ඉදිරිදර්ශන

ධනවාදයට එරෙහිව සමාජවාදය: වසංගතය සහ ගෝලීය පන්ති අරගලය

[පහත පල  ‍කෙරෙන්නේ 2021 පෙබරවාරි 1 වැනි දින Capitalism vs. socialism: The pandemic and the global class struggle යන මැයෙන් පල කෙරුනු ඉදිරිදර්ශනයේ සිංහල පරිවර්තනයයි.]

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), 2020 ජනවාරි 30 වන දින COVID-19 පුපුරා යාමෙන් මහජන සෞඛ්‍ය පිලිබඳ හදිසි අවශ්‍යතාවයක් (PHEIC) පැනනැගී ඇති බව, ප්‍රකාශයට පත් කර වසරක් ගත වී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ චීනයෙන් පිටත රටවල් 18 ක රෝගීන් 98 ක් වාර්තා වී ඇති බවයි. “චීනයේ සිදුවීම් සංඛ්‍යාවට සාපේක්ෂව මෙම සංඛ්‍යා තවමත් කුඩා වුවත්, තවදුරටත් පැතිරීම සීමා කිරීම සඳහා අප සියලු දෙනා දැන් එක්ව ක්‍රියා කල යුතුය.”

වසරකට පසුව, මුලු රෝගීන් සංඛ්‍යාව මිලියන 100 ඉක්මවා ඇත. මුලු මරන සංඛ්‍යාව 2,225,000 දක්වා ලඟා වී තිබේ. දෛනික මරන සංඛ්‍යාව මෙතෙක් වාර්තා වූ ඉහලම අගය වන අතර දිනකට 14,000 කට අධික පිරිසක් වෛරසයට ගොදුරු වේ.

එක්සත් ජනපදයේ රෝගීන් 26,107,110 ක් වාර්තා වී ඇත. ජෝන්ස් හොප්කින්ස් කොරෝනා වෛරස් පර්යේෂන මධ්‍යස්ථානයට අනුව මරන සංඛ්‍යාව 440,000 ක් දක්වා ඉහල ගොස් තිබේ. ඉන්දියාවේ මිලියන 10 කට වඩා ආසාදන වාර්තා වී ඇති අතර මරන සංඛ්‍යාව154,000 කි. බ්‍රසීලයේ රෝගීන් මිලියන 9 කට වැඩි සංඛ්‍යාවක් සහ මරන 223,000 ක් සිදුව තිබේ. එක්සත් රාජධානියේ රෝගීන් මිලියන 4 කට ආසන්න සංඛ්‍යාවක් සහ 106,000 ක් මිය ගියහ. ඉතාලියේ රෝගීන් මිලියන 2.5 ක් සහ මරන 88,000 කට වඩා සිදුවී තිබේ.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, අර්බුදයේ මුල් අවධියේදී, වසංගතය පලමුවන ලෝක සංග්‍රාමයට සමාන “ප්‍රේරක සිදුවීමක්” ලෙස හඳුනා ගත් අතර එය ගෝලීය ධනවාදී ක්‍රමයේ ගැඹුරු ප්‍රතිවිරෝධතා තීව්‍ර කර වේගවත් කරනු ඇතැයි පෙන්වා දුනි. සෞඛ්‍ය අර්බුදය අනිවාර්යයෙන්ම ගෝලීය සමාජ හා දේශපාලන අර්බුදයක් බවට වර්ධනය වනු ඇත. වෛද්‍යමය ක්‍රියාමාර්ග මගින් පමනක් වසංගතය පාලනය කල නොහැකිය.

වසංගතය පාලනය කිරීමේ අරගලය පන්ති අරගලයක් දක්වා වර්ධනය වනු ඇත. සමාජයේ ප්‍රධාන පන්ති වන ධනපති පන්තිය හා කම්කරු පන්තියේ අවශ්‍යතාවන්ට සමහන් කල නොහැකි ලෙස විරුද්ධ වී ඇති බව වඩ වඩාත් පැහැදිලි විය. මෙම ප්‍රතිවිරෝධී ආස්ථානයන් ධනේශ්වර හා සමාජවාදී වැඩසටහන් අතර ඝට්ඨනය තුලින් ප්‍රකාශනය අත්පත් කර ගනී.

පාලක පන්තියේ ස්ථාවරය ධනේශ්වර දේපල ආරක්ෂා කිරීම ලෙස ඉදිරියට යයි: එහි අවශ්‍යතා වනුයේ නිෂ්පාදන මාධ්‍යයන්හි පෞද්ගලික අයිතිය සහ ජාතික රාජ්‍යයේ භූ මූලෝපායයි. කම්කරු පන්තියේ ආස්ථානයෝ වෛෂයිකව සමාජවාදය කරා යාමට උත්සාහ කරති: එනම් ලාභ ක්‍රමය හා ශ්‍රමය සූරාකෑම අවසන් කර, මානව අවශ්‍යතා මත පදනම්ව විද්‍යාත්මකව සැලසුම් කෙරුනු ආර්ථික ජීවිතයේ ප්‍රතිසංවිධානය කිරීමකින් හා ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කිරීම තුලින් මානව වර්ගයා ගෝලීය වශයෙන් එක්සත් කිරීමකින් නිෂ්පාදන ක්‍රමය ප්‍රතිස්ථාපනය කිරීමයි.

අර්බුදයට වසරක් ගතවන විට, වසංගතය ධනේශ්වර හා සමාජවාදී වැඩ සටහන් වෙන් කරන පන්ති රේඛා පැහැදිලිව හෙලි කර තිබේ.

1. ධනපති වැඩපිලිවෙල අවධාරනය කරන්නේ වසංගතයට ප්‍රතිචාර දැක්වීමේදී ජීවිත සුරැකීමට වඩා මූල්‍ය වෙලඳපොලවල් සුරැකීමට ප්‍රමුඛතාවය දිය යුතු බවයි.

වසංගතයට ප්‍රතිචාර දැක්වීමේදී මූල්‍ය වෙලඳපොලවල් සුරැකීමට වඩා ජීවිත බේරා ගැනීමට ප්‍රමුඛතාවය දිය යුතු බව සමාජවාදී වැඩපිලිවෙල අවධාරනය කරයි.

2. වසංගත ප්‍රතිපත්තිය ලාභ අවශ්‍යතා මත පදනම් විය යුතු බව ධනවාදී වැඩපිලිවෙල තරයේ කියා සිටී.

වෛද්‍ය ප්‍රතිපත්තිය විද්‍යාවෙන් මෙහෙයවිය යුතු යැයි සමාජවාදී වැඩපිලිවෙල යෝජනා කරයි.

3. ධනවාදී වැඩසටහන එන්නත නිපදවා බෙදා හැරෙන තෙක් හැකි අවම පාලනයක් යටතේ වෛරසය පැතිරීමට ඉඩ සලසමින්, “රංචු ප්‍රතිශක්ති” පිලිවෙතක් යෝජනා කරයි.

වෛරසය පැතිරීම නැවැත්වීමට අවශ්‍ය පුද්ගලයින් සංඛ්‍යාව එන්නත් කරන තෙක් වෛරස් සම්ප්‍රේෂනය වැලැක්වීම සඳහා වන සියලු ක්‍රියාමාර්ග සමාජවාදී වැඩසටහන විසින් ඉල්ලා සිටිනු ලබයි.

4. ධනේශ්වර වැඩපිලිවෙල අවධාරනය කරන්නේ එහි “රංචු ප්‍රතිශක්තිය” උපාය මාර්ගයට අනුව කර්මාන්තශාලා සහ වෙනත් සේවා ස්ථාන ව්‍යාපාරික කටයුතු සඳහා විවෘතව තැබිය යුතු බවයි.

සමාජවාදී වැඩසටහන අවධාරනය කරන්නේ එන්නත් කරන ලද කම්කරුවන්ට ආරක්ෂිතව සිය රැකියා වෙත ආපසු පැමිනිය හැකි වන තෙක් සියලු අත්‍යවශ්‍ය නොවන සේවා ස්ථාන වසා දැමිය යුතු බවයි.

5. ධනවාදී වැඩපිලිවෙල ඉල්ලා සිටින්නේ සිසුන්ට සහ ගුරුවරුන්ට එතරම් අවදානමක් නොමැති බව ව්‍යාජ ලෙස පවසමින් පාසල් නැවත විවෘත කරන ලෙසයි.

පාසල් වෛරස් සම්ප්‍රේෂනය සඳහා ප්‍රධාන ප්‍රභවයක්ය යන විද්‍යාත්මක සාක්ෂිය මත පදනම් වන සමාජවාදී වැඩසටහන ඉල්ලා සිටින්නේ වසංගතය පාලනය කරන තෙක් පාසල් වසා තබන ලෙසයි.

6. ධනවාදී වැඩපිලිවෙල මහ බැංකු මූල්‍ය වෙලඳපොලවල් සහ විශාල සමාගම් සඳහා අසීමිත සහයෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් සුවිසල් ජනකාය කෙරෙහි වසංගතයේ ආර්ථික විපාකයට එරෙහිව කටයුතු කිරීම අරමුනු කරගත් සමාජ වියදම් කප්පාදු කිරීම උත්සාහ කරයි.

සමාජවාදී වැඩපිලිවෙල අර්බුදය පවත්නා තෙක් කම්කරුවන්ට සහ කුඩා ව්‍යාපාරවලට පූර්න ආදායම් වන්දි ඉල්ලා සිටී. CARES (කෙයාර්ස්) පනතේ විධිවිධාන යටතේ විශාල සමාගම් වෙත ලබා දී ඇති ඩොලර් ට්‍රිලියන ගනන වහාම ප්‍රතිග්‍රහනය කිරීම සහ මූල්‍ය වෙලඳපොලවල් සඳහා ලබාදුන් අසීමිත ෆෙඩරල් සංචිත ආධාර මගින් වසංගතයෙන් ලාභ ලැබූවන් උපයාගෙන ඇති ඩොලර් මිලියන දස දහස් ගනන අත්පත් කර ගැනීම තුලින් මෙම තීරනාත්මක සමාජ ගලවා ගැනීමේ සැලැස්ම සඳහා සම්පත් ලබා ගත හැකිය.

7. ධනවාදී වැඩපිලිවෙල, ලොව පුරා එන්නත් සමානව බෙදා හැරීම සීමා කිරීම හා විරුද්ධ වීම මගින් එන්නත් කිරීමේ ජාතිකවාදයක ප්‍රතිපත්තියක් ප්‍රවර්ධනය කරයි.

කෙරෝනා වෛරසය තුරන් කල හැක්කේ විද්‍යාත්මකව යොමු කරන ලද ජාත්‍යන්තර උපාය මාර්ගයකින් පමනක් බව පිලිගන්නා සමාජවාදී වැඩපිලිවෙල ගෝලීය වශයෙන් සම්බන්ධිත එන්නත් කිරීමේ වැඩසටහනක් ඉල්ලා සිටී.

කොරෝනා වෛරස් වසංගතයට ප්‍රතිචාර දැක්වීමේ දී එකිනෙක නොපෑහෙන පන්ති අවශ්‍යතා පිටුපස වඩ වඩාත් තියුනු දේශපාලන බෙදීම් ඇත. රංචු ප්‍රතිශක්තිය මගින් තම ලාභය වර්ධනය කර ගැනීමේ වැඩපිලිවෙලට එරෙහි විරෝධය වැඩි වේ යැයි බියෙන් සිටින පාලක පන්තිය ෆැසිස්ට් සංවිධානවල වර්ධනය දිරිමත් කරයි.

වසංගතයට තමන්ගේම ප්‍රතිචාරයක් වර්ධනය කර ගැනීමේදී කම්කරු පන්තිය, පන්ති සමගිය, සටන්කාමී පන්ති ක්‍රියාමාර්ග සහ සියල්ලටත් වඩා ජාත්‍යන්තර සමාජවාදී හා විප්ලවවාදී දේශපාලන උපාය මාර්ගයක අවශ්‍යතාවය හඳුනාගනිමින් සිටියි.

එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සමඟ අනුබද්ධිත ලොව පුරා සිටින පක්ෂ හා සංවිධාන විසින් සටන් කරන ලද ප්‍රතිපත්ති ඇමරිකානු සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ වෛෂයික අවශ්‍යතා ප්‍රකාශ කොට ඉදිරියට ගෙන යයි. සමාජවාදයේ වැඩපිලිවෙලට සහයෝගය දක්වන සියලු දෙනා එය සාක්ෂාත් කර ගැනීම සඳහා අරගලයේ ක්‍රියාකාරීව නිරත වීමට කාලය එලඹ තිබේ.

Loading