සීමිත අගුලු දැමීම මධ්‍යයේ වසංගතයේ අන්තරාය ඉහල නංවමින් වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙයි

පසුගිය සිකුරාදා ආන්ඩුව විසින් පැනවූ සීමිත අගුලු දැමීම තිබියදීත් ආසාදන සහ මරන සීඝ්‍රයෙන් ඉහල යමින් පවතී. ඊයේ දිනයේදී පිට පිට සිව්වන වතාවටත් දෛනික ආසාදිතයින් සංඛ්‍යාව හාරදහස ඉක්මවා ගියේ ය. කොවිඩ් මරන වේගයෙන් ඉහල යමින් දෛනික මරන සංඛ්‍යාව දෙසියයකට ආසන්න වෙමින් පවතී.

ලෝක සෞඛ්‍ය සංවිධානය අගෝස්තු 21 වන දා නිකුත් කල සතිපතා වාර්තාවට අනුව, ලංකාව තුල සිදු කෙරෙන පරීක්ෂන වලින් ආසාදිතයින් හමුවීමේ ප්‍රතිශතය සියයට 15.7 ක තරම් ඉහල අගයකි. පසුගිය සති පහේ දී ලංකාව තුල රෝගීන් වැඩි වීමක් පෙන්නුම් කරන බවද එම වාර්තාවේ සඳහන් විය.

ලංකාවේ දැන් පවතින ආසාදන වේගය හමුවේ රෝගීන් සංඛ්‍යාව 10,000 ක් වීමට ගතවන්නේ දින 03 කි. මරන සංඛ්‍යාව 1000 ඉක්මවීමට ගතවන්නේ සතියකට අඩු කාලයකි. වාර්තා වලට අනුව, සඳුදා දිනය වන විට දෛනික මරන සංඛ්‍යාව අතින් ලෝකයේ දහතුන් වන ස්ථානය දක්වා ලංකාව ඉහලට පැමිනියේ ය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය බලකා සමාජිකයින් වයස්ගත මුස්ලිම් කාන්තාවකට කොවිඩ්-19 සඳහා එන්නත කොලඹ පිහිටි ඇගේ නිවසේදී ලබා දීමට කටයුතු කරති. 2021 අගෝස්තු 14, සෙනසුරාදා(ඒපී ඡායාරූපය/ එරංග ජයවර්ධන)

ඉතා වේගවත් ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා ප්‍රභේදය ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් හමුවීම මගින් පෙන්නුම් කෙරෙන්නේ තත්වය වඩාත් නරක අතට හැරෙමින් පවතින ඇති බවයි. අගෝස්තු 20 වනදා වන විට ඩෙල්ටා ආසාදිතයින් 201 ක් ලංකාව තුලින් හමුවී තිබුනි. දිවයින පුරා ආසාදිතයින්ගෙන් ලබාගත් සාම්පල් 88 කින් 84 ක් ඩෙල්ටා ප්‍රභේදය සහිත බව තහවුරු විය. ඩෙල්ටා ප්‍රභේදයේ නව විකෘතීන් හතරක් මෙරටින් සොයාගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් පර්යේෂන වල නිරත වන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය චන්දිම ජීවන්දර සඳහන් කලේ මෙම විකෘතීන් නව ප්‍රභේද බවට වර්ධනය විය හැකි බවයි.

අද(26) උදෑසන වන විට ලංකාව තුල වාර්තා වී ඇති මුලු ආසාදිතයින් සංඛ්‍යාව 407,768කි. මුලු මරන සංඛ්‍යාව 7,948 කි. පනස්දහසකට අධික සංඛ්‍යාවක් රෝහල් තුල හෝ නිවෙස් තුල ආසාදිතව සිටිති. ආසාදිතයින්ගෙන් රෝහල් පිරී ගොස් ඇති අතර රෝග බරපතල රෝග ලක්ෂන පෙන්වන පුද්ගලයින් පමනක් ඇතුල් කරගන්නා බවට නිවේදනය කර ඇත.

රිජ්වේ ආර්යා රෝහලේ කොවිඩ් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමට පහසුකම් ඇත්තේ දරුවන් හය දෙනෙකුට වුවද මේ වන විට හත් දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටිති. කොලඹ ජාතික රෝහල තුල වාට්ටු 17 ක් සහ දැඩි සත්කාර ඒකක හතරක් කොවිඩ් රෝගයට ප්‍රතිකාර කිරීමට යොදවා ඇති අතර ඒවා සියල්ල පිරී ගොසිනි. රෝහල් තුල රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමානය ඉහල යමින් පවතී. අනෙක් රෝහල් වලද තත්වය මේ හා සමානය.

මෙසේ ආසාදිතයින් ඉහල සංඛ්‍යාවක් හමුවන්නේ අවම පීසීආර් පරීක්ෂන සංඛ්‍යාවක් සිදු කරන තතු තුලය. දිනකට සිදු කරන පීසීආර් පරීක්ෂන සාමාන්‍යය පවතින්නේ 18,000 ක මට්ටමේය. මෙහි අර්ථය නම් සමාජය තුල ආසාදිත යැයි හඳුනා නොගෙන කොවිඩ් රෝගීන් විශාල සංඛ්‍යාවක් සිටිය හැකි බවයි.

වසංගතය ව්‍යසනකාරී මට්ටමකට වැඩී පැවතියදී පවා ඒ සම්බන්ධයෙන් ආන්ඩුව අනුයන මිනීමරු පිලිවෙතට එරෙහිව වැඩුනු මහජන විරෝධය හමුවේ පසුගිය සිකුරාදා දින දහයක සීමිත අගුලු දැමීමක් ජනාධිපති රාජපක්ෂ නිවේදනය කලේය. කෙසේ වෙතත් මෙම අගුලු දැමීමට, වසංගතයේ ව්‍යාප්ති කේන්ද්‍රයන් බවට පත්ව ඇති ඇඟලුම් කම්හල් සහ ඉදිකිරීම් වැඩබිම් හසුවන්නේ නැත.

වේගයෙන් පැතිරෙන ආසාදනයන් සහ ඉහල මරන සංඛ්‍යාව වෛද්‍ය විශේෂඥයන්ගේ දැඩි අවධානයට ලක් වී ඇත. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අඟහරුවාදා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කලේ මේ වන විට “කොවිඩ් වසංගතයට අදාලව ජාතික ආපදා තත්වයකට” මුහුන දෙමින් සිටින බවයි. දැනට පවතින රෝහල් ධාරිතාවයන් ඉක්මවා යමින් පවතින බව එහිදී වැඩි දුරටත් අවධාරනය කෙරිනි.

එම සංගමයේ මහාචාර්ය ඉන්දික කරුනාතිලක පැවසුවේ, “රෝගීන් සංඛ්‍යාව වැඩිවීමේ රැල්ලට පසුව මරන රැල්ල පැමිනෙන” බව යි. මීට අමතරව, ඩෙල්ටා ඇතුලු නව ප්‍රභේද පැතිරීමත් සමග කොවිඩ් ආසාදනය නිසා ඇතිවන සංකූලතා ඉහල යමින් පවතී.

අංගොඩ බෝවන රෝග විද්‍යායතනය විසින් කොවිඩ් හේතුවෙන් මියගිය පුද්ගලයින් අලලා සිදු කල පර්යේෂන වලින් පැහැදිලිවී ඇත්තේ සියයට 30 ක් පමන කොවිඩ් නිව්මෝනියා තත්වය හේතුවෙන් මරනයට පත්වී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් කටයුතු කරන විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා සඳහන් කලේ, නිව්මෝනියා තත්වය ඇතිවීමට පෙර ඇතිවන සංකූලතා හේතුවෙන් කැටි ගැසෙන ලේ පෙනහලු තුල සිරවී මරන සිදුවිය හැකි බවයි.

රෝග ලක්ෂන නොපෙන්වා රුධිරයේ ඔක්සිජන් මට්ටම පහල ගොස් මරනය ගෙන එන “සයිලන්ට් හයිපොක්සියා” (Silent hypoxia) තත්වය මේ වන විට ලමුන් අතරේ පවතින බව රිජ්වේ ආර්යා ලමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත පසුගිය අඟහරුවාදා සඳහන් කලේය. මේ හේතුවෙන් ලමුන් දෙදනෙකු මියගොස් ඇති බව ඔහු වැඩි දුරටත් පැවසීය.

මෙම වර්ධනයන් මගින් පෙන්නුම් කරන්නේ, කොවිඩ් ආසාදිතයින් නිරතුරුව වෛද්‍ය අධීක්ෂනයට ලක් කිරීමේ අවශ්‍යතාවයයි. කෙසේ නමුත් රෝහල් පිරී යාම හේතුවෙන් රෝගීන්ට නිවෙස් තුල ප්‍රතිකාර කිරීමට සිදුවීම මෙම මරන සංඛ්‍යාව තවත් ඉහල නංවනු ඇත. මේ වන විට 10,000 කට ආසන්න ආසාදිතයන් ගනනක් එසේ නිවෙස් තුල සිටිති.

මෙය රාජපක්ෂ ආන්ඩුව විසින් වසංගතය ආරම්භයේ පටන් රෝහල් පහසුකම් වැඩි දියුනු කිරීම ප්‍රතික්ෂේප කිරීමේ සෘජු ප්‍රතිවිපාකයි. ලංකාව තුල පවතින රෝහල් පහසුකම් කොවිඩ් වැනි සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන රෝගයක් සඳහා පමනක් නොව, සාමාන්‍ය තත්වයකට මුහුන දීමට පවා නොසෑහේ.

අවපහසුකම් යටතේ අනාරක්ෂිතව සේවයේ යෙදෙන රෝහල් කාර්ය මන්ඩල සාමාජිකයින් බහුලව සහ නිරන්තරව ආසාදනය වීම හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී විශාල අර්බුදයක් ජනිත කොට ඇත.

නව ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීම සඳහා එන්නත් වල මාත්‍රා දෙකම අත්‍යාවශ්‍යය. ආන්ඩුව එන්නත්කරනය සම්බන්ධයෙන් ගෙනයන පම්පෝරියට පටහැනිව රටේ ජනගහනයෙන් එන්නත්කරනයට ලක් කර ඇත්තේ සියයට විස්සකට අඩු ගනනකි. නිසි මහජන සෞඛ්‍ය ආරක්ෂන පියවර නොමැති තතු යටතේ එන්නත් ලබාගත් පුද්ගලයින් පවා ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමට පෙර ආසාදනයට හා මරනයට ගොදුරු වෙමින් පවතී.

අගෝස්තු 7-13 කාලය තුල සිදුවූ මරන 656කින් සියයට 29.6 ක් එක් එන්නතක් හෝ ලබා ගත් පුද්ගලයින් ය. ඉන් සියයට 4.4 ක් එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින් ය. මෙම කරුනු ඉස්මතු කරන්නේ එන්නත්කරනයට සමගාමීව මහජන සෞඛ්‍ය ආරක්ශන පියවර ක්‍රියාවට දැමීමේ දැඩි අවශ්‍යතාවයයි.

ඉහත සඳහන් කෙරුනු “වසංගතය සමග ජීවත් වීමේ” පිලිවෙත් විසින් ජනිත කර ඇති අනතුරුදායක කොන්දේසි මතු කර සිටින්නේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා වසංගතය සහමුලින්ම තුරන් කිරීමේ වැඩපිලිවෙලක අවශ්‍යතාවයයි. පූර්න පරිමාන අගුලු දැමීමකට අමතරව පීසීආර් සංඛ්‍යාව ඉහල නැංවීම, රෝහල් පහසුකම් වැඩි දියුනු කිරීම ජීවිත ආරක්ෂා කිරීමේ වැඩ පිලිවෙලකදී තීරනාත්මකය. කෙසේ වෙතත් ලංකාවේ රාජපක්ෂ ආන්ඩුව ඇතුලු ලෝකය පුරා ධනපති ආන්ඩු එවන් වැඩපිලිවෙලකට විරුද්ධ ය.

වෛද්‍ය විශේෂඥයන් විසින් රෝගයේ සම්ප්‍රේෂන දාමය කඩා දැමීම සඳහා ඉල්ලා සිටි දින දාහතරක අගුලු දැමීම සම්බන්ධයෙන් රාජපක්ෂ දැක්වූ විරුද්ධත්වය එහි ඉහලම ප්‍රකාශනයකි. ඔහු පනවා ඇත්තේ යන්තම් දින දහයක සීමිත අගුලු දැමීමකි.

රාජපක්ෂ ඇතුලු ආන්ඩුව උත්සුක වන්නේ අගුලු දැමීම් වැනි ක්‍රියාමාර්ග හරහා ධනපතියන්ගේ ලාභ ගැරීමට සිදුවන බාධාවන් පිලිබඳවය. ඇඟලුම් කම්හල් ඇතුලු අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන නොවසා තබා ගැනීමේ තීන්දුව පිටුපස පවතින්නේ මෙම ලාභ උත්පාදනය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට ආන්ඩුවට පවතින උවමනාවයි.

මෙම පිලිවෙත් ප්‍රකාශයට පත් කරමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රනතුංග ඊයේ ලංකාදීප පුවත්පතට පැවසුවේ, ආයෝජකයින්ට ඇඳිරි නීති සීමා බල නොපාන බවයි. මෙම තතු පෙන්නුම් කරන්නේ වසංගතය මර්දනය සම්බන්ධයෙන් ශක්‍ය ප්‍රතිචාරයක් දැක්වීමට ධනපති ආන්ඩු වලට ඇති නොහැකියාවයි.

ලෝකය පුරා වෛරසයේ වේගවත් පැතිරීම මෙතෙක් කල් අනුගමනය කල පියවර වලින් තියුනු හැරීමක අවශ්‍යතාවය ඉල්ලා සිටී. “කොවිඩ් සමග ජීවත් වීමේ වැඩපිලිවෙල” මිලියන ගනන් ජනයා මරනයට පත් කරමින්, එන්නත්කරනයේ ඵලදායිතාව සීමා කරමින්, නව ප්‍රභේද ජනිත කරමින් නිමාවක් නොමැතිව පැතිරෙමින් පවතී. මෙය නිමාවකට ගෙන ආ හැක්කේ ඊට මුලුමනින්ම ප්‍රතිවිරුද්ධ වෛරසය තුරන් කිරීමේ වැඩ පිලිවෙලක් මගිනි.

එවන් වැඩ පිලිවෙලක් ක්‍රියාවට දැමිය හැක්කේ ලාභ ගරන ධනපති ක්‍රමය මුලිනුපුටා දැමීමට කෙරෙන දේශපාලන අරගලයකින් පමනි.

Loading