සමූහ මරන සම්බන්ධයෙන් තම ආන්ඩුව දැරිය යුතු වගකීම වසන් කිරීමට මෝදි, ඉන්දියාව ලබා දී ඇති කෝවිඩ් එන්නත් මාත්‍රා බිලියනය හුවාදක්වයි

[මෙය ModimakesspectacleofIndias 1 billionthCOVIDvaccineshottocoveruphisgovernmentsculpabilityformassdeathයන මැයෙන් 2021 ඔක්තෝබර් 30 පලවූ ලිපියේ පරිවර්තනයයි.]

ඉන්දියාවේ කෝවිඩ්-19 එන්නත් මාත්‍රා බිලියනයක් ලබාදීම සනිටුහන් කිරීමට ඔක්තෝබර් 22දා අගමැති නරේන්ද්‍ර මෝදි ජාතිය ඇමතුවේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, 2019 දී, හූස්ටන්හිදී කතා කරයි. (ඒපී ඡායාරූපය/මයිකල් වයික්)

මෙම “ඓතිහාසික” ජයග්‍රහනය සංදර්ශනයක් කිරීම මගින්, රට විනාශභාග් කල කොවිඩ්-19 ආසාදන සහ මරනවල සුනාමිය සම්බන්ධයෙන් තම ආන්ඩුවේ වගකීම වසන් කිරීමට සහ එයින් අවධානය වෙනතකට යොමු කිරීමට මෝදි වෑයම් කලේ ය. එමෙන්ම ඔහු, වසංගතයේ නරකම කාලය අවසන් ය යන බොරුව ප්‍රවර්ධනය කිරීමට ද එමගින් ඉන්දියාව 'යලි විවෘත කිරීමේ' පාලක පන්තියේ මෙහෙයුමට තල්ලුවක් සම්පාදනය කරගැනීමට ද ඔහු මෙම අවස්ථාව ඩැහැ ගත්තේය.

මෝදි සිය කතාව ආරම්භ කලේ, එන්නත් මාත්‍රා බිලියන 1 ක් එන්නත්කරනය කිරීමෙන් “ අදහස් වන්නේ, එක් අතකින් අපේ රට (එහි) යුතුකම ඉටු කල බවත්, අනෙක් පැත්තෙන් එය විශාල සාර්ථකත්වයක් අත්කර ගත් බවටත්” පුරසාරම් දොඩමිනි. යථාර්ථය නම්, ඉන්දියාවේ බිලියන 1.39 ක ජනතාවගෙන් අතිමහත් බහුතරයක් සම්පූර්නයෙන්ම එන්නත්කරනය කර නැතිවා හෝ එක් මාත්‍රාවක් පමනක් ලබාදී ඇති අතර, ඔවුන්ට කොවිඩ්-19 ට එරෙහිව පාර්ශවීය ආරක්ෂාවක් පමනක් සපයා ඇති බව යි. 'අවර් වර්ල්ඩ් ඉන් ඩේටා' දත්ත වලට අනුව, ඔක්තෝබර් 23 වන විට ඉන්දියවේ ජනගහනයෙන් සියයට 21.5 ක් සම්පූර්නයෙන් ද (මාත්‍රා දෙකම) සහ අර්ධ වශයෙන් සියයට 29.75 ක් පමනක් එන්නත්කරනය කර තිබේ.

ඔහුගේ කතාවේදී සහ එදිනම ඔහුගේ නමින් හින්දු පුවත්පතේ පලවූ උපදේශාත්මක කොලමේදී, මිනිස් ජීවිත පරයා සංගත ලාභවලට ප්‍රමුඛත්වය දීමේ ඔහුගේ ආන්ඩුවේ සාපරාධී ප්‍රතිපත්තියේ වින්දිතයන් සැහැල්ලු ලෙස නොතකා හැරියේය. වසංගතය ආරම්භ වූ දා සිට ආන්ඩුවේ කුප්‍රකට අව ගනනයන් වලට අනුව, පසුගිය පැය 24 තුල කොවිඩ්-19 වලින් ජීවිත අහිමි වූ පුද්ගලයින් 500 ක් දෙනා ගැන හෝ මෙතෙක් මියගිය ඉන්දියානුවන් 450,000 ක් දෙනා ගැන ඔහු සඳහන් කලේ නැත.

කොවිඩ්-19 වසංගතයට සම්බන්ධව සිදුවූ සැබෑ ඉන්දියානු මරන සංඛ්‍යාව වෙනත් ඕනෑම රටක සිදු වූ මරන සංඛ්‍යාවට වඩා අති විශාල ය. විද්‍යාත්මක අධ්‍යයනයන්ට අනුව එය මිලියන 4 කට වඩා වැඩි වන අතර බොහෝ විට මිලියන 5 කට වඩා වැඩි විය හැකි ය.

මෝදි ඔහුගේ දේශනය සහ හින්දු හි තීරු ලිපිය ඇතැම් ජාතිකවාදී දෙසා බෑම් සඳහා භාවිතා කලේ, එහි කීර්තියෙන් කොටසක් ඔහු සහ ඔහුගේ භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුව මත පතිත වනු ඇතැයි යන අපේක්ෂාවෙනි. එන්නත් මාත්‍රා බිලියන 1 ක් ලබා දීම අසමසම ජයග්‍රහනයක් බව ඔහු ප්‍රකාශ කලේය. 'මෙය දැවැන්ත ඉලක්ක සපුරා ගන්නේ කෙසේදැයි දන්නා රටක ඉතිහාසයේ නව පරිච්ඡේදයකි.' 'ඉන්දියාවේ නිෂ්පාදිත' එන්නත් ගැන පුරසාරම් දොඩන අගමැතිවරයා, 'එන්නත් සම්බන්ධයෙන් සැබවින්ම ආත්මනිර්භාර් (ආත්මවිශ්වාසය) සහිත' ලෝකයේ රටවල් කිහිපය අතරට ඉන්දියාවද සිටින බව හින්දු කොලමේදී පවසයි. 'ඉන්දියාවට තමන්ගේම එන්නතක් නොතිබුනේ නම් තත්වය සිතා බලන්න' ඔහු ලිවීය. පසුව ට්විටර් පනිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ එන්නත් මාත්‍රා බිලියන 1 ක අගය 'ඉන්දියානු විද්‍යාවේ විශිෂ්ට ජයග්‍රහනයක්' සනිටුහන් කරන බවයි.

ඇත්ත වශයෙන්ම, ඉන්දියාවේ ලබා දෙන සියලුම එන්නත් වලින් සියයට 88 ක් සඳහා භාවිතා කරන කොවිෂීල්ඩ් එන්නත, බ්‍රිතාන්‍ය-ස්වීඩන් ඖෂධ සමාගමක් වන ඇස්ට්‍රා සෙනෙකා විසින් නිපදවන ලද්දකි. ජනගහනයට ලබා දී ඇති එන්නත් සංඛ්‍යාව සම්බන්ධයෙන් ගත් කල, අසල්වැසි චීනය මේ දක්වා එන්නත්කරනය කර ඇති මාත්‍රා බිලියන 2.2 න් අඩකටත් වඩා අඩු ප්‍රමානයක් ඉන්දියාව ලබා දී ඇත. මේ අතරම චීනය, වසංගතය තුරන් කිරීමේ උපාය මාර්ගයක් සාර්ථකව අනුගමනය කරමින් වසංගතයෙන් සිදු වූ මුළු මරන ගනන 5,000 ට වඩා අඩු මට්ටමක පවත්වා ගෙන සිටී.

මෝදිගේ “ඉන්දියානු විද්‍යාවට” ආයාචනය කිරීමේ නරුමත්වය, ඒ ගැන අදහස් දැක්වීමකින් තොරව සම්මත වීමට ඉඩ දිය නොහැක. මේ වචන පිටවන්නේ, ජ්‍යොතිෂය ප්‍රවර්ධනය කරන සහ වසංගතය පුරාවටම සියලු ආකාරයේ විද්‍යාත්මක නොවන විගඩම් උත්කර්ශයට ලක්කල, අන්ත දක්ෂිනාංශික, හින්දු ස්වෝත්තමවාදී පක්ෂයක නායකයාගේ මුවිනි. කොවිඩ්-19 තාලි (මුළුතැන්ගෙයි උපකරන) වලින් මට්ටු කල හැකිය යන ප්‍රකාශයන් ද 2020 දී වෛරසය රට පුරා ව්‍යාප්ත වීමට පටන් ගත් විට “කොරෝනා වසංගතයේ අන්ධකාරයට එරෙහිව සටන් කිරීම සඳහා” මිනිත්තු නවයක් ඔවුන්ගේ විදුලි පහන් නිවා දැමීමට මෝදි ඉන්දියානුවන්ට කල ආයාචනා ද මෙයට ඇතුලත් ය.

හරිනම් කලයුතුව ඇත්තේ, හොර වෙදකමට උඩගෙඩි දීම සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවල මූලිකත්වය ගැනීම සම්බන්ධයෙන්—ඔහුගේ බ්‍රසීලියානු සගයා වන ෆැසිස්ට්වාදී ජෙයාර් බොල්සොනාරෝ ට මෙන්—මෝදි ට එරෙහිව චෝදනා ගොනු කිරීම ය. කෙසේ වෙතත්, වසංගතයට බීජේපී ආන්ඩුව දක්වන විනාශකාරී ප්‍රතිචාරය පිලිබඳව ඉතාම බයාදු විවේචනයක් පමක් සිදු කරන ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂය සහ අනෙකුත් විරුද්ධ පක්ෂ, බීජේපී හි “රංචු ප්‍රතිශක්තිය” ප්‍රතිපත්තියට මුලුමනින්ම සම්බන්ධ වී සිටින්නේ, කොරෝනා වෛරස් ව්‍යසනය පිලිබඳ මහජන කෝපය, අති මහත් දරිද්‍රතාවයට, එකදිගට ගැඹුරු වන සමාජ අසමානතාවට සහ ආන්තික සූරාකෑමට එරෙහිව කම්කරු පන්තියේ විරුද්ධත්වය තව දුරටත් අවුලුවාලනු ඇතැයි යන බියෙනි.

ආන්ඩුවේ මහජන සහයෝගයේ කඩාවැටීම ආපසු හැරවීමට මංමුලා සහගතව, මෝඩි සහ ඔහුගේ බීජේපී හිතවාදීන් නිර්ලජ්ජිත ලෙස එන්නත් ව්‍යාපාරයේ ගෞරවය ගසා කෑමට උත්සාහ කර ඇති අතර, එය සැබැවින්ම රඳා පවතින්නේ අඩු වැටුප් ලබන මිලියන ගනනක් සෞඛ්‍ය සේවකයින්ගේ උත්සාහයන් මත ය. ඒ ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට නිසි පරිදි පීපීඊ (පුද්ගලික ආරක්ෂක උපකරන) සැපයීම පවා ප්‍රතික්ෂේප කර තිබියදී ය.

ඉංග්‍රීසි සහ හින්දි භාෂාවෙන් මෝදිගේ උපුටා දැක්වීමක් සහිත ඔහුගේ ලොකු පින්තූරයක් ආන්ඩුව විසින් නිකුත් කරන ලද සියලුම එන්නත් සහතිකවල ඇතුලත් වේ. මෝදිගේ රුව නොමැති සහතිකයක් තමන්ට නිකුත් කරන ලෙස ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා මෙම මස මුලදී දකුනු කේරල ප්‍රාන්තයේ පීටර් එම්., අධිකරනය වෙත ගියේය. එන්නත් කිරීමේ වැඩසටහන “ප්‍රචාරක මෙවලමක්” ලෙස භාවිතා කරන බවට ඔහු මෝදිට චෝදනා කල අතර ආන්ඩුව විසින් නොමිලේ ලබා දෙන එන්නත් සඳහා දිගු පෝලිම් හේතුවෙන් පුද්ගලික රෝහලක එන්නත් කිරීමේ පිරිවැය පුද්ගලිකව දැරීමට තමාට සිදු වූ බව ඔහු සඳහන් කලේය.

බටහිර බෙංගාලයේ දක්ෂිනාංශික මහ ඇමතිනි මමතා බැනර්ජි ඉතා උචිත ලෙස පෙන්වා දී ඇත්තේ මෝදි සෑම එන්නත් සහතිකයකම ඔහුගේ මුහුන දිස්වන ලෙස මුද්‍රනය කරන්නේ නම්, එය කොවිඩ්-19 “මරන සහතිකය” මත ද තිබිය යුතු බවයි.

උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ ආන්ඩු මෙන්, මෝදි, ඉන්දියාවේ එන්නත් ව්‍යාපාරය භාවිතා කර ඇත්තේ, වෛරසය තුරන් කිරීමේ උත්සාහයන් ශක්තිමත් කිරීමට නොව, ඉන්දියානු මහා ව්‍යාපාරිකයන්ගේ ඉල්ලීම් සපුරාලීම සඳහා ආර්ථිකය සාපරාධී ලෙස යලි විවෘත කිරීම වේගවත් කිරීම යුක්ති සහගත කිරීමට ය. ඔහුගේ ඔක්තෝබර් 22 දේශනයේදී මෝදි ප්‍රකාශ කලේ “ලෝකය දැන් ඉන්දියාව සලකන්නේ, කොරෝනා පෙරමුනේ වඩා ආරක්ෂිත රටක් ලෙස” බවයි. ඔහු මෙම, ස්වයං-සේවා ප්‍රකාශය කලේ රට තුල වසංගතයේ තුන්වන රැල්ලක වැඩෙන තර්ජන මධ්‍යයේ, සිසුන් කායිකව සම්බන්ධ වන පාසල් අධ්‍යාපනය නැවත ආරම්භ කිරීම ඇතුළුව ඉන්දියාව “යලි විවෘත කිරීමේ” ඔහුගේ තල්ලුව තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා ය.

ඉන්දියාව අවුරුදු 2 සිට 18 දක්වා ලමයින්ට එන්නත් කිරීම ආරම්භ කර නැත. එසේ තිබියදීත්, ප්‍රාන්ත ගනනාවක සහ දිල්ලි ජාතික අගනුවර ප්‍රදේශය තුල අගෝස්තු අග දී සීමිත මහජන සෞඛ්‍ය සීමාවන් සහිතව පාසල් නැවත විවෘත කිරීම ආරම්භ කලේය. ජෛව වෛද්‍ය පර්යේෂන පිහිටුවීම, සම්බන්ධීකරනය සහ ප්‍රවර්ධනය සඳහා වන ඉහලම රජයේ ආයතනය වන ඉන්දියානු වෛද්‍ය පර්යේෂන කවුන්සිලය (අයිසීඑම්ආර්) ඉන්දියාවේ ප්‍රාන්තවලට උපදෙස් දී ඇත්තේ 'ලමුන් තුල දැඩි රෝග ලක්ෂන සහ (කොවිඩ්-ආසාදිත) ලමුන්ගේ මරන අඩු' බැවින් “අදියර වශයෙන් (ප්‍රාථමික පාසල් වල සිට)” පාසල් නැවත විවෘත කරන ලෙසයි. කෙසේ වෙතත්, බොහෝ විද්‍යාත්මක අධ්‍යයනයන් සහ වෙනත් තැන්වල පාසල් නැවත විවෘත කිරීමේ ව්‍යාපාරවල කටුක අත්දැකීම් මගින් පෙන්නුම් කර ඇත්තේ පාසල් වෛරසය සම්ප්‍රේෂනයේ ප්‍රබල වාහකයන් වන අතර දරුවන් කොරෝනා වෛරසයෙන් මිය යා හැකි සහ මිය යන බවයි.

බීජේපී හි ප්‍රචාරනය පිටුපසින් ඇති යථාර්ථය නම් ඉන්දියාවේ එන්නත්කරන වැඩසටහන ප්‍රකාශ කලාට වඩා ව්‍යසනයක්වී ඇති බවයි. මේ වසර මුලදී, මෝදි ප්‍රකාශ කලේ, රට, වසර අවසානය වන විට එහි මුළු වැඩිහිටි ජනගහනයටම එන්නත් ලබා දෙනවා පමනක් නොව, සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ බොහෝ රටවලට එන්නත් මාත්‍රා සපයන බවත්, මෙය ඉන්දියාවේ ගෝලීය අනුහස වැඩි දියුනු කරනු ඇති බවත්ය.

කෙසේ වෙතත්, මෙම සැලසුම් පීලි පැනීමට ලක්වූයේ, ප්‍රථමයෙන් බයිඩන් විසින් එන්නත් නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය අපනයනය මත තහනමක් පැනවීමත්, ඉනික්බිතිව ඉන්දියාවේ වසංගතයේ විනාශකාරී දෙවන රැල්ලත් මගිනි. නිල සංඛ්‍යාලේඛනවලට අනුව, මැයි මස මුලදී එහි උච්චතම අවස්ථාව වන විට, කොවිඩ්-19 දෛනිකව පුද්ගලයින් 4,000 කට වඩා මරනයට පත්කරමින් සිටියේ ය. ආසාදන වැඩිවීමෙන් රටේ රෝහල් පිරී ඉතිරී ගොස් වීදිවල මල සිරුරු ගොඩගැසීමත් ආදාහනාගාර පැය 24 පුරාම ක්‍රියා කිරීමත් සමග බලාපොරොත්තු සුන්වීමේ බිහිසුනු දර්ශන දැකගත හැකි විය.

තමන්ගේම ජනතාවට අත්‍යවශ්‍ය එන්නත් වලින් කොටසක්වත් නිෂ්පාදනය කිරීමට නොහැකි වූ ඉන්දියාව පසුගිය අප්‍රේල් මාසයේදී එන්නත් අපනයනය නතර කල අතර මේ මාසයේ සංකේතාත්මක නැව්ගත කිරීම් කිහිපයක් පමනක් නැවත ආරම්භ කලේය.

මෝදි ආන්ඩුවේ නිර්දය පන්ති ස්වභාවය අවධාරනය කරමින්, එය නොමිලේ එන්නත් ලබාදීමට දිගු කලක් තිස්සේ විරුද්ධ විය. මාරාන්තික දෙවන රැල්ල පුරාවටම, එය, සෑම එන්නත් මාත්‍රාවක් සඳහාම ඉන්දියානුවන්ගෙන් අය කිරීම දිගටම කරගෙන ගියේය. ජුනි මස මුලදී, ආසාදන හා මරන වැඩිවීම සෙමෙන් පහව ගිය විට, මහජන සෞඛ්‍ය සේවා පද්ධතිය හරහා නොමිලේ එන්නත් ලබා දීමට බීජේපී ආන්ඩුව එකඟ විය. එසේ වුවද, එය තවමත් සියලුම එන්නත් මාත්‍රාවලින් සියයට 25 ක් පුද්ගලික සැපයුම්කරුවන් සඳහා වෙන් කර ඇති අතර, ඒ සඳහා ගෙවීමට තරම් මූල්‍ය සම්පත් ඇති අයට ජීවිතාරක්ෂක එන්නත වෙත පහසුවෙන්ම ප්‍රවේශය සලසා දී තිබේ.

සමස්ත දේශපාලන සංස්ථාපිතය විසින් දශක ගනනාවක් තිස්සේ අවම ලෙස අරමුදල් සැපයීමේ ප්‍රතිඵලයක් වන ඉන්දියාවේ ගරාවැටුනු සෞඛ්‍ය සේවා පද්ධතිය, රටේ පුළුල් පරාසයක් පුරා සාර්ථක එන්නත් වැඩසටහනක් දියත් කිරීමට නුසුදුසු බව ඔප්පු වී ඇත. බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල වැඩිහිටි ජනගහනයෙහි එන්නත් අනුපාතය නාගරික මධ්‍යස්ථානවල සිටින අයට සාපේක්ෂකව ඉතා සුළු ප්‍රමානයක් පමනි. ජූලි 30 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද කොන්වසේෂන් (Conversation) වෙබ් අඩවියේ ලිපියකට අනුව, “මැයි අග වන විට, ඉන්දියාවේ අඩු සංවර්ධිත දිස්ත්‍රික්ක 114 ක පදිංචිකරුවන් මිලියන 176 කට ලබා දී ඇත්තේ මාත්‍රා මිලියන 23 ක් පමනි,” එහෙත් “ඉන්දියාවේ ප්‍රධාන නගර නවයෙහි ජනගහනය ඉන් අඩක් වුවද ඔවුන්ට එම මාත්‍රා සංඛ්‍යාවම ලැබී තිබුනි.”

එන්නත් ලබා දී ඇති ග්‍රාමීය ප්‍රදේශවල පවා, සම්පූර්න ආරක්ෂාව ලැබී ඇති සංඛ්‍යාවේ සහ එක් මාත්‍රාවක් පමනක් ලබා ගත් සංඛ්‍යාවේ විශාල පරතරයක් තිබේ. මෙයට බොහෝ දුරට හේතු වී ඇත්තේ ග්‍රාමීය වැසියන්ට බොහෝ විට ලඟම ඇති සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානය වෙත ලඟා වීමට තම වියදමින් පැය කිහිපයක් ගමන් කිරීමට සිදුවීමයි. බොහෝ ප්‍රාන්ත එන්නතෙහි පලමු මාත්‍රාව තීරනාත්මක සමාජ සුබසාධන වැඩසටහන් වෙත ප්‍රවේශ වීම සඳහා කොන්දේසියක් බවට පත් කර ඇති නිසා, බොහෝ දුප්පත් ග්‍රාමීය කම්කරුවන්ට පලමු එන්නත ලබා ගැනීමේ වියදම දරා ගැනීමට සිදුව ඇත. නමුත් දෙවැන්න ලබා ගැනීමට, කාලයෙන් හා මුදලින් ඒ හා සමාන වියදමක් දැරීමට ඔවුහු මැලි වෙති.

ටාටා සමාජ විද්‍යා ආයතනයේ සංවර්ධන අධ්‍යයන පාසලේ මහාචාර්ය ආර්. රාමකුමාර් ට්විටර් ඔස්සේ පෙන්වා දුන්නේ ඉන්දියාවට වසර අවසාන වන විට සෑම වැඩිහිටියෙකුටම එන්නත් කිරීමේ ඉලක්කය මාස 5-6 කින් පමන මග හැරෙනු ඇති බවයි. එම ඉලක්කය කරා ලඟා වීමට “ඉන්දියාව 2021 නොවැම්බර් සහ දෙසැම්බර් මාස දෙක තුල අතිරේක මාත්‍රා මිලියන 870 ක් (හෙවත් දිනකට මිලියන 15ක්) නිෂ්පාදනය කල යුතුය”, ඔහු නිරීක්ෂනය කලේය. “නමුත් ඉන්දියාව, 2021 ඔක්තෝබර් පලමු දින 20 තුල ලබා දුන්නේ මාත්‍රා මිලියන 5.5 ක් පමනි.”

සෞඛ්‍ය ආර්ථික විද්‍යාඥයෙකු සහ රාජගිරි සමාජ විද්‍යා විද්‍යාලයේ සහකාර මහාචාර්ය රිජෝ ජෝන් සඳහන් කර ඇත්තේ වයස්ගත, වඩාත් අවදානමට ලක්විය හැකි ඉන්දියානුවන් විශාල පිරිසකට කොවිඩ්-19 ආසාදනය වීමේ ඉහල අවදානමක පවතින බවයි. '45+ ජනගහනයෙන් සියයට 80 ක් එක් මාත්‍රාවක් ඇති අතර මාත්‍රා දෙකම ලබා ගෙන ඇත්තේ ඔවුන්ගෙන් සියයට 43 ක් පමනකි.'

මෙම තත්වයන් යටතේ, මාරාන්තික තුන්වන වසංගත රැල්ලක තර්ජනය බියකරු ලෙස රට පුරා ලඹ දෙයි. ප්‍රාන්ත මට්ටමින් විරුද්ධ පක්ෂ විසින් සහාය දක්වන 'සාමාන්‍ය තත්ත්වය' කරා යලිඒමක් සඳහා බීජේපී ආන්ඩුව කරන ඉල්ලීම මගින් මෙම අන්තරාය වඩාත් විශාල කර ඇත. එක්සත් ජනපදයේ සහ යුරෝපයේ වෛරසය වේගයෙන් පැතිරීම සහ නව ප්‍රභේද මතුවීම නොතකා මේ මස මුලදී මෝදි ආන්ඩුව ඉන්දියාව ජාත්‍යන්තර සංචාරක ව්‍යාපාරයට නැවත විවෘත කලේය.

දෙවන රැල්ල මධ්‍යයේ මේ වසර මුලදී කඩා වැටුනු අබලන් සෞඛ්‍ය සේවා පද්ධතිය පවතින්නේ, තෙවැනි රැල්ලක් හැසිරවිය නොහැකි තත්ත්වයක ය. මිලියන සියගනනක් ඉන්දියානුවන්ට ප්‍රමානවත් සෞඛ්‍ය සේවාවක් සඳහා ප්‍රවේශයක් නොමැතිව, රෝහල් සහ අනෙකුත් පහසුකම් සඳහා ලබා දී ඇති මොනයම්ම අතිරේක අරමුදලක් සොච්චමකි. මිලියන ගනනකට මූලික සනීපාරක්ෂක අවශ්‍යතා සපුරාලීම සඳහා නල ජලය පවා නොමැත.

ටයිම්ස් ඔෆ් ඉන්ඩියා ඔක්තෝබර් 25 වන දින වාර්තා කලේ, පවතින උත්සව සමය ආරම්භ වීමෙන් පසු “සමහර රෝහල් දැනටමත් රෝගීන් සංඛ්‍යාවේ ඉහ යාමක් වාර්තා කිරීමට පටන් ගෙන ඇති” බව යි. පුවත්පතට අනුව, මීට පෙර තම කොවිඩ්-19 වාට්ටු වසා දැමූ බොහෝ රෝහල් ඒවා නැවත විවෘත කර ඇති අතර සමහර ඒවා පෙර සතියට සාපේක්ෂව රෝගීන් සියයට 20-25 කින් වැඩි වී තිබේ. පහත සඳහන් ප්‍රාන්තවල සතිපතා නව කොවිඩ්-19 රෝගීන්ගේ ඉලක්කම් දෙකක වැඩිවීමක් වාර්තා විය: චත්තිස්ගාර් (සියයට 60), ඇසෑම් (සියයට 42) සහ බටහිර බෙංගාලය (සියයට 41). මේ අතර, නව රෝගීන් වාර්තාවන ප්‍රාන්තවලින් රටෙහි පෙරමුන ගෙන සිටින දකුනු ඉන්දීය කේරල ප්‍රාන්තය, පසුගිය සතියේ රෝගීන් 61,010 ක් වාර්තා කල අතර, ඊට පෙර සතියේ රෝගීන් 59,521 ක් වාර්තා කර තිබිනි.

Loading