වතු කම්කරුවෝ වැඩ ඉලක්ක ඉහල දැමීමට හා වැටුප් කප්පාදුවට එරෙහිව වර්ජනය කරති

මස්කෙලිය අප්-කොට්හි ග්ලිනුයිජ් වත්තේ ඩීසයිඩ් කොටසේ 500 කට ආසන්න කම්කරුවෝ වැඩ ඉලක්ක දැරිය නොහැකි මට්ටමට ඉහල දැමීමට සහ වැටුප් කප්පාදුවට එරෙහිව සැප්තැම්බර් 21 වෙනිදා සිට අඛන්ඩ වර්ජනයක යෙදී සිටිති. ඩීසයිඩ් වත්තේ කම්කරුවන් වර්ජනයට පිවිස ඇත්තේ වත්ත තුල ක්‍රියාත්මක වන ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) සහ ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්) යන වෘත්තීය සමිති වලට පිටිනි.

වර්ජනයේ යෙදෙන ඩීසයිඩ් වත්තේ කම්කරුවෝ [ස්තූතිය: කේ. කිෂාන්තන්]

වෘත්තීය සමිති ක්‍රියාත්මක වන්නේ අරගලයට විරුද්ධව ය. ඔවුහු ඩීසයිඩ් වත්තේ කම්කරුවන්ගේ අරගලය සමග ග්ලිනුයිජ් කොටසේ කම්කරුවන් සම්බන්ධ වීම වලකමින් ඔවුන් වැඩට යැවීමට කටයුතු කලහ. කෙසේ නමුත් සමාජවාදී සමානතා පක්ෂයේ මූලිකත්වයෙන් ග්ලිනුයිජ් වත්තේ පිහිටුවාගෙන තිබෙන කම්කරු ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයන් ඊට එරෙහිව පසුගිය දින කිහිපය තුල කල මැදිහත්වීම හේතුවෙන් වෘත්තීය සමිතිවල භේදකාරිත්වය කපාගෙන 29 වෙනිදා සිට එම කම්කරුවෝ ද ඩීසයිඩ් කොටසේ කම්කරුවන් සමග වර්ජනයට එකතු වී සිටිති. ඩීසයිඩ් කොටසේ කම්කරුවන්ද තම ක්‍රියාකාරී කමිටුවට සම්බන්ධ කරගනිමින් එය පුලුල් කිරීමට කටයුතු කරන බව එහි සාමාජිකයෝ පැවසූහ.


මින් ගම්‍ය වන්නේ වෘත්තීය සමිතිවල මග ඇවිරීම් සහ භේදකරනයන් කපාගෙන තම අයිතීන් සඳහා ඒකාබද්ධ අරගලයක් කිරීමට කම්කරුවන්ට පවතින බලගතු උවමනාවයි.

ඩීසයිඩ් වර්ජනයට සහය පල කරමින් වර්ජනයට එක් වූ ග්ලෙනුයිජ් වත්තේ කම්කරුවෝ [ලෝසවෙඅ]

නල්ලතන්නිය මරේ වතු යායේ කම්කරුවෝ ද වැඩ ඉලක්ක ඉහල දැමීමට සහ වැටුප් කප්පාදුවට එරෙහිව 27 වෙනිදා එක් දින වර්ජනයක නිරත වූහ. එම වර්ජනයට මරේ වත්තේ බෝරස්, නල්ලතන්නිය ඉහල සහ පහල, වලදල, ගැඩස්, පුදුකාඩු සහ රාජමලෙයි යන කොටස් 7 ක කම්කරුවන් 200 ක් පමන සහභාගී වී ඇත.

මෑත දී රුපියල් 1000 දක්වා වැඩිකල දෛනික වැටුප ලබා ගැනීමට නම් දෛනිකව දලු කිලෝ 20 ක් නෙලිය යුතු බව වතු පාලකයන් විසින් මෙම වතුවල කම්කරුවන්ට නියෝග කර ඇත. එය දැනට දෛනිකව නෙලන දලුකිලෝ 16 කිලෝ 4 න් ඉහල දැමීමකි. රුපියල් 1000 දෛනික වැටුප ලැබෙන්නේ එම ඉලක්කය සම්පූර්න කරන කම්කරුවන්ට පමනක් බව ද වතු පාලකයන් පවසා ඇත. ඉලක්කය සම්පූර්න කිරීමට අසමත් වුවහොත් කම්කරුවන්ට ලැබෙන්නේ කඩන කිලෝ ගනනට අනුව සැකසෙන අඩු වැටුපකි.

ග්ලිනුයිජ් වත්තේ දලු කිලෝවකට ගෙවන්නේ රුපියල් 40 කි. ඒ අනුව දලු කිලෝ 16 ක් කැඩුවොත් කම්කරුවෙකුට ලැබෙන්නේ රුපියල් 640 යි. එය රුපියල් 360 ක් වැටුප් කප්පාදුවකි. කාලගුනික හේතු හෝ දලු හිඟකම නිසා කඩන දලු ප්‍රමානය තවත් අඩු වුවහොත් වැටුප් කප්පාදුවත් ඒ හා සමානව කෙරෙයි.

ජීවන වියදම පිම්මේ ඉහල යන කොන්දේසි තුල දෛනික වැටුප රුපියල් 1000 කරන ලෙස ඉල්ලා වතු කම්කරුවෝ පසුගිය වසරේ අරගල වල නිරත වූහ. වතු සමාගම් කම්කරුවන්ගේ ඉල්ලීම එක දිගටම ප්‍රතික්ෂේප කිරීම නිසා කම්කරුවන් අතර උත්සන්න වූ කෝපය සහ නොසන්සුන්කම සමනය කිරීමේ අරමුන ඇතිව රාජපක්ෂ ආන්ඩුව වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 ක් කරන ලෙස පසුගිය වසරේ අප්‍රේල් මාසයේ වතු සමාගම් වලට නියෝග කලේ ය. එහෙත් වතු සමාගම් පලමුව එය ප්‍රතික්ෂේප කර පසුව එකඟ වූ නමුත් වැඩ වේගවත් කිරීම සහ වැටුප් කප්පාදුව ක්‍රියාවට දමා ඇත්තේ ඊට හිලව් වශයෙනි. වැටුප් කප්පාදුවේ කොටසක් ලෙස සතියේ වැඩ දින ගනන ද දින 6 සිට 5 දක්වා අඩුකර ඇති අතර සමහර වතුවල දින තුනකින් කප්පාදු කර තිබේ.

ආන්ඩුවේ රසායනික පොහොර තහනම නිසා කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා වල් පැලෑටි කැපීමට පිරිමි කම්කරුවන් යොදවා ඇති බවත් ඔවුන් දිනකට කිලෝ 700 ක් කැපිය යුතු බවත් එය දුෂ්කර වැඩක් බවත් ඩීසයිඩ් වත්තේ කම්කරුවෝ පැවසූහ.

වැඩ ඉලක්ක ඉහල දැමීම සහ වැටුප් කප්පාදුව පිලිබඳව ඩීසයිඩ් වත්තේ කම්කරු ස්ත්‍රියක් මෙසේ පැවසුවාය: “පාලනාධිකාරය කිව්වට කිලෝ 20 ක් දවසකට කඩන්න බැහැ. දවසට උපරිම කඩන්න පුලුවන් කිලෝ 16 ක් පමනයි. පාලකයෝ වත්ත නියම විදියට නඩත්තු කරන්නෙත් නැහැ. ඒ නිසා දලු ප්‍රමානය තවත් අඩුවෙනව. කලින් වත්ත සුද්ධ කිරීමට පිරිමි අය යෙදෙව්වා. දැන් ඒ අයවත් දලු කඩන්න යොදවනවා. පොහොර සහ කෘෂි රසායනික නිසි විදිහට නො යෙදීම නිසා අස්වැන්න අඩුයි. වත්තේ හෙක්ටයාර් 600 න් දැනටමත් 200 ක තේ වගාව අත හැරලා. වගා වපසරියත් අඩුවෙලා. ඒ නිසා පාලකයෝ ඉල්ලන ටාගට් එක කොහොමටත් දෙන්න බැහැ. ටාගට් එක ඉහල දාලා පඩිය කපන්න වෘත්තීය සමිති සහයෝගය දෙනවා”.

වෘත්තීය සමිති කම්කරුවන් භේද කිරීමට වැඩ කරන බව ඩීසයිඩ් වත්තේ කාලිදාස් පැවසීය. “අපි වර්ජනය කරලා ඉද්දි වෘත්තීය සමිති අනෙක් කොටසේ කම්කරුවෝ වැඩට යවනවා. සියලුම කම්කරුවෝ එකතු වුනොත් විතරයි ඉල්ලීම් දිනන්න පුලුවන්. අපේ අරගලය ජයග්‍රහනය කිරීම සඳහා වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීමේ අදහසට මම එකඟයි.”

2016 වත්තේ කම්කරුවන් වැඩ වේගවත් කිරීමට එරෙහිව කල වර්ජනයේ දී එය බිඳීමට සහ ක්‍රියාකාරී කම්කරුවන් දඩයම් කිරීමට වෘත්තීය සමිති සහ වතු පාලකයන් එකාබද්ධව කටයුතු කල ආකාරය ජේ. මෝහන්දාස් විස්තර කලේ ය: “එම වර්ජනයේ දී කම්කරුවෝ 7ක් මස්කෙලිය පොලීසියෙන් අත් අඩංගුවට ගත්තා. ඔවුන් රක්ෂාවෙනුත් අස්කලා. කිසිම වෘත්තීය සමිතියක් අපි වෙනුවෙන් මැදිහත් වුනේ නැහැ. සමාජවාදී සමානතා පක්ෂය පමනයි අපි වෙනුවෙන් පෙනී හිටියේ. මට මතකයි අස්කල කම්කරුවෝ නැවත සේවයේ පිහිටුවන්න උද්ඝෝෂනය කලා. රැස්වීමකුත් තිබුනා”.

ගුරුවරුන් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා වර්ජනයේ යෙදී සිටින නමුත් රජය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව ඔහු පැවසීය. “ඉල්ලීම් දෙනවා වෙනුවට හදිසි නීති යොදාගෙන ගුරු වර්ජනය මර්දනය කරන්නයි ආන්ඩුව උත්සාහ කරන්නේ” ඉල්ලීම් දිනා ගැනීම පිනිසත් රජයේ සහ හාම්පුතුන්ගේ මර්දනයට එරෙහිවත් කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් අවශ්‍ය බව ද ඔහු පැවසීය.

දෛනික වැටුප රුපියල් 1000 කලාට පසුව වැඩ ඉලක්ක ඉහල දැමූ බව මරේ වත්තේ කම්කරුවෙක් කීවේය: “තද වැසි සහ නියඟය තියෙන කාලෙට දලු කැඩීම අඩුවෙනවා. ඒ නිසා පාලකයෝ ඉල්ලන ටාගට් එක හැමදාම දෙන්න බැහැ. මේ දවස් වල තදින් වහින නිසා දවසකට කඩන්න පුලුවන් දලු කිලෝ හතත් දහයත් අතර ගනනක්. කිලෝ එකක් රුපියල් 50 යි. පඩිය ලැබෙන්නේ රුපියල් 350 ක් 500 ක් වගේ. රුපියල් 1000 කරන්න කලින් අඩුගානේ රුපියල් 730 ක් දවසකට ලැබුනා. දැන් එ්කත් නැහැ. බඩු මිල දවස ගානේ ඉහල යනවා. ලැබෙන පඩියෙන් කොහොමත් ජීවත් වෙන්න බැහැ.”

මෙම වතුවල පමනක් නොව වතුකරය පුරාම වැඩ වේගවත් කිරීම සහ වැටුප් කප්පාදුව ක්‍රියාවට දැමෙයි. ඊට එරෙහිව පසුගිය මාස කිහිපය තුල හැටන්, දික්ඔය, බොගවන්තලාව, තලවකැලේ ඇතුලු ප්‍රදේශ වල වතු කම්කරුවෝ අරගල වලට පිවිසුනහ. වෘත්තීය සමිති විසින් එම අරගල හුදකලා කොට පාවාදෙනු ලැබූ නමුත් තම අයිතීන් සඳහා සටන් කිරීමේ උවමනාව වඩ වඩා කම්කරුවන් අතර වර්ධනය වෙමින් ඇත.

වෘත්තීය සමිති වල සිරකිරීම් බිඳිමින් වතු කම්කරුවන් අතර වැඩෙන අරගල, කොරෝනා වසංගතය විසින් ගැඹුරු කරනු ලැබූ ධනවාදයේ අර්බුදය තමන් මත පැටවීමට එරෙහිව ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව වර්ධනය වන පන්ති අරගලයේ කොටසකි.

වතු සමාගම් විසින් කම්කරුවන් මත වැඩ වේගවත් කිරීම සහ වැටුප් කප්පාදුව ක්‍රියාවට දැමෙන්නේ කොරෝනා වසංගතය විසින් තීව්‍ර කෙරී ඇති තේ කර්මාන්තයේ අර්බුදය ඔවුන් මත පටවා තම ලාබ තරකර ගැනීමේ උවමනාව ඇතිවය. ආන්ඩුව සහ වෘත්තීය සමිති පෙනී සිටින්නේ වතු සමාගම්වල මෙම ලාභ පිපාසිත උත්සුකතාවයන් වෙනුවෙනි.

කම්කරු පන්තියේ අනෙක් සෑම කොටසකට මෙන් ම, වතු කම්කරුවන්ට ද තම අයිතීන් දිනා ගත හැක්කේ ඒ සඳහා වූ අරගලය තමන් අතට ගනිමින් රාජපක්ෂ ආන්ඩුවේ සහ වතු සමාගම් වල ප්‍රහාර වලට එරෙහිව දියත් කරන කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් තුලින් පමනි. එවන් අරගලයක් සංවිධානය කිරීමේ ප්‍රථම කොන්දේසිය වන්නේ ධනපති පාලක පන්තියේ සහ වතු සමාගම් ඇතුලු ධනපති හාම්පුතුන්ගේ ඍජු ඒජන්තයන් ලෙස කම්කරු පන්තියට හතුරුව ක්‍රියාත්මක වන වෘත්තීය සමිති වලින් ස්වාධීනව සංවිධානය කරන ක්‍රියා කමිටු තුලිනි. ග්ලිනුයිජ් කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුව එම අරගලයේ වැදගත් ඉදිරි පියවරකි.

ග්ලිනුයිජ් අරගලය හුදකලා කිරීමට සහ පාවාදීමට වෘත්තීය සමිති වලට ඉඩ නොතබා, සමාන ප්‍රශ්න වලට මුහුන දී සිටින සෙසු වතුවල කම්කරුවන් ද එවන් ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් අරගලයට ඒකාබද්ධ විය යුතුය. එකී කමිටුවල සන්ධානයක් හරහා කම්කරු පන්තියේ සෙසු කොටස් ද තම අරගලය වටා බලමුලු ගන්වා ගැනීමට වතුකම්කරුවන් වහා පියවර ගත යුතුය.

Loading