්‍රයත්නයෙන් සලකුනු වන්නේ, විනාශකාරී යුද්ධයන් පිලිබඳ අන්තරාය මතුකරන්නාවූ, චීනයට එරෙහි එහි භූ-මූලෝපායික ප්‍රකොපකරිත්වයක  ඉහල අදියරකි. 

[මෙම ලිපිය ජාත්‍යන්තර සංස්කරනයේ ජනවාරි 19 දින  පල විය.]

"සෞභාග්‍යයේ දැක්ම" ට කැපවෙන බවට රජයේ සේවකයන්ගෙන් ජනාධිපති රාජපක්ෂ‍ ප්‍රතිඥාවක් ලබා ගනී: ආඥාදායකත්වයක් දෙසට තැබූ සුවිශේෂී පියවරක්  

එක්සත් ජනපද ජනාධිපතිගේ කුමන්ත්‍රන ප්‍රයත්නය පිලිබඳ දකුනු ආසියානු පාලක ප්‍රභුව නොසන්සුන් වෙති  

වැඩෙන චීන බලපෑම වැලැක්වීමට ඉන්දියානු විදේශ ඇමති ශ්‍රී ලංකාවට පැමිනෙයි  

Loading