හදිසි නීතියට එරෙහි සසප උද්ඝෝෂනයට මහජන සහයෝගය ගොනු වෙයි

අගෝස්තු මස 30 දා රාජපක්ෂ ආන්ඩුව පැනවූ හදිසි නීතියට එරෙහි සමාජවාදී සමානතා පක්ෂය (සසප) ගෙන යන උද්ඝෝෂනයට සහාය පල කරන දිවයිනේ විවිධ ප්‍රදේශවල කම්කරුවෝ සහ තරුනයෝ, රාජ්‍ය මර්දනය ඇතුලු අනෙකුත් ධනපති ප්‍රහාර පරාජය කිරීමේ සසප වැඩපිලිවෙල සාකච්ඡා කිරීමට පෙරට පැමිනෙමින් සිටිති.

සසප මේ මස මුල, “ජනාධිපතිවරයාගේ මර්දනීය හදිසි නීතියට එරෙහි වනු!” යන හිසින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) හරහා බලගතු ප්‍රකාශයක් නිකුත් කලේ ය. උද්ඝෝෂනයේ ප්‍රධාන අංගයක් ලෙස ඔක්තෝබර් මස 10 දා සවස 4 ට සූම් තාක්ෂනය ඔස්සේ ඔන්ලයින් රැස්වීමක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

හදිසි නීතිය පැනවීමේ දී ආන්ඩුව යොදා ගත් “අත්‍යාවශ්‍ය සැපයුම් හා සේවා පවත්වා ගැනීම” යන ව්‍යාජ හේතුවල පල්ල ගොස් ආන්ඩුවට එරෙහි පලල් මහජන වෛරයක් අවුලුවා තිබේ. හදිසි නීතිය මෙන්ම, රාජ්‍ය සේවයේ බහුතරයකගේ වර්ජන තහනම් කරමින් මැයි මස අග පැන වූ අත්‍යාවශ්‍ය සේවා නියෝගවල සැබෑ ඉලක්කය වන්නේ ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තියේ හා ගම්බද ගොවි ජනතාවගේ වැඩෙන අරගල තලා දැමීමයි.

හදිසි නීතිය පාර්ලිමේන්තුවේ සම්මත කර ගත වූ මාසය තුල පන්ති සටන් තවත් බලගතුව වර්ධනය වී ඇත. අතිකාල කප්පාදු කිරීමට එරෙහිව ඛනිජ තෙල් සංස්ථාවේ කම්කරුවෝ පසුගිය සතියේ වර්ජනයක නිරත වූහ. වසංගත දීමනාව අඛන්ඩව ලබාදෙන ලෙසත්, ආරක්ෂන පියවර වර්ධනය කරන ලෙසත් ඉල්ලා, 90,000 ක් පමන වන රාජ්‍ය අංශයේ සෞඛ්‍ය සේවකයෝ 27 දා පැය 5 ක වර්ජනයක යෙදී ගත්තේ, වෘත්තීය සමිතිවාදී, ශ්‍රේනිවාදී සහ වර්ගවාදී භේදකරනයන් නොතකමිනි.

වැඩි වැටුප් ඉල්ලා ඔන්ලයින් ඉගැන්වීම් වර්ජනය කර සිටින පාසල් ගුරුවරුන්ගේ අරගලයට මේ වන විට දින 75 ක් ඉක්මවා ගොස් ඇත. ඒ තත්වය තුල ආන්ඩුවේ මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර ගුරුවරුන්ටත් අවශේෂ කම්කරු පන්තියටත් තර්ජනය කර සිටියේ ත්‍රස්තවාදය පරාජය කල අයුරින් ගුරු අරගලය මඩින බවටයි.

ලෝසවෙඅ සමග අදහස් දැක් වූ මහනුවර රෝහලේ කනිෂ්ඨ කාර්ය මන්ඩල සේවකයෙක්, හදිසි නීතියේ අන්තරායකාරී ඇඟවුම් වසන් කරමින් එයට එරෙහි කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් වලකා සිටින වෘත්තීය සමිති කෙරෙහි තම විරෝධය පල කලේය: “හදිසි නීති හා අත්‍යාවශ්‍ය සේවා නියෝග වලට එරෙහිව කම්කරු පන්තියේ පලල් අරගලයක් සංවිධානය කිරීමට සමිති සූදානම් නෑ. සමිති ඔක්කොම ආන්ඩුවටයි විපක්ෂයේ ධනපති පක්ෂවලටයි මාට්ටු වෙච්ච ඒවා. මෙම දරුනු නීති වලට විරුද්ධව කම්කරුවෝ දැනුවත් කරන්නවත් ඔවුන්ගෙ කිසිදු සූදානමක් නෑ.”

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ හදිසි නීතිය පිලිබඳව ඔහුට දැන ගැනීමට ලැබුනෙත් සසප නායකත්වය දෙන සෞඛ්‍ය සේවකයන්ගේ ක්‍රියාකාරී කමිටුව මගින් බවයි. ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සේවය කල ඔහුගේ පියා 1980 ජූලි වර්ජනයේ දී හදිසි නීතිය යටතේ රැකියාවෙන් දොට්ට දැමූ බවත් කිසිදු වෘත්තීය සමිතියක් එම ප්‍රහාරයට එරෙහිව සටනක් දියත් නොකල බවත් ඔහු ප්‍රකාශ කලේ ය.

ලක්ෂයකට ආසන්න රාජ්‍ය සේවකයන් දොට්ට දැමුනු 1980 ජූලි වර්ජනයෙන් පසු කම්කරු පන්තියේ එවැනි බලගතු පන්ති සටන් බිඳ දැමීම සඳහා දෙමල ජනතාවට එරෙහි වාර්ගික යුද්ධය දියත් කරමින් රට පුරා දශක දෙකකටත් වැඩි කාලයක් හදිසි නීතිය පනවා තිබුනි. සෑම ක්ෂේත්‍රයකම වෘත්තීය සමිති යුද්ධයට පූර්න පිටුබලය සපයමින් කම්කරු පන්තියට එරෙහිව සියලු මර්දන නීති ක්‍රියාවට දැමීමට සහාය ලබා දුන් ආකාරය සසප සාමාජිකයෝ පැහැදිලි කලහ.

ලෝක ධනේශ්වර අර්බූදයේ කොටසක් ලෙස ලංකාවේ වර්ධනයවන නය අර්බූදය සහ පාලක පන්තියේ පන්ති යුද සැලසුම් සම්බන්ධ දීර්ඝ සාකච්ඡාවකින් පසු පුත්තලම් දිස්ත්‍රික්කයේ තරුන ගුරුවරයෙක් මෙසේ ප්‍රකාශ කලේය: “ඇත්තටම හදිසි නීතිය යටතේ ගොඩක් මර්දන පියවර ගන්න පුලුවන්. ආන්ඩුව මේ අර්බූදය මැද්දේ මෙම නීති ක්‍රියාත්මක නො කරයි කියලා හිතන්න බෑ. සරත් වීරසේකරගේ ප්‍රකාශයෙන් කියැවෙන්නේ ඒකයි. ඇත්තටම ලෝකය පුරාම පාලක පන්තීන්වලට මහජනයාගේ ප්‍රශ්නවලට විසඳුම් නෑ. එකම පිලියම මර්දනය දිගේලි කිරීමත් විතරයි.”

කම්කරු පන්තියේ ඒකාබද්ධ ප්‍රතිප්‍රහාරයක් ජාත්‍යන්තර පරිමානව වර්ධනය කිරීම පිලිබඳව සාකච්ඡාවේ දී, ලෝසවෙඅ පරිශීලනය කිරීමේ සහ සසප මූලිකත්වය ගන්නා ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුවේ වැඩකටයුතු වලට සම්බන්ධවීමේ අත්‍යවශ්‍යභාවය අවබෝධ වූ බව ඔහු ප්‍රකාශ කලේ ය.

මහ ව්‍යාපාරකයන් විසින් සැඟවූ භාන්ඩ රාජසන්තක කොට අත්‍යාවශ්‍ය භාන්ඩ මිල පහත දාන්න තියෙන නීති හොඳටම ප්‍රමානවත් බව ලිපිකරුවෙක් වන එඩ්වින් අමරසිංහ සඳහන් කලේ ය. “ඇත්තටම කියනවා නම් බඩු මිල දිනෙන් දින අහස උසට නගිනවා. මේ හේතුව නිසා පොදු ජනතාවගේ උද්ඝෝෂන, වැඩවර්ජන තහනම් කරන්න, අත්අඩංගුවට ගන්න, රැකියාවලින් දොට්ට දාන්න හා කතා කිරීමේ, ලිවීමේ නිදහසට එරෙහිව වාරන ගෙන එන්න තමයි හදිසි නීතිය ප්‍රකාශ කරලා තියෙන්නේ” යයි ඔහු පැවසීය.

පුද්ගලයෙකු පැය 24 ට වඩා රඳවා ගෙන ප්‍රශ්න කිරීමේ බලය හදිසි නීතිය යටතේ පොලීසියට හිමි වන බව ප්‍රකාශ කල අමරසිංහ උද්ඝෝෂන මැඩ පැවැත්වීමට පොලීසිය කටයුතු කරමින් සිටින ආකාරය විස්තර කලේය ය. “පසුගියදා කොටුව දුම්රිය ඉස්සරහ ස්වයං වෘත්තිකයෝ පවත්වපු උද්ඝෝෂනයක් නවත්තන්න පොලිසිය මැදිහත් වුනා. නමුත් සුරාසැල් අරිනකොට ඒවට මොකුත් කිව්වෙ නෑ.”

වර්ධනය වන පන්ති අරගල තත්වය ආන්ඩුවට විරුද්ධ පලල් අරගලයක් බවට පත්වේ යයි ආන්ඩුව බිය වී හදිසි නීතිය ගෙනවිත් ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ ය. “එක පැත්තකින් වසංගතයේ විනාශය, අනික් පැත්තෙන් වැටුප් කප්පාදුව හා බඩුමිල ඉහල යෑම. මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. ජනතාව පාරට බහිනවා. මහ වැඩවර්ජන පැන නගින්න පුලුවන්.”

කොලඹ නගරයේ ඉඩම් මහ ව්‍යාපාරිකයන්ට ලබාදීම සඳහා නාගරික දිලිඳු ජනයා පදිංචිව සිටි ඉඩම් උදුරා ගැනීම පසුගිය රාජපක්ෂ පාලන කාලයේ සිට වේගවත් වූ ක්‍රියාවලියකි. එම තර්ජනයට මුහුන දී සිටින කොලඹ කජීමා වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙක් සසප සාමාජිකයන් සමග සාකච්ඡා කලේය. නිරෝධායන රෙගුලාසි යටතේ ත්‍රීරෝද රථ ධාවනය ඇන හිටීමෙන් ආදායම් අහිමි වී තිබියදී, ආන්ඩුවේ සහනාධාර පවා නොලැබෙන තතු යටතේ ජීවිතය ඉතා දුෂ්කර වී ඇති ආකාරය ඔහු විස්තර කලේ ය: “මගේ බිරිද තේකොල ෆැක්ටරියෙ වැඩ. ඒකෙන් ඉතා අසීරුවෙන් ජීවත්වෙනවා. කුඩා ෆැක්ටරිවල කම්කරුවන්ව දරුනු ලෙස සූරා කනවා. මේ වත්තෙ සමහර අයට මේ දිනවල කිසිම ආදායමක් නැහැ. වතුවල මහජනයා උද්ඝෝශනය කරයි කියල ආන්ඩුව බයයි. හදිසි නීති ගේන්නෙ උද්ඝෝෂන මර්දනය කරන්නයි. ඊට එරෙහිව සසප පවත්වන රැස්වීමකට මම සම්බන්ධ වෙනවා”.

ක්‍රීඩා උපදේශකවරයෙකු වන එස්.රත්නසිරි වසර හැත්තෑවකට අධික ලංකාවේ ධනපති පන්ති පාලනය හෙලා දැක්කේ ය. “තරුනයන්ට අනාගතයක් නෑ. වසංගතයෙන් ජීවිත ආරක්ෂා කලේ නෑ. නය අර්බූදය හමුවේ ආන්ඩුව රාජ්‍ය දේපල විකුනනවා. පරිසරය ලෝක පරිමානව විනාශ වෙනවා. තවත් වසංගත එන්න පුලුවන්. ජීවන වියදම අහස උසට නගින තත්වය යටතෙ ජීවත් වෙන්න බෑ. මිලිටරි ආඥාදායක පාලනයක් දිසාවට ආන්ඩුව හැරිලා තියෙන්නේ. හදිසි නීතිය එහි කොටසක්” යයි ඔහු ප්‍රකාශ කලේ ය.

වසංගත කාලය තුල අතලොස්සක් මහ ධනපතියන්ගේ ධනය බිලියන පරිමාන ව ඉහල යාමත් අනෙක් පැත්තෙන් දුප්පත්කම පුලුල් වීමත් සමග පැරනි පාර්ලිමේන්තු රාමුව තුල ධනපති පන්ති පාලනය ගෙන යා නො හැකි බව සසප සාමාජිකයන් පෙන්වා දුන්විට එය පිලිගත් ඔහු මෙසේ පැවසීය. “මහා ව්‍යාපාරිකයන් මනුෂ්‍ය ජීවිත ගැන තැකීමක් නැති ව නැවත රට විවෘත කිරීමට බල කරනවා. ලංකාවේ ප්‍රධාන ධනපතියා වන ධම්මික පෙරේරා මේ දිනවල රූපවාහීනි සාකච්ඡාවල ප්‍රධාන කථිකයෙක් වෙලා. ඔවුන්ගේ තර්කය වන්නේ මිනිස්සු මියැදුනත් ආර්ථිකය විවෘත කිරීම එකම විකල්පය බවටයි”.

කම්කරු පන්තිය මත ආන්ඩුවේ ප්‍රහාර පැටවීමට ලංකාවෙත් ජාත්‍යන්තරවත් වෘත්තීය සමිති ක්‍රියා කරමින් සිටින ආකාරය සසප සාමාජිකයෝ සාකච්ඡා කලහ. මෑතකදී ඇමරිකාවේ වොල්වෝ ට්‍රක් රථ කම්කරුවන්ගේ අරගලය වටා ජාත්‍යන්තර මෝටර් රථ කම්කරුවන්ගේ සහයෝගය ගොනු කර ගැනීමට සසප නායකත්වයෙන් ගොඩනැගූ ක්‍රියාකාරී කම්ටුවට හැකි වීමෙන්, ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් සඳහා පවතින ශක්‍යතාවය ප්‍රකාශයට පත් වූ ආකාරය සසප සාමාජිකයෝ දීර්ඝ ලෙස පැහැදිලි කලහ.

Loading