ඉන්දියාව තුල වසංගතය පිලිබඳ ශ්‍රී ලංකාවේ සසප රැස්වීමට සඳහනක්

ධනේශ්වරය නිර්මානය කොට ඇත්තේ කුමක්ද? - ඉන්දියාව සිසාරා ගැලූ ආසාදනයේත් මරනයේත් සුනාමිය සහ සාගින්නේත් විරැකියාවේත් වසංගතය

[පහතින් පලවෙන්නේ  What capitalism has wrought—India’s tsunami of infections and death, and pandemic of hunger and joblessness  මැයෙන් 2021 ජුනි 04, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ  ලිපියේ පරිවර්තනයයි.]

පහත දැක්වෙන්නේ, ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ හා දකුනු ආසියාව පුරා වෙසෙන කම්කරුවන් හා තරුන තරුනියන් ඉලක්ක කොට ශ්‍රී ලංකාවේ සසප විසින් සංවිධානය කරන ලදුව, ඉකුත් මැයි 30 වන දින පැවැත්වුනු අන්තර්ජාල සජීවී රැස්වීමක් අමතා කැනඩාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රධාන ලේකම් කීත් ජෝන්ස් සිදු කල දේශනයේ සිංහල පරිවර්තනයයි. 

කොවිඩ් - 19 වසංගතය හා සමාජවාදී මූලෝපායයක අවශ්‍යතාව (කීත් ජෝන්ස් 1:18:20 ට සිය දේශනය අරඹයි)

 සති කිහිපයකට වඩා යන්තමින් වැඩි කාල පරිච්ඡේදයකට ඉහත, ඉන්දියාවේ අගමැති වශයෙන් කටයුතු කරන හින්දු ස්වෝත්තමවාදී මැරයා වන නරේන්ද්‍ර මෝදි, කොවිඩ්-19 පරාජය කරන්නේ කෙසේදැයි ඉන්දියාව ලෝකයට පෙන්වා දී ඇතැයි කියමින් සිටියේය. 

මෙකී මුග්ධ ප්‍රකාශය ද, ඉනික්බිතිව අප්‍රේල් 20 වන දින කොවිඩ් - 19 ආසාදනවල සහ මරනවල ඝාතීය ඉහල නැඟීමක් මධ්‍යයේ දී, තම ආන්ඩුව -වෛරසයෙන් නොව - "ලොක්ඩවුන් කිරීමට සිදුවීමේ අනතුරෙන් ඉන්දියාව ගලවා ගන්නා" බවට ඔහු දුන් ප්‍රතිඥාව ද මෝදිගේ දේශපාලන සොහොන් කොතේ කොටා තැබෙනු ඇත.

දැන් ඉන්දියාව ගිල ගනිමින් ඇති ව්‍යසනය විස්තර කල නොහැකි තරමේ එකකි. අනෙකුත් කථිකයන් පැහැදිලි කල පරිදිම, ඉන්දියාව වසංගත දෙකකින් විනාශ මුඛයට ඇද වැටෙමින් සිටී. මේ දෙකම ධනේශ්වරය එහි ස්වාර්ථකාමී පන්ති උත්සුකයන් නිර්දය ලෙස හඹා යාමේ ප්‍රතිඵලයන්ය. ඉන් එකක් නම් ආසාදනයේ හා හුස්ම හිරවීමෙන් ඇති වන මරනයේ වසංගතයකි. අනෙක විරකියාවේ, වැටුප් කැපීමේ හා කුසගින්නේ වසංගතයයි.    

වසංගතයට වඩාත්ම විපත්තිදායක ලෙස ප්‍රතිචාර දැක්වූයේ කවර ධනේශ්වර පාලක ප්‍රභූවදැයි ශ්‍රේනිගත කිරීමට තැත්කිරීම නිරර්ථක හා අඥාන ක්‍රියාවකි. ලෝකය පුරාම, හා වඩාත්ම කැපී පෙනෙන ලෙස අධිරාජ්‍යවාදී යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ, ධනේශ්වර ආන්ඩු - එලිපිටම දක්ෂිනාංශික ආන්ඩු වේවා, නැතහොත් වාමාංශික ලෙස පෙනෙන්නට ඇති ආන්ඩු වේවා - මහා ව්‍යාපාරවල ලාභය හා ආයෝජකයන්ගේ ධනය ආරක්ෂා කිරීම සඳහා, වෛරසයට ඉවක්බවක් නැතිව පැතිරීමට ඉඩ පාදා දුන්හ.     

වසංගතය වූ කලී, ලෝක සෞඛ්‍ය හා සමාජ අර්බුදයකි. ඊට ඇති එකම පිලිතුර වන්නේ, වැඩකරන ජනයාගේ ජීවිත හා ජීවනෝපායයන් ආරක්ෂා කිරීම සඳහා, විද්‍යාත්මක පදනමක් මත සම්පත් එක්රැස් කොට ඒවා ගෝලීය වශයෙන් උපයෝගී කර ගැනීමයි. එහෙත් මෙම අත්‍යවශ්‍යතාව සෑම තන්හි දීම, ගෝලීය ධනවාදය සමඟ - ධනේශ්වර ලාභය පසුපස හඹා යාමේ ක්‍රියාවලියටත්, සම්පත්, වෙලඳපොලවල් හා භූ දේශපාලන වාසි සඳහා ජාතිකත්වය මත පදනම් එකිනෙකාට සතුරු ධනපති කල්ලි අතර අරගලයටත් වඩාත්ම මූලික හා අත්‍යවශ්‍ය මානව අවශ්‍යතා යටත් කෙරෙන්නේය යන යතාර්ථය සමඟ - ශමනය කල නොහැකි ගැටුමකට එලැඹේ.  

කොයිහැටි වෙතත්, ඉන්දියාවේ මිලියන සිය ගනනක ඉන්දියානු කම්කරුවන්ට හා වැඩකරන ජනයාට පැහැදිලිව පෙනීයමින් තිබෙන දෙය, වසංගතය හා විශේෂයෙන්ම ගත වූ සති 10 තුල අත්දුටු බිහිසුනු භයංකරත්වය මඟින්  දැනටමත් සමස්ත ලෝකයට ද දැක ගැනීමට සලස්වා ඇත: එනම්, බටහිර මාධ්‍ය ඒ සා කීර්ති ප්‍රශංසාවන් පුද කල ඉන්දියාවේ උද්දේශිත ධනේශ්වර වර්ධනය විසින්, 21 වන සියවසේ ධනේශ්වර ක්‍රමයේ රෝගීභාවය, කෲරත්වය හා අපරාධකාරී ස්වභාවය මූර්තිමත් කරන හා ඊට උදාහරන සපයන කුරිරු සමාජයක් බිහි කර ඇති බවයි.  

දකුනු ආසියාව, බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයේ උරුමය විසින් අපරූපනය කරන ලද තත්ත්වයේ රැඳී හිඳින අතරම, අධිරාජ්‍යවාදී පීඩනයට දිගටම ගොදුරු වෙමින් පවතී. එසේවුව, ඉන්දියාව යනු සැලකිය යුතු මානව හා ද්‍රව්‍යමය සම්පත්වලින් ද, කාර්මික ධාරිතාවයකින් හා ඇතැම් ක්ෂේත්‍රවලදී අතිශයින් උසස් තාක්‍ෂනයෙන් ද තොර වූ දේශයක් නොවේ. එහෙත් ධනපති කතිපයාධිකාරීන්ගේ ඉතා කුඩා ස්ථරයක හා ඔවුන්ගේ රාජ්‍ය මෙවලමේ ඒකාධිකාරී අයිතිය යටතේ ඇති එකී සම්පත් යොදවනු ලබන්නේ වලප්නා සමාජ අවශ්‍යතා සපුරා ලීමට නොව, කම්කරු පන්තියේ හා ග්‍රාමීය වැඩකරන ජනයාගේ ශ්‍රමයෙන් අතිරික්ත වටිනාකම් - ලාභ - උකහා ගැනීම ක්‍රමානුකූලව ඉහල දැමීමටය.       

එනයින්, සෞඛ්‍ය සේවකයන්ගේ ආත්ම පරිත්‍යාගය තිබියදීම, ඉන්දියාවේ මහජන සෞඛ්‍ය සේවා පද්ධතිය වියවුලක් හා ප්‍රෝඩාවක්ව පවතී. 

ඉන්දියාවේ කෝටිපතියන් වසංගතය තුල සිය ඓශ්චර්යයන් ඩොලර් බිලියන 600 ක්ම පාහේ දක්වා දෙගුනයකට ආසන්නව වර්ධනය කර ගන්නා අතරතුර, ඉන්දීය ජනයාට නොමිලේ එන්නත් ලබා දීමට අවශ්‍ය වන දල දේශීය නිෂ්පාදනයෙන් සියයට 0.37 ක (සියයට දශම තුනයි හතක) ප්‍රතිශතයක සොච්චම කැප කිරීමට අවශ්‍ය සම්පත් ප්‍රමානය සොයා ගැනීමට මෝදි ආන්ඩුවට නොහැකි වී ඇත.   

කොවිඩ්-19 වසංගතයට එරෙහිව සිය සන්නද්ධ හමුදාවලින් සියයට 90 කට එන්නත් ලබා දී ඇති මෝදි ආන්ඩුව, සාමාන්‍ය ජනගහනයෙන් සියයට 3 කට පමනක් එය ලබා දී ඇත්තේ, ඉන්දියානු ප්‍රභූන්ගේ ප්‍රමුඛතා රැඳී පවතින්නේ ලෝක කරලියේ මහ බලවතෙකු වීමේ සිය කොල්ලකාර අභිලාෂයන් හඹා යාම හා රට ඇතුලත තමන්ගේ පාලනයත් යසඉසුරුත් දරා සිටිය හැකි පරිදි මර්දනකාරී රාජ්‍ය යන්ත්‍රය සවිමත් කිරීම තුල බව විදහා දක්වමිනි.  

දශක තුනක් පුරා ඉන්දියාවේ ඊනියා නව ආර්ථික ප්‍රතිපත්තිය නිර්මානය කර ඇත්තේ කුමක්දැයි නව අර්බුදය විසින් නිරාවරනය කෙරී ඇත. තිස් වසරකට ඉහත, 1991 ජූලියේ දී, නිදහසෙන් පසු එතෙක් තමන් පවත්වා ගෙන ගිය රාජ්‍යය මූලිකත්වය ගත් සංවර්ධන ව්‍යාපෘති පිලිවෙත - සමාජවාදය වශයෙන් නරුම ලෙස ඔවුන් විසින් ලේබල් කෙරුනු, ආනයන ආදේශනය මත පදනම් වූ ජාතිකවාදී මූලෝපායය - ප්‍රතික්ෂේප කල ඉන්දීය ධනපති පන්තිය, එක්සත් ජනපද මූලිකත්වයෙන් යුත් ලෝක ධනේශ්වර පර්යාය තුලට ඉන්දියාව මුලුමනින් සමෝධානය කිරීමේ ප්‍රාරම්භකත්වය ගත්හ.       

එවක් පටන් මේ දක්වාම, ස්ටැලින්වාදී සීපීඑම් හා සීපීඅයි පක්ෂවල සහාය ලත් හෝ ඔවුන්ගේ නායකත්වයෙන් යුත් රජයයන් ද ඇතුලුව සියලු ජාතික හා ප්‍රාන්ත ආන්ඩු, ආයෝජකයන්ට හිතකර පිලිවෙත් ලෙස සුලාපිකව (සැර බාල කර) හඳුන්වනු ලැබෙන පිලිවෙත් - එනම්, පෞද්ගලීකරනය, නියාමනයන් ඉවත් කිරීම, මිල සහන අහෝසි කිරීම, මහා ව්‍යාපාරවල හා පොහොසතුන්ගේ බදු දැවැන්ත ලෙස කපා හැරීම සහ ධනේශ්වර සංවර්ධන ව්‍යාපෘතීන්ට සමාජ යටිතල සංවර්ධන කටයුතුවලට වඩා ප්‍රමුඛත්වය දීම - නිර්දය ලෙස පෙරට තල්ලු කලෝය. 

මෙය, 2006 පටන් සංග්‍රහගත කෙරුනු, ඉන්දු-එක්සත් ජනපද ලෝක ගෝලීය මූලෝපායික හවුලක් තුල හා නිරන්තරව ප්‍රසාරනය වන යුදමය සබඳතා ජාලයක් තුල, කිසිදා නොවූ විරූ පරිද්දෙන් කැපී පෙනෙන පරිදි වොෂින්ටනය කෙරේ අනුස්ථාපනය වීමක් සමඟ අත්වැල් බැඳ ගෙන ඇත.   

පසුගිය දශක තුන පුරා ඉන්දීය ධනේශ්වරය ඉන්දියානු කම්කරුවන් හා වැඩකරන ජනයා සූරාකෑමෙන් පෝෂනය වී ඇත. ඔවුහු, හා ඔවුන්ගේ හවුල්කරුවෝ හා අනුග්‍රාහකයෝ ද, බහුජාතික සමූහ සමාගම් හා ලෝක ගෝලීය ආයෝජන ආයතන ද, ඉන්දියාවේ ධනේශ්වර ප්‍රසාරනය විසින් නිර්මිත සම්පත්වල අතිශය වැඩි පංගුව අයත් කොට ගෙන ඇත. 1990 ගනන්වල මැද භාගයේ දෙදෙනෙකුව පැවැති ඉන්දියාවේ බිලියනපතියන් සංඛ්‍යාව අද වන විට 140 දක්වා හෝ ඊට ද වඩා සංඛ්‍යාවක් දක්වා වැඩි වී ඇත. ඒ, සෑම දරුවන් තිදෙනෙකුගෙන් ම එක් දරුවෙකු මන්දපෝෂිතයෙකු වන්නා වූ ද, කෝටි ගනනක් ජනයා දිනකට ඉන්දීය රුපියල් 180 කින්, නැතහොත් ඇමරිකානු ඩොලර් 2.5 කින් පන රැක ගැනීමේ අරගලයක යෙදී සිටින්නා වූ ද රටකය. ජනගහනයේ සියයට 1 ක් වන ඉන්දියානුවන් එහි දුගීතම සියයට 70 මෙන් හතර ගුනයක ධන සම්පත්වලට අයිතිය කියන වත්මන් ඉන්දියාවේ දැන් පවතින සමාජ අසමානතාවය, බ්‍රිතාන්‍ය පාලනයේ උච්ඡතම අවස්ථාවේ පැවැති තත්ත්වය ඉක්මවා නොයන්නේ නම්, එය හා කරටකර තරඟ වදින මට්ටමකට පත් වී ඇත. 

අම්බානිලා, අදානිලා, ටාටාලා සහ අනෙකුත් කෝටිපතියන් චාටු ගෞරව ප්‍රශංසාවලින් පුදන එකී ඉන්දීය සංස්ථාපිත මාධ්‍යයෝම, වොෂින්ටනයේ, ලන්ඩනයේ, පැරීසියේ, බර්ලිනයේ හා ටෝකියෝවේ ඉන්දියාවට හිමිව ඇතැයි කියන පෞරුෂය පිලිබඳව ජයඝෝෂා පවත්වති. යථා තත්ත්වය නම්, ඉන්දියාව පෙර කිසිදා නොවූ විරූ තරමින් චීනයට එරෙහි එක්සත් ජනපදයේ යුද පරිශ්‍රමයට ආධාර කරමින් හා අනුබල දෙමින් ද, ආර්ථික වශයෙන් ඉරානයේ ගෙල සිර කිරීමේ හා අධිරාජ්‍යවාදී ආකාරයෙන් පලස්තීන ජනයා දමනය කිරීමේ එක්සත් ජනපද ප්‍රයත්නයන් සම්බන්ධයෙන් නොතකා හැරීම්, ඒවාට නිල බලය පැවරීම් වශයෙන් ඒවාට ඉඩහැර හිඳිමින් ද, පෙර කවර දාටත් වඩා එක්සත් ජනපදයේ ගජමිතුරා හා එයට යටත් ප්‍රාදේශීය රාජයා බවට පත් වී ඇති බවයි.  

ශත වර්ෂයක් පුරා බ්‍රිතාන්‍ය රජුන් යටතේ, ඉන්දියානු යුද - ආරක්ෂක විශේෂඥයන්ගේ වචනවලින් කිවහොත්, ඉන්දු-පැසිෆික් කලාපය තුල "කලාපීය ආරක්ෂකයා"ව සිටියදී, ඉන්දියාව ඉටු කල කාර්යභාරය යලිත් එය විසින් ඉටු කරනු ලැබීම ගැන එකී විශේෂඥයෝ පාරට්ටු කරති. එම කාර්යභාරය වූයේ, බුරුමය අල්ලා ගැනීමේ හා චීනයේ බොක්සර් කැරැල්ල මැඬලීමෙහි සිට ලෝක යුද්ධ දෙක දක්වා පසුගිය ශතවර්ෂයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ ගෝලීය මෙහෙයුම්වලට හේවායන් හා කාලතුවක්කුබත් වන්නන් සම්පාදනය කිරීමයි.        

ඉන්දියානු කම්කරුවන් ප්‍රවේශම් විය යුතුය. ඉන්දියානු පාලක පන්තිය දැනට පවතින වසංගත කාලසීමාවේ අප්‍රකාශිත මරනයේ මුල් පුටුව අරා සිටියේ යම්සේ ද, එපරිද්දෙන්ම තමන්ගේම මහ බලවතෙකු වීමේ අභිලාෂය හඹා යනු වස් එය එජ අධිරාජ්‍යවාදය සමඟ වාත්තු කොට ගෙන ඇති යුද-ආරක්ෂක සන්ධානය දකුනු ආසියාවේ හා ලෝකයේ මහජනයාට ගනනය කල නොහෙන පරිමානයේ ව්‍යසනයක් නිර්මානය කිරීමට තර්ජනය කරයි. චීනය හා පකිස්ථානය සමඟ ඉන්දියානු ධනවාදයේ ප්‍රතිගාමී මූලෝපායික ගැටුම් ගැලවී යා නොහෙන පරිද්දෙන් කවර කලකට හෝ වඩා පුපුරන සුලු බවට පත් වී ඇති එජ - චීන ගැටුම හා පටලැවී ඇත. නව දිල්ලිය මත වොෂින්ටනයේ බලපෑමෙන් පසුගිය වසරේ චීනය සමඟ ඇති කරවන ලද දේශසීමා ගැටුම, 2016 පටන් මේ දක්වා ඉන්දියාව හා එහි න්‍යෂ්ටික අවියෙන් සන්නද්ධ අසල්වාසීන් දෙදෙනා අතර ඇති වූ සිව්වැනි යුද අර්බුදයයි.  

වසංගතය විසින් නිර්මිත ගෝලීය ධනේශ්වර අර්බුදයේ තීව්‍රවීමට ප්‍රතිචාර වශයෙන් ඉන්දීය ධනේශ්වරය, ඔවුන් 1991 සිට අනුයමින් සිටි ප්‍රතිගාමී පන්ති මූලෝපායය මත තබා ඇති සිය පරදු දෙගුන කරමින් සිටී.    

මෝදි ආන්ඩුවේ සමූහ ප්‍රතිශක්ති / විවෘත ආර්ථික පිලිවෙත වූ කලී පන්ති යුද්ධය තීව්‍ර කිරීමේ නවතම මට්ටමයි. පසුගිය මැයි මාසයේ දී කොවිඩ්-19 මැඬලීමේ පියවර කීතු කර දමන අතරතුර මෝදි, ආයෝජක-හිතකාමී ප්‍රතිසංස්කරනවල "හදිසි පිම්මක්" ලෙස ඔහු හැඳින්වූ ප්‍රතිසංස්කරන ප්‍රකාශයට පත් කලේය. රාජ්‍ය අංශයේ ඉතිරි වී ඇති ඒකක හෝ ව්‍යාපාර සියල්ලම පාහේ පෞද්ගලීකරනය කෙරෙමින් පවතී. පසුගිය සැප්තැම්බරයේ දී බීජේපී ආන්ඩුව, අඩමාන කොන්ත්‍රාත් මත ශ්‍රමිකයන් සේවයේ යොදවා ගැනීමෙහි ලා තවදුරටත් රැකවල් තර කර දීම සඳහා හා, කම්කරුවන්ගේ වෘත්තීය ක්‍රියාකාරීත්වයන්ගෙන් බොහොමයක් නීති විරෝධී කිරීම සඳහා කෘෂි ව්‍යාපාරවලට හිතවාදී නීති තුනක් බිඳ දමා කම්කරු නීති සංග්‍රහය සංශෝධනය කලේය.          

එමඟින් ද, ඉන්දියානු සමූහ ව්‍යාපාරවල උද්‍යෝගිමත් සහයෝගය ද සහිතව, මෝදි ආන්ඩුව ඉන්දියාව තවතවත් පූර්න වශයෙන් චීනයට එරෙහි එක්සත් ජනපද ආර්ථික හා මූලෝපායික ප්‍රහාරය සමඟ සමෝධානය කිරීමේ යෙදී සිටියි. පසුගිය 12 මස මුලුල්ලේම එය වොෂින්ටනය සමඟ ද, එහි ප්‍රමුඛ ආසියා-පැසිෆික් හවුල්කරුවන් වන ජපානය හා ඔස්ට්‍රේලියාව සමඟ ද ද්වි-පාර්ශ්වික, ත්‍රි-පාර්ශ්වික හා චතුර්-පාර්ශ්වික යුද මූලෝපායික බැඳුම්වල දැවැන්ත ජාලයක් නාටකාකාරයෙන් ප්‍රසාරනය කොට ඇත. අර්ධ මිලිටරි සන්ධානයක් වූ චතුර්-පාර්ශ්වික ආරක්ෂක සංවාදය ද මීට අයත්ය. බයිඩන් බලයට පැමින සති ගනනක් තුල ප්‍රථම චතුර්-පාර්ශ්වික රාජ්‍ය නායක සමුලුව කැඳවමින්, මෙහි කටයුතු නව මට්ටමකට නැංවීමට කඩිනම් පියවර ගත්තේය. 

ඉන්දියාවේ මිලිටරි - කාර්මික අංශයේ ප්‍රසාරනය හා එජ යුද්ධෝපකරන කර්මාන්තයට ලාභ ශ්‍රමය සපයන උප කොන්ත්‍රාත්කරුවෙකු සේ තමන් ඉස්මතුවීම සිය "ඉන්දියාවේ නිපදවනු" කාර්මික මූලෝපායයේ කේන්ද්‍රස්ථානයෙහි ස්ථානගත කිරීමට මෝදි ආන්ඩුව කටයුතු කිරීම මඟින් අවධාරනය කෙරෙන්නේ, ඉන්දීය පාලක පන්තියේ ප්‍රචන්ඩ චිත්ත ස්වභාවය හා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගෝලීය ආධිපත්‍යයට මුක්කු දීම මත එය තබන සාහසික පරදුවේ අනවරත වැඩි වීමයි.

කෙසේවෙතත්, ගෙවී ගිය දශක තුන අතිශයින් බඩජාරී ඉන්දියානු ධනපති ක්‍රමයක නැඟීම සනිටුහන් කොට ඇත. එමෙන්ම ඔවුහු ඉන්දියානු කම්කරු පන්තියේ ප්‍රමානය හා එහි සමාජ බලය ද දැවැන්ත ලෙස ඉහල දමා ඇත්තාහ. තව ද, සමෝධානික ගෝලීය නිෂ්පාදනයේ ක්‍රියාවලිය හරහා ඔවුහු දියුනු ධනේශ්වර රටවල ද ඇතුලුව ලොව පුරාම කම්කරුවන්ගේ වෛෂයික එකමුතුව දැවැන්ත ලෙස වැර ගන්වා ඇත්තාහ.    

පසුගිය ශත වර්ෂයේ ආරම්භයේ රුසියානු කම්කරු පන්තිය මෙන්, ශීඝ්‍ර ලෙස ප්‍රසාරනය වන ඉන්දියානු කම්කරු පන්තිය ද, විශිෂ්ඨ අරගලකාරීත්වයක් හා සටන්කාමීත්වයක් දක්වා ඇත. එහෙත් එහි අරගල ක්‍රමානුකූලව හුදෙකලා කරනු ලැබ හා මැඬ ලනු ලැබ ඇති අතර, දේශපාලනිකව එහි ප්‍රජා අයිතිය උදුරා ගනු ලැබ ඇත.

විවිධ ස්ටැලින්වාදී පක්ෂ හා ඒවාට සම්බන්ධ වෘත්තීය සමිති මේ තතුවලට මූලිකව වග කිව යුතුය. සීපීඑම් හා සීපීඅයි සංවිධාන ද, ඒවායේ වාමාංශික පෙරමුන ද දශක ගනනාවක් පුරා ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ ආවශ්‍යක කොටසක් ලෙස ක්‍රියා කර ඇත. 1991 දී ඉන්දියානු පාලක පන්තියේ රාජ්‍ය මූලික සංවර්ධන මූලෝපාය දියබත් වූ අවස්ථාවේ සීපීඑම් හා සීපීඅයි පක්ෂ, නව ලිබරල් ප්‍රතිසංස්කරනවලට ප්‍රාරම්භකත්වය දුන් නරසිංහ රාඕගේ කොන්ග්‍රස් පක්ෂ ආන්ඩුවට මුක්කු දුන්හ. ඉනික්බිතිව උදා වූ දශක දෙක තුල, ඉන්දියාව ගෝලීය ප්‍රාග් ධනය සඳහා ලාභ ශ්‍රමයේ සුර ලොවක් බවට පත් කිරීමේ පරිශ්‍රමයක පෙරමුන ගත්තා වූ ද, වොෂින්ටනය සමඟ වඩවඩාත් සමීප බැඳුම් ඇති කර ගැනීම පසුපස හඹා ගියා වූ ද එකක් පසුපස එකක් ලෙස ආ හවුල් ආන්ඩු ගනනාවක් - වැඩි වශයෙන්ම කොන්ග්‍රස් නායකත්වයෙන් යුත් ආන්ඩු - අන්ඩ දමා මූට්ටු කර ගැනීමට ඔවුහු සහයෝගය දෙමින් ආධාර කලහ. තව ද, තමන් විසින් ප්‍රාන්ත ආන්ඩුවල පාලනය ගෙන යන ලද කවර හෝ කාලයක වුව, කවර හෝ ස්ථානයක වුව, ස්ටැලින්වාදීහු තුමූම ද, ආයෝජන හිතකාමී පිලිවෙත් ලෙස තමන් විසින්ම හඳුන්වා දෙන ලද පිලිවෙත් ක්‍රියාවට ලූහ.      

පසුගිය තිස් වසර තුල සීපීඑම් හා සීපීඅයි පක්ෂ දෙකම, ඉන්දියානු ධනේශ්වරයේ ඓතිහාසික පක්ෂය වන කොන්ග්‍රසයටත්, දක්ෂිනාංශික ප්‍රාදේශීය වාර්ගික-ස්වෝත්තමවාදී හා කුලවාදී පක්ෂ සමූහයටත් වන්දනාමාන කලේ, බීජේපීයට එරෙහි අනාගමික හා ප්‍රජාතන්ත්‍රවාදී පවුරු ලෙස සලකා හින්දු ස්වෝත්තමවාදී දක්ෂිනාංශය පරාජය කිරීමට කම්කරු පන්තිය ඒවාට සහාය දිය යුතු බව කියා සිටිමිනි.            

මෝදි හා ආර්එස්එස් සං පරිවාර්වරුන් කම්කරු පන්තියේ මාරක සතුරන් බව නිසැකය. එහෙත් වෙලඳපොලවාදී ප්‍රතිසංස්කරන ක්‍රියාවට නැංවීමේ දී හා ඉන්දු-එජ සන්ධානය මස්තකප්‍රාප්ත කිරීමේ දී මෝදි හා ඔහුගේ බීජේපීය සිදු කරමින් සිටින්නේ තමන්ට පෙර පැවැති ස්ටැලින්වාදීන්ගේ සහාය ලද කොන්ග්‍රස් නායකත්වයෙන් යුත් ආන්ඩුවලින් හෙලිපෙහෙලි කල මාවත ඔස්සේ දිගටම ගමන් කිරීම පමනෙකි.      

වර්ගභේදවාදී ප්‍රතිගාමීත්වයේ වර්ධනය හා හින්දු ආධිකාරිකවාදී හයිකාරයා වන මෝදි ධනේශ්වරය විසින් වැලඳ ගනු ලැබීම, ඉන්දීය ධනපති ක්‍රමයේ දරුනු අර්බුදය ප්‍රකාශයට පත් කරයි. තව ද, එමඟින් අවධාරනය කෙරෙන්නේ, ධනේශ්වරය හා එහි සියලු දේශපාලන නියෝජිතයන්ට එරෙහිව ග්‍රාමීය වැඩකරන ජනයා තමා පසුපස ඒකරාශී කර ගනිමින්, කම්කරු පන්තිය කම්කරුවන්ගේ බලය සඳහා සටනක් තුල ස්වාධීනව දේශපාලන බලමුලු ගැන්වීමේ හදිසිභාවයයි. 

නැඟී එන බහුජන සමාජ කෝපය හා මංමුලාසහගතභාවය ගසා කමින් ඉන්දියාවේ වඩාත්ම බලගතු දේශපාලන පක්ෂය බවට පත් වීමට බීජේපීය සමත් වී සිටින්නේ හරියටම, ස්ටැලින්වාදී පක්ෂ හා වෘත්තීය සමිති විසින් කම්කරු පන්තිය දේශපාලනිකව අකර්මික කරනු ලැබ, පුලුල් ලෙස පැතිර ගිය දරිද්‍රතාවයට, උග්‍ර ආර්ථික අනාරක්ෂිතභාවයට හා සදාකාලිකව වඩවඩාත් පුලුල් වෙමින් පවත්නා සමාජ අසමානතාවයට තමන්ගේම සමාජවාදී විසඳුම ඉදිරිපත් කිරීමෙන් වලක්වනු ලැබ ඇති තතු යටතේය.        

දශක ගනනක් පුරා හින්දු දක්ෂිනාංශයට ඉඩ හැර සිටි, විෂකුරු කම්කරු පන්ති විරෝධී පිලිවෙත් ක්‍රියාවට නැංවූ, කොන්ග්‍රස් පක්ෂය වැනි පාලක පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාර්ශ්වය ලෙස හඳුන්වනු ලබන කුනු වෙමින් පවත්නා පක්ෂ සමඟ ලැගීමෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කල නොහැක. එය සිදු කල හැක්කේ සමාජවාදය සඳහා අරගලය තුල කම්කරු පන්තිය බලමුලු ගැන්වීම හරහා සහ, එමඟින් එය සියලු පීඩිතයන්ගේ ආරක්ෂකයා හා නායකයා ලෙස ඉස්මතු වීම මඟින් පමනෙකි.     

මේ සඳහා පන්ති අරගලයේ නව සංවිධාන බිහි කල යුතුව ඇත. කම්කරුවන්ගේ අරගලවලට සීමා පනවමින් හා ඒවාට බාධා පමුනුවමින් වෘත්තීය සමිති ඔවුන් සිර කොට පලඳවා ඇති යකඩ හැට්ට බිඳ දමා සිය පන්ති උත්සුකයන් පල කිරීම සඳහා වැඩ පොල මට්ටමේ සාමාන්‍ය කම්කරුවන්ගේ කමිටු කම්කරුවන්ට අත්‍යවශ්‍ය අවියකි.  

ප්‍රමුඛතම කර්තව්‍යය වන්නේ කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂයක් ගොඩ නැඟීමයි. එනම්, නොනවතින විප්ලවයේ සමාජවාදී ජාත්‍යන්තරවාදී මූලෝපායය මත පදනම් ව, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඉන්දීය ශාඛාවක් ගොඩ නැඟීමයි. නොනවතින විප්ලවයේ වැඩ පිලිවෙල, 1917 ඔක්තෝබරයේ රුසියානු විප්ලවයට හා, ඉනික්බිති කාලයේ දී, කම්කරු පන්තිය අතින් සෝවියට් දේශයේ බලය උදුරා ගෙන සිටියා වූ ද, "තනි රටේ සමාජවාදය" යන ප්‍රතිගාමී ජාතිකවාදී සටන් පාඨයේ නාමයෙන් ලෝකය පුරා කම්කරුවන්ගේ විප්ලවවාදී පරිශ්‍රමයන් පාවා දුන්නා වූ ද, අවසානයේ 1917 විප්ලවයේ සම නායක ලියොන් ට්‍රොට්ස්කි අනතුරු හැඟවූ පරිදිම ධනවාදය ප්‍රතිස්ථාපනය කළා වූ ද, සෝවියට් ස්ටැලින්වාදී නිලධරයට එරෙහිව එදා ට්‍රොට්ස්කි නායකත්වය දුන් අරගලයට ජීවය සැපයීය. ඉන්දීය හා ලෝක ධනවාදයට එරෙහිව හා ලෝක ගෝලීය සමාජ ආර්ථික ජීවිතය සමාජවාදී ලෙස ප්‍රතිසංවිධානය කිරීම සඳහා වූ අරගලයට පිටත සිට, වසංගතයට සමාජ අසමානතාවයට හා යුද්ධයේ තර්ජනයට එරෙහි අරගලයේ පටන් කුල පීඩනය මූලෝත්පාටනය කිරීම හා වාර්ගික ප්‍රතිගාමීත්වය පරාජය කිරීම දක්වා වූ ඉන්දියානු මහජනයා මුහුන දෙමින් සිටින දැවෙන ප්‍රශ්න කිසිවක් හෝ ඇමතිය හැකි නොවේ.      

හතරවැනි ජාත්‍යන්තරයේ විමුක්තිකාමී ධජය යටට පැමිනෙමින් සමාජවාදය සඳහා සටන් වදින්නැයි අද දින මෙම අන්තර්ජාල රැලියට සම්බන්ධ වන සියලු දෙනාගෙන් මම තරයේ ඉල්ලා සිටින්නෙමි.  

Loading