දකුනු ආසියාව තුල නොනවතින විප්ලවය සඳහා අරගලය

[මෙහි පලවන්නේ The struggle for Permanent Revolution in South Asia  මාතෘකාවෙන් 2021 මැයි 07 දින පලවූ ලිපියේ සිංහල පරිවර්තනයයි.] 

දීපාල් ජයසේකර හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ  ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී  සමානතා පක්ෂයේ සහකාර ලේකම් ය. ඔහු ඉන්දියානු උප-මහාද්වීපයේ දේශපාලනය සහ  ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය ගැන පුලුල් ලෙස ලියා ඇත. මැයි 1 දා ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ ජාත්‍යන්තර කමිටුව විසින් පවත්වන ලද 2021 ජාත්‍යන්තර මැයි දින අන්තර්ජාල රැලියේ දී ඔහු පහත පල වන කතාව පැවැත්වීය. 

2021 ජාත්‍යන්තර මැයි දින අන්තර්ජාල රැලියේ දී දීපාල් ජයසේකර විසින් පවත්වන ලද කතාව

සහෝදරවරුනි,

දකුනු ආසියාවේ බිලියන 1.9ක් වන ජනයාට මාරාන්තික ප්‍රතිවිපාක ගෙන එමින්, කෝවිඩ්-19 වසංගතය මෙම කලාපය පුරා වේගයෙන් පැතිර යමින් තිබේ. 

පසුගිය වසරේ අප මැයි දින රැලිය පවත්වන විට, දකුනු ආසියාවේ කොරෝනාවෛරස් ආසාදිතයන් 50,000ක් පමන ද මරන 2,000කට ආසන්න ප්‍රමානයක් ද වාර්තා වී තිබුනි. මේ වන විට, එක වසරක් තුල, මුලු ආසාදිතයන් මිලියන 19කට අධික දැවැන්ත සංඛ්‍යාවක් දක්වා 380 ගුනයකින් ද මරන සංඛ්‍යාව 230,000 ඉක්ම වූ අගයක් දක්වා 115 ගුනයකින් ද ඉහල නැග තිබේ. 

කොරෝනාවෛරස් ආසාදිතයන්ගේ හා මරන සංඛ්‍යාවේ මෙම නැග්ම, මනුෂ්‍ය ජීවිතවලට ඉහලින් මහ ව්‍යාපාරිකයනගේ ලාභ අවශ්‍යතා තබා ඇති ලොව පුරා පාලක ප්‍රභූන්ගේ සාපරාධී පිලිවෙත්වල ප්‍රතිඵලය යි. 

කෝවිඩ්-19 වසංගතය ගෝලීය ප්‍රශ්නයක් වන අතර එය තනි රටක් තුල කෙසේවෙතත් තනි කලාපයක් තුලවත් ජය ගත නොහැකිය. එබැවින් ජාත්‍යන්තර කම්කරු පන්තිය,  මෙම මාරාන්තික වසංගයට එරෙහිව සටන් වදිනු පිනිස ගෝලීයව පවතින සම්පත් බලමුලු ගැන්වීමේ කටයුත්ත සියතට ගත යුතුය. 

පසුගිය වසර මුලදි වසංගතයේ වැඩෙන තර්ජනය මුලුමනින්ම නොතකා සිටි දකුනු ආසියාවේ ආන්ඩුවලට – ප්‍රධාන කොටම ඉන්දියාවේ, පකිස්ථානයේ, බංග්ලාදේශයේ හා ශ්‍රී ලංකාවේ ආන්ඩුවලට  – 2020 මාර්තුවේ දී ජාතික පරිමාන අගුලු දැමීම් ප්‍රකාශයට පත් කිරීමට බල කෙරුනි. කෙසේවෙතත්, මෙම අගුලු දැමීම් සමග, මහා පරිමාන පීසීආර් පරීක්ෂන, සබඳතා හඹායෑම්, අන් සියල්ලටත් වඩා ඒ වන විටත් අරමුදල් හිඟයෙන් පෙලුනු මහජන සෞඛ්‍ය සේවාවන් නගා සිටුවීම පිනිස සැලකිය යුතු මූල්‍ය සම්පත් වෙන් කිරීම සහ ව්‍යාපාර හා කර්මාන්ත වසාදැමීම නිසා සිය ආදායම අහිමි වූ මිලියන සංඛ්‍යා කම්කරුවන්ට සමාජ සහන සැපයීම ආදි පිලිවෙත් ක්‍රියාවට දැමීමට ඔවුහු අපොහොසත් වූහ. එබැවින් එම අගුලු දැමීම්වලට ඒවායේ ප්‍රකාශිත අරමුනු සාක්ෂාත්  කර ගත නොහැකි විය. 

එපමනක් නොව, ධනපති පාලකයෝ, ධනපතියන්ගේ ලාභ අවශ්‍යතා ආරක්ෂා කිරීම පිනිස, ඉක්මනින්ම කර්මාන්ත යලි විවෘත කිරීමට පියවර ගත්හ. මේ දැන් වසංගතය ශීඝ්‍රයෙන් පැතිර යන කොන්දේසි යටතේ පවා, දකුනු ආසියාවේ පාලක ප්‍රභූහු, ගෝලීය පරිමාන ඔවුන්ගේ සගයන් අනුව යමින්, ආර්ථිකය විවෘතව තබා ගැනීමේ හා සමූහ ප්‍රතිශක්තිකරනයේ රුදුරු නිල පිලිවෙත ම ඉදිරියට ගෙන යමින් සිටිති. 

ඉන්දියාව, ලෝකයේ එක රටක ඉහලම දෛනික රෝගීන් සංඛ්‍යාව වර්තා කරමින්,  වසංගතයේ අපි කේන්ද්‍රයක් බවට පත්ව ඇත. ඉන්දියාව, අප්‍රේල් 22 දා සිට, එක දිගට ලක්ෂ 3කට අධික දෛනික ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා කරමින් සිටී. එරට කෝවිඩ්-19 මුලු ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 18ට ආසන්න වෙමින් පවතී. එය එක්සත් ජනපදයට පමනක් දෙවැනි වෙමින්, ලෝකයේ දෙවන විශාලතම ආසාදිතයන් සංඛ්‍යාවයි. 

ඉන්දියාව අප්‍රේල් 21 දා සිට 2000කට අධික දෛනික මරන සංඛ්‍යාවක් වාර්තා කරමින් සිටී. එරට සමස්ත කෝවිඩ්-19 මරන සංඛ්‍යාව දැන් ලක්ෂ 2 ඉක්මවා ඇත. මෙම ව්‍යසනකාරී කොන්දේසි යටතේ පවා, මෝදි ආන්ඩුව,  කෝටි සංඛ්‍යාත ජනයාගේ ජීවිතවලට ඉහලින් ධනපතියන්ගේ ලාභ අවශ්‍යතා තබමින්, වසංගතය පාලනය කිරීම පිනිස ජාතික පරිමාන අගුලුදැමීමක් දිගටම ප්‍රතික්ෂේප කරමින් සිටී. 

පකිස්ථානයේ අගමැති ඉම්රාන් ඛාන්ගේ ආන්ඩුව, ගිය වසරේ මෙම කලාපයේ රටවලින් අගුලුදැමීමක් ක්‍රියාවට දැමීම අවසානයටම සිදුකල පාලනය මෙන්ම එය ඉවත් කිරීමට මුලින්ම පියවර ගත් ආන්ඩුව ද විය. දැන් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 8 ඉක්මවා, මුලු මරන සංඛ්‍යාව 17,000 ඉක්මවා ඇති වසංගතයේ මරනීය කොන්දේසි යටතේ පවා, ඔහුගේ ආන්ඩුව යලිත් වරක් ජාතික අගුලුදැමීමක් ප්‍රතික්ෂේප කරමින් සිටී. 

බංග්ලාදේශයේ සමස්ත කෝවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 750,000 ඉක්මවමින් මුලු මරන සංඛ්‍යාව 11,000 ඉක්මවා ගොස් ඇති තතු යටතේ, අගමැතිනි ෂීක් හසීනාගේ ආන්ඩුවට රට අගුලුදැමීමට බල කෙරී තිබේ. එම අගුලු දැමීම මැයි 5 දක්වා දීර්ඝ කර ඇත. එහෙත් මහ ව්‍යාපාරිකයන්ගේ  ලාභ අවශ්‍යතාවන්ට ඇයගේ ආන්ඩුවේ ඇති කැපවීම අවධාරනය කරමින්,  ඇඟලුම් අංශය ඇතුලු කර්මාන්තවලට ක්‍රියාත්මක වීමට අවසර දී තිබේ. 

ශ්‍රී ලංකාවේ, වසංගතය පාලනය කර ඇති බවට ආන්ඩුව දොඩන පුරසාරම්වල පල්ල යවමින්, වෛරසයේ දෙවන රැල්ලක් ශීඝ්‍රයෙන් පැතිරෙමින් තිබේ. සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස්, මරන සංඛ්‍යාව 650 පසු කර ඇත. එහෙත් ජනාධිපති ගෝඪාභය රාජපක්ෂ ආන්ඩුව, මෝදි අනුව යමින්, අගුලුදැමීමක් ප්‍රතික්ෂේප කරයි. ඒ වෙනුවට ආන්ඩුව මහජනතාවට බැන වදිමින්, ඔවුන් වෛරසය සමග ජීවත් වෙමින්, සෙෘඛ්‍ය මාර්ගෝපදේශ පිලිපැදිය යුතු බවට අවධාරනය කරයි. 

කම්කරු පන්තියේ ජාත්‍යන්තර නැගිටීමක කොටසක් ලෙස, දකුනු ආසියාවේ කම්කරුවන් සහ පීඩිත ජනතාව, වර්ජන හා විරෝධතා ඇතුලු අරගලයන්ට අවතීර්න  වී සිටිති. 

වසංගතය මගින් අතිශයින් තීව්‍ර කෙරුනු ආර්ථික අර්බුදයේ දැවැන්ත බර කම්කරුවන් මත හෙලමින්, කලාපයේ ආන්ඩු සහ සංගත විසින් ඔවුන්ගේ රැකියා, වැටුප් සහ සේවා හා ජීවන කොන්දේසි මත ප්‍රහාර මාලාවක් මුදා හරිනු ලැබ ඇත. 

ශ්‍රී ලංකාවේ, පසුගිය මාස කිහිපය තුල, ගුරුවරුන්, සහ සෞඛ්‍ය, තැපැල්, විදුලිබල, ජල සම්පාදන හා ජල අපවහන, බැංකු හා දුම්රිය කම්කරුවන් ද වතුකරයේ, සංචාරක ක්ෂේත්‍රයේ  හා ඇඟලුම් අංශයේ සේවකයන් ද ඇතුලුව, රාජ්‍ය හා පුද්ගලික යන දෙඅංශයේ ම විරෝධතා හා වර්ජන පැන නැගුනි. 

පාලක පන්තිය මෙයට ප්‍රතිචාර දක්වා ඇත්තේ, කම්කරු පන්තිය භේද හා දුර්වල කරනු පිනිස ද වැඩෙන කම්කරු පන්තික විරුද්ධත්වය තලා දැමීමේ එල්ලය ඇතිව ෆැසිස්ට් බලවේග බලමුුලු ගැන්විම පිනිස ද වර්ගෝත්තමවාදය අවුලුවා ලමින්, මිලිටරි-පොලිස් ආඥාදායක පාලන රූපයන් සූදානම් කිරීමේ සිය සැලසුම් වේගවත් කිරිම මගිනි. “හිට්ලර් කෙනෙකු ලෙස” ක්‍රියා කරන්නැයි ශ්‍රී ලංකාවේ ප්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුනුගම ජනාධිපති රාජපක්ෂගෙන් ඉල්ලා සිටිමින් මෑත දී සිදු කල ප්‍රකාශය, මගින් පෙන්නුම් කෙරෙන්නේ, කම්කරු පන්තියේ වැඩෙන විරුද්ධත්වය තලා දමනු පිනිස ජනාධිපති ආඥාදායකත්වයක් සඳහා පාලක පන්තියේ කොටස් විසින් ගෙනයන ව්‍යාපාරයයි. 

පාලක ප්‍රභූවේ මෙම ප්‍රතිගාමී පිලිවෙත්වලට මුහුන දීම පිනිස,  ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප), සිංහල, දෙමල හා මුස්ලිම් වාර්ගික භේදයන් කපාගෙන, සමාජවාදී වැඩපිලිවෙලක් මත පාදක වූ ඒකාබද්ධ ස්වාධීන ව්‍යාපාරයක් ලෙස කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට සටන් වදී. 

සසප, හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශන අනුව යමින්, අධිරාජ්‍යවාදී යුද සූදානමට සහ ආඥාදායක සැලසුම්වලට එරෙහිව ස්වාධීන දේශපාලන ඉදරිදර්ශනයක් මත දකුනු ආසියාවේ පුලුල් කම්කරු පන්තික ව්‍යාපාරයක් ගොඩනැගීම දෙසට ඉදිරි පියවර තබා ඇත. 

එවන් ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඉස්මත්තට ඒමෙන් කම්කරු පන්තිය වලකාලනු ලැබ ඇත්තේ, ප්‍රධාන කොටම ඉන්දියාවේ ස්ටැලින්වාදී ඉන්දියානු (මාක්ස්වාදී) කොමියුනිස්ට් පක්ෂය (සීපීඑම්) සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) ඇතුලු, විවිධාකාර ඊනියා වාම පක්ෂ සහ වෘත්තීය සමිතිවල ද්‍රෝහි ක්‍රියාකලාපය මගිනි.  

ශ්‍රී ලංකාවේ, වතුකරයේ සීඩබ්ලිව්සීය සහ නිදහස් වෙලඳ කලාප හා පොදු සේවා සේවක සංගමය ඇතුලු, සියලු සමිති, පොලීසිය විසින් කම්කරුවන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීම්වලට සහාය දීමේ මට්ටම දක්වා ම, කම්කරුවන්ගේ රැකියා, වැටුප් හා සේවා කොන්දේසිවලට එරෙහි ප්‍රහාරවල දී ආන්ඩුව සහ සමාගම් සමග විවෘතව සහයෝගීව ක්‍රියා කරති. 

අප දකුනු ආසියාවේ කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ, මෙම ද්‍රෝහී පක්ෂවලින් හා සමිතිවලින් දේශපාලනිකව හා සංවිධානාමය ලෙස බිඳී සිය සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කරගැනීමේ අරගල ඒකාබද්ධ කරනු පිනිස, තමන්ගේ ම ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගන්නා ලෙසයි. 

සෞඛ්‍ය, අධ්‍යාපන, ඇඟලුම් හා වතුකරය යන ක්ෂේත්‍රවල ද ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කරනු පිනිස කලාකරුවන් රැලි කරනු පිනිස ද එවන් ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම පිනිස සසප මේ වන විටත් මූලිකත්වය ගෙන තිබේ. 

මෙම මූලිකත්වය තව දුරටත් වර්ධනය කරමින්, ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානයක් සඳහා ජාත්‍යන්තර කමිටුව කර ඇති කැඳවුමට සහයෝගය පිනිස කම්කරු පන්තිය රැලි කිරීමට සසප සටන් වදී. 

අන් සියල්ලටමත් වඩා, කලාපයේ කම්කරු පන්තිය, දුගී ගොවීන් හා සෙසු පීඩිත ජනයා තමන්ගේ පැත්තට දිනා ගනිමින්, ධනපති පන්ති පාලනය පෙරලා දැමීමට සටන් වදින විප්ලවවාදී සමාජවාදී මූලෝපායක් සිය පිලිවෙත බවට පත් කර ගත යුතුයි. 

මෙහි දී. ඔවුන් පාදක විය යුත්තේ,  ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය මතයි. එනම්, දකුනු ආසියාවේ වැනි කල් පසුවුනු ධනේශ්වර වර්ධනයක් සහිත රටවල, ප්‍රජාතන්ත්‍ර විප්ලවයේ කර්තව්‍යයන් සාක්ෂාත් කර ගත හැක්කේ, කම්කරු පන්තියේ නායකත්වය යටතේ පමනක් ය යන්නයි. කම්කරු පන්තියේ එවන් ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක්, දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර පරිමානව සමාජවාදී සමූහාන්ඩු සංගමයක් ස්ථාපිත කිරීම සිය එල්ලය කර ගත යුතුය. 

කම්කරු පන්තියට අවශ්‍ය විප්ලවවාදී නායකත්වය සම්පාදනය කරනු පිනිස, සසප, ජාත්‍යන්තර කමිටුව සමග සමීප සහයෝගයෙන් යුතුව, සිය ප්‍රධාන ප්‍රකාශනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය යොදා ගනිමින්, දකුනු ආසියාව තුල, ප්‍රධාන කොටම ඉන්දියාව තුල, ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩනැගීමට සටන් වදී. 

ස්තුතියි සහෝදරවරුනි. 

Loading