සීඑම්යූ නායක සිල්වෙස්ටර් ජයකොඩි කොවිඩ් එන්නත්කරනයට එරෙහිව දක්ෂිනාංශික බලවේග සමග පෙල ගැසෙයි

[මෙය Sri Lankan union leader joins right-wing campaign against vaccinations යන මැයෙන් 2021 නොවැම්බර් 25 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ලංකා වෙලඳ සේවක හා පොදු සේවක සංගමයේ (සීඑම්යූ) ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි, වසංගතය සහ එහි ප්‍රතිඵලයක් ලෙස සිදුවන මරන බැරෑරුම් ලෙස නොසලකන ලෙස අවධාරනය කරමින්, කොවිඩ්-19 එන්නත්කරනයට එරෙහිව දක්ෂිනාංශික උද්ඝෝෂනයක යෙදී සිටි.

ශ්‍රී ලංකාවේ කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා වෙත යොමු කෙරුනු ලිපියක් මගින් ජයකොඩිගේ අවිද්‍යාත්මක සහ ප්‍රතිගාමී ආස්ථානයන් ගෙනහැර දක්වා ඇති අතර මෙම ලිපිය නොවැම්බර් 6 වැනි දින සිංහල භාෂා වෙබ් අඩවියක් වන වැඩබිමේ පල කරන ලදී.

ලංකා වෙලඳ සේවක හා පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි (මූලාශ්‍රය: ෆේස්බුක්)

මෙම ලිපිය ඉදිරිපත් වූයේ ඔක්තෝබර් අග පැවති ජාතික කම්කරු උපදේශක සභාවේ (ජාකඋස) රැස්වීමක අනිවාර්ය එන්නත් ලබාදීම පිලිබඳ සිදු කෙරුනු සාකච්ඡාවකදී ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (ඒඇසස) නිලධාරියෙකුට ඇමති විසින් දැක්වූ සහායට ප්‍රතිචාර වශයෙනි. ජාකඋස යනු සේවා යෝජකයින්, ආන්ඩුව සහ වෘත්තීය සමිති ප්‍රධානීන් ඇතුලත් ත්‍රෛපාර්ශ්වික සංගතවාදී ආයතනයකි.

ජයකොඩිගේ ලිපියට අනුව, එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන ඇඟලුම් කම්කරුවන් කම්හල්වලට ඇතුල් වීම වැලැක්විය හැකි දැයි සහ ඔවුන්ට “වැටුප් නොගෙවා තම නිවෙස්වලට කොටු කල හැකි” දැයි ඒඇසස හි හිටපු සභාපතිවරයෙකු වන යොහාන් ලෝරන්ස් විමසා සිටියේය. “අනිවාරයෙන්ම, ඔබට පුලුවන්” යැයි ප්‍රකාශ කරමින් කම්කරු ඇමති සම්පූර්නයෙන් එකඟ විය.

විවිධ සමාගම් 18 ක් අතර සීඑම්යූ ශාඛා නායකයින් 52ක් සමඟ පසුව පැවැත්වූ රැස්වීමක ප්‍රතිඵලයක් වූ ජයකොඩිගේ ලිපිය, එන්නත්කරනය අනිවාර්ය කිරීම “පුරවැසියන්ගේ මානව හිමිකම් මෙන්ම අපගේ ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්” බව ප්‍රකාශ කරයි.

කම්කරුවන් එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කලහොත් ඔවුන්ට දඬුවම් කල යුතු බවට ශ්‍රී ලංකා කම්කරු ඇමති සහ ඒඇසස නිලධාරියෙකු එකඟ වීම, ඇඟලුම් සේවකයන් හෝ කම්කරු පන්තියේ වෙනත් ඕනෑම කොටසක් කොවිඩ්-19 යෙන් ආරක්ෂා කිරීමට කිසිදු සම්බන්ධයක් නැත. සෑම රටකම පාලන තන්ත්‍රයන්ට සහ ධනේශ්වර පන්තියට අනුකූලව, එන්නත්කරන ප්‍රතිපත්තියේ අර්ථය වන්නේ නිෂ්පාදනය පවත්වා ගෙන යාම සහ ලාභය උපරිම කර ගැනීම සහතික කිරීමයි.

ආරම්භයේ සිටම, ශ්‍රී ලංකා ආන්ඩුව සහ මහා ව්‍යාපාරිකයෝ මිනිස් ජීවිතවලට ඉහලින් ලාභයට ප්‍රමුඛත්වය දෙමින් “රංචු ප්‍රතිශක්ති” ප්‍රතිපත්තිය අනුගමනය කර ඇත. අසාර්ථක ලෙස සූදානම් කරන ලද, 2020 මාර්තුවේ මාසයක් පුරා පැනවුනු කෙටි අගුලු දැමීමෙන් පසුව, රාජපක්ෂ ආන්ඩුව, මහා ව්‍යාපාරිකයින්ගේ ඉල්ලීම් සහ ලාභ කඩාවැටීමේ බලපෑමට දැක්වූ ප්‍රතිචාර වශයෙන් අප්‍රේල් මැද භාගයේ ආර්ථිකය නැවත විවෘත කිරීම ආරම්භ කලේය.

2021 ජූනි 28 වැනි දින කොලඹදී කොරෝනා වයිරසයට එරෙහි ප්‍රසිද්ධ එන්නත් කිරීමේ මෙහෙයුමක් අතරතුර, ඉන්දියාවේ සේරම් ආයතනයේ හි නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනිකා එන්නත් ප්‍රභේදයක් වන කොවිෂීල්ඩ් හි දෙවන මාත්‍රාව ලබා ගැනීමට වැඩිහිටි ශ්‍රී ලාංකිකයන් පෝලිම් ගැසී සිටිති.

ප්‍රමානවත් සෞඛ්‍ය සහ ආරක්ෂක පියවර ලබා නොදී ඇඟලුම් සහ අනෙකුත් නිෂ්පාදන කර්මාන්තවල ලක්ෂ සංඛ්‍යාත සේවකයින්ට ආපසු සේවයට වාර්තා කරන ලෙසට නියෝග කරන ලදී. සති කිහිපයක් ඇතුලත බොහෝ නිදහස් වෙලඳ කලාප (නිවෙක) කම්කරුවන් සහ තවත් අය මාරාන්තික වෛරසය ආසාදනය වූ අතර සමහරු මිය ගියහ. ඇත්ත වශයෙන්ම, සෑම කම්හලක මෙන් දහස් ගනනක් සේවයේ යෙදවෙන ඇඟලුම් කම්හල්, කොරෝනා වයිරස් ආසාදනයේ තෝතැන්නක් බවට පත් විය.

පසුගිය මාස 18 තුල හාම්පුත්තු දහස් ගනනක් රැකියාවලින් නෙරපා, වැටුප් කපා, සහ වැඩ කාලය දීර්ඝ කර ඇතත් අතිකාල නොගෙවූ අතර මේ සියල්ල සීඑම්යූ ඇතුලු වෘත්තීය සමිතිවල එකඟතාවෙන් සිදුවිය.

ජයකොඩිගේ ලිපිය හාම්පුතුන්ට හෝ වසංගතයට දැක්වූ ආන්ඩුවේ සාපරාධී ප්‍රතිචාරයට එරෙහිව යොමු කර නැත. අනිවාර්ය එන්නත්කරනය “පුද්ගලික නිදහස” උල්ලංඝනය කරන බව ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන අතරේ සීඑම්යූ ප්‍රධානියා අවධාරනය කරන්නේ “ඖෂධ සමාගම් සහ අනෙකුත් උනන්දුවක් දක්වන පාර්ශ්ව වසංගතය අතිශයෝක්තියට නංවා ඇති” බවයි.

ජයකොඩිගේ ලිපියේ හාස්‍යජනක ලෙස සඳහන් වන්නේ කොවිඩ්-19 හේතුවෙන් සිදුවන ශ්‍රී ලාංකිකයින්ගේ මරන නොතැකිය හැකි බවයි. [ඇඟලුම්] කම්කරුවන් හය දෙනෙකු පමනක් මිය ගොස් ඇති බව පවසන ඔහු කියා සිටින්නේ ඔවුන්ට “විවිධ සංකූලතා” තිබූ බවයි. මාධ්‍ය විසින් “වසංගතය අතිශයෝක්තියට නංවා ඇත,” යනුවෙන් ලියන ලද ඔහු ග්‍රාමීය කම්කරුවන්ට “බටහිර වෛද්‍ය විද්‍යාව පිලිගැනීමට” බල නොකල යුත්තේ එය “මානසික අස්ථාවරත්වය” ඇති කරන බව සඳහන් කරමිනි.

පෙර ඔක්තෝබර් 19 ඔන්ලයින් රැස්වීමකදී, සීඑම්යූ නායකයා මෙසේ නිර්දය ලෙස ප්‍රකාශ කලේය: “කොවිඩ්-19 නිසා ස්වල්ප දෙනෙක් මිය ගියද, අපි එය බිහිසුනු මාරාන්තික වසංගතයක් ලෙස සලකන්නේ නැත.” මෙය සංගමයේ ආස්ථානය බව ඔහු වැඩිදුරටත් පැවසීය.

කම්කරුවන්ගේ ජීවිත කෙරෙහි මෙම කුරිරු නොතැකීම පෙන්නුම් කරන්නේ වෘත්තීය සමිති පවත්වාගෙන යන වරප්‍රසාදිත ස්ථරයන් සහ කොරෝනා වයිරස් එන්නත් සඳහා අතිමහත් ලෙස සහාය දෙන සහ සෞඛ්‍ය බලධාරීන් විසින් ඒවා ලබා දිය යුතු ලෙස නිරන්තරයෙන් ඉල්ලා සිටින ශ්‍රී ලාංකික ජනතාවගේ මනෝභාවයන් අතර ඇති විශාල පරතරයයි. ජනගහනයෙන් සියයට 62 ක් පමන දැනට එන්නත් කර ඇත.

එන්නත්කරනය අනිවාර්ය කිරීම 'මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්' සහ 'ව්‍යවස්ථාපිත අයිතීන් උල්ලංඝනය කිරීමක්' බවට ජයකොඩිගේ ප්‍රකාශය සම්පූර්නයෙන්ම අසත්‍යයකි. එන්නත්කරනය ඇතුලුව සියලුම පූර්වාරක්ෂාවන් ප්‍රතික්ෂේප කිරීමෙන් අන් අයට ආසාදනය කිරීමට කිසිවෙකුට “අයිතියක්” නොමැත.

සීඑම්යූ නායකයා එන්නත් පිලිබඳ සංශයන් පතුරුවා හැරීමට උත්සාහ කරමින්, ඒවා විශ්වාස කල නොහැකි බවත් ඖෂධ සමාගම් ඒවායේ කාර්යක්ෂමතාව සහතික කර නොමැති බවත් අවධාරනය කරයි. මෙම ව්‍යාජ සහ විද්‍යාත්මක නොවන ප්‍රකාශයන් කිසිවක් සනාථ කරනු ලැබ නොමැත.

කොරෝනා වයිරස් එන්නත් ප්‍රමාද නොවී සොයා ගැනීමත්, ඒවා වර්ධනය කිරීමත් ශුභදායක ප්‍රගමනයක් වන අතර චීනයේ, එක්සත් ජනපදයේ සහ යුරෝපයේ විද්‍යාඥයින්ගේ මූලික පර්යේෂන හේතුවෙන් එය කල හැකි විය. මෑත දශක කිහිපය තුල විද්‍යාවේ සහ තාක්ෂනයේ සිදුවූ අත්‍යසමාන ප්‍රගතිය නිසා මෙය පහසු විය.

ෆයිසර්, මොඩෙර්නා, බයෝඑන්ටෙක් වැනි යෝධ සමාගම්වල ලාභය සඳහා අසීමිත තල්ලුව සහ ප්‍රතිවාදී සමාගම්වල සහ දියුනු ධනේශ්වර රටවල පරස්පර අවශ්‍යතා, ලොව පුරා එන්නත් වේගවත්වද, නොමිලේද සහ සමානවද බෙදා හැරීමට ඇති ප්‍රධාන බාධාවන් වේ. කෙසේ වෙතත්, මෙය එන්නත් වල වැදගත්කම අවලංගු නොකරන නමුත් පුද්ගලික ලාභ පද්ධතිය අහෝසි කිරීමේ සහ යෝධ ඖෂධ සමාගම් සහ සෑම ප්‍රධාන කාර්මික අංශයක්ම කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කිරීමේ අවශ්‍යතාවය මතු කරයි.

කොරෝනා වයිරස් මරන සංඛ්‍යාව නොතැකිය හැකි බවත් වෛරසයේ බලපෑම “අතිශයෝක්තියක්” බවත් ජයකොඩිගේ ප්‍රකාශයන් අසංවේදී මෙන්ම නරුමය.

ශ්‍රී ලංකාවේ ජුගුප්සාජනක ලෙස අවතක්සේරු කරන ලද නිල සංඛ්‍යාලේඛනවලට අනුව, පුද්ගලයින් 560,000 කට වඩා ආසාදනය වී ඇති අතර 14,200 කට වැඩි පිරිසක් මෙම රෝගයෙන් මිය ගොස් ඇත. කෙසේ වෙතත්, සැබෑ සංඛ්‍යාවන්, සාපරාධී 'විවෘත කිරීමේ' ප්‍රතිපත්තියට එරෙහි විරෝධය අවුලුවනු ඇති බැවින්, වෘත්තීය සමිතිවල සහාය ඇතිව හාම්පුත්තු සහ ආන්ඩුවේ බලධාරීහු සැබෑ සංඛ්‍යාවන් සඟවා ඇත.

දැනට, නිල වශයෙන් ගෝලීය කොරෝනා වයිරස් මරන සංඛ්‍යාව මිලියන පහක් ඉක්වන අතර සමහර අධ්‍යයනයන්ට අනුව සැබෑ මරන සංඛ්‍යාව මිලියන 17 ක් තරම් ඉහල අගයක් ගනී. අසල්වැසි ඉන්දියාවේ, ජූලි මාසයේ නිල මරන සංඛ්‍යාව 400,000 ඉක්ම වූ නමුත් අනෙකුත් අධ්‍යයනවලින් එය මිලියන 4.9 ක් ලෙස ගනන් බලා ඇත. මෙම ආසාදන හා මරන ආන්ඩුවේත් හා සංගත ප්‍රභූන්ගේත් ප්‍රමූඛව ලාභයත් සහ කවර විනාශයක් යටතේ වුවත් සිදුකෙරෙන නිෂ්පාදනයේත් සෘජු ප්‍රතිඵලයකි.

අනිවාර්ය එන්නත් ලබාදීම මූලික 'මානව' සහ 'ව්‍යවස්ථාපිත අයිතීන්' උල්ලංඝනය කරන බව ජයකොඩිගේ ව්‍යාජ ප්‍රකාශය එන්නත් වලටත්, වසංගතයට විද්‍යාත්මක ප්‍රතිචාරයටත් එරෙහි ගෝලීය දක්ෂිනාංශික ව්‍යාපාරයේ කොටසක් වේ.

ජයකොඩි සහ සීඑම්යූ නිලධරය කම්කරු පන්තියට එරෙහි ආන්ඩුවේ ප්‍රහාරවලත් ජීවිතවලට ඉහලින් ලාභය ආරක්ෂා කිරීමේ ආන්ඩුවේ ප්‍රතිපත්තිවලත් කුප්‍රකට සහයෝගිතාකරුවන් ය.

2020 අප්‍රේල් මාසයේදී, සීඑම්යූ සහ අනෙකුත් වෘත්තීය සමිති, කොරෝනා වයිරස් අගුලු දැමීම අවසන් කිරීම සඳහා වන ඉල්ලීම් සඳහා ඔවුන්ගේ පිටුබලය ලබා දෙන බවට ප්‍රතිඥා දෙමින් ජනාධිපති රාජපක්ෂට ලිපියක් යැවූහ. ඔවූහු මෙහි ප්‍රකාශ කලේ, “ජාතිය තිරසාරව පවත්වාගෙන යාම සඳහා ආර්ථිකයට සහාය වීම සඳහා කර්මාන්තශාලා නැවත විවෘත කල යුතු බව අපි පිලිගන්නෙමු.” යනුවෙනි.

ජයකොඩි, සීඑම්යූ සහ අනෙකුත් ශ්‍රී ලංකා වෘත්තීය සමිති එන්නත් වලට එරෙහිව නැගී සිටීම පුදුමයක් නොවන නමුත් ඔවූහු ආන්ඩුවේ මහා ව්‍යාපාරික ප්‍රතිපත්තිවලට සහ සමස්ත ධනේශ්වර ලාභ පද්ධතිය ආරක්ෂා කිරීමට දක්වන කැපවීමට අනුකූල වෙයි.

කොවිඩ්-19 යනු ගෝලීය ව්‍යසනයක් වන අතර එය නව සහ වඩාත් මාරාන්තික සහ බෝවනසුලු ප්‍රභේද මතු කර ඇත. එයට එරෙහි සටන් කල හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ ස්වාධීන ක්‍රියා මාර්ගයෙන් සහ වඩාත්ම දියුනු විද්‍යාත්මක දැනුමේ සහ සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත පමනි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය එහි ' එන්නත්කරනයට එරෙහි දක්ෂිනාංශික ව්‍යාපාරයට විරුද්ධ වනු!' යනුවෙන් 2021 ජූලි 29 දින කර්තෘ මන්ඩල ප්‍රකාශයක් නිකුත් කලේය. එහි මෙසේ සඳහන් වේ:

“දේශපාලන අනම්‍යභාවය සහ ඉවසිලිවන්ත පැහැදිලි කිරීම එකට ඒකාබද්ධ කරන පිලිවෙතක් කම්කරු පන්තියට තිබිය යුතුය. සෑම වැඩපොලකම සාමාජිකයින්ගේ ආරක්‍ෂක කමිටු සංවිධානය කිරීම තුලින් පන්ති සවිඥානක කම්කරු ව්‍යාපාරයක් ගොඩනැගීම හරහා කම්කරුවන්ට, විශේෂයෙන්ම සෞඛ්‍ය සේවයේ නියුතු වූවන්ට, වසංගතයේ මාරක අන්තරාය හමුවේ, එන්නත් ලබා ගැනීම සහ ඔවුන්ගේ පන්තිය ආරක්ෂා කර ගැනීම සඳහා දේශපාලන උද්ඝෝෂනයේදී, උපදේශකයන් වීමට හැකි වේ.”

“වසංගතයට එරෙහි සටන, හුදු වෛද්‍ය විද්‍යාත්මක ප්‍රශ්නයක් නොවේ. ධනේශ්වර ක්‍රමයට එරෙහිව කම්කරු පන්තියේ දේශපාලන අරගලයක් එයට අවශ්‍ය ය. මහජන සෞඛ්‍ය අවශ්‍යතා සඳහා වසංගතයට ප්‍රතිචාර දැක්වීමේදී, ගෝලීය සැලැස්මක් සහ ගෝලීය සම්බන්ධීකරනයක් අවශ්‍ය වන අතර, එය කල හැක්කේ, ජාත්‍යන්තර විප්ලවවාදී නායකත්වයක් ගොඩ නැගීමෙන් සහ කම්කරු පන්තිය විසින් බලය ලබා ගැනීමෙන් පමනි.”

Loading