ජවිපෙ නායකයා වසංගතය මැඩීමේ මුවාවෙන් ආන්ඩුවට අත දිගු කරයි

කොවිඩ්-19 වසංගතය ඉමහත් ව්‍යසනයක් බවට පත්කල ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව වැඩෙන දැවැන්ත මහජන විරෝධය ධනපති ක්‍රමයටම අභියෝග කරමින් පුපුරා යා හැකි වෙතැයි, ධනපති පාලක පන්ති කොටස් ඉමහත් භීතියකට පත්ව සිටිති. එය ප්‍රකාශයට පත් කරමින් ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ආන්ඩුවට අත දීමට ඉදිරියට පැමින ඇත.

අනුර කුමාර දිසානායක

මැයි 11 වනදින ජවිපෙ කැඳුවූ මාධ්‍ය හමුවකදී එහි නායක අනුර කුමාර දිසානායක මෙසේ කියා සිටියේය: “අපි ආරම්භයේදීම විපක්ෂයේ පක්ෂ හවුල් වූ යාන්ත්‍රනයක් සකස් කරන ලෙස කිව්වා. විපක්ෂ හවුල් කර ගැනීමට අකැමැති නම් ආන්ඩුව තුලම හෝ සාමූහික නායකත්වයකට මෙය යටත් කල යුතුයි.” 

සමාජ පිපිරීමක් ඉතා ආසන්න වී ඇති බවට ආන්ඩුව ඇතුලු තම පාලක පන්ති සගයන්ට අනතුරු අඟවනුවස් දිසානායක ව්‍යසනයේ වත්මන් පරිමාව අවධාරනය කලේය. “දින තුනක් ඇතුළත 63 දෙනකු මියගොස් තිබෙනවා. සැබැවින්ම ගත්තොත් ඝාතනය වී තිබෙනවා. එය ඉතා බරපතල තත්ත්වයක්. පුරෝකථනය කරන සමහර ආයතනයන් මෙය ඉතාමත් භයානක අන්තයකට තල්ලුවිය හැකි බවට බරපතල අනතුරු ඇඟවීම් කර තිබෙනවා.”    

රෝහල් ධාරිතාව ඉක්මවා යන පරිදි දහස් සංඛ්‍යාත ආසාදිතයන් දෛනිකව බිහි කරමින් වසංගතය ව්‍යසනකාරී මට්ටම් වලට නැගඇති තත්වයකදී පවා තම ආරක්ෂාව තහවුරු කිරීමට ආන්ඩුව කවර හෝ විධිමත් ක්‍රියාමාර්ගයක් නොගැනීමට එරෙහිව ඉදිරිපෙල කම්කරුවන් අතර වැඩෙන අරගල වඩාත් වේගවත්වීමේ හැකියාව ගැන උත්සුකවන දිසානායක මෙසේ පැවසීය: “වෛද්‍යවරුන් 30කට වැඩි පිරිසක් සහ හෙද කාර්ය මන්ඩලයේ 80කට වැඩි පිරිසක් ආසාදිතයන් බවට පත්වී තිබෙනවා.” 

“වහාම කොවිඩ් තත්ත්වය මැඩ පැවැත්වීමට අසමත් වුවහොත් විශාල සමූහ මිනිස් ඝාතන බවට වර්ධනය වීමේ ඉඩකඩ තිබෙනවා. මේ කිසිවක් වෛරසයේ ස්වභාවික තත්ත්වය නොවේ” යැයි ද ඔහු පැවසුවේය. 

දිසානායකගේ මාධ්‍ය හමුවේ සැබෑ අරමුන එලිමහනට පැමිනෙන්නේ ඉන් අනතුරුවය. ඔහු මෙසේ කියයි: “මේ බොහෝ කරුනු ජනාධිපතිවරයා, ආන්ඩුව සහ අනෙකුත් පරිපාලන ක්‍ෂේත්‍රය විසින් කරන ලද නොසලකා හැරීම්, අත්හැරීම් සහ වැරදි තීන්දු මේ තත්ත්වයට මූලික වී තිබෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිවරයා උඩඟු, මෝඩ අපරිනත නායකයෙක් විදිහට කටයුතු කිරීමෙන් ව්‍යසනය ඇතිවී තිබෙනවා.” 

මෙය, රාජපක්ෂගේ සාපරාධී පිලිවෙත නිර්නය කෙරුනු වෛෂයික මූලයන් සිතාමතා යට ගැසීමකි. කනපිට පෙරලීමකි.

වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමේ ලා අනිවාර්ය පියවර ලෙස ලෝසෞස සහ අනෙකුත් විශේෂඥයන් නිර්දේශ කල, අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සහ පාසල් වසා දැමීම, පීසීආර් පරීක්ෂන දැවැන්ත පරිමානව ඉහල දැමීම සහ රෝහල් ධාරිතාවන් වර්ධනය කිරීම යන මේ කිසිවක් රාජපක්ෂ ක්‍රියාත්මක නොකලේ මහ ධනපතියන්ගේ ලාභ උත්පාදනය අබාධිතව සහ අඛන්ඩව ඉදිරියට ගෙනයාමේ අරමුනෙනි. 

මේ සඳහා ආර්ථිකයේ සියලු අංග අඛන්ඩව ක්‍රියාත්මක විය යුතුය. කම්කරුවන් වැඩට දැක්කීමට නම්, වසංගතය ව්‍යසනකාරී මට්ටමින් ව්‍යාප්ත වෙමින් නොපවතින බව කම්කරු පන්තියට ඒත්තු ගැන්වීම මෙහිදී අත්‍යවශ්‍ය විය. පරීක්ෂන අවමකොට එහි සැබෑ ව්‍යාප්තිය වසන් කලේ එබැවිනි. පාසල් යන වයසේ දරුවන් නිවෙස්වල රැඳී සිටීම, දෙමපියන් වැඩට ගෙන්වා ගැනීමට බාධාවක් බැවින් පාසල් ද විවෘත කෙරුනි.

වැඩෙන රෝගීන් සංඛ්‍යාව රෝහල් පද්ධතියට දරාගත නොහැකි වන්නේ, ජවිපෙ හි ද සහයෝගයෙන් පත් කෙරුනු ආන්ඩු ද ඇතුලු අනුප්‍රාප්තික ආන්ඩු සියල්ල පසුගිය දශක කීපය පුරා සෞඛ්‍ය වියදම් දැවැන්තව කප්පාදු කරමින් එය ගරා වැටෙන්නට සැලැස්වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. මෙම ආන්ඩු, සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට වෙන් කෙරෙන මුදල් කපා දමමින් වර්ගවාදී යුද්ධයට යොදවන විට, ජවිපෙ එම යුද්ධයේ ප්‍රමුඛ කසකරුවෙක් ලෙස ක්‍රියාත්මක වෙමින් එයට පූර්න සහයෝගය ලබා දුන්නේ ය.  

රාජපක්ෂ පමනක් නොව, එක්සත් ජනපදයේ වොනල්ඩ් ට්‍රම්ප් ගේ සිට ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි දක්වා ලොවපුරා සියලු පාලකයන් අනුගමනය කලේ මෙම සාපරාධී පිලිවෙතයි. එය නිර්නය කෙරෙනුයේ, මෙම පාලකයන්ගේ මුග්ධ කම්න් හෝ දුර්ගුනයන්ගෙන් නොව, මිනිස් ජීවිත වලට ඉහලින් ලාභය තැබීමේ ධනපති ක්‍රමයේ වෛෂයික පදනම් වලිනි. 

වසංගතය පාලනය කිරීමේ අත්‍යවශ්‍ය අංගයක් වන අගුලු දැමීම් වලට එරෙහිව, ඇමරිකාවේ පාලක පංතිය තොරොම්බල් කරන “වසංගතයට වඩා ප්‍රතිකාරය නරක නොවිය යුතුය” යන සූත්‍රයෙන් සහ “ඉන්දියාව බේරා ගත යුත්තේ වසංගතයෙන් නොව අගුලු දැමීමෙනි” යනුවෙන් මෝදි පසුගිය දා කල ප්‍රකාශයෙන් මෙම පදනම සංගෘහිත කෙරේ. 

දිසානායකගේ මාධ්‍ය හමුවේ අති මූලික අරමුන වනුයේ, වසංගතය කෙරෙහි රාජපක්ෂගේ සාපරාධී ප්‍රතිචාරය ධනපති ක්‍රමයේ නිර්මිතයක් බව වසන්කොට, මහජන විරෝධය ධනපති ක්‍රමයට එරෙහිව එල්ලවීම වලකා ධනපති ක්‍රමය ආරක්ෂා කර ගැනීමයි.

ආන්ඩුව අනුගමනය කරන “කොරෝනා සමග ජීවත්වීමේ ප්‍රවේශය” වෙනස්  කර “ලංකාව තුල වසංගතය තුරන් කිරීමේ වෙනස් ප්‍රවිෂ්ටයක් ” තහවුරු කල යුතු බවට මාධ්‍ය හමුවේදී දිසානායක කල ප්‍රකාශය මුලුමනින්ම  ව්‍යාජය. පලමු කොටම ගෝලීය වසංගතයක් වන මෙය එක් රටක් තුල තුරන් කිරීම කිසිසේත් කල නොහැක්කකි. එය කල හැක්කේ, වසංගතය මානව ව්‍යසනයක් බවට වර්ධනය කල ලෝක ධනපති ක්‍රමයට එරෙහි ජාත්‍යන්තර කම්කරු පන්තියේ ගෝලීය ප්‍රතිචාරයකින් පමනි. දිසානායක එවන් ප්‍රතිචාරයකට පරම ලෙසින්ම සතුරු ය.

දිසානායක “වෙනස් ප්‍රවිෂ්ටයක්” ලෙස ඉදිරිපත් කරන්නේ දැනට පනවා ඇති සංචරන සීමා ඉක්මවා යන “දැඩි සංචරන සීමා” පැනවීමකි. මෙය, රාජපක්ෂගේ ප්‍රවිෂ්ටයෙන් කිසිසේත් වෙනස් නොවේ. 

මීට විපරීතව, කම්කරුවන්ට පූර්න සෞඛ්‍යාරක්ෂනය ලබා දෙමින් අත්‍යවශ්‍ය නිෂ්පාදන සහ සේවා පවත්වාගෙන යන අතරතුර අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සියල්ල වසා දැමීම, වසා දමන කම්හල්වල සේවකයන්ට සම්පූර්න වැටුප් හා දීමනා ලබාදීම, ආදායම් මාර්ග අහිමි වන සියලුදෙනාට පූර්න වන්දි ද ලබාදීම සහ හැකි ඉක්මනින් සෑම කෙනෙකුටම එන්නත ලැබෙන පරිදි එන්නත්කරනය විධිමත් කිරීම යන සංයුක්ත පියවර වසංගතය පාලනයට අත්‍යවශ්‍ය වෙයි. මෙය කල හැක්කේ, බැංකු, මහා වතු හා විශාල ව්‍යාපාර කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ අස්වාමික කිරීම සඳහා සටන් වැදීමෙනි.

මෙම කම්කරු පන්තික වැඩපිලිවෙලට සටන් වදින්නේ සමාජවාදී සමානතා පක්ෂය, එහි ලෝක ව්‍යාපාරය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි මාධ්‍යය වන ලෝක සමාජවාදී වෙබ් අඩවියයි.

දිසානායකගේ මාධ්‍ය ප්‍රකාශයේ ආන්තික කුහකත්වය වඩාත් ඉස්මත්තට පැමිනෙන්නේ, වසංගතයට ගොදුරුවන කම්කරු-පීඩිත ජනතාව වෙනුවෙන් ඔහු හෙලන කිඹුල් කඳුලු වලිනි. ඔහු මෙසේ කියයි: “අධිකාරය අනිසි ලෙස භාවිතා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සිදුවන සෑම මරනයක් සඳහාම ඔහු (ජනාධිපති රාජපක්ෂ) වගකිව යුතු අතර ඒවාට වැරදිකරු ද විය යුතුය! රට තුල වැගිරෙන සෑම කඳුලකටම ඔහු වගකිව යුතුය.”

රාජපක්ෂ පමනක් නොව මෙම “සෑම මරනයක් සඳහාම” දිසානායක සහ ඔහු නායකත්වය දෙන ජවිපෙ ද වගකිව යුතුය. ඔවුහු, වසංගතය සම්බන්ධයෙන් රාජපක්ෂ අනුගමනය කල සාපරාධී පිලිවෙතට පූර්න සහයෝගය ලබා දුන්හ. එම පිලිවෙත සම්බන්ධයෙන් වැඩුන මහජන විරෝධය මධ්‍යයේ, පසුගිය වසරේ මාර්තු මාසයේදී, සර්වපාක්ෂික අදහස් ලබාගැනීමට යැයි කියමින් අගමැති මහින්ද රාජපක්ෂ සිය නිල නිවසේදී පැවැත්වූ පක්ෂ නායකයින්ගේ රැස්වීමට අනෙකුත් ධනපති පක්ෂ සමග ජවිපෙ ද එක්විය. 

වසංගතයට මුවා වී මිලිටරීකරනය වේගවත් කිරීම සම්බන්ධයෙන් ජවිපෙ, රාජපක්ෂට එරෙහිව කවර හෝ විරුද්ධත්වයක් ප්‍රකාශ නොකලේ ය. රැස්වීමට සහභාගි වූ ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මාධ්‍ය හමුවේ ආන්ඩුවට ප්‍රශංසා කලේ, “ප්‍රමාද වී නමුත් ආන්ඩුව නිවැරදි තීරන ගෙන ඇති” බව පවසමිනි. 

2020 දී පැනවූ පලමු “අගුලු  දැමීම ” ඉවත්කොට ව්‍යසනකාරී ලෙස ආර්ථිකය යලි විවෘත කරද්දී සහ 2020 නොවැම්බරයේදී වසංගතය මධ්‍යයේ වරාය කම්කරුවන් බලහත්කාරයෙන් වැඩ‌ට තල්ලු කිරීම සඳහා රුදුරු “අත්‍යවශ්‍ය සේවා” විධානය පැනවූ අවස්ථාවේදී ජවිපෙ, රාජපක්ෂට නිහඬව සහයෝගය දුන්නේය. ආන්ඩුවේ පිලිවෙතට එරෙහි සමාජ කෝපය ඉහල නැගීමේ ප්‍රතිඵලයක් ලෙස වැඩී ආ පන්ති අරගල පූර්වභංග කිරීමේ අටියෙන් පසුගිය සතියේ ක්ෂේත්‍ර ගනනාවකට “අත්‍යවශ්‍ය සේවා” විධානය පනවා තිබියදී මෙම ව්‍යාජ කඳුලු සලන්නෝ නිහඬතාවයෙන් රාජපක්ෂට සහයෝගය දෙති.

කොවිඩ් වසංගතයෙන් වඩාත් ගැඹුරු කෙරුනු ලෝක ධනපති ක්‍රමයේ, ආර්ථික, සමාජ හා දේශපාලන අර්බූදය මගින් පන්ති අරගලය තීව්‍ර කෙරී ඇති අතර, එයට ප්‍රතිචාරී වශයෙන් රටක් රටක් පාසා පාලක පන්තීන් තම පාලන රූපයන් ආඥාදායකත්වයන් දෙසට වර්ධනය කිරීම වේගවත් කර ඇත. රාජපක්ෂගේ ඉහත පියවර එම ජාත්‍යන්තර ප්‍රපංචයේ ප්‍රකාශනයකි.

මෙම තතු තුල, වැඩෙන මහජන විරෝධය ගාල් කිරීම සඳහා නව ධනපති පක්ෂ සහ ව්‍යාජ-වාම සංවිධාන ප්‍රවර්ධනය කිරීමට ධනපති මාධ්‍ය සහ ධනපති ශාස්ත්‍රාලිකයෝ වැඩට බැස සිටිති. මෙහි කොටසක් ලෙස, ධනපති මාධ්‍ය තුල ජවිපෙ ට වෙන් කෙරෙන කාලය සහ ලබාදෙන ස්ථානය ඉහල මට්ටමකට නංවා ඇත. කලම්බු ටෙලිග්‍රා‌ෆ් වෙබ් අඩවිය මේ සම්බන්ධයෙන් සුවිශේෂිත ය.

කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීමට එරෙහි කුප්‍රකට ඉතිහාසයක් හිමි “ශාස්ත්‍රාලිකයෙකු” වන මහාචාර්ය කුමාර් ඩේවිඩ් නමැත්තා කලම්බු ටෙලිග්‍රා‌ෆ් වෙත මැයි 05 දා ලියූ ලිපියක මෙසේ සඳහන් වෙයි: 

“ඉතිහාසය බොහෝ දේ උගන්වන අතර ලංකාවේ මහජනතාව ඒවා හොඳින් ඉගෙන ගත යුතුය, නැතහොත් ආඥාදායකත්වයේ තර්ජන අපව අභිබවා යා හැකිය. කෙසේ වෙතත්, මට මුලින්ම පැවසිය යුතුව ඇත්තේ ජවිපෙ ඇතුලු වම (මියගිය වම හැර) වාසි අත්කර ගනිමින් පවතින බවක් පෙනෙන්නට ඇති බවයි. පාර්ලිමේන්තුවේ ඒකේඩීගේ (අනුර කුමාර දිසානායක) මැදිහත්වීම් පිලිබඳව යම් උනන්දුවක් ඇති වී තිබේ. මෙම වම, සිවිල් සමාජ සංවිධානයන්ට, ආගමික නායකයන් ට, සජිත්-සජබ (සමගි ජන බලවේගය) හෝ දෙමල හා මුස්ලිම් පක්ෂ වලට වඩා ක්‍රියාකාරී විය හැකිය. එබැවින් ඔවුන් මෙම පාඩම් ගැන මෙනෙහි කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.”

කම්කරු-පීඩිත මහජනතාව මෙම ප්‍රලාපයන් මුලුමනින්ම ප්‍රතික්ෂේප කල යුතුය. ඉතිහාසය විසින් උගන්වා ඇති වැදගත්ම පාඩමක් වන්නේ, ධනපති ක්‍රමය මුහුනදෙන ගැඹුරු අර්බුදයන්හි දී පාලක පන්තීන් ආඥාදායකත්වයන් දෙසට වෛෂයිකව යොමුවන බව සහ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පාදක වූ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් මැදිහත් නොවුවහොත් එම ආඥාදායක ප්‍රයත්නයන් පරාජය කල නොහැකි බවයි. ජවිපෙ ප්‍රවර්ධනය කිරීමේ අරමුන වන්නේ එවන් ව්‍යාපාරයක් වැඩීඒම වලකාලීමයි.

Loading