ඇමරිකානු සහ ලෝක අධිරාජ්‍යවාදයේ අපරාධ හෙලිදරව් කිරීම සම්බන්ධයෙන් සිරගතව සිටින ජූලියන් අසාන්ජ් ආරක්ෂා කරනු

[මෙහි පලවන්නේ Defend Julian Assange, jailed for exposing the crimes of American and world imperialism මාතෘකාවෙන් 2021 මැයි 04 දින පලවූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් මැයි 1 වන දින පවත්වන ලද 2021 ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලියට බ්‍රිතාන්‍ය සමාජවාදී සමානතා පක්ෂයේ සහකාර ජාතික ලේකම් ටොම් ස්ක්‍රිප්ස් පහත දැක්වෙන කථාව කලේ ය.

***

ලන්ඩනයේ උපරිමාරක්ෂිත බන්ධනාගාරයේ සිර ගත කොට සිටින විරෝදාර මාධ්‍යවේදී ජුලියන් අසාන්ජ්ගේ කායික සහ මානසික තත්ත්වය දැනුවත් ව අන්තරයාකට ඇද දමනු ලැබ ඇති තත්ත්වයක දී නැවතත් මේ වසරේ ද මැයි දිනය සැමරීමට හජාජාකයට සිදු ව ඇති අතර ඔහු නිදහස් කල යුතු යැයි යන අපගේ බලකිරීම යලි ප්‍රකාශයට පත් කරන්නෙමු.

පසුගිය වසර තුල ලෝක සමාජවාදී වෙබ් අඩවිය අසාන්ජ්ගේ පුවත්පත් කලාවේ කැපී පෙනෙන ස්වභාවය පෙන්නුම් කල අවස්ථාවන්ට සම්බන්ධ සංවත්සරයන් සහ ඔහුගේ නිදහස සඳහා වූ අරගලයේ මූලික දේශපාලන වැදගත්කම පෙන්වා දෙන වාර්තා ඉදිරිපත් කලේ ය.

ටොම් ස්ක්‍රිප්ස්

ජුලි 25, ඇෆ්ගනිස්ථාන යුද වාර්තා ප්‍රකාශයට පත් කර වසර දහයක් සහ ඔක්තෝබර් 22 ඉරාක යුද වාර්තා වලින් වසර දහයක් සනිටුහන් විය. වසං කරනු ලැබූ දහස් ගන් සිවිල් වැසියන් ඝාතනය කිරීම්, ඝාතක කල්ලි යෙදවීම සහ වධහිංසා පැමිනවීම ඇතුලත් ව මේවා මෙම රටවල කුරිරු අධිරාජ්‍යවාදී ආක්‍රමන හා වාඩිලා ගැනීම් පිලිබඳ පෙර නොවූ විරූ වාර්තාවක් සපයන ලදී.

අධිරාජ්‍යවාදී කුමන්ත්‍රන සහ කුමන්ත්‍රන සැලසුම්, දූෂන සහ රාජ්‍ය මහජනයා ගැන ඔත්තු බැලීම් හෙලිදරවු කල එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රික කේබල් පනිවුඩ මුදා හැරීමෙන් දශකයක් නොවැම්බර් 27 වැනි දා සනිටුහන් විය.

මෙම අප්‍රේල් 24 වන දින, සිරකරුවන්ට වධහිංසා පැමිනවීම සහ ලමයින් ඇතුලු අහිංසකයින් වසර ගනනාවක් නඩු විභාගයකින් තොරව රඳවා තබා ගැනීම එලිදරවු කල ග්වාන්තනාමෝ ලිපිගොනු පල කිරීමෙන් වසර දහයක් සනිටුහන් විය.

ගෙවුනු දශකය තුල, නඩු විභාගයට ලක් කොට සිරගත කරනු ලැබුවේ මෙම අපරාධකරුවන් නොව, ඒවා හෙලිදරවු කල අසාන්ජ් ය.

ඔහු දේශපාලන රැකවරන යටතේ රැඳී සිටි ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයෙන් අත්අඩංගුවට ගෙන වසර දෙකක සංවත්සරය සති කිහිපයකට පෙර එලඹුනු අතර, වසර හතකට ආසන්න කාලයක් බ්‍රිතාන්‍ය පොලිසිය විසින් අත්තනෝමතික ලෙස තානාපති කාර්යාලයෙන් බැහැර යාම වලක්වමින් එහි රඳවා තබා ගන්නා ලදී. ඔහු පොලිස් වෑන් රථයකට කුදලා අනතුරු ව බෙල්මාර්ෂ් බන්ධනාගාරගත කරන ලද අතර, ඔහුගේ නීතිමය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් දාමයකට මුහුනදීමට සිදුවිය. අමානුෂික කොන්දේසි යටතේ වසර 175 ක සිර දඬුවමක් නියම කිරීම සඳහා එක්සත් ජනපදය විසින් ඔහුව උදර්පනය කිරීම අපේක්ෂාවෙන් සිටී.

අවුරුදු දෙකක් ඔහු රැඳී සිටින්නේ සතුරන් අතේ ය.

බ්‍රිතාන්‍ය විනිසුරුවරියක වන වැනේසා බැරිට්සර්, විකිලීක්ස් නිර්මාතෘ සියදිවි නසා ගැනීමේ දැඩි අවදානමක් ඇති බව පිලිගත් අතර ජනවාරි මාසයේදී අසාන්ජ් මානසික සෞඛ්‍ය හේතු මත එක්සත් ජනපදයට පිටුවහල් කල නොහැකි බවට තීන්දු කලා ය.

නමුත් මෙය දේශපාලනිකව ගනනය කල තීරනයක් වූ අතර එය අසාන්ජ්ට විනාඩියකවත් නිදහසක් ලබා දුන්නේ නැත. ඔහුගේ සෞඛ්‍යය පිලිබඳ කාරනය හැරුනු විට, බැරිට්සර්, ඇමරිකානු ආන්ඩුවේ සෑම ප්‍රජාතන්ත්‍ර විරෝධී අංගයක්ම පිලිගත් අතර, පැමිනිල්ලට අභියාචනයක් සඳහා දොර විවර කර දුන්නා ය.

බයිඩන් පරිපාලනය බලයට පත්වූ විගස කල පලමු ක්‍රියාවන් අතර, එක්සත් ජනපදය අභියාචනයක් ඉදිරිපත් කර අසාන්ජ් ව උදර්පනය කිරීමට දිගටම උත්සාහ කරන බව පැහැදිලි කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කෙරෙහි ඔවුන්ගේ සතුරුකම සම්බන්ධයෙන් රිපබ්ලිකානුවන් හා ඩිමොක්‍රටිකයින් අතර වෙනසක් නොමැති බව සනාථ කලේය. ලොව පුරා සිටින ධනේශ්වර පක්ෂ, ඔවුන්ගේ මාධ්‍ය හොරනෑ සහ ව්‍යාජ වාම වලිග සම්බන්ධයෙන් ද එය එසේම සත්‍ය වේ.

පසුගිය සැප්තැම්බරයේ ලන්ඩනයේ ඕල්ඩ් බේලි හි දී අසාන්ජ් පිටුවහල් කිරීමේ නඩු විභාගය, ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීමේ හා ලෝක අධිරාජ්‍යවාදය නින්දිත සාපරාධීත්වයට ඇද වැටීමෙහි දිය බස්නාවකි. විකිලීක්ස් විසින් හෙලිදරව් කරන ලද “සමූහ ඝාතනය”, “අසාමාන්‍ය ලෙස ඉදිරිපත් කිරීම”, “වැඩි දියුනු කල ප්‍රශ්න කිරීම්”, “ආක්‍රමනශීලී යුද්ධ” ආදී අපරාධයන් සාක්ෂියෙන් සාක්ෂිය විස්තර කරන අතරතුර, අසාන්ජ් “ඔත්තු බැලීම” යන චෝදනාවට ලක්වී විත්ති තූඩුවේ වාඩි වී සිටියේ වගකීම් විරහිත හැකර් කෙනෙකු ලෙස චූදිතව ය.

මෙම විකාර දර්ශනය ගැන අසාන්ජ් පිටුවහල් කිරීමට එරෙහිව කල් පමා වී නමට විරෝධය පෑ නාමික ලිබරල් මාධ්‍ය යන්තම් මැසිවිලි නැඟූවේ මුළු දශකය පුරාම ඔහුට එරෙහිව අපහාස කිරීමේ කුමන්ත්‍රනයකට මුළු හදවතින්ම සහභාගී වීම ආවරනය කිරීම සඳහා ය.

රුසියාවේ දක්ෂිනාංශික අධිරාජ්‍යවාදී පන්දම්කාර ඇලෙක්සි නවල්නි ට සැලකීම සම්බන්ධයෙන් මෑතදී ඇති වූ නරුම කෝලාහලයට එක් ධනාත්මක කරුනක් තිබේ නම්, ඒ, අසාන්ජ් ට සහය දෙනවා යයි කියන මෙම සංවිධානවල වංචනික ස්වභාවය සනාථ කිරීමයි. එක්සත් රාජධානියේ ගාඩියන් හෝ ඇමරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් සඟරාවක, දේශපාලනිකව දිරාපත් වූ නවල්නිගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී නොසිටි මුද්‍රනයක් කියවිය නොහැක. අසාන්ජ් පිලිබඳව ඔවුන් පැවසූ අවසාන වචනය ගැන කිසිවෙකුට මතක නැත.

අසාන්ජ් කාම අපරාධකාරයෙකු ලෙස හංවඩු ගැසීම සඳහා බොරු හා මුලුමනින්ම නින්දිත ව්‍යාපාරයට නායකත්වය දුන් ව්‍යාජ-වම දැන් ඔහුගේ නම යන්තම් හෝ සඳහන් නොකරති.

අසාන්ජ් පිලිබඳ මුනිවත රකින මෙම බලවේග, ලෝක අධිරාජ්‍යවාදය යුද්ධය සහ ආඥාදායකත්වය කරා යාමේ දී තීරනාත්මක සේවාවක් ඉටු කරයි. වසංගතය නාටකාකාර ලෙස පන්ති හා භූදේශපාලනික ආතතීන් තීව්‍ර කර ඇත. ඔවුන්ගේ කොල්ලකාරී අවශ්‍යතා ඉදිරියට ගෙනයාම සඳහා සහ වර්ධනය වන සමාජ නොසන්සුන්තාව පිටතට හරවා යැවීමේ උත්සාහයක් ලෙස එක්සත් ජනපදය සහ එහි සහචරයින් රුසියාවට හා චීනයට එරෙහිව ආක්‍රමනය උත්සන්න කිරීමේ ව්‍යාපාරයක් දියත් කරමින් සිටිති.

න්‍යෂ්ටික සන්නද්ධ බලවතුන් අතර යුද්ධයක ව්‍යසනයෙන් ලෝකයට තර්ජනයක් වන මෙම න්‍යාය පත්‍රයට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ඉවත් කිරීමකින් තොරව ඉදිරියට යා නොහැකි බව පාලක පන්තිය දනී. බයිඩන්, එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් සහ ඔවුන්ගේ සෙසු මැරයන් අධිරාජ්‍යවාදී අපරාධ හෙලිදරව් කරන හා විරුද්ධ වන අයට කුරිරු ආදර්ශයක් සහ ඒකාධිපති පූර්වාදර්ශයක් ලෙස අසාන්ජ් විනාශ කිරීමට අදහස් කරති.

අසාන්ජ් යටත් කොට ඇති අඛන්ඩ හිංසනය, ඔහුගේ නිදහස සඳහා වන සටනේදී විරුද්ධ ඉදිරිදර්ශන දෙක වෙන් කරන පරතරය පුලුල් කර ඇත.

ඩොන්ට් එක්ස්ට්‍රඩිට් අසාන්ජ් (අසාන්ජ් උදර්පනය නොකරනු!) සංවිධානය විසින් නියෝජනය කරන ලද නිල උද්ඝෝෂනය, වාම-කතා දොඩන දේශපාලන හොර වෙදුන් බඳවා ගැනීම සහ ධනේශ්වර රාජ්‍යයට හා එහි නියෝජිතයින්ට ආයාචනා නිකුත් කිරීම සඳහා ජොන්සන්ගේ දක්ෂිනාංශික ආන්ඩුව කෙරෙහි තම බලාපොරොත්තුව තැබූ නියාලු හිටපු කම්කරු නායක ජෙරමි කෝබින් ඔජ වැඩීමේ සිට සමාව ඉල්ලා ජනාධිපති ට්‍රම්ප් සහ බයිඩන් වෙත බංකොලොත් ආයාචනා කිරීමේ කූට ප්‍රාප්තියක් දක්වා සිය ප්‍රයත්නයන් යොමු කර තිබේ.

අසාන්ජ්ගේ නිදහස සහ ආරක්ෂාව සුරක්ෂිත කල හැකි එකම බලවේගය වන ජාත්‍යන්තර කම්කරු පන්තිය පෙලගැස්වීමේ අරගලයක් වෙනුවට දේශපාලන හා ජනප්‍රිය චරිතවල සහයෝගය ආදේශ කිරීමට උත්සාහ කරන උදාසීන හා පරාජයේ දේශපාලනය මෙයයි. ඔවුන්ගේ ශ්‍රමයේ ඵලය නම් තමන්ට ඇහුම්කන් නොදෙන බව දන්නා විට පමනක් උස් හඬින් කෑ ගසන්නා වූ, සුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ දේශපාලන විචාරකයින්ගේ කලහකාරී කන්ඩායමකි. ඒවා මහජනතාවට කෙටිමඟක් නොව ඔවුන්ගේ බලමුලු ගැන්වීම අවහිර කිරීමකි.

හජාජාක මෙ බඳු නිද්‍රාජනක ආයාචනා ප්‍රතික්ෂේප කරයි. අපි කෙලින්ම කම්කරු පන්තිය වෙත හැරී අසාන්ජ් ගේ ආරක්ෂාව වෙනුවෙන් පන්ති අරගලයේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් සඳහා කම්කරුවන් සංවිධානය කිරීමට උත්සාහ කරමු. ඉදිරියේ ඇති දැවැන්ත පන්ති අරගලවලදී සටන් කිරීම සඳහා ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට හජාජාක ගෝලීය මුලපිරීමක් දියත් කල දිනයේ දී, මෙම ඉදිරිදර්ශනය අසාන්ජ් නිදහස් කරනු ඇතැයි අපි වෙන කවරදාටත් වඩා විශ්වාස කරමු.

Loading