නොනවතින විප්ලවය: ප්‍රතිඵල හා සක්‍යතා (1906) සිංහල පරිවර්තනයේ පෙරවදන

ලියොන් ට්‍රොට්ස්කි 1905 රුසියානු විප්ලවයේ පාඩම් උකහා ගනිමින් නොනවතින විප්ලව න්‍යාය විස්තාරනය කිරීමට සිදු කල ප්‍රධාන න්‍යායික ප්‍රතිපදානයක් වන නොනවතින විප්ලවය: ප්‍රතිඵල සහ සක්‍යතා කෘතිය ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රධාන ලේකම් විජේ ඩයස් විසින් පරිවර්තනය කරනු ලැබ කම්කරු මාවත ප්‍රකාශනයක් ලෙස පල කරනු ලැබ ඇත. පහතින් පල කෙරෙන්නේ සිංහල පරිවර්තනයට විජේ ඩයස් විසින් ලියනු ලැබූ පෙරවදනයි. මෙම පරිවර්තය මිල දී ගැනීම් සම්බන්ධ විමසීම් සඳහා අප වෙත විද්‍යුත් ලිපියක් එවන්න; නැතිනම් 0773562327 දුරකථනය අමතන්න.

***

නොනවතින විප්ලව න්‍යායෙහි - ප්‍රජාතන්ත්‍ර විප්ලවය, සමාජවාදී විප්ලවය කරා නොනැවතී දිගේලි වීම පිලිබඳ න්‍යායෙහි - ඉතිහාසය මාක්ස් හා එංගල්ස් දක්වාම විහිදෙන්නකි. එම න්‍යාය, මාක්වාදයට ට්‍රොට්ස්කි විසින් එකතු කරන ලද විකෘතියක් බවට, විද්‍යාත්මක සමාජවාදයේ ඝාතක ජෝසප් ස්ටාලින් හා ඔහුගේ කූට ප්‍රතිගාමී අනුගාමිකයන් විසින් මුදාහල ප්‍රලාපය, මේ ඉතිහාසය මගින් කීතු කර දැමෙයි.

දහනමවන සියවස මැද භාගය වනවිට යුරෝපය තුල සමාජ සම්බන්ධතාවන්හි ඇති කෙරී පැවති ප්‍රගාඪ වෙනස්කම් හේතුකොට, අන් සියල්ලටමත් වඩා වර්ධනය වෙමින් පැවති ධනේශ්වර ක්‍රමය තුල පාලක පන්තියට අභියෝග කල හැකි තරමින් කම්කරු පන්තියක් වැඩී ඒම හේතු කොට, ධනපති පන්තිය, ප්‍රජාතන්ත්‍රීය විප්ලවීය කාර්යභාරයන්ගෙන් ඉවත හැරුනේය. එම කාර්යභාරයන්ට දැන් උරදෙනු හැකි එකම පන්තිය ලෙස මතු වූයේ කම්කරු පන්තියයි.

කම්කරු පන්තිය ප්‍රජාතන්ත්‍රීය විප්ලවයේ කාර්යභාරයන් ඉටු කිරීමේ සමාජ බලවේගය ලෙස දේශපාලන කරලියට අවතීර්න වීම මගින්, එම පන්තිය හුදෙක් ප්‍රජාතන්ත්‍රීය කාර්යයන් ඉටුකර, දේශපාලන කරලිය යලි ධනපති පන්තිය අතට භාර දීමක් අපේක්ෂා කරනු නොහැකිය. එවැන්නක් නිසැකවම, ඓතිහාසික විරෝධී සන්සිද්ධියක් වන්නේය.

ප්‍රජාතන්ත්‍රීය කාර්යභාරයන් ඉටුකිරීමේ විප්ලවීය අරගලයෙහි නායකත්වය භාර ගන්නා කම්කරු පන්තිය, ඒ සඳහා තමන් අතට රාජ්‍ය බලය ගැනීමක් වලකනු හැක්කේ ලේ වැකි ප්‍රතිවිප්ලවයකින් පමනි. ප්‍රජාතන්ත්‍රීය කාර්යභාරයන් ඉටු කිරීමෙන් පලා යන ධනපති පාලක පන්තිය, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් මගින්, එම කර්තව්‍යයන් ඉටු කිරීම කෙරෙහි පරම සතුරුභාවයක් දක්වන්නේ මේ නිසාය.

සියලු පන්ති සම්මුතිවාදී, ප්‍රතිසංස්කරනවාදී හා ව්‍යාජ වාම සංවිධාන විසින් ඉටුකරනු ලබන්නේ ඊට අවශ්‍ය ආවතේව කටයුතු මගින් බලය ප්‍රතිගාමීත්වය අතට පත් කරදීමය.

ප්‍රජාතන්ත්‍රීය කර්තව්‍යයන් ඉටු කිරීමට ඉදිරිපත්වන කම්කරු පන්තියට, තම නායකත්වය යටතේ, ප්‍රජාතන්ත්‍රීය අයිතීන් අහිමි කරනු ලැබ සිටින ගොවි ජනතාව, පීඩිත ජන කන්ඩායම් හා රැකියා විරහිතයන් හා තරුනයන් පෙල ගස්වා ගැනීමේ හා විප්ලවය සඳහා බලමුලුගන්වා ගැනීමේ පූර්න අවකාශය විවෘත වෙයි. මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය එකමුතුභාවයට පරම ලෙස සතුරු වන ධනපති පන්තිය, තම පන්ති යුද්ධය සඳහා වාර්ගික, ආගමික හා කුලවාදී සියලු භේදකාරී විෂ මුදා හරිමින් කම්කරු පන්තියට එරෙහිව අවි අමෝරාගෙන කඩා පනින්නේ මේ හෙයිනි.

කම්කරු පන්තිය අභිමුව පවතින මේ ප්‍රතිගාමී අභියෝගය හමුවේ ය, එම පන්තියට, ධනපති පන්තියේ නන් පැහැ ගැන්වී ගත් සියලු කොටස්වලින්, තම දේශපාලනික ස්වාධීනත්වය තහවුරු කර ගැනීම අතිශයින්ම තීරනාත්මක වන්නේ. මෙය කම්කරු පන්තියට සාක්ෂාත් කර ගනු හැක්කේ තමන්ගේම ස්වාධීන විප්ලවවාදී දේශපාලන පක්ෂය ගොඩනගා ගැනීමෙනි.

1850 දී ජර්මානු කම්කරු පන්තියේ කර්තව්‍යයන් පැහැදිලි කර දෙමින්, මාක්ස් හා එංගල්ස් නිකුත් කල “කොමියුනිස් ලීගයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රකාශයෙහි” මේ විප්ලවවාදී ආස්ථානය සටහන් කලේ මෙසේය: ජර්මානු කම්කරු පන්තිය, සිය විප්ලවීය කාර්යභාරය ඉටු කරනු වස් සූදානම් විය යුත්තේ, “හැකිතාක් ඉක්මනින් තමන්ගේ ස්වාධීන දේශපාලන ආස්ථානය ස්ථාපිත කර ගැනීමෙනි. එය කල හැක්කේ, ස්වාධීනව සංවිධානය වූ කම්කරු පන්තියේ පක්ෂයක අවශ්‍යතාව, එක මිනිත්තුවකට පවා සැක කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී සුලු ධනේශ්වරයේ දෙපිට කාට්ටු වාක්‍ය වලින් කෙරෙන නොමග යැවීම් වලට ඉඩක් නොදෙමිනි, කම්කරු පන්තියේ යුද කාහලය විය යුත්තේ: නොනවතින විප්ලවය! යන්නයි. (1850 මාක්ස් සහ එංගල්ස්)

කිසිදු දෙගිඩියාවකට ඉඩ නොතබා, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය ස්ථාපිත කර ගනිමින් සමාජවාදී වැඩ පිලිවෙල ක්‍රියාවට දමන කම්කරු පන්තියේ රාජ්‍ය බලය ගොඩ නැගීම සඳහා, එම පන්ති ව්‍යාපාරයට නායකත්වය සම්පාදනයට කැපවීම නිසා, මාක්ස්වාදය වෙත එල්ල කෙරෙන සතුරු ප්‍රහාර මාලාවකට දොර විවෘත කෙරුනේය. සියලු තත්වාරක්ෂක ව්‍යාපාරවල අරමුන වූ, පවත්නා ධනේශ්වර ක්‍රමය ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවූ සියල්ලෝ එම ප්‍රතිගාමී කාර්යයට කරදී පෙල ගැසුනාහ. ධනේශ්වර ක්‍රමය ගෝලීය පරිමානවම පෙරලා දැමෙන තුරුම නතර නොවනු ඇති මේ ප්‍රහාර, ධනපති ක්‍රමය මුහුන දෙන වර්තමාන මාරාන්තික අර්බුදයේ කොන්දේසි යටතේ වඩාත් විසකුරු වෙස් ගන්වනු ලැබ පවතී.

මාක්ස්වාදී න්‍යායේ නිවැරදිභාවය හා වලංගුභාවය එයින් අහෝසි වන්නේ නැත. 1917 රුසියානු ඔක්තෝබර් විප්ලවයේ ඉදිරි දර්ශනය වූ ලෝක සමාජවාදය තහවුරු කිරීම, අධිරාජ්‍යවාදී ලෝක පද්ධතියට අනුගත කිරීම සඳහා කෙලෙසා ඉවත ලූ ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය විසින්, සෝවියට් සමූහාන්ඩුව තුල පමනක් නොව ජාත්‍යන්තර පරිමානව දියත් කරන ලද සංහාර මාලාවකින් පවා, අතු ගා දමනු නොහැකිවූ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ජීවමාන පැවැත්ම පමනක් නොව පෙර නුවූ විරූ වර්ධනය ඉහත කී කරුනට සාක්ෂි වන්නේය.

ට්‍රොට්ස්කි හා ට්‍රොට්ස්කිවාදීන් දඩයම් කිරීමටත් ඝාතනය කිරීමටත් පසුබිම සකසා ගනු වස් ස්ටැලින්වාදීන් විසින් (එහිම අංශයක් වූ මාඕවාදීන් විසින් ද) යහමින් යොදා ගත් කුතර්කයක් වූයේ, නොනවතින විප්ලව න්‍යාය හා ලෙනින්වාදය අතර වෙනසක් හා විරසකයක් මවා පෑමය. ඒ ගැන ද මෙහිලා වචනයක් සඳහන් කිරීම අවශ්‍යයැයි සිතමි.

කම්කරු පන්ති විප්ලවයේ නොනවතින ස්වභාවය ගැන ලෙනින්ට කවර හෝ කුකුසක් පැවතියේ නැත යන්න, ඔහුගේ ලියවිලි අසංඛ්‍ය ප්‍රමානයකින් උපුටා දැක්වීම ගෙනහැර පාමින් සනාථ කල හැකි කරුනකි. එහෙත් මෙහි ඉඩ අවකාශ සලකා එක් උපුටනයක් පමනක් දක්වනු ලැබේ.

ලෙනින්, විප්ලවයේ නොනවතින ස්වභාවය ගැන කොතෙකුත් සඳහන් කර ඇතත්, බොහෝ තැනක ඊට යොදා ඇති වචනය අඛන්ඩ යන්නය. රුසියානු භාෂාවෙහි නොනවතින හා අඛන්ඩ යන පද සමානවාචී වූයේය යන්න එම භාෂාව ගැන හදාරා ඇති අය දන්නා කරුනකි.

“නොනවතින විප්ලවයේ සාක්ෂිකරුවෝ” යන නමින් පිටු 520 ක කෘතියක් සම්පාදනය කල රිචඩ් බී. ඩේ සහ ඩැනියල් ගයිඩෝ යන ශාස්ත්‍රාලිකයන් දෙදෙනාගේ පොතෙහි, 449 වැනි පිටුවෙහිදී, මේ ගැටලුව නිරාකරනය කර දී ඇත.

“මේ විවාදය ගැන ඇති කර ගත හැකි අවබෝධය කුමක්ද? සරල පිලිතුර වන්නේ, රුසියානු භාෂාවෙහි නොනවතින විප්ලවය සහ අඛන්ඩ විප්ලවය යනු සමානවාචී පද වෙතියි යන්නයි. එකම වෙනස වන්නේ අඛන්ඩ යන්න වඩාත් රුසියානු හුරුවක් ඇති වචනය වීම සහ ස්වදේශීය ව්‍යවහාරයේදී හා එදිනෙදා බස් වහරේදී වඩාත් යොදා ගැනෙන වචනය එය වීමයි.”

වචන පිලිබඳ ප්‍රශ්නය මෙසේ විසඳා ගත් කල දැන්, කේන්ද්‍රීය කරුනට අවධානය යොමු කල හැකිය.

1905 දී ලෙනින්, “ගොවි ජනතාව සම්බන්ධයෙන් සමාජ-ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ ආකල්පය” යන මැයෙන් පලකල ලිපියෙහි සඳහන් කල අදහස මෙසේයි: “ප්‍රජානත්ත්‍රීය විප්ලවයේ සිට එක්වරම, සුවිශේෂව අපගේ ශක්ති ප්‍රමානය අනුව එනම්, පන්ති විඥානයෙන් යුතු හා සංවිධානගත වූ කම්කරු පන්තියේ ශක්තිය අනුව, අපි සමාජවාදී විප්ලවය කරා යොමු විය යුත්තෙමු. අප පෙනී සිටින්නේ අඛන්ඩ විප්ලවය උදෙසාය. අප අඩ දුරකදී නතරවන්නේ නැත.” ප්‍රජාතන්ත්‍රීය කාර්යභාරයන් විසඳීමෙන් නොනැවතී සමාජවාදී වැඩ පිලිවෙල ක්‍රියාවට නැගීමේ කර්තව්‍යයට උරදී ගැනීම පිලිබඳව ලෙනින්ට, දෙගිඩියාවක් පැවතියේ නැති බව මින් පැහැදිලිය.

එසේම, රුසියාවේ විප්ලවයෙහි මුල් අවධියේ දී ස්ථාපිත කෙරෙන රාජ්‍යයේ ස්වරූපය, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඒකාධිපතිත්වය ලෙස දක්වන ලද්දේ වුවද, ලෙනින්, එම රාජ්‍යය යටතේ ඉටු කෙරෙන විප්ලවවාදී කර්තව්‍යයන් සම්බන්ධයෙන් අවධීන් දෙකක් වෙන්කොට දැක්වූයේ නැත. එම විප්ලවවාදී පාලන තන්ත්‍රය, සිය කර්තව්‍යයන් ඉටු කිරීමේදී ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී පිටුබලය ලබා ගැනීමේ අව්‍යශතාව ද ලෙනින් මොහොතකටවත් අමතක කලේ නැත.

රුසියානු විප්ලවයෙන් බිහිවන රාජ්‍යයේ ව්‍යූහය කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයක ස්වරූප ගන්නේ යැයි ලෙනින් කල අවධාරනය, රුසියානු ජනගහනයේ අතිමහත් බහුතරය පීඩිත ගොවි ජනතාවකගෙන් සැදුම් ලද්දේය යන්න, ඔවුන් වෙනම දේශපාලන පක්ෂයක් යටතේ පවා සංවිධානයවීම සලකාගෙන, ඉදිරිපත් කෙරුනකි. එසේම, ඒ ජනකොටස වැඩවසම් පාලන තන්ත්‍රය සමඟ සම්මුති විරහිත අරගලයකට කැඳවා ගැනීමේ අරමුන ඇතිව ඉදිරිපත් කරන ලද්දක් මිස, ගොවි ජනතාවගේ ප්‍රජානත්ත්‍රීය අවශ්‍යතා ඉටු කරන ධනේශ්වර ආන්ඩුවක, සහායක බලවේගයක් ලෙස පමනක් කම්කරු පන්තිය ක්‍රියාත්මක වනු ඇත්තේය යන අර්ථයෙන් ඉදිරිපත් කෙරුනක් නොවේ. කෙසේ වුවද, සෘජු ලෙසම ගොවි ජනතාවගේ සහාය දිනා ගනිමින්, ස්ථාපිත කෙරෙන කම්කරු පන්ති ආඥාදායකත්වයක් සඳහා උද්ඝෝෂනය කල ට්‍රොට්ස්කිගේ වැඩ පිලිවෙලත් ලෙනින් ගේ බොල්ෂෙවික් පක්ෂයේ වැඩ පිලිවෙලත් අතර පැවති වෙනස, ධනේශ්වර ගැත්තන්ට රිංගා යාමට හිඩැසක් ඉතිරි කලේය යන්න නොතකාහල නොහේ. 1917 රුසියාවේ විප්ලවවාදී අත්දැකීමෙහි මුල් අවධියේ දීමත් මේ අන්තරාය ඉස්මතු විය.

1917 පෙබරවාරි විප්ලවයෙන් පසු, සාර් රාජාන්ඩුව පලවා හැර ස්ථාපිත කර ගැනුන ධනේශ්වර තාවකාලික ආන්ඩුව, විප්ලවයේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රථම අවධියක් වශයෙන් අර්ථ ගන්වාගෙන, ඊට සහය දැක්වීම සඳහා, ලෙනින්ගේ බොල්ෂෙවික් පක්ෂ නායකත්වයේම සිටි ස්ටැලින් - බුකාරින් ප්‍රමුඛ පිරිසක් ඉදිරිපත් වීමෙන් මත් එම අන්තරාය එලිමහනට පමුනුවනු ලැබුනි. එම අන්තරාය ඉවත් කර ගත හැකි වූයේ, 1917 අප්‍රේල් මසදී, ආපසු රුසියාවට පැමිනීමෙන් පසුව, ලෙනින් සිය පලමු කටයුත්ත ලෙස “තාවකාලික ආන්ඩුව භංගවේවා! කම්කරු පන්ති ආඥාදායකත්වය කරා පෙරට!” යන සටන් පාඨය යටතේ තම පක්ෂය යලි පෙල ගස්වා ගැනීම උදෙසා අප්‍රතිහතව සටන් වැදීමෙනි. ලෙනින්, සිය න්‍යායික අධීක්ෂනය මත, පක්ෂය විප්ලවවාදී මාවතට ගැනීමට සමත් විය. ලෙනින්ගේ පක්ෂය තුල, ඔහු සමඟ සම නායකත්වයට පත්වී, 1917 ඔක්තෝබර් විප්ලවයේ ජයග්‍රහනය සඳහා කැපවීමට ට්‍රොට්ස්කිටත් ඔහුගේ මේට්සියොරස්ටි පක්ෂ කේඩරයටත් එයින් දොර විවෘත විය.

ඓතිහාසිකව කල්පසු වී බලයට පත් ධනපති පන්තීන් සහිත පසුගාමී රටවල ධනපති පාලකයන්, ගොවි ජනතාව, වැඩවසම් බැඳීම් වලින්නිදහස් කරලනවා වෙනුවට ඉටුකරන දේ ගැන, ට්‍රොට්ස්කිට නිවැරදි ඓතිහාසික තක්සේරුවක් පැවතුනි. නොනවතින විප්ලව න්‍යාය විස්තාරනය කල 1906 දී ඔහු මෙසේ සඳහන් කලේය.

“මේ කාරනාවෙහි තවදුර වර්ධනයේදී, ගම්බද, අවසාන වශයෙන්, ප්‍රාග්ධනයේ වහල්භාවයට පත් කෙරුනි. එසේම, ගොවි ජනතාව, ධනපති දේශපාලන පක්ෂ වල දේශපාලන වහලුන් බවට පත් කෙරුනේය. මේ පක්ෂ විසින්, පාර්ලිමේන්තුවාදී දේශපාලනය තුල, වැඩවසම් ක්‍රමය පුනර්ජීවනය කෙරුනේය. මෙය සිදුවූයේ, ධනපතියන්ට ඡන්ද ගැරීමේ දඩයම් කෙලියෙහි කොටසක් බවට ගොවි ජනතාව පත් කර ගැනීම ලෙසය. නූතන ධනපති රාජ්‍යය, සිය බදු ප්‍රතිපත්ති හා මිලිටරීකරනය මගින්, ගොවි ජනතාව, පොලීකාර ධනපති ප්‍රාග්ධනයේ දඬු අඩුවට හසුකරලන අතර, රාජ්‍ය පූජ්‍ය නඩ, රාජ්‍ය පාසැල් සහ බැරැක්ක ජීවිතයේ දූෂන මගින්, පොලීකාරයන්ගේ දේශපාලනයෙහි ගොදුරක් බවට පත් කෙරුනාහ.”

නොනවතින විප්ලව න්‍යායෙහි අනෙක් වැදගත් අංශය වන, කම්කරු පන්ති විප්ලවය ජාත්‍යන්තර සමාජවාදී විප්ලවීය පරිවර්තනය කරා පිය තැබීම, ක්ෂනිකවම ක්‍රියාත්මක වූයේ නැත. ලෙනින් හා ට්‍රොට්ස්කි තුන්වන ජාත්‍යන්තරය ගොඩනැගීම සඳහා පියවර ගනිමින්, ඊට අවශ්‍ය විප්ලවවාදී පක්ෂ ගොඩ නැගීමට යුහුසුලු වූයේ නමුදු, දෙවන ජාත්‍යන්තරයේ මහා පාවාදීම් දුමාරයෙහි විෂ, ජාත්‍යන්තර කම්කරු පන්තිය කෙරෙන් විරේක කර ගැනීමත් නව නායකත්වයන් යටතේ එම පන්තිය පෙල ගස්වා මෙහෙයවා ගැනීමත්, පශ්චාත් පලමුවන අධිරාජ්‍යවාදී යුද සමයේදී බරපතල න්‍යායික හා දේශපාලනික කර්තව්‍යයක් වූයේය. විශේෂයෙන්ම, විප්ලවවාදී බලාපොරොත්තු දල්වා රඳවා සිටි ජර්මනියෙහි, 1923 විප්ලවවාදී නැගිටීමෙහි පරාජය, ක්ෂනිකවම යුරෝපයේ හා ලෝක පරිමානව, වසර කීපයක කල් ගැනීමක තත්වයට විප්ලවය පත් කලේය.

මින් ඇති කෙරුන වාතාවරනය මගින්, ලදරු සෝවියට් සමූහාන්ඩුව තුල හුදකලාවේ බලගතු පීඩනයක් මුදා හැරුනේ, වසර තුනක සිවිල් යුද්ධ තත්වයෙහි තුවාල සුව කර ගැනීමටත් පෙරාතුවය. රට තුල හා පක්ෂය තුල නිලධාරි පෙලැන්තියක් පැලපදියම්වීම කෙරෙහි මේ වෛශයික හේතු බලපැවැත්වුනි. එම නිලධාරි පෙලැන්තියේ නායකයා ලෙස ඉස්මතු වූයේ ජෝසප් ස්ටාලින්ය. ජාත්‍යන්තරවාදී විප්ලවවාදී පදනමින් සෝවියට් සමූහාන්ඩුවේ කොමියුනිස්ට් පක්ෂයද ක්‍රමානුකූලව තුන්වැනි ජාත්‍යන්තරයද වියෝ කර, ‘තනි රටේ සමාජවාදය’ නැමැති මාක්ස්වාදී විරෝධී ජාතිකවාදී ප්‍රතිගාමී ‘න්‍යායක්’ මත ඒවා පිහිටුවීමට, සිනොව්යෙව්, කමනෙව්, බුකාරින් යන ත්‍රිත්වය ස්ටැලින් සමඟ එක්ව ට්‍රොට්ස්කිට එරෙහිවූ එක් ප්‍රතිවිප්ලවවාදී කඳවුරකට බැඳී ගත්හ.

නොනවතින විප්ලව න්‍යායට විරුද්ධව දැවැන්ත විෂ ප්‍රහාරයක් මුදා හැරීම, මේ හා සමගම, ආරම්භ කෙරුනි. ප්‍රතිවිප්ලවයේ සියලු ලේ වැකි මුද්‍රාවන්ගෙන් එම ව්‍යාපෘතිය නීතිගත කෙරුනේ, 1917 ඔක්තෝබරයේදී නොනවතින විප්ලව න්‍යාය මත පිහිටුවා ගැනුන, රුසියානු කම්කරු පන්තිය විසින්ම ගොඩ නගන ලද, සෝවියට් සමූහාන්ඩුවේ දැවැන්ත ද්‍රව්‍යමය සම්පත් ද යොදා ගනිමිනි. එයින් ජාත්‍යන්තර සමාජවාදය සඳහා වන අරගලයට සිදු කෙරුනේ සුලු පටු විනාශයක් නොවන අතර එහි කර්කශ වැය ශීර්ෂයට අද දක්වාම ලෝක කම්කරු - පීඩිත මහජනතාවෝ කර ගසා සිටිති.

මේ කටුක අත්දැකීම මගහැර යාමකට ලංකාවේ කම්කරු - පීඩිත ජනතාවන්ටද හැකි වූයේ නැත. 1930 ගනන් වලදීම මේ රට තුල ප්‍රතිවිප්ලවවාදී ස්ටැලින්වාදී පැලෑටිය වගා දිගා කිරීමේ උත්සාහය ආරම්භ වූයේය. 1935 පිහිටවුනු ලංකා සම සමාජ පක්ෂය තුලට කාවදිමින් ඒ තුල කන්ඩායමක් ගොඩ නගා ගැනීම ලෙස ඒ ව්‍යාපෘතිය ආරම්භ කෙරුනේ, සම සමාජ පක්ෂ නායකත්වය තුල රහසේ වැඩ කල ටී කන්ඩායම හෙවත් ට්‍රොට්ස්කි කන්ඩායම, අනාගතයේදී මහජන විප්ලවවාදී පක්ෂයක් ස්ථාපිත කිරීම හරහා ලංකාවේ හා ඉන්දු උප මහද්වීපයේ කම්කරු පන්තියට නායකත්වය සම්පාදනය කිරීමේ සක්‍යතාව සහිත වූ බව පිලිබඳ වැටහීමකිනි. ට්‍රොට්ස්කිවාදීන්, ලේ වැකි අයුරින් වනසා දැමීමට සෝවියට් සංගමය තුල හා ජාත්‍යන්තරව මුදාහල දඩබල්ලන් හමුදාවකට ස්ටැලින්වාදී නිලධරය නායකත්වය ද ද්‍රව්‍යමය සම්පත්ද සම්පාදනය කරමින් සිටි අවධියකි ඒ. ට්‍රොට්ස්කිවාදීන් විප්ලවවාදී න්‍යායික හා දේශපාලන පන්නරයකින් නව නායකත්වයක් පෝෂනය කර ගැනීම සඳහා ක්‍රියාත්මක වූ හැම තැනකටම කඩා වැදුන ස්ටැලින්වාදී දඩබල්ලන් සිය ප්‍රතිවිප්ලවවාදී රාජකාරිය ඉටු කිරීමට සමත් වුවද, ලංකා සමසමාජ පක්ෂය තුල සිදුවූයේ ඊට විරුද්ධ දේය. 1939 දී, ස්ටැලින්වාදීන් පක්ෂයෙන් නෙරපා හැරීමට සමසමාජ පක්ෂය තුල ක්‍රියාත්මක වූ ටී කන්ඩායම සමත් විය.

දෙවැනි ලෝක යුද සමය මැද, තමන්ගේ යටත් විජිතයක්වූ ලංකාව තුල අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධ වූ ව්‍යාපාරයක් ගොඩනැගීම නොඉවසූ බ්‍රිතාන්‍ය පාලකයෝ, දේශීය සිංහල ධනපතියන්ගේ සංවිධානය වූ ලංකා ජාතික සංගමයේ ද දෙමල ධනපතියන්ගේ සංවිධානය වූ දෙමල කොන්ග්‍රසයේ ද සහාය ඇතිව සමසමාජ පක්ෂය නීතිවිරෝධී කොට එහි නායකයන් සිරගත කිරීමටද පියවර ගත්හ. ඒ අතරම ස්ටැලින්වාදී දේශපාලන පක්ෂයක් රට තුල පිහිටුවීමට, සමසමාජ පක්ෂයෙන් නෙරපන ලද එස්. ඒ වික්‍රමසිංහ ප්‍රමුඛ කන්ඩායමට අධිරාජ්‍යවාදී පාලකයෝ සියලු පහසුකම් සලසා දුන්හ. ඒ, සමසමාජ පක්ෂය අක්‍රීය කර තැබීමේ වාසිය ඩැහැගනිමින්ද කම්කරු පන්තියේ අරගලවලට හොරිකඩකම් කිරීමේ යෙදෙමින්ද අධිරාජ්‍යවාදී පාලනයේ ආරක්ෂකයන් ලෙස කම්කරුවන් ගාල් කර ගැනීම උදෙසාය.

එහෙත් ටී කන්ඩායම ප්‍රමුඛ ට්‍රොට්ස්කිවාදීන්හු ඊට ප්‍රතිවිරුද්ධව ජාත්‍යන්තර විප්ලවවාදී ඉදිරි දර්ශනයකින් ප්‍රේරනය වී සිටියහ. එම ටී කන්ඩායමේ ප්‍රබලයන් කීප දෙනෙකුම සිරගෙයින් එලියට පැනගෙන රහසිගතවම ඉන්දියාවට ගොස් සමස්ත ඉන්දියානු බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂයක් 1942 දී පිහිටුවා ගත්හ.

යුද්ධකාලය පුරාම, ලංකාවේත් ඉන්දියාවේත් ට්‍රොට්ස්කිවාදී විප්ලවවාදීන්ට එරෙහිව, බ්‍රිතාන්‍ය පාලනයේ අන්ඩක් ලෙස ඔත්තු සැපයීමේ හා දඩයම් කිරීමේ කටයුතුවල නිරතවූ ස්ටැලින්වාදියෝ ලංකාවට හා ඉන්දියාවට ඊනියා නිදහස ලබාදීමෙන් පසුව, පලමු දවසේ සිට ම, දෙ රටේ ම ජාතික ධනපති පන්තිය බලයට පත්කර ගැනීමේ හා බලයේ රඳවා තැබීමේ කොන්ත්‍රාත්තුවට කර දුන්හ. මේ මගින්, දකුනු ආසියාවේ ම කම්කරු - පීඩිත ජනතාවන් මත පතිත කරන ලද විනාශකාරිත්වය අති විශාල ය. ඒ ගැන ඉතිහාසයකට මෙය තැන නොවේ. එය වෙන ම ලිවිය යුත්තකි.

නොනවතින විප්ලව න්‍යාය පිලිබඳව 1906 දී, 27 වැනි වියෙහි පසුවූ ට්‍රොට්ස්කි විසින් කරන ලද මෙම පැහැදිලි කිරීම, (1915 පල කරන ලිපියක් ද සහිතව) ජාත්‍යන්තර සමාජවාදී විප්ලවවාදී මාවතට යලි අවතීර්න වෙමින් සිටින, ලෝක කම්කරු පන්තියේත්, පීඩිත ජනතාවගේ හා තරුනයන්ගේත් කොටසක් වන ලංකාවේ සමාජවාදී බලවේග, නිවැරදි ඉදිරි දර්ශනයෙන් සන්නද්ධ කිරීම සඳහා, සිංහලට පරිවර්තනය කිරීම යම් හෝ සේවයක් ඉටු කරනු ඇතැයි සමාජවාදී සමානතා පක්ෂය (සසප) නිවැරදිව අපේක්ෂා කරයි. ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් වදින කම්කරු පන්තියේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව සසපයි.

මෙම කෘතියෙහි පරිගනකාක්ෂර හා මුද්‍රන කටයුතු යහතින් සිදුකල ඩිසයින් සිස්ටම්ස් ආයතනයේ කාර්ය මන්ඩලයට අපේ ස්තුතිය හිමි වේ.

විජේ ඩයස්

Loading