වැඩෙන භූදේශපාලන ආතතීන් හමුවේ චීන ආරක්ෂක ඇමති ශ්‍රී ලංකාවේ සංචාරය කරයි

[මෙහි පලවන්නේ Chinese defense minister visits Sri Lanka amid rising geopolitical tension  මාතෘකාවෙන් 2021 මැයි 08 දින පලවූ ලිපියේ සිංහල පරිවර්තනයයි.] 

ගැඹුරු වන භූදේශපාලන ආතතීන් සහ චීනයට එරෙහි එක්සත් ජනපදය ප්‍රමුඛත්වය දරන මිලිටරි සූදානම හමුවේ, කලාපය තුල සිය බලපෑම ශක්තිමත් කිරීමට බීජිනය දරන උත්සාහයේ කොටසක් ලෙස චීන ආරක්ෂක ඇමති ජෙනරාල් වෙයි ෆෙන්ගේ පසුගිය සතියේ දින දෙකක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිනියේය.

කොලඹ බලා යන අතරමඟ වෙයි කෙටි වේලාවකට බංගලාදේශයට ද ගිය අතර එහිදී ජනාධිපති අබ්දුල් හමීඩ්ට ඔහු පැවසුවේ, චීනය සහ බංගලාදේශය, “කලාපයෙන් පිටත බලවතුන් දකුනු ආසියාවේ මිලිටරි සන්ධානයක් ඇති කර, ආධිපත්‍යය දැරීමට ‌එරෙහි විය යුතු” බවයි.

2021 අප්‍රේල් 28 වන බදාදා ශ්‍රී ලංකාවේ කොලඹදී පැවති රැස්වීමේදී කොරෝනා වෛරසයට එරෙහි පූර්වාරක්ෂාවක් ලෙස සාම්ප්‍රදායික අතට අත දීමෙන් වැලකෙමින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ දකුනේ චීන ආරක්ෂක ඇමති වී ෆෙන්ගේ මුෂ්ටි ස්පර්ෂ කරගිනියි. (ඒපී ඡායාරූපය / එරංග ජයවර්ධන)

වෙයි නිශ්චිතවම කිසිදු රටක් නම් නොකලද ඔහු පැහැදිලිවම ඇඟවුම් කලේ, එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලබන සහ ජපානය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව සම්බන්ධ කර ගත් චතුර්පාර්ශවීය (කොඩ්) සන්ධානය යි. මාර්තු 11 දින එක්සත් ජනපද ජනාධිපති බයිඩන්, කොඩ් නායකයින් සමඟ අන්තර්ජාල රැස්වීමක් පැවැත්වූ අතර, තම ආන්ඩුව චීනයට මුහුන දීම සඳහා මිලිටරි හා මූලෝපායික සබඳතා ශක්තිමත් කරන බව පැහැදිලි කලේය.

වෙයිගේ කොලඹ සංචාරය, පසුගිය මාස නවය තුල ඉහල පෙලේ චීන නිලධාරියෙකු සිදු කල දෙවන සංචාරයයි. පසුගිය ඔක්තෝම්බරයේදී හිටපු චීන විදේශ ඇමති සහ දේශපාලන බියුරෝවේ සාමාජික යැං ජිචිශ්‍රී ලංකාවට පැමිනියේය. මාධ්‍ය වාර්තා වලට අනුව චීන විදේශ ඇමති වැන්ග් යී ලබන මාසයේ දී කොලඹට පැමිනීමට නියමිතය.

වෙයි ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය. විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයකු වන ආරක්ෂක ලේකම් කමල් ගුනරත්න හා ත්‍රිවිධ හමුදාවේ අන දෙන නිලධාරීන් තිදෙනා සමඟ වෙයි සාකච්ඡා කලේය., සාකච්ඡා “අතිශයින් පලදායී” යයි දෙපාර්ශ්වයම කියා සිටි නමුත් ඒ පිලිබඳව විස්තර ඉදිරිපත් කරන ලද්දේ සුලු වශයෙනි.

“ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ශ්‍රී ලංකාව කිසි විටෙකත් කලාපයෙන් පිටත ප්‍රධාන බලවතුන්ගේ බලපෑම්වලට යටත් නොවනු ඇති අතර කිසි විටෙකත් කිසිදු රටක් සමඟ සන්ධානයක් ඇති කර නොගනු ඇතැයි” ජනාධිපති රාජපක්ෂ ආරක්ෂක අමාත්‍ය වෙයිට පැවසූ බව ෂින්හුවා පුවත් ඒජන්සිය වාර්තා කලේය. ජනාධිපති සඳහන් කරන්නේ කුමන “ප්‍රධාන බලවතුන්” ද යන්න වාර්තාවේ සඳහන් නොවූවත්, වොෂිංටනය සහ නවදිල්ලිය, ශ්‍රී ලංකාව හා බීජිනය අතර වැඩෙන සබඳතාවලට කෙලින්ම සතුරු ය.

ප්‍රධාන හේතු දෙකක් නිසා බීජිනය සමඟ ඇති සම්බන්ධතා ආන්ඩුවට අතිශයින් වැදගත් ය. පලමුවැන්න, රාජපක්ෂ පාලනය ගැඹුරු ආර්ථික අර්බුදයකට හා වර්ධනය වන විදේශ නයගැති කමට මුහුන දී ඇති අතර එය කොවිඩ්-19 වසංගතයෙන් උග්‍ර කර ඇත. අපනයන තියුනු ලෙස පහත වැටී ඇති අතර සංචාරක ආදායම මුලුමනින්ම පාහේ කඩා වැටී ඇති අතර 2025 වන තෙක් ඇමරිකානු ඩොලර් බිලියන 4.5 ක විදේශ නය සහ පොලී වාර්ෂිකව ආපසු ගෙවිය යුතුය. නය ගෙවීම් පැහැර හැරීම වලක්වා ගැනීම සඳහා කොලඹ ආන්ඩුව මූල්‍ය ආධාර සඳහා බීජිනය වෙත හැරී ඇත.

මාර්තු මාසයේදී චීන මහජන බැංකුව, ශ්‍රී ලංකාවේ මහ බැංකුව සමඟ වසර තුනක ඩොලර් බිලියන 1.5 ක මුදල් හුවමාරු ගිවිසුමක් අත්සන් කල අතර ආන්ඩුව අප්‍රේල් 12 දින චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 500 ක නයක් ලබා ගත්තේය. නවතම මූල්‍ය එකඟතාවයන්ට පෙර පවා ශ්‍රී ලංකාව බීජිනයට ඩොලර් බිලියන 5 කට අධික නය මුදලක් ආපසු ගෙවිය යුතු විය.

දෙවනුව, කොලඹ ආන්ඩුවේ මානව හිමිකම් උල්ලංගනය සම්බන්ධයෙන් එක්සත් ජනපදය හා අනෙකුත් බටහිර රටවලින් එල්ල වන දේශපාලන බලපෑම්වලට එරෙහිව කටයුතු කිරීම සඳහා රාජපක්ෂ ආන්ඩු චීන සහාය දිගටම බලාපොරොත්තු වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට (යූඑන්එච්ආර්සී) “ශ්‍රී ලංකාව පිලිබඳ මූලික කන්ඩායමක්” විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට මාර්තු මාසයේදී එක්සත් ජනපදය, සම අනුග්‍රහය දැක්වීය.

බහුතර ඡන්දයකින් සම්මත වූ මෙම යෝජනාව, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව කොලඹ ආන්ඩුව ගෙනගිය වර්ගවාදී යුද්ධයේ අවසන් මාසවල සිදු වූ යුද අපරාධ පිලිබඳව පරීක්ෂනයක් ඉල්ලා සිටියේය. මෙම කාලය තුල අවම වශයෙන් දෙමල සිවිල් වැසියන් 40,000වත් මරා දැමුනු අතර තවත් බොහෝ මානව හිමිකම් උල්ලංඝනයන් සිදු විය. අනාගතයේ දී හමුදා නායකයින්ට එරෙහිව නඩු පැවරීම සඳහා යොදා ගත හැකි සාක්ෂි එකතු කරන ලෙස හා සංරක්ෂනය කරන ලෙස ද එය ඉල්ලා සිටියේය.

එක්සත් ජනපදය සහ එහි සගයන්, ශ්‍රී ලංකාවේ හෝ වෙනත් ඕනෑම තැනක සිදු කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හෝ යුද අපරාධ ගැන සුළු හෝ තැකීමක් නොකරයි. යූඑන්එච්ආර්සී යෝජනාව, ආන්ඩුවට චීනයෙන් දුරස්තවීමට බලපෑම් කිරීම අරමුනු කර ගත්තේ ය. නවදිල්ලිය, උපායික හේතූන් මත, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඡන්දය දීමෙන් වැලකී සිටිය ද, එය යෝජනාවට සහාය පල කලේය. චීනය සහ රුසියාව යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කලහ.

මුල්‍ය ආධාර සඳහා චීනය වෙත හැරීමෙන් පසුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව 2011 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී එක්සත් ජනපද නායකත්වයෙන් යුත් යෝජනාවලට මුහුන දුන්නේ ය. එවකට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කොලඹ ආන්ඩුව වෙනුවෙන් බීජිනය දැඩි ලෙස උද්ඝෝෂනය කල අතර, එක්සත් ජනපදයේ අනුග්‍රහයෙන් පැවති තන්ත්‍ර-මාරු මෙහෙයුමකින් මහින්ද රාජපක්ෂ ආන්ඩුව 2015 දී නෙරපා හරින ලදී.

ඉන් වසර හතරකට පසු 2019 දී, චීන හිතවාදී මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන් ආන්ඩුව, ඉන්දියානු පිටුබලය ඇතිව හා වොෂිංටනයේ අනුග්‍රහයෙන් බලයෙන් පහ කෙරිනි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදි චීනය දක්වන සහයෝගයට ආරක්ෂක ලේකම් ගුනරත්න පසුගිය සතියේදී වේට ස්තූති කලේය. “ප්‍රායෝගික සහයෝගීතාව වැඩි දියුනු කිරීම සහ ද්විපාර්ශ්වික සබඳතා තව දුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා, කොලඹ ආන්ඩුව සමඟ වැඩ කිරීමට බීජිනය බලාපොරොත්තු වන බව වෙයි පැවසීය. මිලිටරියට ඩොලර් මිලියන 7.73 ක ප්‍රදානයක් ලබා දීමට ඔහු පොරොන්දු විය.

වෙයිගේ සංචාරය, විරුද්ධ පක්ෂ සහ අනෙකුත් කන්ඩායම් විසින් කොලඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනතට එරෙහිව ගෙන ගිය උද්ඝෝෂනය සමග සමපාත විය. වරාය නගරය, චීනයේ සන්නිවේදන ඉදිකිරීම් සමාගම, බීජිං විසින් සපයන ලද ඩොලර් බිලියන 1.4 ක නයක් මත ඉදිකරන ලදී.

වරාය නගරය “චීන යටත් විජිතයක්” බවට පත්වනු ඇතැයි චෝදනා කරමින් සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුන සහ තවත් සංවිධාන කිහිපයක් මෙම ව්‍යාපෘතියට එරෙහිව චීන විරෝධී උද්ඝෝෂනයක් දියත් කර තිබේ. මෙම ජාතිවාදී උද්ඝෝෂනය, පෝර්ට් සිටි සහ ශ්‍රී ලංකාවේ චීන ආයෝජනවලට එක්සත් ජනපදය ප්‍රමුඛ බලවේග වල විරුද්ධත්වයත් සමඟ එක පෙලට සිටියි.

වොෂිංටනය සහ නවදිල්ලිය කියා සිටින්නේ, ශ්‍රී ලංකාවේ සහ අනෙකුත් දුප්පත් රටවල චීන ආයෝජන “නය උගුල්” බවත්, බීජීනය එහි “ආධිපත්‍ය” අභිලාෂයන් තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ඒවා භාවිතා කරන බවත් ය. පසුගිය ඔක්තෝම්බරයේදී එක්සත් ජනපද හිටපු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ශ්‍රී ලංකාවට පැමින, චීනය “විලෝපිතයෙක්” ලෙස ප්‍රසිද්ධියේ හෙලා දකින ලද අතර බීජිනයට එරෙහිව පෙල ගැසෙන ලෙස කොලඹ ආන්ඩුවෙන් ඉල්ලා සිටියේය.

ඉන්දියානු සාගරයේ ඉඩක් ලබා ගැනීමටත් සිය තීරනාත්මක බලශක්ති සැපයුම් සුරක්ෂිත කිරීමටත්, ආක්‍රමනශීලී එක්සත් ජනපද මිලිටරි සූදානමට එරෙහිව සටන් කිරීමටත් දරන උත්සාහයට ශ්‍රී ලංකාව වැදගත් යයි චීනය සලකයි. චීන අරමුදල් මත ඉදිවූ කොලඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය, එහි මූලෝපායික බෙල්ට් හා රෝඩ් වැඩ පිලිවෙලේ තීරනාත්මක මධ්‍යස්ථාන වේ.

කලාපය තුල සිය බලපෑම වැඩිකර ගැනීම සඳහා බීජීනය, අප්‍රේල් 27 වන දින කොවිඩ්-19 සහ ආර්ථික සහයෝගීතාව පිලිබඳ සාකච්ඡාවක් දකුනු ආසියාවේ රටවල් හයක් සමඟ පැවැත්වීය. ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල විදේශ ඇමතිවරු මෙම රැස්වීමට සහභාගි වූ අතර ඉන්දියාවට ආරාධනා කර තිබුනේ නැත.

කලාපයේ සිය සගයන් ගනනාවක් මෙන් ශ්‍රී ලංකා ආන්ඩුව ද සමතුලිත වීමේ මංමුලා සහගත ක්‍රියාවක යෙදී සිටී. කෙසේ වෙතත් වොෂින්ටනය බොහෝ විට පැහැදිලි කර ඇත්තේ, අවශ්‍ය නම්, යුද්ධය ද ඇතුළුව, ඉන්දු-පැසිෆික් කලාපය තුල ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආධිපත්‍යය සහතික කිරීමට දරන උත්සාහයන් කිසිසේත්ම වෙනස් නොකරන බවයි.

Loading