ඉදිරිදර්ශන

චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ සිට සියවසක්

[මෙය 2021 ජූලි 1 වැනි දින 100 years since the founding of the Chinese Communist Party යන මැයෙන් පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

මෙම මාසය, 1921 ජූලි මාසයේ ෂැංහයි නගරයේ බාලිකා විදුහලක මුලු දුන් චීන කොමියුනිස්ට් පක්ෂයේ (සීසීපී) ආරම්භක සමුලුව ආරම්භ කල තැන් සිට සිය වසක් සලකුනු කරයි. 1917 රුසියානු විප්ලවයෙන් අභිප්‍රේරනය ලද මෙම සිදුවීම, පන්ති පීඩනයට හා අධිරාජ්‍යවාදී ආධිපත්‍යයට එරෙහිව චීන ජනයාගේ දිගු කල් ඇදී ගිය අරගලයේ තීරනාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරන, ලෝක ඓතිහාසික වැදගත්කමකින් යුත් සිද්ධියක් වෙයි.

පක්ෂයේ හා, විශේෂයෙන්ම ජනාධිපති ෂී ජිං පිංගේ මහජන පිලිගැනීම ඔසොවා තැබීම සඳහා සැලසුම් කරන ලද නිල ශත සංවත්සර උත්සවවලට ලාක්ෂනික වූ කුහකවත හා මුසාකරනය, සිය වසකට ඉහත සීසීපීය බිහි කිරීමට මඟ පෙන්වූ විප්ලවවාදී සංකල්පවලට සපුරා ම පටහැනි ව පවතියි.

පාලක චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ ශත සංවත්සරය අනුස්මරනය කිරීමට 2021 ජූලි 1 වන දින බීජිංහි තියානන්මෙන් චතුරශ්‍රයේ පැවැති සමරු උත්සවයේ චීන ජනාධිපති ෂී ජිං පිං කල කථාව තිරයක දිස්වේ. (අනුග්‍රහය: AP Photo/Ng Han Guan) [AP Photo/Ng Han Guan]

චීන රූපවාහිනිය පක්ෂ ඉතිහාසය විචිත්‍ර ලෙස විස්තර කෙරෙන නාට්‍යවලින් පිටාර ගොස්ය. රට පුරා පුරවරයන්ට හා නාගරික ප්‍රදේශවලට කිට්ටු වටාපිටාවන්හි සම්මන්ත්‍රන පැවැත්වේ. මාවෝ සේතුං උපන් ස්ථානය ඇතුලු සීසීපීයේ ඉතිහාසය හා සබැඳි ස්ථාන කරා සංචාරය කිරීමේ “රක්ත සංචාර” සඳහා පක්ෂ ශාඛා, වැඩ කිරීමේ ඒකක, හා ප්‍රාදේශීය සංගම් උනන්දු කිරීමට තල්ලු කෙරෙමින් පවතී. සිනමා ශාලා සීසීපීය උත්කර්ෂයට නංවන චිත්‍රපටි සතියකට දෙවරක් තිරගත කල යුතු අතර, නාට්‍ය ශාලාවල ඊනියා විප්ලවවාදී ඔපෙරා වේදිකාගත කෙරෙයි. “සදහටම පක්ෂය අනුගමනය කරනු”, හා “කිසිදු බලවේගයකට චීන ජනතාවගේ ප්‍රයානය නැවැත්විය නොහැක” වැනි නව සටන් පාඨ අසූවක් සෑම ස්ථානයකම අලවා තිබේ.

මේ ලැයිස්තුව තවදුරටත් දිගට ඇදී යයි. ඒ සියල්ලෙන්, චීන ජාතිකවාදය හා, 19 වන සහ 20 වන සියවස්වල දී චීනය අධිරාජ්‍යවාදී බලවතුන් හමුවේ නින්දා සහගත ලෙස යටත් වූ තතු අවසන් කිරීමෙහි හා චීන ජාතිය ගොඩ නැඟීමෙහි ලා සීසීපීය ඉටු කල කාර්යභාරය උත්කර්ෂවත් ලෙස වර්නනා කෙරේ. පාසල් ලමුන්, චීනය ජාත්‍යන්තර කරලියේ මහ බලවතෙකු බවට පරිවර්තනය කිරීම සඳහා වන සීගේ “චීන සිහිනය” පිලිබඳව රචනා ලිවිය යුතුය. මාවෝවාදී දෘෂ්ඨිය හා “නව යුගයක් සඳහා චීන ගති ලක්ෂන සහිත සමාජවාදය පිලිබඳ ෂී ජිං පිංගේ චින්තනය” වර්නනා කරමින් ලියන රචනා සඳහා වැඩිහිටි අධ්‍යාපන පන්තිවල වට්ටම් ලබා දෙයි.

මෙම ජාතිකවාදී සාටෝපය පසුපසින් ඇත්තේ, පක්ෂයේ නිල ඉතිහාස කථාව සමන්විත වන මුසාවාදයේ යාදින්න තීරනාත්මක ලෙස ප්‍රශ්න කිරීමක් කරා ශත සංවත්සරයේ නිමිත්ත විසින් මඟ පෑදෙනු ඇතැයි සීසීපී යාන්ත්‍රනයේ පැහැදිලි ලෙස ම පවතින චකිතයයි. අප්‍රේල් 9 වන දා, චීනයේ අන්තර්ජාල පොලිස්කාර උපකරනය වන නීතිවිරෝධී හා අහිතකර තොරතුරු වාර්තා කිරීමේ මධ්‍යස්ථානයට “ඓතිහාසික නාස්තිකවාදය” සමඟ සටන් කිරීමේ නව පහසුකමක් එක් කරන බවට කෙරුනු නිවේදනය සමඟ, දැනටමත් පුලුල් ලෙස ක්‍රියාත්මක වාරනයට නව ස්ථරයක් එක් කරනු ලැබ ඇත. සීසීපීයේ ඉතිහාසය විකෘති කරන්නේයැයි, එහි නායකත්වයට හෝ දෘෂ්ඨියට අභියෝග කරන්නේයැයි, නැතහොත් “ඓතිහාසික ප්‍රානත්‍යාගීන්ට අපවාද නඟන්නේයැයි” කියනු ලැබෙන කවර හෝ අන්තර්ජාල පලකිරීමක් පිලිබඳව පැමිනිලි කිරීමට පුරවැසියන් උනන්දු කෙරෙයි.

විශේෂයෙන්ම, ජනගහනයේ ඉසුරුමත්ම ස්ථරවල උත්සුකයන් නග්න ලෙස ම නියෝජනය කරන දූෂිත සීසීපී නිලධරය සම්බන්ධයෙන් පුලුල්ව පැතිර ගිය කලකිරීමක් පවතින තතු යටතේ, මෙම සැලකිලිමත්වීමට හොඳ හේතූන් පවතී. සමරු උත්සව සියල්ල සමස්ත ලෙස ම ගොඩ නඟා ඇත්තේ, පක්ෂය එහි ආරම්භක ප්‍රතිපත්තීන්ට දිගටම අවංක ව සිටියේ ය යන විනිවිද පෙනෙන සුලු බොරුව මත ය. යථාර්ථයේ දී සීසීපීය, එය ගොඩ නැඟීමේ දී පදනම් කෙරුනු සමාජවාදී ජාත්‍යන්තරවාදයේ වැඩ පිලිවෙල බොහෝ කාලයකට ඉහත දී ප්‍රතික්ෂේප කලේ ය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක සම්මේලනය ෂැංහයි නගරයේ ප්‍රංශයට පවරා දී තිබූ කොටසේ පිහිටි බොවෙන් කාන්තා විද්‍යාලයේ ශයනාගාරයක් තුල, 1921 ජූලි 1 වන දින නොව; ජූලි 23 වන දින (මෙය සීසීපීය විසින් කිසිදා නිවැරදි නොකෙරුනු අක්‍රමිකතාවයකි) ආරම්භ විය. පසුව එය තැන් මාරු කොට පෞද්ගලික නිවෙසකට ගෙන යන ලදී. ඊට ෂැංහයි, බීජිං, වුහාන්, චැංෂා හා ජිනාන් නගරවලින් එකකින් දෙදෙනෙකු වශයෙන් දස දෙනෙකු ද, එමෙන්ම තුන්වන ජාත්‍යන්තරයේ නොහොත් කොමින්ටර්නයේ නියෝජිතයන් දෙදෙනෙකු ද (මැරිං ලෙස හඳුන්වනු ලැබූ හෙන්ක් ස්නීව්ලියෙට් හා චීනයේ දී නිකොල්ස්කි ලෙස හඳුන්වනු ලැබූ ව්ලැදිමීර් නෙයිමාන්) වශයෙන් දොලොස්දෙනෙක් සහභාගී වූහ. එමෙන්ම, සමුලුවට සහභාගීවීමට නොහැකි වූ, සීසීපීයේ ආරම්භක සභාපතිවරයා වශයෙන් තේරී පත් වූ චෙන් ඩුක්සියු නියෝජනය කරමින් විශේෂ නියෝජිතයෙක් ද සහභාගී වූයේය.

වත්මන් සීසීපීයේ ප්‍රචාරක ව්‍යාපාරය මෙම සම්මේලනය චීන කටයුත්තක් ලෙස හුවා දක්වන නමුත්, අනෙකුත් රටවල කොමියුනිස්ට් පක්ෂ පිහිටුවීම මෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීම ද, 1917 ඔක්තෝබර රුසියානු විප්ලවයේ සහ ව්ලැදිමීර් ලෙනින්ගේ හා ලියොන් ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන් කොමියුනිස්ට් පක්ෂය ප්‍රථම කම්කරු රාජ්‍යය ගොඩනැඟීමේ අති දැවැන්ත ජාත්‍යන්තර බලපෑම පිලිබිඹු කලේ ය. 1919 මාර්තුවේ තුන්වැනි ජාත්‍යන්තරයේ ආරම්භක සම්මේලනයේ ප්‍රකාශනය, “අප්‍රිකාවේ හා ආසියාවේ යටත්විජිත වහලුනි: නිර්ධන පන්ති ආඥාදායකත්වයේ හෝරාව ඔබේ විමුක්තියේ හෝරාව ද වනු ඇතැයි” නිවේදනය කරමින්, යටත්විජිත රටවල ජනයාට ඍජු ආයාචනයක් කලේ ය.

තම රටේ අර්ධ-යටත්විජිත පීඩනය සමඟ සටන් වැදීමේ මං සොයමින් සිටි චීනයේ බුද්ධිමතුන්ට හා තරුනයන්ට මෙම පනිවුඩය ඉමහත් ලෙස ආකර්ශනීය එකක් විය. 1911 චීන විප්ලවය, ධනපති ජාතිකවාදී කුවෝමිංටෑනය (කේඑම්ටීය) පිහිටුවා ගෙන සිටි සුන් යත්-සෙන් 'චීන සමූහාන්ඩුවේ' තාවකාලික ජනාධිපති පදවියේ පිහිටවූ නමුදු, රට එක්සත් කිරීමට හෝ අධිරාජ්‍යවාදී ආධිපත්‍යය අහෝසි කිරීමට හෝ එය සමත් වූයේ නැත. තව ද, පලමුවන ලෝක යුද්ධය අවසාන වීමෙන් පසු, ජර්මනියෙන් අල්ලා ගත් ෂැන්ඩොං පලාතේ අයිතිය සඳහා ජපානය කියා පෑ ඉල්ලීම පිලිගැනීමට 1919 දී වර්සේල්ස් සාම සමුලුව තුල දී ප්‍රධාන යුද ජයග්‍රාහක බලවත්තු කටයුතු කලෝ ය. මෙම තීරනය ප්‍රසිද්ධියට පත් වූ විට, එය 1919 මැයි 4 වන දින පටන් ඇරැඹී පුලුල්ව පැතිර ගිය විරෝධතා හා වර්ජන මාලාවක් අවුලුවාලී ය. මැයි 4 ව්‍යාපාරය ලෙස ප්‍රසිද්ධියට පත් වූ ව්‍යාපාරය අධිරාජ්‍ය විරෝධී මනෝභාවයන්ගෙන් පැන නැඟුනු නමුදු, එය චෙන් ඩුක්සියු හා ඔහුගේ සමීප සහචරයා වූ ලි ඩසාවෝ නායකත්වයේ භූමිකාවන් ඉටු කල ඊට වඩා බෙහෙවින් පුලුල් බුද්ධිමය හා දේශපාලනික සංක්ෂෝභයක් කරා මඟ පෑදී ය.

රජය සතු සිංහුවා ප්‍රවෘත්ති ඒජන්සිය විසින් ප්‍රකාශිත එහි “සීසීපී ශත සංවත්සරයේ පාඩම්” යන ලිපිමාලාවේ මෑතකදී පල කල ලිපියක නිවේදනය කර සිටින්නේ 1921 දී පක්ෂය ආරම්භ කිරීමේ අරමුන “චීන ජාතියට ශ්‍රේෂ්ඨ පුනර්යෞවනයක් ලබාදීම” වූ බවයි. එය වැඩි දුරටත් මෙසේ සඳහන් කරයි: “[සීසීපීය] රට බේරා ගැනීමේ ඓතිහාසික කර්තව්‍යයට උර දෙමින්, එයට පුනර්ජීවනය දෙමින් හා බල ගන්වමින්, සෑම කල්හි ම චීන ජාතියේ හා චීන ජනතාවගේ පෙරටු බල ඇනිය ලෙස ක්‍රියාකරනු ඇත; එය වසර දහස් ගනනක් පුරා තම ජයග්‍රහන ඒ මත සටහන් කර තැබෙනු ඇති ඓතිහාසික ස්මාරකයක් හැඩ තලා සකසනු ඇත.”

මේ ආකාරයෙන් චීන ජාතිකවාදය උත්කර්ෂයට නැංවීම, සීසීපීය ආරම්භ කිරීමෙහි ලා මඟ පෙන්වූ සංකල්පවලට සහමුලින් ආගන්තුක ය. එකී සංකල්ප බැඳී පැවතුනේ රුසියානු විප්ලවයත්, තුන්වැනි ජාත්‍යන්තරය චීනය තුල මැදිහත්වීමත් සමඟ ය. මැයි 4 ව්‍යාපාරයෙන් පක්ෂය ගොඩ නැඟීමට නැඟී ආ එම තරුනයෝ හා බුද්ධිමත්හු, අධිරාජ්‍යවාදයට එරෙහි සටන ධනවාදය පෙරලා දැමීමේ හා සමාජවාදය ගොඩනැඟීමේ සටනින් වෙන් කල නොහැකි ය යන වටහා ගැනීම විසින් දිනා ගන්නා ලද්දාහු වූහ. එහි ඉලක්කය වූයේ, සීගේ “සිහිනයේ” කේන්ද්‍රීය මූලාංගය වන “චීන ජාතියට පුනර්යෞවනයක් ලබා දීමේ” ප්‍රතිගාමී ජාතිකවාදී සංකල්පය නොව, ලෝක සමාජවාදී විප්ලවයයි.

1921 ප්‍රථම සම්මේලනයේ ලේඛන, පක්ෂයේ මූලික ප්‍රතිපත්ති මෙසේ විස්තාරනය කලේය: පන්ති අහෝසි කිරීමට ද, නිෂ්පාදන මාර්ගවල පෞද්ගලික අයිතිය අහෝසි කිරීමට ද මඟ පෑදෙන පරිදි කම්කරු පන්තිය විසින් ධනපති ක්‍රමය පෙරලා දමනු ලැබීම හා නිර්ධන පන්ති ආඥාදායකත්වය පිහිටුවීම, සහ තුන්වැනි ජාත්‍යන්තරය සමඟ එක්සත් වීම.

එය තවදුරටත් මෙම අරමුනු සඳහා සටන් වදින්නේය යන කියාපෑම [මුසාවක් බව] සීසීපීය පිලිබඳ කවර හෝ වෛෂයික විමර්ශනයක් මඟින් හෙලිදරව් කෙරේ. සීසීපීය යනු නිර්ධන පන්තියේ පක්ෂයක් නොව, චීනය පාලනය කරන නිලධාරී උපකරනයේ පක්ෂයකි. එහි ම නිල සංඛ්‍යාවන්ට අනුව, පක්ෂ සාමාජිකත්වය තුල කම්කරුවන් සිටින්නේ සියයට 7 ක් පමනෙකි. එම සාමාජිකත්වය තුල බලගතු අයුරින් ආධිපත්‍යය දරන්නේ, චීනයේ ඇතැම් ධනවත්ම ප්‍රකෝටිපතියන් ද ඇතුලු රාජ්‍ය නිලධාරීන්ය. රාජ්‍යය මඟින් පවත්වා ගෙන යන වෘත්තීය සමිති කම්කරු පන්තියට එරෙහි ව පොලිස්කාරකමේ යෙදෙමින්, තම පීඩාකාරී ජීවන තතුවලට එරෙහි ව කම්කරුවන්ගෙන් නැඟෙන කවර හෝ විරෝධයක් මැඬ ලීමට ක්‍රියාත්මක වෙයි.

පුද්ගලික ලාභය හා වෙලඳ පොල ජීවිතයේ සෑම අංගයක් මත ම ආධිපත්‍යය දරන, දැවැන්ත සමාගම් සමූහ, කොටස් වෙලඳපොලවල් සහ ඉසුරුමත් ප්‍රකෝටිපතියන් සහිත චීනය “චීන ගති ලක්ෂන සහිත සමාජවාදය” නියෝජනය කරතැයි කියා පෑම ප්‍රෝඩාකාරී ය. බලගතු චීන ජාතියක් පිලිබඳ සීගේ “සිහිනයට” සමාජවාදය හෝ කොමියුනිස්ට්වාදය සමඟ කිසිදු සම්බන්ධයක් නැත. එමඟින් නියෝජනය කෙරෙන්නේ, 1978 සිට ඩෙං ෂියාඔපිං යටතේ චීනය තුල ධනවාදය පුනස්ථාපනය කිරීමත් සමඟ ඉස්මතු ව ආ සුපිරි ධනවත් කතිපයාධිකාරීන්ගේ හා ධනවත් ප්‍රභූන්ගේ අභිලාෂයන්ය.

චීන ආන්ඩුවේ වත්මන් පිලිවෙත තුල, 1921 වසරේ සීසීපීය පිහිටු වීමට ජීවය දුන් ජාත්‍යන්තරවාදයේ අංශු මාත්‍රයක්වත් ශේෂ වී නැත. එය ලෝකයේ කොතැනක හෝ ඇති වන සමාජවාදී විප්ලවයකට පක්ෂපාතීත්වයක් හෝ සහයෝගයක් නොදක්වයි. අන් සියල්ලටත් ඉහලින්, කවර හෝ විරුද්ධත්වයක් -සුලු විරුද්ධත්වයක් පවා- සිය දැවැන්ත පොලිස්-රාජ්‍ය උපකරනය යොදා මඬින චීනය තුල, එවැන්නකට ඔවුන්ගේ කිසිදු සහයෝගයක් හෝ පක්ෂපාතීත්වයක් නොලැබේ.

අද දින සැබෑ සමාජවාදය සඳහා සටන් වැදීමට අවශ්‍ය කම්කරුවන්, තරුනයන් හා බුද්ධිමතුන් මුහුන දෙන තීරනාත්මක ප්‍රශ්නය වන්නේ, කවර ඉදිරි දර්ශනයක් එම අරගලයට මඟ පෙන්වන්නේ ද යන්නයි. එම ප්‍රශ්නයට පිලිතුරු දීමට නම්, සීසීපීය ධනපති ක්‍රමය පෙරලා දැමීමට සටන් වදින විප්ලවවාදී පක්ෂයක සිට හරියට ම එහි ප්‍රතිවිරුද්ධය බවට පත් වූයේ කෙසේ ද හා මක්නිසා ද යන්න මනාව ග්‍රහනය කර ගැනීම අවශ්‍ය කෙරේ.

පක්ෂයේ දීර්ඝ හා සංකීර්න ඉතිහාසයේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍ය තුනක් කැපී පෙනේ.

දෙවැනි චීන විප්ලවය (1925-27)

ඉන් පලමුවැන්න වන්නේ 1925-27 දෙවැනි චීන විප්ලවය හා එහි ඛේදජනක පරාජයයි. මෙම දැවැන්ත විප්ලවවාදී ව්‍යාපාරය කුඩුපට්ටම් කර දැමීමේ ප්‍රධාන දේශපාලන වගකීම පැවරෙන්නේ, යුරෝපයේ විප්ලව පරාජය වීමේ කොන්දේසි යටතේ සහ කම්කරු රාජ්‍යය දිගටම හුදෙකලාව පැවතීමේ තතු යටතේ රුසියානු විප්ලවයේ පදනම වූ සමාජවාදී ජාත්‍යන්තරවාදය අත්හැර දමමින්, “තනි රටේ සමාජවාදයේ” ප්‍රතිගාමී ඉදිරි දර්ශනය ඉදිරියට දැමූ, ස්ටැලින් යටතේ මතු වෙමින් පැවැති නිලධරය මත ය.

එසේ කිරීම මඟින් ස්ටැලින්වාදී යාන්ත්‍රනය, තුන්වැනි ජාත්‍යන්තරය ලෝක සමාජවාදී විප්ලවය ප්‍රගමනය කිරීමේ උපකරනයක සිට සෝවියට් විදෙස් පිලිවෙතේ උපකරනයක් බවට පරිවර්තනය කලේ ය. ඒ යටතේ එක් රටකින් පසු තවත් රටක වශයෙන් කම්කරු පන්තිය ඊනියා වාම පක්ෂ හා සංවිධාන සමඟ අවස්ථාවාදී සන්ධානවලට යටත් කරන ලදී.

1925-27 විප්ලව සමයේ ෂැංහයිහි සන්නද්ධ කම්කරුවෝ

තරුන හා අත්දැකීම් රහිත චීන කොමියුනිස්ට් පක්ෂය මත මේ තතුවලින් ඇති කල බලපෑම ක්ෂනික එකක් විය. 1923 දී, පක්ෂය තමා ම විසුරුවා හැර එහි සාමාජිකයන් තනි තනි පුද්ගලයන් ලෙස ධනපති කේඑම්ටීය තුලට ඇතුලු විය යුතු යැයි, සීසීපී නායකත්වයේ විරුද්ධත්වයට එරෙහි ව යමින්, කොමින්ටර්නය බල කර සිටියේ කේඑම්ටීය “චීනය තුල එකම බැරෑරුම් විප්ලවවාදී කන්ඩායම” නියෝජනය කරන්නේ යැයි කියා සිටිමිනි.

මෙම උපදේශය මඟින්, “ලිබරල් ධනේශ්වරයේ” ශමනය කල නොහෙන විරුද්ධත්වය මධ්‍යයේ සිදු කෙරුනු රුසියානු විප්ලවයේ සමස්ත අත්දැකීම නිශේධනය කෙරින. එය රුසියාවේ සාර්වාදී ඒකාධිපතිත්වයට එරෙහි අරගලයේ දී කම්කරු පන්තියට කල හැක්කේ, දෙවැනි අදියර වන සමාජවාදය සඳහා සටන් කිරීම අනියත අනාගතයකට කල් දමා, ධනපති ජනරජයක් පිහිටු වීමට කැඩෙට් ලිබරලුන්ට සහාය දීම පමනක් බව කියා සිටි මෙන්ශේවිකයන්ගේ අදියර දෙකේ න්‍යාය කරා ආපසු යාමක් විය.

මෙම කරුන 1923 මුල් භාගයේ සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මන්ඩලය තුල සාකච්ඡාවට ගැනුනු විට, කේඑම්ටීයට ඇතුල් වීමට එරෙහි ව ඡන්දය පාවිච්චි කල එක ම දේශපාලන මන්ඩල සාමාජිකයා වූයේ ලියොන් ට්‍රොට්ස්කි පමනෙකි. ලෙනින්, 1922 මැයි මාසයේ පලමු ආඝාතයට මුහුන දීමෙන් පසු ව, ආඝාත මාලාවකට ගොදුරු ව අශක්නුතාවට පත්ව සිටියේ ය. 1920 දී ලෙනින් ලියූ “ජාතික හා යටත්විජිත ප්‍රශ්න පිලිබඳ ප්‍රවාද කෙටුම්පතෙහි” ලෙනින් අවධාරනය කොට තුබුනේ, නිර්ධන පන්තිය, අධිරාජ්‍ය-විරෝධී ව්‍යාපාරවලට සහාය දෙන අතර ම, ජාතික ධනේශ්වරයේ සියලු කන්ඩායම්වලින් ස්වාධීන ව තම දේශපාලන ස්වාධීනත්වය පවත්වා ගත යුතු බවයි.

මූලික ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් සපුරාලීමට ජාතික ධනේශ්වරයට පවතින ඓන්ද්‍රීය නොහැකියාව, රුසියානු විප්ලවයට මඟ පෙන්වූ සිය නොනවතින විප්ලවයේ න්‍යාය තුල ට්‍රොට්ස්කි පෙන්වා දුන්නේ ය. එබැවින් එය දිනා ගත හැක්කේ නිර්ධන පන්තියට පමනෙකි. ඒ ඔවුන් සමාජවාදය සඳහා ගෙන යන අරගලයේ කොටසක් ලෙස ය. ස්ටැලින්වාදී නිලධරය සමාජවාදී ජාත්‍යන්තරවාදී පිලිවෙත් ප්‍රතික්ෂේප කිරීමට එරෙහි ව එකී පිලිවෙත් ආරක්ෂා කිරීම සඳහා ඔහු 1923 අග භාගයේ වාම විපක්ෂය පිහිටු වීය.

සීසීපීය හා එමඟින් චීන කම්කරු පන්තිය කේඑම්ටීයට යටත් කිරීම, මැයි 30 වන දින බ්‍රිතාන්‍ය නාගරික පොලීසිය විරෝධතාකරුවන්ට වෙඩි තැබීමෙන් ප්‍රේරනය වී, 1925 දී පුපුරා ගිය වර්ජන හා විරෝධතාවලින් සමන්විත මහජන විප්ලවවාදී ව්‍යාපාරයට ගෙන ආවේ ව්‍යසනකාරී ප්‍රතිවිපාකයන්ය. චියැං කායි-ෂෙක් විසින් දැන් නායකත්වය දෙන ලද කේඑම්ටීය, එය තුල සීසීපී සාමාජිකයන්ගේ දේශපාලන කටයුතුවලට වැඩි වැඩියෙන් තදබල සීමාවන් පැනවීම තිබියදී ම, කේඑම්ටීයෙන් කවර හෝ බිඳීමකට විරුද්ධ වූ ස්ටැලින්, දිගින්දිගට ම එකී ධනපති පක්ෂය දීප්තිමත් “විප්ලවවාදී” වර්නවලින් වර්න ගැන්වීය.

1927 දී ට්‍රොට්ස්කි, අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය විසින් චීන ධනපති පන්තියට විප්ලවවාදී කාර්යභාරයක් ඉටු කිරීමට බල කෙරෙනු ඇත යන ස්ටැලින්ගේ කියා සිටීමේ ඇති සාවද්‍යතාව හෙලිදරවු කරමින් මෙසේ පැහැදිලි කලේ ය:

අධිරාජ්‍යවාදයට එරෙහි විප්ලවවාදී අරගලය පන්ති අතර දේශපාලන ප්‍රභේදනයන් දුබල නොකරන අතර, ඒ වෙනුවට ඒවා වඩාත් ශක්තිමත් කරයි. ... කම්කරුවන් හා ගොවීන් අධිරාජ්‍යවාදයට එරෙහි ව සැබැවින්ම නැඟී සිටීමට සැලැස්විය හැක්කේ, ඔවුන්ගේ මූලික හා ගැඹුරුතම ජීවන උත්සුකයන් රටේ නිදහසේ අභිප්‍රායය සමඟ සම්බන්ධ කිරීමෙන් පමනෙකි. ... එහෙත් වැඩකරන ජනතාව අතර පීඩිත හා සූරාකෑමට ලක්වෙන මහජනයාගේ නැඟී සිටීමට හේතුකාරක වන සියලු දේ, නොවැලැක්විය හැකි පරිදි ම ජාතික ධනේශ්වරය තල්ලු කර යවන්නේ, අධිරාජ්‍යවාදය සමඟ විවෘත කාන්ඩ ගැසීමක් කරා ය. අධිරාජ්‍යවාදී පීඩනය විසින් ධනපති පන්තිය සහ කම්කරු ගොවි ජනකායයන් අතර පන්ති අරගලය දුබල නොකෙරෙන අතර, ඊට පටහැනි ලෙස, සෑම බැරෑරුම් ගැටුමකදී ම ලේ වැකි සිවිල් යුද්ධයක ඉම දක්වා ම එය තියුනු කෙරෙයි.

1927 දී චියැංගේ මැරයෙක් කොමියුනිස්ට් කම්කරුවෙකු මරා දමයි

මේ අනතුරු හැඟවීම ඛේදජනක ලෙස සනාථ විය. 1927 අප්‍රේල් මාසයේ ෂැංහයිහි දී කම්කරුවන් හා සීසීපී සාමාජිකයන් දහස් ගනනක් චියැං කායි-ෂෙක් හා ඔහුගේ හමුදාවන් විසින් සංහාරය කරනු ලැබීමට ද, ඉනික්බිති 1927 මැයි මාසයේ කම්කරුවන් හා ගොවීන් ඊනියා වාම කුවෝමින්ටෑනය විසින් ඝාතනය කරනු ලැබීමට ද පහසුකම් සැපයෙන අයුරින් සීසීපීය කේඑම්ටීයට යටත් කිරීම මඟින් ස්ටැලින් විප්ලවයේ මිනී වල කනින්නා බවට පත් විය. ඉක්බිති ක්ෂනික ව ම සම්පූර්නයෙන් ප්‍රතිවිරුද්ධ දිශාවට හැරුනු ස්ටැලින්, බැස යන විප්ලවවාදී රල මධ්‍යයේ ම, පහර කා දුබලව සිටි චීන කොමියුනිස්ට් පක්ෂය විනාශකාරී ප්‍රයානයන් මාලාවකට ඇද දැමී ය.

විසිවන සියවසේ ඉතිහාසය කෙරේ ඒ සා දුරදිග යන බලපෑමක් ඇති කිරීමට නියමිත වූ මෙකී ව්‍යසනකාරී පරාජයන් විසින් චීන කම්කරු පන්තියේ ජනතා පක්ෂය වශයෙන් සීසීපීය පැවැති තතු අවසානයකට ගෙන එන ලදී.

මෙම ඛේදජනක අත්දැකීමෙන් අත්‍යවශ්‍ය දේශපාලන පාඩම් උකහා ගනු වෙනුවට, ඊට බෙහෙවින් පටහැනි ලෙස, තම පිලිවෙත් නිවැරැදි වූ බව අවධාරනය කල ස්ටැලින් පරාජයන් සඳහා දෝෂය පැවරුවේ සීසීපී නායක චෙන් ඩුක්සියු වෙතය. දෙවැනි චීන විප්ලවය විසින් ඉදිරිපත් කෙරුනු ගැටලුවලට විසඳුම් සෙවූ චෙන් හා සෙසු ප්‍රමුඛ සීසීපී නායකයෝ ට්‍රොට්ස්කිගේ ලේඛනවලට ආකර්ෂනය වෙමින් චීන වාම විපක්ෂය හා ඉනික්බිතිව හතරවැනි ජාත්‍යන්තරයේ ශාඛාවක් ගොඩ නැඟීමට ක්‍රියා කලෝ ය. චීනය තුල හා ජාත්‍යන්තර ව ස්ටැලින්වාදයේ මෘග පාවාදීම්වලට එරෙහි ව හතර වැනි ජාත්‍යන්තරයේ මෙකී චීන ශාඛාව 1938 දී ට්‍රොට්ස්කි විසින් පිහිටුවන ලදී.

සීසීපීයේ නතර වූවෝ, මෙන්ශෙවික් අවධි දෙකේ න්‍යාය ද ඇතුලුව ස්ටැලින් හා ඔහුගේ අපරාධ, කිනිසි තුඩේ සිට එහි මිට දක්වා ම ආරක්ෂා කරමින්, ගම්බද ප්‍රදේශ කරා පසුබැස්සෝ ය. 1935 දී අවසානයේ අනභියෝගී ව සීසීපී නායකත්වයට පත් වූ මාවෝ සේතුං 1920 ගනන්වල පරාජයන්ගෙන් උකහා ගත්තේ, චීන විප්ලවයේ ප්‍රධාන බලවේගය ගොවි ජනයා මිස නිර්ධන පන්තිය නොවේ ය යන ප්‍රතිමාක්ස්වාදී නිගමනයයි.

1949 තුන්වැනි චීන විප්ලවය

මෙය, සීසීපී ඉතිහාසයේ දෙවැනි හැරවුම් ලක්ෂ්‍යය වූ 1949 තුන්වැනි චීන විප්ලවය කෙරේ දිග දුර යන ප්‍රතිවිපාක දැනවීමට නියමිත විය.

චීනයේ ගොවි ජන අරගලවල අතිමහත් විප්ලවවාදී-ප්‍රජාතන්ත්‍රවාදී අර්ථභාරය පිලිබඳ ව ට්‍රොට්ස්කි මුවහත් දැනුවත්කමකින් පසු වූ නමුදු, විප්ලවවාදී සමාජවාදී ව්‍යාපාරයේ සමාජ පදනම ලෙස නිර්ධන පන්තිය වෙනුවට ගොවි ජනයා ආදේශ කිරීමට දැරෙන ප්‍රයත්නවල ගම්‍යමානයන් සම්බන්ධයෙන් ඔහු තියුනු අනාගතඥානයකින් යුතු අනතුරු හැඟවීමක් කලේ ය.

වාම විපක්ෂයේ චීන ආධාරකරුවන් වෙත 1932 දී යැවූ ලිපියක ට්‍රොට්ස්කි මෙසේ ලිවී ය:

විශාල ඉඩම් හිමියන්, රනකාමීන්, වැඩවසම්වාදීන් හා පොලීකරුවන්ට එරෙහි ව එල්ල වන තාක් දුරට ගොවි ජන ව්‍යාපාරය දැවැන්ත විප්ලවවාදී සාධකයකි. එහෙත් ගොවි ජන ව්‍යාපාරය ම වශයෙන් ගත් කල එහි ඉඩම් හිමි හා ප්‍රතිගාමී ප්‍රවනතා ඉතා බලගතු ලෙස පවතින අතර, නිශ්චිත අවධියක දී එය කම්කරුවන්ට සතුරු වෙමින්, දැනටමත් අතට ගෙන ඇති අවි මඟින් එකී විරුද්ධත්වය දිගට ම පවත්වා ගෙන යාමෙහි ද සමත්ය. ගොවි ජනයාගේ මෙම ද්වන්ද්ව ස්වභාවය අමතක කරන්නා මාක්ස්වාදියෙකු නොවේ. ‘කොමියුනිස්ට්’ ලේබල් හා ධජ අතරින් තත්‍ය සමාජ ක්‍රියාවලීන් ප්‍රභේදනය කර ගැනීමට දියුනු කම්කරුවන්ට උගැන්විය යුතුය.

මාවෝ විසින් නායකත්වය දෙන ලද ගොවි හමුදා, කම්කරුවන්ට හා චීන ට්‍රොට්ස්කිවාදීන්ගෙන් නියෝජනය වන මාක්ස්වාදී පෙරටු බල ඇනියට එරෙහිව ගොවි ජනයා අවුස්සා ලන නිර්ධන පන්තියේ විවෘත සතුරෙකු බවට පරිවර්තනය විය හැකියැයි ට්‍රොට්ස්කි අනතුරු හැඟවීය.

1949 දී සීසීපීයේ විජයග්‍රාහී ගොවි හමුදාව

කේඑම්ටීය පරාජයට පත්වීම හා සීසීපීය බලය අල්ලා ගනිමින් 1949 ඔක්තෝබරයේ දී චීන මහජන සමූහාන්ඩුව ප්‍රකාශයට පත් කිරීම ලෝකයේ වඩාත්ම වැඩි ජනගහනයකින් යුත් ජාතිය තුලින් මතු ව ආ ඓතිහාසික විප්ලවවාදී උද්ගතයක ප්‍රතිඵලය විය. ඒ වූ කලී, ලෝක යුද්ධ දෙකක් හා මහා අවපාතය නිර්මානය කොට තුබුනු ධනේශ්වර පර්යාය අවසාන කර දැමීම සඳහා කම්කරු ජනයාගේ අධිෂ්ඨානය පිලිබිඹු කරමින් ලෝකය පුරා ම විදාරනය වූ විප්ලවවාදී ව්‍යාපාර හා යටත්විජිත විරෝධී අරගලවල කොටසක් විය.

සීසීපීයේ දේශපාලන ආධිපත්‍යයේ ප්‍රතිඵලයක් ලෙස, චීන විප්ලවය පරස්පර විරෝධී ප්‍රපංචයක් වූ අතර, ඒ පිලිබඳ ව පවතින්නේ මඳ වැටහීමකි. පශ්චාත් යුද කාලීන විප්ලවවාදී ව්‍යාපාරවල - විශේෂයෙන්ම යුරෝපය තුල - පරාජයන්ට හේතුභූත වූ ස්ටැලින් විසින් අන කරන ලද මාවතේ දිගට ම ගමන් කරමින් මාවෝ සහ සීසීපීය, 1937 දී ජපානය විසින් චීනය ආක්‍රමනය කරනු ලැබීමට එරෙහි ව කේඑම්ටීය සමඟ ඇති කර ගත් දේශපාලන සන්ධානය පවත්වා ගෙන යමින්, හවුල් ආන්ඩුවක් ගොඩ නැඟීමට ප්‍රයත්න දැරූහ. එය පෙරලා දමමින් “නව චීනයක්” ගොඩනැඟීමට 1947 ඔක්තෝබරයේ දී මාවෝ කැඳවුම් කලේ, කේඑම්ටීය සීසීපීයට එරෙහි ව හමුදාමය ක්‍රියාකාරීත්වය මුදා හල කල්හි පමනෙකි.

ඉනික්බිති උදා වූ දෙ වසර තුල කේඑම්ටී තන්ත්‍රයේ ශීඝ්‍ර බිඳ වැටීම විසින්, එහි පැවැති අභ්‍යන්තර කුනු වීම හා කම්කරු පන්තිය තුල පැතිර ගිය වැඩ වර්ජන රල වේගයක් ද ඇතුලත්ව පුලුල් ලෙස ඇවිල ගිය විරෝධයකට පාත්‍ර වී සිටි චීන ධනේශ්වර ක්‍රමයේ බංකොලොත්භාවය පිලිබඳ ව සාක්ෂි දැරෙයි. කෙසේ වෙතත්, සීසීපීය කම්කරු පන්තිය වෙතට හැරී ගැනීමක් සිදු නොකල අතර, මාවෝගේ ගොවි ජනයා මත පදනම් වූ හමුදා නගරවලට ප්‍රවිෂ්ඨ වන තුරු කම්කරු පන්තිය නිෂ්ක්‍රිය ව බලා සිටිය යුතු යැයි එය බල කර සිටියේ ය. මෙන්ශෙවික්වාදී-ස්ටැලින්වාදී අවධි දෙකේ න්‍යාය අනුයමින් ගෙන ආ “නව චීනයක්” පිලිබඳ මාවෝගේ ඉදිරි දර්ශනය වූයේ, සීසීපීය ධනේශ්වර දේපල සම්බන්ධතා පවත්වා ගෙන යමින් ද, බොහෝ ධනපතීන් කේඑම්ටීය සමඟ තායිවානයට පලා ගොස් ද තුබූ තතු තුල චීනයේ රැඳී සිටි ධනපති පන්තියේ ඉතුරු බිතුරු සමඟ සන්ධාන ගත වූ ධනේශ්වර සමූහාන්ඩුවක ඉදිරි දර්ශනයකි.

මාවෝගේ වැඩ පිලිවෙල විප්ලවය විකෘති කිරීමට මඟ පෑදී ය. ධනේශ්වර දේපල සබඳතා පවත්වා ගැනීම යන්නෙහි අර්ථය වූයේ කම්කරුවන්ගේ ඉල්ලීම් හා අරගල නිලධාරීවාදී ලෙස මැඬ පැවැත්වීමයි. ගොවි හමුදාවල නායකත්වයෙන් මතු වී ඒවා මත රැඳී සිටි ස්ටැලින්වාදී රාජ්‍ය උපකරනය කම්කරු පන්තියට බලගතු ලෙස සතුරු විය. කම්කරුවන් සීසීපීයට බඳවා ගන්නා ලද නමුත්, ඒ කම්කරු පන්තියට දේශපාලන හඬක් සම්පාදනය කිරීමට නොව, කම්කරු පන්තිය මත එහි පාලනයේ ඇන මුරිච්චි වඩාත් තද කිරීම සඳහා විය.

විප්ලවයේ “ප්‍රජාතන්ත්‍රවාදී” අදියර ලෙස කියා සිටි දෙය වසර ගනනාවක් පවතිනු ඇතැයි මාවෝ කියා තිබින. කෙසේ වෙතත්, වසරක් ගෙවීමට ද පෙර, 1950 දී කොරියානු යුද්ධය දියත් කල ඇමරිකානු අධිරාජ්‍යවාදයේ යුද ප්‍රහාරයක තර්ජනයකට මුහුන දීමට සීසීපීයට සිදුවිය. යුද්ධය ඉදිරියට ඇදී චීනයට ඊට මැදිහත් වීමට සිදු වීමත් සමඟ, කොරියාවේ සිටි එක්සත් ජනපද (එජ) නායකත්වයෙන් යුත් හමුදාවලට සිය විමුක්තිදායකයන් වීමේ ශක්‍යතාවය ඇතැයි සලකා ගත් ධනේශ්වර පන්ති ස්ථරවල අභ්‍යන්තර කඩාකප්පල් කිරීම්වලට එය මුහුන දුන්නේ ය. එජ ආක්‍රමනයක් සිදුවීමේ හැකියාව සමඟ පොර බදමින් සිටි මාවෝවාදී තන්ත්‍රයට, පෞද්ගලික ව්‍යවසායයන් තුලට ශීඝ්‍ර කඩා වැදීමක් සිදු කරමින් සෝවියට් පන්නයේ නිලධාරීවාදී ආර්ථික සැලසුම්කරනයක් ස්ථාපනය කිරීමට සිදු විය.

ඒ අතර ම, කම්කරු පන්තියේ ව්‍යාපාරයක් ඇති වීම පිලිබඳ භීතියෙන් චීන ට්‍රොට්ස්කිවාදීන් මත කඩා පිනූ මාවෝවාදී තන්ත්‍රය, 1952 දෙසැම්බර් 22 වන දින මුලු රට පුරා ම දැල එලමින් සිය ගනනක් එහි සාමාජිකයන්, ඔවුන්ගේ පවුල්වල අයවලුන් සහ ආධාරකරුවන් අත්අඩංගුවට ගත්තේ ය. ප්‍රමුඛත ම ට්‍රොට්ස්කිවාදීහු ගනනාවක් චෝදනාවකින් තොර ව දශක ගනනාවක් සිර කර තබන ලද හ.

1955 දී සම්මත කෙරුනු අභියෝජනාවක් මඟින් සමාජවාදී කම්කරු පක්ෂයේ ඇමරිකානු ට්‍රොට්ස්කිවාදීහු[1] චීනය විකෘති කම්කරු රාජ්‍යයක් ලෙස ලක්ෂනනය කලෝ ය. නිලධාරිවාදී ආර්ථික සැලසුම්කරනය සමඟ අත්වැල් බැඳ ගත් කර්මාන්ත හා බැංකු ජනසතුව, කම්කරු රාජ්‍යයකට පදනම දමා තිබින. එහෙත් එය ස්ටැලින්වාදය විසින් උපතින්ම විකෘත කරන ලද්දක් විය. චීනයේ තහවුරු කෙරුනු ජනසතු දේපල සබඳතා හතරවැනි ජාත්‍යන්තරය කොන්දේසි විරහිත ව ආරක්ෂා කලේ ය. ඒ අතර ම, කෙසේ වෙතත්, මාවෝවාදී තන්ත්‍රයේ විකෘතිකෘත සම්භවය එහි ප්‍රමුඛ විශේෂාංගය බවත්, සමාජවාදය සඳහා ජාත්‍යන්තර අරගලයේ නො වෙන්කල හැකි කොටසක් ලෙස දේශපාලන විප්ලවයක් මඟින් එය පෙරලා දැමීම චීනයේ සමාජවාදය ගොඩ නැඟීම සඳහා ඇති එක ම ඉදිරි මාවත බවත් එය හඳුනා ගත්තේ ය.

1949 චීන විප්ලවය දැවැන්ත ඉදිරි පියවරක් ලෙස චීන කම්කරුවන් හා තරුනයන් විසින් යුක්තියුක්ත අයුරින්ම සලකා ගන්නා ලදී. එය ඍජු අධිරාජ්‍යවාදී ආධිපත්‍යය හා සූරා කෑම නිමා කල අතර, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ විප්ලවවාදී ව්‍යාපාරයේ සමාජ අපේක්ෂාවන්ට ප්‍රතිචාර වශයෙන් බහුභාර්යත්වය, ලමා විවාහ, දැරියන්ගේ පාද ගැට ගැසීම සහ උපභාර්යත්වය ඇතුලු චීන සමාජයේ සාමාජයීය හා සංස්කෘතික වශයෙන් පසුගාමී වූ බොහොමයක් දේ උපුටා දැමීමට සීසීපීයට බල කෙරින. නිරක්ෂරතාව බොහෝදුරට අහෝසි කෙරුනු අතර ආයු අපේක්ෂාව සැලකිය යුතු ලෙස වර්ධනය විය. කොයි හැටි වෙතත්, “තනි රටේ සමාජවාදය” පිලිබඳ සීසීපීයේ ස්ටැලින්වාදී ඉදිරි දර්ශනය ඉතා කෙටි කාලයක් තුල මඟ කැපුවේ ආර්ථික ආවෘතාන්තයක් කරා, සහ 1961-63 චීන-සෝවියට් භේදයෙන් අනතුරුව චීනය ජාත්‍යන්තරව හුදෙකලා වීම කරා ය. ජාතික ඒකාධිපතිත්වයේ රාමුව තුල චීනයේ සහ එහි වර්ධනයේ ගැටලු සඳහා විසඳුමක් සෙවීමට මාවෝවාදී නායකත්වය අසමත් විය.

ප්‍රතිඵලය වූයේ, සීසීපීය එහි උභතෝකෝටිකවලින් පිට වීමේ මං සොයා වියරුවෙන් දඟලන කල කඨෝර හා විනාශකාරී අභ්‍යන්තර කන්ඩායම් ආරාවුල් මාලාවක්ම හට ගැනීමයි. මේ තතු එකක් පසුපස එකක් වශයෙන් වූ ව්‍යසනයන්ට පාර කැපූ අතර, ඒවා බැඳී තිබුනේ පක්ෂයේ ජාතිකවාදී ඉදිරි දර්ශනය සමඟ හා ආත්මීය සහ උපයෝගීතාවාදී උපායයන් මඟින් චීනයේ සංවර්ධන ගැටලු මැඩ පැවැත්වීමට මාවෝ දැරූ ප්‍රයත්න සමඟ ය.

මහා පරිමාන සාගතයක් නිර්මානය කල මාවෝගේ ව්‍යසනකාරී “මහා ඉදිරි පිම්ම” මෙන්ම, කිසිසේත් ශ්‍රේෂ්ඨ නොවූ ද, නිර්ධන පාන්තික නොවූ ද, විප්ලවවාදී නොවූ ද ‘ශ්‍රේෂ්ඨ නිර්ධන පන්ති සංස්කෘතික විප්ලවය’ ද මෙම ප්‍රයත්නයන්ට ඇතුලත් විය. සිය විරුද්ධවාදීන් සමඟ ගනුදෙනු බේරා ගැනීම සඳහා ශිෂ්‍යයන්, ලුම්පනිත නිර්ධන පන්ති කොටස් හා ගොවියන් රෙඩ් ගාඩ් පැරා හමුදා තුල බලමුලු ගන්වා ගැනීමට මාවෝ දැරූ ප්‍රයත්න ඒකාන්ත ව්‍යසනයක් බවට සනාථ විය. වැඩ වර්ජනය කල කම්කරුවන් මැඩ පැවැත්වීමට හමුදාව යෙදවීමත් සමඟ එය නිමාවට පත් විය.

1970 ගනන්වල දී ධනේශ්වර පුනස්ථාපනය කරා හැරීම

චීන කම්කරුවන් 1949 අත්‍යවශ්‍ය වූ හා යුක්තියුක්ත වූ විප්ලවයත්, සංස්කෘතික විප්ලවයේ ප්‍රතිගාමී ස්වභාවයත් අතර තියුනු විලක්ෂනය උකහා ගත යුතුය. මෙහි දෙවැන්න වූ සංස්කෘතික විප්ලවයේ කලබැගෑනිය විසින් සිදු කෙරුනේ, තුන්වැනි ප්‍රධාන ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යය වූ ධනේශ්වර පුනස්ථාපනය හා 1949 චීන විප්ලවයේ ජයග්‍රහන ක්‍රමානුකූල ව කොටසින් කොටස ගලවා දැමීම සඳහා වේදිකාව සකස් කිරීම පමනෙකි.

මාවෝ වූ කලී සිය අදහස් අන්‍යයන් (විශේෂයෙන්ම 1978 දී වෙලඳපොල ආර්ථිකයකට පක්ෂපාතී ප්‍රාරම්භක ප්‍රතිසංස්කරන හඳුන්වා දුන් ඩෙං ෂියාඔපිං) විසින් පාවා දෙන ලද්දා වූ සැබෑ සමාජවාදී හා මාක්ස්වාදී විප්ලවවාදියෙකු ලෙස සාවද්‍ය නිරූපනයක් කිරීමට, විවිධ නව මාවෝවාදී ප්‍රවනතා යත්න දරති.

1972 පෙබරවාරි 22 වන දින රටවල් දෙකේ නායකයන් අතර සාකච්ඡා අතරතුර විරාමයක දී පීකිංහි ග්‍රේට් වෝල් ඔෆ් ද පීපල් රඟහලේ සංස්කෘතික සංදර්ශනයක දී ඇමරිකානු ජනාධිපති රිචඩ් නික්සන්, චීන අගමැති චෞ එන්-ලායි හා සභාපති මාවෝ සේතුංගේ භාර්යාව වන චියෑං චිං අතර වාඩි වී සිටී. (අනුග්‍රහය: AP Photo)

යථාර්ථය නම්, ධනේශ්වර පුනස්ථාපනය සඳහා මාවත විවර කලේ මාවෝ ම ය. කඳු ගැහෙමින් තුබූ ආර්ථික හා සමාජ ගැටලුවලට ද, සෝවියට් සංගමය සමඟ යුද්ධයක තර්ජනයකට ද මුහුන පා සිටි බීජිං පාලනය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමඟ සෝවියට්-විරෝධී සන්ධානයක් අටවා ගැනීමට ක්‍රියා කලේ ය. එකී සන්ධානය, ලෝක ධනපති ක්‍රමය තුලට චීනය සමෝධානය වීමේ පදනම සම්පාදනය කලේ ය. 1972 දී මාවෝ එජ ජනාධිපති රිචඩ් නික්සන් සමඟ සමගි සන්ධානයකට එලැඹ ගැනීම විදේශීය ආයෝජනයන්ගේ හා බටහිර සමඟ වෙලඳ කටයුතු ඉහල දැමීමේ අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසිය විය. සිය විදේශ ප්‍රතිපත්තිය තුල මාවෝවාදී තන්ත්‍රය එජ මත පදනම් වූ වඩාත්ම ප්‍රතිගාමී ඒකාධිපතිත්වයන් සමඟ පෙල ගැසුනේය. චිලියේ ඔගස්ටෝ පිනොෂේ හා ඉරානයේ ෂා ද ඒ අතර වූහ.

එජ සමඟ සම්බන්ධතා විසින් විදේශීය ප්‍රාග්ධනය හා විදේශ වෙලඳපොල වෙත ලබා දෙන ලද ප්‍රවිෂ්ඨය නොවන්නට 1979 දී ඩෙංට, විදේශීය ආයෝජකයන් සඳහා විශේෂ ආර්ථික කලාප, ගම්බද කොමියුන් වෙනුවට පෞද්ගලික ආයතන, සහ ආර්ථික සැලසුම්කරනය වෙලඳපොල මඟින් විස්ථාපනය කිරීම ඇතුලත් සිය පෘථුල “ප්‍රතිසංස්කරන හා විවෘතකරනය” දියත් කල නොහැකි වනු ඇත. මෙම නව තතුවල ප්‍රතිඵල වශයෙන් - විශේෂයෙන්ම ගම්බද ප්‍රදේශයන්හි - පෞද්ගලික ව්‍යවසායයන්හි දැවැන්ත ප්‍රසාරනයක්, සමාජ අසමානතාවයේ ද පක්ෂ නිලධරයන්ගේ කොල්ලකෑම් හා දූෂනවල ද ශීඝ්‍ර නැඟීමක්, වර්ධනය වෙමින් පවත්නා විරැකියාවක් සහ 1989 ජාතික විරෝධතා හා වර්ජන රැල්ලට මඟ පෑදූ අහස උසට ගිය උද්ධමනයක් ඇති විය. හුදෙක් තියානන්මෙන් චතුරශ්‍රයේ පමනක් නොව චීනය පුරා ම නගරවල නැඟුනු විරෝධතා ඩෙං විසින් කෲර ලෙස මර්දනය කරනු ලැබීම, කම්කරු පන්තියට පොලිස්කාරකම් කිරීම සම්බන්ධයෙන් සීසීපීය මත රැඳී සිටිය හැකි බව වටහා ගත් විදේශීය ආයෝජකයන්ගේ ඕඝයකට දොරටු විවර කලේ ය.

1989 මැයි මාසයේ තියැනන්මෙන් චතුරශ්‍රයේ මහජන විරෝධතා (AP Photo - සදයුකි මිකාමි)

මාවෝවාදයේ ප්‍රතිගාමී කාර්යභාරය සිය තියුනුත ම ප්‍රකාශනය අත්පත් කර ගන්නේ, “තනි රටේ සමාජවාදය” හා “පන්ති හතරේ සන්ධානය” පිලිබඳ එහි ස්ටැලින්වාදී දෘෂ්ඨියේ පිහිටා කම්කරු පන්තිය ජාතික ධනේශ්වරයට යටත් කිරීමේ බිහිසුනු ජාත්‍යන්තර ප්‍රතිවිපාක තුල ය. ඉන්දුනීසියාවේ දී මෙම දේශපාලනය මිලිටරි කුමන්ත්‍රනයක් හමුවේ කම්කරු පන්තිය දේශපාලනික ව නිරායුධ කොට දැමූ අතර, එමඟින් තක්සේරුගත කම්කරුවන් දස ලක්ෂයක් මූලෝත්පාඨනයට මඟ පෑදින. මාවෝවාදය දකුනු ආසියාවේ, පිලිපීනයේ හා ලතින් ඇමරිකාවේ ද මෙවැනි පරාජයන් හා පාවාදීම්වලට මඟ පාදා ඇත. ෂී හා සෙසු චීන නායකයෝ “චීන ලක්ෂන සහිත සමාජවාදය” යනුවෙන් අභූතරූපී ආකාරයෙන් හඳුන්වා දෙන දෙය විසින් අත්පත් කර දෙන ලද ආර්ථික ජයග්‍රහන පිලිබඳ ව පුරසාරම් දොඩති.

ඔවුන්ට තවමත් සමාජවාදය ගැන කථා කිරීමට හා තම ධනේශ්වර පිලිවෙත්වලට මාක්ස්වාදයේ මඟ පෙන්වීම ලැබෙතැයි කියා පවා කීමට සිදු ව තිබීම, චීන ජනයා 1949 විප්ලවයේ ජයග්‍රහන සමඟ චිරස්ථායී ලෙස අනන්‍ය වී ඇතැයි යන්න පිලිබඳ සාක්ෂ්‍යයක් වෙයි. පසුගිය දශක තුන තුල චීනයේ විශ්මයජනක ආර්ථික වර්ධනය විසින් ප්‍රතිවිරෝධී ආකාරයකින් පිලිබිඹු කෙරෙන්නේ චීන විප්ලවයේ බලපෑමයි. එකී විප්ලවයෙන් හඳුන්වා දෙන ලද ප්‍රතිසංස්කරන නොවන්නට එය කල හැක්කක් නොවනු ඇත.

චීන විප්ලවයේ අර්ථභාරය වටහා ගනු පිනිස යමෙකු විසින් ඇසිය යුත්තේ මෙම ප්‍රශ්නය පමනෙකි: එවැනි වර්ධනයක් ඉන්දියාවේ සිදු නොවූයේ ඇයි? රටවල් දෙක අතර විලක්ෂනය කොවිඩ් 19 වසංගතය තුල තියුනු ප්‍රකාශනයක් අත්පත් කොට ගෙන ඇත. ඉන්දියාව තුල එය මරන සංඛ්‍යාව 400,000 ද ඉක්මවා යමින් පාලනය කල නොහැකි අයුරින් පැතිර යද්දී, චීනය මුලදීම එය පාලනය කර ගත්තේ ය.

චීනයේ ප්‍රතික්ෂේප කල නොහැකි ආර්ථික වර්ධනය, වැඩකරන ජනයාගේ සැලකිය යුතු තරම් කාන්ඩ රාශියක ජීවන තතු ඉහල දමා ඇති අතර, කම්කරු පන්තියේ ශ්‍රේනීන් දැවැන්ත ලෙස ප්‍රසාරනය කර ඇත.

මේ වර්ධනය තිබියදී ම වුව, චීනය ධනවාදය වෙත හැරීමේ සියලු ප්‍රතිවිරෝධයන් හා ප්‍රතිවිපාකවලට අද දින මුහුන දෙමින් සිටී. ඒවා මාවෝවාදයේ වේවා, නැතහොත් පාලක සීසීපීයේ වත්මන් පිලිවෙත්වල රාමුව තුල සිට හෝ වේවා විසඳිය හැකි නොවේ.

චීනය ලෝක ධනේශ්වර ආර්ථිකය තුලට තමා සමෝධානය කර ගැනීම වෙනුවෙන් හා ලාභ චීන ශ්‍රමය සූරාකෑම සඳහා දැවැන්ත ලෙස විදේශීය ප්‍රාග්ධනය හා තාක්ෂනය රට තුලට ගලා ඒම වෙනුවෙන් බිහිසුනු මිලක් ගෙවමින් සිටී. ආර්ථික වර්ධනය මඟින් සිදු කෙරෙනුයේ, අතිමහත් සමාජ ආතතීන් ජනනය කරමින් හා ප්‍රගාඪ දේශපාලන අර්බුදයේ ඇවිලෙන ගින්නට පිදුරු දමමින්, චීන ධනේශ්වර ක්‍රමයේ ප්‍රතිවිරෝධයන් තව දුරටත් කුපිත කිරීම පමනෙකි.

චීනයේ ඒක පුද්ගල දල දේශීය නිෂ්පාදනය ඉහල ගොස් ඇතත්, තවමත් එය ලෝකයේ බොහෝ ජාතීන්ට වඩා බෙහෙවින් පසුපසින් සිටින්නේ, ශ්‍රේනිගත කිරීමේ 78 වන ස්ථානයේ පසුවෙමිනි. මේ වසරේ, ශත සංවත්සර උත්සව යන්තමින් එලැඹෙමින් පවතිද්දී, චීනය “පූර්න දරිද්‍රතාවය” අහෝසි කොට ඇතැයි ෂී පුරසාරම් දෙඩුවේ ය. එහෙත් අති සරල මිනුම් මත පදනම්ව ඇති සංඛ්‍යා ලේඛන අතිශයින් ප්‍රශ්න කටයුතු මට්ටමක පවතින අතර, දරිද්‍රතාව පුලුල් ලෙස පැතිර පවතී. තව ද, රටේ ජනගහනයෙන් පුලුල් කොටසකට ඉමහත් ලෙස බලපෑ කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ චීනයේ ප්‍රකෝටිපතියන්ගේ විශ්මයජනක ධන සම්භාරයන් තව තවත් වර්ධනය වෙමින් පැවතීමත් සමඟ පොහොසතුන් හා දුගීන් අතර ඇති ආගාධයක් වන් පරතරය අන් කවරදාටත් වඩා පුලුල් ව පවතී.

2016 දී, චෙංඩුහි කොකාකෝලා කම්හල අසල කම්කරු විරෝධතා (අනුග්‍රහය: Tianya/ty_一路上有你706)

අවසාන විග්‍රහයේ දී, චීන විප්ලවයට අභිප්‍රේරනය සැපයූ අධිරාජ්‍යවාදයෙන් ස්වාධීනත්වය, ජාතික එක්සත් බව, හා කොම්ප්‍රදෝරු ධනපතීන්ගේ ග්‍රහනය බිඳ ලීම වැනි ඓතිහාසික ගැටලු තවමත් නොවිසඳී පවතී.

ඇත්තෙන්ම, චීනයේ ධනපති ආර්ථිකය ගෝලීය ධනේශ්වර වෙලඳපොල මත රඳා පවතින, එක්සත් ජනපදය නායකත්වය දෙන යුදමය වැටලීම් තත්වයකට එය මුහුන දී සිටින අද දවසේ මෙම ගැටලු ඊට ද වඩා උග්‍ර වී පවතී. සතුරු ජාතික රාජ්‍යයක් බවට වඩවඩාත් වර්ධනය වෙමින් පවතින තායිවානය සිදුවිය හැකි ලෝක ගෝලීය යුද්ධයක ජ්වලන ලක්ෂ්‍යය ලෙස ඉස්මතු වී ඇත. මාවෝවාදය විසින් ඉදිරිපත් කෙරුනු, ස්වාධීන ජාතික වර්ධනය පිලිබඳ සමස්ත ඉදිරි දර්ශනය තරයේ ම අඩපන වී ඇත.

චීනය තුලමත් සීසීපීය, හෑන් බහුතර ජනයා මත පදනම් වූ හෑන් ජාතිකවාදය ප්‍රවර්ධනය කරයි. උයිගර් “ජනඝාතනයක්” පිලිබඳ අධිරාජ්‍යවාදයේ ප්‍රචාරය අවඥාවට උචිත නමුදු, සීසීපීය ජාතිකවාදී මනෝභාවයන්ට කරන ආයාචනා දැවැන්ත වූත්, භාෂා ගනනාවක් ව්‍යවහාර කරන්නා වූත්, බහු වාර්ගික වූත් සමාජයක ඉටු කරන්නේ කවර ආකාරයක හෝ ප්‍රගතිශීලී කාර්යභාරයක් නොවේ.

එහි සියලු ප්‍රතිවිරෝධතා හා සංකීර්නත්වය තුල, චීනයේ ඉතිහාසය විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ධනේශ්වර වර්ධනය කල් පමා වූ, අධිරාජ්‍යවාදයේ පීඩනයට ගොදුරු වී සිටින රටවල මූලික ප්‍රජාතන්ත්‍රවාදී හා ජාතික කර්තව්‍යයන් සපුරා ගත හැක්කේ, ලෝක සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස, ගොවි ජනයාගේ සහාය ලබමින් කම්කරු පන්තිය සිදු කරන සමාජවාදී විප්ලවයක් මඟින් පමනෙකැයි යන ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායයේ ප්‍රවාදයයි.

ලෝක සමාජවාදය කරා වන මෙම මාවත සීසීපීයේ හා එය නියෝජනය කරන ධනේශ්වර ස්ථරවල පිලිකුලට හා වෛරයට ලක් වූවකි.

වඩ වඩාත් තියුනු වෙමින් පවතින සමාජ ආතතීන්වල හා වර්ධනය වෙමින් පවත්නා විරෝධයේ හැඟවීම් හමුවේ, එකහෙලා වාරනය කිරීමේ, අන්තනෝමතික අත්අඩංගුවට ගැනීම්වල හා විරෝධතා සහ වර්ජන ප්‍රචන්ඩ ලෙස කුඩුපට්ටම් කිරීමේ ස්ටැලින්වාදයේ මර්දන විධික්‍රම විනා අන් විසඳුමක් සීසීපීයට නැත. සීසීපීයමත්, එය කැබලිවලට ඉරා දැමීමට තර්ජනය කරන දූෂනයෙන් හා කන්ඩායම් ආරාවුල්වලින් ඉරි තලා පැලී ගොසිනි. ෂී ඉස්මතු වී ඇත්තේ පක්ෂය කැබැලි වී යා නොදී එකට තබා ගැනීම සඳහා එකිනෙකාට සතුරු පක්ෂ කන්ඩායම් අතර සමතුලනය පවත්වා ගැනීමට එම කන්ඩායම් විශ්වාසය තබා සිටින බොනපාට්වාදී පුද්ගල චරිතයක් සේය. 'මධ්‍යස්ථානය' ලෙස නිතිපතා හඳුන්වනු ලබන හා මාවෝට පමනක්‌ දෙවැනි වන බවට පැසසුම් ලබන ෂී නඟා සිටුවා ඇති උත්කර්ෂය ගලා එන්නේ ඔහුගේ පෞද්ගලික දේශපාලන ශක්තියෙන් නොවේ. ඒ වෙනුවට එමඟින් පිලිබිඹු වන්නේ පක්ෂය වනසා ලන ගැඹුරු අර්බුදයයි.

ජනාධිපති ඔබාමා විසින් ආරම්භ කරනු ලදුව, ට්‍රම්ප් හා දැන් බයිඩන් යටතේ ද වේගය වැඩි කෙරෙමින් දිග හැරෙන්නා වූ, පසුගිය දශකය පුරා ම වඩ වඩාත් කලහකාරී ආකාරයක් අත්පත් කොට ගත්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය චීනය සමඟ ගැටුම විසින් මේ සියල්ල සංයෝග කෙරී ඇත. චීනයේ ආර්ථික වර්ධනයේ ගින්නට ඉන්ධන ඉසීමට දශක ගනනාවක් ආධාර කල ඇමරිකානු පාලක පන්තියේ සෑම කන්ඩායමක් ම අද චීනය එජ ලෝක ගෝලීය ආධිපත්‍යයට ඇති ප්‍රධාන තර්ජනය ලෙස සලකන අතර, චීනය “ජාත්‍යන්තර නියාම-පාලිත පද්ධතියට” (international rules-based system; එනම්, වොෂින්ටනය විසින් ගොඩනඟන ලද පශ්චාත් දෙවැනි ලෝක යුද්ධ පර්යායට) යටත් කිරීමට, යුද්ධය ද ඇතුලු ව, සියලු විධික්‍රම භාවිතා කිරීමට ඔවුහු සූදානම් වෙමින් සිටිති.

අධිරාජ්‍යවාදය සමඟ “සාමකාමී සහජීවනයේ” හා ලෝක ධනේශ්වර පර්යාය තුල තම ස්ථානය තහවුරු කර ගැනීමට චීනයේ සාමකාමී නැගීමේ සීසීපීයේ ඉදිරි දර්ශනය ඉරී වැරහැලි වී ගොසිනි. ඩිමොක්‍රටිකයන් හා රිපබ්ලිකන්වරුන් යන දෙපාර්ශ්වයේ ම සහාය ලබන බයිඩන් චීනයට එරෙහි යුද්ධය සඳහා එජ සහචරයන් සංවිධානය කරමින්, සන්නද්ධ වීම සඳහා ඩොලර් බිලියන සිය ගනන් වත්කරයි. ඒ අතරතුර ම වොෂින්ටනය, චීනය දුර්වල හා කැබලි කිරීමේ ප්‍රයත්නයක යෙදෙමින් සිටී. වාර්ගික බෙදුම්වාදී ප්‍රවනතා මුලු වැර යොදා මර්දනය කිරීමේ සීසීපී පිලිවෙත විසින් ඉන්ධන යොදනු ලැබ ඇවිල යන චීනය තුල ආතතීන් තම ප්‍රයෝජනයට ගැනීමට වොෂින්ටනය යත්න දරයි.

මෝදු වන ව්‍යසනකාරී යුද්ධයක අන්තරායයට මුහුන දී සිටින සීසීපී නායකත්වය, එහි සන්නද්ධ හමුදා ගොඩ නඟමින් හා සිය “බෙල්ට් ඇන්ඩ් රෝඩ් ආරම්භකත්වය” වැඩ පිලිවෙල ප්‍රවර්ධනය කරමින් චීනයේ ආරක්ෂාව මිලිටරියේ හා විදේශ ප්‍රතිපත්තියේ තතු තුල වටහා ගනිමින් සිටී. එක් අතෙකින් එය එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සන්තර්පනය කිරීමේ ප්‍රයත්නයක යෙදෙන අතර, අනෙක් අතට නිරර්ථක අවි තරඟයක යෙදෙමින්, ජාතිකවාදය හා ජාත්‍යෝන්මාදය අවුස්සයි. මෙම මාවත කෙලවර විය හැක්කේ ව්‍යසනයකින් පමනි. දීර්ඝ කාලයකට පෙර තමන් පිහිටු වීමේ දී පදනම් කෙරුනු සමාජවාදී ජාත්‍යන්තරවාදය ප්‍රතික්ෂේප කර ඇති සීසීපීය, සමාජවාදය සඳහා සටන මත පදනම් වූ එක්සත් යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැඟීමට ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙත කවර හෝ ආයාචනයක් කිරීමෙහි ලා ඓන්ද්‍රීය ව ම අසමත්ය.

යුද්ධය, පාරිසරික ව්‍යසනය, සමාජ අර්බුදය හෝ කොවිඩ්-19 වසංගතය වැනි මානව වර්ගයා මුහුන පා සිටින දැවැන්ත ප්‍රශ්න කිසිවක් ධනවාදයේ රාමුව හා, එමඟින් එකිනෙකා තරඟ වදින ජාතික රාජ්‍යවලට ලෝකය බෙදනු ලැබ ඇති යල් පිනූ ආකාරය තුල විසඳිය නොහැකි ය. ප්‍රගතිශීලී විසඳුමක් සොයන චීනයේ කම්කරුවන්, බුද්ධිමතුන් හා තරුනයන් මුහුන පාන අභියෝගය වන්නේ, සීසීපී යාන්ත්‍රනය විසින් අවුස්සනු ලැබෙන දූෂිත ජාතිකවාදය ප්‍රතික්ෂේප කොට, 1921 දී එම පක්ෂය ආරම්භ කිරීමට පදනම සැපයූ සමාජවාදී ජාත්‍යන්තරවාදයේ මාවත කරා ආපසු පැමිනීමයි.

එහි අර්ථය වන්නේ, චීන කම්කරු පන්තිය හා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාකය) තුල මූර්තිමත් වන ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය අතර සම්බන්ධය යලි හැඩ ගසා ගැනීමයි. හතරවැනි ජාත්‍යන්තරයේ ඉතිහාසය ද, ස්ටැලින්වාදයට සහ එහි මුසාවන් හා ඓතිහාසික මුසාකරනයන්ට එරෙහි ව මාක්ස්වාදී මූලධර්ම සඳහා එහි අරගලයේ දේශපාලන පාඩම් ද අධ්‍යයනය කිරීමට හැරී ගන්නා ලෙස අපි කම්කරුවන්ට හා තරුනයන්ට අවධාරනය කරමු. හජාජාකය සමඟ සම්බන්ධ වෙමින්, එහි විප්ලවවාදී ඉදිරි දර්ශනය සඳහා සටන් වැදීමට හජාජාකයේ චීන ශාඛාව පිහිටුවීමේ ක්‍රියාදාමය ආරම්භ කරන්නැයි මේ සියල්ලට ම ඉහලින් අපි ඔබ කැඳවුම් කර සිටිමු.

පසු සටහන්:

[1] 1953 දී, එක්සත් ජනපදයේ සමාජවාදී කම්කරු පක්ෂය (එස්ඩබ්ලිව්පීය) මයිකල් පැබ්ලෝ හා අර්නස්ට් මැන්ඩෙල් විසින් නායකත්වය දෙන ලද අවස්ථාවාදී ප්‍රවනතාවයකට එරෙහි ව හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) පිහිටුවීමේ අරගලයට නායකත්වය දුන්නේ ය. පැබ්ලෝ හා මැන්ඩෙල් විසින් නායකත්වය දෙන ලද ප්‍රවනතාව ස්ටැලින්වාදය ප්‍රතිවිප්ලවවාදී ප්‍රවනතාවයක් ලෙස ට්‍රොට්ස්කි විසින් කෙරුනු ගුනාංගීකරනය ප්‍රතික්ෂේප කරමින්, මොස්කව් හා බීජිංහි ස්ටැලින්වාදී නිලධරයන්ට පීඩනය යෙදීමෙන් ඒවා විප්ලවවාදී දිශානතියකට යොමු කල හැකි යැයි කියා සිටියෝ ය. 1963 දී එස්ඩබ්ලිව්පීය අවස්ථාවාදයට එරෙහි අරගලය අත්හැර දමා, හජාජාකයෙන් බිඳී යමින්, 1953 දී මතු ව තුබූ දේශපාලන වෙනස්කම් පිලිබඳ කිසිදු සාකච්ඡාවකින් තොරව, ප්‍රතිපත්ති විරහිත ආකාරයෙන් පැබ්ලෝවාදීන් සමඟ එක්සත් වූහ.

Loading