ජවිපෙ මැදපෙරදිග ලාංකික කම්කරුවන්ට "පිරිසිදු" ධනපති පාලනයක් පිලිබඳ ව්‍යාජය තොරොම්බල් කරයි

ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), ඔක්තෝබර් 29 වෙනිදා, කුවේටයේ රැකියාවේ නියුතු ශ්‍රී ලාංකික කම්කරුවන් සහභාගි කරගත් අන්තර්ජාල රැස්වීමක් පැවැත්වීය. මෙම රැස්වීම සඳහා ජවිපෙ දේශපාලන මන්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති ඇතුලු පක්ෂයේ ක්‍රියාකාරිකයන් කීපදෙනෙක් සහභාගිවූහ.

සුනිල් හඳුන්නෙත්ති (photo: parliament.lk}

ජවිපෙ රැස්වීමේ මාතෘකාව “වත්මන් ආර්ථික අර්බුදයන්ගේ ගිලටීනයට හසුවන ශ්‍රී ලාංකිකයන්”වූ නමුත්, එහිදී සාකච්ඡා නොවුනේමත් මැදපෙරදිග රැකියාවේ නියුතු කම්කරුවන් ඇතුලු ශ්‍රී ලංකාවේ සමස්ත කම්කරු-පීඩිත මහජනතාව ලෝක ආර්ථික අර්බුදයේ “ගිලටීනය” ට හසුවී ඇති ආකාරයයි.

හඳුන්නෙත්ති ඇතුලු ජවිපෙ කථිකයන් උත්සුක වූයේ, විදේශගත කම්කරුවන්ගෙන් ලැබෙන ප්‍රේෂන අඩුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ධනපති රාජ්‍යය මුහුන දී සිටින ආර්ථික අර්බුදය වඩාත් ගැඹුරුවීම සම්බන්ධයෙනි.

නය ගෙවීම සඳහා ලංකාවේ ආන්ඩුවට මාසයකට ඩොලර් මිලියන 400 ක් අවශ්‍ය වන බව සඳහන් කල හඳුන්නෙත්ති, ජවිපෙ ආන්ඩුවක් යටතේ “දැනට වඩා වැඩි පොලියක්” ලබාදීම හරහා විදේශ රැකියාවන්හි නිරත 'ලක්ෂ 25 කට ආසන්න' ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දිරිගන්වා ඔවුනගේ ප්‍රේෂන ගෙන්වා ගැනීමෙන් එම මුදල් සොයාගතහැකි බවට විශ්වාසය පල කලේය.

ඒ සඳහා හඳුන්නෙත්ති යෝජනා කරන ආකාරයේ උපාමාරු පිලිබඳව රාජපක්ෂ ආන්ඩුව දැනටමත් සලකා බලමින් සිටී. ඒ අනුව 2022 වසරේ විදේශ රැකියා ආශ්‍රිත ඉපයීම ශුද්ධ වශයෙන් එජ ඩොලර් මිලියන 6,850 ක් විය හැකි බවත් එය 2027 වනවිට එක්සත් ජනපද ඩොලර් මිලියන 8,000 ක් දක්වා වැඩිකරගැනීම ආන්ඩුවේ ඉලක්කයක් බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙවර අයවැය කතාව තුල සඳහන් කලේය.

ප්‍රේෂන අඩුවීම කෙරෙහි බල පෑ ප්‍රධානතම හේතුවක් වනුයේ වසංගතය හේතුවෙන් විදේශ රැකියාවන් සහ වැටුප් දැවැන්තව කප්පාදුවීම යි. ලංකාවේ විනිමය අනුපාතය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව පෙරනොවූවිරූ ලෙස පහල බැසීම හේතුවෙන්, කම්කරුවන් ‌විධිමත් නොවන ආකාරයන්ගෙන් ලංකාවට විනිමය එවීම සහ තම ඉපැයීම් හැකි තරම් විදේශීය බැංකුවල තැන්පත් කිරීම තවත් ප්‍රධාන කාරනාවකි. එය තහවුරු කරමින් ‘ඊස්ට් ඒෂියා ෆෝරම් හි වාර්තාවක් පෙන්වා දෙන්නේ, “ආර්ථික කඩාවැටීම් සහ අවිනිශ්චිතතා තුල අවිධිමත් ක්‍රම හරහා කෙරෙන ප්‍රේෂන ඉහල යාම” විදේශ ප්‍රේෂන අඩු වීම කෙරෙහි බල පා ඇති බවයි. ජවිපෙ යෝජනා කරන ජාතිකවාදී උපාමාරු මගින් මෙම බරපතල ජාත්‍යන්තර ප්‍රශ්න වලට කිසිසේත් ආමන්ත්‍රනය කල නොහේ.

කම්කරුවන්ගේ සහ ඔවුනගේ දරුපවුල් කෙරෙහි දැවැන්තව බලපා ඇති පලමුවැන්න සම්බන්ධයෙන් හඳුන්නෙත්ති කවර හෝ උත්සුකයක් නොදක්වයි. ‘ශ්‍රී ලංකාව තුල එක්සත් ජාතීන්ගේ සංක්‍රමනික ජාලය (United Nations Migrant Network) මගින් 2020 ජුලි මාසයේ නිකුත් කල වාර්තාවට අනුව කොවිඩ් වසංගතය ලාංකික සංක්‍රමනික කම්කරුවන්ට “ඉතා දැඩි සෞඛ්‍ය, සමාජ සහ ආර්ථික මෙන්ම ජිවිත ආරක්ෂාව පිලිබඳ අර්බුදයන්” ජනනය කර ඇත. වසංගතයේ බලපෑම තුල ඔවුන් රැකියාවේ නියුතු රට වල සිදුවූ ආර්ථික පසුබැසීම් තුල විශාල සංක්‍රමනික කම්කරු පිරිසකගේ රැකියා අහිමිවී ඇති අතර, ඔවුන් ගේ වැටුප් දැවැන්ත පරිමානයෙන් කප්පාදුවී තිබේ.

2021 අගෝස්තු 6 වැනිදා නිකුත්කල ගල්ෆ් එකොනොමි අප්ඩේට් නමැති වාර්තාව මැදපෙරදිග ආර්ථික අර්බුදය වර්ධනය වී ඇති ආකාරය මෙසේ විස්තර කරයි: “ගල්ෆ් සහයෝගිතා කලාපයෙහි සමස්ත දල දේශීය නිෂ්පාදිතය 2020 හි දී 2019 ට සාපේක්ෂව සියයට 4.8 කින් හැකිලී ගියේ, කටාර්හි සියයට 3.7 ක සිට ඕමානයේ සියයට 6.3 ක් දක්වා වූ පරාසයක හැකිලීමක් පෙන්නුම් කරමිනි. ...........(කලාපයේ) ජංගම ගිනුම 2019 දී දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6.8 ක අතිරික්තයක සිට 2020 දී දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.9 ක හිඟයකට ගමන් කලේය.”

ශ්‍රී ලංකාව ඇතුලු ලොව සියලු රටවල කම්කරුවන්ගේ රැකියා සහ ජිවන කොන්දේසි අතිශය රුදුරු මට්ටම් වලට ඇද වැටීමේ මූලය, කොවිඩ්-19 වසංගතය මගින් තීව්‍ර කරනු ලැබූ ලෝක ධනපති ආර්ථික අර්බුදය බව වසන් කල ජවිපෙ කථිකයෝ, “දූෂනයෙන් සහ වංචාවෙන් තොරව” ධනපති පාලනය ගෙන යන්නේනම් ශ්‍රී-ලංකා ජාතික රාජ්‍යය තුල කම්කරු-පීඩිත මහජනතාවගේ ප්‍රශ්න ජයගත හැකි වෙතැයි යන ඔවුනගේ මන්ත්‍රය යලිත් ජප කලහ.

“මේ ආර්ථික අර්බුදයට තිබෙන විසඳුම කුමක්ද? මෙම දේශපාලනය මෙහෙමම තියාගෙන මේ ආර්ථික අර්බුදයට විසඳුමක් නැහැ මේ දේශපාලනය වෙනස් කරන්න ඕනේ” යැයි හඳුන්නෙත්ති ප්‍රකාශ කලේය. දේශපාලනය වෙනස්කිරීම යනුවෙන් තමක් අදහස් කරන්නේ කුමක්ද යන්න ඔහු මෙසේ පැහැදිලි කලේය: “නාස්තිය, දූෂනය, හොරකම සහ වංචාව මෙහෙමම තියාගෙන මේ ආර්ථික අර්බුදයට විසඳුමක් නැහැ”

හඳුන්නෙත්ති ඇතුලු ජවිපෙ ට අනුව අර්බුදයේ මූලය “නාස්තිය, දූෂනය, හොරකම සහ වංචාව” වන අතර විසඳුම ඒවා ඉවත් කිරීමයි.

ලංකාවේ ආර්ථික අර්බුදය ද ඇතුලු ලෝක ආර්ථික අර්බුදය වනාහි, ගෝලීය ධනේශ්වර පද්ධතියේ අතිමූලික පරස්පර විරෝධතාවන්ගේ, එනම් ගෝලීය ආර්ථිකය සහ ජාතික රාජ්‍ය පද්ධතිය අතර ද, සාමාජයීය නිෂ්පාදනය සහ නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය අතර ද පවත්නා පරස්පරවිරෝධතාවන් තීව්‍රවීමේ ප්‍රතිඵලයක් බව, ජවිපෙ දැනුවත්ව වසන් කරයි.

නික් බීම්ස් විසින්, “එක්සත් ජනපදයේ සහ ගෝලීය ආර්ථිකයේ වර්ධනය වන ගැටලු“” නමින් ඔක්තෝබර් 11 දා ලෝක සමාජවාදී වෙබ් අඩවියට ලියන ලද ලිපිය වත්මන් ලෝක අර්බුදයේ ස්වභාවය මෙසේ අනාවරනය කරයි “ගෝලීය ආර්ථිකය සීඝ්‍රයෙන් නරක අතට හැරෙමින් පවතින අන්තර් සම්බන්ධිත ගැටලු මාලාවකින් වටකරනු ලැබ තිබේ. මේවාට ඇතුලත් වන්නේ: පරිගනක චිප්ස් සිට ඇඳුම් පැලඳුම් සහ කෙලි බඩු දක්වා ගෝලීය සැපයුම් දාමයේ අවහිරතා; සැපයුම් දාමය බාධා වීමෙන් සහ බල ශක්ති මිල ඉහල යාමෙන් සිදුවන උද්ධමනය ඉහල යාම; කම්කරුවන් තමුන්ගේ සහ තම දරු පවුල්වල සෞඛ්‍යය අවදානමට ලක් කිරීමට ඇති අකමැත්ත සහ මූල්‍ය වෙලඳපොල කැලඹීමේ නිරන්තර තර්ජනය හේතුවෙන් වැඩී ඇති ශ්‍රම හිඟය යනාදියයි.”

මෙම ගෝලීය වර්ධනයන්ගෙන් ස්වායත්තව ලංකාවේ ආර්ථිකය ප්‍රකෘති තත්වයට පත්කල හැකිවෙතැයි යන ප්‍රලාපය ජවිපෙ ධනපති ජාතිකවාදීහු නිරන්තරව වගුරති. හඳුන්නෙත්ති ඉහත රැස්වීමේදී මෙසේ පැවසිය:“අපි විදේශ නය ගෙවනවා, අපි කොමිස් ගහල නැත්තම් ඉදිරියේදී ගහන්න බලපොරොත්තුවකුත් නැත්නම් අපට බය නැතුව එහෙම කියන්න පුළුවන්.”

ජවිපෙ නායකයාට අනුව ශ්‍රී ලංකාවේ නය අර්බුදයේ මූලය කොමිස් ගැසීමයි. හඳුන්නෙත්තිගේ මෙම ග්‍රාම්‍ය තර්කනයට ප්‍රතිකූලව ලංකාවේ නය අර්බුදයේ මූලය වනුයේ, කම්කරු පංතිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීමටත්, රාජ්‍ය මර්දන යන්ත්‍රය ශක්තිමත් කර එය සමස්ත කම්කරු පංතියට එරෙහිව යොදා ගැනීමටත් ජවිපෙ ද පූර්න සහයෝගයෙන් ගෙනගිය කුරිරු වර්ගවාදී යුද්ධය සහ ජාත්‍යන්තර ආයෝජන කැඳවා ගනුවස් ක්‍රියාත්මක කෙරුනු, වරාය, ගුවන්තොටුපොල සහ අධිවේගී මාර්ග ආදී යටිතල පහසුකම් ව්‍යාපෘතීන් ය. මේ සියල්ල සිදු කෙරුනේ ජාතිකව සහ ජාත්‍යන්තරව ලබාගත් දැවැන්ත නය කන්දරාවක් මතිනි.

වසංගතය මගින් තියුනු කරනු ලැබූ ගෝලීය ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස විදේශ ප්‍රේෂන පහල යාමත්, සංචාරක කර්මාන්තය වැනි විදේශ විනිමය ගෙනෙන අංශ සම්පූර්නයෙන්ම අඩපන වීමත්, අපනයන අදායම පහල වැටීමත් හේතුවෙන් මෙම නය අර්බුදය වඩාත් උග්‍ර වී ඇත.

විදේශගත කම්කරුවන්ගෙන් එකතු කර ගන්නා ප්‍රේෂන ජවිපෙ විසින් යොදා ගනු ලබන්නේ කම්කරු-පීඩිත මහජනතාවගේ ජීවිත නගා සිටුවීමට නොව හඳුන්නෙත්ති පවසන ආකාරයට නය ගෙවීම සඳහා ය. කම්කරු-පීඩිත මහජනතාවගේ වියදමින් අර්බුදග්‍රස්ථ ධනපති රාජ්‍යය මුදා ගැනීම ජවිපෙ හි ද පිලිවෙතයි.

ජවිපෙ පිලිවෙත, වර්තමාන ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව විදේශගත කම්කරුවන් සම්බන්ධයෙන් අනුයන පිලිවෙතින් කවර ආකාරයකින් හෝ වෙනස් නොවේ. විදෙස්ගත කම්කරුවන් මුහුනදෙන ජීවිත හානි ඇතුලු අනේකවිධ දුක් කම්කටොලු පිලිබඳ කවර හෝ උත්සුකයක් නොමැති රාජපක්ෂ ආන්ඩුව උත්සුක වන්නේ ද ඔවුනගෙන් ලැබෙන ප්‍රේෂන සම්බන්ධයෙන් පමනි.

පසුගියදා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හි පැවති පරිසර සමුලුවට සහභාගිවීම සඳහා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බහරේන් රාජ්‍යයේ අගමැති සල්මන් ඩින් හමාඩ් අල් කලීෆා සමග “ගෘහ සේවය වෙනුවට නිපුනතාවයෙන් යුතු විදේශ කම්කරුවන් එම රටට එවීමට සාකච්ඡා කල බව ජනාධිපති මාධ්‍ය අංශ වාර්තා කලේය. නමුත්, කම්කරුවන් එම රටවල දී මුහුන දෙන ප්‍රශ්න පිලිබඳව සාකච්ඡා කල බවට කිසිම සදහනක් එම වාර්තාවන්හි නොමැත.

වසංගතයෙන් උග්‍ර කෙරුනු ආර්ථික අර්බුදය මධ්‍යයේ රාජපක්ෂ ආන්ඩුව තීව්‍ර කර ඇති ප්‍රහාර හමුවේ කම්කරු-පීඩිත මහජනතාව අතර වැඩී ඇති දැවැන්ත විරෝධය ගසාකනුවස් ජවිපෙ ඉදිරිපත් කරන “අල්ලසෙන්, දූෂනයෙන්, වංචාවෙන් සහ නාස්තියෙන් තොර පාලනයක්” යන්න, නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය මත පාදකව ලාභය සඳහා නිෂ්පාදනය සිදු කෙරෙන ධනපති ක්‍රමය තුල කිසිසේත් සාක්ෂාත් කල නොහැකි අභූතයකි. ධනපති ක්‍රමය සමග අත්‍යන්තයෙන්ම බැඳී ඇති දූෂනය සහ වංචාව වඩාත් තීව්‍රවීම මූල්‍ය ප්‍රාග්ධනය ආධිපත්‍යය දරන මෙම යුගයේ සුවිශේෂී ලක්ෂනයකි.

ශ්‍රී ලංකාව තුල හෝ අන් රටක රැකියාවේ යෙදෙන කම්කරුවන් මුහුන දී සිටින්නේ වසංගතයෙන් උග්‍ර කෙරුනු එකම ධනපති ප්‍රහාරයකටයි. එම ප්‍රහාර පරාජය කල හැක්කේ ගෝලීය ධනපති ක්‍රමයට සහ ලොවපුරා ධනපති ආන්ඩුවලට එරෙහිව, ජාත්‍යන්තර කම්කරු පන්තිය ඒකාබද්ධව ගෙනයන ස්වාධීන දේශපාලන අරගලයක් මගින් පමනි. ඒ වනාහි ජාත්‍යන්තර සමාජවාදය සඳහා කෙරෙන අරගලය යි.

Loading