ඉදිරිදර්ශන

රාජපක්ෂගේ හදිසි නීති පාලනයට එරෙහිව ශ්‍රී ලාංකික කම්කරුවන් ආරක්ෂා කරනු!

[මෙය Defend Sri Lankan workers against Rajapakse’s state of emergency! යන මැයෙන් 2021 සැප්තැම්බර් 17 පලවූ ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි]

අගෝස්තු 30 වන දින ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රකාශයට පත් කරන ලද රුදුරු හදිසි නීතිය, ශ්‍රී ලංකාවේ පමනක් නොව ලොව පුරා සිටින කම්කරුවන්ට අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතුය. කොවිඩ්-19 වසංගතය උත්සන්න වීම සමග ජාත්‍යන්තර ආර්ථික අර්බුදය වර්ධනය වත්ම, ධනපති පන්තිය ආඥාදායකත්වයක් පිහිටුවමින් නැගී එන කම්කරු පන්ති අරගල තලා දැමීමට උත්සාහ කරයි.

බන්ධනාගාර රැඳවියන්ට ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු, කොලඹට උතුරින් පිහිටි, මහර ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටින එස්ටීඑෆ් කමාන්ඩෝ භටයින් (ඡායාරූපය: ෂෙහාන් ගුනසේකර)

ශ්‍රී ලංකා රුපියල පහත වැටීම, ආහාර හිඟය සහ ප්‍රධාන ආහාර ද්‍රව්‍ය වල මිල දැවැන්ත ලෙස ඉහල යාම මධ්‍යයේ රාජපක්ෂ හදිසි නීතිය පැනවීය. සහල් සහ සීනි කිලෝග්‍රෑමයක මිල පිලිවෙලින් රුපියල් 250 සහ 220 දක්වා දෙගුන වී තිබේ. රජයට අයත් සතොස වෙලඳ සැල් වලින් සීනි මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයෝ දිගු පෝලිම්වල බලා සිටිති. හදිසි නීතිය මඟින් “මහජන ආරක්ෂාව සහ යහපැවැත්ම ද, ප්‍රජාවේ ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවා පවත්වා ගෙන යාම ද” සහතික කරන බව රාජපක්ෂ කියා සිටී. කෙසේ වෙතත්, ඇත්ත වශයෙන්ම එය කම්කරුවන්ට හා ගම්බද දුගීන්ට එරෙහි අත්‍යසමාන මර්දනයකට අනුමැතිය ලබා දෙයි.

එය, රාජපක්ෂට “මහජන ආරක්ෂාව හා මහජන සාමය සුරක්ෂිත කිරීම, කැරලි, කෝලාහල හෝ සිවිල් කැලඹීම් මර්දනය කිරීම ද, ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවාවන් පවත්වාගෙන ද සඳහා අවශ්‍ය හෝ යෝග්‍ය බව ඔහුට පෙනෙන” ඕනෑම පියවරක් ගැනීම පිනිස දුරදිග යන ඒකාධිපති බලතල ලබා දෙයි. මේ අනුව රාජපක්ෂට නීති සංශෝධනය කිරීමට හෝ අත්හිටුවීමට, වර්ජන හෝ වෙනත් අරගල තහනම් කිරීමට, දේශපාලන පක්ෂ තහනම් කිරීමට සහ මාධ්‍ය වාරනය කිරීමට හැකි ය.

මෙයට පෙරත්, මැයි 27 දා ප්‍රකාශයට පත් කරන ලද සහ පසුගිය සතියේ අළුත් කරන ලද අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා පනත වැනි මර්දනකාරී නීති රාජපක්ෂ විසින් පනවන ලද අතර එමඟින් මුළු රාජ්‍ය අංශයේම පාහේ නැතිනම් කම්කරුවන් මිලියනයකට ආසන්න ප්‍රමානයක වැඩ වර්ජන තහනම් කර ඇත. එසේම ඔහු උසස් සිවිල් තනතුරු සඳහා හිටපු සහ සේවයේ නියුතු හමුදා නිලධාරීන් ගනනාවක් පත් කර තිබේ. පාසල් වසා දමා ඇති මුත්, බොහෝ වැඩබිම්, විශේෂයෙන් ඇඟලුම් කර්මාන්තය වැනි අපනයන කර්මාන්ත “අත්‍යවශ්‍ය” යැයි සලකනු ලබන හෙයින්, ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් දිවයිනේ කොවිඩ්-19 ආසාදනයන් නැගී ඒමකට මුහුන දෙමින් තිබියදීත් ඒවා විවෘතව පවතී. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ලංකාවේ අවප්‍රමාන කල නිල සංඛ්‍යාලේඛනවලට අනුව, සමස්ත ආසාදන සංඛ්‍යාව 488,000 ඉක්මවා ඇති අතර මුළු මරන සංඛ්‍යාව 11,000 කි.

කෙසේ වෙතත්, මෙම ප්‍රතිගාමී පියවරයන්, වැඩී එන කම්කරු අරගල රැල්ලකට මුහුන දී ඇත. මාස දෙකකටත් වැඩි කාලයක තිස්සේ රජයේ පාසල් ගුරුවරු 250,000 ක් පමන වැඩි වැටුප් ඉල්ලා වර්ජනයේ යෙදී සිටිති. වසංගතය තුල ආර්ථික දුෂ්කරතා සහ අනාරක්ෂිත සෞඛ්‍ය කොන්දේසිවලට එරෙහිව සෞඛ්‍ය, තැපැල්, දුම්රිය, වරාය, බලශක්ති, සංචාරක හා ඇඟලුම් යන අංශවල සේවකයෝ මීට පෙර වැඩ වර්ජන හා විරෝධතා පවත්වා තිබේ. අතිකාල දීමනා සහ වැටුප් කප්පාදු කිරීම හේතුවෙන් ඛනිජ තෙල් සේවකයින් අතර නොසන්සුන්තාව වැඩි වෙමින් පවතී.

රාජපක්ෂ දැන් ප්‍රතිචාර දක්වා ඇත්තේ මිලිටරිය හා දක්ෂිනාංශික, ෆැසිස්ට්වාදී කොටස් මත රඳා පවතින ජනාධිපති ආඥාදායකත්වයක් කරා යන ගමන තීව්‍ර කිරීමෙනි. වැඩෙන කම්කරු පන්ති අරගලයන් සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් එකට එක් කිරීම සහ එමඟින්, සිය පාලනය රැක ගැනීම සඳහා ඔවුන් ක්‍රමානුකූලව අවුලුවා ඇති වාර්ගික භේදයන්ට වල කැපීම ගැන ලංකාවේ පාලක පැලැන්තිය විශේෂයෙන් උත්සුකව සිටී.

රාජ්‍ය ප්‍රචන්ඩත්වයේ හා මර්දනයේ වැඩිවන තර්ජනයට එරෙහිව, තීරනාත්මක කර්තව්‍යය නම්, කම්කරු පන්තිය දේශපාලනිකව බලමුලු ගැන්වීම සහ එය මුහුන දෙන තත්වය පිලිබඳ අවබෝධයෙන් සන්නද්ධ කිරීමයි. මේ සියල්ලටමත් වඩා, මෙහි තේරුම නම්, ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හොඳම සගයන් වන්නේ වෙනත් රටවල සහ ලොව පුරා සිටින කම්කරුවන් බව පැහැදිලි කිරීමයි. ඇත්ත වශයෙන්ම, ශ‍්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවතින පන්ති අරගල, කම්කරු පන්තියේ ජාත්‍යන්තර නැගිටීමේ කොටසකි.

එක්සත් ජනපදය, යුරෝපය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන හා මෝටර් රථ කර්මාන්තය ඇතුළු විවිධ අංශවල කම්කරුවෝෙ වඩා යහපත් වැටුප් හා සේවා කොන්දේසි වෙනුවෙන් ද කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ අනාරක්ෂිත සෞඛ්‍ය තත්වයන්ට එරෙහිව ද වැඩ වර්ජන සහ විරෝධතා ඇතුළු අරගලවල නිමග්නව ඇත. රාජපක්ෂ ආන්ඩුවේ කුරිරු තර්ජනයන්ට එරෙහි අරගලයේදී ඔවුන්ගේ ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන් ආරක්ෂා කිරීම සඳහා බලමුලු ගැන්විය යුතු බලවේගය මෙයයි.

සෑම රටකම, කම්කරුවෝ එකම සාරභූත ගැටලුවලට මුහුන දෙති —එනම්, පාලක ප්‍රභූව කොවිඩ්-19 වසංගතය තුරන් කිරීම සඳහා විද්‍යාත්මකව පදනම් වූ අරගලයක් සිදු කිරීම කිරීම ප්‍රතික්ෂේප කිරීම සහ ඒකාධිපතිවාදය වෙත හැරීම යි.

රිපබ්ලිකන් පක්ෂයේ සහ මිලිටරියේ හා පොලිසියේ අංශවල අනුබලය ලබමින්, හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, විවෘතවම ෆැසිස්ට්වාදී ව්‍යාපාරයක් ප්‍රවර්ධනය කරයි. මෙය, ජෝ බයිඩන්ගේ මැතිවරන ජයග්‍රහනය කොංග්‍රස් මන්ඩලය විසින් සහතික කරනු ලැබීම අවහිර කිරීමට උත්සාහ කරමින් ඔහුගේ ෆැසිස්ට්වාදී ආධාරකරුවන් කැපිටල් ගොඩනැගිල්ල වෙත කඩා වැදුනු, ජනවාරි 6 සිදුවීම් වලට තුඩු දුන්නේය. ජනවාරි 6 කුමන්ත්‍රන උත්සාහය අසාර්ථක වුවද ට්‍රම්ප් වටා සිටින ෆැසිස්ට් බලවේග තම කුමන්ත්‍රන අඛන්ඩව ගෙනයන අතර, ඔවුහු අධිකරනය හා දේශපාලන සංස්ථාපිතය තුල සිටින සිය විරුද්ධවාදී කන්ඩායම් පෙරලා දැමීමට අන්ත දක්ෂිනාංශික කුමන්ත්‍රනයක් සදහා කැදවුම් කරන, බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ සමඟ සබඳතා පවත්වති.

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදිගේ හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුව කම්කරු පන්තිය බෙදීම හා දුර්වල කිරීම සඳහා මුස්ලිම්වරුන්ට සහ අනෙකුත් සුළුතරයන්ට එරෙහිව ස්වෝත්තමවාදය සහ අන්ත දක්ෂිනාංශික බලවේග අවුස්සාලයි.

කල් පසු වී ධනේශ්වර සංවර්ධනය සිදු වූ රටවල ධනපති පන්තියට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පිහිටුවීමට ඓන්ද්‍රීයව නොහැකි බව ශ්‍රී ලංකාවේ ඉතිහාසය නැවත නැවතත් පෙන්නුම් කර ඇත. මෙම ගැටලු විසඳාලිය හැක්කේ, සමාජවාදය සඳහා වන අරගලයක් තුල, පුළුල් පීඩිත ජනතාව ඒකරාශි කරන, කම්කරු පන්තියේ ස්වාධීන විප්ලවවාදී මැදිහත් වීමකින් ම පමනි. එය, එහි පරිමාවෙන් ජාත්‍යන්තර අරගලයකි. මෙය, නොනවතින විප්ලවය පිලිබඳ න්‍යාය තුල, 1917 ඔක්තෝම්බර් රුසියානු විප්ලවයේ වී. අයි. ලෙනින් සමඟ සම නායකත්වය දැරූ ලියොන් ට්‍රොට්ස්කි විසින් විස්තාරනය කරන ලදී.

1948 දී බ්‍රිතාන්‍යයෙන් නිල වශයෙන් නිදහස ලබා ගත් දා සිට මේ දක්වා ශතවර්ෂ කාර්තු තුනක කාලයෙන් වැඩි කොටසක් තුල, ශ්‍රී ලංකාව පැවතී ඇත්තේ හදිසි නීති පාලනය යටතේ ය. කම්කරුවන්ගේ හා ග්‍රාමීය දුගීන්ගේ සෑම දැවැන්ත ඓතිහාසික විරෝධයක්ම වැලැක්වීමට හෝ මැඩපැවැත්වීමට ශ්‍රී ලංකාවේ ධනපති පන්තිය හදිසි නීතිය පැනවීය. 1953 හර්තාලය, 1971 ගම්බද තරුන කැරැල්ල සහ 1983-2009 කාලය තුල බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව ගෙනගිය වසර 30 කට ආසන්න දෙමල විරෝධී වාර්ගික යුද්ධය මෙයට ඇතුලත් ය.

වර්තමාන හදිසි නීතිය පනවා ඇත්තේ ගෝලීය ධනවාදය වඩා තියුනු ආර්ථික හා දේශපාලන අර්බුදයකට මුහුන දී සිටින ගුනාත්මකව වෙනස් වූ කොන්දේසි යටතේ ය. සෑම රටකම ධනපති පාලනය, සංගත හා මූල්‍ය කතිපයාධිකාරියේ ලාභ මිනිස් ජීවිතවලට ඉහලින් තබන, වසංගතය කෙරෙහි පාලක පැලැන්තියේ සාපරාධී, මිනීමරු ප්‍රතිපත්ති මඟින් අපකීර්තියට පත්ව ඇත. ගෝලීය වශයෙන් වාර්තා වූ මුළු කොරෝනා වෛරස් ආසාදිතයින් මිලියන 227 ඉක්මවා ඉහල ගොස් ඇති අතර මුළු මරන මිලියන 4.6කට වැඩි ය. බ්‍රිතාන්‍යයේ ඉකොනොමිස්ට් සඟරාව විසින් උපුටා දක්වන ලද සංඛ්‍යාලේඛන තක්සේරුවලට අනුව කොවිඩ්-19 හේතුවෙන් මිලියන 15 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත.

පාලක පන්තියේ සිංහල, දෙමල සහ මුස්ලිම් යන සෑම කොටසක්ම, මෙම බිහිසුනු ප්‍රතිපත්තියට හා ඒකාධිපතිවාදය වෙත හැරීමට සම්බන්ධ වී සිටිති.

සමගි ජන බලවේගය (සජබ), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) වැනි විපාර්ශ්වික පක්ෂ, රාජපක්ෂගේ හදිසි නීතිය ගැන නාමික විවේචන එල්ල කරන මුත් කම්කරුවන්ගේ සහ වැඩ කරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන තර්ජන ගැන නිහඬව සිටිති. එක්සත් ජාතික පක්ෂය රාජපක්ෂගේ ඒකාධිපති පියවරයන්ට නිහඬව පිටුබලය දෙමින්, රාජපක්ෂ විවේචනය කිරීමට පවා උත්සුක වී නැත. පසුගිය ආන්ඩු වල හවුල්කරුවන් හෝ ආධාරකරුවන් වශයෙන් සිටි මේ සියලු පක්ෂවලට හදිසි නීතිය හා අනෙකුත් මර්දන නීති සහ වැඩ කරන ජනතාවට එරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පියවරයන් අනුමත කිරීමේ දීර්ඝ වාර්තාවක් ඇත.

මහා කර්තව්‍යය නම්, කම්කරු පන්තිය ධනේශ්වර පාලනයට එරෙහිව සෘජු දේශපාලන අරගලයකට අවතීර්න වන විට ජාත්‍යන්තර දේශපාලන පෙරටු බලඇනියක් දේශපාලනිකව සන්නද්ධ කිරීම හා එක්සත් කිරීම ය. විශේෂයෙන් ම මෙහි අර්ථය වන්නේ, රාජපක්ෂ ආන්ඩුව විසින් ප්‍රතිමූර්තිමත් කරනු ලබන කප්පාදු පිලිවෙත්වලට හා ආඥාදායකත්වයට එරෙහිව සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන් එක්සත් කිරීමයි. අන් සියල්ලටත් වඩා, මෙයින් අදහස් කරන්නේ දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තර තම පන්ති සහෝදර සහෝදරියන් සමඟ ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ එකමුතුභාවය තහවුරු කිරීමේ අරගලයකි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) කැඳවුම් කල පරිදි, ක්‍රියාකාරී කමිටු වල ජාත්‍යන්තර කම්කරු සන්ධානයක් ගොඩනැගීම, අරගලයේ යෙදී සිටින ජාත්‍යන්තර කම්කරු පන්තියේ එකමුතුව ගොඩනැගීමේ තීරනාත්මක පියවරකි.

Loading