ඉදිරිදර්ශන

2021 මැයි දින ඔන්ලයින් රැලියේ අර්ථය

[මෙහි පලවන්නේ 2021 මැයි 04 දින The meaning of the May Day 2021 Online Rallystruggle  ඉංග්‍රීසි භාෂාවෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ  පලවූ ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයකි.] 

මැයි 1 වන සෙනසුරාදා, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සිය අටවන වාර්ෂික ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලිය පැවැත්වීය. ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (ක්‍රික-ජාකස) ආරම්භ කිරීමට හජාජාක ගත් තීරනය රැලිය විසින් අභිප්‍රේරනය කර පුබුදුවාලන ලදී.

මැයි දින රැලිය, කොරෝනා වෛරස් වසංගතය මගින් ලෝක තත්වයෙහි ඇති කරන ලද වෙනස්කම් පිලිබිඹු කලාක් මෙන්ම පුරෝකථනය කලේය. හජාජාක විසින් වසංගතය පලමුවන ලෝක සංග්‍රාමයට සමාන “ප්‍රේරක සිදුවීමක්” ලෙස අර්ථ දක්වා ඇති අතර එය ලෝක ධනවාදී ක්‍රමයේ සියලු ප්‍රතිවිරෝධතා වේගවත් කරයි. සියල්ලටමත් වඩා, පන්ති අරගලයේ වර්ධනයන් මෙයට ඇතුලත් වන අතර, හජාජාක සහ එහි මැයි දින රැලිය ඒවායේ වඩාත් සවිඤ්ඤානික ප්‍රකාශනය වේ.

2021 ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලිය

එහි ස්වරූපයෙන් සහ අන්තර්ගතයෙන් රැලිය ගෝලීය සිදුවීමක් විය. රැලිය සඳහා කැඳවීම සම්බන්ධයෙන් සැලකිය යුතු ජාත්‍යන්තර ප්‍රතිචාරයක් ලැබුනි. ඇන්ටාක්ටිකාව ඇතුලු සෑම මහාද්වීපයකම රටවල් 75 කට වැඩි ගනනකින් 2500 කට අධික පිරිසක් මෙම අවස්ථාව නැරඹූහ. කථිකයෝ දහහතර දෙනා ඉංග්‍රීසි, ජර්මානු, ප්‍රංශ, දෙමල, සිංහල, තුර්කි සහ පෘතුගීසි යන භාෂා හතකින් කථා කරන රටවල් 10 ක ප්‍රමුඛ පෙලේ සාමාජිකයෝ වූහ.

විවිධ රටවල සුවිශේෂී තත්ව ආමන්ත්‍රනය කරමින් කථිකයින් එක්සත් ගෝලීය ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කලහ.

මෙම රැලිය අලලා ගෙන තිබුනේ, එක්සත් ජනපදයේ සහ යුරෝපයේ ධනවාදයේ මධ්‍යස්ථානවල සිට පූර්ව යටත් විජිත රටවල් දක්වා ලෝකයේ සෑම ප්‍රදේශයකම කම්කරුවන්ට දැඩි ලෙස බලපා ඇති කොරෝනා වෛරස් වසංගතයේ බලපෑමයි. මීට වසරකට පෙර, එනම් 2020 මැයි 1 වන දින ගෝලීය මරන සංඛ්‍යාව 240,000 ට ලඟා වී තිබුනි. දැන් එය මිලියන 3.2 කට ආසන්න මට්ටමක පවතී. එය 13 ගුනයකට වඩා වැඩි වීමකි. මෙයට එක්සත් ජනපදයේ ගොදුරු වූවන් 590,000 ක්, යුරෝපයේ මිලියනයකට වඩා, ආසියාවේ 520,000 ක්, දකුනු ඇමරිකාවේ 670,000 ක් සහ අප්‍රිකාවේ 122,000 ක් ඇතුලත් ය.

වසංගතය ආරම්භයේ සිට වසර එකහමාරකට ආසන්න කාලයකදී, නව රෝගීන් වාර්තාගත මට්ටම්වල පවතින අතර, ඉන්දියාවේ රෝගය බිහිසුනු ලෙස පැතිරීම හේතුවෙන් දිනපතා නව රෝගීන් 400,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වේ. සැබෑ තත්වය බෙහෙවින් අවතක්සේරු කරන නිල සංඛ්‍යාලේඛනවලට අනුව, ගෝලීය වශයෙන් දිනකට 13,000 කට අධික පිරිසක් මිය යමින් සිටි යි. එය වසරකට මිලියන 5 කට ආසන්න වේ.

දකුනු ආසියාවේ දැන් සිදුවෙමින් පවතින දේ, වසංගතයට මඳ නිරාවරනය වී ඇති අප්‍රිකාවේ සමහර ප්‍රදේශ ඇතුලු වෙනත් රටවලට ද ව්‍යාප්ත වනු ඇත. දියුනු රටවල පවා දේශපාලනඥයන් සහ මාධ්‍ය කතා කරන්නේ වසංගතය, සුලභත්වයට පත්වීම ගැන ය - එනම් කිසි විටෙකත් එය සම්පූර්නයෙන් තුරන් නොකෙරෙන අතර කම්කරුවන්ට “ඒ සමග ජීවත් වීමට” සිදුවනු ඇත.

වෛරසයේ විනාශකාරී බලපෑම සම්බන්ධයෙන් කථිකයින් පාලක පන්තියට සහ ධනවාදී ක්‍රමයට චෝදනා කලහ. රැලිය හඳුන්වා දීමේදී ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් පැවසුවේ “මිනිස් ජීවිත, මූල්‍ය අවශ්‍යතා වලට යට කිරීම මිලියන ගනනක අකල් මරනවලට හේතු වූ බව අවිවාදිත කරුනකි. කොවිඩ්-19 මරන වලින් අති බහුතරයක් වලක්වා ගත හැකිව තිබුනි. වසංගතයේ විනාශකාරී බලපෑමට, වෛරසයේ ජීව විද්‍යාත්මක ව්‍යුහයට වඩා හේතු වූයේ ධනේශ්වර පන්තියේ ආර්ථික අවශ්‍යතා ය.” යනුවෙනි.

හජාජාක හි දීර්ඝ කාලීන නායකයෙකු වන නික් බීම්ස් විසින්, එක්සත් ජනපද ෆෙඩරල් සංචිතය සහ අනෙකුත් ගෝලීය මහ බැංකු විසින් පසුගිය වසර පුරා නිමක් නැතිව මුදල් අච්චු ගැසීම මගින් උත්තේජනය කර ඇති සමපේක්ෂනයේ බඩජාරිකම සමාලෝචනය කලේය. පාලක පන්තියේ ධනයේ වර්ධනය, “ධනවාදයේ මරනීය වේදනාව ලෙස ට්‍රොට්ස්කි නිවැරදිව විස්තර කල දෙයෙහි ප්‍රකාශනයකි, කතිපයාධිකාරීන් එකතුව ඩොලර් බිලියන ගනන් ගොඩගසා ගන්නා අතර මිලියන ගනන් මිය යති” බීම්ස් ප්‍රකාශකලේය.

වසංගතය ලොව පුරා රටවල දේශපාලන අර්බුද විශාල ලෙස වේගවත් කරන අතර පාලක පන්තිය ඒකාධිපති පාලන ක්‍රම වෙත වෙන කවරදාටත් වඩා විවෘත හැරීම වේගවත් කරයි. මිලිටරි කුමන්ත්‍රනයකට තර්ජනය කරන ප්‍රංශ ජෙනරාල්වරුන්ගේ ලිපිය, ට්‍රම්ප්ගේ ජනවාරි 6 ෆැසිස්ට් කැරැල්ල සහ ජර්මානු මිලිටරියේ හා රාජ්‍ය යාන්ත්‍රනයේ නව නාසි ජාලයන් හෙලිදරවු වීම ඇතුලුව  ගෝලීය ප්‍රවනතාවක කොටසක් බව ප්‍රංශයේ සසප ජාතික ලේකම් ඇලෙක්ස් ලැන්ටියර් පැහැදිලි කලේය. නව ෆැසිස්ට්වාදී වොක්ස් පක්ෂය සහ ස්පාඤ්ඤයේ විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ කුමන්ත්‍රනයක තර්ජනය ද මේ අතරට එක් වේ.

ශ්‍රී ලංකාවේ සසප හි සහකාර ජාතික ලේකම් දීපාල් ජයසේකර පැහැදිලි කලේ පසුගිය මාස කිහිපය තුල වැඩ වර්ජන රැල්ලකට ශ්‍රී ලංකා ආන්ඩුව දැක්වූ ප්‍රතිචාර අනුව මිලිටරි-පොලිස් ආඥාදායක පාලනයක් කරා ගමන්කරන බවයි. ශ්‍රී ලංකා ජනාධිපති රාජපක්ෂ “හිට්ලර් කෙනෙකු මෙන්” ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටි ප්‍රවාහන ඇමතිවරයාගේ අදහස් ඔහු උපුටා දැක්වීය.

මහා මරන හා සමාජ දුඃඛිතභාවය මධ්‍යයේ වුවද පාලක පන්තිය යුද්ධයට තල්ලුව තීව්‍ර කරති. ඕස්ට්‍රේලියාවේ ලෝසවෙඅ හි ජාතික සංස්කාරක පීටර් සිමන්ඩ්ස්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් චීනයට එරෙහිව ගෙනයන ප්‍රචාරය සහ “මානව හිමිකම්” පිලිබඳ කුහක මවාපෑම හෙලි කලේය. "පාලක පන්ති, කම්කරු පන්තිය බෙදීමට හා වසංගතය මගින් ජනනය කරන දැවැන්ත සමාජ ආතතීන් බාහිර සතුරෙකුට එරෙහිව හැරවීමට උත්සාහ කරති. එබැවින්, ලොව පුරා අවුස්සමින් සිටින විෂඝෝර ජාතිකවාදය කම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කිරීම අත්‍යවශ්‍ය වේ" ඔහු පැවසීය.

වසංගතයේ ව්‍යසනකාරී බලපෑම සඳහා, එක්සත් රාජධානියේ බොරිස් ජොන්සන්ගේ කොන්සර්වේටිව් පක්ෂ ආන්ඩුවේ සිට බ්‍රසීලයේ ජෙයාර් බොල්සෙනාරෝ සහ ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදිගේ ෆැසිස්ට් ආන්ඩු දක්වාත් ව්‍යාජ ස්පාඤ්ඤයේ ව්‍යාජ-වාම පොඩෙමොස් පක්ෂය සහ ජර්මනියේ වාම පක්ෂය දක්වාත් පාලක පන්තියේ සියලු පාර්ශවයන්ගේ කාර්යභාරය කථිකයින් විසින් සමාලෝචනය කරන ලදී. එක්සත් ජනපදයේ දී, ට්‍රම්ප් පරිපාලනය, ආපසු වැඩට යාමේ ව්‍යාපාරය පෙරමුනට ගත් අතර එම මූලික ප්‍රතිපත්තියම දැන් බයිඩන් විසින් ද ක්‍රියාත්මක කරනු ලැබේ.

සියලු කථාවල කේන්ද්‍රීය තේමාව වූයේ නිලවශයෙන් ජාතික හා ධනවාදී ගැති වෘත්තීය සමිති, සංගතවාදී රාමුවකට තවදුරටත් ඒකාබද්ධ කිරීමට පාලක පන්තියේ පවතින විශ්වීය උත්සාහයයි. එනම්, සංගත කලමනාකරනය, වෘත්තීය සමිති සහ රාජ්‍යය එකම ව්‍යුහයක් තුලට ඒකාබද්ධ කිරීමයි. මෙය කම්කරු පන්තියේ සමාජ විරෝධයේ වර්ධනය මැඩලීමේ දී ප්‍රයෝජනවත් වනු ඇත.

“සේවක සංවිධානය හා සවිබල ගැන්වීම පිලිබඳ ධවල මන්දිර කාර්ය සාධක බලකායක්” පිහිටුවීම ඇතුලුව එක්සත් ජනපදයේ ඒඑෆ්එල්-සීඅයිඕ වෘත්තීය සමිති ප්‍රවර්ධනය කිරීම සඳහා බයිඩන් පරිපාලනය විසින් කරන ලද ආක්‍රමනශීලී උත්සාහයන් ගැන නෝර්ත් සිය ආරම්භක වාර්තාවෙන් විස්තරාත්මකව විමසා බැලීය. මෙම කාර්ය සාධක බලකායට, ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින්, භාන්ඩාගාර ලේකම් සහ හිටපු ෆෙඩරල් සංචිත සභාපති ජැනට් යෙලන් සහ හෝම්ලන්ඩ් ආරක්ෂක ලේකම් ඇලෙජැන්ඩ්‍රෝ මයෝකාස් ඇතුලත් ය.

දශක හතරකට වැඩි කාලයක් තිස්සේ ඒඑෆ්එල්-සීඅයිඕ සහ එය පාලනය කරන ධනවත් විධායකයන් කම්කරු පන්තියේ සියලු ප්‍රතිරෝධයන් මැඩපවත්වා ඇති බව නෝර්ත් සඳහන් කලේය. වැඩ වර්ජන මුලුමනින්ම පාහේ අතුරුදහන් වී ඇත. නෝර්ත් ප්‍රකාශ කලේ:

මෙම සන්දර්භය තුල, පවත්නා වෘත්තීය සමිති ශක්තිමත් කිරීම සඳහා බයිඩන් කල ඉල්ලීම අරමුනු කර ඇත්තේ කම්කරු පන්තියේ සටන්කාමීත්වය ප්‍රවර්ධනය කිරීම නොව, එහි වර්ධනයට බාධා කිරීම සහ එය අඛන්ඩව මර්දනය කිරීම සහතික කිරීම ය.

එපමනක් නොව, ආන්ඩුවේ අනුග්‍රහය ලත් කම්කරු ව්‍යාපාරයක් තුල ඕනෑම ආකාරයක ස්වාධීන කම්කරු පන්ති සංවිධානයක් අතුගා දැමීම ඇමරිකානු අධිරාජ්‍යවාදයට උපාය මාර්ගික අත්‍යවශ්‍ය කරුනක් වන අතර එය ගැඹුරු ආර්ථික අර්බුදයක කොන්දේසි යටතේ පාලක කවයන් තුල චීනය සමග අනිවාර්ය ගැටුමක් ලෙස දැකගත හැකිය. මෙම කම්කරු ව්‍යාපාර සංගතවාදී නැඹුරුවක් ඔස්සේ ධනවාදී රාජ්‍යයට මුලුමනින්ම ඒකාබද්ධ ය.

කෙසේ වෙතත්, සංගතවාදී මර්දනය, කම්කරු පන්තිය කෙරෙහි ඇති නැඹුරුව ජාත්‍යන්තර සංසිද්ධියකි. ශ්‍රී ලංකාවේ, ලංකා කම්කරු කොංග්‍රසය;දැන් බ්‍රසීලයේ ඉන්ඩස්ට්‍රිඔල් හි ඒකාබද්ධ වී සිටින සීයූටී සහ එක්සත් බලය;එක්සත් රාජධානියේ ටීයූසී; ජර්මනියේ අයිජී මෙටල් සහ වර්ඩි; ප්‍රංශයේ සීජීටී; සහ ඕස්ට්‍රේලියාවේ ඒසීටීයූ යන වෘත්තීය සමිති අතර ඇති සමානකම් කථිකයෝ සමාලෝචනය කලහ.

ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (ක්‍රික-ජාකස) පිහිටුවීමට හජාජාක ආරම්භ කර ඇත්තේ මෙම සන්දර්භය තුල ය. නෝර්ත්  පැහැදිලි කලේ:

මෙම ගෝලීය මුලපිරුමේ පරමාර්ථය වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ අව්‍යාජ පුලුල් පදනමක් සහිත ව්‍යාපාරයක් වර්ධනය කිරීම සහ පවත්නා රාජ්‍ය පාලිත හා දක්ෂිනාංශික ධනේශ්වර ගැති විධායකයින් විසින් මෙහෙයවන ප්‍රජාතන්ත්‍ර විරෝධී වෘත්තීය සමිති වලින් කොටු වී සිටින බන්ධනාගාර වැනි විලංගු වලින් මිදීමට සියලු රටවල කම්කරුවන් දිරිමත් කිරීමයි...

ක්‍රික-ජාකස විසින් ජාතික බාධක බිඳ දැමීමට උත්සාහ කරනු ඇත, වාර්ගික, ජනවාර්ගික හා ඒ හා සම්බන්ධ ප්‍රතිගාමී, මධ්‍යම පන්තික අනන්‍යතා දේශපාලනය ප්‍රවර්ධනය කිරීම තුලින් පන්ති සමගිය අඩපන කිරීමට ගන්නා සියලු උත්සාහයන්ට විරුද්ධ වනු ඇත. ජාත්‍යන්තර පරිමානයෙන් පන්ති අරගලය සම්බන්ධීකරනය කිරීම සඳහා ඉඩ සලසනු ඇත.

ක්‍රික-ජාකස ගොඩනැගීම සඳහා කම්කරුවන්ට සහාය වීමේ දී, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ ඊට අනුබද්ධ සමාජවාදී සමානතා පක්ෂ ගෝලීය පන්ති අරගලයේ වර්ධනයට සවිඤ්ඤානික, සමාජවාදී උපාය මාර්ගයක් ලබා දීමට උත්සාහ කරනු ඇත. සෑම අවස්ථාවකදීම කම්කරුවන්ගේ අරගලවල තර්කනය කම්කරු පන්තියට දේශපාලන බලය ලබා ගැනීම හා ධනවාදී කතිපයාධිකාරයන් අස්වාමික කිරීමයි. මෙය, පුද්ගලික ලාභය නොව, සමාජ අවශ්‍යතා මත පදනම්ව ගෝලීය වශයෙන් සැලසුම් කල ආර්ථිකයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව මතු කරයි.

2021 ජාත්‍යන්තර ඔන්ලයින් මැයි දින රැලිය ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ සැලකිය යුතු වර්ධනයක සහ කම්කරු පන්තිය තුල එහි දේශපාලන බලපෑමේ ප්‍රතිඵලයකි. ඒ අතරම, එය දැවැන්ත දේශපාලන වර්ධනයක් අපේක්ෂා කරයි. සමාජවාදය සඳහා ලෝක ව්‍යාප්ත විප්ලවවාදී ව්‍යාපාරය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ නායකත්වය යටතේ වර්ධනය වනු ඇත.

Loading