ඉදිරිදර්ශන

ඉන්දු-පැසිෆික් කලාපය තුල ජර්මනියේ බලය පෙන්වීම

ජර්මනියේ විශාලතම යුද නැවක් වන බයර්න් (බැවේරියා) නම් ආරක්ෂක නැව සඳුදා සිට ඉන්දු-පැසිෆික් කලාපය බලා ගමන් කරමින් සිටියි.

ජර්මානු බයර්න් ආරක්ෂක නැව

සම්පූර්න ගමන නාවික සැතපුම් 30,000 කට වඩා වැඩි වන මෙම මෙහෙයුම දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු ජර්මානු නාවික හමුදාව විසින් සිදු කරන ලද පෘථුලතම එකකි. ඊසානදිග අත්ලාන්තික් සාගරය තරනය කිරීමට පෙර බයර්න් උතුරු මුහුද සහ ඉංග්‍රීසි ඕඩය හරහා ගමන් කර ජිබ්‍රෝල්ටාර් සමුද්‍ර සන්ධිය හරහා මධ්‍යධරනී මුහුදට පිවිසියේ ය. එතැන් සිට එය සූවස් ඇල සහ රතු මුහුද ඔස්සේ ගොස්, ඉන්දියන් සාගරය හරහා සරත් සෘතුවේදී බටහිර පැසිෆික් කලාපයට ලඟා වීමට නියමිත ය.

සංචාරයේ වඩාත් ම දේශපාලනික හා මිලිටරිමය වශයෙන් පුපුරනසුලු කොටස වන්නේ ආපසු එන ගමන යි. එනම්, ආරක්ෂක නැව දකුනු චීන මුහුද සහ මලක්කා සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන අවස්ථාව යි. එහි ආර්ථික හා භූ මූලෝපායික වැදගත්කම හේතුවෙන් දෙවැන්න හැඳින්වෙන්නේ 'ඉන්දු-පැසිෆික් කලාපයේ මහාධමනිය' ලෙස ය.

චීනයට එරෙහි එක්සත් ජනපද මිලිටරි පෙලගැසීමෙහි හදවතේ දකුනු චීන මුහුද පිහිටා තිබේ. ජනාධිපති බයිඩන් යටතේ වොෂිංටනය, දකුනු චීන මුහුදේ චීනය හිමිකම් පා ඇති මුහුදු තීරයේ නැව් ගමනාගමනය සඳහා 'යාත්‍රා කිරීමේ නිදහස' තහවුරු කිරීමට සිය ප්‍රකෝපකාරී මෙහෙයුම් උත්සන්න කර ඇති අතර කලාපය තුල ජපානය, තායිවානය සහ පිලිපීනය ඇතුලු ජනාකීර්න දූපත් කිහිපයක වෙරල තීරයේ ප්‍රහාරක මිසයිල සවි කිරීමට සූදානම් වේ.

ඉන්දු-පැසිෆික් කලාපය තුලට ජර්මනියේ මැදිහත් වීම කලාපයේ යුද අවදානම වැඩි කරනවා පමනක් නොවේ. එය ජර්මානු මිලිටරිවාදයේ පුනරාගමනයෙහි නව අදියරක් ද අරඹයි.

මෙම මෙහෙයුමේ අරමුන වූයේ කලාපය තුල ජර්මානු අධිරාජ්‍යවාදයේ භූ මූලෝපායික හා ආර්ථික අවශ්‍යතා බලාත්මක කිරීම බව බයර්න් නැව විල්හෙල්ම්ස්හාෆන් නගරයෙන් පිටත් වූ මොහොතේ කල කතාව තුල, ආරක්ෂක ඇමතිනී ඇනග්‍රෙට් ක්‍රැම්ප්-කැරන්බවර් පැහැදිලිව ප්‍රකාශ කලා ය. 'කලාපයේ ප්‍රධාන වෙලෙන්දෙකු සහ අපනයනකරුවෙකු වශයෙන්, නිදහස් වෙලඳ මාර්ග ආරක්‍ෂා කිරීම කෙරෙහි අපට දැඩි උත්සුකයක් ඇතැ' යි ඇය ප්‍රකාශ කලා ය.

ඉන්දු-පැසිෆික් කලාපය තුල ජර්මනියෙහි නියුක්තිය “යම් දෙයකට හෝ කිසිවෙකුට එරෙහිව නොවන්නක්” බව ක්‍රැම්ප්-කැරන්බවර් අවධාරනය කල ද, ඇයගේ කතාව චීනයට සෘජු ප්‍රහාරයක් විය. 'පනිවිඩය පැහැදිලිය, අපේ අවශ්‍යතා සහ වටිනාකම් වෙනුවෙන් අපි අපේ කොඩිය ඔසවන්නෙමු,' ඇය පැවසුවා ය. මෙය 'වැදගත්' වන්නේ 'ඉන්දු-පැසිෆික් කලාපයේ සිටින අපේ හවුල්කරුවන්ට මුහුද සීමා කර ඇති බැවින් සහ මුහුදු මාර්ග තවදුරටත් ආරක්‍ෂිත නොවීම යථාර්ථයක්' වන බැවිනි. අත්දැකීම්වලින් පෙන්නුම් කෙරෙන්නේ 'ශක්තිමත් ම තැනැත්තාගේ නීතිය පදනම් කරගෙන භෞමික හිමිකම් පෑම් සිදු වෙමින් පවතින' බව යි.

ආරක්‍ෂක ඇමතිනිය බීජිනයට සෘජු ව ම තර්ජනය කරමින් අදහස් දක්වමින්, “අපි චීනය සමඟ අපට හැකි තැන දී සහයෝගයෙන් කටයුතු කරමු, අවශ්‍ය විට පෙරලා බලය යොදමු. මන්ද, ජාත්‍යන්තර නීතිය නොසලකා හැරීමට සහ තරඟයේ ඔවුන්ගේම නව රීති අපට සහ අපගේ හවුල්කරුවන්ට පැනවීමට උත්සාහ කරන ඕනෑම අයෙකුට අප තදින් ප්‍රතිරෝධය දක්වන බැවිනි.” විරුද්ධ දිශාවට හමන සුලං “දැඩි වෙමින් පැවතුනද, එයට එරෙහිව අපේ රුවල් සවි කරන්නේ කෙසේදැයි අපි දනිමු. අපේ ගමන් මඟෙන් අපව වෙනතකට හැරවීමට අපි ඉඩ නොදෙමු.”

ක්‍රැම්ප්-කැරන්බවර් මෙම “ගමන් මඟ” සමන්විත වන්නේ කුමකින්දැයි විවෘතව ප්‍රකාශ කලාය. මෙම මෙහෙයුම සමඟ “ජර්මානු ආන්ඩුව සිය ඉන්දු-පැසිෆික් මූලධර්මයෙහි සැලසුම් කර ඇති දෙය සොල්දාදුවෝ ප්‍රායෝගිකව හා දෘශ්‍යමාන ලෙස ක්‍රියාත්මක කරමින් සිටිති” යි ඇය පැවසුවාය.

2020 සැප්තැම්බර් මාසයේදී විදේශ අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද මූලෝපායික පත්‍රිකාව, ඉන්දු-පැසිෆික් කලාපය “21 වන සියවසේ ජාත්‍යන්තර පර්යාය හැඩ ගැස්වීමේ යතුර” ලෙස ප්‍රකාශයට පත් කලේය. ජර්මනිය මෙම කලාපය තුල නායකත්ව භූමිකාවකට හිමිකම් පෑම ද එහි පැහැදිලිව සූත්‍රගත විය. “හිමාලය සහ මලක්කා සමුද්‍ර සන්ධිය දිස් වන්නේ බොහෝ ඈතින් විය හැකි ය. නමුත් එලඹෙන දශක තුල අපේ සෞභාග්‍යය සහ භූදේශපාලනික බලපෑම රඳා පවතිනු ඇත්තේ අප ඉන්දු-පැසිෆික් කලාපයේ රාජ්‍යයන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන ආකාරය මත ය.” “ගෝලීය වශයෙන් ක්‍රියාකාරීව වෙලඳාමේ නියැලෙන ජාතියක්” ලෙස ජර්මනියට “නරඹන්නෙකුගේ භූමිකාවෙන් සෑහීමට පත් විය නොහැක.”

ක්‍රැම්ප්-කැරන්බවර් ඉදිරිපත් කල මහා බලවතාගේ කථාව කූටප්‍රාප්ත වූයේ, 'විල්හෙල්ම්ස්හාෆන් සිට මධ්‍යධරනී මුහුද හරහා ඉන්දියන් සාගරය, දකුනු චීන මුහුද සහ පැසිෆික් කලාපය දක්වා දිවෙන අයිපීඩී [ඉන්දු-පැසිෆික් යෙදවීම/IPD -Indo-Pacific Deployment] වනාහි ජර්මනිය වගකීම භාරගනිමින් සිටිනා ආකාරය පිලිබඳ උදාහරනයකි' යන ප්‍රකාශයෙනි. 'මෙහෙයුමේ වඩා මූලික අර්ථභාරය ඉදිරි මාස හතෙන් ඔබ්බට' දිවෙයි. එය පෙනී සිටින්නේ 'රීති-පාදක පර්යාය උදෙසා ජර්මනියේ සක්‍රීය මැදිහත් වීම සහ මුහුදේ මූලෝපායික වැදගත්කම ඉහල යාම' වෙනුවෙනි.

දකුනු චීන මුහුද තුල න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ චීනයට මුහුන දෙමින් නාවික හා ලෝක බලවතෙකු ලෙස යලි තහවුරු වීම පිලිබඳ බර්ලිනයේ උමතු මහා සැලැස්ම ස්ථානගත ව ඇත්තේ ජර්මානු අධිරාජ්‍යවාදයේ මිලිටරි සම්ප්‍රදායන් තුල ය.

1900 ජූලි 27 වැනි දින ජර්මනියේ දෙවන කයිසර් විල්හෙල්ම් ඔහුගේ කුප්‍රකට “හුන් කතාව” බ්‍රෙමර්හේවන් හි දී පැවැත්වී ය. චීනයේ බොක්සර් කැරැල්ල කෘෘර ලෙස මැඬපැවැත්වීම සඳහා බලමුලු ගැන්වූ ජර්මානු නැඟෙනහිර ආසියා බලකාය පිටත් වීමේ උත්සවයේ දී, ඔහු කියා සිටියේ 'තිස් වසරක විශ්වසනීය සාමකාමී පරිශ්‍රමය' තුළින් ජර්මානු හමුදාව මතු වූ බවයි.

'ජාතීන්ගේ නීතිය උල්ලංඝනය කිරීම' සහ 'නියෝජිතයාගේ පාරිශුද්ධභාවයට හා ලෝක ඉතිහාසයේ නොඇසූවිරූ අන්දමින් ආගන්තුක සත්කාරයේ ධර්මයන්ට සරදම් කිරීම …' සම්බන්ධයෙන් ජර්මනියේ රාජ්‍ය නායකයා චීනයට චෝදනා කලේ ය. දෙවන විල්හෙල්ම් ඉන් පසු ඔහුගේ කුප්‍රකට තර්ජනය සිදු කලේ ය: 'මීට වසර දහසකට පෙර හුන්වරු, සිය අටිලා රජුගේ පාලනය යටතේ අද පවා ඉතිහාසය හා පුරාවෘත්ත තුල බලවත් ලෙස තමන් පෙන්නුම් කරන නමක් දිනා ගත්හ, කිසි දිනෙක චීන ජාතිකයෙකු ජර්මානු ජාතිකයකු දෙස වපරැසින් බැලීමට තරම් එඩිතර විය නොහැකි වන අන්දමින් චීනය තුල ජර්මානු නාමය ඔබ විසින් තහවුරු කෙරෙනු ඇත”.

මේ ආක්‍රමනශීලීත්වය පලමු ලෝක යුද්ධයට පූර්විකාව විය. මුලින් ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස දියත් කරන ලද බොක්සර් කැරැල්ලට එරෙහි මැදිහත් වීම අධිරාජ්‍යවාදී බලවතුන් අතර ගැටුම් උත්සන්න කල අතර එය කූටප්‍රාප්ත වූයේ 1914 අගෝස්තු මාසයේදී, ඒ වන විට ලෝක ඉතිහාසයේ සිදු වූ විශාලතම මිනිස් ඝාතනයෙනි. ඊට පෙර වසර කිහිපය තුල ජර්මානු අධිරාජ්‍යය නාවික හමුදාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කල ඊනියා “නැව් සමූහ පිලිබඳ නීති” (flotilla laws) ද ඇතුලුව දැවැන්ත යලි සන්නද්ධ කිරීමේ වැඩසටහනක් දියත් කර තිබිනි.

පාලක පන්තිය යලිත් වරක් මේ අරමුන කරා වැඩ කරමින් සිටී. ෆෙඩරල් ආන්ඩුවේ වර්තමාන යුද උපකරන වාර්තාවට යුද නැව් කිහිපයක් මිලදී ගැනීම ද ඇතුලත් ය. 180 පන්තියේ බහුකාර්ය නැව් හතරක් තැනීම, තවත් දෙකක් මිලදී ගැනීමේ අවසරයක් සහ බේඩන්-වර්ටම්බර්ග් 125 පන්තියේ ආරක්ෂක නැවක්, 130 පන්තියේ කොර්වෙට් පහක් සහ 212 පන්තියේ පොදු සැලැස්ම සහිත සබ්මැරීන දෙකක් සේවයෙහි යෙදවීම මේ අතර වෙයි.

මෙම යලි සන්නද්ධ කිරීමේ පිරිවැය අතිවිශාල ය. බහුකාර්ය නැව් හතර මිලදී ගැනීම සඳහා පමනක් යුරෝ බිලියන 5.27 ක් වෙන් කර ඇත. මෙමඟින් එය දෙවන ලෝක යුද්ධය අතරතුර සිදු කෙරුනු දැවැන්ත යලි සන්නද්ධ කිරීමේ මෙහෙයුමෙන් මෙපිට නාවික හමුදාව සිදු කල විශාලතම ව්‍යාපෘතිය බවට පත් වෙයි. තවද මෙය ආරම්භය පමනි. 2019 මාර්තු මාසයේ දී ක්‍රැම්ප්-කැරන්බවර් සහ ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් ජර්මනිය සඳහා තමන්ගේ ම ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් තැනීමේ සැලැස්මකට පක්ෂව කතා කලහ.

2014 තරම් ඈතක දී, ජර්මානු මිලිටරිවාදය නැවත පැමිනීමට පාදක වූ වෛෂයික බලවේග විශ්ලේෂනය කල ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂය (සෝෂලිස්ටිස් ග්ලෙයිචයිට්ස්පාර්ටෙයි - එස්ජීපී) එහි ඇඟවුම් පිලිබඳ අනතුරු ඇඟවී ය. හිටපු විදේශ ඇමති සහ වත්මන් ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මෙයර් මියුනිච් ආරක්ෂක සමුලුවට, ජර්මනිය “ලෝක දේශපාලනය ගැන පැත්තකින් සිට අදහස් දැක්වීමට බැරි තරම් විශාල හා ආර්ථික වශයෙන් ශක්තිමත් රටක්” බව පවසා යන්තම් මාස කිහිපයකට පසු අපි මෙසේ ලිවීමු:

ඉතිහාසය ආපසු පැමිනෙන්නේ පලිගැනීමක් සමග ය. නාසීන්ගේ අපරාධවලින් හා දෙවන ලෝක යුද්ධයෙන් පරාජයෙන් වසර 70 කට පමන පසු, ජර්මානු පාලක පන්තිය නැවත වරක් කයිසර්ගේ අධිරාජ්‍යයේ සහ හිට්ලර්ගේ අධිරාජ්‍යවාදී මහා බල දේශපාලනය අනුගමනය කරමින් සිටියි ... පශ්චාත් යුද සමයේ ප්‍රචාරය—ජර්මනිය නාසීන්ගේ බිහිසුනු අපරාධවලින් ඉගෙන ගෙන, 'බටහිරට පැමින' සාමකාමී විදේශ ප්‍රතිපත්තියක් වැලඳගෙන, ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදයක් දක්වා දියුනු වී ඇති බව—බොරුවක් බවට හෙලිදරව් වී තිබේ. ජර්මානු අධිරාජ්‍යවාදය ‌යලිත් වරක් එය ඓතිහාසිකව ඉස්මතු වූ ස්වරූපයෙන් ම එහි සැබෑ පැහැය විදහා දක්වමින් රට තුල හා එතෙර ස්වකීය ආක්‍රමනකාරීත්වය පෙන්නුම් කරමින් සිටියි.

වසර හතකට පසු මෙම තක්සේරුව කෙතරම් නිවැරදි ද යන්න පැහැදිලි ය. ලෝක යුද්ධ දෙකක කිව නොහැකි තරමේ අපරාධ තිබිය දීත්, ජර්මානු පාලක ප්‍රභූව සිය අධිරාජ්‍යවාදී අවශ්‍යතා ලුහුබැඳ යාමේ දී 21 වන සියවස තුල ද සීමා නොදකිති. කොවිඩ්-19 වසංගතය අතරතුර ලාභයේ අල්තාරය මත මිනිසුන් දස දහස් ගනනක් බිලි දීමෙන් පසු එය දැන් සිය අධිරාජ්‍යවාදී සගයන් සමඟ එක් ව ප්‍රධාන පෙලේ මිලිටරි ගැටුම් සඳහා සූදානම් වෙමින් සිටී.

ව්‍යසනකාරී තුන්වන ලෝක යුද්ධයක තර්ජනය, ධනේශ්වර ලාභ පද්ධතිය තුල පවතින යුද්ධයේ හේතුව පරාජය කිරීම සහ ගෝලීය සමාජවාදී සමාජයක් ස්ථාපිත කිරීම අරමුනු කරගත් ජාත්‍යන්තර කම්කරු පන්තියේ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැඟීම අතිමහත් හදිසි අවශ්‍යතාවක් බවට පත් කරයි.

ජර්මානු යාත්‍රාව ඉන්දු-පැසිෆික් කලාපය වෙත යැවීම එස්ජීපී ය තරයේ හෙලා දකී. මිලිටරිවාදය, ෆැසිස්ට්වාදය සහ යුද්ධය කෙරෙහි කම්කරුවන් හා තරුනයන් අතර පුලුල්ව පැතිරී ඇති විරෝධය සමාජවාදී වැඩපිලිවෙලක් මඟින් සන්නද්ධ කිරීම සඳහා ෆෙඩරල් මැතිවරන ව්‍යාපාරය තුල දැන් අපි අපේ අරගලය වඩා බලවත් කරන්නෙමු. ජර්මානු යුද ධාවනයට සහාය දැක්වීමට ආන්ඩුවේ පක්ෂ ලෙස, වාම පක්ෂය සහ හරිතයන් සූදානම්ව සිටින අතර, අපි අපේ මැතිවරන ප්‍රකාශය මඟින් මෙලෙස කැඳවුම් කරන්නෙමු: “සියලු විදේශ මැදිහත්වීම් වහා නවත්වනු! නේටෝව සහ ජර්මානු හමුදාව විසුරුවා හරිනු! යලි සන්නද්ධ කිරීමට සහ යුද්ධයට වෙනුවට අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා සඳහා බිලියන ගනනින් වෙන් කරනු.”

Loading