රාජපක්ෂ ආන්ඩුව නිරෝධායන නීති වලට මුවා වෙමින් විරෝධතා සහ රැස්විම් තහනම් කරයි

ජූලි 06 දා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට රුදුරු ප්‍රහාරයක් එල්ල කරමින්, මහජන විරෝධතා සහ ප්‍රසිද්ධ රැස්වීම් තහනම් කලේය. 'කොවිඩ්-19 වසංගතය පැතිරීම වැලැක්වීමේ' පියවරක් ලෙස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුනවර්ධන විසින් 'නිරෝධායන නීති යටතේ' මෙම තහනම පනවා ඇතිබව පොලිස්පතිට ලිපියකින් දන්වා ඇතිබව එදින පොලීසිය නිවේදනය කලේය.

පාර්ලිමේන්තු වටරවුමේ දී අවිශිබම සහ වෘත්තීය සමිති පැවැත් වූ විරෝධතාවට එල්ල කෙරුනු පොලිස් ප්‍රහාරය

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ගේ සහ පොලීසියේ අර්ථ දැක්වීම කෙසේ වෙතත්, මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී වාරනය, තම ප්‍රහාරයන්ට එරෙහිව කම්කරු-පීඩිත මහජනතාව අතර වේගයෙන් වැඩෙන විරෝධතා රැල්ල මැඩීම සඳහා ආන්ඩුව විසින් ගන්නා ලද තීරනාත්මක පියවරකි. රාජපක්ෂ මෙම ප්‍රහාරයේම කොටසක් ලෙස, මැයි 27 හා ජුනි 2දා, රාජ්‍ය අංශයේ ක්ෂේත්‍ර ගනනාවකට වර්ජන තහනම් නියෝග නිකුත් කලේය.

ආන්ඩුවේ රසායනික පොහොර තහනමට එරෙහිව දිනපතා වැඩෙන ගොවි විරෝධතා, ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහි ධීවර ජනයාගේ උද්ඝෝෂන, අත්‍යවශ්‍ය පුද්ගලික ආරක්ෂක උපකරන, විශේෂ දීමනා සහ ප්‍රවාහන පහසුකම් ඉල්ලා සෞඛ්‍ය කම්කරුවන් ගෙනයන වැඩවර්ජන, වැඩ වේගවත් කිරීමට සහ වැටුප් කප්පාදුවට එරෙහි වතු කම්කරුවන්ගේ විරෝධතා සහ අධ්‍යාපනයේ මිලිටරීකරනය සහ පුද්ගලීකරනයට එරෙහි ශිෂ්‍ය සටන් ඇතුලු වැඩෙන අරගල මාලාවකට රාජපක්ෂ ආන්ඩුව මුහුන දී සිටී.

මෙම අරගල ඒකාබද්ධ වෙමින් තමාට සහ සමස්ත ධනපති ක්‍රමයට අභියෝග කරතැයි යන භීතියෙන් රාජපක්ෂ ආන්ඩුවේ දෙපා සලිතව ඇත. ‌විරෝධතා සහ රැස්වීම් වාරනය පිටුපස ඇත්තේ එම භීතිය යි.

පාර්ලිමේන්තු වටරවුමේ දී අවිශිබම සහ වෘත්තීය සමිති පැවැත් වූ විරෝධතාවට එල්ල කෙරුනු පොලිස් ප්‍රහාරය

මෙම වාරනය තුල මහජනතාව වසංගතයෙන් ආරක්ෂාකර ගැනීමේ කවර හෝ උත්සුකයක් නැත. රාජපක්ෂ උත්සුක වන්නේ, වසංගතය ව්‍යසනකාරීව වැඩෙද්දී කම්කරු-පීඩිත මහජනතාවගේ ජීවිත නොතකා ආර්ථිකය මුලුමනින්ම විවෘත කිරීම සම්බන්ධයෙනි. ජූලි 5 වැනි දා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමක දී ඔහු මෙසේ ප්‍රකාශ කලේ ය: “කොවිඩ් වසංගතයට මුහුන දෙන්න ලෝකයට ම ඇති එක ම විසඳුම එන්නතයි. … මේ තත්ත්වය තුල සැප්තැම්බර් වන විට රට සම්පූර්නයෙන් ම විවෘත කිරීමට පුලුවන්. මොකද අපි රට ඉක්මනින් ම විවෘත නොකලොත් ආර්ථිකය ඉදිරියට ගෙනියන්න පුලුවන්කමක් වෙන්නෙ නෑ.”

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ගේ සිට රාජපක්ෂ දක්වා ලොවපුරා පාලකයන්, 'එක ම විසඳුම එන්නතයි' යනුවෙන් ජප කරනුයේ, වසංගතයේ ව්‍යාප්ති දාමයන් බිඳ දැමීමට අත්‍යවශ්‍යයැයි විශේෂඥයන් විසින් නිර්දේශිත, මුහුනු ආවරන පැලඳීම සහ කායික දුරස්ථභාවය පවත්වා ගැනීමේ පියවර මුලුමනින්ම නොතකා, මහධනපතියන්ගේ ලාභෝත්පාදනය වෙනුවෙන් කම්කරුවන් වැඩට දැක්කීමටයි. මෙම සියලුම පාලකයන් වසංගතය ආරම්භ වූ දින පටන් ක්‍රියාත්මක කලේ, 'මිනිස් ජීවිත වලට ඉහලින් ධනපති ලාභය තැබීමේ' මෙම රුදුරු පිලිවෙතයි.

මෙම තතු තුල, විරෝධතා සහ රැස්වීම් තහනම් කෙරුනේ, මහජනයා ඒකරාශි වීමෙන් ඇතිවන වසංගතයේ ව්‍යාප්තිය වැලැක්වීමට බවට ආන්ඩුව කරන ප්‍රකාශ මුලුමනින්ම වංචනිකය, කුහකය. කම්කරුවන් ඒකරාශිවී, කායිකව ඉතා සමීපව වැඩෙහි නිරත වන ඇඟලුම් කම්හල් වැනි අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන පවා අඛන්ඩව පවත්වාගෙන යාමට රාජපක්ෂ පූර්න අනුමැතිය ලබාදුන් අතර එහි ප්‍රතිඵලය ලෙස එම කම්හල් වසංගත ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථාන බවට පත්ව ඇත.

රට 'විවෘත නොකලොත් ආර්ථිකය ඉදිරියට ගෙනියන්න පුලුවන්කමක් නැතැ' යි රාජපක්ෂ කියන විට ඔහු කතා කරන්නේ කම්කරු-පීඩිත මහජනතාවගේ ආර්ථිකය ගැන නොවේ. ගෝලීය වසංගතයෙන් වඩාත් ගැඹුරු කෙරුනු දේශපාලන සහ ආර්ථික අර්බුදයක කරවටක් ගිලී සිටින රාජපක්ෂ ආන්ඩුව, තම ආර්ථික අර්බුදයේ සමස්ත බර කම්කරු-පීඩිත මහජනතාව මත නිර්දය ආකාරයෙන් පටවමින් සිටී. තෙල්මිල ඉහල නැංවීම, රසායනික පොහොර ආනයනය නතර කිරීම, අධ්‍යාපන සහ සෞඛ්‍ය වියදම් කපා දැමීම සහ පුද්ගලීකරනය වේගවත් කිරීම ආදී විවිධ පියවර මගින් ක්‍රියාත්මක වන්නේ එයයි.

මෙම ප්‍රහාරයන්ට එරෙහිව වැඩෙන අරගල රුදුරුම ආකාරයෙන් තලා දැමීම සඳහා මිලිටරිය මත පාදකවූ ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීම රාජපක්ෂගේ එල්ලය යි. ඒ සඳහා යන වේගවත් ගමනේදී සියලු ප්‍රජාතන්ත්‍රීය අයිතීන් කුරිරු ලෙස තලා දැමෙමින් පවතින අතර, විරෝධතා සහ රැස්වීම් තහනම එහි අත්‍යන්ත පියවරකි.

රැස්වීමේ සහ විරෝධතා දැක්වීමේ මූලික ප්‍රජාතන්ත්‍රීය අයිතියට එරෙහි මෙම තහනම පනවා ගෙවීගිය දින දෙක තුල, ආන්ඩුව එය යොදා ගනිමින් විරෝධතා ගනනාවක් ම මැඩලීය. ඉන් කීපයක් මෙසේය:

  • ජූලි 07 දා, ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින්, ඒකාබද්ධ ඉංජිනේරු සංස්ථා සේවක සංගමය කොලඹ ඉංජිනේරු සංස්ථා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වූ විරෝධතා උද්ඝෝෂනයක් පොලීසියෙන් විසුරුවා හැරින.
  • ජූලි 07 දා, පෙරටුගාමී සමාජවාදි පක්ෂය විසින් කොම්පඤ්ඤවීදිය රාමනායක පාරේ පැවැත් වු විරෝධතාවයකට කඩා පනින ලද පොලීසිය එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුලූ පස්දෙනකු අත්අඩංගුවට ගත්හ.
  • ජූලි 07 දා, මුතුරාජවෙල තෙත්බිම් ගොඩ කිරීමට එරෙහිව විරෝධතාවයක නිරත වු, ජනතා විමුක්ති පෙරමුනට අයත් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ඇතුලූ දෙදෙනකු පමුනුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුනි.
  • ජූලි 08 දා, කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහිව, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය සහ වෘත්තීය සමිති එක්ව බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේ දී පැවැත්වූ විරෝධතාවකට කඩාවැදි පොලීසිය 31 දෙනෙකු අත්අඩංගුවට ගත්හ. අත්අඩංගුවටගත් අය අතර, අවිශිබම කැදවුම්කරු රත්කරව්වේ ජිනරතන හා ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

ජවිපෙ, පෙසප, අවිශිබම සහ වෘත්තීය සමිති විසින් සංවිධානය කෙරුනු මෙම විරෝධතා කම්කරු-පීඩිත මහජනතාව අතර වැඩෙන කෝපය ආන්ඩුවට පීඩනය යෙදීමේ අපසරනයන් වුවද, මෙම ප්‍රතිචාරයන් මගින් පෙන්නුම් කරන්නේ, එය මුහුන දී සිටින ගොඩ ඒ ගත නොහැකි අර්බුදය හමුවේ, කම්කරු-පීඩිත මහජනතාවගේ කවර හෝ අරගලයක් වේවා රුදුරුම ආකාරයෙන් තලා දැමීමට ආන්ඩුව දැඩිව තීන්දුකොට ඇති බවයි. එය ආන්ඩුව ඇතුලු ධනපති පාලක පංතියේ ඓතිහාසික බෙලහීනතාවයේ මිස ශක්තියක ප්‍රකාශනයක් නොවේ.

රාජපක්ෂ බලයට පැමිනියේ 'ශක්තිමත් ආන්ඩුවක්' ගොඩ නගන බවට ධනපති පංතියට පිලින දෙමිනි. ඔහුගෙන් ධනපති පංතියේ කොටස් බලාපොරොත්තු වූයේ කම්කරු පංතිය රුදුරුම ආකාරයෙන් තලා දමන 'ශක්තිමත්' පාලනයකි. ජනාධිපති තනතුරේ වැඩ භාරගත් සැනින් ඔහු එහි වැඩකටයුතු ආරම්භ කලේ, ආරක්ෂක ලේකම් තනතුරේ සිට රජයේ සියලු මර්මස්ථාන වලට, හමුදාවේ සේවයේ නියුතු හෝ විශ්‍රාමික ඉහල නිලධාරීන් පත් කරමින් මිලිටරීකරනය ගැඹුරු කරමිනි.

මිනිස් ජීවිත නොතැකීමේ සාපරාධී පිලිවෙත මත වසංගතයට ප්‍රතිචාර දැක්වීමේදී පැන නැගිය හැකි මහජන ප්‍රතිරෝධය මැඩීම සඳහා ඔහු වසංගතය මැඩීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පත් කලේ, විශේෂඥ වෛද්‍යවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන්, දිසා ලේකම්වරුන් ඇතුලු ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් ඔහුගේ අධිකාරියට යටත් කරමිනි.

පසුගිය වසරේ නොවැම්බරයේදී, වසංගතය වේගයෙන් පැතිරෙන තත්වයක් තුල සේවයට වාර්තා කිරීම ප්‍රතික්ෂේප කල වරාය සේවකයන් බලහත්කාරයෙන් වැඩට දැක්කීම සඳහා විසඝෝර 'අත්‍යවශ්‍ය සේවා' විධිවිධානයන් පනවා වැඩවර්ජන තහනම් කිරීමට රාජපක්ෂ පියවර ගත්තේය. 'අත්‍යවශ්‍ය සේවා' පනතට අනුව, එම තහනම කඩන කම්කරුවන්ට එරෙහිව, මුදල් දඩ සහ දැඩි සිර දඬුවම් පැනවිය හැක.

මැයි මස අගදී, මිලියනයක් පමන වන රාජ්‍ය අංශ සේවකයන් මත මෙම පනත බලපැවැත්වෙන බව රාජපක්ෂ නිවේදනය කලේ ය.

කෙසේ නමුත් රාජපක්ෂගේ 'අත්‍යවශ්‍ය සේවා' විධිවිධාන නොතකා දිවයින පුරා දහස් සංඛ්‍යාත සෞඛ්‍ය කම්කරුවෝ පසුගිය දා වර්ජනයේ යෙදී ගත්තේ ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව සටන් කිරීමේ සූදානම ප්‍රකාශයට පත් කරමිනි.

ආන්ඩුවට එරෙහි මහජන කෝපය සමාජ මාධ්‍ය හරහා පිටාර ගලන තත්වයක් තුල රාජපක්ෂ සමාජ මාධ්‍යයන්ට එරෙහිව ද කඩා පැන්නේය. ජුනි 08 දා නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය කියා සිටියේ, සමාජ මාධ්‍යවල ව්‍යාජ ප්‍රවෘත්ති පතුරුවා හැරීම, ප්‍රකාශයට පත් කිරීම, බෙදාහදාගැනීම හෝ ආධාර කිරීම සහ අනුබල දෙන ඕනෑම අයෙකු පොලිස් ආඥා පනතේ විධිවිධාන යටතේ දන්ඩ නීති සංග්‍රහයේ එන වරදක් කර ඇත්තෙකු සේ සලකා දඬුවම් කරන බවයි. මේ යටතේ, ආන්ඩුවට එරෙහි ඕනෑම විවේචනාත්මක සටහනක් 'ව්‍යාජයක්' ලෙස අර්ථකථනය කොට එය පලකල තැනැත්තා දන්ඩනයකට යටත් කල හැක.

කම්කරු පංතිය බෙදීම සඳහා ආන්ඩුව ගෙනයන වාර්ගික ප්‍රකෝපකරනයේ කොටසක් ලෙස දෙමල සහ මුස්ලිම් ලේඛකයන්ට සහ කලාකරුවන්ට එරෙහි රුදුරු මර්දනයක් ද ආන්ඩුව දියත් කර ඇත. 'ශිෂ්‍යයන්ට වර්ගවාදය හා අන්තවාදය උගැන්වීමේ හා ඒ පිලිබඳ පොත් පලකිරීමේ' ව්‍යාජ චෝදනා මත පසුගිය වර්ෂයේ මැයි මස පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මුස්ලිම් ජනවර්ගයට අයත් අහ්නාෆ් ජසීම් කවියා වසරකට අධික කාලයක් රඳවා තිබෙනුයේ, ඔහුට එරෙහිව අධිකරනය හමුවේ කවර හෝ විධිමත් චෝදනාවක් නැඟීමෙන් තොරව ය.

භාෂනයේ සහ ප්‍රකාශනයේ නිදහසට එල්ල කරන මෙම ප්‍රහාරයන් තුල, ආන්ඩුවට එරෙහි මහජන විරෝධතා තම නාලිකා තුලින් නිරන්තරව විකාශය කරන ආන්ඩුවේ විරුද්ධවාදී මාධ්‍ය ජාලයක් ලෙස ප්‍රකට 'සිරස' සතු විකාශන අවසර පත්‍රය අවලංගු කිරීමට රාජපක්ෂ තන්ත්‍රය පියවර ගනිමින් සිටින බව විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ (සජබ) නායක සජිත් ප්‍රේමදාස ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආන්ඩුවට එරෙහිව වැඩෙන විරෝධය ගසාකෑමේ අරමුනෙන් ආන්ඩුවේ විරෝධතා සහ රැස්වීම් තහනමට එරෙහිව සජබ අද පෙරවරුවේ පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක යෙදී ගත්තේය. 'කොවීඩ් රෙගුලාසි අනුගමනය කරමින් ඕනෑම වෙලාවක විනයානුකූලව මහ පාරේ විරෝධතා පවත්වන්න තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට හැකියාව ඕනෑම කෙනෙකුට තියෙනවා' යැයි ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී ප්‍රේමදාස පැවසීය. පසුගිය සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ ඇමතිකම් දරමින් දෙවරක්ම සමාජ මාධ්‍ය වාරනය කිරීමට දායක වූ ප්‍රේමදාස ඇතුලු සජබ නඩය භාෂනයේ නිදහස සම්බන්ධයෙන් කරන මෙම ප්‍රකාශ මුලුමනින්ම කුහකය.

ගෝලීය ධනපති ක්‍රමයේ පද්ධතිගත අර්බුදය වසංගතයෙන් වඩාත් තීව්‍ර කෙරී සමාජ අසමානතාව, විරැකියාව සහ දරිද්‍රතාව පෙරනොවූවිරූ අයුරින් ගැඹුරු වී ඇති තතු යටතේ ලොව කවර හෝ පාලක පංතියකට මෙතෙක් පැවති සීම්ත ප්‍රජාතන්ත්‍රවාදය හෝ පවත්වාගත නොහැකි වී ඇත. එක්සත් ජනපදයේ සිට ලංකාව දක්වා සෑම රටකම පාලක පංතීන් ආඥාදායක පාලන රූපයන් වෙත මාරු වෙමින් සිටින්නේ එබැවිනි.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ සටනේ අව්‍යාජ සටන්කරුවන් ධනපති පක්ෂ තුලින් හෝ ඒවයේ ආවතේවකාර ව්‍යාජ-වාම සංවිධාන තුලින් සොයාගත නොහැක. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ සටන වනාහි, ශ්‍රේෂ්ඨ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් ජීවමානවන එකම සමාජ පංතිය වන ජාත්‍යන්තර කම්කරු පංතිය මත පාදක වූ ගෝලීය ධනපති ක්‍රමයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනකි.

Loading