පොහොර ඉල්ලා රටපුරා ගොවි උද්ඝෝෂන

මහ කන්නය සඳහා පොහොර ලබා දෙන ලෙස ඉල්ලමින් දිවයින පුරා දස දහස් ගනනක් ගොවීහු සැප්තැම්බර් මාසයේ සිට දිනපතා විරෝධතා උද්ඝෝෂන වල යෙදෙති. රටේ සියලුම දිස්ත්‍රික්කයකම පාහේ වී, එලවලු සහ වෙනත් වානිජ බෝග වගාවන්හි නිරත ගොවිහු මෙම උද්ඝෝෂන වලට සම්බන්ධ වී සිටිති. ඔවුහු කුඹුරුවල, වගාබිම්වල සහ මහ පාරේ උද්ඝෝෂන වල යෙදෙති. මේ දිනවල විවිධ නගරයන්හි පැවැත්වෙන විරෝධතා පෙලපාලි වලට සිය ගනන් ගොවීහු සම්බන්ධ වෙති.

නැගෙනහිර කින්නියා පීන්ගාන් උඩයින්ධාරු ගොවියෝ-2021 ජූනි 19

ගොවි විරෝධතාවල ආසන්න නිමිත්ත රාජපක්ෂ ආන්ඩුවේ රසායනික පොහොර සහ කෘෂි රසායන තහනම යි. එහෙත් එය තුලින් පුපුරා ගියේ ගොවිජනයා තුල දශක ගනනාවක් තිස්සේ ගොනු වූ ප්‍රශ්න හේතුවෙන් ඔවුන් තුල නිර්මානය වී ඇති ගැඹුරු නොසන්සුන්කම යි. කොරෝනා වසංගතය මගින් උද්ගත කෙරුනු තත්වය මෙම නොසන්සුන්කම වඩාත් තීව්‍ර කොට ඉස්මත්තට පමුනුවා තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මැයි මාසයේ පනවන ලද පොහොර තහනමත් සමග ජුනි-ජුලි මාසවල පැන නැගුනු ගොවි විරෝධතා ආන්ඩුවේ ඊනියා නිරෝධායන ඇඳිරිනීතිය යටතේ තාවකාලිකව යටපත් වූ නමුත් සැප්තැම්බර් මාසයේ ඒවා යලිත් මතුවුයේ මහ කන්නයට අවශ්‍ය පොහොර සම්පාදනය කිරීමට ආන්ඩුව අසමත් වූ තත්වය තුලය.

මෙවර මහ කන්නයේ වගාවන් ආරම්භ කිරීමට පෙර පොහොර නොලැබුනොත් වගා නොකරන බවට සපථ කරන ගොවීහු, ආන්ඩුව පොහොර ලබාදීමට වහාම පියවර නොගතහොත් දහස් ගනනින් කොලඹට පැමින විරෝධතා දක්වන බව ට අනතුරු අඟවති. රාජපක්ෂ ආන්ඩුව කෙරෙහි බරපතල කෝපයක් පෙන්නුම් කරන මෙම උද්ඝෝෂන තුල දී කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ගේ පඹයෙකු ප්‍රදර්ශනය කරන ගොවීහු පඹයාට අතින් පයින් සහ පොලුවලින් තඩි බා පසුව ගිනි තබති.

ලංකාවේ ගොවීන්ගේ අරගල ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේත්, ඉන්දියාවේ දසලක්ෂ සංඛ්‍යාත ගොවීන් විසින් ගෙනයන අඛන්ඩ අරගලයත් සමග සමපාත වී ඇත. වසංගතයෙන් තීව්‍ර කර ඇති ලෝක ධනවාදයේ අර්බුදය තුල සෑම රටකම කම්කරුවන් සහ පීඩිතයන් මුහුන දී සිටින්නේ එක හා සමාන ව්‍යසනයකට ය.

රසායනික පොහොර තහනම් කලේ කාබනික පොහොරවලට ගොවියා හුරුකිරීම තුලින් ඔවුන් හරිත කෘෂිකර්මයට යොමුකිරීමට බව ආන්ඩුව කියයි. එය මුසාවකි. රසායනික පොහොර තහනම ආන්ඩුවේ ආනයන වියදම් කප්පාදුවේ කොටසකි. පොහොර ආනයනය සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 400 ක් වැය වන බව ආන්ඩුව පවසයි.

පසුගිය යල කන්නයේ ආන්ඩුව පොරොන්දු වූ පරිදි පොහොර ලබා නොදීම නිසා වගාවන් විනාශ වී ඇති ආකාරය ගොවීහු මාධ්‍ය ඉදිරියේ අනාවරනය කරති. තම බඩඉරිඟු වගාවන් විනාශ වූ මැදිරිගිරිය 1- බි යායේ ගොවීන් ඒවාට ගිනි තබනු ව්ද්‍යුත් මාධ්‍ය තුලින් දක්නට ලැබුනි. අක්කර හතරක වගාවට අවශ්‍ය බීජ සඳහා පමනක් රුපිය 7,000 ක් පමන වියදම් වූ බවත් බිම් සැකසීම සඳහා තවත් විශාල මුදලක් වය වූ බවත් ඔව්හු කීහ.

ගිරාඳුරුකෝට්ටේ, ගින්නෝරුවේ පදිංචි ගොවියෙකු වන කරුනාරත්න ගොවීන් මුහුන දෙන ගැටලු ගැන පැහැදිලි කරමින් කියා සිටියේ පොහොර මෙන්ම වගාවට අවශ්‍ය ජලය ප්‍රමානවත් තරම් නො ලැබීම ද ප්‍රධාන ප්‍රශ්නයක් බවයි. මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම ගැන ගොවි නියෝජිතයන් සහ මහවැලි අධිකාරියේ නිලධාරීන් අතර සාකච්ඡාවක් පැවති බවත්, එයට ගොවි සංවිධාන 54 ක නියෝජිතයෝ සහභාගී වූ බවත් ඔහු පැවසීය. 'ජලය ප්‍රමානවත් ලෙස නොලැබීමත්, පොහොර ගැටලුවට විසඳුම් නොලැබීමත් ගැන ගොවියෝ එහි දී ප්‍රශ්න කලා. ගොවීන්ගේ ප්‍රශ්නවලට විසඳුමක් ඉදිරිපත් කිරීමට නිලධාරීන් අසමත් වුන නිසා සාකච්ඡාව අසාර්ථක වුනා. ආන්ඩුව මොනවා කිව්වත් රසායනික පොහොර නැතිව හොඳ අස්වැන්නක් ගන්න බැහැ' යි ඔහු පැවසීය. කුඹුරු හෙක්ටයාරයක් වගා කිරීම සඳහා රුපියල් 100,000 වැඩි මුදලක් වැයවන බව ද ඔහු සඳහන් කලේ ය.

වී වගාවේ යෙදෙන කිලිනොච්චියේ 36 වියැති කාන්තාවක් පැවසුවේ රසායනික පොහොර සහ කෘෂි රසායන තිබුනත් වී වගාවෙන් ලාභයක් නොලැබෙන බව යි. 'පොහොර දෙනවා කියල ආරංච් වුන නිසා මම බිම සකස් කලා. නමුත් දැන් පොහොර නැහැ කියනවා.. මම අඳ ගොවියෙක්. පොහොර නැති නිසා මෙම කන්නයේ වගා නොකලොත් ඊලඟ කන්නයේ කුඹුර ලැබෙන්නේ නැහැ.' යයි ඇය පැවසුවාය.

එලවලු ගොවියෙකු වන බන්ඩාරවෙල ගුනතිලක මෙසේ පැවසීය: 'දශක හතරක් තිස්සේ ගොවියෝ හුරුවෙලා හිටියේ රසායනික පොහොර වලට. එක් වරම කාබනික පොහොර වලට හුරු වෙන්න බැහැ. සමහර කෘෂි රසායන කලු කඩේ තියෙනවා. නමුත් ගිනි ගනන්. රුපියල් 1000 ට තිබුන කෘෂි රසායන කලු කඩේ විකුනන්නේ 3000 ට.'

තම වගා කටයුතු වලට ගත් නය ආපසු ගෙවීමේ ප්‍රශ්නයට බොහෝ ගොවියෝ මුහුන දෙති. ගිරාඳුරුකෝට්ටේ, හෙබරව ගොවියකු වන ජී.ජී.අබේරත්න ඒ සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ කලේය: “පහුගිය කන්නයට විතරක් නෙවෙයි අපි හැමදා ම වගා කරන්නේ බැංකුවකින් හරි, වෙනත් තැනකින් හරි නයට මුදල් අරගෙන තම යි. ඒක මම විතරක් නෙවෙයි මේ හැම ගොවියකු ම මූන දෙන නරක ම ප්‍රශ්නයක්. පොහොර වලටත් වඩා අපට තියෙන දරුනු ම ගැටලුව තම යි, නිදහස් වෙන්න බැරි නයක් එක්ක හැමදාම ජීවත් වීම. හැමදා ම හිතනවා, එන කන්නෙන් ගැලවෙන්න පුලුවන් කියලා. ඒත් ඒක වෙන් නෑ. කනබොන දේ ඇතුලු හැමදේ ම දරන්න බැරි විදිහට ඉහල ගිහින්.

කලින් ගත් නය විධිමත්ව නොගෙවූ නිසා තමාට බැංකු නය නොදෙන බැවින් මෙවර කනකර බඩු උගසට තබා රුපියල් 50,000ක් ලබාගත් බව අබේරත්න කීවේය. 'ඒ මුදල කුඔුරේ වැඩට මදි. ගිනි පොලියට දෙන අයගෙනුත් අතමාරුවට අරගෙන තමයි පහුගිය කන්නෙ වැඩ කලේ. අපට ඇත්තට ම ජීවිතයක් නෑ. පොහොර නැති නිසා අස්වැන්න භාගයක් ම අඩු උනා. දැන් නයවාරික ගෙවන්නෙ කොහොම ද? බැංකුවලින් හැමදා ම ලියුම් එනවා මෙච්චර පොලිය වැඩිවෙලා වහා ම ගෙවන්න කියලා. ඒත් කාට කියන්න ද?. අපි ඔය වගේ, හිතන්න බැරි ගැටලුවල පැටලිලා ඉන්නේ ...” යැයි ඔහු ප්‍රකාශ කලේ ය.

ගිරිතලේ ගොවියෙකු වන ඩිංගිරි බන්ඩා කීවේ, ගොවිතැනට නයගෙන දුකට පත් නො වූ අයෙකු ගිරිතලේ ගොවි ජනපදයෙන් හොයාගත නොහැකි බවයි. පොහොර, බීජ සහ වල්නාශක කාලයක් තිස්සේ වැඩි මිලකට ගන්න සිදු වී ඇති බව ඔහු කීවේය. 'වගාවට යන වියදම බලන්න, ට්‍රැක්ටරේට, කුලියට ගන්න අයට ගෙවපුවා ම අත පිස දමාගන්න වෙන්නේ. එක් අයකුට කුලිය රු.1500-2000 අතර වෙනවා. බැංකු නයක් දෙන්නෙ අක්කරයට රු. 15000ක් විතර. ඒකත් ප්‍රමානවත් නෑ. දැන් ජීවන වියදම අහස උසට ගිහින්. ජීවත්වන හැටි හිතාගන්න බෑ.'

අස්වැන්නෙන් ලැබෙන ආදායම බැංකුවල හිඟ නය වාරික ගෙවීමට වැයකල පසු නැවත නය ගනිමින් එම විෂම චක්‍රයේ පැටලෙන සැටි ඔහු විස්තර කලේය.

ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීමට ආන්ඩුව තදියමේ තීන්දු කලේ බලගතු ගොවි විරෝධය හේතුවෙනි. එහෙත් කෘෂි විශේෂඥයන් පවසන්නේ එම දියර පොහොර ප්‍රශ්නයට විසඳුමක් නොවන බවයි. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එස්.ඩි. එම්. චින්තක මාධ්‍යට සඳහන් කලේ එම දියර පොහොර ඉන්දියාවේ ගොවීන්ට නිකුත් කර තිබෙන්නේ මාස දෙක හමාරකට පෙර බවත් එම නිසා ඔවුන් ට ද ඒ ගැන ප්‍රායෝගික අත්දැකීමක් නැති බවයි.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පාංශු සහ කෘෂි කලමානාකරන මහාචාර්ය වරයෙකු වන සමන් ධර්මකීර්ති සඳහන් කලේ දියර පොහොරවල නයිට්‍රජන් ප්‍රතිශතය සියයට හතරක් බවත් ඒ නිසා පැලෑටි වලට අවශ්‍ය නයිට්‍රජන් එමගින් ලබා ගත නොහැකි බවත් ය.

ආන්ඩුව නයිට්‍රජන් දියර පොහොර හුවා දක්වනු ලැබුව ද එය ගොවීන්ගේ විරෝධය යටපත් කිරීමට සමත් වී නැත. ඒ තතු තුල, වගාවන්ගෙන් 'අලාභ වුනොත් වන්දි ගෙවන බව ද කාබනික පොහොර යොදා නිෂ්පාදනය කරන වී කිලෝවක් රුපියල් 70 ට ගැනීමට ආන්ඩුව සුදානම් බව' ද කෘෂිකර්ම ඇමති අලුත්ගමගේ මාධ්‍යට පැවසීය.

දරිද්‍රතාවය, විරැකියාව, නයගැතිකම මෙන්ම, බැංකු, කෘෂි සමාගම් සහ අතර මැදියන් විසින් සුරාකනු ලැබීම, නිෂ්පාදන සඳහා සාධාරන මිලක් නොලැබීම, බීජ, පොහොර, කෘෂි රසායන සහ උපකරන මිල ඉහලයාම, ඉඩම් හිඟකම ඇතුලු ප්‍රශ්න මාලාවකට ගොවීහු මුහුන දී සිටිති.

පොහොර ආනයනයෙන් රුපියල් බිලියන 1000 ක ලාභයක් උපයන සමාගම් තුනක් සහ විපක්ෂයේ සමගි ජන බලවේගය (සජබ) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ගොවීන්ගේ උද්ඝෝෂන අවුස්සන්නේ යයි කියමින් කෘෂිකර්ම ඇමති අලුත්ගමගේ පසුගිය දා ගොවි අරගලයට නරුම ලෙස අවමන් කලේය.

සජබ, ජවිපෙ, එක්සත් ජාතික පක්ෂය (එජාප), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ දෙමල ජාතික සන්ධානය ඇතුලු සියලු ධනපති පක්ෂ රාජපක්ෂ ආන්ඩුව කෙරෙහි ගොව්න් අතර වැඩී ඇති කෝපය ගසා කෑමට යත්න දරන නමුත්, අලුත්ගමගේ විසින් කරන නරුම ප්‍රකාශයට විපරීතව ගොවීන් අරගලයට පිවිස සිටින්නේ ඔවුනගේ දැවෙන ප්‍රශ්න වෙනුවෙන් ස්වෙච්ඡාවෙනි.

කෙසේ නමුත් ගම්බද ගොවි ජනතාව ඇද වැටී ඇති දුඛිත තත්වයට ඉහත සියලුම ධනපති පක්ෂ වග කිවයුතුය. 1977බලයට පත් වූ එජාප ආන්ඩුව යටතේ ක්‍රියාවට දැමුනු ආර්ථික ප්‍රතිසංස්කරන වල කොටසක් ලෙස කෘෂි කර්මාන්තය පුද්ගලීකරනය කිරීම සහ පොහොර සහනාධාරය ඇතුලු ගොවි ජන සහන කප්පාදුව ක්‍රමානුකූලව ක්‍රියාවට දැමීම ආරම්භ කෙරුනි. එතැන් පටන් බලයට පත් වූ සියලුම ධනපති ආන්ඩු යටතේ එම පිලිවෙත වඩ වඩා තීව්‍ර කෙරුනි. සජබ නායකයෝ 2002 එජාප ආන්ඩුව සහ 2015 සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව යටතේ මෙම පිලිවෙත් ක්‍රියාවට දැමීමට ඍජුව දායක වුහ.

2004 චන්ද්‍රිකා කුමාරතුංග ගේ ආන්ඩුව සමග ජවිපෙ සන්ධාන ගත වූ අතර එහි කෘෂිකර්ම ඇමති ලෙස වැජඹුන අනුරකුමාර දිසානායක ගොවි ජනතාවට එරෙහි සැලසුම් ක්‍රියාවට දැමීමට සහයෝගය දුන්නේ ය. සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව 2015 බලයට ගෙන ඒමට ඍජුව දායක වූ ජවිපෙ පොහොර සහනාධාරය කැපීම හා වී සඳහා සාධාරන මිලක් නොලැබීම ඇතුලු ප්‍රහාරවලට විරුද්ධ මතු වූ ගොවි ජන අරගල ආන්ඩුවට බලපෑම් දැමීමේ නිස්සාර විරෝධතාවලට කොටුකර විසුරුවා හරිනු ලැබීය.

සියලු ගොවි ජන සංවිධාන ක්‍රියාත්මක වන්නේ එක අතෙකින් රාජපක්ෂ ආන්ඩුවට ලොකු පීඩනයක් යෙදීම තුලින් පොහොර ප්‍රශ්නය ඇතුලු ගැටලු විසඳාගත හැකිය යන මිත්‍යාවක් ගොවි ජනතාව තුල වගා කිරීමට සහ අනෙක් අතින් ධනපති පන්ති පාලනයට එරෙහි අරගලයේ දී ඔවුන් කම්කරු පන්තියේ නායකත්වය යටතේ පෙල ගැසීම වලක්වා ලීමටය.

ධනපති පක්ෂවල අතයටට ගොවි ජනතාව තල්ලු කිරීමට දැරෙන මෙම ප්‍රතිගාමී ප්‍රයත්නයට එරෙහිව කම්කරු පන්තිය ගොවි ජන අරගලයට නායකත්වය සම්පාදනය කිරීමට ඉදිරිපත් විය යුතුය.

ගම්බද දුගී ගොවි ජනතාවගේ ප්‍රශ්න විසඳිය හැක්කේ කෘෂිකර්මාන්තය මත අධිකාරය දරා සිටින සමාගම්, ඔවුන් ව ගසාකන අතරමැදියන් සහ සදාකාලික නය ගැතිකමට ඔවුන්ව සිරකර තබන බැංකු පද්ධතියේ ග්‍රහනයෙන් ඔවුන් මුදවා ගැනීමෙන් පමනි. එය කලහැක්කේ කම්කරු පන්තිය ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස රාජපක්ෂ ආන්ඩුව ඇතුලු ධනපති පන්ති පාලනය අහෝසිකොට කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙනඒම සඳහා කරන සටනක් තුලිනි. එවන් කම්කරු-ගොවි ආන්ඩුවක් යටතේ කෘෂි සමාගම් සහ බැංකු කම්කරු පාලනය යටතේ ජනසතු කිරීම මගින් ගොවිජනතාවට අවශ්‍ය පහසුකම් සැලසිය යුතුය.

සියලු ධනපති පක්ෂ සහ ඔවුන්ගේ අතයටට තමන්ව ගාල් කිරීමට ක්‍රියාත්මක වන ගොවි සංවිධාන වලින් මුලුමනින් ම ස්වාධීනව කම්කරු පන්තිය සමග එකාබද්ධව ගොඩනගා ගනු ලබන කම්කරු-ගොවි ක්‍රියාකාරී කමිටු තුල සංවිධානය වෙමින් ගොවීන් තම අයිතීන් සඳහා සටනට බලමුලු ගැන්වී ගත යුතුය.

Loading