ඉදිරිදර්ශන

කොවිඩ්-19 ගෝලීය නව රැල්ල නැවැත්වීම සඳහා හදිසි ක්‍රියා මාර්ගයක්!

[පහත පලවන්නේ අප්‍රේල් 6 දින An emergency program to stop the global new wave of COVID-19!  යන මාතෘකාවෙන් පලවූ ලෝසවෙඅ ජාත්‍යන්තර කතෘ මන්ඩල ප්‍රකාශයේ සිංහල පරිවර්තනයයි.]

පසුගිය මාස දෙක පුරා, රෝගයේ අනතුරුදායක හා මාරාන්තික ප්‍රභේදයන් ජනනය කරන ලද ලෝකයේ නව දෛනික කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව සියයට 60කටත් වැඩියෙන් ඉහල ගොස් ඇත. දැනට ආසන්න වසයෙන් 600,000ක් වන ගෝලීය දෛනික නව ආසාදන ගනන, වසංගතය ආරම්භයෙන් පසුව ලඟාවන ඉහල ම මට්ටම්වලට සති ගනනක් තුල එලඹෙනු ඇතැයි, මහජන සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති.

බොහෝ රටවල වර්තමාන තත්ත්වය ද එය යි. සෙනසුරාදා, ඉන්දියාවේ කොවිඩ්-19 නව දෛනික ආසාදන ගනන 100,000ට ලඟා වූ  අතර, එය, ආසාදනවල ඉහල ම අගය මෙන් ම 2021 ආරම්භයේ පටන් නව ගුනයක ඉහල යාමක් ද වේ.

ගුරුවරුන්ගේ වර්ජනයක් කරා යාමේ තර්ජනය මධ්‍යයේ, නගරය තුල රජයේ පාසල් යලි විවෘත කිරීමට විරෝධය පලකිරීම පිනිස පා ගමනින් යන නිව් යෝක් නගරයේ බෲක්ලින් කොට්ඨාශයේ ගුරුවරුන්, දෙමව්පියන් හා ලමුන්, 2020 සැප්තැම්බර් 1 අඟහරුවාදා. (ඒපී ඡායාරූප/මාක් ලෙනිහාන්)

පසුගිය ඉරිදා වාර්තාගත 60,922ක නව දෛනික ආසාදිතයන් ගනනක් ප්‍රංශයෙන් හමුවිය. මාස ගනනක් තුල හත් ගුනයක ඉහල යාමක් වාර්තා කල තුර්කියෙන් ආසාදන 41,000ක් වාර්තා වුනි. යුක්‍රේනයේ සෑම දිනක ම පුද්ගලයන් 400ට අධික පිරිසක් මිය යන අතර, එන්නතේ පලමු මාත්‍රාව ලබා දී ඇත්තේ, මිලියන 40ක ජනගහනයෙන් යන්තම් 250,000කට පමනි. පෝලන්තයේ වර්තමාන ආසාදන සංඛ්‍යාව, වසංගතය ආරම්භයේ දීට වඩා 60 ගුනයකින් වැඩි ය. 

නැගෙනහිර යුරෝපය පුරා රෝහල් පිරී ඇති අතර, ජර්මනියේ හා ප්‍රන්සයේ සෞඛ්‍ය විශේෂඥයෝ, ඔවුන්ගේ සෞඛ්‍ය පද්ධතීන් සති කිහිපයක් ඇතුලත සම්පූර්නයෙන් ඉතිරී යනු ඇතැයි අනතුරු අඟවති. දිනකට ආසන්න වසයෙන් මරන 3,000ක් සිදු වන බ්‍රසීලයේ, රෝහල් හා මෘත ශරීරාගාර පිටාර ගලමින් තිබෙද්දී, අලුතින් ජීවිතක්ෂයට පත්වූවන්ට ඉඩ දීම සඳහා මල සිරුරු සොහොන්වලින් ගොඩගනු ලැබෙමින් පවතී. 

එක්සත් ජනපදයේ මැද බටහිර ප්‍රදේශ නව ආසාදන බහුල වසයෙන් දැක ගනිමින් සිටින්නේ, එක්සත් ජනපද මෝටර් රථ කර්මාන්තයේ හදවත වන මිචිගන්, වසංගතය ආරම්භයේ පටන් නරක ම දෛනික ආසාදන ගනන් කරා ලඟාවෙමින් සිටිය දී ය. 

ආසාදන ඉහල යාමට බොහෝ සෙයින් ගාමකය සපයනු ලබන්නේ, මීට පෙර පැවති ප්‍රභේදයන්ට වෙනස්ව තරුන ජනයා මත විසමානුපාතික ලෙස බලපාන, රෝගයේ නව ප්‍රභේදයන් විසිනි. මිචිගන් ප්‍රාන්තය විසින් ප්‍රසිද්ධ කරන ලද සංඛ්‍යා ලේඛනවලට අනුව, ප්‍රාන්තයේ ප්‍රධාන පැතිර යාම්වලින් සියයට 40ටත් අධික ප්‍රමානයක් කේන්ද්‍රගත වී ඇත්තේ, පාසල්, ලමා සුරැකුම් ස්ථාන සහ උසස් අධ්‍යාපන ආයතන තුල ය.

“අප තවමත් සිටින්නේ මෙම රෝග ව්‍යාප්තිය ඉහල යාමේ මුල් අදියරේ, එය ප්‍රතික්ෂේප කිරීම අපට අහිතකර යි” යි ආසාදිත රෝග විශේෂඥ මයිකල් ඊස්ටර්හෝම් අනතුරු ඇඟවී ය. “මෙම වෛරස් රාක්ෂයා මෙහි සිටින බව නො දැන, අප උගේ මුඛය තුලට ඇවිදිමින් සිටිනවා, ඒත් එම රාක්ෂයා මෙහි ඉන්නවා. රෝගය සම්ප්‍රේෂනය වීමට පාර කපනවා වෙනුවට එය මන්දනය කිරීම සඳහා අප කල යුතු සියල්ල කිරීමට දැන් කාලය එලඹ තිබෙනවා” යි ඔහු වැඩි දුරටත් පැවසී ය.

එහෙත් රෝගය මැඩ පැවැත්වීමට ගන්නා සියලු පියවරයන් අතහැරීමේ උත්සාහයන් වේගවත් කරමින්,ලොව පුරා ආන්ඩු කරමින් සිටින්නේ, ඉහත යෝජනා කල දෙයෙහි ඍජු ප්‍රතිවිරුද්ධය යි.එක්සත් ජනපදයේ බයිඩන් පරිපාලනය, පාසල් යලි විවෘත කිරීමේ ධාවනයට නායකත්වය දෙන අතර, පසුගිය සතියේ පමනක් වොෂින්ටන්, මැසචුසෙට්ස් හා ඔහියෝ ප්‍රාන්තවල ආන්ඩුකාරවරු පාසල් යලි විවෘත කිරීමේ පියවරයන් නිවෙදනය කල හ.

රෝගය පාලනය කිරීම පිනිස ව්‍යාපාර වසා දැමීම ප්‍රතික්ෂේප කරමින්, “අපට තිබෙන්නේ වෛරසය සමග ජීවත් වීමයි” යි ප්‍රන්ස ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් පසුගිය සති අන්තයේ අවධාරනය කලේ ය. රෝගය නැවැත්වීම සඳහා ගන්නා පියවරයන් “ආර්ථිකය මත ඇති කරන විපාක පිලිබඳ සලකා බැලීම” සමාජය විසින් කල යුතු යයි මැක්රොන් කීවේ ය.

මැක්රොන් පැහැදිලි කරමින් සිටියේ, යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ සෑම රටක් ම වසංගතයට දක්වන ප්‍රතිචාරය මෙහෙයවා ඇති මූලධර්මය යි. කොවිඩ්-19 තුරන් කිරීමට අවශ්‍ය මහජන සෞඛ්‍ය පියවරයන් ක්‍රියාවට දමනවා වෙනුවට, ධනපති ආන්ඩු මුල පටන් ම මහජනයා “වෛරසය සමග ජීවත් වීමට” ඉඩ හැරීමට තීරනය කලේ, එය නැවැත්වීමට අවශ්‍ය පියවරයන් ගැනීම, ප්‍රධාන සංගතයන්ගේ ලාභ සමග ඝට්ටනය වනු ඇති බැවිනි.

වසංගතයට පැතිරීමට ඉඩ හැරීම “රංචු ප්‍රතිශක්තිය” ජනනය කරනු ඇති බවට, මෙම පිලිවෙතේ ආරක්ෂකයන් තර්ක කොට ඇත. එන්නත ද සමගින් ප්‍රමානවත් ජනකායක් ආසාදනයට බඳුන් වූ විට, රෝගය තෙමේ ම දූරීභූත වනු ඇතැයි ඔවුහු ප්‍රකාශ කරති.

මෙම පිලිවෙත ව්‍යසනයකට මග පාදා ඇත. අපාලිතව රෝගයට පැතිරීමට ඉඩ දීම, රෝගය ස්වයංක්‍රීයව අතුරුදන් වීමට හේතු වනු ඇතැයි කියාපාන ලදී. ඒ වෙනුවට එය හේතුභූත වී ඇත්තේ, කොවිඩ්-19 වෛරසයේ නව, වඩා දරුනු හා වඩා මාරාන්තික ප්‍රභේදයන් නිර්මානය වීමට යි. මහජනයා යලි ආසාදනයට බඳුන් වීමට නිරාවරනය කිරීමට අමතරව, නව ප්‍රභේදයන් අඩු තරමින් සමහර එන්නත්වල සඵලදායකත්වය පාර්ශවීය වසයෙන් පහත හෙලා ඇත්තේ, කොවිඩ්-19 මර්දනය කිරීම සඳහා වඩාත් ඉඩ ඇති ප්‍රහාරකයන්ගෙන් එකක් නාස්ති කර දමමිනි.

වෛරසය පැතිරීම හා තවත් මිලියන ගනන් මරනයට පත්වීම නැවැත්වීමට හදිසි පියවරයන් අවශ්‍ය වේ! හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පහත දැක්වෙන හදිසි ක්‍රියාවන් ඉල්ලා සිටී:

* රෝගය පාලනය යටතට ගෙනෙන තෙක්, අත්‍යවශ්‍ය නො වන සියලු නිෂ්පාදන වහා ම අත්හිටුවිය යුතු ය. මූලික සමාජීය යටිතල පහසුකම්වලට ඍජු ව සම්බන්ධ නො වන නිෂ්පාදන මෙන් ම සියලු අත්‍යවශ්‍ය නොවන සිල්ලර වෙලඳාම් හා පුද්ගල සහභාගිත්වය සහිත ආහාර සේවා මෙයට අයත් ය. 2020 මාර්තු මාසයේ ක්‍රියාවට දමන ලද පාර්ශවීය අගුලු දැමීම්වලට වෙනස්ව, අත්‍යවශ්‍ය නො වන නිෂ්පාදනය අත්හිටුවීම සම්පූර්න එකක් විය යුතු අතර, මහජන සෞඛ්‍ය උපදේශනයන් උල්ලංඝනය කරන සංගත විධායකයන් සිරගත කල යුතු ය. දුරස්ථ ව සිටිමින් කරන වැඩ සඳහා සියලු කම්කරුවන්ට සියයට 100ක වැටුප් ගෙවිය යුතු අතර, දුරස්ථව වැඩ කිරීම කල නො හැකි විට, ඔවුන් නිවාඩු ගන්නා සමස්ත කාලය සඳහා සම්පූර්න වන්දි ගෙවීම් කිරීම අවශ්‍ය වේ.   

අත්‍යවශ්‍ය නො වන නිෂ්පාදනය නැවැත්වීම හේතුවෙන් ස්වයං-රැකියාවල නියුක්ත වෙලෙන්දන්, වෙලඳ ගැහැනුන්, කොන්ත්‍රාත්කරුවන් සහ කුඩා ව්‍යාපාර හිමියන්ට සිදුවන සියලු ආදායම් අහිමිවීම් සඳහා, පූර්න වන්දි ලැබිය යුතු ය.

* කායික ව සිසුන් සහභාගි වන අධ්‍යාපනය වහා ම මුලුමනින් නතර කොට, ඒ වෙනුවට දුරස්ථ උපදේශන අධ්‍යාපනය ලබා දිය යුතු ය. සෑම දරුවෙකුට හා යෞවනයෙකුට ම නවීන ලැප්ටොප් හා අධිවේගී අන්තර්ජාල සේවා සමගින්, ආරක්ෂිත, ඉඩකඩ සහිත, සුවපහසු ඉගෙන ගැනීමේ පරිසරයක් නිවසේ දී සම්පාදනය කරනු ලැබීමට, ඩොලර් බිලියන ගනන් වෙන් කරනු ලැබිය යුතු ය.

* මහජන සෞඛ්‍ය පද්ධතිය මහා පරිමානයෙන් ප්‍රසාරනය කොට, මහජන සෞඛ්‍ය සම්බන්ධීකාරකයන් දසදහස් ගනනක් බඳවා ගනු ලැබිය යුතු ය. කොවිඩ්-19 තුරන් කිරීමේ අර්ථය වන්නේ සෑම ආසාදනයකට හා නිරාවරනය වීමකට ම හදිසි ලෙස සලකා ප්‍රතිකාර කල යුතු බව ය. රෝගය ආසාදනය වූ හෝ එයට නිරාවරනය වූ සෑම කෙනෙකුට ම, ඔවුන්ගේ රෝග ලක්ෂන අධීක්ෂනය කල හැකි හා අනෙකුත් අයට ආසාදනය නො කොට සුරක්ෂිත නිරෝධානයට ලක්වීමට උදව් කල හැකි, මහජන සෞඛ්‍ය කාර්ය මන්ඩලය, හෙදහෙදියන් හා වෛද්‍යවරුන් වෙත ක්ෂනිකව හා නිසි වේලාවට ප්‍රවේශය ලැබිය යුතු ය.

* ගෝලීය එන්නත්කරන වැඩසටහනක් නිර්මානය කිරීම  පිනිස ඩොලර් ට්‍රිලියන ගනන් වෙන් කරනු ලැබිය යුතු ය. සමස්ත ලෝකය ආරක්ෂා කිරීමේ වරම සහිතව එන්නත් බෙදාහැරීම විද්‍යාඥයින් හා සෞඛ්‍ය විශේෂඥයින් විසින් පාලනය කරනු ලැබිය යුතුය. එකිනෙකා සමග තරඟ වදින ධනපති පාලක ප්‍රභූන්ගේ භූ-දේශපාලනික අවශ්‍යතාවන්ට එය යටත් කරනු නො ලැබිය යුතු ය.

වසංගතය සහ පාලක පන්තිය එයට දක්වා ඇති ප්‍රතිචාරය පිලිබඳ ශේෂ පත්‍රයක් අඳිමින් මාස අටකට පෙර පැවති සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදය) සම්මේලනය යෝජනාවක්  සම්මත කලේය. වසංගතය පලමු ලෝක යුද්ධයෙහි පුපුරා යාම සමග සන්සන්දනය කරමින් එම යෝජනාව මෙසේ සඳහන් කලේ ය: “පලමුවන ලෝක සංග්‍රාමය ආරම්භ වූ විට, එය සාපේක්ෂව ඉක්මනින් අවසන් වනු ඇතැයි සියලු යුදවාදීන් සිතා සිටියහ. කෙසේ වෙතත්, ගැටුම වසරින් වසර ඉදිරියට ඇදී ගියේ, ආන්ඩුවල ප්‍රතිපත්ති නියම කල ධනවාදී පාලක ප්‍රභූන්, ගැටුම තුල සිය භූ-මූලෝපායික අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීම සඳහා මිලියන සංඛ්‍යාත කම්කරුවන්ගේ ජීවිත බිලිදීම, සාධාරන පිරිවැයක් ලෙස සැලකූ බැවිනි”.

දැන් වසංගතය ඇරඹී මාස 14ක් ගත වී ඇති තැන, ව්‍යසනය හුදෙක් අඛන්ඩ ව පවතිනවා පමනක් නොව, එය තීව්‍ර වෙමින් ද තිබේ. පාලක ප්‍රභූන්ගේ ප්‍රචාරනයේ ආනුභාවයට ලක්වූ ලොව පුරා කම්කරුවන්ට, “තාවකාලික සහනයක්” අවශ්‍ය විය හැකි ව තිබුනත්, එවැනි සහනයක් නැත. මෙයට හේතු වන්නේ, ඇදී යන මනුෂ්‍ය ඝාතනය නැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීමට පාලක පන්තිය අකැමති වීම යි.

වසංගතයට එරෙහි සටන සරල වෛද්‍ය විද්‍යාමය ගැටලුවක් නොවේ. එයට, ධනපති පද්ධතියට එරෙහිව කම්කරු පන්තියේ දේශපාලන අරගලයක් අවශ්‍ය වේ. 

වසංගතය නැවැත්වීමට අවශ්‍ය පියවරයන්ට, ධනපති කතිපයාධිකාරයේ ධනය මතට මුහුනට මුහුන ප්‍රහාරයක් හරහා මුදල් සොයාගනු ලැබිය යුතු ය. 2020 මාර්තුවේ පටන්, එක්සත් ජනපදයෙහි බිලියනපතියන්ගේ ධනය සියයට 44කින් නොහොත් ඩොලර් ට්‍රිලියන 1.3කින් ඉහල ගොස් ඇති අතර, සෑම ධනපති රටක් තුල ම, ඒ හා සමාන ධනය සමුච්ඡනය කිරීමේ සාද පැවැත්වේ.

මෙම ධනය පැහැරගෙන, වසංගතය පාලනය කිරීම පිනිස යොදවනු ලැබිය යුතු ය. ආර්ථික ජීවිතය පාලනය කරන යෝධ සංගතයන්, පුද්ගලික ලාභය වෙනුවට සමාජ අවශ්‍යතාවේ, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ හා තාර්කික සැලසුමේ පදනම මත ධාවනය කරනු ලබන, මහජන පාලිත ව්‍යවසායයන් බවට පරිවර්තනය කරනු ලැබිය යුතු ය.

සියල්ලට ඉහලින්, මහජන සෞඛ්‍යයේ අවශ්‍යතාවන්ට අනුව වසංගතයට ප්‍රතිචාර දැක්වීමට, ගෝලීය සැලසුමක් හා ගෝලීය සම්බන්ධීකරනයක් අවශ්‍ය ය.

කම්කරු සහයෝගිතාවේ පැරනි සටන් පාඨය හඳුනාගත් පරිදි, එක් අයෙකුට සිදුවන පීඩාවක් සෑම දෙනාට ම සිදුවන පීඩාවකි. වසංගතය පිලිබඳ සිද්ධියේ දී, එක් රටකට සිදුවන පිඩාවක්, සමස්ත භූගෝලයට ම සිදුවන පිඩාවකි. රෝග පරිසරවිද්‍යාඥ පීටර් ඩැසැක් සඳහන් කර ඇති පරිදි “වෛරසයන් ජාතික දේශසීමා පිලිබඳ ව සිතන්නේ නැත.”

එහෙත් ගෝලීය ප්‍රවිෂ්ටයක් සෑම ලක්ෂ්‍යයක දී ම, ආවේනික තරඟකාරී ජාතික-රාජ්‍ය අවශ්‍යතා හේතුවෙන්, ජාත්‍යන්තර සම්බන්ධීකරනයක් සඳහා අසමත් ධනවාදී ජාතික-රාජ්‍ය පද්ධතිය සමග ගැටේ. දැනටමත් මුල් අදියරේ එන්නත්කරනයන් ධනපති ආන්ඩුවල උත්සහයන් විසින් කඩාකප්පල් කෙරී ඇත්තේ සියල්ලන්ටම ඉහලින් එක්සත් ජනපදය තම ප්‍රතිමල්ලවයන්ට එරෙහිව සිය භූ-දේශපාලනික අවශ්‍යතා ඉදිරියට දැමීම සඳහා ජීවිත සුරකින ප්‍රතිකාරයන් මත පාලනය ලිහිල් කරමිනි.

වෙනස් පන්ති දෙකක අවශ්‍යතා නියෝජනය කරන, වෙනස් ගමන් පථයන් දෙකක් වසංගතයෙන් ඉස්මතු වේ. පාලක පන්තියෙහි පිලිවෙතේ අර්ථය වන්නේ, වසංගතය ද සමග එහි මහා පරිමාන මරන හා සමාජ ව්‍යසනය සමග අඛන්ඩ ව පැවතීම යි.

අනෙක් පසින්, කම්කරු-පන්තික කැලඹීමේ වැඩෙන රැල්ලක් වසංගතය විසින් දැනට මත් නිපදවමින් තිබෙන අතර, ගෝලීය පරිමානයකින් පන්ති අරගලය පුපුරා යාමේ ආරම්භක ප්‍රකාශනය වන්නේ එයයි. මෙම අරගලවල තර්කනය කම්කරු පන්තිය බලය ගැනීමේ, පොහොසතුන්ගේ ධනය අස්වාමික කිරීමේ සහ සියලු සමාජ හා ආර්ථික ජීවිතය ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාව ඉස්මතු කරයි.

සැබෑ ලෙස ජාත්‍යන්තර පන්තිය වන්නේ කම්කරු පන්තිය යි. ගෝලීය නිෂ්පාදන ක්‍රියාවලියෙන් එකමුතු වී ඇති සෑම රටක ම කම්කරුවෝ, එක හා සමාන අවශ්‍යතා බෙදා හදා ගනිති. කතිපයාධිකාරීන්ගේ ලාභ අවශ්‍යතා වෙනුවට, මහජන සෞඛ්‍ය අවශ්‍යතාවන් විසින් විධානය කරන ජාත්‍යන්තර ව සම්බන්ධීකෘත ප්‍රතිචාරයකින් ගෝලීය වසංගතයට පිලිතුරු දිය හැක්කේ කම්කරු පන්තියේ මැදිහත් වීම හරහා පමනි.

කම්කරු පන්තියේ වෛෂයික ව්‍යාපාරය, සමාජවාදය සඳහා අරගල කරන සවිඥානික හා විප්ලවවාදී අරගලයක් බවට වර්ධනය කිරීමට විප්ලවවාදී නායකත්වයක්, එනම්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා එහි ජාතික ශාඛා වන සමාජවාදී සමානතා පක්ෂ ගොඩනැගීම අවශ්‍ය කරයි. 

Loading