වතු කම්කරුවන්ගේ අතෘප්තිය අපසරනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආන්ඩුව සොච්චම් වැටුප් වැඩි වීමක් යෝජනා කරයි

ශ්‍රී ලංකාවේ වැටුප් මන්ඩලයක්, පෙබරවාරි 8දා, ආන්ඩුව හා වෘත්තීය සමිති විසින් යෝජනා කරන ලදුව වතු කම්කරුවන්ට කිසිසේත් ප්‍රමානවත් නො වන වැටුප් වැඩි වීමක් අනුමත කලේ ය. ඒ අනුව, රුපියල් 900ක දෛනික වැටුපකින් හා රුපියල් 100ක දීමනාවකින් සමන්විත වන රුපියල් 1000ක් දක්වා දෛනික වැටුප වැඩි කිරීමට නියමිත ය.

වැටුප් මන්ඩලයේ බහුතරය සමන්විත කරන වෘත්තීය සමිති හා කම්කරු අමාත්‍යාංශයේ නියෝජිතයෝ යෝජනාවට සහයෝගය දුන් අතරතුර, ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය (ඊඑෆ්සී), ශ්‍රී ලංකා තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමය (එස්එල්ටීඑෆ්ඕඒ) හා ප්‍රාදේශීය වතු සමාගම් (ආර්පීසී) එයට විරුද්ධ ව ඡන්දය දුන් හ. වැටුප් මන්ඩල යනු, මහ ව්‍යාපාරිකයේ අවශ්‍යතා සැපිරෙන පරිදි අත්තනෝමතික ලෙස වැටුප් නීර්නය කිරීමේ දී, වෘත්තීය සමිති, රාජ්‍යය සහ සමාගම් සමග ඒකාබද්ධ වන නෛතික ව ස්ථාපිත කරනු ලබන ආයතනයන් ය.

වර්තමාන ආන්ඩුවේ පාර්ශවකරුවෙක් වන ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී), ජාතික කම්කරු සමිතිය (එන්යූඩ්බ්ලිව්), ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය (ඩීඩබ්ලිව්සී), කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) සහ ලංකා ජාතික වතු කම්කරු සමිතිය (එල්ජේඊඩබ්ලිව්යූ) යන වෘත්තීය සමිති වැටුප් මන්ඩලයට සහභාගි වූ හ.

මෙම සීමිත යෝජනාවට පවා සමාගම් පලකරන විරෝධය නිසා, වැටුප් මන්ඩල තීරනය තවමත් කල් පමාවෙමින් තිබේ. වැටුප් වැඩි කිරීම ආන්ඩුව විසින් තීරනය කරන ලද යෝජනාවක් නිසා එය ගැසට් කරන බව කම්කරු කොමසාරිස්වරයා මාධ්‍ය වෙත කීවේ ය. එ‍හෙත්, කොමසාරිස්වරයා සමාගම් නියෝජිතයන් සමග මාර්තු 1දා තවත් සාකච්ඡාවක් පවත්වනු ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව, වතු වෘත්තීය සමිති සමග ඒකාබද්ධ ව මෙම තීන්දුව ගත්තේ, කම්කරුවන් කෙරෙහි පවතින කිසිදු අනුකම්පාවක් නිසා නො ව, වතු තුල වැඩෙන අතෘප්තිය නිෂ්ක්‍රීය කිරීම පිනිසයි. කම්කරුවෝ, කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ, ඛාදනය වන ජීවන තත්ත්වයන්ට හා ඉහල යන ජීවන වියදමට මුහුන දෙමින් සිටිති.

වතු කම්කරුවන් මුහුන දෙන ප්‍රහාරවලට සමාන ප්‍රහාරවලට මුහුන දෙන කම්කරු පන්තියේ පලල් කොටස්වල ආකර්ශනය, වතු කම්කරුවන්ගේ ප්‍රධාන වැටුප් සටන විසින් දිනා ගනු ඇතැයි ආන්ඩුව බිය වේ. කඩින් කඩ සිදුවන වැඩ වර්ජන හා විරෝධතා, ඉහල වැටුප් ගෙවීම් හා වර්ධිත වැඩ කොන්දේසි ද වැඩ ප්‍රමාන ඉහල දැමීම්වලට එරෙහි ව ද එකදිටග ම පුපුරා යමින් පවතී.

කම්කරුවන් 200,000ක් පමන, පෙබරවාරි 5දා, වතු පාසල්වල ගුරුවරුන්ගේ හා වතු දිස්ත්‍රික්කයේ කුඩා ව්‍යාපාරිකයන්ගේ පලල් සහයෝගය ආකර්ශනය කරගත් එක් දින විරෝධතා වැඩ වර්ජනයක නිරත වූ හ.

වෘත්තීය සමිති වහා ම මෙම සොච්චම් වැටුප් වැඩි වීම ජයග්‍රහනයක් ලෙස හුරේ දැමූ හ. මෙය පචයකි. මෙම උද්ඝෝෂනයට නායකත්වය දෙමින් සිටින්නේ සීඩබ්ලිව්සීය යි. එහි නායක ජීවන තොන්ඩමන්, රාජපක්ෂ ආන්ඩුවේ වතු යටිතල පහසුකම් ඇමතිවරයා ය. අනෙකුත් වෘත්තීය සමිති නායකයන් අතීත ආන්ඩුවල සේවය කර ඇත. ඔවුන් සියලු දෙනා සමාගම්වල අවශ්‍යතාවන්ට සේවය කරමින් සිටිති.

ඉහල ගොස් ඇති ජීවන වියදම හේතුවෙන්, 2015 දී ප්‍රථම වරට ඉස්මතු කරන ලද, වෘත්තීය සමිතිවල රුපියල් 1000 මූලික දෛනික වැටුප් ඉල්ලීම, දැන් කිසිසේත් ප්‍රමානවත් නො වේ. මහ බැංකුවේ දත්තවලට අනුව, 2015 ගනන් හිලවු සමග සසඳනු ලබන විට, කෘෂිකාර්මික කම්කරුවන්ගේ මූර්ත වැටුප 2019 දී සියයට 16කින් පමන බිඳ වැටී ඇත.

2015 පටන්, කම්කරුවන් රුපියල් 1000 මූලික වැටුපක් ඉල්ලා, එක් අරගලයකින් පසු තවෙකකට පිවිසිය ද බලයේ සිටි ආන්ඩු හා සමාගම් එක් ව කුමන්ත්‍රනය කල වෘත්තීය සමිති එම අරගල පාවාදුන් හ. 2018 දෙසැම්බරයේ දී කම්කරුවන් ලක්ෂ ගනනක් දින 11ක වර්ජනයක නිරත වූ හ. රුපියල් 700ක දෛනික වැටුපකට එකඟ වෙමින් සීඩබ්ලිව්සීය නායකත්වය දුන් වෘත්තීය සමිති එම අරගලය පාවාදුන් හ.

ආන්ඩුව හා වෘත්තීය සමිති, දැනට කම්කරුවන් මුහුන දෙමින් සිටින දරාගත නො හැකි කොන්දේසි මුලුමනින් ම නො තකා හැර ඇත. යෝජිත වැටුප් වැඩිවීම පිලිබඳ ව බොහෝ කම්කරුවෝ ඔවුන්ගේ උත්සුකය පලකොට තිබේ.

වෘත්තීය සමිති කෙරෙහි තම කෝපය පලකල මස්කෙලියේ ගාට්මෝර් වත්තේ කම්කරු කාන්තාවක් වන උෂානන්දනී මෙසේ කීවා ය: “අපි රුපියල් 1000 වැටුප මුලදි ඉල්ලපු වෙලාවෙ ඉඳන් ජීවන වියදම දැඩි ලෙස ඉහල ගොස් තිබෙනවා. දැන් දවසකට රුපියල් 1500ක් ලැබුනත් වියහියදම් පියවා ගැනීම අපහසුයි. අපිට මේ පොඩි පඩි වැඩි වීම ලැබුනත්, සමාගම් අපේ වැඩ ප්‍රමානය ඉහල දැමීමට ඒක යොදාගනීවි. සමහර ප්‍රවෘත්තිවලට අනුව, සමාගම් අපේ මාසික වැඩ දින ගනන 13 දක්වා අඩු කරාවි.”

ඇය මෙසේ ද කීවා ය: “අපි ඒක පිලිගන්නේ නැහැ. ඒක ක්‍රියාවට දැම්මොත් අපි විරෝධය පල කරනවා. මම එන්යූඩබ්ලිව් සාමාජිකාවක්, ඒත් ඔක්කොම වෘත්තීය සමිතිවලින් ප්‍රයෝජනයක් නැහැ. ඡන්දෙ ගන්න විතරක් මැතිවරන කාලෙදි ඒගොල්ලො බොරු පොරොන්දු දීගෙන අප මුනගැහෙන්න එනව.”

වෘත්තීය සමිතිවල උදවුව ද සහිත ව ආන්ඩුව දමන උපාමාරු පිටුපසින්, සමහර තේ වතු ඉවත් කොට වානිජ වැවිලි වෙත යොමුවෙමින් වතු කර්මාන්තය “ප්‍රතිව්‍යූහගත කිරීමේ” සැලසුම් රාජපක්ෂ ආන්ඩුවට පවතී. ලාබ ශ්‍රමය යොදාගනිමින් ඇඟලුම් කම්හල් දිරිගැන්වීමේ සහ සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමේ සැලසුම් දැනට සූදානම් කෙරෙමින් පවතී. කිසිදු විස්තරයකින් තොර ව එය නොවැම්බරයේ ඉදිරිපත් කරන ලද වාර්ෂික අයවැයට ඇතුලත් කරනු ලැබුනි. මෙම ඊනියා ප්‍රතිව්‍යුහකරනයන් කම්කරුවන්ගේ රැකියා හා සමාජ අයිතීන් වැඩිදුර කප්පාදු කිරීම්වලට හේතුවනු ඇත.

ප්‍රාදේශීය වතු සමාගම් ආන්ඩුවේ හා වෘත්තීය සමිතිවල යෝජනාවට එක දිගට ම හා එකහෙලා විරුද්ධ වී ඇත. වැවිලිකරුවන්ගේ සංගමයේ (පීඒ) ප්‍රකාශක රොෂාන් රාජදුරෙයිට අනුව, ප්‍රාදේශීය වතු සමාගම්, කුඩා වතු හිමියන්, කම්හල් හිමියන් හා අනෙකුත් අය විසින් මෙම පහල වැටුප් යෝජනාවලට පවා විරෝධතා ඉදිරිපත් කර තිබේ. සමාගම් විසින් වැටුප් යෝජනා ප්‍රතික්ෂේප කිරීම නිසා, කලින් පැවති වැටුප් මන්ඩල සාකච්ඡා වට දොලහක් අසාර්ථක ව අවසන් විය.

ඒ වෙනුවට ප්‍රාදේශීය වතු සමාගම් සිදුකලේ ඵලදායීත්වය ඉහල දැමිම මත පදනම් වන වැටුප් සූත්‍ර දෙකක් යෝජනා කිරීම යි. ඉන් එකකට අනුව, කම්කරු පවුලකට නිශ්චිත තේපඳුරු සංඛ්‍යාවක් සහිත ඉඩම් කට්ටියක්, පොහොර හා කෘෂි රසායන සමගින් ලබා දේ. කම්කරුවන් එය නඩත්තු කොට අස්වනු නෙලිය යුතු ය. පොහොර හා සමාගම් විසින් ලබා දෙන අනෙකුත් සැපයුම්වල පිරිවැය අඩු කර ගැනීමෙන් අනතුරු ව කම්කරුවන්ට ආදායමෙන් කොටසක් ගෙවනු ලැබේ.

වතු සමාගම්වල අනෙක් යෝජනාව වන්නේ, කම්කරුවන් දින තුනක් දිනකට රුපියල් දහසක දෛනික වැටුප් ක්‍රමය යටතේ ද තවත් දින තුනක් තේ දලු කිලෝවකට රුපියල් 50ක් හා රබර් කිරි කිලෝවකට රුපියල් 125ක් ද ලබමින් වැඩ කල යුතු බව යි.

ආන්ඩුවේ තීන්දුවට විරුද්ධ ව පිඒ ප්‍රකාශක රාජදුරෙයි මාධ්‍ය වෙත කීවේ, දෛනික වැටුප් රුපියල් 1000 තෙක් වැඩි කිරීම “දැරිය හැක්කක් නොවන” බව යි. “පිරිවැය සඳහා අවශ්‍ය කරන අතිරේක රුපියල් බිලියන 12.5 හම්බ කිරීමට කර්මාන්තයට ධාරිතාවක් නැති නිසා, වැඩිකරන ලද වැටුප් සමාගම් විසින් ගෙවීමට සිදුවනු ඇත” යි ඔහු වැඩිදුරටත් පැවසී ය.

වතු සමාගම්වලට ආන්ඩුවේ යෝජනාව පිලිගැනීමට බලකෙරුන හොත්, “අපි එය කලමනාකරනය කරමින් රෙද්දට අනුව කෝට් එක කපනවා, අපිට පොහොර දෙන්න බැරි වුනොත් අපි දෙන්නේ නැහැ. අපිට නඩත්තු වියදම් දරන්න බැරි වුනොත් අපිට ඒක කරන්න බැරි වෙයි, ...අන්තිමේ බොහෝ ජනයාට විඳවන්න සිද්ධ වේවි” යි රාජදුරෙයි කීවේ ය.

මෙහි අර්ථය වන්නේ කම්කරුවන් රැකියා අහිමි වීමට, ඉහල දැමූ වැඩ ඉලක්කයන්ට, වැඩ දින ගනන් අඩු කිරීමට හා අතීත අරගලවල දී ඔවුන් දිනාගෙන ඇති සීමිත සමාජ අයිතීන් පවා අහෝසි කරනු ලැබීමට මුහුන දීමට සිදුවනු ඇති බව යි.

පසුගිය වසර කිහිපයේ දී ආන්ඩුවේ ආශීර්වාදය හා වෘත්තීය සමිතිවල සහයෝගය ලත් වතු සමාගම්, සමහර වතු තුල ආදායම් බෙදාගැනීමේ ක්‍රමය ක්‍රියාවට දමා, වැඩ ප්‍රමාන ඉහල දමා, වැටුප් කප්පාදු කල හ.

වැටුප් ඉහල දැමීමේ පිරිවැය වෙනුවෙන් වතු සමාගම් ඉහල නිෂ්පාදන පිරිවැයට දෝෂය පැවරුව ද කොවිඩ්-19 වසංගතය යටතේ ගැඹුරුවන අර්බුදය නො තකා 2020 වසරේ දී තේ හා රබර් සමාගම්වල අපනයන ආදායම් ඉහල ගියේ ය. ජනවාරි මාසයේ නිකුත් කල අපනයන සංවර්ධන මන්ඩලයේ වාර්තාවකට අනුව, 2019 වසරට සාපේක්ෂව තේ අපනයනයන් සියයට 6.78කින් ඉහල ගොස් ඇත.

ඒ හා සමාන ව, රබර් හා රබර් නිමි භාන්ඩවල අපනයන ආදායම සියයට 6.22කින් ඉහල ගියේ ය. මෙම සමාගම් තැරැව්කරුවන් හා ඔවුන්ගේ ම හෝ යුනිලීවර් හා ටෙට්ලි වැනි යෝධ බහුජාතික සංගතයන් සමග අපනයන සමාගම් ජාලයක් නඩත්තු කරයි. ලාබ උපරිම කරගැනීම සඳහා බහුජාතික සංගතයෝ ලෝක වෙලඳපාල තුල මිල ගනන් මෙහෙයවති. කම්කරුවන් දරාගත නො හැකි කොන්දේසි යටතේ දහදිය හෙලද්දී, මේ සියලු ජාලයන් විවිධ අදියරවල දී සුවිශාල ලාබ උපුටා ගනී.

ජාත්‍යන්තර ව ගත් කල, වතු කම්කරුවන් යනු දරුනු සේවා කොන්දේසි යටතේ වැඩ කරන හා අඩුවෙන් ම ගෙවිම් ලබන ස්ථරයකි. රාජපක්ෂ ආන්ඩුවේ සැලසුම් යටතේ මෙන් ම ප්‍රාදේශීය වතු සමාගම්වල කූටෝපායන් යටතේ, ඔවුන්ගේ සමාජ අයිතීන්වලට වැඩිදුර ප්‍රහාර එල්ලවීම්වලට මුහුන පෑමට වතු කම්කරුවන්ට සිදුවනු ඇත. වෘත්තීය සමිති රාජ්‍යයේ හා සංගතවල කාර්මික හා දේශපාලනික පොලීසියක් බවට පත් ව තිබේ.

Loading