වැඩි වැටුප් ඇතුලු ඉල්ලීම් කිහිපයක් මත හත් ලක්ෂයකට අධික රාජ්‍ය සේවකයන්ගේ වර්ජනයක්

රුපියල් 10,000 මාසික වැටුප් වැඩිවීමක් ඇතුලු ඉල්ලීම් කීපයක් මත අද පැවැත්වීමට නියමිත රාජ්‍ය සේවක සංකේත වැඩ වර්ජනයට, හත් ලක්ෂයකට අධික තම සාමාජිකයන් සහභාගිවනු ඇතැයි එය කැඳවුම් කරන ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරි වෘත්තීය සමිති සම්මේලනය (ශ්‍රීලරානිවෘසස) පවසයි. එම සම්මේලනය, ශ්‍රී ලංකා රාජ්‍ය කලමනාකාර නිලධාරි සංගමය, සමස්ත ලංකා සංවර්ධන නිලධාරි සංගමය සහ ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය ඇතුලු වෘත්තීය සමිති 35 ක එකතුවකි.

වර්ජනයට සමගාමීව සමිති සම්මේලනයේ නායකත්වයෙන්, අද දින පාර්ලිමේන්තු වටරවුම අසල දී විරෝධතා උද්ඝෝෂනයක් ද පැවැත්වේ. මෙම වර්ජනයට සහ උද්ඝෝෂනයට, කලමනාකාර, සංවර්ධන, කෘෂි පර්යේෂන සහ ග්‍රාම නිලධාරීන් ද, කනිෂ්ඨ කාර්ය මන්ඩල හා තැපැල් සේවකයන් ද ඇතුලු රජයේ සේවකයෝ සහභාගී වෙති.

තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය, ටෙලිකොම් සේවක සංගමය සහ ස්වාධීන වරාය සේවක සංගමය ඇතුලු වෘත්තීය සමිති කිහිපයක් ද මෙම වර්ජනයට හා විරෝධතා උද්ඝෝෂනයට සහභාගිවන බව සම්මේලනයේ ප්‍රධාන ලේකම් ගාමිනී වික්‍රමාරච්චි ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසීය.

ඉහත වැඩි වැටුප් ඉල්ලීමට අමතරව, රාජ්‍ය නිලධාරීන්ගේ භාෂනයේ නිදහසට පනවා ඇති තහංචි ඇතුලු ඔවුනට එරෙහි රාජ්‍ය මර්දනය නතර කිරීම සහ අවුරුදු 65 දක්වා දික් කෙරුනු විශ්‍රාමික වයස් සීමාව අවුරුදු 55 ලෙස යලි තහවුරු කිරීම ඔවුන්ගේ ඉල්ලීම් වලට ඇතුලත් වේ. රාජ්‍ය සේවකයෝ මෙම උද්ඝෝෂනයට පෙරාතුව ඉහත ඉල්ලීම් මත, නොවැම්බර් 29 දා සිට දෙසැම්බර් 6 වෙනිදා දක්වා දහවල් කෑම පැයේ, දිවයින පුරා තම සේවා ස්ථාන ඉදිරිපිට උද්ඝෝෂනයන්හි නිරත වූහ.

ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් මෙහෙයවනු ලබන වෘත්තීය සමිති සම්බන්ධීකරන මධ්‍යස්ථානය ද අදදින උද්ඝෝෂන කීපයක් කැඳවා තිබේ. ශ්‍රීලරානිවෘසස ඉදිරිපත් කර ඇති ඉල්ලීම් මතම, රාජ්‍ය සේවකයන්යගේ අසනීප නිවාඩු වාර්තා කිරීමක් හා දීපව්‍යාප්ත විරෝධතා උද්ඝෝෂනයක් ද, කෙරවලපිටිය විදුලි බලාගාරය එක්සත් ජනපදය පාදක නිව් ෆෝට්රස් එනර්ජි සමාගමට විකිනීමේ රාජපක්ෂ ආන්ඩුවේ ගිවිසුමට හා රාජ්‍ය ආයතන පුද්ගලීකරනයට එරෙහිව, ලංකා විදුලි බල මන්ඩලය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් කම්කරුවන්ගේ සහභාගිත්වයෙන් අද දහවල් 12 ට කොටුව දුම්රියපොල ඉදිරිපිට පැවැත්වෙන විරෝධතා උද්ඝෝෂනයක් ද එයට අයත් වෙයි.

“රනුක්ගේ වැටුප් කමිටු වාර්තාවේ” නිර්දේශ ක්‍රියාත්මක කර විෂමතා ඉවත් කිරීම, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට අදාල ඩැට් නමින් හැඳින්වෙන ප්‍රවාහන දීමනාව රුපියල් 3,000 සිට රුපියල් 10,000 දක්වා ඉහල දැමීම, අතිකාල රේට්ටු මූලික වැටුපෙන් 1/80 බවට පත් කිරීම හා උසස්වීම් වලට අදාල චක්‍රලේඛ නිකුත් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන වයඹ පලාතේ සෞඛ්‍ය සේවකයෝ ද අදදින වර්ජනය කරති. එය පලාත් මට්ටමින් කෙරෙන උද්ඝෝෂනයක කොටසකි. එම උද්ඝෝෂනයට හෙද, පරිපුරක වෛද්‍ය හා පවුල් සෞඛ්‍ය ඇතුලු සෞඛ්‍ය සේවකයෝ සම්බන්ධවෙති.

නොවැම්බර් 29 සිට දෙසැම්බර් 6 දක්වා රාජ්‍ය සේවකයන් ඉහත ඉල්ලීම් මත දහවල් කෑම පැයේ දීපව්‍යාප්ත විරෝධතා උද්ඝෝෂනයක යෙදුන අතර නොවැම්බර් 30 වෙනිදා 1000 ක පමන සෞඛ්‍ය සේවකයෝ වැඩි වැටුප් ඇතුලු ඉල්ලිම් ගනනාවක් මත කොලඹ දී විරෝධතා රථ පෙලපාලියක් පැවැත්වූහ. දෙසැම්බර් 1 වෙනිදා සහායක සෞඛ්‍ය කම්කරුවෝ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂනයක නිරත වුහ.

මෙම අරගල වනාහි, කොරෝනා වසංගතයෙන් ගැඹුරු කෙරුනු ගෝලීය ආර්ථික අර්බුදයේ බර, රටක් රටක් පාසා ධනපති පාලක පන්තීන් විසින් විවිධ කප්පාදු හරහා කම්කරු-පීඩිත මහජනතාවගේ උරමත පැටවීමට එරෙහිව වර්ධනය වන ජාත්‍යන්තර පන්ති අරගල මාලාවේ කොටසකි.

ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම වර්ජන සහ උද්ඝෝෂන වලින් ප්‍රකාශයට පත්වන්නේ, ජීවන වියදම දැරිය නොහැකි මට්ටම් වලට ඉහල යද්දී ඊට සරිලන වැටුප් වැඩිවීමක් ලබා නොදීම සහ වසංගතයේ ව්‍යසනයට ගොදුරු කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව ඔවුන් තුල වැඩී ඇති බරපතල කෝපය සහ තම අයිතීන් සඳහා සටන් කිරීමේ දැවෙන උවමනාවයි.

රජයේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2019 දී පැවැත්වූ සමීක්ෂනයකට අනුව, ලංකාවේ හතර දෙනෙකුගෙන් යුක්ත පවුලකට මාසික වියදම පියවා ගැනීම පිනිස අවම වශයෙන් රුපියල් 63,000 ක් අවශ්‍ය විය. පසුගිය දෙවසරේ සහ මෑත මාසවල සිදු වූ අත්‍යවශ්‍ය භාන්ඩ මිල ඉහල යාමත් සමග එම වියදම වඩාත් ඉහල අගයකට නැග ඇත. නොවැම්බර් මාසයේ ආහාර උද්ධමනය සියයට 17.5 ක් වූ අතර ආහාර නොවන භාන්ඩවල මිල උද්ධමනය සියයට 6.4 කි.

මෙම තතු යටතේ, ලැබෙන සොච්චම් වැටුපෙන් තම ජීවිත ගැට ගසා ගැනීමට කිසිසේත් නොහැකි තත්වයකට ලක්ෂ සංඛ්‍යාත රජයේ සේවකයෝ පත් ව සිටිති. සේවාකාලය වසර අටක් වන සංවර්ධන නිලධාරියෙකු ප්‍රකාශ කල පරිදි සියලු දීමනා සහිත ඔහුගේ මාසික වැටුප රුපියල් 42,000 කි. ගමන් වියදමක් හෝ වෙනත් කිසිදු අමතර දීමනාවක් ඔවුන්ට නොලැබේ.

රාජපක්ෂ ආන්ඩුව දැවැන්ත දේශීය සහ විදේශීය නය කන්දරාවක එරී සිටින අතර, විදේශ සංචිත හිඳීයාම සහ අපනයන ආදායම පහත වැටීම ඇතුලු උග්‍ර මුල්‍ය අර්බුදයකට මුහුන දී සිටී. එවන් තත්වයක් තුල කම්කරු පන්තියේ වැටුප් වැඩි කිරීමක් හෝ මහජනතාව සඳහා සහන දීමට ආන්ඩුව සූදානම් නැත. මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල, නොවැම්බර් 17 වෙනිදා, ද මෝර්නින්ග් පුවත්පතට පවසා ඇත්තේ අයවැය තුල ප්‍රතිපාදන නොමැති බැවින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම කල නොහැක්කක් බවයි.

නොවැම්බර් 12 වෙනිදා අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කලේ “රාජ්‍ය සේවකයන් රටට බරක්” බවයි. එහි අර්ථය අන් කිසිවක් නොව, රාජ්‍ය ආයතන ගනනාවක්ම පුද්ගලීකරනය කිරීමට සමගාමීව, සේවක සංඛ්‍යාව, වැටුප් සහ දීමනා කප්පාදු කෙරෙන දැවැන්ත ප්‍රහාරයකට ආන්ඩුව සූදානම් වන බවයි.

මෙම තතු තුල, ශ්‍රීලරානිවෘසස ප්‍රධාන සංවිධායක බි.ඒ.පී. බස්නායක ඊයේ ද මෝර්නින්ග් පුවත්පතට පවසා තිබුනේ, “ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් නයක් ලබා ගැනීමේ සැලසුමේ කොටසක් ලෙස” ආන්ඩුව “රාජ්‍ය සේවය කප්පාදු කිරීමට සැලසුම් කරන” බවට තමාට දැන ගැනීමට ලැබුනු බවයි. ඊයේ දිනයේ ශ්‍රී ලංකාවට පැමිනීමට නියමිතව තිබූ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත කන්ඩායම මෙවන් සැලසුම් සම්බන්ධයෙන් පැවති ආන්ඩු වලට සහ වත්මන් ආන්ඩුවට දුන් උපදෙස් සහ විධාන යලි සලකා බැලීමේ ඉඩකඩ සෑම අතින්ම පවතී.

නමුත්, ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ මෙම සැලසුම් පරාජය කිරීම, ධනපති ආන්ඩුවට සහ ධනපති ක්‍රමයට එරෙහි කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන අරගලයකින් තොරව කිසිසේත් සාක්ෂාත් කල නොහැක. එවන් දේශපාලන අරගලයකට පරම සතුරු ශ්‍රීලරානිවෘසස ඇතුලු සමිති නිලධරය නැවත නැවතත් යෙදී සිටින්නේ, ආන්ඩුවට කන්නලවු කිරීමේ සහ බලපෑම් යෙදීමේ විරෝධතා ව්‍යාපාරයන්හි කම්කරුවන් කොටුකොට ඔවුනගේ සටන්කාමිත්වය දියකර හැරීමේ ව්‍යායාමයකයි.

මෙම ක්‍රියාමාර්ගයන්හි පවත්නා බංකොලොත්භාවය බස්නායක, දෙසැම්බර් 5 දා, ද මෝර්නින්ග් පුවත්පතට කල ප්‍රකාශයකින්මත් පැහැදිලි වෙයි. “වැඩිවන ජීවන වියදමට විසඳුමක් ලෙස රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන ලෙස” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සහෝදර ත්‍රිත්වයෙන් “පස් වතාවක්ම ඉල්ලා සිටි නමුත් එය නොලැබුනු”බව ඔහු පවසා ඇත. අවම වශයෙන් ඉල්ලීම ගැන සාකච්ඡාවක් හෝ ඉන් කවරෙකුගෙන් හෝ නොලැබුනු බව බස්නායක සඳහන් කරයි.

සමිති නිලධරය විසින් අද දින රාජ්‍ය සේවකයන් පාර්ලිමේන්තු වටරවුමට කැඳවා ඇත්තේ ආන්ඩුවේ සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තම ඉල්ලීම් ඉදිරිපත්කොට සහනයක් ලබාගත හැකි වෙතැයි යන මිථ්‍යාව වපුරවමිනි. සහනය කෙසේ වෙතත්, සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුන ඇතුලු සියලු විපක්ෂ නැවත නැවතත් කියා සිටින්නේ මුහුන දී සිටින අර්බුදයෙන් ගොඩඒම සඳහා ආන්ඩුවට උදවු කිරීමට ඔවුන් සූදානම් බවයි. වැඩෙන පන්ති අරගල ධනපති ක්‍රමයටම අභියෝග කරන කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන අරගලයක් දෙසට වැඩෙතැයි පාලක පන්තියේ මෙම සියලු කොටස් බියවැදී සිටිති.

රාජ්‍ය සේවකයන් ඇතුලු අනෙකුත් කම්කරුවන්ට තම අරගල ජයග්‍රහනය කල හැක්කේ ධනපති නියෝජිතයන්ට කන්නලවු කිරීමෙන් නොව, තම පන්ති සගයන් වෙතට හැරී කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් වර්ධනය කිරීමෙනි. එවන් ඒකාබද්ධ අරගලයකට වෘත්තීය සමිති දක්වන සතුරුභාවය අදදින පැවැත්වෙන විවිධ විරෝධතා උද්ඝෝෂන වෙන්වෙන්ව පැවැත්වීමෙන්මත් ප්‍රකාශයට පත්වෙයි.

ධනපති ක්‍රමයට තදින්ම බැඳී සිටින මෙම සමිති, කම්කරුවන්ට එරෙහි ධනපති උපකරන බවට පත්ව බොහෝ කල්ය. මෙම සමිති, ධනපති අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීමේදී පාලකයන් සමග එක්ව ක්‍රියා කරන ආකාරය ආසන්න අරගල මාලාවෙන් පැහැදිලිව සනාථ විය. “ආන්ඩුව මුහුන දී සිටින අර්බුදය සැලකිල්ලට” ගන්නේයැයි පවසමින්, ගුරු සමිති ගුරු වැටුප් ඉල්ලීම තුනෙන් එකකට කප්දුපාකොට පාවාදුන් අතර, මූලික වැටුපෙන් සියයට 78 ක් ලෙස සෞඛ්‍ය කම්කරුවන් ඉල්ලා සිටි වසංගත දීමනාව, තෙමසකට පමනක් සීමා වූ රුපියල් 7500 ක දීමනාවකට යටත් කර පාවා දීමට එම සමිති ක්‍රියා කලහ. ශ්‍රීලරානිවෘසස හි ජාතික සංවිධායක පසුගිය දා ලෝසවෙඅ ට කියා සිටියේ, ආන්ඩුව මුහුන දී සිටින අර්බුදය අවධානයට ගෙන රුපියල් 18,000 ක වැඩිවැටුප් ඉල්ලීම රුපියල් 10,000 ට කප්පාදු කල බවයි.

“ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ සේවකයෝ වැඩි වැටුප් ඉල්ලා රටපුරා විරෝධතා පවත්වති” යන මැයෙන්, දෙසැම්බර් 3 දා ලෝසවෙ අ හි පලවූ ලිපියේ සඳහන් කල පරිදි,

“ශ්‍රී ලංකාවේ ධනවාදය සඳහා කාර්මික පොලිස් බලකායක් ලෙස ක්‍රියා කරන වෘත්තීය සමිති, කම්කරුවන්ගේ නැඟී එන සටන්කාමීත්වය ගැන වඩ වඩාත් චකිතයට පත් වන අතර එය මර්දනය කිරීමට මංමුලා සහගත ලෙස උත්සාහ කරයි.

“ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ සේවකයන්ට මෙම සංවිධාන තුල සිරවී සිටිනතාක් ඔවුන්ගේ වැටුප්, රැකියා සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගත නොහැක. කම්කරුවන් වෘත්තීය සමිතිවලින් ස්වාධීනව තමන්ගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතු අතර සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක පදනම මත සමස්ත කම්කරු පන්තියේ එකමුතුව සඳහා සටන් කල යුතුය.'

Loading