රවෛනිස ඇතුලු වෘත්තීය සමිති කම්කරුවන් භේද කිරීම සඳහා එන්නත්කරනය යොදා ගනී

මැයි 23 වෙනි දා කොලඹ ජාතික රෝහලේ දී, වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයන් හට කොවිඩ් එන්නත ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වීමත් සමග, ඉක්මනින් එන්නත් ලබා දී තම ආරක්ෂාව තහවුරු නොකිරීම සම්බන්ධයෙන්, වසංගතයට එරෙහි මෙහෙයුමේ ඉදිරිපෙල සේවකයන් අතර ආන්ඩුවට එරෙහිව වැඩුනු විරෝධය පුපුරා ඉස්මත්තට පැමින ඇත.

තම කාර්ය මන්ඩලයන්ට එන්නත මුලුමනින්ම ලබා නොදී තිබිය දී, ඊට අඩු ප්‍රමුඛතාවයක් ඇති කොටසකට එන්නත ලබාදීම මෙම විරෝධය පුපුරා යාමට නිමිත්ත වී තිබේ. දහස් සංඛ්‍යාත ග්‍රාමසේවා නිලධාරීන් වහා සේවයෙන් ඉවත් වූ අතර, රෝහල් කාර්ය මන්ඩල සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුලු සෞඛ්‍ය සේවකයන් අතර නොසන්සුන්තාවය ඉහලම මට්ටම් වලට නැගුනි.

කොට්ටාව, රුක්මල්ගම මහජනයා පෙලගැසුනේ එන්නත ලබා ගැනීමටය

සියලු ඉදිරිපෙල සේවකයන් සහ ඔවුනගේ පවුල් එකසේ අන්තරායට මුහුන දී සිටියදී, වෛද්‍යවරුන්ගේ පවුල්වලට සුවිශේෂී තැනක් ලබාදුන් මෙම එන්නත්කරන වැඩසටහන සංවිධානය කර ඇත්තේ, රාජපක්ෂ කඳවුරේ සහචර වෘත්තීය සමිතියක් වන රජයේ වෛද්‍ය නිලධාරි සංගමය (රවෛනිස) යි. ආන්ඩුව සමග තමාට ඇති කුප්‍රකට සබඳතා යොදා ගනිමින් රවෛනිස සිදුකල මෙම කට්ටිවාදී සහ ශ්‍රේනිවාදී ක්‍රියාව එම සංගමයේ සාමාජික වෛද්‍යවරු පවා පිලිකුලෙන් හෙලා දකිති.

කෙසේ නමුත් මෙම සිද්ධිය ඩැහැ ගනිමින් වෛද්‍යවරුන් සහ අනෙකුත් ඉදිරිපෙල සේවකයන් අතර ශ්‍රේනිවාදී භේදයන් ඇවිලවීමට අනෙක් වෘත්තීය සමිති පෙරට පැන ඇත. අවසාන විග්‍රහයේදී මෙම භේදකරනය, වසංගතය කෙරෙහි ආන්ඩුවේ සාපරාධී ප්‍රතිචාරයට සහ අනෙකුත් ප්‍රහාරයන්ට එරෙහි කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයකට දැනුවත්ව වල කපමින් ආන්ඩුවේ අත ශක්තිමත් කරයි.

වසංගතය සම්බන්ධයෙන් ආන්ඩුව ගෙනයන සාපරාධී පිලිවෙත‌ට මෙම සියලු සමිති දක්වන සහයෝගය හේතුවෙන් සමිති නිලධරයට එරෙහිව සාමාජිකත්වය තුල වැඩී ඇති විරෝධය මෙම ශ්‍රේනිවාදී භේදකරනය ඔස්සේ අවමංගත කිරීම සමිති නිලධරයේ ප්‍රධාන අරමුනකි.

කොවිඩ්-19 වයිරසය පාලනය කිරීම සඳහා වෛද්‍ය විශේෂඥයන් කල නිර්දේශ ඉවත ලමින් ආරම්භයේ සිට අනුගමනය කල සාපරාධී පිලිවෙතේ කොටසක් ලෙස, වසංගතය මැඩ පැවැත්වීමේ එන්නත් සොයා ගැනීමෙන් පසු පවා ඒවා වහා ඇනවුම්කොට, විද්‍යාත්මක ක්‍රමවේදයකින් නිර්නය කෙරෙන ප්‍රමුඛතාව මත එන්නත ලබාදීමේ විධිමත් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීම රාජපක්ෂ ආන්ඩුව මුලුමනින්ම නොතකා හැරියේය.

ශ්‍රී ලංකාවේ විශේෂඥ ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එන්නත්කරනය සඳහා නිසි ප්‍රතිපත්තිමය පිලිවෙතක් සකස් කිරීමට මුල පටන්ම ආන්ඩුව අසමත් වී ඇති බවයි. "නියමිත වේලාවට එන්නත් ලබා ගැනීම, එයට අවශ්‍ය මුල්‍ය සම්පත් වෙන් කිරීම, මානව සම්පත් පුහුනු කිරීම, එන්නත් බෙදා හැරීම, සැලසුම් කිරීම සහ වඩාත්ම වැදගත් කරුන ලෙස ප්‍රමුඛතාවය දිය යුත්තේ කාටද යන්න පිලිබඳව පැහැදිලි සැලැස්මක් ආන්ඩුවට නො තිබුනු" බවට එම සංගමය චෝදනා කරයි.

“එන්නත් වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සඳහා පැහැදිලි ක්‍රමවේදයක් හඳුනාගෙන නොතිබීම නිසා එන්නත් වැඩ සටහන මේ වන විට අවුල් ජාලයක් වී ඇත. එක් එක් අයයේ පෞද්ගලික අවශ්‍යතා ඉටු කිරීමට යාමත්, විවිධ අයගේ අදහස් වලට එකඟ වීමත් නිසා ශ්‍රී ලංකාවේ වර්තමාන එන්නත්කරන වැඩ සටහන විසින් ජනිත කර ඇති ගැටළු, කෙටි කාලීන සහ දිගු කාලීන ලෙස අහිතකර ප්‍රතිඵල ගනනාවකට මග පාදනු ඇතැ“ යි එම සංගමය වැඩදුරටත් සඳහන් කරයි.

කඩිමුඩියේ තම පවුල්වල ඥාතීන්ට එන්නත ලබාදීමට වලි කන රවෛනිස නිලධාරීන් මෙන්ම, අනෙකුත් සමිති නායකයන්, මෙම එන්නත් ඉක්මනින් ගෙන්වාගෙන සෞඛ්‍ය සේවකයින්ට ලබා දීම සඳහා කිසිදු අරගලයක් සංවිධානය නො කලේ ය. ඒ වෙනුවට ඔවුන් ආන්ඩුව ප්‍රකාශ කල වසංගතය සමග ජීවත් වීමේ “නව සාමාන්‍ය“ වැඩපිලිවෙලට සහයෝගය දෙමින් ආන්ඩුවේ පසුගාමී දුම් මුට්ටි සහ විවිධ පැනි වර්ගවල මිත්‍යාවන් පසුපස ජනතාව ගාල් කිරීමට වැඩ කලේ ය.

ආන්ඩුව සෞඛ්‍ය සේවකයින්ගේ අයිතීන් අහෝසි කරමින් එනම්, නිවාඩු කප්පාදු කරන විට, ප්‍රමිතිගත පෞද්ගලික ආරක්ෂ ඇඳුම් (පිපීඊ) ලබා නොදෙන විට, ප්‍රවාහන පහසුකම් සම්පාදනය නොකරන විට හා සෞඛ්‍ය සේවකයන්ට තම අදහස් මාධ්‍යයට ප්‍රකාශ කිරීමට ඇති අයිතිය චක්‍ර ලේඛ මගින් අහෝසි කරන විට පමනක් නොව, සෞඛ්‍ය සේවකයන්ගේ අරගල මැඩීම සඳහා රෝහල් වලට හමුදාව යොදවන විට, නිහඬව රාජපක්ෂගේ ආඥාදායක ගමනට තල්ලුව ලබා දුනි.

රවෛනිස ඇතුලු සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති ආන්ඩුව කොක්කෙන් ගලවා, සෞඛ්‍ය සේවකයින් එකිනෙකා අතර ඇනකොටා ගන්නා වාතාවරනයක් නිර්මානය කිරීමට එරෙහිව, ධනපති ආන්ඩුවේ ප්‍රහාර පරාජය කිරීමේ සහ වසංගතය ජය ගැනීමේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල මත කම්කරුවන්ගේ එකමුතුවට සටන් වදින්නේ, සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ එය විසින් නායකත්වය දෙන සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව ඇතුලු අනෙකුත් ක්‍රියාකාරී කම්ටු පමනකි.

එන්නත්කරනය මත කම්කරුවන් එකිනෙකාට එරෙහිව පිහිටුවීමේ වෛෂයික පදනම වන එන්නත්වල ආන්තික හිගය සමිබන්ධයෙන් ආන්ඩුව මුලුමනින්ම වගකිව යුතුය. එන්නත් මිල දී ගැනීමට සහ රෝහල් ධාරිතාව වැඩි කිරීමට අවශ්‍ය හදිසි මුදල් වෙන් කරනු වෙනුවට ආන්ඩුව වැඩිවැඩියෙන් මුදල් වෙන් කරනුයේ, මිලිටරිය තර කිරීමට සහ මහ ව්‍යාපාරිකය ආරක්ෂා කිරීමටය. ආන්ඩුව මේ වසරේ අය-වැයෙන් මිලිටරි වියදම් රුපියල් බිලියන 440 දක්වා වැඩි කල අතර, සෞඛ්‍ය ප්‍රතිපාදන රුපියල් බිලියන 29 කින් න් කප්පාදු කලේ ය.

කෙසේ නමුත් එන්නත් පිලිබඳ ගැටලුවට ප්‍රධාන හේතුව වන්නේ, ඇමරිකා එක්සත් ජනපදයේ හා යුරෝපයේ මහා ඖෂධ සමාගම් වල ලාභ අරමුනු හා එන්නත් ජාතිකවාදය යි. දියුනු ධනපති රටවල් දැවැන්ත පරිමාන එන්නත් තොග ගබඩා කර ගන්නා අතරතුරේ දුප්පත් රටවල් ඇතුලු ලෝක ජනගහනයෙන් අතිශය බහුතරයකට වෛද්‍ය විද්‍යාවේ ජයග්‍රහනයන් වන එන්නත සොයා ගැනීමේ ප්‍රතිලාභ අහිමි කර තිබේ.

සසප සහ එය නායකත්වය දෙන ක්‍රියාකාරී කමිටු යෝජනා කරන්නේ, වෛද්‍ය විශේෂඥයින්ගේ නිර්දේශ මත මුලු රටම යම් කාලසීමක් සඳහා සම්පූර්නයෙන් අගුලු දමා, එනම් අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සහ පාසල් සියල්ල වසා දමා, රැකීරක්ෂා අහිමි වූවන් සඳහා සම්පූර්න වැටුප් හා වන්දි ලබා දිය යුතු බවයි. එම කාලය තුල දී සම්පූර්න මහජනතාව එන්නත්කරනයට ලක් කල යුතුය.

අතලොස්සකගේ ලාභය සඳහා නිෂ්පාදනය කරන හා ජාතික රාජ්‍ය මත පදනම් වූ ලෝක ධනේශ්වර ක්‍රමය තුල මානව වර්ගයා මුහුන දෙන ගෝලීය ප්‍රශ්නවලට ආමන්ත්‍රනය කෙරෙන ශක්‍ය වැඩපිලිවෙලක් දියත් කල නො හැක. නවීන විද්‍යාවේ හා තාක්ෂනයේ විප්ලවීය ජයග්‍රහනයන් දැවෙන මානව අවශ්‍යතා සඳහා යොදා ගත හැක්කේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය යටතේ ලෝක කම්කරු පන්තිය යෙදී ගන්නා අරගලයකින් පමනි.

කම්කරු පන්තිය තුල ශ්‍රේනිවාදී භේදකරනයන් අවුලුවන සහ ධනේශ්වර ලාභ පද්ධතියට තදින්ම බැඳී සිටින වෘත්තීය සමිතිවලින් බිඳී සෑම ක්ෂේත්‍රයකම කම්කරුවන් ක්‍රියාකාරී කමිටු බිහිකරමින් මෙම අරගලය පෙරට ගත යුතු ය.

Loading