ආන්ඩුවේ අත්‍යවශ්‍ය සේවා නියෝග නොතකා හෙද සේවකයන් 30,000 ක් දෙදින වර්ජනයක

හෙද සේවකයෝ ජුලි 1 සහ 2 ලෙඩ නිවාඩු දමා දෙදින වර්ජනයක යෙදී සිටිති. ලමා, පිලිකා හා කොරෝනා ප්‍රතිකාරක ඇතුලු විශේෂිත රෝහල් හැර සියලු ජාතික, ශික්ෂන සහ මහ රෝහල් ඇතුලු සියලු රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක වන අතර 38,000 ක් පමන වන සමස්ත හෙද සේවකයන්ගෙන් 30,000 කට අධික පිරිසක් වර්ජනයට සම්බන්ධ වී සිටිති.

මහනුවර, පේරාදෙනිය, ගාල්ල සහ යාපනය ඇතුලු සියලුම ප්‍රධාන රෝහල්වල වල මෙන් ම, සෙසු රෝහල් වල ද හෙද කාර්ය මන්ඩලයෙන් සියයට 90 ක් පමන මෙම වර්ජනයට සහභාගී වී ඇත. කෙසේ නමුත්, මෙම සියලු රෝහල්වල හදිසි අනතුරු සහ දැඩි සත්කාර ඒකකයන් ඇතුලු අත්‍යවශ්‍ය අංශයන් හි හෙද-හෙදියෝ සේවයේ යෙදී සිටිබව වාර්තා වෙයි.

2015 වර්ෂයේ දී හෙද කාර්ය මන්ඩලයට ලබා දීමට එකඟ වූ රු 15000 ක නිදිවර්ජිත, ප්‍රවාහන හා අනතුරු දීමනාව වහා ලබා දෙන ලෙසද, හෙද ව්‍යවස්ථාව වහා සංශෝධනය කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති. මීට අමතරව, වසර 05 කට වරක් ශ්‍රේනිගත උසස්වීම්, දින 05හේ වැඩ සතිය ස්ථාපිත කිරීම, සියලූ හෙද විදුහල් විශ්ව විද්‍යාල පීඨ බවට පත් කිරීම හා සියලූ හෙද නිලධාරීන්ට හෙද උපාධිය ලබා දීම, හෙද සේවාව දීප ව්‍යාප්ත සේවාවක් බවට පත් කිරීම සහ නිල ඇඳුම් දීමනාව වැඩි කිරීම ඔවුන්ගේ ඉල්ලීම් වලට ඇතුලත් වේ.

හෙද සේවකයන් වර්ජනයේ යෙදී සිටින්නේ රාජපක්ෂ ආන්ඩුව පනවා ඇති අත්‍යාවශය සේවා නියෝග නොතකමිනි. මෙම නීති යටතේ වර්ජන සාපරාධීකරනය කර ඇති අතර වසර 2 සිට 5 දක්වා බරපතල සිර දඬුවම් හා රුපියල් 2000 සිට 5,000 දක්වා වූ දඩයකට හා තවත් දඬුවම් වලට වර්ජිතයන් හා ඔවුන්ට සහයෝගය දෙන්නන් යටත් කල හැකිය.

වර්ජනය කැඳවුම් කර ඇත්තේ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය (රහෙනිස), රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය (රාසේඑහෙස) සහ ජනතා විමුක්ති පෙරමුන විසින් පාලනය කරනු ලබන සමස්ත ලංකා හෙද සංගමය (සලහෙස) විසිනි. රහෙනිස විපක්ෂයේ සමගි ජන බලවේගය සමග පෙල ගැසී සිටින අතර රාසේඑහෙස රාජපක්ෂ ආන්ඩුව බලයට ගෙන ඒමට දරදිය ඇදී සහ ආන්ඩුවේ පන්දම්කාර සමිතියකි. සලහෙස, කොරෝනා වසංගතය පාලනය කිරීම නමැති කඩතුරාවට මුවා වී ආන්ඩුවේ සැලසුම් හෙද සහ සෙසු සෞඛ්‍ය සේවකයන් මත පැටවීමට සහයෝගය දෙයි.

සමිතිවලට වර්ජනය කැඳවීමට බල කෙරුනේ වසර ගනනාවක් නො විසඳි පවතින ගැටලු සම්බන්ධයෙන් හෙද සේවකයන් අතර පවතින කෝපය සහ නොසන්සුන්කම නිසාවෙනි. හෙද වෘත්තීය සමිති කලේ නිස්සාර උද්ඝෝෂන සහ ආන්ඩුව සමග සාකච්ඡා වලට කොටු කර තම අයිතීන් සඳහා සටන් කිරීමට ඉදිරියට පැමිනි හෙද සේවකයන් ගේ අරගල විසුරුවා හැරීම සහ හෙද සහ සෙසු සෞඛ්‍ය කාර්ය මන්ඩල අතර ශ්‍රේනිවාදී බෙදීම් ඇවිලවීමය.

ආන්ඩුව සමග සාකච්ඡා 11 ක් පැවැත්වුවත් පිලිතුරක් නොලැබුන බව ට රාසේඑහෙස නායක මුරුත්තෙට්ටුවේ ආනන්ද ජුනි 30 වැනිදා පැවති මාධ්‍ය හමුවක දී කනිපින්දන් ගැසීය. “පසුගිය 09 වෙනි දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග ලොකු සාකච්ඡාවක් කලා. ඇමතිතුමිය ඇතුලු නිලධාරීන් සියලු දෙනාම පොරොන්දු දුන්නා. ... නමුත් අද මේ මොහොත වෙනකම් අගමැතිතුමාගේ සාකච්ඡාවේදී ගත්ත තීන්දුව ක්‍රියාත්මක කලෙත් නැහැ. සෞඛ්‍ය අමාත්‍යංශය ගත්ත තින්දුව ක්‍රියාත්මක කලෙත් නැහැ” යි ඔහු එහිදී පැවසීය. “ලෙඩ නිවාඩු දමලා එයින් අවධානය යොමු නොවුනොත් ජූලි මාසේ 07 වෙනි දා ඉදලා අඛන්ඩ වැඩවර්ජනයක් දිවයින පුරාම දිගටම ගෙනියන්නටත් අපි සුදානම් වෙලා තියෙනවා” යයි ඔහු එහි දී කයිවාරුවක් ද ගැසීය.

එහෙත් මේ සියලු සාකච්ඡාවල එල්ලය වුයේ ආන්ඩුවේ ව්‍යාජ පොරොන්දු වලට යටත් කොට හෙද සේවකයන් අතරින් අරගලයක් පැන නැගීම වැලැක්වීමය. හෙද සේවකයන් ඇතුලු සෞඛ්‍ය සේවකයන්ගේ මෑත පැවති ඒකාබද්ධ අරගලවලට රාසේඑහෙස සහභාගී නොකිරීමට ද ඔහු වග බලා ගත්තේය.

රෑ 12 ට හරි ඉල්ලීම් දෙන බවට ආන්ඩුවෙන් “පොරොන්දුවක්” ලැබෙනවා නම් වර්ජනය නතර කරන බවට රහෙනිස නායක සමන් රත්නප්‍රිය එම මාධ්‍ය සාකච්ඡාවේ දී ආන්ඩුවට සපත විය.

සලහෙස සහ එය පාලනය කරන ජවිපෙ කොරෝනා වසංගතය පාලනය කිරීමට සහයෝගය දීම මුවාවෙන් වසංගතයේ ව්‍යසනය කම්කරු පන්තිය මත පැටවීමේ ආන්ඩුවේ පිලිවෙත් වලට සහය දෙයි.

හෙද වර්ජනය ලෙඩ නිවාඩු දැමීමේ විරෝධතාවයකට සීමා කරමින් කිසිදු උද්ඝෝෂනයක් සංවිධානය නොකොට වර්ජිත හෙද සේවකයන් නිවෙස් වලට කොටු කර තැබීමට වෘත්තීය සමිති තීන්දු කර ඇත්තේ පිකට් කිරීම් ඇතුලු හෙද සේවකයන්ගේ එවන් උද්ඝෝෂනයක් රාජපක්ෂ ආන්ඩුවෙන් බැටකන කම්කරු පන්තියේ සෙසු කොටස් ද ආකර්ෂනය කර ගනු ඇතැයි යන භීතිය නිසාවෙනි.

මීට පෙරාතුව ජූනි 8 සහ 11 යන දිනවල වෛද්‍යවරු හැර සියලු සෞඛ්‍ය සේවකයන්ගේ වර්ජන දෙකක් සිදුවිය. පිලිවෙලින් 20,000 කට සහ 50,000 කට අධික සෞඛ්‍ය සේවකයෝ එම වර්ජන වලට සම්බන්ධ වුහ. මාස තුනකට පමනක් ගෙවන රුපියල් 7,500 ක සොච්චම් කොරෝනා අවදානම් දීමනාව පිලිගනිමින් සහ සෙසු සියලු ඉල්ලීම් ආන්ඩුවේ ව්‍යාජ පොරොන්දු වලට යටත් කරමින් වෘත්තීය සමිති එම අරගල නිර්ලජ්ජිත ලෙස පාවා දුන්හ.

ජූනි 11 වැනි දා ගම්පොල රෝහලේ සෞඛ්‍ය කම්කරු විරෝධතාව (ලෝසවෙඅ මාධ්‍ය)

හෙද සේවකයන් ගේ දෙදින වර්ජනය වනාහි, කොරෝනා වසංගතය තුල අනාරක්ෂිතව සේවයේ යෙදවීම, දරා ගත නොහැකි වැඩ කොන්දේසි සහ සමාජ අයිතීන් කප්පාදුව ඇතුලු ප්‍රහාරවලට එරෙහිව සමස්ත සෞඛ්‍ය සේවකයන් හා කම්කරු පන්තිය අතර වර්ධනය වන අරගලවල සහ සටන්කාමිත්වයේ තියුනු ප්‍රකාශනයකි. එමෙන් ම, එය ධනපති පාලක පන්තීන්ගේ සහ හාම්පුතුන්ගේ ප්‍රහාරවලට එරෙහිව වර්ධනය වන ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගල වල කොටසකි.

හෙද සේවකයන් ඇතුලු සෞඛ්‍ය සේවකයන් කොරෝනා වසංගතය හේතුවෙන් අතිශය අවදානමකට සහ දුෂ්කර සේවා කොන්දේසිවලට මුහුන සිටින කම්කරු පන්තියේ ප්‍රධාන කොටසකි. එම අවදානම සහ දුෂ්කර කොන්දේසි ගැන හෙද සේවකයෝ කිහිප දෙනෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවියට විස්තර කලහ.

පුත්තලම දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කරන වාට්ටුවක හෙදියක් මෙසේ පැවසුවාය: “මිගමුව සිට කුරුනෑගල දක්වා තිබෙන රෝහල් සියල්ලේ ම සෞඛ්‍යය සේවකයන් ප්‍රවාහනයට එක බස් එකයි තියෙන්නේ. සමහර හෙදියන්ට ගෙදර යන්න පැය තුනක් විතර යනවා. ඒ නිසා අපිට ප්‍රවාහන දීමනාවක් අවශ්‍යයි.”

“පසුගිය වර්ජනයේ දී පොරොන්දු වූ අනතුරු දීමනාවත් තව ම ලැබුනේ නැහැ. වෛද්‍ය නිලධාරි සංගමය වගේම අනෙක් සමිති කරන්නේ කම්කරුවන් භේද කරලා හුදකලා අරගල වලට තල්ලු කරන එක. ආන්ඩුව වසංගතයේ සැබෑ තත්වය වසන් කරනවා වගේ ම බොරු පොරොන්දු දීලා කම්කරුවන් රවට්ටනවා. මැති ඇමතියන් සියලු පහසුකම් සහිත සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන ගමන් වසංගතය පාලනය කිරීමට හෝ කම්කරු පන්තියේ අයිතීන් දීමට සුදානම් නැහැ.”

ජවිපෙ වැනි සංවිධාන හුදෙක් ආන්ඩුවේ දුෂනය සහ වංචාව නිසා රට බංකොලොත් වෙන බව පවසන්නේ ලෝක ධනපති ක්‍රමයම අර්බුදයකට ඇදවැටී ඇතැයි යන්න වසන් කිරීමට බවට ලෝසවෙඅ වාර්තාකරුවන් කල පැහැදිලි කිරීම දුරදිග සිතීමට පෙලඹවීමකැයි ඇය කීවා ය.

මාතර රෝහලේ දහසක් පමන හෙද සේවකයින් වර්ජනයට සම්බන්ධ වී සිටින බව එහි හෙද සේවිකාවක් සඳහන් කලා ය. කොරෝනා වසංගතය තුල අධික වැඩ ප්‍රමානයක් පැට වී ඇතත් හෙද සේවකයින්ගේ අතිකාල සේවා පැයකට ගෙවන්නේ රුපියල් 250-350 ක් බව ද ඇය පැවසුවාය.

“අත්‍යාවශ්‍ය සේවා නියෝගවල බරපතලකම ගැන වැටහීමක් තිබුනේ නැහැ. කිසිම වෘත්තීය සමිතියක් අද වෙනකම් ඒ ගැන පැහැදිලි කරලා නැහැ. සමිති සෞඛ්‍ය සේවකයන්ගේ ඒකාබද්ධ අරගලයකට විරුද්ධයි. ඔබ පැහැදිලිකල ආකාරයට කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවාගෙන කමකරු පන්තියේ සියලුම කොටස් ඒකාබද්ධ කලයුතුයි.”

Loading