ආන්ඩුවේ කප්පාදු අය-වැයට විරුද්ධව සටන් වැදීමේ සමාජවාදී මූලෝපාය පිලිබඳව කම්කරුවන්ගෙන් උනන්දු සහගත ප්‍රතිචාරයක්

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් පසුගිය දා ඉදිරිපත් කරන ලද අය-වැය හරහා රාජපක්ෂ ආන්ඩුව කම්කරු පීඩිත මහජනයා මත බරපතල ප්‍රහාරයක් එල්ල කර ඇත.

පසුගිය වසරේ දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 14.7 ක් තරම් ඉහල අගයක් ගෙන තිබෙන අය-වැය පරතරය සියයට 8.8 දක්වා කප්පාදු කිරීම ආන්ඩුවේ එල්ලයයි. ඒ යටතේ, සෞඛ්‍යය, සමෘද්ධි, ලමා සංවර්ධන, ග්‍රාමීය සංවර්ධන යන සමාජ සුභසාධන අංශවලින් බිලියන 173 ක් කප්පාදු කර තිබේ.

සාමාන්‍ය මහජනයා මත පටවන වක්‍ර බදු ඉහල දැමීම, රාජ්‍ය ව්‍යවසායන් 3,00 ක් පමන “වානිජකරනය” කිරීම මගින් බරපතල කප්පාදුන්ට ලක් කිරීම හා පෞද්ගලීකරනය වේගවත් කිරීම අයවැය යෝජනාවලට අයත් වෙයි. රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම රජයට බරක් යයි අය-වැය ඉදිරිපත් කිරීමෙන් පසුව පැවති සාකච්ඡාවක දී මුදල් ඇමති කියා සිටියේ ය.

කම්කරු පන්තිය තුල හා ගම්බද ගොවි ජනතාව අතරින් ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව පැන නංවා ඇති බලගතු පන්ති සටන් මැදට පැන සිටින වෘත්තීය සමිති, අය-වැයෙන් වැටුප් වැඩි කිරීම් ඇතුලු “සහන” ලබා දෙන්නැයි ඉල්ලා ආන්ඩුවට නිස්සාර බලපෑම් ඉදිරිපත් කර තිබුනි. ධනපති ප්‍රහාර හමුවේ කම්කරු පීඩිත මහජනයා අතර විරුද්ධත්වය වර්ධනය වන්නේ, ආන්ඩුවට එරෙහිව පමනක් නොව, සමස්ත ධනේශ්වර සංස්ථාපිතයට හා වෘත්තීය සමිතිවල ද්‍රෝහී වැඩපිලිවෙලට ද එරෙහිවයි.

ඒ තත්වය තුල, සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ ව්‍යාපාරය (සසජාතශි) ආන්ඩුවේ කප්පාදු අය-වැයට එරෙහිව සටන් කිරීමට කම්කරු පන්තියට අවශ්‍ය සමාජවාදී වැඩපිලිවෙල පිලිබඳ සාකච්ඡා කිරීමට මේ මස 28 වන ඉරිදා සවස 4 ට අන්තර්ජාල රැස්වීමක් පැවැත්වීමට තීන්දු කර තිබේ.

රැස්වීම ගොඩනැගීමේ කොටසක් ලෙස, සසප සහ සසජාතශි සාමාජිකයෝ, 'මුදල් ඇමතිගේ අයවැය යෝජනා සමාජ ප්‍රහාර ගැඹුරු කරයි' යන හිසින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පලවූ ලිපිය සහ වෙනත් ලේඛන සම්පාදනය කරමින්, පසුගිය සතියේ කම්කරුවන් සහ තරුනයන් සමග දේශපාලන සාකච්ඡාවක නිරත වූහ.

ආන්ඩුවේ අය-වැය, සෞඛ්‍ය කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම්වලට කිසිදු විසඳුමක් සපයා නැතැයි මහනුවර මහ රෝහලේ, කනිෂ්ඨ කාර්ය මන්ඩල සේවකයෙක් ප්‍රකාශ කලේ ය. “දැනට අපට සපයන ආරක්ෂිත ඇඳුම් ඉතා සීමිත යි. ඒ නිසා බොහෝ කනිෂ්ඨ කම්කරුවන් රෝගී වී තිබෙනවා. මට දැනගන්න ලැබුන විදිහට දැන් අලුතෙන් ලැබෙන සෞඛ්‍ය ආරක්ෂිත උපකරන (පීපීඊ) කට්ටලයේ අත්‍යවශ්‍ය අංගයක් වන මුව ආවරනයක් පවා නෑ. සෞඛ්‍යය වියදම් කප්පාදුව මේ තත්වය තවත් දරුනු කර, වසංගතයෙන් තවත් ජීවිත විනාශ කිරීමට හේතු වෙනවා” යයි ඔහු කීවේය.

වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු විපක්ෂයේ සමගි ජනබලවේගය (සජබ), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) හා එම පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති පැවැත් වූ උද්ඝෝෂන, මේ කොන්දේසිවලට විරුද්ධව අරගලයට එන, කම්කරුවන්ගේ වෛරය ගසාකෑමට ගත් උත්සාහයන් යැයි කියා සිටියේ ය. “මෙම අරගල මෙහෙයවන නායකයන් පසුගිය කාලේ ආන්ඩු කරපු අය. ඔවුන් ක්‍රියා කලේ මෙයට වඩා වෙනස් විදිහකට නොවෙයි කියන එක මිනිස්සුන්ට අමතක වෙලා නෑ. අය-වැයෙන් සහන ලබෙතැයි වෘත්තීය සමිති කම්කරුවන්ට බොරු බලාපොරොත්තු දීලා තිබුනා”.

ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් හරහා කම්කරු පන්තියේ ඒකාබද්ධ හා ස්වාධීන දේශපාලන අරගලයක් පෙරට ගැනීමට, අධ්‍යාපන, සෞඛ්‍යය, ඇඟලුම් හා වතු ක්ෂේත්‍රයන්හි සසප ගොඩනගා ඇති ක්‍රියාකාරී කමිටු සම්බන්ධව ගෙන ගිය සාකච්ඡාව තුල දී ඔහු කියා සිටියේ, “වසංගතයේ විනාශය නතර කරලා මහජනයාගේ ප්‍රශ්න විසඳන්න නම් කම්කරුවො වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු ගොඩ නගා ගෙන සමාජවාදී ඉදිරිදර්ශනයට සටන් වැදිය යුතු” යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.

මහනුවර පාසල් ගුරුවරයෙකු වන ඒකනායක සාකච්ඡාවට සම්බන්ධ වෙමින් අයවැයෙන් යෝජිත ගුරු වැටුප් වැඩි කිරීම ගැන මෙසේ පැවසීය: “වැටුප් ලේඛනයේ දකිනකන් මේ පොරොන්දු විශ්වාස කරන්න බෑ. ඒ වගේම, හාල්, පිටි, සීනි වගේම ගෑස් වැනි අත්‍යාවශ්‍ය ආහාර-ද්‍රව්‍ය මිල කීප ගුනයකින් වැඩි වෙලා තියෙද්දි එවන් සොච්චම් වැඩි වීමක් අපේ ජයග්‍රහනයක් වෙන්නේ නෑ”. ආන්ඩුව ගුරුවරුන්ට පොරොන්දු වී ඇති වැඩිවීම්වලට අනුව පලමු ශ්‍රේනියේ ගුරුවරයෙකුට රුපියල් 11,000 කින් හා ආධුනික ගුරුවරයෙකුට වැඩි වන්නේ රුපියල් 3,750 ක් පමනි.

අධ්‍යාපන වියදම් වැඩි කල බවට ආන්ඩුව කරන ප්‍රකාශයන් ද මුලුමනින්ම අසත්‍ය ය. 2021 වසරේ අධ්‍යාපන වියදම් 2019 වසරට සාපේක්ෂව බිලියන 40 කින් කප්පාදු කොට ඇත. 2022 අය-වැයෙන් අධ්‍යාපනයට වෙන්කර ඇත්තේ 2021 වසරේ අගයට වඩා බිලියනයක් පමනි. දජානි ප්‍රතිශතයක් ලෙස අධ්‍යාපනයට වෙන් කර ඇත්තේ 1.22 ක් තරම් සොච්චමකි.

කොලඹ වරාය කම්කරුවෙකු සමග පැවති සාකච්ඡාවේ දී අය-වැයෙන් රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරනය වේගවත් කිරීමට ආන්ඩුව ගමන් කර ඇති ආකාරය ගැන අවධානය යොමු විය. “වරායේ අක්කර 13ක් චීන සමාගමට ලබාදීමට නියමිතයි. පසුගිය වසරේ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට ලබාදීමට එරෙහිව කම්කරුවන් 10,000ක් වර්ජනයට පැමිනියත් එම අරගල වෘත්තීය සමිති නායකයන් පාවාදුන්නා” යයි ඔහු කියා සිටියේ ය.

පසුගිය කාලපරිච්ඡේදයේ සිදු කල පෞද්ගලීකරන වැඩකටයුතු මගින් වරාය තුල මිනිස් බල (මෑන් පවර්) කම්කරුවන් අඩු වැටුපට සේවයේ යොදවා ඇති බව වරාය කම්කරුවා පෙන්වා දුන්නේ ය. “වරාය තුල ස්ථීර කම්කරුවො අඩු කරලා. ඉතා පහත් සේවා කොන්දේසි යටතේ ගොඩක් තරුනයො මිනිස් බල කම්කරුවන් විදිහට සූරා කෑමට ලක් වෙනවා. බඩුමිල පිම්මේ ඉහල යන තත්වයක ඔවුන් ජීවත්වෙන්නෙ කොහොමදැ” යි ඔහු ප්‍රශ්න කලේ ය.

හැටන් ඇබොට්ස්ලී වතුයායේ පී. ප්‍රභාකරන් ලෝසවෙඅ වෙත පැවසුවේ මේ වැනි ජීවන වියදම ඉහල යෑමක් ඔහු කිසිදා අත්දැක නො මැති බවයි. “සෑම දෙයක්ම තුන් ගුනයකකින් පමන ඉහල දමලා. උදාහරනයක් ලෙස අපි සාමාන්‍යයෙන් එලවලු ග්‍රෑම් 250 ක් ගත්තෙ රුපියල් 30 යි. දැන් රුපියල් 80 ටත් වැඩියි”.

තේ කර්මාන්ත ශාලාවක රැකියාවේ නිරත ඔහුගේ මාසික වැටුප රුපියල් 25,000 ක් පමනි. එලවලු නොමැතිව පවුලේ ආහාර වියදම සඳහා පමනක් මසකට රුපියල් 21,000 ක් පමන වැය වන බව ඔහු විස්තර කලේ ය. “මට මගේ දරුවෝ දෙන්නාට උගන්නන්න තියෙනවා. දෙන්නම ඉස්කෝලේ යනවා. වසංගතය අපිට තවත් හරස් වෙලා. පසුගිය අවුරුදු දෙකේ මගේ බිරිඳ වත්තේ වැඩ කරන කොට එයාගේ කකුලේ අස්ථියක් කැඩුනා, පොඩි සැත්කමක් කරන්න කියලා වෛද්‍යවරයා නිර්දේශ කලා. ෆැක්ටරියෙන් අපිට උදව් කලේත් නෑ. ආර්ථික ප්‍රශ්නය නිසා සැත්කමට යන්න බැරි වුනා.”

අපනයන ප්‍රවර්ධන කලාපවල ඇඟලුම් කම්කරුවන් ඉහල යන ජීවන වියදම හමුවේ අඛන්ඩව ප්‍රහාරයට ලක් වන කම්කරු කොටසකි. කොග්ගල නිදහස් වෙලඳ කලාපයේ කම්කරු කාන්තාවක් ඇය මුහුන දෙන දරිද්‍ර කොන්දේසි මෙසේ විස්තර කලා ය: “මම වැඩ කරන්නේ ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක. පැය අටක වැඩ දිනයට ගෙවන්නේ රුපියල් 500 ක වැටුපක්. අතිකාල පැයකට රුපියල් 50ක් ගෙවනවා. මගේ සැමියා පිලිකා රෝගියෙක්. ඉගෙන ගන්න වයසේ දරුවෝ ඉන්නවා. වියදම පිරිමහගන්න බැරි නිසා මේ රැකියාවට යනවා. අපි කෑම වේලට හදන්නේ එක වෑංජනයයි. වැඩපලට මේ විදියට කෑම එක අරගෙන ගිහින් යාලුවො එකතුවී බෙදා හදාගෙන කනවා.”

ඇය සාකච්ඡාව අවසානයේ දී මෙසේ ප්‍රකාශ කලා ය: “ධනපති ආන්ඩු අප මුහුන දෙන ප්‍රශ්න වලට විසඳුම් දෙන්නේ නෑ. කම්කරු පන්තියේ ගැටලු ජයගැනීමට කම්කරු පන්තියේ ආන්ඩුවක් බලයට ගෙන ආ යුතුයි”.

“රාජ්‍ය සේවය විශාල බරක්” යයි රාජපක්ෂ කල ප්‍රකාශය හෙලා දුටු අම්බලන්ගොඩ විශ්‍රාමික රජයේ සේවකයෙක්, රාජ්‍ය සේවයේ නව බඳවා ගැනීම් නතර කොට විශ්‍රාම යන වයස 65 දක්වා දීර්ඝ කිරීම පිලිබඳව මෙසේ පැවසීය: “අවුරුදු 65 ක සේවය කරන කෙනෙක් තවත් ජීවත් වෙයිද කියන එක ප්‍රශ්නයක්. මේ හදන්නේ සේවය ඉඳිද්දිම මැරිලා යන තත්ත්වයට මිනිස්සු පත් කරන්න. එතකොට විශ්‍රාම වැටුපක් ගෙවන්නම සිද්ධ වෙන්නේ නැහැ. ආන්ඩුව මේ ආකාරයට දුප්පතුන්ගේ බඩට ගහල ආර්ථික අර්බුදයෙන් ගොඩ යන්න හදන්නේ.”

ආන්ඩුව මුහුන දෙන අර්බූදය, ලෝක ආර්ථික අර්බූදයේ බලපෑම නිසා ඇති වූවක් යයි ද ඒ නිසා “අපට කරන්න දෙයක් නැහැ”යි ආන්ඩුව කරන ප්‍රකාශ ගැන සඳහන් කල ඔහු මෙසේ කීවේය: 'ඒකෙන් අදහස් වෙන්නෙ පුද්ගලික දේපොල සහ ලාභය මත පවත්වාගෙන යන ධනපති ක්‍රමය තුල අපේ දැවෙන ප්‍රශ්න වලට විසඳුමක් නැති බවයි.'

ධනේශ්වර ලෝක පර්යායේ ගැඹුරු වන අර්බූදය හමුවේ කම්කරු පන්තිය මුහුන දෙන එකදු ප්‍රශ්නයකට හෝ ජාතිකවාදී විසඳුම් නැති බවත්, අතලොස්සකගේ ලාභය සඳහා නොව දැවෙන මනුෂ්‍ය අවශ්‍යතා සඳහා නිෂ්පාදනය සහ බෙදාහැරීම ජාත්‍යන්තර පරිමානව සැලසුම් කිරීමේ ලෝක සමාජවාදයේ ඉදිරිදර්ශනය, වඩාත් ඛාදනය වන කම්කරු-පීඩිත මහජනතාවගේ රැකියා සහ සමාජ කොන්දේසි වලට පමනක් නොව, වසංගතය, පරිසර විනාශය, ලෝක යුද අන්තරාය වැනි ඓතිහාසික ගැටලුවලට ද පවත්නා එකම විසඳුම බව සසප/සසජාතශි සාමාජිකයෝ ඔහුට පෙන්වා දුන්හ.

Loading