ඇමති අමුනුගම හිට්ලර් මෙන් ක්‍රියා කරන ලෙස ජනාධිපති රාජපක්ෂගෙන් ඉල්ලයි

[මෙහි පලවන්නේ 2021 අප්‍රේල් 20 Sri Lankan minister urges President Rajapakse to act like Hitler  නමැති මාතෘකාවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් පලවූ ලිපියේ පරිවර්තනයයි. ] 

අප්‍රේල් 12දා කොලඹ පැවති මාධ්‍ය හමුවක දී, අත්‍යසාමාන්‍ය ප්‍රකාශයක් සිදුකරමින් ප්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුනුගම මෙසේ ප්‍රකාශ කලේ ය: “ආන්ඩුවට ජනතාව චෝදනා කරනව නම් කරන්නේ ජනතාව බලාපොරොත්තු වුනා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වුනා ම යම් මට්ටමක ඒකාධිපති පාලනයක් කර ගෙන යයි කියල.” 

රාජ්‍ය ඇමති දිලුම් අමුනුගමගේ වීඩියෝවේ තිර රුවක් (යූ ටියුබ්)

 රාජපක්ෂ හිට්ලර් මෙන් ක්‍රියා කිරීම බෞද්ධ භික්ෂූන්ට ද අවශ්‍ය වූ බව අමුනුගම කීවේ ය. “සමහරක් අංශ ක්‍රියාත්මක වන විදිය අනුව එතුමා හිට්ලර් කෙනෙක් දක්වා තල්ලු කෙරුනොත් හිට්ලර් කෙනෙක් වෙයි. කවුරුත් දොස් කියන්නෙ නැති වෙයි. කටයුතු හොඳින් ක්‍රියාත්මක වෙයි..”

කැපීපෙනන කරුනක් නම් රාජපක්ෂ තම රාජ්‍ය ඇමතිගේ දුෂ්ට ප්‍රකාශයන්ගෙන් දුරස්ථ නො වීමයි. ආන්ඩුවේ ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල, එම ප්‍රකාශයන්ගෙන් ලිස්සා යාමට උත්සාහ දැරුවේ, ඒවා හුදෙක් අමුනුගමගේ “පුද්ගලික අදහස්” මිස ආන්ඩුවේ “සාමූහික ආස්ථානය” නො වන බව කියමිනි.

ගැඹුරු ආර්ථික හා සමාජ අර්බුදයක් මධ්‍යයේ 1933 දී ජර්මානු අධිරාජ්‍යවාදය නාසි ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් බලයට ගෙන ආවේ ය. සෝවියට් ස්ටැලින්වාදී පාලන තන්ත්‍රයේ විනාශකාරී පිලිවෙත්වල සහයෝගයෙන් බලයට පත් නාසිවාදියෝ, කම්කරු පන්තිය තලා දැමීම හා එහි සංවිධාන කුඩු පට්ටම් කර දැමීම, යුදෙව්වන් හා අනෙකුත් සුලුතරයන් මිලියන හයක් ක්‍රමානුකූල ව මරා දැමීම සිදු කල අතර, ජර්මානු හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලයන් අතර ව්‍යසනකාරී දෙවන ලෝක යුද්ධය සඳහා ද මග පෑදූවෝ ය.

ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදී රටක් නො වේ. එහෙත්, රාජපක්ෂට හිට්ලර් කෙනෙක් බවට පත්වන ලෙස උනන්දු කරන අමුනුගමගේ ප්‍රකාශ, ගෝලීය වසංගතය විසින් තීව්‍ර කරන ලද ගැඹුරු වන දේශපාලන අර්බුදයක් මධ්‍යයේ, අනුකම්පා විරහිත ජනාධිපති ආඥාදායකත්වයක් සඳහා පාලක ප්‍රභූවේ කොටස් ගෙන යන උද්ඝෝෂනයක කොටසකි.

මිලියන 6.9ක ජනකායක් රාජපක්ෂට ඡන්දය දුන්නේ, ඔවුන්ට ඔහු ආඥාදායකයෙකු ලෙස ක්‍රියා කිරීම අවශ්‍ය නිසා යයි කියන අමුනුගමගේ කියාපෑම, මුලුමනින්ම ව්‍යාජ එකකි. කිසිදු විකල්පයක් රහිත වූ බොහෝ දෙනා ඔහුට ඡන්දය දුන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියෝග කරන ලද රුදුරු  කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමූ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික්‍රමසිංහගේ “ජාතික සමගි” ආන්ඩුවට විරුද්ධත්වය පලකිරීම පිනිස ය.

ජීවන කොන්දේසි වැඩි දියුනු කරන බවට ව්‍යජ පොරොන්දු දෙමින්, රාජපක්ෂ හා ඔහුගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) මෙම විරෝධය ගසාකෑවේ ය. “ස්ථාවර හා ශක්තිමත්” ආන්ඩුවක් ස්ථාපිත කරන බවට ඔහු එම හුස්මට ම පාලක පන්තියට පොරොන්දු විය. දෙමල-විරෝධී හා මුස්ලිම්-විරෝධී ස්වෝත්තමවාදය අවුලුවමින් සහ සිංහල බෞද්ධ අධිපතිවාදය දිරිමත් කරමින්, සිංහල අන්තවාදී කන්ඩායම්, බෞද්ධ භික්ෂූන් හා මිලිටරියේ කොටස් ඔහු රැලි කරගත්තේ ය.

අමුනුගම කතා කරන්නේ මෙම අන්ත-දක්ෂිනාංශික, ස්වෝත්තමවාදී කොටස් වෙනුවෙනි. 2018 ජුනි මාසයේ රාජපක්ෂගේ 69වන උපන් දිනය වෙනුවෙන් පැවති උත්සවයක දී, අස්ගිරි පාර්ශවයේ අනුනායක වන වෙඬරුවේ උපාලි, ඔහුට මෙසේ උපදෙස් දුන්නේ ය: “ඔවුන් ඔබතුමාට හිට්ලර් කියා කියනවා නම්, හිට්ලර් කෙනෙක් බවට පත්වී, රට ගොඩ නගන්න.” වෙඬරුවේ උපාලි හෙලාදකිනු වෙනුවට, රාජපක්ෂ කලේ, උපාලිගේ අදහස් විවේචනය කල අය හෙලාදැකීම යි. බලයට පත්වීමෙන් පසු, විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුනරත්න ආරක්ෂක ලේකම් ධුරයට පත්කිරීම ඇතුලු මූලික පරිපාලන තනතුරුවලට හිටපු හා තවමත් සේවයේ සිටින ජ්‍යෙෂ්ඨ මිලිටරි නිලධාරීන් පත්කිරීම ආරම්භ කලේ ය. වසංගතය නිමිත්තක් ලෙස යොදාගනිමින්, ඔහු මිලිටරීකරනය වේගවත් කලේ, ඉහල තනතුරුවලට දුසිම් දෙකක් හෝ ඊටත් වැඩි සන්නද්ධ හමුදා නිලධාරීන් පත්කරමිනි. 

ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් හා විනිසුරුවන් පත්කිරීම, පාර්ලිමේන්තුව විසිරවීම හා හදිසි පනත් පැටවීම ඇතුලු ආඥාදායක බලතල විධායක ජනාධිපතිට ලබා දෙමින්, පසුගිය නොවැම්බරයේ දී පාර්ලිමේන්තුව 20වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කලේ ය. මෙම බලතල ප්‍රජාතන්ත්‍ර-විරෝධී 1978 ව්‍යවස්ථාව ද ඉක්මවා යයි.

වැඩෙන අර්බුදයක් කෙරෙහි පාලක කවයන් තුල පවතින භීතිය මධ්‍යයේ ආඥාදායක පියවර සඳහා තල්ලුව දීම සිදු වේ. සන්ඩේ ටයිම්ස් දේශපාලන තීරුලිපි ලේඛකයා අප්‍රේල් 11දා මෙසේ ලිවී ය: “දැනට මාස 17ක් බලයේ සිට ඇති ආන්ඩුව ව්‍යසනකාරී ලෙස එක් අර්බුදයකින් තවත් අර්බුදයකට ලුහුටා යමින් සිටියි ...කොවිඩ්-19 ආර්ථිකයට විනාශකාරී ප්‍රහාරයක් එල්ල කලේ ය. මහා පරිමානයේ විරැකියාවක් ජනනය කරමින් විශාල හා කුඩා යන දෙවර්ගයේ ම ව්‍යාපාරවලට පහර වැදුනි. විශාල ව්‍යපාරවලට සහන පැකේජ ලැබුනත් අනෙක් ඒවාට එසේ නො වී ය...”

අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල අහස උසට නගින මිල, ප්‍රමානවත් තරම් එන්නත් නොමැති කම, ඉහවහා ගිය දූෂනය හා පාරිසරික විනාශය අරබයා මහජන ආන්ඩු-විරෝධය ඉස්මතු වීම ගැන තීරුලිපිය සටහන් කලේ ය. ආන්ඩුවේ අර්බුදය තීව්‍ර ප්‍රධාන සාධකය වන කොවිඩ්-19 වසංගතය විසින් ජනනය කරන ලද විනාශය මධ්‍යයේ සිදුවන කම්කරු පන්තියේ ගෝලීය පුනර්ජීවනයක කොටසක් ලෙස ලංකාවේ පන්ති අරගල පුපුරායාම සිදුවෙතත් ටයිම්ස් ලිපිය ඒගැන සඳහන් කලේ නැත.   

පැවති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව, 2018 පටන් එහි කප්පාදු පියවරයන්ට එරෙහි ව කම්කරු පන්තියේ වැඩෙන ව්‍යාපාරයකට මුහුන දුන්නේ ය. දැන් කම්කරු පන්තික අරගල යලි ඉස්මතු වෙමින් තිබේ. අප්‍රේල් මාසයේ මුල් සති දෙක තුල, අධ්‍යාපන, සෞඛ්‍ය, ජල සම්පාදන, විදුලිබල හා බැංකු සේවකයින් ඇතුලු රාජ්‍ය අංශ සේවකයන් දහස් ගනන් දෙනා සහභාගි වූ, ඉහල වැටුප් හා යහපත් කොන්දේසි ඉල්ලන එක් දින වැඩ වර්ජන හෝ විරෝධතා පවත්වා ඇත. 

එයට ප්‍රතිචාර වසයෙන්, මෙම නැගෙන විරෝධතා බෙදීම සඳහා, රාජපක්ෂ පාලන තන්ත්‍රය, දෙමල-විරෝධී හා මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනය තීව්‍ර කරමින් සිටියි. සිකුරාදා, පොලීසිය දෙමල තරුනයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත්තේ, 2009 මැයි මාසයේ මිලිටරිමය ලෙස පරාජය කරන ලද බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය හෙවත් “ත්‍රස්තවාදය” “පුනර්ජීවනය” කිරීමට උත්සාහ කරන බවට චෝදනා කරමිනි. විෂඝෝර "ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත" යටතේ මුස්ලිම් නායකයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

දේශපාලන පලිගැනීම් පිලිබඳ ජනාධිපති කොමිසමේ නිර්දේශ රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. එය සම්මත කරන ලද හොත්, දඬුවම් ලබා ඇති හෝ උසාවි නඩුවලට මුහුන දෙන පාලක පක්ෂයේ බොහෝ දෙනා නිදහස ලබනු ඇත. ඒ අතර ම, දේශපාලන විරුද්ධවාදීන් ඇතුලු ඊනියා දඩයමට ලක්වූ පුද්ගලයන්ට එරෙහි ව පැමිනිලි කල අය චෝදනාවන්ට මුහුන දෙනු ඇත.

ජාතික ආරක්ෂාව, මහජන සෞඛ්‍යය, නීතිය හා සාමය, රාජ්‍ය මූල්‍ය කටයුතු සහ අනෙක් රටවල් සමග සබඳතා ඇතුලු දේවල් සම්බන්ධ “ව්‍යාජ ප්‍රවෘත්ති” පාලනය කිරීමට, දුරදිග යන නව වාරන නීති පිලිබඳ කැබිනට් පත්‍රිකාවක් තමා හැකි ඉක්මනින් ඉදිරිපත් කරන බව, අධිකරන ඇමතිවරයා පසුගිය සතියේ අරුන පුවත්පතට කීවේ ය. ආන්ඩුවේ ක්‍රියාවන් කෙරෙහි විශ්වාසය යටපත් කිරීම ඉලක්ක කරගන්නේ යයි චෝදනා ලබන ඕනෑම “ව්‍යාජ ප්‍රවෘත්තීන්” ද තහනම් කෙරෙනු ඇත.

අමුනුගමගේ අදහස්, විශේෂයෙන් කම්කරු පන්තියෙන් හා අනෙකුත් ජනයාගෙන් පැන නගින විරෝධය මර්දනය කිරීම සඳහා, බරපතල ලෙස ආඥාදායක පිලිවෙත් යොදාගැනීමට පාලක පන්තිය තල්ලුව දෙමින් සිටින බවට වන අනතුරු ඇඟවීමකි. මෙය අන්ත-දක්ෂිනාංශික බලවේග ජාත්‍යන්තර ව ඉදිරියට දැමීමේ කොටසකි. ජර්මනියේ, "ෆැසිස්ට්වාදී ජර්මනිය සඳහා විකල්පය" පක්ෂය හා නව-නාසි කන්ඩායම් ක්‍රියාත්මක වෙමින් සිටී. ලෝක අධිරාජ්‍යවාදයේ කේන්ද්‍රස්ථානය වන එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජෝ බයිඩන් ජනාධිපති පදවි-ප්‍රාප්ත වීම වැලැක්වීමට උත්සාහ දරමින්, ජනවාරි 6දා ෆැසිස්ට් කුමන්ත්‍රනයක් උසි ගැන්වී ය.

Loading