සමාගම්, පොලීසිය සහ වෘත්තීය සමිති දඩයමට එරෙහි ශ්‍රී ලංකා වතු කම්කරුවන්ගේ සටනට සසප නායකත්වය දෙයි

[මෙහි පලවන්නේ 2021 මැයි 08, දින The SEP leads the fight against company, police and union witch-hunt of Sri Lankan plantation workers  මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ මැයි දින ඔන්ලයින් රැලියේ කල කතාවේ පරිවර්තනයයි.]

එම්. දේවරාජා ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික කමිටුවේ දීර්ඝ කාලීන සාමාජිකයෙකි. දිවයිනේ කම්කරු පන්තියේ ප්‍රධාන කොටසක් වන තේ වතු කම්කරුවන් අතර පක්ෂයේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමේ අරගලයේදී ඔහු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත. මැයි 1 වන දින ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ හජාජාක විසින් පවත්වන ලද 2021 ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලියේදී ඔහු පහත දැක්වෙන ප්‍රකාශය කලේය.

2021 ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලියට එම් දේවරාජා විසින් කරන ලද කථාව

සහෝදරවරුනි,

ගෝලීය වශයෙන් වර්ධනය වෙමින් පවතින පන්ති අරගලයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුනු ආසියාවේ සෙසු ප්‍රදේශවල කම්කරු පන්ති අරගල මතුවෙමින් තිබේ.

ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් දහස් ගනනක්, පෙබරවාරි 5 වන දින, දෛනික වැටුප රුපියල් 1,000 දක්වා (ඇමරිකානු ඩොලර් 5 ක් පමන) වැඩි කරන ලෙස ඉල්ලමින් වැඩ වර්ජනයක නිරත විය. ජනාධිපති ගෝටාභය රාජපක්ෂගේ රජයේ හවුල්කරුවෙකු සහ ප්‍රධාන වැවිලි සංගමය වන ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) මෙම කැඳවුම කලේ  රජයට සහ වතු සමාගම්වලට එරෙහිව කම්කරුවන් බලමුලු ගැන්වීමට නොව, දෛනික වැටුපෙහි සොච්චම් වැඩිවීමක් පවා පිලිගැනීම සමාගම් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් කම්කරුවන් තුල වැඩිවන කෝපය වාෂ්ප කර දැමීමට ය.

ශ්‍රී ලංකාවේ මධ්‍යම වතු දිස්ත්‍රික්කයේ මස්කෙලිය ප්‍රදේශයේ ඕල්ටන් වතුයායේ කම්කරුවන් 500 ක් පමන පෙබරවාරි 2 සිට මාර්තු 26 දක්වා වැඩ වර්ජනයක නිරත වූහ. දෛනික වැටුප රුපියල් 1,000 ක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලා සිටීමට අමතරව, කලමනාකාරීත්වයේ මර්දනයට විරුද්ධ වූ ඔව්හු  සීඩබ්ලිව්සී ය  සහාය ප්‍රතික්ෂේප කිරීම නොතකා අරගලයේ නිරත  වූහ. වතු කලමනාකරුගේ බංගලාව ඉදිරිපිට වැඩ වර්ජිත කම්කරුවන් විසින් පවත්වන ලද කෝපාවිෂ්ඨ විරෝධතාව ඩැහැගත් ඕල්ටන් කලමනාකාරිත්වය සහ පොලිසිය ඔවුන්ගේ වැඩ වර්ජනය බිඳ දැමීමේ උත්සාහයක් ලෙස ඕල්ටන් කම්කරුවන්ට එරෙහිව දැවැන්ත දඩයමක් දියත් කලහ.

මෙම දඩයමේ කොටසක් ලෙස කම්කරුවන් 20 දෙනෙකු සහ තරුනයන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර ප්‍රදේශීය මහේස්ත්‍රාත්වරයකු විසින් ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලදී. ඔවුන් නිදහස් කරනු ලැබුවේ දැඩි ඇප කොන්දේසි මත ය. ඕල්ටන් කලමනාකාරිත්වය විසින් අත්අඩංගුවට ගත් 20 දෙනෙකු ඇතුලු කම්කරුවන් 38 දෙනෙකු සේවයෙන් පහ කර ඇත. කම්කරුවන් 38 දෙනා සහ තරුනයින් දෙදෙනෙකු ව්‍යාජ චෝදනාවලට ලක්ව සිටිති.

අත්අඩංගුවට ගත යුතු කම්කරුවන්ගේ ලැයිස්තුවක් පවා සපයමින් සීඩබ්ලිව්සී මෙම දඩයමේ දී කලමනාකාරිත්වය සහ පොලීසිය සමඟ ක්‍රියාකාරීව සහයෝගයෙන් කටයුතු කරයි. ජාතික  කම්කරු සංගමය, ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය, කඳු රට ජනතා පෙරමුන සහ ලංකා ජාතික වතු කම්කරු සංගමය ඇතුලු වතුයායේ ක්‍රියාකාරී වන අනෙකුත් සියලුම වෘත්තීය සමිති කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා කිසිවක් නොකර මෙම දඩයමට අනුබල දෙති.

මෙම මර්දනය මගින් වතු කම්කරුවන් වැටුප් වැඩි කිරීමක් සහ කලමනාකාරිත්වය විසින් නියම කර ඇති වැඩ ඉලක්ක අඩු කිරීම සඳහා අරගල කිරීම අධෛර්යමත් කිරීමට අසමත් වූවා පමනක් නොව, එක් වතුයායකට පසු තවෙකක කම්කරුවන් අරගලයට සම්බන්ධ වීමට ද එය හේතු විය. මෙම තත්වයන් යටතේ, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය, ඕල්ටන් වතුයායේ මෙන්ම වෙනත් සේවා ස්ථානවල ද මෙම අරගලයන් එක්සත් කිරීමට හා ඔවුන්ට සමාජවාදී ඉදිරිදර්ශනයක් සැපයීම සඳහා ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට ශක්තිමත්ව මැදිහත් වී තිබේ.

සමාගම් කලමනාකාරීවයේ දඩයමට එරෙහිව ඕල්ටන් කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා සසප ව්‍යාපාරයක් දියත් කර ඇති අතර, එය රාජපක්ෂ ආන්ඩුව, පාලක ප්‍රභූව සහ මහා ව්‍යාපාරිකයන් සමස්තයක් වශයෙන් කම්කරු පන්තියට එරෙහිව පහර දීමේ කොටසක් බව පැහැදිලි කරයි. ඕල්ටන් කම්කරුවන්ට එරෙහි සියලු ව්‍යාජ චෝදනා ඉවත් කර වහාම සේවයෙන් නෙරපා හල කම්කරුවන් නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා සිටිමු. මෙම උද්ඝෝෂනයට වතු කම්කරුවන්ගේ සහ ශ්‍රී ලංකා කම්කරු පන්තියේ අනෙකුත් කොටස්වල පුලුල් සහයෝගය ලැබී තිබේ.

පාලක පන්තිය ඔවුන්ගේ සමාජ හා ප්‍රාජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට පහරදීමට එරෙහිව කම්කරු පන්තිය ගෝලීය ප්‍රතිප්‍රහාරයක් ආරම්භ කිරීමට හා වර්ධනය කිරීමට ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානයක් සඳහා හජාජාක විසින් කරන ලද ඉල්ලීම වැදගත් ඉදිරි පියවරකි. හජාජාක හි කැඳවීමට සහය දක්වමින් ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් ද ඇතුලුව දකුනු ආසියාවේ කම්කරු පන්තිය පෙලගැස්වීමට සසප සටන් කරයි.

කම්කරු පන්තියේ හා පීඩිත ජනතාවගේ විරෝධයේ වර්ධනයට ප්‍රතිචාර වශයෙන්, දකුනු ආසියාවේ පාලක පන්ති, ලොව පුරා සිටින ඔවුන්ගේ සගයන් මෙන්, කම්කරු පන්තිය බෙදීමට හා දුර්වල කිරීමට ජාතිවාදය අවුස්සමින් සිටිති. ආඥාදායක පාලන ක්‍රම සඳහා ඔවුන්ගේ සැලසුම් ද තීව්‍ර කර තිබේ. ශ්‍රී ලංකාවේ රාජපක්ෂ ආන්ඩුව දෙමල හා මුස්ලිම් විරෝධී ස්වෝත්තමවාදය අවුස්සමින් කියා සිටින්නේ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය යලිත් හිස ඔසවන්නට උත්සාහ කරන බවයි, 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ගැන ද එසේම ය.

එයට, ශ්‍රී ලංකාවේ දෙමල හා මුස්ලිම් ධනේශ්වර පක්ෂ ඔවුන්ගේම ප්‍රතිගාමී ජාතිකවාදයක් ප්‍රවර්ධනය කරමින් ප්‍රතිචාර දක්වා ඇති අතර එමඟින් කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීමට උත්සාහ කරති.

එල්ටීටීඊ යට එරෙහිව කොලඹ අනුප්‍රාප්තික ආන්ඩු විසින් දියත් කරන ලද දශක තුනකට ආසන්න දෙමල විරෝධී වාර්ගික යුද්ධය 2009 මැයි මාසයේදී අවසන් විය. එල්ටීටීඊ යේ මෙම පරාජය හුදෙක් මිලිටරි පරාජයක් පමනක් නොව, එහි ප්‍රතිගාමී ධනේශ්වර බෙදුම්වාදී වැඩ පිලිවෙලේ බංකොලොත්භාවයේ ප්‍රතිඵලයකි. එම ප්‍රතිපත්තියට අනුකූලව ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ සහ ජාත්‍යන්තරව කම්කරු පන්තියට එල්ටීටීඊය මුලුමනින්ම සතුරු විය.  අධිරාජ්‍යවාදී බලවතුන්, සියල්ලටත් වඩා එක්සත් ජනපදය, යුරෝපීය පාලක පන්තිය සහ ඉන්දියාව වැනි ඔවුන්ගේ කලාපීය සහචරයින්  අනුප්‍රාප්තික  කොලඹ ආන්ඩු වලට එරෙහිව පීඩිත දෙමල ජනතාවට සහාය දෙන බව ප්‍රකාශ කරමින්  එල්ටීටීඊයේ ආයාචනයන් යොමු කෙරුනේ ඔවුන් වෙත ය.

2009 දී එල්ටීටීඊයේ මිලිටරි පරාජයෙන් පසුව පවා ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර හමුදා වාඩිලාගෙන සිටී. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ මුවාවෙන් වසර 30 ක් තිස්සේ ගෙන යන  ලද වාර්ගික යුද්ධයේ සැබෑ පන්ති ස්වභාවය අවධාරනය කරමින් දෙමල ජනතාවට එරෙහි වාර්ගික හිංසනය දිගටම පවතී.

ටීඑන්ඒ (දෙමල ජාතික සන්ධානය) ඇතුලු දෙමල ධනේශ්වර ජාතිකවාදී පක්ෂ ඔවුන්ගේ ප්‍රතිගාමී අධිරාජ්‍යවාද ගැති ප්‍රතිපත්ති අඛන්ඩව අනුගමනය කරති. දෙමල ප්‍රභූ පැලැන්තිය වරප්‍රසාද ලබා ගැනීම සඳහා සහ සිංහල, දෙමල, මුස්ලිම් ප්‍රභූන් අතර බලය බෙදා ගැනීමේ සැලැස්මක් පිලිගැනීමට කොලඹට බලපෑම් කිරීම සඳහා ඔවුන්ගේ සහාය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සහ එහි මිත්‍ර ඉන්දියාවේ, චීනයට එරෙහි මිලිටරි උපායමාර්ගික ප්‍රහාරයට සහාය දක්වයි.

මෙම පිලිවෙත මත,  2015 ජනවාරියේ පැවති ශ්‍රී  ලංකා ජනාධිපතිවරනයෙන් පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව විස්ථාපනය කර සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ස්ථාපිත කිරීමේ ඉන්දියාවේ සහාය ඇතිව එක්සත් ජනපදය විසින් අනුග්‍රහය  දක්වන ලද පාලන තන්ත්‍ර මාරුවට ටීඑන්ඒ්  ක්‍රියාකාරීව සහාය දැක්වීය.  

උතුරේ යාපනය අර්ධද්වීපයේ මිලිටරි වාඩිලාගැනීම අඛන්ඩව පවත්වාගෙන යාමේ සහ ජාමූඅ විසින් නියම කරන ලද කප්පාදු පියවරයන් ඇතුලු කම්කරු පන්තියේ හා පීඩිත ජනතාවගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහි ප්‍රහාර තීව්‍ර කල කොන්දේසි යටතේ පවා ටීඑන්ඒ, සිරිසේන-වික්‍රමසිංහ රජය සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කලේ ය.

සසප ජාතික බෙදුම්වාදය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන අතර ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්  දිනා  ගත හැක්කේ  සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම් වූ සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් තුලින් ධනවාදී පාලනය පෙරලා දැමීමේ සටනේ කොටසක් ලෙස පමනක් බව අවධාරනය කරයි. මේ දේශපාලන පරිවර්තනය සඳහා ප්‍රමුඛ සමාජ බලවේගය වන කම්කරු පන්තිය, ධනේශ්වර පක්ෂවලින් සහ ඔවුන්ගේ “වාම” හෙන්චයියන්ගෙන් ස්වාධීනව සංවිධානය ව බලමුලු ගැන්විය යුතුය. කම්කරු පන්තියේ මෙම එක්සත් ව්‍යාපාරයේ පරමාර්ථය වන්නේ, ධනේශ්වර පාලනය පෙරලා දමා, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදී සමූහාන්ඩු සංගමයන්ගේ කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් පිහිටුවීමයි.

Loading