පෞද්ගලීකරනයට එරෙහිව ශ්‍රී ලංකාවේ බලශක්ති, වරාය සහ ඛනිජ තෙල් කම්කරුවෝ විරෝධය පල කරති

[මෙය 2021 නොවැම්බර් 4 වැනි දින Sri Lankan power, port and petroleum workers protest against privatisation
යන මැයෙන් පල වූ ලිපියේ පරිවර්තනයයි.]

බදාදා, ලංකා විදුලි බල මන්ඩලය (ලංවිම), ශ්‍රී ලංකා වරාය අධිකාරිය (එස්එල්පීඒ) සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (සීපීසී) කම්කරුවන් දහස් ගනනක් කෙරවලපිටිය බලාගාරය එක්සත් ජනපදය පදනම් කරගත් නිව් ෆෝට්රස් එනර්ජි සමාගමට විකිනීමේ රාජපක්ෂ ආන්ඩුවේ ගිවිසුමට එරෙහිව විරෝධතා පල කලහ.

කොලඹ නගරයේ පිහිටි ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයට සම්බන්ධ වීමට, දිවයින පුරා දිස්ත්‍රික්කවලින් පැමිනි 3,000ක් ද ඇතුළුව සියලුම ශ්‍රේනිවල ලංවිම සේවකයින් 4,000ක් පමන උද්ඝෝෂනයට සහභාගී වූහ.

ඛනිජ තෙල් සංස්ථාවේ කම්කරුවන් කොලොන්නාවේදී උද්ඝෝෂනය කරමින් (ඡායාරූපය-ලෝසවෙඅ මාධ්‍ය)

එදිනම, කොලඹ වරායේ සේවකයින් 300කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන කාර්යාලයෙන් පිටත විරෝධතාවයක නිරත වූ අතර, සීපීසී කාර්ය මන්ඩලය 200ක් පමන කොලඹ තදාසන්න ප්‍රදේශයේ කොලොන්නාව තෙල් ගබඩාව ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූහ. සපුගස්කන්ද තෙල් පිරිපහදු කම්කරුවන් දුසිම් ගනනක් ද කොලඹ ඊසානදිග තදාසන්න ප්‍රදේශයේ පිහිටි මධ්‍යස්ථානයෙන් පිටත රැස් වූහ.

කම්කරුවෝ අතින් ලියන ලද පුවරු අතැතිව ආන්ඩුවට 'ලංවිම විකිනීම නවත්වනු' සහ 'රජයේ දේපල පුද්ගලීකරනය නවත්වනු' ආදී සටන් පාඨ කීහ. ලංවිම, එස්එල්පීඒ සහ සීපීසී වෘත්තීය සමිති වල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය (ජේටීයූඒ) විසින් මෙම තනි තනි විරෝධතා සංවිධානය කරන ලදී.

විරෝධතාවලට දිනකට පෙර, විදුලිබල මන්ඩලයේ සභාපතිවරයා සියලුම සේවකයන්ගේ නිවාඩු අවලංගු කරමින් චක්‍රලේඛයක් නිකුත් කල අතර, විදුලිය සැපයීම කඩාකප්පල් කිරීමට වගකිව යුතු සේවකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජනය කලේය. මෙම තර්ජන නොතකා ලංවිම සේවකයන් උද්ඝෝෂනයට එක් වූයේ ලෙඩ නිවාඩු දමමිනි. ජේටීයූඒ, ආන්ඩුව සමග කිසියම් ගැටුමක් ඇති වේ යැයි බියෙන් වැඩ වර්ජනයක් සංවිධානය කිරීම ප්‍රතික්ෂේප කල නමුත් කොලඹට යන කම්කරුවන්ට නිවාඩු සඳහා ඉල්ලුම් කිරීමට උපදෙස් දුන්නේය.

ලංකා විදුලිබල මන්ඩල කම්කරුවන් කොලඹ ප්‍රධාන කාර්යාලයෙන් පිටත විරෝධතාවක (ඡායාරූපය-ලෝසවෙඅ මාධ්‍ය)

කොලොන්නාවේදී සීපීසී කම්කරුවන් උද්ඝෝෂනය කිරීම නැවැත්වීමට ශ්‍රී ලංකා පොලිසිය මහේස්ත්‍රාත් අධිකරනයෙන් වාරන නියෝගයක් ලබා ගැනීමට උත්සාහ කල මුත් විනිසුරුවරයා එය ප්‍රතික්ෂේප කලේ විරෝධතාවට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට පොලිසියට දැනටමත් බලය ඇති බව පවසමිනි.

රාජපක්ෂ ආන්ඩුව, නිව් ෆෝට්රස් එනර්ජි (එන්එෆ්ඊ) සමාගම සමග පෞද්ගලීකරන ගිවිසුම සැප්තැම්බර් 17දා රහසිගතව අත්සන් කරන ලදී. දැනට කෙරවලපිටියේ එල්එන්ජී බලාගාරය පාලනය කරන වෙස්ට් කෝස්ට් සමාගමේ සියයට 40 ක කොටසක් විකිනීම ද ඊට ඇතුලත්ය. අනාගතයේ ඉදි කරන ස්වභාවික ද්‍රව වායු (එල්එන්ජී) සහ සැපයුම් බලාගාර වල නිෂ්පාදනය සහ සැපයීම සඳහා එන්එෆ්ඊ හට අයිතිය ලැබෙනු ඇත.

ලංවිම, සීපීසී සහ එස්එල්පීඒ සේවකයින්ගේ විරෝධතා, ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව කම්කරුවන් විසින් රැකියා සහ සමාජ කොන්දේසි මත ආන්ඩුවේ සහ මහා ව්‍යාපාරික ප්‍රහාරවලට එරෙහි පන්ති අරගල ක්‍රියාමාර්ගයන්ගේ පුනර්ජීවනයේ කොටසකි.

ලංවිම, සීපීසී සහ එස්එල්පීඒ වෘත්තීය සමිති සන්ධානයට ඊයේ විරෝධතා කැඳවීමට බලකෙරුනු අතර, ඔවුන්ගේ සාමාජිකයින්ගේ වැඩෙන උත්සුකයන්ට ප්‍රතිචාර වශයෙන් ගත් සීමිත හා වෙන වෙනම ක්‍රියාමාර්ගවල අරමුන වන්නේ කම්කරුවන්ගේ විරුද්ධත්වය පාලනය කර එය සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනාදි විරුද්ධ ධනේශ්වර පක්ෂවලට ගැටගැසීමයි.

මෙම පක්ෂවලට කොලඹ ආන්ඩුවේ පුද්ගලීකරන ගනුදෙනුව සමග මූලික වෙනස්කම් නොමැත. ආන්ඩු තුල හෝ පිටත හිඳිමින්, රැකියා කප්පාදු කරමින් සිදු කරන පුද්ගලීකරනය සහ කම්කරුවන්ගේ දුගීන්ගේ සමාජ කොන්දේසි වලට එරෙහි අනෙකුත් ප්‍රහාර මෙම පක්ෂ නිර්දය ලෙස අනුමත කර ඇත.

ඊයේ ලංවිම ප්‍රධාන කාර්යාලයෙන් පිටත විරෝධතාකරුවන් අමතමින් ලංවිම වෘත්තීය සමිති කැදවුම්කරු රන්ජන් ජයලාල් ප්‍රකාශ කලේ, 'වර්ජන ක්‍රියාමාර්ග ගැනීමට අපට අවශ්‍ය නැතත්, මෙම විරෝධතාව සංඥාවක් බව රජය තේරුම් ගෙන ගිවිසුම ඉල්ලා අස්කර ගනු ඇතැයි අපි සිතමු.' යනුවෙනි.

විරෝධතාකරුවන් කොලඹ ආන්ඩුවේ තර්ජනවලට බිය නොවිය යුතු බව පැවසූ ඔහු තවදුරටත් කියා සිටියේ “ඒ [තර්ජනවලට බිය නොවිය යුත්තේ] ආන්ඩුවට කොන්දක් නැති බැවිනි. ඒ නිසා තමයි හොර රහසේ ගිවිසුම අත්සන් කලේ.” යනුවෙනි.

රාජ්‍ය ව්‍යවසායන්හි කම්කරුවන්ගේ පමනක් නොව සමස්ත කම්කරු පන්තියේම ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතීන්ට එරෙහිව ම්ලේච්ඡ ප්‍රහාරයක් දියත් කිරීමට ආන්ඩුව සූදානම් වෙමින් තිබියදී ප්‍රකාශ කල මෙම අදහස් කම්කරුවන් දේශපාලනිකව නිරායුධ කිරීමට හිතාමතා කරන උත්සාහයකි.

සීපීසී සහ එස්එල්පීඒ ඇතුළු බොහෝ රාජ්‍ය ආයතන තුල වැඩ වර්ජන සහ කාර්මික ක්‍රියාමාර්ග තහනම් කරමින් අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යලි පනවන අති විශේෂ ගැසට් නිවේදනයක් ඔක්තෝබර් 29දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරන ලදී. මෙම පියවරයන් උල්ලංඝනය කරන ඕනෑම රාජ්‍ය අංශයේ කම්කරුවෙකුට හෝ ඕනෑම ආකාරයක කාර්මික ක්‍රියාමාර්ගයක් ගැනීමට අන්‍යයන් දිරිමත් කරන්නෙකුට, දැඩි සිර දඬුවම්, අධික දඩ සහ අපලේඛනගත කිරීමෙන් දඬුවම් කල හැකිය.

වෘත්තීය සමිති 'රජයේ දේපල සුරකිනු' යන සටන් පාඨය මතු කරන අතරම, ඔවුන් කම්කරු පන්තියේ ස්වාධීන අවශ්‍යතා ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කරති. මෙම කර්මාන්ත, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට සහ කම්කරු පන්තියේ අයිතිය යටතට පත් කරන සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම් වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන අරගලයට මෙම සමිති විරුද්ධ වෙති.

එස්එල්පීඒ විරෝධතාවයේ දී 'වරාය, ඛනිජතෙල් සහ විදුලිය පුද්ගලීකරනයට එරෙහිව සටන් වැදීම සඳහා කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගනු!' යන මාතෘකාවෙන් යුත් ලෝසවෙඅ ලිපියක් බෙදා හැරීමට වෘත්තීය සමිති නායකයින් බාධා කිරීම කම්කරු පන්තියේ ස්වාධීන කාර්මික-දේශපාලන ව්‍යාපාරයකට වෘත්තීය සමිතිවල සතුරුකම පැහැදිලිවම හෙලිදරව් කරන්නකි. ඔවුහු ලෝසවෙඅ වාර්තාකරුවන් කම්කරුවන් සමඟ කතා කිරීම වැලැක්වීමට උත්සාහ කලහ.

සසප සමාජවාදී වැඩපිලිවෙල පිලිබඳ කිසිදු සාකච්ඡාවක් වැලැක්වීමට වෘත්තීය සමිති නිලධරයන් කෙතරම් මංමුලා සහගත වීද යත්, ලෝසවෙඅ වාර්තාකරුවන්ට සහ සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකයින්ට තර්ජනය කිරීමට මැරයන් බලමුලු ගන්වමින්, ඔවුන් විරෝධතාව කඩාකප්පල් කිරීමට උත්සාහ කරන බවට බොරුවක් පොලිසියට පැවසූහ.

කොලොන්නාවේදී විරෝධතාකරුවන් අමතමින් පොදු සේවක සංගමයේ නායක අජිත් පද්මසිරි ප්‍රකාශ කලේ, “අද ඓතිහාසික දිනයක් වන්නේ ලංවිම හා සීපීසී කම්කරුවන් එකට එකතු වී ඇති බැවිනි. මේවා විකුනන්න අපි රජයට ඉඩ දෙන්නේ නැහැ. අපි ජයග්‍රහනය තෙක් මේ අරගල ඉදිරියට ගෙන යනවා.”

ආන්ඩුවට බලපෑම් කිරීමෙන් පුද්ගලීකරනය නැවැත්විය හැකි බව කියන මිත්‍යා ප්‍රකාශ, දේශපාලන උගුල් ය. කොලඹ පියවරයන් නියම කෙරෙන්නේ, ආර්ථික අර්බුදය, දැවැන්ත විදේශ නය සහ ධනේශ්වර පන්තියේ ලාභ අවශ්‍යතා මගිනි. එය සිය ගමන් මග වෙනස් නොකරන බවත්, පන්ති-යුධ විධික්‍රම හරහා එහි ප්‍රතිපත්තිවලට එරෙහි ඕනෑම විරෝධයක් තලා දැමීමට අධිෂ්ඨාන කරගෙන ඇති බවත් පැහැදිලිව පෙන්වා දී ඇත.

ලෝසවෙඅ සමග කතා කල විරෝධතාවයේ යෙදුනු කම්කරුවන් රාජපක්ෂ ආන්ඩුවට හා වෘත්තීය සමිති වලට තම විරුද්ධත්වය ප්‍රකාශ කලහ.

පුත්තලම නොරොච්චෝල බලාගාරයේ කම්කරුවෙකු වන රනසිංහ රජයට බලපෑම් කිරීමෙන් කම්කරුවන්ට පුද්ගලීකරනය නැවැත්විය නොහැකි බව සඳහන් කලේ, “ආන්ඩුව දැඩි ආර්ථික අර්බුදයක සිටින අතර එම අර්බුදයෙන් මිදීමට විදේශ ආයෝජන ගෙන්වා ගත යුතුව තිබේ. පොදු වත්කම් පුද්ගලීකරනය කිරීමට අවශ්‍ය වන්නේ එබැවිනි.” යනුවෙන් සඳහන් කරමිනි.

වසංගතය පාලනය කිරීමට ආන්ඩුව කිසිවක් කර නැතිමුත් කම්කරුවන්ගේ අරගල මර්දනය කිරීමට සෞඛ්‍ය රෙගුලාසි භාවිතා කර ඇති බවත්, කම්කරු පන්තියට එරෙහිව භාවිතා කිරීමට මර්දනකාරී රාජ්‍ය නීති පැනවූ බවත් ඔහු වැඩිදුර පැවසීය.

සීපීසී හි කාර්මිකයෙක් පැවසුවේ මහජනතාවට සහ අනාගත පරම්පරාවට ප්‍රතිලාභ සැලසීම සඳහා මහජන උපයෝගිතා අවශ්‍ය බවයි. 'අනිත් බොහෝ මිනිසුන් මෙන් මමත් මේ රජයට ඡන්දය දුන් නමුත් එය ජනතාව රවටා ඇති බව මට දැන් තේරෙනවා.' යැයි ඔහු පැවසී ය.

ගුරුවරුන්ගේ වැටුප් අරගලය ගැන සඳහන් කරමින් ඔහු පැවසුවේ, “එය සම්පූර්නයෙන්ම යුක්ති සහගතයි. හැමෝම ප්‍රශ්නවලට මුහුන දෙනවා. ගොවීන් උද්ඝෝෂන කරනවා. අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල වල මිල දරාගත නොහැකි මට්ටමට ඉහල ගිහින් තියෙනවා.” යනුවෙනි.

එස්එල්පීඒ සේවා අංශයේ කම්කරුවෙකු වන වසන්ත පැවසුවේ, “මහජන දේපල පෞද්ගලීකරනය කිරීම අපගේ රැකියා සහ සේවා කොන්දේසි විනාශ කරනවා පමනක් නොව, එය අනාගත පරපුරට එල්ල කරන මාරාන්තික ප්‍රහාරයකි. කම්කරුවන්ට මෙම ප්‍රහාර තවදුරටත් දරාගත නොහැකි අතර දැන් ඔවුන්ගේ ඉවසීමේ අවසන් සීමාවට පැමින ඇත.” යනුවෙනි.

Loading