ආන්ඩුව අය වැයෙන් තියුනු කල ප්‍රහාර වලට එරෙහිව සෞඛ්‍ය කම්කරුවෝ අරගලයට පැමිනෙති

අයවැය මගින් තම ඉල්ලීම් ඉටු නොකිරීමට එරෙහිව සහ තවත් ඉල්ලීම් කීපයක් මත සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය නොවැම්බර් 17 වනදා දහවල් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීය. හෙද, පරිපූරක වෛද්‍ය සහ අතුරු වෛද්‍ය ක්ෂේත්‍රයන් තුල ක්‍රියාත්මක, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, පරිපූරක වෛද්‍ය සේවා ඒ්කාබද්ධ බල මන්ඩලය සහ අතුරු වෛද්‍ය සේවා ඒ්කාබද්ධ පෙරමුන ආදී වෘත්තීය සමිති 16ක් මෙම සම්මේලනයට අයත්වේ.

නොවැම්බර් 17 වනදා දහවල් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වූ හෙදියන්ගේ පිකට්වැට (ඡායාරූප අනුග්‍රහය : ෆේස්බුක්-ජීඑන්ඕඒ්)

අය වැය මගින් හෙද, පරිපූරක වෛද්‍ය සහ අතුරු වෛද්‍ය උපාධිධාරීන් ගේ වැටුප් විෂමතාවය ඉවත් නොකිරීම කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වූ විරෝධතා උද්ඝෝෂනයේදී, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට අදාල ඩැට් නමින් හැඳින්වෙන ප්‍රවාහන දීමනාව රුපියල් 10,000 දක්වා ඉහල දැමීම, අමතර දීමනා සඳහා සමාන ප්‍රතිපත්තියක් සැකසීම, අතිකාල රේට්ටු මූලික වැටුපෙන් 1/80 බවට පත් කිරීම හා උසස්වීම් වලට අදාල චක්‍රලේඛ නිකුත් කිරීම ආදී ඉල්ලීම් ඉදිරිපත් කෙරුනි.

මෙම ඉල්ලීම් ම මුල් කොටගෙන මීට පෙර මෙම සම්මේලනය විසින් නොවැම්බර් 9 වනදා සංකේත වැඩ වර්ජනයක් කැඳවනු ලැබීය. ඊට පනස්දහසකට ආසන්න සෞඛ්‍ය සේවකයින් පිරිසක් සහභාගී වූ අතර එයට ආන්ඩුවෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබිනි.

වෘත්තීය සමිති විසින් අයවැයට ආසන්න කාලයේදී ආන්ඩුවට බලපෑම් දැමුවහොත් එමගින් යම් සහනයක් ලබා ගත හැකි බවට මිථ්‍යාවක් වපුරනු ලැබිනි. මෙම මිථ්‍යාවන් වපුරනු ලැබුවේ අය වැය ඉදිරිපත් කිරීමට පෙර සිටම මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සිය 2022 අයවැයහි අන්තර්ගතය පිලිබඳව සංඥා කරමින්, මෙම අයවැයෙන් “ජනතාවට ලැබෙන්න නෙවෙයි යන්නෙ. ජනතාවගෙන් ගන්නයි වෙන්නෙ” යයි ප්‍රකාශ කල තතු තුලය.

සෞඛ්‍යය සඳහා වෙන් කෙරෙන ප්‍රතිපාදනය 2021 ට සාපේක්ෂව රුපියල් බිලියන 6කින් කපා දමා ඇත. වසංගතය තව දුරටත් පැතිරෙද්දී, “කොවිඩ් පාලනය කිරීමට” වෙන්කර ඇත්තේ රුපියල් බිලියන 12 ක් පමනි. 2021 දී වෙන්කර තිබූ රුපියල් බිලියන 18 සමග සසඳන කල එය සියයට 33 ක කප්පාදුවකි.

නොවැම්බර් 17 වනදා දහවල් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වූ හෙදියන්ගේ විරෝධතාවය (ඡායාරූප අනුග්‍රහය : ෆේස්බුක්-ජීඑන්ඕඒ්)


සමිති වැඩට බැස ඇත්තේ, අයවැයෙන් එල්ල කර ඇති තියුනු ප්‍රහාරයට එරෙහිව සෞඛ්‍ය සේවකයන් අතර වැඩෙන විරෝධය වාෂ්ප කර හැරීමට වුවද, කම්කරුවන් මෙම අරගල වලට නොකඩවා සහභාගී වීමෙන් ප්‍රකාශයට පත්වන්නේ ඔවුනට තම ඉල්ලීම් ජයග්‍රහනය කිරීමට ඇති දැඩි අවශ්‍යතාව සහ අධිෂ්ඨානයයි.

එසේ වුවද, එකම ඉල්ලීම් යලි යලිත් ඉදිරිපත් කෙරෙන විෂම චක්‍රයක තමා සිරවී ඇත්තේ, සමිති විසින් එම අරගල පාදක කර ගන්නා වූ ආන්ඩුවට බලපෑම් දැමීමේ ඉදිරි දර්ශනයේ බංකොලොත්භාවය නිසා බැව් කම්කරුවන් වටහාගත යුතුවෙයි. මෙම උද්ඝෝෂනයේදීද වෘත්තීයවේදීන්ගේ සමිති සම්මේලනය විසින් ඉල්ලා සිටි සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් හෝ ඇමතිවරයා සමග සාකච්ඡාව ඔවුනට හිමි නොවුනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියෙහි නොවැම්බර් 8 වනදා පලවූ “සෞඛ්‍ය සේවකයන් ස්වාධීන ක්‍රියාකාරී කමිටු තනමින් තම ඉල්ලීම් දිනා ගැනීමේ සටන සියතට ගත යුත්තේ ඇයි?” යන ප්‍රකාශයේ, වෘත්තීය සමිති විසින් ක්‍රියාවට දමන ලෙස ඉල්ලන 'රනුග් ගේ වැටුප් වාර්තාව' සම්බන්ධයෙන් මෙසේ සඳහන් කෙරුනි: “කෙසේ වෙතත් භාන්ඩ මිල ඉහල යන තතු තුල (රනුග් ගේ වැටුප් වාර්තාවේ නිර්දේශිත රුපියල් 5000ක) මෙම සොච්චම් වැටුප් වැඩීවීමේ ඉල්ලීම් පවා කම්කරුවන් මුහුන දෙන ජීවන අර්බුදය විසඳීමට ප්‍රමානවත් නොවේ.”

එම ලිපිය අවධාරනය කල පරිදි කම්කරුවන්ගේ ඉල්ලීම විය යුත්තේ “පාරිභෝගික භාන්ඩයන්හි සහ සේවාවන්හි මිල ඉහල යාමට අනුපාතිකව ස්වයංක්‍රීය ලෙස වැටුප් ඉහල දමනු!” යන්නයි.

වසංගතය මඟින් උත්සන්න කර ඇති ආර්ථික අර්බුදය හමුවේ ආන්ඩුව එහි සමස්ත බර කම්කරු-පීඩිත මහජනයා මත පටවමින් බඩු මිල අහස උසට නංවමින් සිටී. සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2019 නිකුත් කර ඇති නිල සමීක්ෂන වාර්තාවට අනුව පවා හතර දෙනෙකුගෙන් යුතු පවුලකට ජීවත්වීමට අවම වශයෙන් රුපියල් 63,000ක් අවශ්‍යය. ආන්ඩුවේ මෙම ප්‍රහාරයන්ට එරෙහිව කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් වර්ධනය කිරීමේ ලා 'ජීවන වියදමට සමානුපාතිකව ඉහල යන' වැටුපක් සඳහා වන ඉල්ලීම කේන්ද්‍රීය වනු ඇත.

එවන් ඉල්ලීම් වලට ප්‍රතිකූලව සෞඛ්‍ය සේවය සංවෘත සේවාවක් බවට පත් කරන ලෙස සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම, අනෙකුත් ක්ෂේත්‍රයන්හි කම්කරුවන් සහ සෞඛ්‍ය සේවකයන් අතර ඒකාබද්ධතාවයට වල කපමින් පන්ති ශක්තිය මොට කරන උගුලකි.

වෘත්තීය සමිති වල ප්‍රතිගාමී ප්‍රචාරය වනුයේ එ මගින් සෞඛ්‍ය කම්කරුවන්ට පහසුවෙන් වැටුප් වැඩිවීම් ඇතුලු අනෙකුත් දෑ දිනාගත හැකි බවයි. නමුත් සැබෑවටම ඉන් සිදුවන්නේ සෞඛ්‍ය කම්කරුවන් අනෙකුත් කම්කරුවන්ගෙන් හුදෙකලා කර රාජ්‍ය මර්දනයේ හස්තය ශක්තිමත් කිරීමයි.

විරෝධතාවය අතරතුරදී කම්කරුවන් අමතමින් සම්මේලනයේ නායකයෙකු වන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ නායක සමන් රත්නප්‍රිය සඳහන් කලේ “මේ ප්‍රශ්න විසඳපල්ලා නැත්නම් දැවැන්ත වර්ජනයකට” යන බවයි. “මහ පොලොවේ අරගල කිරීමට ලෑස්ති වෙන්න” යැයි ඔහු කම්කරුවන්ට කීවේය.

වෘත්තීය සමිති වල පසුගිය දශක කිහිපයේ ඉතිහාසය විසින් පෙන්නුම් කර ඇත්තේ ඔවුන් සඳහන් කරන 'මහපොලොවේ අරගල' වල යථා ස්වභාවයයි. කම්කරුවන්ගේ විරෝධය වැඩෙන තතු තුල ඔවුන් අරගල කැඳවන අතර ඒවා සාමාජිකත්වයේ කිසිදු සාකච්ඡාවකින් තොරව නවතා දමයි. සෑම අවස්ථාවකදීම සමිති වර්ජන විසුරුවා හැර ඇත්තේ ආන්ඩුවට වාසි සැලසෙන ආකාරයටය. සමිති විසින් ජුනි මාසයේදී වැටුපෙන් සියයට 78ක දීමනාවක් ඉල්ලා පැන නැගුනු සෞඛ්‍ය සේවකයින්ගේ අරගලය මාස තුනකට සීමාවූ රුපියල් 7,500 සොච්චම් වසංගත දීමනාවකට එකඟ වී විසුරුවා හැරීම එය හොඳින් ප්‍රකාශයට පත් කරයි.

ආන්ඩුව අයවැය මගින් ප්‍රකාශයට පත් කර ඇති ආකාරයට, ඔවුන් ක්‍රියා කරමින් සිටින්නේ කම්කරුවන්ට ඉල්ලීම් ලබා දීමට නොව කම්කරුවන්ගෙන් ඒවා උදුරා ගැනීමටය. සමිති යලිත් වතාවක් පෙන්වා ඇත්තේ එ සම්බන්ධයෙන් අව්‍යාජ අරගලයකට තමන් නුසූදානම් බවයි.

කම්කරුවන්ට වෘත්තිය සමිති වල ප්‍රතිගාමී ඉල්ලීම් වලින් ස්වාධීනව තමන්ගේම අව්‍යාජ ඉල්ලීම් මත අරගලය ඉදිරියට ගෙන යා හැක්කේ මෙම අරගල තමන් අතට ගැනීමෙනි. ඒ සඳහා කම්කරුවන් තම රෝහල් තුල, වෘත්තීය සමිති සහ අනෙකුත් ධනපති සංවිධාන වලින් ස්වාධීනවූ, ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතුය. කම්කරුවන්ට ඒවා තුල ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් තීන්දු ගනිමින් අරගලය ඉදිරියට ගෙන යා හැක.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුවේ (සෞකක්‍රික) සාමාජිකයෝ විවිධ රෝහල් වල සෞඛ්‍ය සේවකයින් සමග සාකච්ඡාවක නිරත වූහ. මහනුවර රෝහලේ හෘද රෝග වාට්ටුවේ හෙද නිලධාරියෙක් සඳහන් කර සිටියේ 9 දා පැවැත්වුනු වර්ජනය සම්බන්ධයෙන් තමන්ව කිසිදු ආකාරයකින් දැනුවත් කර නොතිබුනු බවයි.

ඔහු වැඩි දුරටත් සඳහන් කලේ “මේවා කම්කරුවන්ගේ ඉල්ලීම් නෙවේ. නිලධාරීන්ගේ ඉල්ලීම්. අනෙක් අතට ආන්ඩුව අමාරුවෙ නොදමන ඉල්ලීම්” බවයි. මෙම ඉල්ලීම් අවුරුදු 15ක් පමන පැරනි ඒවා බවත් සමිති සිදු කලේ එම ඉල්ලීම් ආන්ඩු වල ව්‍යාජ පොරොන්දු මත අකුලා ගැනීම බවත් සඳහන් කරමින් ඔහු සමිති වලට චෝදනා කලේය.

සෞඛ්‍ය සේවකයින්ගේ ඒකාබද්ධ අරගලයකට සමිති දක්වන හතුරුභාවය ඔහු විවේචනය කලේය. “ආන්ඩුවලට අවශ්‍ය එක් අයෙක් වැඩ වර්ජනය කරනකොට අනිත් අයව වැඩ කරවන්න” යැයි සඳහන් කල හෙද සේවකයා 'වෘත්තීය සමිති එය හොඳින් ම කරනවා' යැයි කීවේය. “හැම ආන්ඩුවක්ම ඔවුන්ගේ දේශපාලනය තුල කම්කරුවන් මඩිමින්” සිටින නිසා කම්කරුවන්ට තමන්ගේම දේශපාලනයක් අවශ්‍ය බවත් ඒ සඳහා ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතු බවත් ඔහු සඳහන් කලේය.

ගම්පොල රෝහලේ පරිපූරක වෛද්‍ය සේවකයෙක් සඳහන් කලේ වෘත්තීය සමිති “අයවැයෙන් තමන්ට ඉල්ලීම් ලැබෙනු ඇති බවට” සඳහන් කල බවයි. කෙසේ වෙතත් අය වැයෙන් සෞඛ්‍ය සේවකයන් සඳහා කිසිවක් නොලැබුනු තත්වය තුල විරෝධය වැඩෙන බව ඔහු සඳහන් කලේය.

මගරගම අපේක්ෂා රෝහලේ හෙද නිලධාරියෙකු සඳහන් කලේ, ඉදිරියේදී අතිකාල පවා කප්පාදු කරන බවට රාවයක් යන බව සහ “වැටුප් වැඩි කිරීම කෙසේ වෙතත් අතිකාල කැපුවහොත් එය ලබා ගැනීමටවත් වෘත්තීය සමිති අව්‍යාජ සටනක් කරතැයි විශ්වාස නොකරන” බවයි.

Loading