වසංගතයෙන් අත්මිදීමේ කම්කරු පන්තික මූලෝපාය සාකච්ඡා කෙරෙන සසප රැස්වීමට උනන්දුසහගත ප්‍රතිචාරයක්

“වැඩෙන වසංගතය, නැගී එන පන්ති අරගලය සහ සමාජවාදී වැඩපිලිවෙලක අවශ්‍යතාවය” යන මැයෙන් ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් අගෝස්තු 26 සවස 7.00 ට පැවැත්වීමට නියමිත ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීම ගොඩ නැගීමේ උද්ඝෝෂනය තුල දී සසප සාමාජිකයන් සමග කතා කල විවිධ ක්ෂේත්‍රවල කම්කරුවෝ වසංගතයේ බරපතල ව්‍යසනකාරිත්වය සහ එය ජය ගැනීමේ දැවෙන අවශ්‍යතාවය ගැන අදහස් ප්‍රකාශ කලහ.

මෙහිදී, ගුරුවරුන්, සංවර්ධන නිලධාරීන් සහ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ඇතුලු දිවයිනේ විවිධ පලාත්වල කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන්, වසංගතය සම්බන්ධයෙන් රාජපක්ෂ ආන්ඩුව මුලසිටම අනුගමනය කල මිනීමරු පිලිවෙත කෙරෙහි තම බලගතු විරුද්ධත්වය ප්‍රකාශ කලහ. වසංගතය සම්බන්ධයෙන් සසප සාමාජිකයන් ඉදිරිපත් කල විද්‍යාත්මක කරුනු සහ වෛරසය මුලිනුපුටා දැමීමේ මූලෝපාය සම්බන්ධයෙන් ඔවුන් අතර පැවතියේ සැලකියයුතු උනන්දුවකි.

ඩෙල්ටා ඇතුලු නව කොවිඩ් ප්‍රභේද මතුවන තතු තුල, ලෝකයේ සෑම රටක මෙන් ම ලංකාවේ ද වසංගතය ඉමහත් වේගයකින් පැතිරයමින් පවතී. බදාදා උදෑසන වනවිට ආන්ඩුව විසින් ප්‍රකාශයට පත් කර තිබු නිල දත්ත වලට අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3,98,801 ද, පෙරදින ආසාදිතයන් ගනන 4,446 ක් ද විය. සමස්ත මරන සංඛ්‍යාව 7,750 වූ අතර පෙරදින මියගිය ගනන 200 ට ආසන්න විය. නිල දත්ත එසේ වුව ද යතා සංඛ්‍යා ඊට බෙහෙවින් වැඩි විය හැකි ය. ගෝලීය සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 214 ක් ඉක්මවා ඇති අතර මියගිය සමස්ත සංඛ්‍යාව මිලියන 4.5 ට ආසන්න වේ.

විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරමින් වසංගතය මර්දනය කිරීමට පියවර නොගත හොත් බරපතල ප්‍රතිවිපාක වලට මුහුන දීමට සිදු වනු ඇතැයි ජාත්‍යන්තර සහ ශ්‍රී ලංකාවේ වෛද්‍ය විශේෂඥයන් බරපතල ලෙස අනතුරු අඟවා ඇත. එහෙත් ධනපති පාලක පන්තීන් උත්සුක වන්නේ මුල්‍ය ප්‍රභුවේ ලාබ උත්පාදක අවශ්‍යතාවයන් ගැන මිස කම්කරු පන්තියේ සහ මහජනතාවගේ ජීවිත ගැන නොවේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව වසංගතය පැතිරීම වැලක්වීමේ විද්‍යාත්මක පියවරයන් ගැනීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇත. කම්කරු පන්තියේ බරපතල විරෝධය නිසා අගෝස්තු 20 වෙනිදා සිට දින 10 ක් නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇතත් ඇඟලුම් හා අපනයන නිපැයුම් කම්හල් විවෘත කර ලක්ෂ සංඛ්‍යාත කම්කරුවෝ සේවයේ යොදවා සිටිති.

ශ්‍රී ලංකාවෙත් , ලෝකයේ සෑම රටක මත් ධනපති පාලක පන්තීන් ගේ මුලෝපායන් වී ඇත්තේ “රංචු ප්‍රතිශක්තිය” හෝ වසංගතයේ බලපෑම “අවම කිරීම” යි. මෙම අවිද්‍යාත්මක ක්‍රමවේද තුලින් වසංගතයෙන් අත්මිදිය නොහැක. වසංගතය මුලිනුපුටා දැමීම තුලින් පමනක් ඉන් අත්මිදිය හැක. එය කල හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තිය වසංගතය මුලුනුපුටා දැමීමේ සටන තමන් අතට ගෙන සෞඛ්‍ය සහ වෛද්‍ය විශේෂඥයන් ගේ සහයෝගය ඇතිව ගෝලීය ව ක්‍රියාවට දමන විද්‍යාත්මක මෙහෙයුමක් තුලිනි. එය ධනවාදය මිහිතලයෙන් මුලිනුපුටා දමන ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන සමග බැඳී ඇත.

මිනිස් ජීවිත වලට ඉහලින් ධනපතියන්ගේ ලාභය තැබීමේ පිලිවෙත යටතේ ජනතාව කොවිඩ් වෛරසයට දරුනු ලෙස නිරාවරනය වෙමින් සිටින බව පොලොන්නරුවේ ගුරුවරයෙක් පැවසීය. “දිනකට ආසාදිතයන් දහස් ගනනක් හමුවෙනවා. දෙසීයක් පමන මිය යනවා. අපේ ගේ අවටත් රෝගීන් දස දෙනෙක් පමන ඉන්නවා. ආරම්භයේ පටන් ම ජනාධිපති ඇතුලු ආන්ඩුව කලේ මිත්‍යා මත වපුරමින් ජනතාව මුලාකරන එක. එන්නත එකම විසඳුම ලෙස කිව්වත් ඒකවත් ජනතාවට අවශ්‍ය තරම් නැහැ. මට දෙවන මාත්‍රාව විදින්න තිබුනේ අගෝස්තු 24. ඒත් එන්නත් නැති නිසා දින නියමක් නැතිව කල්දාලා”.

ආන්ඩුවේ නිරෝධායන ඇඳිරි නීතිය බොරුවක් බව පැවසූ ඔහු අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා කියමින් ප්‍රදේශයේ දහස් ගනන් සේවයට කැඳවා ඇති බවත්, නමුත් ඇඳිරි නීති කාලය තුල දුගී ගොවීන්ට සහ එදිනෙදා රැකියාවක් කර ජීවත් වන අයට කිසිදු සහනයක් නැති කමින් ඔවුන් අන්ත අසරන වී ඇති බවත් පැවසීය. වසංගතයෙන් මිය යනවා ද කුස ගින්නෙන් මිය යනවා ද කියන ප්‍රශ්නය ජනතාව හමුවේ මතු වී ඇති බවත් සසප පැහැදිලි කරන පරිදි වසංගතය මුලිනුපුටා දැමීමෙන් තොරව අතර මැදි විසඳුමක් නැති බවත් ඔහු සඳහන් කලේ ය.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ සංවර්ධන නිලධාරියෙකු මෙසේ පැවසීය: “රජය ජනතාවගේ ජීවිත ගැන කිසිම තැකීමක් නැහැ. අපිවත් වැඩට ගෙන්නන්නේ බලහත්කාරයෙන්.. අපේ කන්ඩායමේ එක්කෙනෙක් ආසාදනය වෙලා නමුත් අනෙක් අය වැඩට ගෙන්වනවා. ආන්ඩුව එන්නත් දෙන්නේ වසංගතය පාලනයට නෙමෙයි කම්කරුවෝ වැඩට ගෙන්න ගන්න. අපිව එන්නත්කරන වැඩවලට සහය දෙන්න යොදවල තියෙනව. නමුත් කිසිම සැලැස්මක් නැහැ. මිනිස්සු පෝලිම්වල තෙරෙපෙනවා. වසංගතය පාලනයට වඩා ඒකෙන් සිද්ධ වෙන්නේ පැතිරීමක්”

එන්නත්කරනයට මිලිටරිය මැදිහත් කර ගැනීම ආන්ඩුවේ මිලිටරීකරන වැඩපිලිවෙලේම කොටසක් බව ඔහු සඳහන් කලේ ය.

“සමගි ජන බලවේගය ඇතුලු විපක්ෂයේ පක්ෂ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලොක්ඩවුන් ඉල්ලලා කෑ ගහන්නේ කම්කරු පන්තියේ අරගල පැන නගියි කියල බයට. වෘත්තීය සමිති කරන්නෙත් ඒ දේමයි. ගුරු අරගලයේ දී ගුරුවරුන්ගේ ඉල්ලීම් පටු සීමාවකට කොටු කරලා” කීවේය.

සසප ප්‍රකාශයේ පැහැදිලි කර තිබෙන පරිදි ධනපති ක්‍රමය තුල වසංගතයට හෝ කම්කරු පන්තියේ ප්‍රශ්නවලට විසඳුමක් නැති බව පැහැදිලි බවත් වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ගොඩ නගන කම්කරු පන්තියේ ක්‍රියාකාරී කමිටු වල ජාත්‍යන්තර සන්ධානයකට පූර්න එකඟතාවය පලකරන බවත් ඔහු පැවසීය.

ලොක් ඩවුන් කලාට කිසිම වෙනසක් නැතිව තමන්ට වැඩ කිරීමට සිදු වී තිබෙන බව ඉදිකිරීම් අංශයේ කම්කරුවෙක් පැවසීය. “ව්‍යාපාරිකයෝ ආන්ඩුවේ අත්‍යාවශ්‍ය සේවා කතාවලින් ගැම්ම අරගෙන අපිව මරවල යහමින් වැඩ ගන්නව. අධික වැඩ පැටවීම සහ සෞඛ්‍යාරක්ෂක පහසුකම් නැතිකම නිසා ඉදිකිරීම් කම්කරුවන් අතර වසංගතය තදින් පැතිරෙනව. මා ඇතුලු බොහෝ සේවකයන්ට කොවිඩ් අසාදනය වුනා. එතකොට මම වැඩකලේ වෙනත් ඉදිකිරීම් ආයතනයක. දින දහ හතරක නිරෝධායනයෙන් පසුව නැවත වැඩ කිරීමට අපට සිදු වුනා.”

පහලම වැටුප් ලබන කම්කරුවන් ගැන කිසිම සොයා බැලීමක් නැති බවත්, නිසි පරිදි වැසිකිලි සහ අනිකුත් සෞඛ්‍ය ආරක්ෂක පහසුකම් ඔවුන්ට නැති බවත්, කුඩා කාමර තුල එකට ගුලි ගැසී නිදා ගැනීම නිසා වෛරසය ආසාදනය වීමේ හැකියාව වැඩි බවත් ඔහු සඳහන් කලේ ය.

පුද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන ගම්පහ ප්‍රදේශයේ ශිෂ්‍යයෙක් මෙසේ සඳහන් කලේ ය. “ලෝකය පුරාම ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීමත් සමග විශාල ව්‍යසනයක් ඇතිවෙලා තියෙනව. කොවිඩ් වෛරසය තුරන් කිරීමයි කලයුත්තේ. ඒක කරන්න පුලුවන් ලෝක කම්කරු පන්තියේ ඒකාබද්ධ බලයක් ගොඩ නැගීමෙන් පමනයි. කම්කරුවෝ අරගලවලට ආවත් ඔවුන් ට නිසි නායකත්වයක් නැහැ. පෙරටුගාමී සමාජවාදී පක්ෂය වගේ කන්ඩායම් විරුද්ධයි කම්කරුවන් ඇතුලු මහජනතාව ඒ විදිහෙ ව්‍යාපාරයක් ගොඩනගනවට”.

විද්‍යාත්මක විසඳුමක් හැර වසංගතය තුරන් කිරීමේ වෙනත් විකල්පයක් නැති බවත් එය සසප අවධාරනය කරන පරිදි කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය ගොඩ නැගීම සමග බැදී තිබෙන බවත් එම නිසා සසප ඔන්ලයින් රැස්වීමට සහභාගී වන ලෙස සියලු දෙනාට ම ආරාධනය කරන බවත් ඔහු පැවසීය.

යාපනයේ වේලනෙයි පදිංචි කන්දසාමි මෙසේ පැවසීය. “අද ලෝකය බරපතල අන්තරායකට මුහුන දෙනවා. වැඩිදියුනු රටවල් පවා වසංගතය පාලන කරන්න අසමත් වෙලා තියෙනව. මොකද ඔවුන් උනන්දු වෙන්නේ මහ ව්‍යාපාරිකයන්ගේ ලාබය ගැන. වසංගතය පාලනය කරන්න ඔබ ඉදිරිපත් කරන වැඩපිලිවෙල හැර වෙනත් විකල්පයක් නැති බව ලෝක සමාජවාදී වෙබ් අඩවිය කියවීමෙන් මට පැහැදිලි වුනා.

වසංගතය නිසා ප්‍රතිකාර නැතිව ගෙවල් වල ම මිය යාමට සිදු වී තිබෙන බව ගාල්ලේ සංවර්ධන නිලධාරියෙකු පැවසීය. “මිනිස්සුන් ට අත්විඳින්න වෙලා තියෙන්නේ ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වල ප්‍රතිපල. සෞඛ්‍ය සේවකයෝ අවශ්‍ය පහසුකම් දැඩිව ඉල්ලද් දී පවා ඔවුන්ට ඒවා සම්පාදනය කරන්නේ නැහැ”.

“මම ඉන්නේ ගාල්ලේ සිට කිලෝ මීටර් 40 දුරින් පිහිටි ගමක. ගමේ ආසාදිතයන් කලින් නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කලා. දැන් එහෙම කරන්නේ නැහැ. දුප්පත් මිනිස්සු තමයි වැඩියෙන් ම පීඩාවට පත්වෙලා ඉන්නේ. දින කිහිපයකට කලින් අසල්වැසි කාන්තාවක් කොරෝනා නිසා මියගියා. ඇත්තටම මේ වෙලාවේ සෞඛ්‍ය නිර්දේශ අනුව අනිවාර්යයෙන් ම රට පූර්න වසා දැමීමක් කරන්න ඕනි. නැත්නම් අපිට ජිවිත දහස් ගානක් අහිමි වේවි” යැයි ඔහු සඳහන් කලේ ය.

වසංගතය යොදාගෙන තියෙන්නේ කම්කරු පන්තිය වැඩියෙන් සූරාකෑමට බව රත්මලාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලික අංශයේ සේවිකාවක් පැවසුවාය. “අපෙන් පැය 24 ම වැඩ ගන්නවා. ඉලක්ක සම්පූර්න කරන්න ඕන නිසා මම මහ රෑත් වැඩ කරනවා. මගේ මහත්තය වැඩ කරන්නේ බැංකුවක. ලොක් ඩවුන් එක තිබුනත් එයා දවසක් හැර දවසක් වැඩට යන්න ඕන. අම්මයි, තාත්යි ලමයි දෙන්නෙකුයි ගෙදර ඉන්නවා. එක පැත්තකින් වසංගතයෙන් බේරෙන්න ඕන අනෙක් පැත්තෙන් වැඩ නොකලොත් ඉහල යන බඩු මිලත් එක්ක ජීවත්වීම අමාරුයි”.

තමා සහ පවුල ආසාදනය වෙතැයි යන බිය දරා ගෙනම වෙන විකල්පයක් නැති නිසා වැඩට යන බව ඇය පැවසුවාය.

“ගුරුවරුන්ගේ අරගලය සාධාරන යි. වැටුප හරිම අඩුයි. ඒ නිසයි වසංගත අවදානම නොතකා පාරෙ උද්ඝෝෂන කරන්නෙ. මේ පක්ෂ කවුරු ආවත් කියන්නෙ එකක් කරන්නෙ තව එකක්, ලෝක කම්කරු පක්ෂයක් ගොඩ නගන එක හොඳයි, සහයෝගය දෙන්න කැමතියි. කම්කරු පන්තිය නැගී සිටිය යුතුයි ධනපති පන්තියට විරුද්ධව. මම 26 වෙනිදා රැස්වීමට සම්බන්ධ වෙනවා”යැයි ඇය සඳහන් කලාය.

රත්නපුර මිනුම්දෝරු කාර්යාලයේ නිලධාරියෙක් තම සහෝදර නිලධාරියෙකු වසංගතයෙන් මියගිය බව පැවසුවේ ය. රජයේ හිතුවක්කාරී වැඩ පිලිවෙල නිසා වෛරසය පුලුල්ව ව්‍යාප්ත වන බවත් වැඩට ගිහිල්ලා නිවසට ආවහම දරුවන්ගේ හා පවුලේ අනෙක් අයගේ ආරක්ෂා ගැන හිතල වෙන කාමරයක නිදා ගැනීමට සිදු වී ඇති බවත් ඔහු කීවේ ය. ලෝක සමාජවාදී වෙබ් අඩවිය කරන පැහැදිලි කිරීම නිවැරැදි බවත් රැස්වීමට නොවැරදීම සහභාගී වන බවත් ඔහු පැවසීය .

කරාපිටිය රෝහලේ ධාරිතාවය ඉක්මවා ගොස් ඇති බව එහි හෙද සේවිකාවක් පැවසුවාය. “පහසුකම් තිබුනේ 90 කට. දැන් ඒවගේ සිව් ගුනයක් රෝගීන් ඉන්නවා. රෝගීන් බොහොමයක් දැන් එන්නේ බරපතල අසාධ්‍ය තත්වයට පත්වූ පසුවයි. ඒ අයට පැමිනි වහාම ඔක්සිජන් දියයුතු යි. දැනට පුමානවත් තරම් ඔක්සිජන් සිලින්ඩර නැහැ. අනෙකුත් රෝගීන්ට තිබූ සිලින්ඩරත් මේ වෙනුවෙන් පාවිච්චි කලා'.

සේවකයන් ගනනාවක් මේ වනවිට ආසාදනය වී සිටින බැවින් අනෙක් සේවකයන්ට අඛන්ඩව වැඩ කිරීමට සිදු වී ඇති බවත් සුලු විවේකයක් හරි ගැනීමට සුදුසු ස්ථානයක් නැති බවත් ඇය පැවසුවාය. .

“ලොක්ඩවුන් කලොත් හැම කෙනෙක්ම ඒ වෙනුවෙන් කැප කල යුතු බව ජනාධිපති ප්‍රකාශ කලා. ඒ කියන්නෙ අපේ වැටුපටත් අත තැබීමක් වෙන්න පුලුවන්” යැයි ඇය සඳහන් කලාය.

වසංගතය පැතිරෙන ආකාරය දුටුවම හිතට මහත් බියක් දැනෙන බව නුගේගොඩ පදිංචි එක් දරු මවක් පැවසුවාය. “මේ ආන්ඩුව බලයට ආවේ පොරොන්දු රාශියක් දීල. ඒ වුනත් ජනතාව ගෙ කිසිම ප්‍රශ්නයකට විසඳුමක් නැහැ.

“දරුවන්ගේ ජීවිතත් දැන් අනතුරට පත්වෙලා. ඔන්ලයින් අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් ආන්ඩුව ලබා දෙන්නෙත් නැහැ. වසංගතයේ සත්‍ය තත්වය දැනගන්න ලැබුනේ ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන්. වසංගතය මුලිනුපුටා දැමීමට අවශ්‍ය විද්‍යාත්මක වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන්නෙත් එය පමනයි” ඇය සඳහන් කලා ය.

Loading