මිනිස් ජීවිත වලට එරෙහිව “ආර්ථිකය” පිහිටුවන මිනීමරු ධනවාදයට සමාජවාදී විකල්පයක්

ලෝක සෞඛ්‍ය සංවිධාන‌ය (ලෝසෞස), දේශීය තාක්ෂනික විශේෂඥයන්ගේ සහභාගිත්වයෙන් අගෝස්තු 26 දා පැවැත්වූ රැස්වීමකින් අනතුරුව, ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වසංගතය සම්බන්ධ නිරීක්ෂන සහ නිර්දේශ අඩංගු වාර්තාවක් එලි දැක්වීය. වාර්තාවට අනුව, සැප්තැම්බර් 16 දා තෙක් දිගු කෙරෙන ජාතික පරිමාන දැඩි අගුලු දැමීමක් මගින් මිනිස් ජීවිත 7500 ක් රැකගත හැකි වෙයි. එය ඔක්තෝබර් 02 දා තෙක් දිගුකලහොත් රැකෙන ජීවිත සංඛ්‍යාව 10000 දක්වා ඉහල යනු ඇත.

ඉන්දියාවේ නවදිල්ලියේ දී කොවිඩ්-19රෝගයෙන් මියගිය අයගේ මෘත දේහ දර සෑයවල සමූහ වශයෙන් ආදාහනය කරන ආකාරය. (2021 අප්‍රියෙල් 24 වන දින) (AP ඡායාරූපය / අල්ටාෆ් කද්රි)

සතියක් තුල ජනගහනයෙන් මිලියනයකට සිදුවන කොරෝනා මරන සංඛ්‍යාව අනුව ලංකාව 11 වන ස්ථානය ගෙන ඇති බවත්, දිවයිනේ විවිධ පලාත් වලින් ගත් ආසාදිත සාම්පල අතරින් සියයට 90 ක් ම, ව්‍යාප්ති වේගය ඉතා ඉහල ඩෙල්ටා ප්‍රභේදයට අයත් වන බවත් වාර්තාව පෙන්වා දෙයි. අගෝස්තු 31 දා නිල වාර්තාවන්ට අනුව ලංකාවේ සමස්ත ආසාදිත සංඛ්‍යාව 440,302 ක් සහ මරන සංඛ්‍යාව 9,185 ක් වෙයි.

විශේෂඥයන්ගේ නිර්දේශ කුමක් වුවද, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිගින් දිගටම කියා සිටියේ, “රටේ ආර්ථිකයට” බලපාන බැවින් ජාතික පරිමාන අගුලු දැමීමක් කිසිසේත් කල නොහැකි බවයි. අවසානයේදී අගෝස්තු 22 දා, ඔහු දින දහයක සීමිත අගුලු දැමීමක් හෝ ක්‍රියාත්මක කලේ, කම්කරු පංතිය තුලින් පැනනැගි බලගතු විරෝධය හමුවේය.

මෙම ව්‍යාජ අගුලු දැමීම යටතේ අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන පවා ක්‍රියාත්මක වන අතර, ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ට සෞඛ්‍ය අනාරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවන් හි පොදිකමින් තම වැඩපොලට යාමට සහ යලි නිවෙස් කරා පැමිනීමට බල කෙරී ඇත.

අගුලු දැමීම දීර්ඝ කිරීමට ආන්ඩුව කිසිසේත් සූදානම් නොමැති බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ අගෝස්තු 30 දා කැබිනට් මන්ඩලයට කල ප්‍රකාශය මගින් ද තහවුරු වෙයි. කොවිඩ් වසංගතය හමුවේ රටේ ආර්ථිකය බරපතල ගැටලුවකට මුහුන දී ඇති බවත්, ඒ අනුව රජයේ අපේක්ෂිත ආදායම විශාල ලෙස පහතවැටී ඇති බවත් සඳහන් කරමින්, රජයේ වියදම් “දැඩිලෙස” සීමා කරන බවට ඔහු අවධාරනය කලේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් අගෝස්තු 28 දා තම ට්විටර් ගිනුමේ සටහනක් තබමින්, වෛද්‍ය විශේෂඥයන් නිර්දේශ කරන ආකාරයේ දීර්ඝ අගුලු දැමීමක් ලංකාව වැනි රටකට 'ඔරොත්තු නොදෙන' බව සහ මෙලෙස රට වසා තැබෙන සෑම දිනකම දල දේශීය නිෂ්පාදිතයෙන් රුපියල් කෝටි 1500 ක් අහිමි වන බව ප්‍රකාශකොට තිබුනි. ඉන් ‌දින දෙකකට පසු ඔහු මාධ්‍යයට කියා සිටියේ, “කැඳයි රැවුලයි දෙකම බේරගන්න ඕන නම්” රට විවෘත කල යුතු බවයි.

දසදහස් ගනනකගේ ජීවිත රැක ගැනීමට අත්‍යවශ්‍ය වන දැඩි අගුලු දැමීමකට එරෙහිව “රටෙහි ආර්ථිකය” පිහිටුවීම, රාජපක්ෂ ආන්ඩුවේ පමනක් නොව, සමස්ත ධනපති සංස්ථාපිතයේම පිලිවෙතයි. ධනපති මාධ්‍යයෝ තම කතුවැකි වලින් මෙම සාපරාධී පිලිවෙත අතොරක් නැතිව වහරති. ඒ අතරින් වඩාත් කැපී පෙනෙන, අගෝස්තු 30 දා දි අයිලන්ඩ් කතුවැකිය මෙසේ පවසයි: “පසුගිය මාස කිහිපය තුළ අනෙකුත් රටවල වසංගත රෝග වැලැක්වීමේ ක්‍රමෝපායන් හි සිදු කල රැඩිකල් වෙනස්කම් වලින් ශ්‍රී ලංකාව ඉගෙන ගත යුතු අතර, අගුලු දැමීම තමන්ට විසඳුමක් නොවන බවත්, ඒවා අවසානයකට මඟක් පමනක් බවත් අවබෝධ කර ගත යුතුය.”

මෙහිලා දි අයිලන්ඩ් කතුවැකිය වඩාත් පැසසුමට ලක් කරන්නේ, බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ය. “ආසාදන වැඩි වීම සහ අනතුරු ඇඟවීම් මධ්‍යයේ වුවද නැවත (ආර්ථිකය) විවෘත කිරීමට බ්‍රිතාන්‍යය නිර්භීත තීරනයක් ගත්තේ” යැයි කතුවැකිය පවසයි. ඉන් නොනවතින දි අයිලන්ඩ්, ජොන්සන්ගේ පිලිවෙත අනුයන ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් ද අගයයි. වසංගතය තුරන් කිරීමේ මූලෝපාය තවදුරටත් ඉදිරියට ගෙනයාම විකාරයක් යැයි මොරිසන් මෑතකදී පැවසීය.

බ්‍රිතාන්‍යයේ අයි පුවත්පත හෙලිකල පරිදි, තවදුරටත් අගුලු දැමීම තුලින් “ජීවිත බේරා ගැනීම” සාධාරනීකරනය කල හැකිද යන්න තීරනය කිරීම සඳහා, ජොන්සන් පරිපාලනය විසින් “පිරිවැය-ප්‍රතිලාභ විශ්ලේෂනයක්” සිදු කර ඇත. ඒ අනුව, සතියකට සිදුවන කොවිඩ්-19 මරන සංඛ්‍යාව 1000 ඉක්මවුවහොත් පමනක් යලි අගුලු දැමීමක් සලකා බලන බවට අගමැතිවරයා තීරනය කල බව පුවත්පත පවසයි. ජොන්සන් ගේ මෙම මිනීමරු තීරනයට අනුව, ඉදිරි වසර තුල මිනිස් ජීවිත 50,000 ක් 'රටේ ආර්ථිකය' වෙනුවෙන් කැපකලයුතු වෙයි.

ලංකාවේ තත්වය ගතහොත්, නිල සංඛ්‍යා ලේඛන වලට අනුව පවා දෛනික කොවිඩ් මරන සංඛ්‍යාව 200 ඉක්මවන තතු යටතේ, සතියකට මිය යන රෝගීන් සංඛ්‍යාව 1400 ඉක්මවා යමින් පවතී. ඒ අනුව වසරක් තුල මිය යා හැකි සංඛ්‍යාව අවම වශයෙන් 70,000 කි. මරන සංඛ්‍යාව වැඩිවන බවට විශේෂඥයන් කරන පුරෝකථනයන් සැලකිල්ලට ගතහොත් මෙම මරන සංඛ්‍යාව වඩාත් ඉහල අගයක් ගනු ඇත.

මිනිස් ජීවිත රැක ගැනීමේ ලා අත්‍යවශ්‍ය වන අගුලු දැමීම්, ඒවායේ ආර්ථික පිරිවැය මත ප්‍රතික්ෂේප කිරීමේ මෙම තිරස්චීන පිලිවෙත අනුයන ජොන්සන්, මොරිසන් සහ රාජපක්ෂ ඇතුලු ලොවපුරා ධනපති පාලකයන් සමිබන්ධයෙන් ක්ෂමාලාපී වන අයි පුවත්පත, “අවාසනාවන්ත ලෙස, ආර්ථිකයට ඇති වන බලපෑම හේතුවෙන් ජීවිත ගලවා ගැනීමේ පිරිවැය කිරා මැන බැලීමට අගමැතිවරුන්ට සිදු වී ඇත. එය ක්‍රියාත්මක වන ආකාරය ගැන කතා කිරීමට කිසිවෙකුට අවශ්‍ය නැත” යනුවෙන් පවසයි.

ධනපති පාලකයන් විසින්, මානව වියදමට එරෙහිව ආර්ථික පිරිවැය කිරා මැන බැලීම හුදු “අවාසනාවක්” නොව, පුද්ගලික දේපොල සහ ලාභය මත පාදක වූ ධනපති ක්‍රමයේ නෛසර්ගික ලක්ෂනයකි. කුප්‍රකට දක්ෂිනාංශික ලේඛකයකු වන තෝමස් ෆ්‍රීඩ්මාන් විසින් “ප්‍රතිකාරය රෝගයට වඩා දරුනු විය නොහැක” යනුවෙන් ද, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් “ඉන්දියාව බේරාගත යුත්තේ වසංගතයෙන් නොව, අගුලු දැමීමෙන්” යනුවෙන් ද සූත්‍රගත කෙරුනේ ධනපති නිෂ්පාදන සම්බන්ධතා තුලින් නිර්නය වන “මිනිස් ජීවිත වලට ඉහලින් ලාභය තැබීමේ” මිනීමරු පිලිවෙතයි.

මෙම පිලිවෙතෙහි ගෝලීය මානව වියදම මේවනවිට කෙතෙක්ද යත්, ජීවිත මිලියන 4.52 ක් සහ ආසාදන මිලියන 218 කි. සුවපත්වූවන්ට ද දිගු කාලීන සංකූලතාවන්ගෙන් දුක් විඳීමට සිදුවන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. ලමුන් සම්බන්ධයෙන් ගත් කල, කොව්ඩ්-19 ආසාදනයෙන් බුද්ධිමය හැකියාව (IQ) විශාල වශයෙන් හීනවිය හැකි අතර, බහු පද්ධතිමය ප්‍රදාහය නම් වූ රෝගයට ගොදුරුවීමේ අන්තරාය ද පවතී. දැනටමත් ලොවපුරා ලමුන් සැලකියයුතු සංඛ්‍යාවක් මෙම තත්වයන්ගෙන් පීඩා විඳීමින් සිටිති. මෙය සමස්ත පරම්පරාවකටම නිෂේධනීයව බලපානු ඇත.

මේ සා ව්‍යසනකාරීව වසංගතය ඉදිරියට යමින් පැවතියදී, අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන පවා විවෘතව තබා ගනිමින් කම්කරුවන් වැඩට දක්කන ලොවපුරා ආන්ඩු, මහධනපතියන්ට රිසිසේ ලාභ මිරිකා ගැනීමට සියලු අවස්ථා සම්පාදනය කර දී ඇත. වසංගතයේ පලමු වසර තුල, ලොව බිලියනපතියන් 2,365 දෙනා තම වත්කම් එජ ඩොලර් ට්‍රිලියන 4 කින් එනම් සියයට 54 කින් වර්ධනය කරගෙන ඇති බව, ප්‍රතිපත්ති අධ්‍යන ආයතනය පෙන්වා දෙයි.

ඊට විපරීතව, වසංගතය මගින් ඇතිකල විවිධ දුෂ්කරතා හේතුවෙන් ප්‍රතිවිරුද්ධ සමාජ ධ්‍රැවයේ දරිද්‍රතාව කඳු ගැසෙමින් පවතී. ඔක්ස්ෆෑම් වාර්තාවක් පෙන්වා දෙන්නේ, මෙම කාල සීමාව තුල, දරිද්‍රතා රේඛාවෙන් පහල වන ලෝක ජනගහනය මිලියන 500 ඉක්මවා දෙගුනයක් දක්වා වැඩි වී ඇති බවයි.

ශ‍්‍රී ලංකාවේ ඉහලම සමාගම් නවයක්, 2021 වසරේ අප්‍රේල් සහ ජුනි අතර කාලය තුලදී රුපියල් බිලියන 21 ක සාමූහික ලාභයක් උපයා ගත්හ. මහා සමාගම් මෙලෙස ලාභ කඳු ගසා ගන්නා අතරම ලක්ෂ සංඛ්‍යාත මහජනතාවට රැකියා සහ ආදායම් මාර්ග අහිමි විය. උද්ධමනය හේතුවෙන් එකී මහජනතාව දැඩී පීඩනයකට ලක්ව සිටිති. පසුගිය වර්ෂයට සාපේක්ෂව ජුනි මාසයේදී සියයට 6.1 කින් ද, ජූලි මාසයේදී සියයට 6.8කින් ද උද්ධමන රේට්ටු ඉහල ගියේය.

අගුලු දැමීම් වලට තමා එරෙහි වන්නේ, එදිනෙදාවේල සොයා ගන්නා මහජනතාව ගැන උත්සුකයෙන් බවට ජනාධිපති රාජපක්ෂ ඉදිරිපත් කරන තර්කයේ ව්‍යාජ සහ වංචනිකභාවය ඉහත සංඛ්‍යාලේඛන මගින්මත් සනාථ කෙරේ. ඔහුගේ “ආර්ථිකය” රැක ගැනීමේ පිලිවෙත යටතේ මහධනපතියන් දැවැන්ත ආර්ථික ප්‍රතිලාභ අත්පත් කර ගනිද්දී, දුගීන් වඩවඩාත් දරිද්‍රතාවයට ඇද වැටෙමින් පවතී. මෙම පිලිවෙතේ වඩාත් සාපරාධී ප්‍රතිඵලය වනුයේ 9000 කට අධික මිනිස් ජීවිත බිලිගනිමින් සහ තවත් දසදහස් ගනනකගේ ජීවිත ගිල ගැනීමේ දිශාවට වසංගතය වේගයෙන් ඇදී යාමයි.

අහිමිවන ජීවිත පිලිබඳ සැබෑ උත්සුකයෙන් සහ තමාසතු විද්‍යාත්මක ඥානයට අවංකභාවයෙන් ඉහත විද්‍යාඥයන් ඉදිරිපත් කරන නිර්දේශ වලින් ගලා එන නිගමනය වන්නේ, පුලුල් ලෙස පරීක්‍ෂන පැවැත්වීම, ආශ්‍රිතයන් සොයා යාම, ආසාදිත රෝගීන් ආරක්ෂිතව හුදකලා කිරීම, දැඩි සංචරන සීමා පැනවීම, සියලුම පාසල් සහ අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සහ සේවා ස්ථාන වසා දැමීම, එන්නත්කරනය වේගවත් කිරීම, රෝහල් ධාරිතාව ප්‍රසාරනය කිරීම ආදිය වහා ක්‍රියාත්මක කලයුතු බවයි.

නමුත් ඉහත පියවර සියල්ල වෛරසය මුලිනුපුටා දැමීම ඉලක්ක කරගත් පුලුල් ගෝලීය මූලෝපායක කොටසක් ලෙස භාවිතා කල යුතු උපායන් ය. එම මූලෝපාය ක්‍රියාවට දැමීමේදී, අගුලු දැමීමෙන් පීඩාවට පත්වන සියලුම කම්කරුවන් සහ අනෙකුත් පීඩිතයන් සඳහා පූර්න ආදායම් ආරක්ෂනයක් සහතික කලයුතු අතර ඔන්ලයින් අධ්‍යාපනයට අවශ්‍ය සියලු පහසුකම් සිසුන්ට සහ ගුරුවරුන්ට නොමිලේ ලබාදිය යුතුය.

එම මූලෝපාය සඳහා අවශ්‍ය බිලියන සංඛ්‍යාත මුදල් සම්පාදනය කර ගැනීමටත්, ප්‍රතිරෝධයකින් තොරව එම මූලෝපාය ක්‍රියාවට නැංවීමටත්, මහා පරිමාන බැංකු, සුවිසල් වතු සහ දැවැන්ත කම්හල් කම්කරු පංති පාලනය යටතේ ජනසතු කලයුතු වෙයි. එය කල හැක්කේ, කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වටා ගොවීන් ඇතුලු අවශේෂ පීඩිතයන් රැලිකර ගනිමින් ජාත්‍යන්තර සමාජවාදය සඳහා ගෙනයන සටනක කොටසක් ලෙස කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමෙනි. එවන් ආන්ඩුවක් මගින් බිලියන සංඛ්‍යාත විදේශ නය ද ප්‍රතික්ෂේප කලයුතු වෙයි.

“වසංගතය නැවැත්විය හැකි එකම ක්‍රමය නම් කොවිඩ්-19 මුලිනුපුටා දැමීමයි” යන හිසින් අගෝස්තු 21 දා ලෝසවෙඅ හි පල වූ ලිපියෙන් පැහැදිලි කෙරුනු පරිදි, “මුලිනුපුටා දැමීමේ මූලෝපාය ක්‍රියාත්මක කිරීම සඳහා, ජාත්‍යන්තරව ඒකාබද්ධ කෙරුනු කම්කරු පන්තියේ බලගතු මහජන ව්‍යාපාරයක් වර්ධනය කිරීම අවශ්‍ය වේ. ප්‍රතිපත්ති වෙනසකට බල කිරීම සඳහා අවශ්‍ය සමාජ බලවේගය උත්පාදනය කල හැක්කේ ලාභ අරමුනු සඳහා නොවන සහ උමතු ලෙස පුද්ගලික ධනය ලුහුබැඳ නොයන මහජන ව්‍යාපාරයකට පමනි.”

Loading