සසප රැස්වීම ආන්ඩුවේ අයවැයට එරෙහි ව සටන් වැදීමට අවශ්‍ය සමාජවාදී පිලිවෙත් සාකච්ඡා කරයි

[මෙහි පලවන්නේ SEP meeting discusses the socialist policies needed to fight Sri Lankan government’s budget යන මැයෙන් 2021 දෙසැම්බර් 2දා පලවූ ලිපියේ පරිවර්තනයයි.]

පසුගිය ඉරිදා (නොවැම්බර් 28), ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය, ලංකාවේ සෑම ප්‍රදේශයකින් මෙන් ම, ඉන්දියාවෙන් හා මැද පෙරදිගින් ශිෂ්‍යයන් හා කම්කරුවන් ඇතුලු පුද්ගලයන් 100ක් පමන සහභාගි වූ සාර්ථක ඔන්ලයින් රැස්වීමක් පැවැත්වූ හ. “රාජපක්ෂ ආන්ඩුවේ කප්පාදු අයවැයට එරෙහි ව සටන් කරන්නේ කෙසේ ද?” යන මැයෙන් යුතු වූ රැස්වීමේ වීඩියෝව, මේ වන විට පුද්ගලයන් 1,000ට අධික පිරිසක් විසින් නරඹා, 300 වතාවකට වැඩියෙන් බෙදාහරිනු ලැබ ඇත.

රැස්වීමෙහි මුලසුන දැරූ සසප සහකාර ජාතික ලේකම් දීපාල් ජයසේකර, ආන්ඩුවේ ම්ලේච්ඡ සමාජීය පියවරයන්ට එරෙහි ව සටන් වදින කම්කරුවන් මුහුන දෙන ප්‍රධාන අභියෝගය, සමාජවාදී දේශපාලන ඉදිරි දර්ශනයකින් සන්නද්ධ වීම බව පෙන්වා දුන්නේ ය.

සසප දේශපාලන කමිටු සාමාජික සමන් ගුනදාස ප්‍රධාන වාර්තාව ඉදිරිපත් කලේ ය. ලංකාවේ ධනපති පක්ෂවල ප්‍රධාන උත්සුකය වන්නේ, ආර්ථික අර්බුදයෙහි බර මහජනයා මත පටවන්නේ කෙසේදැයි යන්න බව කී ඔහු, තමන්ගේ ම අවශ්‍යතා සඳහා වැඩ කරන ජනයාට සටන් කල හැක්කේ කෙසේදැයි සාකච්ඡා කිරීම පිනිස, සසප රැස්වීම කැඳවනු ලැබූ බව සඳහන් කලේ ය.

සසප රැස්වීම

ආන්ඩුව “ඉතිහාසයේ වඩාත් ම අභියෝගාත්මක කාලපරිච්ඡේදයට” මුහුන දෙන බවත්, නමුත් “එවන් අභියෝගයන්ට මුහුන දී ආර්ථිකය කලමනාකරනය කරගැනීමට අවශ්‍ය සියලු ශක්තියෙන් ආන්ඩුව සන්නද්ධ ව” සිටින බවත්, අයවැය කතාවේ දී මුදල් ඇමති බැසිල් රාජපක්ෂ කල ප්‍රකාශයට කථිකයාගේ අවධානය යොමු විය.

මෙම ප්‍රකාශයෙහි අර්ථය වන්නේ, මහ ව්‍යාපාරිකයේ ලාභ සුරක්ෂිත කරගැනීම සඳහා, කොලඹ ආන්ඩුව කම්කරු පන්තියේ හා පීඩිත මහජනයාගේ රැකියා හා ජීවන කොන්දේසි මතට නිර්දය ප්‍රහාරයක් එල්ල කරමින් සිටීම බව, ගුනදාස කීවේ ය. ධනපතියන්ට බදු සහන පුදන අතර, කම්කරුවන්ගේ වැටුප් කැටිකිරීම සමගින් මහජන සෞඛ්‍යය, සමෘද්ධි, ජල සම්පාදන, කාන්තා හා ලමා සංවර්ධනය සහ ග්‍රාමීය නිවාස වෙනුවෙන් කරන වෙන් කිරීම් කප්පාදු කර දැමීම මෙයට ඇතුලත් වේ.

කොවිඩ්-19 වසංගතයෙහි ගැඹුරු වන ආර්ථික බලපෑමට ප්‍රතිචාර ලෙස, ලොව පුරා පාලක ප්‍රභූහු, ඒ හා සමාන පන්ති යුද ප්‍රහාර පටවමින් සිටින බව, ඔහු කීවේ ය. නය බරින් මිරිකෙන ලංකාවේ ආර්ථිකය, දැන් ඉතියෝපියාව, ඉරාකය හා ටියුනීසියාව සමග වර්ග කෙරෙන බව ගුනදාස සටහන් කලේ ය.

“මෙම අර්බුදය වැඩකරන ජනයා මත පැටවීමට අයවැය යෝජනා කරනවා. 2020 දී දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 14.7ක් වූ අයවැය පරතරය, ඊලඟ වසරේ දී සියයට 8.8 දක්වා අඩු කිරීම සඳහා, ආන්ඩුව නිශ්චිත ව ම කම්කරු පන්තියට යෝධ ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිතයි” යි ඔහු කීවේ ය.

මුදල් ඇමතිවරයා “දැරිය නො හැකි බරක්” ලෙස ප්‍රකාශ කල රාජ්‍ය අංශය, ආන්ඩුවේ ප්‍රධාන ඉලක්කය බව ගුනදාස තව දුරටත් කීවේ ය. කොලඹ පාලනයෙහි ප්‍රතිචාරය වූයේ, රාජ්‍ය අංශය තුල අයවැය වෙන්කිරීම් විශාල ලෙස කප්පාදු කිරීම් හා දුරදිග යන පුද්ගලීකරන වැඩසටහනකි.

කර්මාන්තශාලාවල කම්කරුවන් දහස් ගනනකට කොවිඩ්-19 වැලඳුන ද ඩොලර් සංචිත පිම්බීම සඳහා අපනයන-නිෂ්පාදන කර්මාන්තශාලා දිගට ම ක්‍රියාත්මක කරනු ලැබේ. විදෙස් ප්‍රේෂන ගලා ඒම පවත්වාගෙන යාම පිනිස, කොලඹ පාලනය විදෙස් රටවල වැඩකරන ශ්‍රි ලාංකිකයන් ද නො තකා හැර ඇති බව කථිකයා කීවේ ය.

ගුනදාස මෙවන් ප්‍රශ්නයක් මතු කලේ ය: “කම්කරු පන්තිය එවන් දුෂ්ට ප්‍රහාරවලට මුහුන දෙද්දී, (වසංගත සමය තුල) සංගත හා මහ ව්‍යාපාරිකය ඇතුලු ධනේශ්වරයට සිදු වී ඇත්තේ කුමක් ද?”

මහ ව්‍යාපාර සඳහා යෝධ සහනාධාර අරමුදල් සම්පාදනය කිරීම මෙන් ම, වැඩිදුර බදු කප්පාදු හා අනෙකුත් සහනයන් සම්පාදනය කිරීමට, ජනාධිපති රාජපක්ෂ මහ බැංකුවට උපදෙස් දී තිබෙන්නේ කෙසේදැයි පැහැදිලි කරමින්, ඔහු එයට පිලිතුරු දුන්නේ ය. “ධනපති සමාගම්වලට, කම්කරුවන්ගෙන් මිරිකා ගත් සමාජ ධනය පුදකරනු ලැබුවා” යි ඔහු කීවේ ය.

මෙම කප්පාදු ප්‍රහාර පිලිගැනීමට ජාත්‍යන්තර කම්කරු පන්තිය සූදානම් නැති බව ගුනදාස සඳහන් ක‌ලේ ය. ලංකාවේ හා ලෝකය පුරා, වැඩ වර්ජන හා විරෝධතා පුපුරා යාමට ඔහු අවධානය යොමු කලේ ය. තම ගෝලීය හවුල්කාරයන් සමග පෙලගැසුනු රාජපක්ෂ, ආඥාදායක පාලන රූපාකාර කරා හැරෙමින්, නැගෙන සමාජ විරෝධයට ප්‍රතිචාර දැක්වී ය.

ගුනදාස ලංකාවේ විරුද්ධ පක්ෂවල භූමිකාව විශ්ලේෂනයට බඳුන් කලේ ය. “එක්වර ම, මෙම පක්ෂ ආන්ඩුව විවේචනය කරන බව පෙනෙන නමුත්, ඔවුන් ප්‍රකාශ කරන්නේ කවරක්දැයි ඔබ සමීප ව බලන්නේ නම්, ඔවුන් ආන්ඩුවේ වැඩපිලිවෙල පෙරට ගෙන යාමේ වඩා හොඳ ආකාරයන් ගැන ආන්ඩුවට උපදෙස් දෙමින් සිටින බව පේනවා.”

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය යන ප්‍රධාන විරුද්ධ පක්ෂ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තව තවත් නය ගන්නා ලෙස ආන්ඩුවට කැඳවුම් කරමින් සිටී.

අර්බුදය වනාහි ආන්ඩුවෙහි දූෂනයේ හා වංචාවේ ප්‍රතිඵලයක් යයි ව්‍යාජ ව කියාපාමින්, ගැටලුවේ මූලය වන්නේ ධනපති ක්‍රමය යන්න ජනතා විමුක්ති පෙරමුන වසන් කරයි.

ධනපති පක්ෂ ද ඇතුලත් “පලල් වාම පෙරමුනක්” සඳහා කැඳවුම් කරමින්, ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය කම්කරු පන්තියට දේශපාලන උගුලක් අටවමින් සිටී.

“මේ සියලු කන්ඩායම් පදනම් වන්නේ ප්‍රතිගාමී ජාතිකවාදී ක්‍රියාමාර්ගයක් මත” යි කථිකයා කියා සිටියේ ය. කම්කරුවන්ට ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කරගෙන, තමන්ගේ ඉල්ලීම් දිනාගත හැක්කේ, ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග ඒකාබද්ධතාව සඳහා සටන් වැදීමෙන් පමනි.

තම රැකියා ශ්‍රේනි හා අනෙකුත් එවැනි සාවද්‍ය බෙදීම් නො තකා එවන් අරගලයකට ආරම්භකත්වය ගැනීමට, සෑම වැඩපොලක ම කම්කරුවන් වෘත්තීය සමිති නිලධරයන්ගෙන් ස්වාධීන ව ක්‍රියාකාරී කමිටු සංවිධානය කරමින්, සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් වැදිය යුතු ය.

“එවන් ආන්ඩුවක් ධනපති සූරාකෑම අවසන් කරනවා. වැඩකරන ජනයා තම ශ්‍රමයෙහි ජයග්‍රහන පුද්ගලික ලාභය වෙනුවට සමාජ අවශ්‍යතාව සඳහා ඍජු ව යොදාගත යුතුයි” යි ඔහු අවධාරනය කලේ ය. “සමාජයේ සම්පත් අයිති විය යුත්තේ වැඩකරන ජනයාටයි.”

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින් නායකත්වය දෙන අරගලය සමග එක් වන ලෙසත්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් ආරම්භකත්වය ගෙන ඇති කොවිඩ්-19 වසංගතය පිලිබඳ ගෝලීය කම්කරු පරීක්ෂනයට සහයෝගය දෙන ලෙසත්, තම කථාව සමාප්තියකට ගෙන එමින් ශ්‍රාවක සාමාජිකත්වයට ගුනදාස ආරාධනා කලේ ය.

ප්‍රශ්න සහ පිලිතුරු වාරයක් සමගින් රැස්වීම සමාප්ත විය. ඉන්දියාවේ හා ලංකාවේ ගොවි අරගල ඒකාබද්ධ කිරීම පිලිබඳ ප්‍රශ්නයකට පිලිතුරු දුන් ගුනදාස, රටවල් දෙකෙහි ම දුගී ගොවීන් රැලි කරගැනීම පිනිස, සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ප්‍රතිපත්ති මත පදනම් වන ඉන්දියාවේ හා ලංකාවේ කම්කරුවන්ගේ ඒකාබද්ධ ස්වාධීන ව්‍යාපාරයක අවශ්‍යතාව පැහැදිලි කලේ ය.

ඉන්දියාවේ ස්ටැලින්වාදී පක්ෂ විසින් නායකත්වය දෙන වෘත්තීය සමිති ඇතුලු ඉන්දියාවේ හා ලංකාවේ ජාතිකවාදී වෘත්තීය සමිති, එවන් ඒකාබද්ධ ව්‍යාපාරයක් වර්ධනය කිරීමට හතුරු ය. මෙම ඉදිරි දර්ශනය සඳහා දකුනු ආසියානු කලාපය සටන් වදින එකම පක්ෂය, ට්‍රොට්ස්කිවාදී සමාජවාදී සමානතා පක්ෂය යි.

කුලවාදී පක්ෂවල භූමිකාව පිලිබඳ ව දකුනු ඉන්දියාවේ ශ්‍රාවකයෙක් මතු කල ප්‍රශ්නයකට, මුලසුන දැරූ ජයසේකර ප්‍රතිචාර දැක්වී ය. මෙම පක්ෂවල ප්‍රධාන භූමිකාව වන්නේ, අදාල කුලවල කුඩා ප්‍රභූවක වරප්‍රසාද සුරක්ෂිත කරගැනීම සඳහා, අතිමහත් බහුතර කම්කරුවන්ගේ හා පීඩිත ජනයාගේ වියදමින්, කම්කරුවන් බෙදීම බව ඔහු පැහැදිලි කලේ ය.

ඉන්දියාව ද ඇතුලු පසුගාමී ධනපති රටවල අධිරාජ්‍ය-ගැති ධනේශ්වරය, “ගොවිජන ප්‍රශ්න හා කුල පීඩනය වැනි ප්‍රජාතන්ත්‍ර විප්ලවයේ නො විසඳුනු ගැටලු ජයගැනීමට අසමත්” බව ඔහු වැඩි දුරටත් සඳහන් කලේ ය. අනෙකුත් සියලු පීඩිත ජනයා රැලි කරගනිමින් සමාජවාදී ප්‍රතිපත්ති සඳහා සටන් වදින කම්කරු පන්තියට පමනක් ම මෙම ගැටලු විසඳිය හැකි ය.

Loading