2021 මැයි දිනය සහ තුර්කිය තුල ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලය

[මෙහි පලවන්නේ May Day 2021 and the struggle for international socialism in Turkey මාතෘකාවෙන් 2021 මැයි 06 දින පලවූ ලිපියේ සිංහල පරිවර්තනයයි.] 

තුර්කියේ සෝසියලිස්ට් ඊසිට්ලික් (සමාජවාදී සමානතා කන්ඩායමේ) නායක උලාස් අටෙසි, ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් මැයි 1 වන දින පවත්වන ලද 2021 ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලියට පහත දේශනය පවත්වන ලදී.

තුර්කියේ සමාජවාදී සමානතා කන්ඩායමේ විප්ලවීය සුබ පැතුම් පිරිනමමු.

වසංගතය ගෝලීය ධනවාදයේ ප්‍රතිවිරෝධතා තීව්‍ර කර ඇති තතු තුල, තුර්කිය අවට කලාපයේ වර්ධනය වන භූදේශපාලනික ආතතීන් සහ යුද අන්තරායන් මධ්‍යයේ අපි 2021 මැයි දිනයට සුබ පතන්නෙමු.

උලාශ් අටෙසි

1991 දී ස්ටැලින්වාදී නිලධරය සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු වසර තිහක අධිරාජ්‍යවාදී යුද්ධය, කලාපය සුනුවිසුනු කලා පමනක් නොව, නව ගැටුම් හා යුද්ධවල බීජ වැපිරී ය.

එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ බලවතුන් ජනාධිපති ජෝ බයිඩන් බලයට පත්වූ දා සිට රුසියාවට එරෙහි යුක්රේන තන්ත්‍රයේ මිලිටරි තර්ජනයන්ට සහාය දී තිබේ. එක්සත් ජනපදය සිය ප්‍රධාන “මහා බල” ප්‍රතිවාදියා ලෙස ප්‍රකාශයට පත් කර ඇති චීනයේ වැඩෙන ආර්ථික බලපෑම ද මෙම තර්ජන ඉලක්ක කරයි. තුර්කියේ බොස්පෝරස් සමුද්‍ර සන්ධිය සහ සමස්ත කලු මුහුද දැන් ප්‍රධාන පොර පිටියක් වන හෙයින් අධිරාජ්‍යවාදී නොසැලකිලිමත්කම නිසා මිලියන ගනනකට තර්ජනයක් වන න්‍යෂ්ටික ගැටුමක් ඇතිවිය හැකිය.

පසුගිය ගිම්හානයේදී තුර්කි පිටුබලය ලබන අසර්බයිජානය සහ රුසියානු පිටුබලය ලබන ආර්මේනියාව අතර ඇති වූ ලේවැකි යුද්ධය, අනතුරු ඇඟවීමකි: කොකේසස් හි  මහ බලවතුන්ගේ එදිරිවාදිකම් උත්සන්න වෙමින් පවතී.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “තෙල් බිම් පැහැරගැනීමේ” ප්‍රතිපත්තිය ම ඉදිරියට ගෙන යන බව බයිඩන් පරිපාලනය පැහැදිලි කර ඇත. ඒ අනුව ඊසානදිග සිරියාවේ එක්සත් ජනපද මිලිටරි වාඩිලෑම දිගටම කරගෙන යන අතර දමස්කස් වලට පමනක් නොව මොස්කව් හා ටෙහෙරානයට ද තර්ජනය කරයි. දශකයක් පුරා පැවති නේටෝ යුද්ධයෙන් 500,000 කට අධික පිරිසක් මියගොස් මිලියන 10 ක ජනතාවක් සරනාගතයින් බවට පත්ව ඇති සිරියාව පවතින්නේ භයානක ජ්වලනාංකයක ය. එක්සත් ජනපදයේ පිටුබලය ලබන කුර්දි මිලීෂියාවන්ට එරෙහිව තුර්කිය උතුරේ මිලිටරි රඳවා තිබෙන අතර එක්සත් ජනපදය හා ඊශ්‍රායලය, සිරියානු හමුදා සහ ඉරාන පිටුබලය ලබන මිලීෂියාවන්ට එරෙහිව සිය ගුවන් ප්‍රහාර දිගටම කරගෙන යයි.

වොෂිංටනය, ඊශ්‍රායලය සහ ගල්ෆ් තෙල් අරාබි තන්ත්‍ර (Gulf oil sheikdoms) ඉරානයට එරෙහිව අඛන්ඩව යුද සූදානමක සිටින අතර, එක්සත් ජනපදයේ කුරිරු සම්බාධක මගින් වසංගතය උග්‍ර වී දස දහස් ගනනක් මිය ගොස් ඇත.

භූදේශපාලනික ආතතීන්ගේ තවත් ප්‍රධාන ජ්වලන ලක්ෂ්‍යයක් වන්නේ නැගෙනහිර මධ්‍යධරනි මුහුදයි. බලශක්ති සම්පත් සම්බන්ධයෙන් තුර්කිය සහ ප්‍රංශයේ පිටුබලය ලබන ග්‍රීසිය අතර සමුද්‍රීය සීමා ආරවුල්, ඊනියා “නේටෝ සහචරයින්” අතර මිලිටරි ගැටුමේ සෘජු තර්ජනයක් වේ. ඊජිප්තුවේ හා ටියුනීසියාවේ කම්කරු පන්තියේ විප්ලවීය නැගිටීම්වලට ප්‍රතිචාරයක් ලෙස නේටෝව 2011 දී ලිබියාවේ සහ සිරියාවේ දියත් කල ලේවැකි යුද්ධ සමඟ මේවා බැඳී තිබේ.

මධ්‍යධරනී මුහුදේ තවත් නාවික සිදුවීමකින් පසුව අන්කාරා, ප්‍රංශ සහ ග්‍රීක තානාපතිවරුන්ට කල කැඳවීම්වලින් පෙනී යන්නේ මෙම ඊනියා නේටෝ සහචරයින් යුද්ධයේ අද්දරට පැමිනෙමින් සිටින බවයි.

වඩාත්ම බරපතල අනතුරු ඇඟවීම් අවශ්‍ය වේ. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) 2014 දී “අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන හා සමාජවාදය”  යන මාතෘකාව යටතේ ලියා ඇති පරිදි: “තවත් අධිරාජ්‍යවාදී ලේ වැගිරීමක් විය හැක්කක් පමනක් නොවේ; විප්ලවීය මාක්ස්වාදී වැඩපිලිවෙලක පදනම මත ජාත්‍යන්තර කම්කරු පන්තිය මැදිහත් නොවන්නේ නම් එය නොවැලැක්විය හැකිය.”

මින් අවධාරනය කෙරෙන්නේ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය ලෝක සමාජවාදී විප්ලවයේ උපාය මාර්ගයේ කේන්ද්‍රයේ තබන ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ නායකත්වය වන හජාජාක ගොඩනැගීමේ හදිසි අවශ්‍යතාවයයි.

ජනාධිපති රිසෙප් ටයිප් අර්ඩොගාන් ගේ ආන්ඩුව විසින් ක්‍රියාත්මක කරන ලද මිනීමරු “රංචු ප්‍රතිශක්තිය” ප්‍රතිපත්ති හේතුවෙන් තුර්කිය වසංගතයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙමින් තිබේ.

දිනකට රෝගීන් 40,000 ත් 60,000 ත් අතර සංඛ්‍යාවක් හඳුනාගන්නා තුර්කිය, දෛනිකව රෝගීන් 350,000 ක් වාර්තා කරන ඉන්දියාවෙන් පසු ආසියාවේ වඩාත්ම නව ආසාදන ඇති රට වේ, කොවිඩ්-19 මරන සංඛ්‍යාව 40,000 කරා ලඟා වෙමින් පවතින බව නිල සංඛ්‍යාලේඛනවලට අනුව ප්‍රකාශ වුවද මරන සංඛ්‍යා ව අවතක්සේරු කිරීම සඳහා නැවත නැවතත් උපාමාරු දමා ඇති බව පෙන්නුම් කරයි.

මෙම විශ්වාස කල නොහැකි සංඛ්‍යාවන්ට අනුව වුවද, 2020 මාර්තු මාසයෙන් පසු මාස 13 තුල 30,000 කට ආසන්න පිරිසක් කොරෝනා වෛරසයෙන් මිය ගිය අතර, මෙම සංඛ්‍යාව අප්‍රේල් මාසයේදී පමනක් 8,000 දක්වා ඉහල ගියේය.

මෙම සංහාරයේ ප්‍රධාන චුදිතයා වන්නේ අර්ඩොගාන් ගේ ආන්ඩුව යි. එය, මුල සිටම පාලක පන්තියේ ලාභ අවශ්‍යතාවන්ට අනුකූලව ප්‍රතිපත්ති තීරනය කරන ලදී. කෙසේ වෙතත්, රිපබ්ලිකන් මහජන පක්ෂය (රිමප) විසින් නායකත්වය දෙන ධනේශ්වර විරුද්ධ පක්ෂ මෙම ප්‍රතිපත්තියට හවුල් වී ඇති අතර පාර්ලිමේන්තුවේ කිසිදු බරපතල විරෝධයක් මතු කර නැත. ඔව්හු  තම පාලනය යටතේ ඇති නගරවල ද එම ප්‍රතිපත්තියම අනුගමනය කලහ.

මෙම ආසාදන හා මරන, මාර්තු මස මුලදී ප්‍රකාශයට පත් කරන ලද “විවෘත කිරීමේ” ප්‍රතිපත්තියේ අනිවාර්ය ප්‍රතිඵලයකි.

සීමිත සීමාවන් පවා ඉවත් කල අතර බොහෝ පාසල් මුහුනට-මුහුන ලා කෙරෙන අධ්‍යාපනය සඳහා විවෘත විය. අර්ඩොගාන් ගේ පාලක, යුක්තිය සහ සංවර්ධන පක්ෂය (යුසප) පලාත් කිහිපයක මහජන පක්ෂ සම්මේලන පැවැත්වීය.

“සමාජ ඝාතන” ප්‍රතිපත්තියට එරෙහි මහජන කෝපය වර්ධනය වෙත්ම, ජනාධිපති අර්ඩොගාන් 2021 අප්‍රේල් 29 වන දින සිට දින 18 ක් සඳහා ඊනියා “පූර්න අගුලු දැමීමක්” ප්‍රකාශයට පත් කලේය. අර්ඩොගාන් පැවසුවේ, ඔහුගේ ප්‍රධාන අවධානය යොමු වූයේ “වෙලඳ හා සංචාරක ව්‍යාපාරයට” සිදුවන හානිය වැලැක්වීම සඳහා බවයි.

තුර්කි සහ ජාත්‍යන්තර ආයෝජකයින් සඳහා ලාභ උපයා ගැනීම ට, අත්‍යවශ්‍ය නොවන සේවා ස්ථාන වෙත යාමට හැකි වන පරිදි සියලුම කම්කරුවන් පාහේ සමාජ-දුරස්ථ පියවරයන්ගෙන් නිදහස් කර ඇත. එපමනක් නොව, මෙම පියවරයන්ගෙන් පීඩාවට පත් කුඩා ව්‍යාපාර හිමිකරුවන්ට, කම්කරුවන්ට සහ වෙනත් අයට කිසිදු සමාජ සහයෝගයක් ලබා නොදේ.

සැබෑ විරැකියාව සහ ආහාර උද්ධමනය යන දෙකම සියයට 30 ඉක්මවා ඇති තුර්කියේ, කම්කරු පන්තියේ දුඃඛිතභාවයේ වඩාත් කැපී පෙනෙන ප්‍රකාශනය වන්නේ යුද්ධයෙන් පලා යන මිලියන සංඛ්‍යාත සරනාගතයින්ගේ ඉරනමයි. ඔවුන් ඇත්ත වශයෙන් ම අතහැර දමා ඇති අතර එන්නත් කිරීමේ ලේඛනයට පවා ඇතුලත් නොවේ.

තවද, 2020 දී ඉස්තාන්බුල් කොටස් වෙලඳපොල වාර්තා බිඳ දැමුුනු අතර, වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා වූ රාජ්‍ය ආර්ථික ආධාර වලින් සියයට 90 ක් පමන ව්‍යාපාර, සමාගම් සහ බැංකු වෙත ලැබුනි. සමූහ මරන හේතුවෙන් බැංකු සහ මහා සමාගම් විශාල ලාභයක් ලබා ඇති අතර මිලියන සංඛ්‍යාත කම්කරුවන්ට ලැබුනේ කෙටි කාලීන රැකියා දීමනා හෝ පඩි රහිත  නිවාඩු ය. එසේම ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් ඔවුන්ගේ රැකියාවෙන් නෙරපා හරින ලදී.

වසංගතය දැනටමත් පිපිරීමක් කරා ගමන් කරමින් පවතින සමාජ ආතතීන් තීව්‍ර කිරීමත් සමග පන්ති අරගලය වර්ධනය වෙමින් තිබේ. තුර්කියේ සහ ජාත්‍යන්තරව මෙය තවමත් පවතිනුයේ එහි මුල් අවධියේ ය. බොහෝ කර්මාන්තවල කම්කරුවන් පඩි රහිත  නිවාඩු, දොට්ට දැමීම් හෝ පශ්චාත් වසංගත කප්පාදු පියවරයන්ට එරෙහිව සටන් වදින අතර දැඩි පොලිස් රාජ්‍ය මර්දනය තිබියදීත් පසු නොබසිති.

නැගී එන පන්ති ආතතීන් තුර්කි ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතිරිව ඇති දේ ද ඉවත් කර දමයි. අර්ඩොගාන් විසින් මෙහෙයවන පාලක පන්තිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරමින්, ජනාධිපති ආඥාදායකත්වයක් ගොඩනඟා ගනිමින් සහ සියල්ලටමත් වඩා කම්කරු පන්තිය ඉලක්ක කර ගනිමින් කටයුතු කරයි. කම්කරු පන්තිය ජාතිකවාදී ලෙස බෙදා වෙන් කිරීම සහ සමාජ කෝපය වෙනතකට හැරවීම සඳහා කුර්දි-ජාතිකවාදී මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (මප්‍රප) තහනම් කරන බවට ආන්ඩුව තර්ජනය කරයි.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහි මෙම ප්‍රහාරයන්ට සමාජවාදී සමානතා කන්ඩායම මුලුමනින්ම විරුද්ධ ය. කෙසේ වෙතත්, කුර්දි ජනතාවට එරෙහි පොලිස්-රාජ්‍ය ක්‍රියාමාර්ගයන්ට අප දක්වන විරෝධය, කුර්දි ජාතිකවාදයේ බංකොලොත් දේශපාලනයට එරෙහි අපගේ විරෝධය අඩු කිරීමක් ඇඟවුම් නොකරයි. මප්‍රප යනු සිරියාවේ එක්සත් ජනපද මැදිහත්වීමට සහාය දෙන නේටෝ සහ යුරෝපා සංගම් හිතවාදී පක්ෂයකි. එපමනක් නොව, එය “ප්‍රජාතන්ත්‍රවාදයේ බලවේග” ලෙස හඳුන්වන රිමප, අන්ත දක්ෂිනාංශික යහපත් පක්ෂය (Good Party), ඉස්ලාමීය සෞභාග්‍යයේ පක්ෂය සහ යුසප භේද දෙක වැනි තුර්කි ධනේශ්වර පක්ෂ වෙත යොමු වේ.

ඔවුන්ගේ උපායාත්මක වෙනස්කම් කුමක් වුවත්, “රංචු ප්‍රතිශක්තිය” ප්‍රතිපත්ති සහ අධිරාජ්‍යවාදී යුද්ධයට ඔවුන් දක්වන සහයෝගය ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ න්‍යාය සනාථ කරයි. අධිරාජ්‍යවාදයට යටත් වූ මෙම පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී හෝ සමාජ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අසමත් ය. එම කාර්යය පැවරෙන්නේ ලෝක සමාජවාදී විප්ලවයේ කොටසක් ලෙස ධනවාදය පෙරලා දැමීම සඳහා සටන් කරන ජාත්‍යන්තර කම්කරු පන්තියට යි.

කම්කරුවන් අරගලයට අවතීර්න වන විට, ඔවුන් ෆැසිස්ට් ජාතිකවාදී ව්‍යාපාරය පක්ෂයේ පිටුබලය ලබන යුසප රජයට පමනක් නොව ධනේශ්වර විරුද්ධ පක්ෂවලට සහ ඔවුන්ගේ වෘත්තීය සමිති සගයන්ට ද මුහුන දෙති. මෑතකදී ඉස්තාන්බුල්හි වෙන වෙනම සිදු වූ මහ නගර සභා දෙකක කම්කරුවන් දහස් ගනනක වැඩ වර්ජනවලදී මෙය පැහැදිලි විය. මෙම මහ නගර සභා පාලනය කරන රිමප, යුසප ට වඩා කම්කරු පන්තියට සතුරු වූයේ අඩුවෙන් නොවේ. එපමනක් නොව, වැඩ වර්ජන පාවා දුන්නේ ඊනියා “වාමාංශික” ඩීඅයිඑස්කේ (DİSK) වෘත්තීය සමිති සම්මේලනයයි.

වසංගතය ආරම්භ වන විට, රෝගීන් වාර්තා වූ සෑම තැනකම කර්මාන්තශාලා වල නිෂ්පාදනය නතර කරන බවට ඩීඅයිඑස්කේ නිලධරය ප්‍රතිඥා දුන් නමුත් කිසි විටෙකත් එවැනි දෙයක් කලේ නැත.

ආන්ඩුව සමඟ “එකට වැඩ කිරීමෙන්” පාලක පන්තියට සහ එහි රාජ්‍යයට සේවය කිරීමට ඇති සූදානම යලිත් වරක් ප්‍රදර්ශනය කරමින්, පුලුල් ලෙස වෛරයට ලක් වූ තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වූහ. ඩීඅයිඑස්කේ නායකයන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා හමුවූ අතර, එම අමාත්‍යාංශයේම අන යටතේ, පොලිසිය මැයි දිනයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කල ක්‍රියාකාරීන්ට පහර දුන්නේය.

ආපසු වැඩට හා ආපසු පාසලට යන ප්‍රතිපත්තිවලට සියලුම වෘත්තීය සමිතිවල ඇති අනුකූලතාවය සහ වැඩෙන කම්කරු පන්තියේ විරෝධය මැඩපැවැත්වීමට ඔවුන් දරන උත්සාහය පෙන්නුම් කරන්නේ කම්කරුවන්ට ඉදිරි මාවත වන්නේ ධනපති-ගැති වෘත්තීය සමිති වලින් ස්වාධීනව සෑම සේවා ස්ථානයකම, රටකම සහ ජාත්‍යන්තරව ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමයි.

මෙම පදනම මත, හජාජාක විසින් ගෝලීයව මෙහෙයවනු ලබන ක්‍රියාකාරී කමිටුවල කොටසක් ලෙස, පසුගිය පෙබරවාරියේ පාසල් නැවත විවෘත කිරීමට එරෙහිව පුලුල් සමාජ විරෝධයක් එක්සත් කිරීම හා බලමුලු ගැන්වීම සඳහා අපි තුර්කියේ ආරක්ෂිත අධ්‍යාපනය සඳහා ක්‍රියාකාරී කමිටුවක් ආරම්භ කර ඇත්තෙමු. සමාජවාදී සමානතා කන්ඩාම වශයෙන්, ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය පිහිටුවීමට අපි පූර්න සහාය පලකරමු. පාලක පන්තියේ මරනීය ගෝලීය ප්‍රතිපත්තියට එරෙහිව මහා පන්ති සටන සූදානම් කරන එකම ජාත්‍යන්තරවාදී හා සමාජවාදී ප්‍රතිචාරය මෙයයි.

අද අපට ඇහුම්කන් දෙන සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ සේවා ස්ථාන, පාසල් සහ අසල්වැසි ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩනඟාගෙන කම්කරු පන්තියේ ජාත්‍යන්තර ප්‍රතිප්‍රහාරයක් සංවිධානය කරන ලෙසයි. මෙය තුර්කියේ සහ ජාත්‍යන්තරව හජාජාක හි ශාඛා ගොඩනැගීමේ අරගලයේ අනිවාර්ය අංගයකි.

Loading