වසංගතයට“බිය නො වී දෑතින්ම දලු කඩා නිෂ්පාදනය ඉහල දමන්නැයි” සීඩබ්ලිව්සී නායකයා වතු කම්කරුවන් ට කියයි

ලංකා කම්කරු කොංග්‍රසයේ (සීඩබ්ලිව්සී) නායක සහ රාජපක්ෂ ආන්ඩුවේ රාජ්‍ය ඇමතියකු වන ජීවන් තොන්ඩමන් මෑත දී පැවති මාධ්‍ය හමුවක දී “වසංගතයට බිය නොවී දෑතින් ම දලු කඩා නිෂ්පාදනය වැඩිකරන” ලෙස වතු කම්කරුවන්ට කියා ඇත. ඔහු එහි දී මෙසේ සඳහන් කර තිබේ: “අපේ දුර්වලකම කොවිඩ් 19 වෛරසයට බිය වීමයි. බිය නැති කර ගත්තොත් අපට වෛරසය පාලනය කරන්න පුලුවන්.” “නිෂ්පාදනය වැඩි නොකර” කම්කරුවන්ගේ වැටුප් වැඩි කල නොහැකි බවත් ඔහු එහි දී පවසා ඇත.

ජීවන් තොන්ඩමන් -facebook

තොන්ඩමන් මෙම ප්‍රකාශය කරන්නේ, කොවිඩ්-19 වසංගතය ලංකාව තුල ද ඉමහත් ව්‍යසනයක් නිර්මානය කරමින් පවතිද්දී ය. ගෝලීයව මිලියන සංඛ්‍යාතව වෛරසය ආසාදනය වී සහ මියයන කොන්දේසි යටතේ මේ වන විට ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 170,000 ට ආසන්න වෙමින් පවතින අතර දෛනික මරන 35-45 පමන වේ. මරන 1500 ට ආසන්න වෙමින් ඇත. එලඹෙන ජුනි මාසය තුල මෙම සංඛ්‍යාවන් දහස් ගනනින් ඉහල යනු ඇතැයි ජාත්‍යන්තර සහ ලංකාවේ සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති.

වතුකරය තුල ද වසංගතය වේගයෙන් පැතිරෙමින් පවතී. ජනගහනයෙන් බහුතරය වතු කම්කරුවන් වන නුවරඑලිය දිස්ත්‍රික්කයේ මැයි 22 වන විට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් ගනන 3174 ක් වූ අතර මරන ගනන 35 කි. ආසාදිතයන් අතරින් 43 ක් ලිඳුල ඩයගම ටර්බට් රජයේ සත්ව ගොවිපලින් හමු වී ඇත. ඉන් සිව් දෙනෙක් අසල්වැසි සන්දිරිගම වත්තේ පදිංචි කම්කරුවෝ වෙති. දික්ඔය ඉන්ජස්ට්‍රි සහ ෆෝඩයිස් වතුවලින් ද ආසාදිතයන් හමු වී තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරනියගල වත්තකින් ද ආසාදිතයන් වාර්තාවේ. වතුකරය ආශ්‍රිතව කොත්මලේ සහ මස්කෙලිය ඇඟලුම් කම්හල් තුනක සියයකට වැඩි ගනනක් ආසාදිතයන් සොයා ගෙන ඇත. මෙම කම්හල් වල වැඩ කරන කම්කරුවන් බහුතරයක් වතු කම්කරු තරුන, තරුනියෝ වෙති.

එකිනෙකට යා කෙරුනු කුඩා නිවාස පේලිවල ජීවත් වෙමින්, කවර හෝ සෞඛ්‍යාරක්ෂනයක් නොමැති පොදු වැසිකිලි සහ පොදු ජල කරාම පරිහරනය කරන දසදහස් සංඛ්‍යාත වතු කම්කරුවන් අතර මෙම වසංගතය ලැව් ගින්නක් සේ වේගයෙන් පැතිරයාමේ ඉහලම ශක්‍යතාවයක් පවතී. වැඩෙන අන්තරාය සම්බන්ධයෙන් භීතියට පත්ව සිටින වතු කම්කරුවෝ, අනාරක්ෂිතව සහ බලහත්කාරයෙන් තමා වැඩට දක්කන වතු හාම්පුතුන් සහ එයට පිටුබලය සපයන ආන්ඩුව කෙරෙහි බලගතු ලෙස කෝප ගැන්වී සිටිති.

වසංගතය සම්බන්ධයෙන් තමා සහ ආන්ඩුව අනුයන සාපරාධී පිලිවෙතට එරෙහිව, වතු කම්කරුවන් තුල වැඩෙන කෝපය, වැටුප් කප්පාදුවට සහ වැඩ වේගවත් කිරීමට විරුද්ධව නිතිපතා පැන නගිමින් පවතින අරගල වඩාත් ඉස්මත්තට පමුනුවා තම ලාභෝත්පාදනයට බාධා කරතැයි වතු සමාගම් බියවැදී සිටිති.

තොන්ඩමන් ගේ ප්‍රකාශය ගලා එන්නේ මෙම උත්සුකයෙනි. ඔහුගේ අරමුන, කම්කරුවන්ගේ කෝපය යටපත් කොට සමාගම්වල ලාභයට හානියක් නොවන ආකාරයට නිෂ්පාදන පලදායිත්වය ඉහල දැමීම සඳහා කම්කරුවන් මෙහෙය වීමයි.

තොන්ඩමන් එමගින් කරන්නේ, මිනිස් ජීවිත වලට ඉහලින් ලාභය තබන ලෝක ධනපති පන්තියේ සහ එහි කොටසක් වන රාජපක්ෂ ආන්ඩුවේ සාපරාධී පිලිවෙතට කම්කරුවන් නතු කිරීමකි. වසංගතයේ සීග්‍ර ව්‍යාප්තිය නොතකා, අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධ ඇඟලුම් සහ වතු කම්කරුවන් අනාරක්ෂිතව සේවයේ යෙදවීමට රාජපක්ෂ ආන්ඩුව හාම්පුතුන්ට අවසර දී තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇඟලුම් කර්මාන්තය වෛරසය ව්‍යාප්ත වීමේ ප්‍රධාන ක්ෂේත්‍රයක් බවට පත් වී ඇති අතර වතු සමාගම්, ආන්ඩුව සහ වතු සමිති එක්ව වතුකරය ද එම තත්වයට ඇද දමමින් පවතී.

සීඩබ්ලිව්සී පමනක් නොව විපක්ෂයේ පක්ෂ සමග පෙල ගැසී සිටින ජාතික කම්කරු සංගමය, කඳුරට ජනතා පෙරමුන, ජාතික වතු කම්කරු සංගමය, ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය සහ ජනතා විමුක්ති පෙරමුන විසින් මෙහෙයවනු ලබන සමස්ත ලංකා වතු කම්කරු සංගමය ඇතුලු සියලු වතු වෘත්තීය සමිති වතු සමාගම් වල ලාභ උත්පාදක සැලසුම් සමග පෙල ගැසී සිටිති.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා පැවැත් වූ උද්ඝෝෂනයක්

ආසාදිත වතු කම්කරුවන් වතු තුල ම නිරෝධායනයට යොමුකරන අතර වතු සමාගම් වලින් හෝ ආන්ඩුවෙන් ඔවුන්ට කිසිදු සහනයක් නොලැබෙන බවට ඔව්හු චෝදනා කරති.

ෆෝඩයිස් වත්තේ කම්කරුවෙකු මෙසේ පැවසීය: “නිරෝධායන කාලය තුල අපට පිටට යන්න දුන්නේ නැහැ. ආන්ඩුව අපට ආහාර මලු දුන්නෙත් නැහැ. වතු පාලකයන් එම කාලයට වැටුප් දුන්නෙත් නැහැ. අපි ග්‍රාම නිලධාරිට, පොලීසියට, සහ වෘත්තීය සමිති වලට දුරකථන ඇමතුම් දුන්නා. ඒවට උත්තරත් නැහැ”.

නිරෝධායන කාලය තුල කම්කරුවන්ට කුසගින්නේ සිටීමට සිදු වූ බව දැරනියගල වත්තක කම්කරු කාන්තාවක් මාධ්‍යට පවසා තිබුනි. “අපි බඩගින්නේ හිටියෙ. ආන්ඩුව, වෘත්තීය සමිති හෝ කිසි කෙනෙක් අපි ගැන බැලුවේ නැහැ. දරුවන්ට දෙන්න කිරිපිටි පැකට් එකක්වත් අපට ගන්න පුලුවන්කමක් තිබුනේ නැහැ. මැතිවරන කාලෙට නම් වෘත්තීය සමිති නායකයෝ නිතරම එනවා. නමුත් දැන් කවුරුවත් එන්නේ නැහැ.”

දරිද්‍රතාවය මෙන්ම, ලමුන් සහ වැඩිහිටියන් අතර මන්ද පෝෂනය ඉහලම මට්ටමේ පවතින ජන කොට්ඨාසය වන්නේ වතු කම්කරුවන් ය. ලබා ගන්නා සොච්චම් දෛනික වැටුපෙන් පෝෂ්‍යදායි ආහාර ලබා ගැනීමට නොහැකි තතු තුල රෝගවලට ඔරොත්තු දීමේ ප්‍රතිශක්තිය අතින් ද ඔවුන් දුර්වලය.

‌වෛරසය ආසාදනයවීමෙන් කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කිරීම සහ අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවට වතු සමාගම් විසින් ප්‍රවර්ධනය කරනු ලබන්නේ දුම් ඇල්ලීම, කොත්තමල්ලි වතුර බීම වැනි ගොඩ වෙදකම් වලින් වසංගතයෙන් ආරක්ෂා විය හැකි බවට මිත්‍යාවන් ය.

වෛරසය ආසාදනය වන කම්කරුවන්ට ප්‍රතිකාර කිරීම පිනිස දැනට “වසා තිබෙන තේ කර්මාන්ත ශාලා ප්‍රතිකාර මධ්‍යස්ථාන” බවට පරිවර්තනය කරන බව ද ඉහත මාධ්‍ය හමුවේ දී තොන්ඩමන් පවසා ඇත. කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ප්‍රමානවත් පහසුකම් නොමැති රජයේ රෝහල් වල ධාරිතාවය දැනටමත් ඉක්මවා ඇති කොන්දේසි යටතේ රෝගයට ගොදුරුවන වතු කම්කරුවන්ට තේ කම්හල් තුල නිර්මානය කෙරෙන තාවකාලික ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් අවශ්‍ය ප්‍රතිකාර කිසිවිටෙකත් නොලැබෙනු ඇත. ඒ වෙනුවට සිදුවනු ඇත්තේ වසංගතයේ ව්‍යසනය ඔවුන් මතට රුදුරු ලෙස කඩාපාත් කිරීමයි.

කම්කරුවන්ට වසංගතයෙන් ආරක්ෂා විය හැක්කේ මෙම ගොඩ වෙදකම් සහ “වසා තිබෙන තේ කර්මාන්ත ශාලා ප්‍රතිකාර මධ්‍යස්ථාන” බවට පරිවර්තනය කිරීමේ එදාවේල පිරිමසා ගන්නා ක්‍රම වලින් නොවේ. වතු ඇතුලු අත්‍යවශ්‍ය නොවන සියලු කර්මාන්ත වසාදැමීම, අදාල කාලයට පූර්න වැටුප් ගෙවීම, සියලුම කම්කරුවන් අදාල වෛද්‍ය පරීක්ෂන වලට භාජනය කිරීම, එන්නත්කරනය සහ ආසාදිතයන් සඳහා පූර්න පහසුකම් සහිත ප්‍රතිකාර ලබාදීම මගින් පමනි.

තොන්ඩමන් ආන්ඩුවත් සමග පෙල ගැසෙමින් රට අගුලු දැමීමට දිගටම විරුද්ධව සිටින්නෙකි. වසංගතයේ ව්‍යාප්තිය වේගවත්ව ඇරඹුන පසුගිය වසරේ මාර්තු මාසයේ සිට ම, අනාරක්ෂිතව සහ අඛන්ඩව කම්කරුවන් වැඩෙහි යොදවන ලද ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස වැවිලි කර්මාන්තය පවත්වා ගැනීමට ඔහු සාපරාධී ලෙස සහාය විය.

තලවකැලේ, මාඋස්සා ඇල්ල වත්තේ වතු අධිකාරිය විසින් ස්ථාපිත කල ඊනියා දුම්ගැස්සීමේ පද්ධතියක් (photo credit - P. Balendran)

ශ්‍රී ලංකා තේ මන්ඩලය (ශ්‍රීලතේම) සහ ආන්ඩුව තේ කර්මාන්තයේ නිෂ්පාදන ක්‍රියාවලිය නතරවීමට ඉඩ නොදුන් හෙයින් වසංගතයෙන් මතු කෙරුන ගැටලු විසඳා ගනිමින් තේ නිෂ්පාදනය සහ අපනයනය සිදු කල බව ශ්‍රීලතේම උජාරුවෙන් මෑත දී සඳහන් කර තිබේ. එමගින් මෙම වසරේ ජනවාරි- පෙබරවාරි මාස වල තේ අපනයනයෙන් රුපියල් බිලියන 41 ආදායමක් උපයා ගෙන ඇත. එය පසුගිය වසරේ එම කාලය තුල ඉපයූ ආදායමට වඩා බිලියන 10.4 ක වැඩි වීමකි.

දරිද්‍රතා වැටුප් මට්ටම් කෙරෙහි කම්කරුවන් අතර වැඩෙන කෝපය සමහන් කිරීමේ එල්ලය ඇතිව වතු කම්කරුවන්ට රුපියල් 1000 දෛනික වැටුපක් (රුපියල් 900ක මූලික වැටුපක් හා රුපියල් 100ක දීමනාවක්) ගෙවන ලෙස රාජපක්ෂ ආන්ඩුව අප්‍රේල් මාසයේ වතු සමාගම් වලට නියෝග කලේ ය. වතු සමාගම් ඊට විරුද්ධ විය. පසුව ඊට හිලව්වට දෛනික නිෂ්පාදන ඉලක්කයන් ඉහල දැමීමට පටන් ගෙන ඇත. දලු කිලෝ 18 ක දෛනික ඉලක්කය සැපිරීමට අසමත් වන කම්කරුවන්ගේ වැටුප අඩකින් කපන අතර, ඉලක්කයට අමතරව කඩන දලු වලට පෙරදී කල ගෙවීමද කපා දැමීමේ උත්සාහයක නිරතව සිටිති. ඇතැම් වතුවල රුපියල් 1000 වැටුප ගෙවීම ප්‍රතික්ෂේප කර ඇත.

මෙම කප්පාදු පිලිවෙත් වලට එරෙහිව මෑත දී මස්කෙලිය වතු සමාගම විසින් පාලනය කරන මරේ හා බෲන්ස්වික් වතුවල සහ හැටන් වතු සමාගමට අයත් වැලිඔය වත්තේ ඉහල කොටසේ කම්කරුවන් සිය ගනනක්, වෘත්තීය සමිති වලට පිටින් උද්ඝෝෂනවල යෙදී ගත්හ.

වෘත්තීය සමිතිවල පූර්න සහයෝගය ඇතිව කම්කරුවන්ගේ මෙම අරගල තලා දැමීමේ උත්සාහයක හාම්පුතුන් සහ ආන්ඩුව යෙදී සිටිති.

රුපියල් 1000 දෛනික වැටුප ඉල්ලමින් පෙබරවාරි 5දා සීඩබ්ලිව්සීය විසින් කැඳවා තිබූ එක් දින වර්ජනයට සහභාගි වූ ඕල්ටන් වත්තේ කම්කරුවන් දඩයම් කිරීමට, සමාගම සහ පොලීසිය එක්ව කුමන්ත්‍රනය කලහ. ඕල්ටන් කම්කරුවෝ ඊට එරෙහිව තවත් දින 47ක් වර්ජනයේ යෙදුනාහ.

වත්තේ කලමනාකරුවාට හා සහකාර කලමනාකරුවාට කායික ව පහර දුන්නේ යයි චෝදනා කරමින් කම්කරුවන් විසිහතර දෙනෙකු හා තරුනයන් දෙදෙනෙකු ට විරුද්ධව වතු පාලකයන් පොලීසිය සමග එකතුව දැන් බොරු නඩුවක් පවරා ඇත. නඩුවට මුහුන දෙන කම්කරුවන් ද ඇතුලුව 38 දෙනෙකු සේවයෙන් නෙරපා තිබේ. කම්කරුවෝ මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරති. සීඩබ්ලිව්සී කෙලින් ම මෙම දඩයමට සහයෝගය දෙන අතර සෙසු සමිති ඔවුන් වෙනුවෙන් කිසිදු අරගලයක් සංවිධාන කිරීම මුලුමනින් ම ප්‍රතික්ෂේප කරති.

සමාජවාදී සමානතා පක්ෂය සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය දඩයමට ලක්ව සිටින ඕල්ටන් වත්තේ කම්කරුවන් ආරක්ෂා කිරීමේ උද්ඝෝෂනයක් දියත් කර ඇත.

වතු කම්කරුවන් ඇතුලු සමස්ත කම්කරු පන්තියට වසංගතයෙන් ආරක්ෂාවීමේ සහ අයිතීන් දිනා ගැනීමේ සටන පෙරට ගත හැක්කේ වෘත්තීය සමිතිවලින් ස්වාධීනව පිහිටුවා ගන්නා කම්කරු ක්‍රියාකාරී කමිටු හරහා එම සටන තමන් අතට ගැනීමෙන් පමනි.

Loading