ඉදිරිදර්ශන

වසංගතය නැවැත්විය හැකි එකම ක්‍රමය නම් කොවිඩ්-19 මුලිනුපුටා දැමීමයි

[මෙය The eradication of COVID-19 is the only way to stop the pandemic යන මැයෙන් 2021 අගෝස්තු 21 වනදා පලවූ ඉදිරිදර්ශන ලිපියයි.]

සායනික පරීක්ෂනාගාර විද්‍යාඥ සෙලම් බිහෝන් 2021 පෙබරවාරි 3 වන බදාදා, කැලිෆෝනියාවේ පැලෝ ඇල්ටෝ හි, ස්ටැන්ෆර්ඩ් සායනික වෛරස අධ්‍යයන විද්‍යාගාරයේ දී, කොවිඩ්-19 ඇති බවට සැක කෙරෙන රෝගීන්ගේ ඉහල ශ්වසන පද්ධති සාම්පල සකසමින්. (ඒපී ඡායාරූපය / නෝවා බර්ගර්)

ලොව පුරා ම කොවිඩ්-19 ආසාදන, රෝහල්ගත කිරීම් සහ මරන නැවත ඉහල යමින් පවතී. බ්‍රහස්පතින්දා නිල වශයෙන් කොවිඩ්-19 ආසාදන 155,000 කට වැඩි සංඛ්‍යාවක් සහ මරන 967 ක් වාර්තා කරමින් එක්සත් ජනපදය යලිත් වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබේ. සාර්ස්-කොවිඩ්-2 නව ප්‍රභේදයන්ගෙන් එල්ල වන අවදානම මනාව පෙන්නුම් කරමින්, පූර්න එන්නත් ලබා ගත් පුද්ගලයින් අතර රෝගය පැතිරෙන අවස්ථා ගනන දිනෙන් දින ඉහල යයි.

වයස්ගත පුද්ගලයින්ගේ රෝගයක් ලෙස සාවද්‍ය ලෙස අවතක්සේරු කර ඇති මෙම වෛරසය එන්න එන්නම එන්නත ලබා නොගත් ලමුන් හා යෞවනයන් වඩ වඩාත් ආසාදනය කරමින් තිබේ. අගෝස්තු මස දෙවන සතියේදී, ලමුන් 121,000 කට වැඩි සංඛ්‍යාවක් වෛරසය ආසාදිත බව සොයාගත් අතර එක්සත් ජනපදයේ පමනක් වාර්තාගත 1,900 කට වැඩි සංඛ්‍යාවක් රෝහල් ගත කර ඇත; පාසල් සම්පූර්නයෙන් නැවත විවෘත කිරීම මධ්‍යයේ ඉදිරි සති කිහිපය තුල මෙම සංඛ්‍යා වේගයෙන් ඉහල යනු ඇත.

මෙම තීරනාත්මක අවස්ථාවේ දී වසංගතය සමඟ ගනුදෙනු කල යුත්තේ කෙසේද?

මෙම ගෝලීය අරගලයේ සටන් මායිම් පැහැදිලිව ඇඳී ඇත. වෛරසය සම්බන්ධයෙන් ගතයුතු වූ මූලික මූලෝපාය තුනක් මතු වී තිබේ: 1) “රංචු ප්‍රතිශක්තිය”; 2) අවම කිරීම; සහ 3) මුලිනුපුටා දැමීම. ඉතා වේගයෙන් බෝවන ඩෙල්ටා ප්‍රභේදයේ ගෝලීය ව්‍යාප්තිය සහ ලමුන් කෙරෙහි ඇති සුපැහැදිලි අවදානම් නොතකා ලොව පුරා පාසල් නැවත විවෘත කිරීමේ උත්සාහය මෙම ආස්ථාන තුන අතර ප්‍රතිවිරෝධතා තියුනු කර ඇති අතර විද්‍යාත්මක පදනමකින් යුතු සහ ඵලදායි වන එක ම මූලෝපාය වන්නේ ගෝලීය වශයෙන් මුලිනුපුටා දැමීම පමනක් බව පැහැදිලි කොට තිබේ.

රංචු ප්‍රතිශක්තිය

“රංචු ප්‍රතිශක්තිය”—ජනගහනයේ තරුන හා ශක්තිසම්පන්න කොටස් අතර වෛරසය වේගයෙන් ව්‍යාප්ත වීම මඟින්, වඩාත් අවදානමට ලක් විය හැකි පුද්ගලයින් වටා මිනිස් පලිහක් නිර්මානය කෙරෙන්නේ ය කියන ව්‍යාජ කියමන—යනු වෛරසයට එරෙහිව සටන් කිරීම හෝ ජීවිත බේරා ගැනීම සඳහා වූ මූලෝපායක් නොවේ. ඒ වෙනුවට එය මනුෂ්‍ය ජීවිතවල පිරිවැය කුමක් වුවත් පාලක පැලැන්තියේ මූල්‍ය, ව්‍යාපාර සහ භූදේශපාලනික අවශ්‍යතා ආරක්ෂා කිරීම අරමුනු කරගත් කුරිරු ප්‍රතිපත්තියකි. අගුලු දැමීම, පාසල් වසා දැමීම පමනක් නොව, මුහුනු ආවරන පැලඳීම ද ඇතුලුව මෙම අවශ්‍යතාවන්ට බාධා පමුනුවන ඕනෑම කොවිඩ් විරෝධී පියවරකට එය විරුද්ධ වේ. එය එන්නත්කරනයට විරෝධය පෑම දිරිමත් කරන තරමට පවා විද්‍යාව කෙරෙහි අවිශ්වාසය සහ වෛරය ප්‍රවර්ධනය කරයි.

“රංචු ප්‍රතිශක්තිය” ආරම්භ වූයේ ස්වීඩනය සිදු වූ තුල සාහසික අත්හදා බැලීමක් ලෙස යි. එරට 2020 මාර්තු මස අගුලු දැමීම් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කරමින් මරන අනුපාතය අසල්වැසි ෆින්ලන්තයට වඩා 10 ගුනයකින් වැඩි කරගත්තේ ය. ස්වීඩනයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ ඇන්ඩර්ස් ටෙග්නෙල් 2020 මාර්තු 13 වන දින තම ෆින්ලන්ත සමානයාට මෙසේ ලිවීය, “පාසල් විවෘතව තැබීම වෙනුවෙන් එක් කරුනක් කිව හැකිය, එය රංචු ප්‍රතිශක්තිය වඩා ඉක්මනින් ලඟා කරයි.”

2020 මාර්තු 23 දා ස්වීඩනයේ ප්‍රවේශය අගය කල හා 'මෙම ප්‍රතිකාරය [අගුලු දැමීම්]—කෙටි කාලයකට වුවත්—රෝගයට වඩා නරක ද?' යි ලියූ “ලිබරල්” නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ තෝමස් ෆ්‍රීඩ්මන් මෙම මූලෝපායට දෘෂ්ටිවාදාත්මක සාධාරනීකරනය සම්පාදනය කලේ ය.

මෙම වැකිය—'රෝගයට වඩා ප්‍රතිකාරය නරක් විය නොහැක'—වහා ම එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප්, එක්සත් රාජධානියේ බොරිස් ජොන්සන්, බ්‍රසීලයේ ජයර් බොල්සනාරෝ, ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි සහ වෙනත් ෆැසිස්ට්වාදී චරිත විසින් ඩැහැගන්නා ලදී. සාමූහිකව ගත් කල, ලොව පුරා මිලියන 10 කට අධික සංඛ්‍යාවක් ලෙස ඇස්තමේන්තු කර ඇති මරනවලින් අතිමහත් බහුතරයට රංචු ප්‍රතිශක්තිය අනුගමනය කල රටවල් වඩාත් ආක්‍රමනකාරී ලෙස ලෙස දායක වී තිබේ.

රංචු ප්‍රතිශක්ති ප්‍රතිපත්තිය, වැරදි තොරතුරු ප්‍රචාරනයන් භාවිතා කරන අතර එමඟින් ජනගහනය තුල ව්‍යාකූලත්වය සහ කුමන්ත්‍රන න්‍යායන් ව්‍යාප්ත කරමින් අතිශය පසුගාමී හා ෆැසිස්ට්වාදී සංකල්ප වගාදිගා කරයි. විද්‍යාත්මක විශ්වසනීයත්වයකින් තොර වූ එය පදනම් වී ඇත්තේ “ශක්තිමත් ම තැනැත්තාගේ පැවැත්ම” නමැති 19 වන සියවසේ සමාජ ඩාවින්වාදී සංකල්පය යොදාගැනීම මත ය. පසුගිය නොවැම්බරයේ බොරිස් ජොන්සන් කල වාචාල කතාවෙන් එහි මුළුමනින්ම ප්‍රතිගාමී ස්වභාවය සම්පින්ඩනය කෙරුනි: “සිරුරු දහස් ගනනින් කඳු ගැසුනාවේ, තවදුරටත් හු** අගුලු දැමීම් නම් එපා!”

අවම කිරීම

වසංගතය කෙරෙහි දෙවන මූලෝපායික ප්‍රවේශය නම් ඊනියා “අවම කිරීම” වේ. එනම් වෛරසයේ යථාර්ථයන් සහ පාලක පැලැන්තියේ මූල්‍ය අවශ්‍යතා සමහන් කිරීමට උත්සාහ කරන පියවරවල අනියතාකාර එකතුවකි. මෙම මූලෝපාය ස්වර්නමය මැද මාවතේ වසංගත රෝග විද්‍යාව ලෙස හැඳින්විය හැකි ය.

මුහුනු ආවරන පැලඳීම, සමාජ දුරස්ථභාවය, පරීක්ෂන පැවැත්වීම, සම්බන්ධතා සොයා ගැනීම, ආසාදිත රෝගීන් හුදකලා කිරීම, සංවාතනය, එන්නත් කිරීම සහ වෙනත් ක්‍රියා මාර්ග ද ඇතුලුව කොවිඩ්-19 පැතිරීම සීමා කරන පුලුල් පරාසයක පියවර ගනනාවක් වෙයි. වෛරස් සම්ප්‍රේෂන ප්‍රවේගය අඩු කිරීමේ දී එවැනි පියවරයන්ට කාර්යභාරයක් ඇත. නමුත් ඒවා වෛරසය ඵලදායී ලෙස පාලනය කිරීමට මඟ නොපාදන අතර වෛරස් සම්ප්‍රේෂන දාමය බිඳ දැමීමේ මූලෝපායක් නොමැති තත්වයක් තුල ඇත්තෙන්ම එයින් අපේක්ෂිත ප්‍රතිඵලයට බාධා පැමිනිය හැකි ය.

අවම කිරීමේ ක්‍රමෝපායෙහි යෝජකයන් ඉදිරිපත් කරන ප්‍රධාන අංග දෙක නම් එන්නත්කරනය සහ මුහුනු ආවරන පැලඳීම යි. එක්සත් ජනපදයේ බයිඩන් පරිපාලනය, කැනඩාවේ ටෘඩෝ සහ ලොව පුරා තවත් බොහෝ අය මෙම සරල පියවර මඟින් වසංගතය අවසානයකට පැමිනෙන බවට අරුමපුදුම ප්‍රකාශ සිදු කොට තිබේ. මෙම කියුම් පදනම් වී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදයේ ස්වරූපය පිලිබඳ බරපතල විකෘතකරනයක් මත ය.

පලමුවෙන්ම, ඩෙල්ටා ප්‍රභේදය අතිශයින් සම්ප්‍රේෂනය වනසුලු බවත් එන්නත්වලට ඔරොත්තු දෙන බවත් නිසා ආසාදන අවසන් කිරීම සඳහා එන්නත්කරනය පමනක් නොසෑහෙන බව විද්‍යාත්මකව ඔප්පු කර ඇත. කැල්ගරි විශ්ව විද්‍යාලයේ ආචාර්ය මැල්ගොර්සාටා ගස්පෙරොවිච්ගේ මෑතකාලීන න්‍යායික ආකෘතියක් මඟින් තක්සේරු කෙරුනේ ජනගහනයෙන් සියයට 64 ක් සම්පූර්නයෙන් එන්නත් කර ඇති අතර එන්නත් වල ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව සියයට 60 ක කාර්යක්ෂමතාවයක් ඇතැයි උපකල්පනය කරන විට ආර් (අභිජනන) අංකය 3.7 තරම් ඉතා ඉහල මට්ටමක පැවතීමට ඉඩ ඇති බවයි. ඇගේ ආකෘතිය මඟින් සොයාගෙන ඇත්තේ එන්නත් කිරීම සහ අගුලු දැමීම ඇතුළු මහජන සෞඛ්‍ය පියවර එකතු කිරීමෙන් පමනක් ආර් අංකය 0.86 දක්වා අඩු වන බවයි.

දෙවනුව, සාමාන්‍ය වෛරසයට වඩා අතිශය සම්ප්‍රේෂන ගුනයෙන් යුතු සහ එයට වඩා 1000 ගුනයක පමන වෛරස ගහනයක් බිහි කරන ඩෙල්ටා ප්‍රභේදය සඳහා සාමාන්‍ය ජනතාව භාවිත කරන මුහුනු ආවරන වර්ග කිසිසේත්ම ප්‍රමානවත් නොවේ. මෙම අතිවිශාල වෛරස් ගහනය සැලකිල්ලට ගෙන සමහර විද්‍යාඥයින් ගනන් බලා ඇත්තේ තත්පරයකට ඩෙල්ටා ප්‍රභේදයට නිරාවරනය වීම, විනාඩි 15 ක් සාමාන්‍ය වෛරස වර්ගයට නිරාවරනය වීම හා සමාන වන අතර බහුලව භාවිත වන රෙදි සහ ශල්‍ය මුහුනු ආවරන විශාල වශයෙන් පුද්ගලයින් අනාරක්‍ෂිත භාවයට පත් කරන බව යි. තත්වය වඩාත් නරක අතට පත් කරමින්, වැරදි අධ්‍යාපනයෙහි හා අසත්‍ය තොරතුරුවල ප්‍රතිඵලයක් වශයෙන්, වෛරස් සම්ප්‍රේෂන ක්‍රියාවලිය පැහැදිලිව තේරුම් නොගත් මහජනයා විසින් බොහෝ විට මුහුනු ආවරන නුසුදුසු ලෙස භාවිත කරනු ලැබේ.

බයිඩන් පරිපාලනය සහ අනෙකුත් ලෝක ආන්ඩු, මෙම වසන්තයේ හා ගිම්හානයේ දී වසංගතය අවසන් වන බව ප්‍රකාශ කරමින් එන්නත මැජික් බෙහෙතක් ලෙස ඉදිරිපත් කරන අතර එන්නත් ලබා දුන් පුද්ගලයින්ට මුහුනු ආවරන සමඟ සියලුම ප්‍රවේසම් වීම් ඉවත දැමිය හැකි බව ප්‍රකාශ කලහ. එන්නත ලබා නොගත් දරුවන් හුදෙක් මුහුනු ආවරන පැලඳීමෙන් පමනක් ආරක්ෂා කල හැකි බව පවසමින් ඔවුහු පාසල් සම්පූර්නයෙන් නැවත විවෘත කිරීමට අවසර දුන්හ. සති ගනනක් ඇතුලත, පාසැල්වල හා සේවා ස්ථානවල සෑම සතියක ම වාර්තා වන ඇස්තමේන්තුගත “සීමා බිඳගෙන සිදු වන බෝවීම්” (“breakthrough infections” – එන්නත් ලබා දුන් පුද්ගලයින් ආසාදනය වීම) 35,000ක් ඇතුලු මහා පරිමාන ආසාදනවල යථාර්ථය මඟින් මේ අසත්‍යයන් පුපුරවා හරිනු ලැබ ඇත.

අවම කිරීමේ මූලෝපාය වෙනුවෙන් පෙනී සිටින දේශපාලනඥයින් සහ ආයතනික මාධ්‍ය මතුරන මන්ත්‍රය නම් සෑම කෙනෙකුම “වෛරසය සමඟ ජීවත් වීමට ඉගෙන ගත යුතුය” යන්නයි. අවම කිරීම යෝජනා කරන්නෝ මූලික වශයෙන් කොවිඩ්-19 ඒක දේශික බවට පත් වන බවත්, සෑම විටම පහත් මට්ටමේ ආසාදන පවතින බවත්, වරින් වර ඇති වන හදිසි නැඟීම් හේතුවෙන් රෝහල් බිඳවැටීමේ තත්වය දක්වා ද ලඟා වන බවත් පිලිගනිති. ආර්ථික සහ දේශපාලනික වශයෙන් සංගතයන්ගේ අවශ්‍යතාවලට බලපෑම් කල නොහැකිය යන මූලික රාමුව අවම කිරීමේ මූලෝපාය පිලිගනී.

වසංගත රෝග විද්‍යාවේ අවම කිරීම යනු ධනේශ්වර දේශපාලනයේ ප්‍රතිසංස්කරනවාදය යි. ප්‍රතිසංස්කරනවාදියා ක්‍රමානුකූල හා ටිකෙන් ටික ප්‍රතිසංස්කරන කිරීමෙන් කාලයත් සමඟ ලාභ ක්‍රමයේ නපුරුකම් අඩු කොට හා එය වැඩිදියුනු කරනු ඇත යන අපේක්ෂාවෙන් ජීවත් වන්නාක් මෙන්, අවම කිරීම්වාදීන් කෝවිඩ් -19 අවසානයේදී සෙම්ප්‍රතිශ්‍යාවට වඩා හානිකර නොවන දෙයක් බවට පරිනාමය වෙතැයි විශ්වාස කරති. මෙය වසංගතය පිලිබඳ විද්‍යාවෙන් මුළුමනින් ම බිඳී වෙන්වුනු මායාවකි.

යථාර්ථය නම්, වෛරසය ව්‍යාප්ත වන තාක් කල්, එය සමස්ත මානව වර්ගයාට ම තර්ජනයක් වන නව, වැඩියෙන් බෝවන, මාරාන්තික සහ එන්නත්වලට ඔරොත්තු දෙන ප්‍රභේද බවට විකෘති වෙමින් පවතිනු ඇත. එය ලෝක පරිමානයෙන් තුරන් නොකලහොත්, කොවිඩ්-19 හි ගිනි අඟුරු නොකඩවා දැවෙමින් වෛරසය අලුතින් හදිසියේ ඇවිල යාමට කොන්දේසි නිර්මානය කරනු ඇත.

අවම කිරීමේ මූලෝපාය වෙනුවෙන් පෙනී සිටින අයට කොවිඩ්-19 සමඟ ගනුදෙනු කිරීමට අවශ්‍ය නමුත් කොරෝනා වෛරසය ඔවුන් සමඟ ගනුදෙනු කිරීම ප්‍රතික්ෂේප කරයි. එය මෙහෙයවනු ලබන්නේ සහේතුක තර්කනය මගින් නොව අනුකම්පා විරහිත වෛරස් සම්ප්‍රේෂනයේ නීති මගිනි.

මුලිනුපුටා දැමීම

එම නිසා, එකම ශක්‍ය මූලෝපාය වන්නේ වසංගතය පුරාවටම වසංගත රෝග විශේෂඥයින්, වෛරසවේදීන් සහ අනෙකුත් විද්‍යාඥයින් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති මත පදනම්ව වෛරසය මුලිනුපුටා දැමීමයි. එවන් මුලිනුපුටා දැමීමක අන්තර්ගතය වනුයේ වෛරසය සදහටම අතුගාදැමීම සඳහා ගෝලීය පරිමානයෙන් සම්බන්ධීකරනය කරන ලදුව කොවිඩ්-19 ට එරෙහිව අවි ගබඩාවේ සෑම ආයුධයක්ම විශ්වීය ලෙස ක්‍රියාවේ යෙදවීමයි.

දැන් සෑම රටකම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කොවිඩ්-19 ගෝලීය වශයෙන් තුරන් කිරීම 'සිහිනයක්' යන බොරුව ඉදිරියට ගෙන යයි. නමුත් ඉබෝලා, වසූරිය, පෝලියෝ සහ වෙනත් රෝග සඳහා ගෝලීයව සම්බන්ධීකරනය කරන ලද මුලිනුපුටා දැමීමේ උත්සාහයන් සඳහා ඓතිහාසික පූර්වාදර්ශයන් පවතින අතර ඒ සියල්ලටම විශාල සම්පත් වෙන් කිරීමක් අවශ්‍ය විය.

පසුගිය සතියේ බීඑම්ජේ ග්ලෝබල් හෙල්ත් නම් ජාත්‍යන්තර සඟරාවේ ඉදිරිපත් කල විශ්ලේෂනයකදී වෙලින්ටන්හි ඔටගෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් වන මයිකල් බේකර් සහ නික් විල්සන් තීරනය කලේ කොවිඩ්-19 ගෝලීය වශයෙන් තුරන් කිරීම න්‍යායාත්මකව පෝලියෝ රෝගයට වඩා පහසු නමුත් එය වසූරියට වඩා අපහසු බවයි. ඔවුන් අවධාරනය කරන්නේ එන්නත් කිරීමේ වැඩසටහන්, පුළුල් මහජන සෞඛ්‍ය පියවර සහ රෝගයට එරෙහිව සටන් කිරීමේ ගෝලීය උනන්දුවක් ඇති කිරීම මගින් මුලු ලෝකයෙන්ම එය තුරන් කල හැකි බවයි.

වසංගතය පාලනය කිරීමේ හා අවසානයේදී මුලිනුපුටා දැමීමේ ප්‍රධාන අංගයන් නම් පුලුල් ලෙස පරීක්‍ෂන පැවැත්වීම, ආශ්‍රිතයන් සොයා යාම, ආසාදිත රෝගීන් ආරක්ෂිතව හුදකලා කිරීම, දැඩි සංචරන සීමා පැනවීම සහ සියලුම පාසල් සහ අත්‍යවශ්‍ය නොවන සේවා ස්ථාන වසා දැමීම යි. ලොව පුරා එන්නත් නොකල දල වශයෙන් බිලියන 5.8 ක ජනතාවක් ඉක්මනින් එන්නත් කිරීම සඳහා එන්නත් නිෂ්පාදනය හා බෙදා හැරීම සීඝ්‍රයෙන් ව්‍යාප්ත කල යුතුය.

නිතිපතා, පුළුල් ලෙස පරීක්‍ෂා කිරීමේ සහ විශ්වීය මට්ටමෙන් ආශ්‍රිතයන් හඹා යාමේ වැදගත්කම—එය සෑම රටකම පාහේ ක්‍රියාත්මක කර නැත—අතිශයෝක්තියක් නොවේ. වෛරසය සොයා ගැනීම සහ මිනිසුන් වෙතට එය ලඟාවීම නතර කිරීම සම්බන්ධයෙන් ඉතා ක්‍රියාකාරී උද්ඝෝෂනයක් මෙම ක්‍රමයට අන්තර්ගත වේ. කොරෝනා වෛරසයේ ඇති එකම දුර්වලතාවය නම් එය ජීවත් වීම සහ ප්‍රතිනිෂ්පාදනය සඳහා මානව සත්කාරකයෙකු මත යැපීමයි. මෙම ධාරකයා අහිමි වුවහොත් වෛරසය ක්‍රමයෙන් මිය යයි.

අනෙකුත් සියලුම අවම කිරීමේ පියවරයන්ට සැලකිය යුතු කාර්යභාරයක් පැවරී ඇත, ඒවා නම් විශේෂයෙන් උසස් තත්ත්වයේ මුහුනු ආවරන භාවිතය සහ ගෘහස්ථ වාතාශ්‍ර පද්ධතීන් ප්‍රතිසංස්කරනය කිරීම යි. නමුත් මේවා වෛරසය මුලිනුපුටා දැමීම ඉලක්ක කරගත් පුළුල් ගෝලීය මූලෝපායක කොටසක් ලෙස භාවිතා කල යුතු උපක්‍රමයන් ය. නිදහස් අධ්‍යාපනය ලබාදීමේ සහ අගුලු දැමීමෙන් පීඩාවට පත් වූ සියළුම කම්කරුවන් සඳහා පූර්න ආදායම් ආරක්‍ෂාවක් සහතික කිරීමට සෑම රාජ්‍යකින්ම අතිමහත් මූල්‍ය සම්පත් සැපයීමේ අනවරත උද්ඝෝෂනයක් මෙයට ඇතුලත් විය යුතුය.

නිසැකවම, මුලිනුපුටා දැමීමේ මූලෝපාය දුෂ්කර ය. නමුත් සෑම නිවැරදි ප්‍රතිපත්තියක්ම සමාජ පිරිවැයක් දරයි. දෙන ලද රටක වර්තමාන සම්ප්‍රේෂන අනුපාතය මත පදනම්ව, අවශ්‍ය අගුලු දැමීමේ පියවර ගත යුත්තේ සති කිහිපයක් හෝ මාස කිහිපයක් පමනක් වන අතර නව ආසාදන ශුන්‍ය වන විට රටවල් අතර ගමනාගමනය ක්‍රමයෙන් නැවත ආරම්භ කල යුතුය.

වසංගතයේ අනවශ්‍ය දුක් වේදනා අවසන් කර මිලියන ගනනක් ජීවිත බේරා ගැනීම සඳහා අධ්‍යාපන සේවකයින්, දෙමාපියන්, මෝටර් රථ කම්කරුවන්, සැපයුම් සේවකයින්, සෞඛ්‍ය සේවකයින් සහ ජාත්‍යන්තරව සමස්ත කම්කරු පන්තිය විසින්ම මුලිනුපුටා දැමීමේ මූලෝපායට එලඹිය යුතුය. සමාජවාදී සමානතා පක්ෂය මෙම වැඩපිලිවෙලට සහයෝගය දක්වමින්, විශේෂයෙන්ම මෙම ප්‍රතිපත්තිය අනුගමනය කරන සෑම රටකම පාසල් වහාම වසා දමන ලෙස ඉල්ලා සිටී. කායික සහභාගීත්වයෙන් ඉගෙනුම් සඳහා පාසල් නැවත විවෘත කරන ලෙස යෝජනා කරන අය ඉල්ලා සිටින්නේ ලමයින්ව ගිනි ගෙන දැවෙන ගොඩනැගිලි තුලට යැවීමකි..

තුරන් කිරීමේ මූලෝපාය අනුගමනය කර ඇත්තේ චීනය, නවසීලන්තය සහ තවත් සමහරක් රටවල් වන අතර ඒවා සියල්ලම හොඳින් අධ්‍යයනය කල යුතුය. කෙසේ වෙතත්, මේ සෑම රටකම මෑතකදී ඇති වූ වසංගත මෙන්ම වෛරස් සම්ප්‍රේෂනය මුළුමනින්ම පාහේ මැඩපවත්වන ලද ඕස්ට්‍රේලියාවේ, වියට්නාමයේ සහ අනෙකුත් රටවල නැවත වෛරසය මතුවීම විසින් අවධාරනය කරනු ලබන්නේ මුලිනුපුටා දැමීමේ මූලෝපාය ගෝලීය වශයෙන් අනුගමනය කල යුතු බවත් කිසිදු රටකට වසංගතය තනිව පරාජය කල නොහැකි බවත්ය.

මුලිනුපුටා දැමීමේ මූලෝපාය ක්‍රියාත්මක කිරීම සඳහා බලගතු ජාත්‍යන්තර හා කම්කරු පන්තියේ ඒකාබද්ධ මහජන ව්‍යාපාරයක් වර්ධනය කිරීම අවශ්‍ය වේ. ප්‍රතිපත්ති වෙනසකට බල කිරීම සඳහා අවශ්‍ය සමාජ බලවේගය උත්පාදනය කල හැක්කේ ලාභ අරමුනු සඳහා නොවන සහ උමතු ලෙස පුද්ගලික ධනය ලුහුබැඳ නොයන මහජන ව්‍යාපාරයකට පමනි.

මුලිනුපුටා දැමීමේ මූලෝපාය මඟ පෙන්වන මූලික මූලධර්ම පදනම් වී ඇත්තේ විද්‍යාව සහ ලොව පුරා කොවිඩ්-19 මුලිනුපුටා දැමීම සඳහා වැය කල යුතු මුදලට සීමාවක් තිබිය නොහැකි බව අවධාරනය කිරීම මත ය. ලොව පුරා සිටින මිනිසුන්ගේ සමාජ අවශ්‍යතා විද්‍යාත්මක සත්‍යය සමඟ බලවත් ලෙස අන්තර් ක්‍රියා කරයි.

මෙම මූලෝපාය සාර්ථක වීමට නම්, සෑම රටකම එහි ආධාරකරුවන් වසංගතය පිලිබඳ ගැඹුරු විද්‍යාත්මක අවබෝධයක් ලබා ගත යුතුය. කම්කරු පන්තිය විද්‍යාඥයින්ගේ සහයෝගය අගය කරමින් ඒ මත විශ්වාසය තබන අතර, කොවිඩ්-19 මුලිනුපුටා දැමීම සඳහා අවශ්‍ය විද්‍යාත්මක වැඩ සටහන ක්‍රියාත්මක කල හැක්කේ විශාල ජනතාවක් මෙම අරගලය භාර ගන්නා තාක් පමනි.

වසංගතය ආරම්භයේ සිටම තුරන් කිරීම සඳහා පෙනී සිටි ප්‍රමුඛ පෙලේ විද්‍යාඥයින් සම්බන්ධ කර ගනිමින් මෙම අගෝස්තු 22 ඉරිදා ලෝසවෙඅ ජාත්‍යන්තර ඔන්ලයින් රැලියකට අනුග්‍රහය සපයයි. අදම ලියාපදිංචි වී මෙම ඓතිහාසික සිදුවීමට සහභාගී වන ලෙස ඔබේ සගයින්ට, මිතුරන්ට සහ පවුලේ අයට ආරාධනා කරන ලෙස ලොව පුරා සිටින අපගේ සියලුම පාඨකයින්ගෙන් අපි ඉල්ලා සිටිමු.

Loading