ඉදිරිදර්ශන

පාලන තන්ත්‍රය බිඳවැටෙද්දී එක්සත් ජනපද හමුදා නැවත ඇෆ්ගනිස්ථානයට පැමිනෙයි

මෙය US troops return to Afghanistan as regime disintegrates යන මැයෙන් 2021 අගෝස්තු 13 වනදා පලවූ ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනයයි.

ඇෆ්ගනිස්ථානයේ කැරැල්ලේ දී ඇද වැටුනු සමස්ත පාලත්බද නගර ගනන 18 දක්වා ගෙන එමින් තවත් පලාත් අගනගර හයක් තලේබාන් සංවිධානය විසින් යටත් කරගැනෙද්දී ඇෆ්ගනිස්ථානයට යලි පැමිනෙන ලෙස බයිඩන් පරිපාලනයෙන් නියෝග ලද එක්සත් ජනපද සොල්දාදුවන් සහ නාවික භටයින් 3,000 ගෙන් මුල් ම පිරිස් සිකුරාදා කාබුල් ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිනීම ආරම්භ විය.

ඇෆ්ගන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් 2021 ජූලි 5 වන සඳුදා ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරයට උතුරින් පිහිටි පර්වාන් ප්‍රාන්තයෙන් ඇමරිකානු හමුදාව පිටත් වීමෙන් පසු පෘථුල බග්‍රාම් ගුවන් යානා කඳවුර තුල ඇවිද යයි [අනුග්‍රහය: ඒපී ඡායාරූප / රහමට් ගුල්]

ඇෆ්ගනිස්ථානය තුල වේගයෙන් යෙදවීමේ ඉඩ ඇති පරිදි තවත් එක්සත් ජනපද භටයින් 4,000 ක් කුවේටයට යවා ඇත. මේ අතර, බ්‍රිතාන්‍යය තමන්ගේ සොල්දාදුවන් 600 ක් පිටත් කර යවමින් සිටී.

ඇෆ්ගනිස්ථානයෙන් එක්සත් ජනපද සහ බ්‍රිතාන්‍ය කාර්ය මන්ඩල ඉවත් කිරීම මෙම මෙහෙයුම්වල ප්‍රකාශිත අරමුන වන අතර පෙන්ටගනය එය “සිවිල් වැසියන් ඉවත් කිරීමේ මෙහෙයුම” නොහොත් එන්ඕඊ ලෙස වර්ගීකරනය කර ඇත. යුද්ධයෙන් විනාශ වූ රට තුල ඔවුන් කොපමන කාලයක් සේවයේ යොදවනු ඇත්ද යන්න හෙලිදරව් කර නොමැත. කෙසේ වෙතත්, ඔවුන්ගේ මෙහෙවර නිසැකවම, අවම වශයෙන් තාවකාලිකව වත්, තලේබාන් සංවිධානය කාබුල් අල්ලා ගැනීම වැලැක්වීමේ දැඩි උත්සාහයක කොටසකි.

සත්තකින් ම, ඇතැයි සැලකෙන තර්ජනයන්ගෙන් එක්සත් ජනපද කාර්ය මන්ඩල බේරා ගැනීම 1980 ගනන්වල ග්‍රෙනඩාවේ සහ පැනමාවේ සිදු වූවාක් මෙන්, යුද්ධ ආරම්භ කිරීම සහ පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුම් සඳහා කඩතුරාවක් වශයෙන් මීට පෙර ද ක්‍රියාත්මක කර ඇත. මෙම යෙදවීම සිදු වන්නේ බී -52 උපායමාර්ගික බෝම්බ හෙලන යානා, ඩ්‍රෝන් යානා, ඒසී -130 අවි සහිත යානා සහ ගුවන් යානා ප්‍රවාහන නෞකා පදනම් කරගෙන ක්‍රියාත්මක වන ප්‍රහාරක ජෙට් යානා ආදිය යොදාගනිමින් සටන්කාමීන්ට සහ සිවිල් වැසියන්ට දැඩි හානි සිදු කරමින් එක්සත් ජනපදය තලේබාන් සංවිධානයට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කිරීමේ ම දිගුවක් ලෙස ය.

මේ අතර, එක්සත් ජනපද නිලධාරීන් තලේබාන් සංවිධානයට නැවත නැවතත් අනතුරු අඟවමින් කියා සිටින්නේ 'බලහත්කාරයෙන් පනවන ඕනෑම ආන්ඩුවක් නින්දිත රාජ්‍යයක් වනු ඇති' බවයි. මොන තරම් කුහක කමක්ද! හරියට කාබුල්හි රූකඩ තන්ත්‍රය විනාශකාරී එක්සත් ජනපද මිලිටරි බලය විසින් පැනවූවක් නොවන්නාක් මෙනි.

එක්සත් ජනපද මිලිටරිය සහ බුද්ධි අංශ විසින් කුමන උපක්‍රමයක් යෝජනා කරනු ලැබුවද, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට ඇෆ්ගනිස්ථානය නැවත අත්පත් කර ගැනීම සඳහා භටයින් කිහිප දහසකට වඩා අවශ්‍ය වනු ඇති අතර, එය පසුගිය වසර 20 තුල සිදු වූ සමූහ ඝාතනය වලින් සිදු වූ ලේ වැගිරීම් ඉක්මවා යනු ඇත.

වොෂිංටනය මුහුන ලා ඇත්තේ, වියට්නාමයේ සිටි අවසාන ඇමරිකානුවන් ද එක්සත් ජනපද තානාපති කාර්යාල වහල මතින් හෙලිකොප්ටර්වලට නැඟගත්, 1975 සයිගොන් ඇදවැටීමෙන් පසු සිදු නොවූ පරිමානයේ විශාල ඓතිහාසික පරාජයකට ය. කාබුල්හි පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ලැබෙන වාර්තා වලින් පෙනී යන්නේ එහි සිටින කාර්ය මන්ඩලය ලිපි ලේඛන ඉරා දමමින් පරිගනක විනාශ කරමින් සිටින බවයි.

වියට්නාමය සමඟ සංසන්දනය කිරීම වැඩි වැඩියෙන් එක්සත් ජනපද පාලක සංස්ථාපිතය තුල සිදු වෙමින් පවතී. එක්සත් ජනපද සෙනෙට් සභාවේ රිපබ්ලිකන් පක්ෂ නායක මිච් මැක්කොනෙල් බ්‍රහස්පතින්දා ප්‍රකාශ කලේ, “1975 දී සයිගොන්හි නින්දිත පරාජයටත් වඩා නරක දසාවක් කරා බයිඩන්ගේ තීරන අපව රැගෙන යන” බව යි.

එක්සත් ජනපදයේ අලුත් මැදිහත් වීම පිලිබඳ මාධ්‍ය තුල වැඩි වැඩියෙන් අනතුරු ඇඟවීම් දක්නට ලැබේ. වොෂිංටන් පෝස්ට් හි සිකුරාදා කතුවැකියෙහි සඳහන් වූයේ “බයිඩන්ගේ අපරීක්ෂාකාරී ඉවත් වීම මෙන් ම ඇෆ්ගනිස්ථානයේ ආන්ඩුවට වඩාත් අර්ථවත් ආධාර ලබා දීම ප්‍රතික්ෂේප කිරීම ව්‍යසනයක අවදානම දනවන” බවයි.

සෑම තැනක ම එක්සත් ජනපද අධිරාජ්‍යවාදී යුද්ධයේ අන්ධභක්තිකයෙකු වූ පෝස්ට් හි මැක්ස් බූට් විසින් ලියන ලද තීරු ලිපියක් “ඊටත් වඩා විශාල ව්‍යසනයක් වලක්වා ගත හැකි එකම දෙය වන්නේ සිය නරක තීරනය ගැන නැවත සිතා බැලීමට හා එක්සත් ජනපද ගුවන් යානා සහ උපදේශකයින් නැවත ඇෆ්ගනිස්ථානයට යවා කාබුල් වැටීමට පෙර රජයේ හමුදාව ශක්තිමත් කිරීමට බයිඩන්ට පවතින සූදානමකි' යි අවධාරනය කලේ ය.

මේ අතර ෆොරින් පොලිසි හි පල වූ ලිපියක සඳහන් වූයේ 'ඇෆ්ගනිස්ථානයෙන් එක්සත් ජනපදය ඉවත් වීම අඛන්ඩව සිදු කල යුතු ය. එහෙත් නව මිලිටරි මැදිහත් වීමක් ආරම්භ විය යුතු ය.” යනුවෙනි. එය තර්ක කරන පරිදි මෙය ඉටු කරගත හැක්කේ, වොෂිංටනය විසින් 'මිලිටරි ක්‍රියාකාරිත්වයේ අරමුන පිලිබඳ සිය ආඛ්‍යානය සරලව වෙනස් කිරීමෙනි', එනම් කැරලි මර්දනයේ සිට සිවිල් වැසියන් ආරක්‍ෂා කිරීම සඳහා වූ 'මානුෂීය' මැදිහත් වීමක් බවට මාරු කිරීමෙනි.

කාන්තාවන් අතිමහත් බහුතරයක් තමන්ගේ සහ තම දරුවන්ගේ පැවැත්මට ප්‍රමානවත් තරම් ආහාර වේලක් සොයා ගැනීමට දිනපතා අරගල කරන රටක් වන ඇෆ්ගනිස්ථානයේ පැනනැඟී ඇති ප්‍රධාන ප්‍රශ්නය කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිලිබඳ ගැටලුව ලෙස ඉදිරිපත් කිරීමට දක්ෂිනාංශික රිපබ්ලිකානුවන්, යුද්ධයට පක්ෂ ඩිමොක්‍රටිකයින් සහ සංගත මාධ්‍ය යන සියල්ලන් එකතු වී ඇත.

තවත් මිලිටරි “නැගිටීමක්” සඳහා වූ නිර්දේශයන්ට සහ වොෂිංටනය තුල, “ඇෆ්ගනිස්ථානය අහිමි කර ගත්තේ කවුද” (who lost Afghanistan) ව්‍යාපාරය දියත් කිරීමේ නරුම උත්සාහයන්ට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ලැබූ නින්දිත පරාජයේ ප්‍රමානය සැඟවිය නොහැකි ය.

සංවිධානය කිරීම, පුහුනු කිරීම හා සන්නද්ධ කිරීම සඳහා පෙන්ටගනය වසර 20 ක කාලයක් සහ ඩොලර් බිලියන 90 කට ආසන්න මුදලක් වියදම් කල, එක්සත් ජනපදය අගෝස්තු 31 දා වන විට නිල වශයෙන් ඉවත් වීමෙන් පසු දශක ගනනාවක් පැරනි කැරැලි මර්දන යුද්ධය නොනවත්වා කරගෙන යාමට නියමිත ව සිටි ඇෆ්ගන් තන්ත්‍රයේ ආරක්ෂක බලකායන්ගේ සම්පූර්න බිඳවැටීම පසුගිය සති කිහිපය තුල දැක ගත හැකි විය.

ඇෆ්ගන් හමුදාවන් එක්කෝ යටත් වීම, සිය නිල ඇඳුම් ගැලවීම සහ සිවිල් ජනගහනය තුලට දියවී යාම හෝ සමහර අවස්ථාවලදී කැරැල්ලට සම්බන්ධ වීම සමඟින් ආරක්‍ෂක බලකායන් සටනක් නොමැතිවම නගර එකින් එක අතහැර තිබේ.

එක්සත් ජනපද නිලධාරීන් මෙම ගැටලුව ඉදිරිපත් කර තිබෙන්නේ ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශවල සහ ඔවුන්ගේ නායකයින්ගේ “අධිෂ්ඨානය” නැතිකම ලෙස ය. “ඔවුන්, තමන් වෙනුවෙන් සහ තම ජාතිය වෙනුවෙන් සටන් කල යුතුයි” යනුවෙන් බයිඩන් මේ සතියේ මුල දී ප්‍රකාශ කලේය.

ඇති පදම් පැහැදිලි වී ඇති කරුන නම්, දේශපාලනඥයින් සහ ඔවුන්ගේ අන දෙන නිලධාරීන් ඔවුන්ගේ වැටුප් හා සැපයුම් සොරකම් කරද්දී, වැටුප් නොගෙවන ලද, ආහාර නොලද හා සැපයුම් නොලද සොල්දාදුවන් සහ පොලිස් භටයින් ඇතුලු ඇෆ්ගනිස්ථාන ජනතාව එක්සත් ජනපද වාඩිලාගැනීම මඟින් පවරා දෙන ලද ඇෆ්ගනිස්ථානය “තම ජාතිය” නොවන බවට නිගමනය කර ඇති බවයි.

වසර විස්සක වාඩිලා ගැනීම සහ ඩොලර් ට්‍රිලියනයකට අධික වියදම හේතුවෙන් ඇෆ්ගනිස්ථානය අන්ත දුප්පත්කමින්, නොදියුනු බවින් සහ ආන්තික සමාජ අසමානතාවෙන් දැඩි ලෙස පීඩාවට පත් වී ඇත. අවම වශයෙන් ජනගහනයෙන් සියයට 70 ක් දිනකට ඩොලරයක් හෝ ඊට අඩු ආදායමකින් ජීවත් වන අතර රජයට සම්බන්ධ පවුල් සිය ගනනක් වංචා කල ආධාර මුදල්වලින් සහ ලාභදායී මිලිටරි කොන්ත්‍රාත්වලින් අතිමහත් ලෙස පොහොසත් වී ඇත. ජනගහනයෙන් හතරෙන් තුනක් පමන ගම්බද, යැපුම් කෘෂිකර්මාන්තයෙන් යන්තම් දිවි රැකගන්නා අය යි. එක්සත් ජනපද වාඩිලාගැනීමේ අපරාධ සහ කාබුල් හි කෝටිපතියන් හා එක්සත් ජනපද රූකඩයන් කෙරෙහි මෙම දිලිඳු ජනතාව අතර වෛරය තලෙයිබාන්වරුන්ට, එක්සත් ජනපද හමුදාව විසින් කොපමන මරා දැමුනත්, තරුනයින් බඳවා ගැනීමේ නිමක් නැති උල්පතක් ලබා දුන්නේය.

කාබුල් පාලනය මෙහෙයවනු ලබන්නේ සාක්කු වල විදේශ ගමන් බලපත්‍ර එකකට වඩා ඇති දූෂිත පිටුවහල් කල දේශපාලනඥයින් විසිනි. ඔවුන්ගෙන් සමහරෙකුට රටේ ප්‍රධාන භාෂාවන් වන පැෂ්ටෝ හෝ දාරි කථා කිරීමට පවා නොහැකිය. ජනාධිපති අෂ්රෆ් ඝානි සහ ඔහුගේ සගයන්, ජනගහනයෙන් සුලු කොටසක් සහභාගී වූ වංචනික මැතිවරනවලට සහ වොෂිංටනයේ පිටුබලයට පින්සිදු වන්නට සිය තනතුරුවලට රැඳී සිටිති.

කලින් වියට්නාමය මෙන් ඇෆ්ගනිස්ථානය ද සනාථ කර ඇත්තේ අඩු තරමින් මිලියන කාලක් වත් ගොදුරු වූ යුද්ධයක් තුල එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ජයග්‍රහනය කරා යන මාවත පාදාගැනීමට අසමත් බව යි. 2001 සැප්තැම්බර් 11 දින නිව් යෝර්ක් නගරයට සහ වොෂිංටනයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක” ව්‍යාජයෙන් දියත් කරන ලද එක්සත් ජනපද මැදිහත් වීම මාස කිහිපයක් ඇතුලත, 1980 ගනන්වල සීඅයිඒ ආධාරයෙන් නිර්මානය කරන ලද ෆ්රැන්කන්ස්ටයින් අපරූපියකු වූ අල් කයිඩා සංවිධානයට එරෙහි දඩයමක සිට ජනතාවට එරෙහි යුද්ධයක් දක්වා මාරු විය. එක්සත් ජනපද වාඩිලෑමට තර්ජනයක් ලෙස සැලකෙන ඕනෑම කෙනෙකු “ත්‍රස්තවාදියෙකු” ලෙස සලකා, සිරගත කොට, වදහිංසා පමුනුවා, මරා දැමුනි.

ඇෆ්ගනිස්ථානය තුල සිදු වූ අන්ත පරාජය, වොෂිංටනයේ දිග ම යුද්ධයේ පමනක් නොව, දසක තුනක් තිස්සේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් අනුගමනය කරන ලද සමස්ත ගෝලීය ප්‍රතිපත්තියේ ම අසාර්ථක බව පෙන්නුම් කරයි.

1991 දී මොස්කව් ස්ටැලින්වාදී නිලධරය විසින් සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු, ලෝකයේ මූලෝපායික වැදගත්කමින් යුතු කලාප මත සිය ආධිපත්‍යය තහවුරු කර ගැනීම සඳහා වොෂිංටනයට සිය අතිමහත් මිලිටරි බලය භාවිත කිරීමට කිසිදු බාධාවක් නොමැති බව එක්සත් ජනපද පාලක ප්‍රභූව නිගමනය කලේ ය: පලමුව, යුරේසියානු මහාද්වීපය කේන්ද්‍රයෙහි සහ කැස්පියන් ද්‍රෝනියේ දොරකඩ, දැවැන්ත බලශක්ති සංචිත සහිත ඇෆ්ගනිස්ථානය යි, ඉන් පසු, ලෝකයේ පස් වැනි විශාලතම තෙල් සංචිත සහිත ඉරාකය යි.

මීට යටින් පැවති සංකල්පය වූයේ පූර්භංග යුද්ධයේ සහ නිර්බාධී මිලිටරිවාදයේ පිලිවෙතක් තුලින් ඇමරිකානු ධනවාදයට සිය ගෝලීය ආර්ථික ආධිපත්‍යයෙහි දිගු කාලීන පහත වැටීම ආපසු හැරවිය හැකි බව යි. ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ දී එය ලද ආරම්භක මිලිටරි ජයග්‍රහන සපුරාම නිරර්ථක බව ඔප්පු කර ඇත. ඩොලර් ට්‍රිලියන ගනනක් වැය කිරීමෙන්, එක්සත් ජනපද භටයින් 7,000 කට වැඩි පිරිසකගේ ජීවිත බිලි දීමෙන් හා මිලියනයකට වැඩි ඇෆ්ගන් හා ඉරාක ජාතිකයින් ඝාතනය කිරීම තුලින් වොෂිංටනයට ඉන් එක රටක් තුල හෝ තම අවශ්‍යතා සපුරාලිය හැකි පාලනයක් පැනවීමට නොහැකි විය.

1989 දී රතු හමුදා සෙබලුන් 15,000 කගේ ජීවිත බිලිගත් දසකයක යුද්ධයෙන් පසු සෝවියට් හමුදාව ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වූ විට වොෂිංටනය එය ජයග්‍රහනයක් ලෙස සැලකූ අතර පසුව එය සෝවියට් සංගමයේ බිඳවැටීමට දායක වූ දෙයක් හැටියට සමරනු ලැබීය.

ජනාධිපති ජිමී කාටර්ගේ උමතු කොමියුනිස්ට් විරෝධී ජාතික ආරක්‍ෂක උපදේශක සිබිග්නියෙව් බ්‍රෙසින්ස්කි, “ඔවුන්ගේ ම වියට්නාමය” ලෙස ඔහු හැඳින්වූ තත්වයට මොස්කව් පත් කිරීම සඳහා කාබුල්හි සෝවියට් අනුග්‍රහය ලත් පාලන තන්ත්‍රයට එරෙහිව ඉස්ලාමීය කැරැල්ලක් ඇති කිරීමේ පිලිවෙත 1978 දී ආරම්භ කර තිබින.

1998 දී ඇෆ්ගනිස්ථානයේ සිවිල් යුද්ධයකින් මිලියන 2 ක පමන ජනතාවකගේ ජීවිත බිලිගත් පසු, බ්‍රෙසින්ස්කි සම්මුඛ සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ තමන්ට පසුතැවීමක් නැති බවයි: “ලෝක ඉතිහාසයට වඩාත් වැදගත් වන්නේ කුමක්ද? තලේබානය ද නැතිනම් සෝවියට් අධිරාජ්‍යය බිඳවැටීම ද? සමහර කැලඹුනු මුස්ලිමුන් ද නැත්නම් මධ්‍යම යුරෝපයේ විමුක්තිය හා සීතල යුද්ධයේ අවසානය ද?”

වොෂිංටනය “අධිරාජ්‍යයන්ගේ සොහොන් බිම” ලෙස හැඳින්වෙන ඇෆ්ගනිස්ථානය තුල රතු හමුදාව ලැබූ පරාජය සෝවියට් සංගමයේ අභාවයට දායක වූවක් ලෙස සැමරී ය. කෙසේ වෙතත්, එම රට තුල ම එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ලැබූ අන්ත පරාජය ඊට සමාන දෘෂ්ටි කෝනයකින් විශ්ලේෂනය කිරීමට එක්සත් ජනපද මාධ්‍ය කිසිදු උත්සාහයක් ගෙන නොමැත.

එය හුදෙක් කාබුල්හි පමනක් නොව, වොෂිංටනයේ ද පාලන තන්ත්‍රයේ බංකොලොත්භාවය හෙලි කර තිබේ. ඇෆ්ගනිස්ථානය ආක්‍රමනය කර දශක දෙකකට පසු, එක්සත් ජනපද සමාජය සංලක්ෂිත වන්නේ සමාජ අසමානතාවේ අතිවිශාල මට්ටම්, ජනවාරී 6 කුමන්ත්‍රන උත්සාහයේ දී ප්‍රචන්ඩකාරී ප්‍රකාශනයක් අත් කරගත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන රූපවල දුරදිග ගිය පිරිහීම සහ ඇමරිකානුවන් 600,000 කට වැඩි සංඛ්‍යාවක් ඝාතනය කල කොවිඩ්-19 වසංගතයට ප්‍රතිචාරය වූ එක්සත් ජනපද පාලක ප්‍රභූවේ මිනීමරු පිලිවෙත මගිනි. දසක ගනනාවක අඛන්ඩ යුද්ධය සහ “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” මුවාවෙන් පනවා ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවර, පොලිස් රාජ්‍ය ඒකාධිපති පාලනයක් සඳහා ආධාරකය නිර්මානය කර තිබේ.

යුද්ධයෙන් අධිරාජ්‍යවාදී බලයක් පරාජය වීම සමාජ විප්ලවයට දොරටු විවර කරන බව ඉතිහාසය පෙන්වා දී ඇත. ඇෆ්ගනිස්ථානයේ සිදුවීම්වලට එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රතිචාරය වනු ඇත්තේ න්‍යෂ්ටික අවි සහිත චීනයට සහ රුසියාවට එරෙහි සූදානම ඇතුලු වඩාත් භයානක යුද්ධ සඳහා එහි සූදානම තීව්‍ර කිරීමකි. ඇෆ්ගන් පරාජය සහ එමඟින් ඩිමොක්‍රටික සහ රිපබ්ලිකානු දෙපාර්ශ්වයේ ම ප්‍රතිපත්ති අපකීර්තියට පත් වීම ඇමරිකානු කම්කරු පන්තියේ වැඩෙන ව්‍යාපාරය ශක්තිමත් කරන්නකි.

තීරනාත්මක ප්‍රශ්නය නම් යුද්ධයට සහ එහි මූලය වන ධනේශ්වර ක්‍රමයට එරෙහි විප්ලවවාදී අරගලයක දී එක්සත් ජනපදය තුල සහ ජාත්‍යන්තරව කම්කරු පන්තිය බලමුලු ගැන්විය හැකි නව විප්ලවවාදී නායකත්වයක් ගොඩ නැඟීම යි.

Loading