තෙල් මිල ඉහල දැමීමෙන් පීඩාවට පත් හලාවත ධීවරයෝ ලෝසවෙඅ ට කතා කරති

මේ මස 12 දා රාජපක්ෂ ආන්ඩුව පෙට්‍රල්, ඩීසල් හා භූමි තෙල් මිල ඉහල දැමීම හේතුවෙන් දහස් සංඛ්‍යාත ධීවර ජනයා බලගතු පීඩාවකට ලක්ව තිබේ. ඒ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකම ධීවරයෝ පසුගිය දින කිහිපය පුරා විරෝධතාවල නිරත වී සිටිති.

ආන්ඩුවේ නව වැඩි කිරීම අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 157 ක් දක්වා සියයට 14.5 කින් ඉහල ගොස් ඇත. ඩීසල් ලීටරයක් සියයට 6 කින් රුපියල් 111 දක්වාත්, භූමිතෙල් සියයට 6 කින් රුපියල් 77 ක් දක්වාත් ඉහල දමා තිබේ.

පසුගිය දා මුහුදු බත් වූ පර්ල් නැවේ විස රසායන හා වෙනත් අපද්‍රව්‍ය මුහුදට එකතු වීමෙන් පසු මත්ස්‍ය අලවිය පහල බැසීම හේතුවෙන්, කොවිඩ්-19 වසංගතයෙන් බැට කා සිටි ධීවර ජනතාවගේ ජීවන කොන්දේසි වඩාත් පහලට ඇද වැටුනි. එම තත්වය තුල, තෙල් මිල ඉහල දැමීම මගින් ඔවුනට උදාකෙරී ඇත්තේ ඉමහත් ව්‍යසනකාරී තත්වයකි. 

මාරවිල කුඩා බෝට්ටු ධීවරයෝ

 

බේකරි හිමියන්, ත්‍රිරෝද රථ රියදුරන්, ආපන ශාලා හා මගී ප්‍රවාහන අංශ තම සේවාවන්හි මිල ඉහල දැමීමට සිදු වන බව ප්‍රකාශ කොට තිබේ. එය කම්කරුවන්, ධීවරයන් හා අවශේෂ දිලිඳු ජනයාගේ ජීවන තත්වයන් තවත් කබාසිනියා කිරීමට හේතු වනු ඇත.

ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහි විරෝධය හමුවේ, බලපෑමට ලක් වූවන්ට සහනාධාර ලබා දීමට “පැකිලෙන්නේ නැතැයි“ මුදල්, ප්‍රාග්ධන වෙලඳපල රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කම්බරාල් ප්‍රකාශයක් කොට තිබේ. මෙය, ආන්ඩුවේ තවත් පච පොරොන්දුවක් පමනි.

ඊට සමගාමීව කතෝලික ආගමික නායක කාදිනල් මැල්කම් රංජිත් පියනම ද “සහනාධාර“ ප්‍රෝඩාව ධීවරයන්ට ගිල්ලවීමට මැදිහත් වී ඇත. පසුගිය 16 දා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරන කාදිනල්, මීට කලින් පැවති රජයන් ඉන්ධන මිල වැඩි කල අවස්ථාවන්හී ද සුලු රැකියාවල නිරත ජන කොටස්වලට සහාන ලබා දුන් පරිදි “යම් සහනයක් සැලසීමට කටයුතු කරන“ ලෙස ජනාධිපතිගෙන් ඉල්ලා තිබේ.

කාදිනල්ගේ ප්‍රකාශවලට ප්‍රතිකූලව, බලයට පත් සෑම ආන්ඩුවකින්ම ධීවරයන්ටත් එල්ල වූයේ බරපතල ප්‍රහාරයකි. වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි 2012 දී, ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව විරෝධතා දැක්වූ ධීවරයන්ට පොලිස් විශේෂ කාර්ය බලකාය ලවා වෙඩි තැබීමෙන්, හලාවත තරුන ධීවරයෙකු වූ ඇන්ටනි ප්‍රනාන්දු මරනයට පත්වූ අතර තවත් කිහිප දෙනෙක් බරපතල තුවාලවලට ලක් වූහ.

2018 වසරේ මැයි මාසයේ, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් තෙල් මිල ඉහල දැමීමට එරෙහිව රටපුරා ධීවර විරෝධතා පැන නැගුනි.

සෑමවිටම ධීවරයන් ආන්ඩුවේ “සහනාධාර“ ප්‍රතික්ෂේප කරමින් විරෝධතාවලට පිවිසියේ තෙල් මිල පහල දමන ලෙස ඉල්ලමිනි. පසුගිය වසර කිහිපයේ ලෝක ආර්ථිකයේ අවපාත කොන්දේසි යටතේ තෙල් මිල සැලකිය යුතු ලෙස පහල බැස පැවතියත් එහි ප්‍රතිලාභ ධීවරයන් ඇතුලු දිලිඳු ජනයාට හිමි නොවුනි.

මාලු විකුනා ගැනීමට වෙහෙසෙන ධීවර කාන්තාවන්

 

ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සමග අදහස් දැක් වූ හලාවත ධීවරයන් තෙල්මිල ඉහල දැමීම හා වසංගතය හමුවේ මහජනයාට අත්පත් කර දී ඇති විනාශය සම්බන්ධව ආන්ඩුව හා බලයට පැමිනි සෑම ආන්ඩුවක්ම පිලිකුලෙන් හෙලා දැක්කේ ය.

හලාවත මාරවිල වැල්ලේ කුඩා බෝට්ටු ධීවරයෙකු වන චමින්ද ප්‍රකාශ කලේ ඔහු තම ධීවර කටයුතු සඳහා පෙට්‍රල් භාවිතා කරන බවයි. ඈත දියඹේ පැය 7 ක් පමන රැඳී සිටිමින් මසුන් ඇල්ලීමට භූමිතෙල්වලට වඩා පෙට්‍රල් සුදුසු බව ඔහු විස්තර කලේ ය.

“කලින් එක දවසක තෙල් වියදම රුපියල් 5,500 ක් විතර ගියා. මිල වැඩි වීමෙන් පස්සේ 6,500 ක් විතර යනවා. මාලු වැඩියෙන් අහුවෙන කාලයටවත් මාලුවලට ස්ථීර මිලක් නෑ. ඒ නිසා අපිට මේ වැඩි වීම කොහොමවත් දරා ගන්න බෑ“ යයි ඔහු ප්‍රකාශ කලේ ය.

චමින්දගේ බෝට්ටුවේ ඔහුත් සමග තවත් ධීවරයන් දෙදෙනෙක් රැකියාවේ නිරත වී සිටිති. බෝට්ටුවේ ධීවර කටයුතු පිලියෙල කිරීමට තවත් අයෙකු දවස් කුලිය මත සේවයට ගැනීමට සිදුව තිබේ. “සේවක වියදම්, ඇම්වලට, බිලිකටු සමග මට රුපියල් 17,000 ක් විතර එක දවසකට වැය වෙනවා. අතට කීයක් හරි ලැබෙන්නේ මාලු වැඩියෙන් අහුවෙන දවස්වලට විතරයි“ යනුවෙන් ධීවර රැකියාවේ අවිනිශ්චිත ස්වභාවය විස්තර කලේ ය.

“නැව ගිනිගන්න ඇරලා වන්දි ගන්න එක වාසියි කියලා ආන්ඩුවේ වාසුදේව නානායක්කාර කිව්වා. ඒතරම් මේ ආන්ඩුවේ අර්බූදය වැඩිවෙලා“ යයි චමින්ද ප්‍රකාශ කලේ ය. ඇන්ටනි ප්‍රනාන්දුගේ ඝාතනය ඇතුලු ප්‍රහාර ගසා කමින් බලයට පැමිනි රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව යටතේත් සිදුවූයේ “දුප්පත් ජනයාට“ එරෙහි ප්‍රහාර තීව්‍රවීම පමනක් බව ඔහු වෛරයෙන් ප්‍රකාශ කලේ ය.

තවත් කුඩා බෝට්ටු ධීවරයන් දෙදෙනෙකු වන කුඩාමඩුවැල්ලේ පදිංචි සුගත් ප්‍රනාන්දු හා මැක්සිමස් පෙරේරා ද ලෝසවෙඅ සමග සාකච්ඡාවකට සම්බන්ධ විය. ඔවුන් බෝට්ටු සඳහා භූමි තෙල් භාවිතා කරයි. “තෙල් මිල වැඩිවීමට පෙර දිනකට රුපියල් 2,000 ක් වැය වුනා. දැන් 2,800 ක් විතර වැය වනවා“ යයි සුගත් කියා සිටියේ ය.

ඇල්ලීමට යන මත්ස්‍ය විශේෂ අනුව අවශ්‍ය තෙල් ප්‍රමානය වෙනස් වන බව ඔවුන් ප්‍රකාශ කලහ. “අපිට ආන්ඩුව ගැන කිසිම විශ්වාසයක් නෑ. යුද්ධය ඉවර කරලා ජනතාවයට සහන දෙනවා කිව්වා. නමුත් ධීවරයො සමහර දිනවලට බඩගින්නේ බුදියනවා. ඒවා මේ ප්‍රසිද්ධ මාධ්‍යවලින් වාර්තා කරන්නේ නෑ“ යයි මැක්සිමස් කියා සිටියේ ය.

තෙල් මිල ඉහල යෑම 30,000 ක් පමන වන ලංකාවේ බහුදින බෝට්ටු ධීවරයන්ටත් දරුනු ලෙස බලපා තිබේ. බහුදින යාත්‍රා බෝට්ටු හිමියෙකු වන ඉරනවිල ටයිටස් ප්‍රකාශ කලේ දින 55 ක පමන මුහුදු ගමනක් සඳහා ඔහු යාත්‍රාවට ඩීසල් ලීටර් 10,000 ක් පමන අවශ්‍ය වන බවයි. තෙල් මිල වැඩි වීමෙන් පසු ටයිටස්ට රුපියල් 70,000 ක් පමන පිරිවැයක් දැරීමට සිදුව තිබේ. අවශ්‍ය කෙරෙන වෙනත් ලිහිසි තෙල් මිල ගනන් ද මාස දෙකකට පෙර රුපියල් 5,000 කින් පමන වැඩි වී ඇත.

“දැල් ආම්පන්න මේ හැම දෙයකම මිල වැඩි වෙලා තියෙන්නේ. කොහොමහරි බෝට්ටුව එක් ගමනක් සඳහා දියත් කරන්න ලක්ෂ 25 ක් විතර ඕනා. මේ පාර කෙන්දෝ මාලු කුරී 100 ක් විතරයි අල්ලන්න පුලුවන් වුනේ“ යයි ඔහු ප්‍රකාශ කලේ ය.

බහුදින යාත්‍රා ධීවරයන් අල්ලන කෙන්දා මසුන්ගේ මිල, මත්ස්‍ය අපනයනයේ නිරත සමාගම් හා විදේශ ධීවර නැව් විසින් පාලනය කරනු ලැබේ. ඒ හේතුවෙන් මාලු මිල පහල බැසීම නිසා ධීවරයෝ දරුනු ප්‍රහාරයකට ලක් වී සිටිති. වසංගතය ආරම්භයේ දී කෙන්දා කිලෝවක මිල රුපියල් 400 ක් පමන දක්වා පහල වැටුනි.

“කාදිනල් තුමා කිව්වට ආන්ඩුව තෙල් මිල අඩු කරන්නේ නෑ. අපිට සහනවලින් වැඩක් නෑ. දැන් ජීඑස්පී ප්ලස් සහනයත් නැති වෙන පාටක් තියෙන්නේ. එහෙම වුනොත් මාලු මිල තවත් පහල වැටෙනවා“ යයි ටයිටස් ප්‍රකාශ කලේ ය.

රාජපක්ෂ ආන්ඩුවේ තෙල් මිල ඉහල දැමීම යටින් පවතින්නේ ආන්ඩුවේ උග්‍ර නය අර්බූදයයි. මේ වසරේ සිට 2026 තෙක් ඇමරිකන් ඩොලර් බිලියන 29 ක දැවැන්ත නය ගෙවීමට ආන්ඩුව තව තවත් නය ගනිමින් සිටී. අපනයන හා සංචාරක කර්මාන්තයේ කඩා වැටීමට, විදේශ සංක්‍රමනිකයන්ගේ ප්‍රේෂන ගලා ඒම පහල බැසීමට ආන්ඩුව මුහුදී සිටින අතරවාරයේ දී ආන්ඩුවේ එකම එල්ලය මෙම අර්බූදයේ සමස්ත බර මහජනයා පිට පැටවීමයි.

ඒ සඳහා ආන්ඩුව එක් අතකින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු පිලිවෙත් ක්‍රියාවට නගමින් සිටී. අනෙක් අතින් මංමුලා සහගත ලෙස ආනයන සීමා කිරීමට වැඩට බැස තිබේ.

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව තුල මැති ඇමතිකම් දරමින් තෙල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාන්ඩවල මිල ඉහල දැමීමට සම්මාදම් වූ විපක්ෂයේ සමගි ජන බලවේගයේ (සජබ) පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තෙල්මිල ඉහල දැමීමට එරෙහි ව්‍යාජ විරුද්ධත්වයක් මවාපාමින් තැන් තැන්වල විරෝධතා පවත්වති. බලශක්ති ඇමති උදය ගම්මන්පිලට එරෙහිව දෝෂාභියෝයක් ගෙන එන බවට ද ඔවුහු බෙරිහන් දෙති. ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) හා එහි සමස්ත ලංකා ධීවර සමිතිය ද ආන්ඩුවට පීඩනය යෙදීමෙන් මහජනයාට සහන සැලසෙනු ඇතැයි යන ප්‍රෝඩාව වගා දිගා කරමින් සිටී.

සජබ සහ ජවිපෙ ඇතුලු ධනපති පක්ෂ සියල්ල, ආන්ඩුවේ ප්‍රහාර වලට එරෙහිව කම්කරු-පීඩිත මහජනතාව අතර වැඩෙන බලගතු විරෝධය ආන්ඩුවට පමනක් නොව, සමස්ත ධනපති ක්‍රමයටම අභියෝග කරතැයි බියපත්ව සිටිති. ඔවුන් මෙම විරෝධතාවන්ට මැදිහත් වන්නේ, මහජන විරෝධය වෙනතක හරවා එම අභියෝගය වලකා ලීමටයි.

ධනපති ක්‍රමයේ වාම ආරක්ෂකයන් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි සංවිධාන, ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට එරෙහිව, 'තෙල් මිල අඩුකිරීම සඳහා පුලුල් මහජන බලයක් ගොඩ නගමු' යන සටන් පාඨය යටතේ වැඩට බැස සිටී. ඔවුනගේ අරමුන පුලුල් මහජන පෙරමුනක් හරහා කම්කරු පංතියේ පංති ස්වාධීනත්වයට වල කැපීමයි.

ධීවර ඇමති පත් කල කමිටුවට සිය ඉල්ලීම් ඉදිරිපත් කල බවත්, ආන්ඩුවෙන් “යම් හෝ සහනයක්“ ලබා ගැනීමට කතෝලිය පල්ලිය සමග ඒකාබද්ධව කටයුතු කරන බවත් හලාවත ඒකාබද්ධ ධීවර සමිතියේ සභාපති සුදේශ් ලෝසවෙඅ ට ප්‍රකාශ කලේ ය. වෘත්තීය සමිතිවල මෙම ප්‍රයත්නයන්ගේ අරමුන වන්නේ ද, වසංගතය මගින් ගැඹුරු කෙරෙන ලෝක ධනේෂ්වර අර්බූදය යටතේ තීව්‍ර කෙරෙන ප්‍රහාරයන්ට එරෙහින කම්කරු පංතියේ අව්‍යාජ ව්‍යාපාරයක් වර්ධනයවීම වලකා එම ප්‍රහාරයන්ට කම්කරු-පීඩිත මහජනතාව යට කිරීමයි.

Loading