ඉදිරිදර්ශන

බයිඩන් පරිපාලනයේ මාස හයක ශේෂ පත්‍රය

[මෙය Six months of the Biden administration—A balance sheet යන මැයෙන් 2021 ජූලි 19දා පල වූ ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනයයි]

එක්සත් ජනපද ධනවාදයේ ද සමස්ත සමාජ හා දේශපාලන පර්යායේ ද පෙර නුවූ විරූ අර්බුදයක කොන්දේසි යටතේ, මාස හයකට පෙර, ජෝසෆ් බයිඩන් එක්සත් ජනපදයේ ජනාධිපති ධූරයට පදවිප්‍රාප්ත කරනු ලැබී ය.

2021 මැයි 13 වන දා බ්‍රහස්පතින්දා වොෂින්ටනයෙහි ධවල මන්දිරයේ රෝස උයනේ දී, මුහුනු ආවරනවල අවශ්‍යතාව පිලිබඳ යාවත්කාලීන කරන ලද උපදෙස් ගැන ජනාධිපති ජෝ බයිඩන් කතා කරයි. (ඒපී ඡායාරූප/ එවාන් වුසී)

2020 මැතිවරනයේ ප්‍රතිඵලය පිලිගැනීම ප්‍රතික්ෂේප කිරීම සංඥා කරමින්, ඔහුගේ පූර්වගාමියා වූ ඩොනල්ඩ් ට්‍රම්ප්, උත්සවයට සහභාගි නො වී ය. යන්තම් සති දෙකකට පමනක් පෙර, ජනවාරි 6දා, ට්‍රම්ප්ගේ ආධාරකරුවෝ කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදී, රාජ්‍ය මැතිවරන විද්‍යාල ඡන්ද කොංග්‍රසය විසින් සහතික කිරීම තාවකාලික ව නවතා දමා තිබුනි. කුමන්ත්‍රන උත්සාහයේ ඉලක්කය වූයේ, බලය මාරු කිරීම නවතා දමා, පුද්ගලවාදී ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීම යි. ඒකාබද්ධ මාන්ඩලික ප්‍රධානීන්ගේ සභාපති මාක් මිලීගේ වචනවලට අනුව, එය වනාහි ට්‍රම්ප්ගේ “රයික්ස්ටාග් මොහොත” විය.

බයිඩන් තනතුරු භාරගන්නා විට, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පුද්ගලයන් 400,000ක් මියගොස් තිබුනේ, මිලියන ගනනක් රැකියා විරහිත ව සිටිද්දී ය. යන්තම් මාස කිහිපයකට පෙර, ඇමරිකාවේ සෑම ප්‍රධාන නගරයක්, නගරයක් හා ගම්මානයක් ම, පොලිස් ප්‍රචන්ඩත්වයට විරුද්ධ පෙලපාලි ඇත්දැක තිබුනි.

ඇමරිකානු සමාජය දිදුලන භාෂිතයන්ගෙන් ගෙනහැර දක්වමින් කල කෙටි අදහස් දැක්වීමක් සමගින්, බයිඩන් සය-මස් සංවත්සරය සැමරී ය. “මාස හයක් තුල විනාශය හා අන්ධකාරය පිලිබඳ සියලු පුරෝකථනයන් සලකන කල, දේවල් පෙනී සිටින්නේ මෙන්න මේ ආකාරයෙන්” යයි ඔහු කීවේ ය. “වාර්තාගත වර්ධනයක්, වාර්තාගත රැකියා නිර්මානයක්, කම්කරුවන් අසීරුවෙන් දිනාගත් විරාමයන් ලබා ගනිමින් සිටීම.” “සරල ව ඉදරිපත් කලොත්, අපේ ආර්ථිකය ඉදිරියට යමින් තිබෙද්දී, අපි කොවිඩ්-19 ජයගෙන තිබෙනවා” යි ඔහු තව දුරටත් කීවේ ය.

ඔහුගේ අනාවැකිය සම්පින්ඩනය කරමින්, එක්සත් ජනපද ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කලේ ය: “ධනවාදය සජීවී හා ඉතා හොදින් ක්‍රියාත්මක වන බව පෙනෙනවා.” සත්‍යය වන්නේ, ඇමරිකානු ධනවාදයේ රාමුව මත පදනම් වන නිසා, බයිඩන් පරිපාලනයේ පිලිවෙත් ඇමරිකාවේ සමාජ අර්බුදය විසඳීමට මුලුමනින් ම අසාර්ථක වී ඇති බව යි.

“ජය ගැනීමට” බොහෝ දුරින් තිබෙන වසංගතය, නව ඉහල යාමක් අත්දකිමින් තිබේ. බයිඩන් තනතුරට පත්වූ තැන් පටන්, තවත් පුද්ගලයින් 225,000ක් වසංගතයෙන් මිය ගොස් ඇත. ඩෙල්ටා ප්‍රභේදයෙහි පැතිර යාම සමග අතිනත ගත් නව නැග්ම සමගින් සිසිර ඍතුව වන විට, බයිඩන් යටතේ සිදු වන මරන සංඛ්‍යාව ට්‍රම්ප් යටතේ සිදු වූ මරන සංඛ්‍යාව ඉක්මවා ගොස් තිබෙනු ඇතැයි සෑම ඉඟියක් මගින් ම පෙන්වා දෙයි.

බයිඩන් පරිපාලනයේ පිලිවෙත් ධාවනය කරනු ලැබ ඇත්තේ, වෝල් වීදියේ හා සුපිරි ධනවතුන්ගේ අවශ්‍යතාවන් විසිනි. කොරෝනා වෛරස් වසංගතයට ට්‍රම්ප් දැක්වූ උදාසීන හා විද්‍යා-විරෝධී ප්‍රතිචාරය පිලිබඳ ව ඉඳ හිට කරන විවේචන හැරුනු විට, ඔවුන්ගේ ජීවිතවලට හා සෞඛ්‍යයට සිදු වන අන්තරායන් නො තකා, හැකි ඉක්මනින් කම්කරුවන් බලහත්කාරයෙන් පෙරලා වැඩට දැක්වීම හා ලමුන් පාසල් කරා යැවීම මගින් සංගත ලාභ ඉපැද්දීම පුනස්ථාපනය කිරීමේ එම පිලිවෙත ම, බයිඩන් විසින් ද ලුහුබැඳ ඇත්තේ ඒ නිසා ය.

වසංගතයේ පැන නැගීම සමගින් ඉස්මතු වූ ආර්ථික අවපාතයට ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය වූයේ, කෙයාස් පනත වැනි ද්වි-පාක්ෂික පනත් හරහා බැංකු, හෙජ් අරමුදල් හා සංගතවලට ඩොලර් ට්‍රිලියන ගනන් පොම්ප කිරීම යි. ඩිමොක්‍රටිකයන් ට්‍රම්ප්ට දුන් සහයෝගයට වඩා අඩු රිපබ්ලිකානු සහයෝගයක් ලබමින් වුව ද බයිඩන් ලුහුබඳින්නේ ද සාරභූත වසයෙන් එම පිලිවෙත ම යි. වසංගතය ඇරඹීමට පෙරාතුවට වඩා අද රැකියාවන් සතු ව සිටින්නේ මිලියන හතකින් අඩු කම්කරුවන් ප්‍රමානයක් සහ මිලියන ගනනක් දෙනා වැටුප් කප්පාදුවලට, දුගී බවට, නිවාසවලින් ඉවත් කිරීමට හා බංකොලොත් වීමට මුහුන දුන්න ද ආර්ථික පෙරමුනේ සාර්ථකත්වය පිලිබඳ ව ඔහු උදම් අනයි.

ට්‍රම්ප්ගේ සිට බයිඩන් දක්වා සැලකිය යුතු මාරුවක් තිබෙන්නේ විදෙස් පිලිවෙතේ දී පමනක් වන අතර, එය ද උපාය පිලිබඳ ව මිස මූලෝපාය සම්බන්ධයෙන් නො වේ. එක්සත් ජනපදය නැටෝව සහ ජපානය, ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව සමග වන තථ්‍ය සන්ධානයක් වන “ක්වොඩ්” ප්‍රයෝජනයට ගැනීම ගැන බයිඩන් වඩා වැඩි අවධාරනයක් දී ඇත. රුසියාවට හා චීනයට එරෙහි ව එක්සත් ජනපදයේ බලය වඩා ඵලදායී ලෙස බලමුලුගැන්වීමට උත්සාහ කල මිලිටරි-ඔත්තු සේවා යාන්ත්‍රනයේ සැලකිය යුතු අංශ, ට්‍රම්ප්ට එරෙහි ව බයිඩන්ට පිටුබලය දුන් හ.

“ධනවාදය සජීවී යි, ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා” යි යන බයිඩන්ගේ ප්‍රකාශය සත්‍ය නම්, එය මෙම ප්‍රශ්නය පැන නංවයි: ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට වැඩෙන ෆැසිස්ට්වාදී තර්ජනයක් පවතින්නේ ඇයි?

බයිඩන් පදවියට පත් වී ගෙවුනු මාස හය තුල, ජනවාරි 6දා සිද්ධීන් පිලිබඳ කිසිදු බරපතල විමර්ශනයක් කෙරෙහි අනම්‍ය විරුද්ධත්වයක් රිපබ්ලිකන් පක්ෂය විසින් පවත්වාගෙන ගොස් ඇත. පලමු ව, ප්‍රහාරය විමර්ශනය කරන “ස්වාධීන” ද්වි-පාක්ෂික කමිටුවක් ද ඉන්පසු ව, ද්වි-පාක්ෂික කොංග්‍රස් විමර්ශනයක් ද සඳහා ඩිමොක්‍රටිකයන් කල බෙලහීන යෝජනා, එක්කෝ මුලුමනින් ම වලක්වනු ලැබ ඇත, නැතහොත් අවසානයකින් තොර ව ප්‍රමාද කරනු ලැබ ඇත.

ඒ අතර ම, මැතිවරනයේ ප්‍රතිඵලය පෙරලා දමා, ට්‍රම්ප් දිගට ම බලයේ රැඳී සිටීමට ඔහු හා කොංග්‍රසය තුල ඔහුගේ සගයන් ක්‍රියාවට දැමීමට උත්සාහ කල දේශපාලන කුමන්ත්‍රනයක දී, ඔවුන් ඉටුකල කේන්ද්‍රීය භූමිකාව පිලිබඳ සාක්ෂි අඛන්ඩ ව ඉස්මතු වෙමින් තිබේ. එහෙත්, ට්‍රම්ප් හා ඔහුගේ සගයන්ට විරුද්ධ ව නඩු අසා, වැරදිකරුවන් කොට සිරගත කරනවා තබා, ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමක් වත් කර නැත.

ඒ වෙනුවට, රිපබ්ලිකන් පක්ෂය තමන්ගේ පුද්ගලික අධිකාරයට යටත් විවෘත ෆැසිස්ට්වාදී ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමට උත්සාහ දරමින්, ට්‍රම්ප් මැතිවරනයට එරෙහි ඔහුගේ උද්ඝෝෂනය අලුත් කර ඇත. රිපබ්ලිකන් පක්ෂය තුල සිටින ඔහුගේ ආධාරකරුවෝ, ඡන්දය දීමේ අයිතිය මතට පෙර නුවූ විරූ හා දුර දිග යන ප්‍රහාර එල්ල කිරීම සඳහා, ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයන් තුල තමන්ට පවතින පාලනය යොදා ගනිමින් සිටිති.

පසුගිය සතියේ ෆිලඩෙල්ෆියාවේ දී කල කතාවක් තුල ඇමරිකානු ධනවාදයෙහි අර්බුදය පිලිබඳ යථාර්ථය බයිඩන් මත් පිලිගත්තේ ය. “සිවිල් යුද්ධයෙන් මෙපිට අපේ ප්‍රජාතන්ත්‍රවාදය එහි වඩාත් ම වැදගත් පරීක්ෂනයට මුහුන දෙමින් සිටිනවා” යි ඔහු එහි දී ප්‍රකාශ කලේ ය. එම ප්‍රහාරය කරගෙන යන්නේ රිපබ්ලිකානුවන් ම වුවත්, මෙම ප්‍රහාරයට විරුද්ධ ව “කොංග්‍රසය, ප්‍රාන්ත හා නගර සහ කෝරලවල සිටින මගේ රිපබ්ලිකන් මිත්‍රයන්ට” ආයාචනා කිරීම හැරෙන්නට, ඔහු වෙනත් ඉදිරි මාවතක් යෝජනා කලේ නැත.

ඩිමොක්‍රටික් පක්ෂය කෙරෙහි වන මායාවන්ට මුක්කුව දීමේ උත්සාහයක යෙදෙමින්, එහි “වාමාංශයේ” නියෝජිතවරු, බයිඩන්ගේ පිලිවෙත් අතිශයෝක්තිමය භාෂිතයන්ගෙන් පින්තාරු කරති. සමාජ වියදම් පිලිබඳ බයිඩන්ගේ “සංහිඳියා” පනත, “1930ගනන්වල පටන් වැඩ කරන පවුල් සඳහා ව්‍යවස්ථාදායකය විසින් ඉදිරිපත් කරන වඩාත් ම ප්‍රතිඵලදායක පනතට” සමාන වන බව, සෙනෙට් සභික බර්නී සෑන්ඩර්ස් පසුගිය සතියේ කියා සිටියේ ය. එසේ නැතහොත්, ඇමරිකානු ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීන් (ඩීඑස්ඒ) සමග අනුබද්ධ ව සිටින ජැකොබින් සඟරාවේ බාස්කර් සුන්කාරා වැන්නෝ, මෙතෙක් ලඟා කරගෙන ඇති දෙය ගැන බලාපොරොත්තු කඩවීම ප්‍රකාශ කලත්, “විශාල දේවල් ගැන සිතීමේ කැමැත්ත බයිඩන් විසින් පෙන්වා දී තිබෙනවා” යනුවෙන් ද කොංග්‍රසීය ඩිමොක්‍රටිකයන්ට අතිරේක පීඩනයක් ගෙන ආ යුතු යනුවෙන් ද අපේක්ෂා පල කරති.

පසුගිය සති අන්තයේ “කොමියුනිස්ට්වාදය අසාර්ථක, විශ්වීය වසයෙන් අසාර්ථක ක්‍රමයක්. සමාජවාදය ඉතා ප්‍රයෝජනවත් ආදේශකයක් ලෙස මම දකින්නේ නැහැ” යි ප්‍රකාශ කල බයිඩන්, ඔහුගේ පැත්තෙන්, මූල්‍ය කතිපයාධිකාරයේ අවශ්‍යතාවන්ට අභියෝග කරන කිසිදු පියවරක් ක්‍රියාවට දැමීමේ අභිප්‍රායයක් තමන්ට නැති බව පැහැදිලි කිරීමට හැකි සෑම අවස්ථාවක් ම යොදා ගනී.

සත්‍යය වන්නේ, අනන්‍යතා දේශපාලනය යොදා ගැනීම හරහා ඉහල මධ්‍යම පන්තියේ කොටස් තමන් පිටුපස ගාල් කරගන්නා බයිඩන් පරිපාලනය, වෝල් වීදිය හා මිලිටරිය මත පදනම් වන බව යි. තව ද ඇමරිකාව තුල වර්ධනය වන පුපුරනසුලු සමාජ කොන්දේසි කෙරෙහි හොඳින් ම දැනුවත් පරිපාලනය, සිය වැටුප් හා ප්‍රතිලාභ කප්පාදු කර තිබීමේ වරප්‍රසාදය සඳහා අවශ්‍ය ගෙවීම් කිරීම පිනිස කම්කරුවන් ඒත්තුගන්වා ගැනීම වෙනත් අයුරකින් ගත් විට අසීරු විය හැකි නිසා, වැඩපොලවල වෘත්තීය සමිති ස්ථාපනය කිරීම පහසු කරගැනීමට, ඇමේසන් සංගතයේ දී වෘත්තීය සමිති “සංවිධාන” උද්ඝෝෂනයකට හා ප්‍රෝ පනතට සහයෝගය දෙයි.

වර්ජිනියාවේ ඩබ්ලින්හි වොල්වෝ ට්‍රක් රථ සමාගමට එරෙහි ව මෝටර් කම්කරුවන් විසින් දියත් කරන ලද වර්ගයේ වැඩ වර්ජන වැනි අව්‍යාජ සංගත-විරෝධී අරගලවල කම්කරුවන් නිරත වන විට, “කම්කරු ගැති” යි උපකල්පිත ජනාධිපතිවරයා මුලුමනින් ම නිශ්ශබ්ද ව සිටීම කැපී පෙනේ. කම්කරුවන් වෙනුවට වෘත්තීය සමිති වෙනුවෙන් බයිඩන් පෙනී සිටින්නේ, කම්කරු පන්තියට එරෙහි ව පොලිස්කාර කමේ යෙදෙන, එක්සත් ජනපද පාලක පන්තියේ උපකරන ලෙස ඔහු ඒවා නිවැරදි ව දැක ගන්නා නිසා ය.

බයිඩන් පරිපාලනයේ මාස හයෙහි පාඩම් කම්කරුවන් විසින් උකහාගත යුතු ය. වසංගතයට දක්වන විනාශකාරී ප්‍රතිචාරයේ සිට, සමාජ අසමානතාවේ අසමාන්තර මට්ටම් සහ අධිරාජ්‍යවාදී යුද්ධයේ හා ෆැසිස්ට් ආඥාදායකත්වයේ අන්තරාය දක්වා වන කම්කරු පන්තිය මුහුන දෙන එකදු ගැටලුවකට වත්, සමාජයේ සෑම අංශයක් මත ම මූල්‍ය කතිපයාධිකාරය පවත්වාගෙන යන ග්‍රහනය බිඳීමෙන් ‌තොර ව ආමන්ත්‍රනය කරනු ලැබිය නො හැක.

මෙහි අර්ථය වන්නේ, ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් යන පක්ෂ දෙකෙන් ම බිඳී වෙන් වී, සමාජවාදී ක්‍රියා මාර්ගයක් මත පදනම් වන වැඩ කරන ජනයාගේ නව මහජන දේශපාලන පක්ෂයක් ගොඩනැගීම යි. වෝල් වීදියේ විධානයන් වෙනුවට මානව අවශ්‍යතා ඉටු කිරීම පිනිස සමාජය ප්‍රතිසංවිධානය කිරීමට උත්සාහ කරන සියලු දෙනා, අද දින සමාජවාදී සමානතා පක්ෂයට බැඳීමේ තීන්දුව ගත යුතු ය.

Loading