“උත්සව සමයේ සංචරන සීමා පැනවීමට සිදුවෙතැ”යි හමුදාපති පවසයි: ආන්ඩුවේ “නව සාමාන්‍යයේ” ව්‍යාජභාවය එලිමහනට පැමිනීමක්

වසංගතය මනාව පාලනය කර ඇතිබව පෙන්වමින් “කොරෝනා සමග ජීවත්වීම” හෙවත් “නව සාමාන්‍යය” පූර්න පරිමානව ක්‍රියාත්මක කරන ආන්ඩුව, සංචරනයේ සහ සෞඛ්‍යාරක්ෂනයේ සීමා වඩවඩාත් ලිහිල් කරමින් සිටියදී, කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මර්තු 17 වනදා මාධ්‍යයට ප්‍රකාශ කලේ “එලඹෙන උත්සව සමය තුල අවශ්‍ය නම් සංචරන සීමා පනවන” බවයි.  

වසංගතය පාලනය කර ඇති බවට ආන්ඩුව ගෙන යන ප්‍රචාරයේ මූලික භූමිකාවක් ඉටු කරන සිල්වාගේ මෙම ප්‍රකායේ පවත්නා පරස්පරය මගින් පෙන්නුම් කෙරෙන්නේ ඕනෑම මොහොතක රෝගයේ බරපතල ව්‍යාප්තියක් ඇතිවීමට ඉඩකඩ ඇතිබව සහ ආන්ඩුව එය දැනුවත්ව මහජනතාවගෙන් වසන් කරන බවයි. 

රාජ්‍ය ආයතන සඳහා සම්පූර්න සේවක සංඛ්‍යාව කැඳවීම, පාසල් විවෘත කිරීම ඇතුලුව මහජනතාවන් වසංගතයට පූර්න ලෙස නිරාවරනය කරන පියවර මේ වසර මුල සිටම ක්‍රියාත්මක කිරීමෙන් පසුව උත්සව සමයේ පමනක් සංචරන සීමා පනවන බවට සිල්වා ප්‍රකාශ කරන්නේ, වසංගතයේ ව්‍යසනකාරී පුපුරායාමක් ඇතිවුවහොත්, කොවිඩ් මර්දන පියවරයන් මුලුමුනින් අත් හැරීම සම්බන්ධයෙන් ආන්ඩුවට එරෙහිව මතුවියහැකි විරෝධය වලක්වා ගැනීමේ අරමුනෙනි. 

බෙහෙවින් සීමා කෙරුනු පරීක්ෂන සහ වසන් කෙරුනු දත්ත යටතේ මේ වන විට රටතුල වාර්තාවන ආසාදිතයන් ගනන අනූදහසට ආසන්න වෙමින් පවතින අතර මරන සංඛ්‍යාව 537කි. දෛනිකව හමුවන ආසාදිතයන් සංඛ්‍යාව 900ක සිට 350ක පමන සාමාන්‍යය දක්වා පහල වැටී ඇත්තේ ආන්ඩුව හිතාමතාම පීසීආර් පරීක්ෂන මට්ටම පහල දැමීම හේතුවෙන් මිස වසංගතය පාලනය වී ඇති නිසා නොවේ.  පසුගිය සති දෙක තුල දෛනික පීසීආර් පරීක්ෂන සංඛ්‍යාව 11,000 කට පහල සාමාන්‍යයක පවැති අතර, මාර්තු 15 වනදා එය 7154ක් වැනි සොච්චම් අගයක් දක්වාම කඩා වැටුනි.  

කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදයන් ලංකාවද ඇතුලු ලොව පුරා රටවල වසංගත ව්‍යාප්තියේ නව නැග්මකට තර්ජනය කරද්දී, මෙවැනි ක්‍රමවේදයන් ආන්ඩුව අනුගමනය කරන්නේ වසංගතය රටෙන් තුරන්වන බවට ව්‍යාජ චිත්‍රයක් මවාපෑම සඳහාය. එවැනි ව්‍යාජයක් පවත්වා ගැනීම තුලින් ආර්ථිකය පූර්න වශයෙන් විවෘත කර, ධනපති ලාභෝත්පාදනය අබාධිතව ඉදිරියට ගෙනයනුවස්, කම්කරුවන් වැඩට දැක්කීම සඳහා පදනම් දමාගනියි. 

“නව සාමාන්‍යය” යටතේ කම්කරුවන් වැඩට දැක්කීමට ආන්ඩුව දරන උත්සාහයට ධනපති පුවත්පත් පූර්න පිටුබලය ලබා දෙයි. මාර්තු 10වනදා ලංකාදීප පුවත්පතේ කතුවැකියේ සඳහන් වන්නේ “අපේ රට කොරෝනා වසංගතයේ අඳුරු කඩතුරාව ටිකෙන් ටික ඉවත් කරගනිමින් සාමාන්‍ය ජීවිතයට හුරුපුරුදු වෙමින් සිටින” බවයි. 

කතුවරයා පවසන පරිදි “පසුගිය වසරේ මේ කාලයට වඩා දැන් පවතින්නේ අප කාටත් සතුටු විය හැකි තත්ත්වයකි”. සත්‍ය වශයෙන් නම් පසුගිය වසරේ මේ කාලය වන විට දෛනිකව වාර්තා වෙමින් තිබුනේ රෝගීන් 10කටත් අඩුවෙනි. එයින් වසරකට පසුව ඊට වඩා තිස්ගුනයකටත් වැඩි ආසාදිතයන් ප්‍රමානයක් සොයාගැනෙද්දී “තත්වය සතුටුදායක” බව ලංකාදීප කතුවරයා පවසන විට ඔහු යෝජනා කරන්නේ ජීවිත ගැන නොතකා ධනපති ලාභය වෙනුවෙන් වසංගතය මැද ජීවත්වීමට කාලය එලැඹ ඇති බවයි.

ධනපති ලාභය සුරක්ෂිත කර දීමේදී තීරනාත්මක වන පියවරක් සලකුනු කරමින් මාර්තු 15 වනදා ඒකාබද්ධ ඇඟලුම්  කර්මාන්ත හිමියන්ගේ සංගමයේ නියෝජිතයන් සමග පැවති සාකච්ඡවකදී ජනාධිපති රාජපක්ෂ සහතික වූයේ “වසංගත මර්දනය සඳහා පනවා ඇති සෞඛ්‍ය රෙගුලාසි ලිහිල් කර” රටේ ඇඟලුම් නිෂ්පාදන ඵලදායීතාව ඉහල නැංවීම සඳහා ආන්ඩුවේ පූර්න සහය ලබාදෙන” බවයි. තම නිෂ්පාදන ධාරිතාවන් ඉහල නැංවීම සඳහා කර්මාන්ත ශාලා තුල පවත්වාගෙන යන සෞඛ්‍ය රෙගුලාසි “අභියෝගයක්ව පවතින” බවට ඇඟලුම් කර්මාන්ත හිමියන් කල අවධාරනය පිලිගනිමින් රාජපක්ෂ මෙම පොරොන්දුව ලබා දුන්නේය. 

ඇඟලුම් ඇතුලු මෙරට සියලු කර්මාන්තශාලා දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින්නේ කම්කරුවන්ගේ ජීවිත නොතකා නිෂ්පාදනය අඛන්ඩව කරගෙන යාමට ආන්ඩුව විසින් හාම්පුතුන්ට ලබාදී ඇති අවසරය යටතේය. මෙම සාකච්ඡාවලින් හෙලිවන්නේ ධනපතියන්ගේ ඉල්ලීම පරිදි පවතින අවම සෞඛ්‍යාරක්ෂන සීමාකිරීම් පවා ඉවත්කිරීමට ආන්ඩුව එකඟතාවය පලකර ඇති බවයි. ආන්ඩුවේ මෙම මිනීමරු ප්‍රතිපත්ති හේතුවෙන් දැනටමත් බොහෝ කර්මාන්තශාලා වසංගතය පැතිරයාමේ තෝතැනි බවට පත්වී තිබේ.

දිවයින පුරා කර්මාන්තශාලා වලින් ආසාදිතයන් වාර්තාවීමේ සිද්ධීන්ගේ දීර්ඝ ලැයිස්තුවක ආසන්නතම එකක් ලෙස මාර්තු 14 වනදා මාතර මොරවක ප්‍රදේශයේ තේ කර්මාන්තශාලා සහ වෙලඳ සැල් ආශ්‍රිතව ආසාදිතයන් 51ක් සොයාගැනුනි. මාධ්‍ය වාර්තා කරන අන්දමට පසුගිය දිනක කටුනායන නිදහස් වෙලඳ කලාපයේ කර්මාන්තශාලාවකින් ආසාදිතයන් 63ක් වාර්තාවීමත් සමඟ එහි කර්මාන්තශාලා 51කින් ඊයේ වනවිට වාර්තාවන ආසාදිතයන් ගනන 1142කි.

එලඹෙන කාලපරිච්ඡේදයේදී වසංගතයේ තියුනු වැඩිවීමක් අපේක්ෂාකල හැකි බවට වසංගත මර්දන වැඩකටයුතු වල සැබෑ තත්වය පිලිබඳව වඩා සමීප අත්දැකීම් ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අතර උත්සුකතා මතුව ඇත. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකයින්ගේ සංගමයේ සභාපති උපුල් රෝහන මාර්තු 13වනදා ප්‍රකාශ කලේ “ආන්ඩුව සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව බුද්ධිමත් ලෙස ක්‍රියා නොකිරීම හේතුවෙන් මැයි, ජූනි මාස වන විට රට තුල විනාශකාරී තත්වයක් නිර්මානය කෙරෙමින් වසංගතයේ තෙවන රැල්ලක් ඇතිවීමේ අනතුරක් පවතින” බවයි. 

“වෛරසයේ නව ප්‍රභේදයන් සීඝ්‍රයෙන් පැතිරීම හේතුවෙන් බොහෝ රටවල්වල වසංගතය පාලනයක් යටතේ පවත්වාගැනීම අභියෝගයක් බවට පත්වී තිබෙන බව” ඔහු වැඩි දුරටත් සඳහන් කලේය.  

වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන්ගේ සංගමයේ නායකත්වය දරන රවී කුමුදේශ් මෙම කරුන සනාථ කලේ “ආන්ඩුව පීසීආර් පරීක්ෂන හිතාමතාම පහල දමන” බවට චෝදනා කරමිනි. “කොවිඩ්-19 රෝගීන් අඩුවෙමින් පවතින්නේය යන්නට පිලිගත හැකි හේතුවක් පෙනෙන්නට නැහැ. රෝගීන්ගේ ආශ්‍රිතයන් සොයායාම පවා මේ වනවිට අතහැර දමා තිබෙන බවක් පෙනෙනවා” යැයි පැවසූ ඔහු අනතුරු අඟවා සිටියේ මෙම පිලිවෙත් වල ප්‍රතිඵලය වනු ඇත්තේ “ආසාදනයන් ක්ෂනිකව වැඩිවීමක්” බවයි.    

අතිශය අක්‍රමවත් සහ සීමාසහිත ආකාරයකට පවත්වාගෙන යන එන්නත්කරන වැඩපිලිවෙල ආසාදිතයන් අඩුකිරීමට හේතුවී ඇති බව ආන්ඩුව විසින් හුවාදක්වනු ලබන්නේ සියලු සීමාකිරීම් ඉවත්කර කම්කරුවන් උපරිම ධාරිතාවයෙන් සේවයේ යෙදවීම සඳහා ප්‍රමානවත් ලෙස සෞඛ්‍යාරක්ෂාව සහතික කර ඇති බව මවාපෑම සඳහාය. එමගින් තම නිෂ්පාදන ඵලදායීතාවන් ඉහල නංවාගැනීමට කිසිදු බාධාවකින් තොරව උපරිම මට්ටමේ සූරාකෑමක් පවත්වාගෙන යාම සඳහා ධනපතියන්ට අවකාශ සලසාදීම ආන්ඩුවේ අරමුනයි. 

සමාජය තුල ප්‍රමානවත් ප්‍රතිශක්තිකරනයක් ඇතිවීමට නම් සමස්ත ජනගහනයෙන් සියයට 60 -70 අතර ප්‍රමානයක් එන්නත් කල යුතු බව විද්‍යාඥයන්   මේ වනවිට තහවුරු කරගෙන තිබේ. ලංකාවේ තවමත් එම අගය සියයට 5 ඉක්මවා නැත. එන්නත්කරනය සෞඛ්‍යාරක්ෂන පිලිවෙත් ඉවත්කිරීමට හේතුවක් නොවන බව වෛරස පිලිබඳ ශ්‍රී  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරීක්ෂන කන්ඩායමේ ප්‍රධාන උපදේශිකාවක වන මහාචාර්ය නීලිකා මලවිගේ පැහැදිලි කලාය. 

ඇය මාර්තු 17 වනදා ඩේලි මිරර් වෙත පවසා තිබුනේ “එන්නත විසින් රෝග ලක්ෂන නොපෙන්වා සිදුවන ආසාදනයන් නොවලක්වන නිසා එවැනි ආසාදිතයන්ට එන්නත ලැබුනත් ඔවුන්ගෙන් රෝගය ව්‍යාප්ත වන” බවයි. “මුඛ ආවරන පැලදීම සහ සමාජ දුරස්ථකරනය තවමත් අනිවාර්ය දේවල් ලෙස සැලකෙන්නේ ඒ නිසයි”, ඇය වැඩිදුර පැහැදිලි කලාය.

සෞඛ්‍යාරක්ෂන පිලිවෙත් අත්හැරීම දිරිමත් කරන අතරේ ඊට අනුපූරකව ලංකාව තුල ප්‍රජා පැතිරීමක් (community transmission) නොමැති බව තහවුරු කිරීමට ආන්ඩුව සෑම විටම උත්සාහ දරයි. ලංකාවේ මුල්පෙල චින්තන පර්ෂදයක් වන වෙරිටේ (Verite) ආයතනය ඊට අනුබද්ධිත ෆැක්ට්චෙක් (www.factcheck.lk) නම් වෙබ් අඩවියක් හරහා කල විමර්ශනයක දත්ත මෙම කරුන අභියෝගයට ලක් කලේය. 

වෙබ් අඩවිය තම විමර්ශනය සඳහා නිශ්චිතව ඉලක්ක කරගත්තේ සෞඛ්‍ය  අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුනවර්ධන පෙබරවාරි මාසයේ මුලදී කල ප්‍රකාශයකි. ඔහු පැවසුවේ ලංකාව තුල ප්‍රජා පැතිරීමක් පවතීනම් පරීක්ෂන සංඛ්‍යවත් සමගම වාර්තාවන ආසාදිතයන් ප්‍රමානය දැවැන්ත ලෙස ඉහල යායුතු බවත් ලංකාව තුල එවැන්නක් අත්දකින්නේ නැති බවත්ය. 

මෙහිදී ෆැක්ට්චෙක් වෙබ් අඩවිය අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව තර්ක කරමින් පෙන්වාදුන්නේ ප්‍රජා පැතිරීමක් ඇත්දැයි යන්න හඳුනාගැනීමේදී ප්‍රධාන වශයෙන් ඉවහල් වන, ආසාදනයකට පරීක්ෂන අනුපාතය (test-to-rate ratio) අනුව ලංකාව ප්‍රජා පැතිරීමක් පවතින රටක් ලෙස හඳුනාගත හැකි බවයි. 

ඒ මොහොත වන විට ලංකාවේ එම අනුපාතය 27.25ක් වූ අතර ප්‍රජා පැතිරීමක් ඇති බවට හඳුනා ගැනුනු රටවල එම අගයේ සාමාන්‍යයට ලංකාව ඉතා ආසන්නයේ සිටින බව විමර්ශන වාර්තාව හෙලිදරව් කලේය. ලංකාවට වඩා හොඳ මට්ටමක පරීක්ෂන ධාරිතාවක් සහිත ෆින්ලන්තය, හංගේරියාව සහ ලක්සම්බර්ග් වැනි රටවල්වල පවා ප්‍රජා පැතිරීමක් පවතින බවට තහවුරු කෙරී තිබියදී ලංකාව තුල එවැනි තත්වයක් නොපවතින්නේ යැයි පැවතීම අසත්‍යයක් බව වෙබ් අඩවිය තර්ක කරතිබේ. 

වසංගතය සමග ජීවත්වීමට පුරුදු වීම හෙවත් මිනීමරු “නව සාමාන්‍යය”ට අනුගත වන ලෙස ආන්ඩුව කම්කරු-පීඩිත මහජනතාවන්ට පීඩනය යොදන්නේ යතා තත්වය මේ සා පරිමානයෙන් අන්තරායකාරීව පවතිද්දීය. බස්නාහිර පලාතේ පාසල් වල ශ්‍රේනි කිහිපයක් හැරුනුකොට දිවයිනේ පාසල් සියල්ලම පාහේ ආන්ඩුව විසින් මේ වන විට විවෘත කර ඇත්තේ එම “නව සාමාන්‍යය” ක්‍රියාත්මක කිරීමේ එක් ප්‍රධාන පියවරක් ලෙසයි. 

අතිශය අවම සනීපාරක්ෂක පහසුකම් යටතේ ආන්ඩුව පාසල් පවත්වාගෙන යන අතර සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාවේ ප්‍රධාන වගකීම පටවා ඇත්තේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් මතයි. පාසල් විවෘත කිරීමේ අන්තරාය හෙලිදරව් කරමින් පසුගිය සාමාන්‍ය පෙල විභාගය අතරතුර ශිෂ්‍ය ශිෂ්‍යාවන් 60කට ආසන්න ප්‍රමානයකට රෝගය වැලඳී තිබූ අතර ඊයේ මැනික්හින්න ප්‍රදේශයේ උසස්පෙල ශ්‍රේනියේ ඉගෙනුම ලැබූ ආසාදිත සිසුවෙකු මියගියේය. 

කම්කරුවන් සහ පීඩිතයන් මේ සියලු වර්ධනයන් තුලින් වටහාගත යුත්තේ සමස්ත ධනපති පාලක පන්තියම සිය ලාභ උත්පාදන ක්‍රියාවලිය සඳහා කම්කරු පන්තිය බිල්ලට දීම සඳහා වඩාත් විවෘතව තීන්දු ගනිමින් සිටින බවයි.

Loading