මාකස් ඇතුලු සමිති නායකයෝ ජාඇල එස්ක්වෙල් කම්හලේ කම්කරු අරගලය අතහැර දමති

ජාඇල, ඒකල පිහිටි එස්ක්වෙල් ශ්‍රී ලංකා ඇඟලුම් කම්හලේ කම්කරුවන් විසින් වැඩි වැටුප් සහ වැඩි බෝනස් ඉල්ලා, දෙසැම්බර් 14 සිට ආරම්භ කල වැඩ වර්ජනය අවසන් කරන බව එය මෙහෙය වූ, ඇන්ටන් මාකස් විසින් නායකත්වය දෙන නිදහස් වෙලඳ කලාප හා පොදු සේවක සංගමය (නිවෙකපොසේස) 22 බදාදා සවස නිවේදනය කලේය.

එස්ක්වෙල් ලංකා ඇඟලුම් කම්හල් ජාලයට අයත් මෙම කම්හලේ කම්කරුවෝ රු. 3,000 ක වැටුප් වැඩි කිරීමක් සහ දෙමසක වැටුපට සමාන බෝනස් දීමනාවක් ඉල්ලා සිටි නමුත් සමිති නායකයන් වර්ජනය අවසන් කර ඇත්තේ, පාලකයන් විසින් යෝජනා කල රු. 1,750 ක වැටුප් වැඩි කිරීමක් සහ මාස එකහමාරක වැටුපට සමාන බෝනස් දීමනාවක් පිලිගනිමිනි.

2021 දෙසැම්බර් 21 වැඩවර්ජනයේ දී පිකට් උද්ඝෝෂනයක යෙදෙන ජාඇල එස්කුවෙල් ඇඟලුම් කම්හලේ කම්කරුවෝ [ලෝසවෙඅ]

කම්හලේ 1,000 ඉක්මවූ සේවක සංඛ්‍යාවෙන්, කම්කරුවන් සුලු කන්ඩායමක් සහ පරිපාලනය හැර සෙසු කම්කරුවෝ වර්ජනයට සහභාගි වී සිටි අතර, සමිති නිලධරයේ මෙම වර්ජනය අත හැර දැමීම හමුවේ ඔවුහු අකමැත්තෙන්ම 23 දා සේවයට වාර්තා කලහ.

අවම වශයෙන් කටුනායක නිදහස් වෙලඳ කලාපයේ තම ශාඛා පවත්නා කම්හල්වල කම්කරුවන්ගේ කාර්මික ශක්තිය හෝ එස්ක්වෙල් අරගලය වටා බලමුලු ගැන්වීමෙන් වැලකී සිටි නිවෙකපොසේස, කම්කරුවන් හුදකලාවට පත් කොට, ඔවුන්ගේ දිරිය බිඳ දමා, හෙම්බත් වීමට ඉඩ සලස්වා වැඩට දැක්කීමට උත්සාහ කරමින් සිටියේ ය.

මුලදී මාකස් කම්කරුවන්ට උපදෙස් දුන්නේ 21 දා සිට වැඩට යන ලෙසයි. නමුත් කම්කරුවන් පවසා ඇත්තේ තමන්ට මාස එක හමාරේ වැටුපේ බෝනස් දීමනාවට එකඟ විය හැක්කේ වැටුප් වැඩිවීම රු. 5,000 ක් වේ නම් පමනක් බවයි.

22 දා පරිපාලනයෙන් අවසාන තීරනයක් ලැබෙන බව කම්කරුවන්ට පැවසූ මාකස් 22 දා “කොල අත්සන් කරල අනිද්ද [23 දා] ඉඳල වැඩට යන්න” යනුවෙන් උපදෙස් දුන් බව කම්කරු කාන්තාවක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) ප්‍රකාශ කලාය. “දැන් අපට වේලෙන්න බැහැ, ලබන මාසේ පඩිත් නැහැ” යැයි පැවසූ ඇය, සමිතිය දිගින් දිගටම පාලකයින් සමග සාකච්ඡා කලද පලක් වූ නොමැති බව කීවාය.

ඉල්ලීම් ලබා නොදීමට හේතුව ලෙස සමාගම ඉදිරිපත් කරන 'ආදායම් අඩුවීම' ප්‍රතික්ෂේප කරමින් ඇය මෙසේ පැවසුවාය: “අපිට වැඩ තිබුනා, දිගටම වැඩ කලා. අපි ලබන අවුරුද්දේ බෝනස් ගන්නත් වැඩ කරලයි තියෙන්නේ, පාලනය කියනවා එයාලට ලාභ නැහැ කියල”

සමහර නිලධාරීන්ගේ මාසික වැටුප රු.150,000 ක් ඉක්මවා යන නමුත්, තම මූලික වැටුප රු. 21,500 ක් පමනක් වන බවද, වෙහෙසට පත්වී වැඩ කලද, සියලුම දීමනා සහිතව උපරිම මාසික වැටුප රු. 32,000 නොඉක්මවන බවද ඇය කීවාය.

ඇඟලුම් ඇතුලු සියලු ක්ෂේත්‍රයන්හි කම්කරුවන් අතර ආන්ඩුවට එරෙහි විරෝධය වැඩෙද්දී එය අපගමනය කරනු වස්, අයවැයෙන් වැටුප් වැඩිවීමක් ලබාගත හැකි වෙතැයි යන මිත්‍යාව වපුරමින්, කම්කරුවකුගේ අවම මූලික වැටුප රු.10,000 කින් වැඩි කරන ලෙස ඉල්ලා, නිවෙකපොසේස ඇතුලු සමිති උද්ඝෝෂනයේ යෙදී ගත්හ. කිසිදු වැටුප් වැඩිවීමක් අයවැයෙන් යෝජනා නොවූ අතර, නිවෙකපොසේස ඇතුලු සමිතිවල උද්ඝෝෂනය පුස්සක් බවට පත්විය.

පසුගිය අප්‍රේල් මස අලුත් අවුරුදු බෝනස් දීමනාව ලබා ගැනීම සඳහා ද, එස්ක්වෙල් කම්හල් ජාලයට අයත්, ජාඇල, කොග්ගල සහ කෑගල්ල පිහිටි කම්හල් හතරේ කම්කරුවෝ උද්ඝෝෂනයක යෙදී ගත්හ. කොග්ගල කම්හල් දෙකේ කම්කරුවන් මර්දනය කිරීම සඳහා කම්හල් පාලකයෝ හබරාදූව පොලීසිය කැඳවූහ. 'කොග්ගල කලාපේ සෙට් එක' නම් වූ මුහුනුපොත් පිටුවට අනුව, 'පොලිස් කැරලි මර්දන ඒකකය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා ඇති අතර කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කිරිමට සූදානමක්” තිබී ඇත.

හොංකොන්ග් මුලස්ථානය කරගත් එස්ක්වෙල් බහු-ජාතික සමාගමේ ශාඛාවක් වූ යක්කල කම්හල වසා දැමීමේදී එහි ‌රැකියාවේ නිරතව සිටි කම්කරුවන් 1,200 කින් කීප සීයක් ජාඇල කම්හලට මාරු කරන ලද අතර, විශාල සංඛ්‍යාවකට රැකියා අහිමි වූ අතර ඔවුනට සොච්චම් වන්දි මුදලක් පමනක් ගෙවනු ලැබිනි. එවකට එහි පැවති ලංකා වෙලඳ, කාර්මික සහ පොදු කම්කරු සමිතියේ (සීඑම්යූ) ශාඛාව, අවශේෂ කම්කරුවන්ගේ කාර්මික ශක්තිය බලමුලු ගන්වමින් එස්ක්වෙල් කම්කරුවන්ගේ රැකියා ආරක්ෂා කිරීමේ අරගලයක් සංවිධානය කිරීම දැනුවත්ව මග හරිමින් සමාගමේ ප්‍රහාරයට කම්කරුවන් යටත් කිරීමට ක්‍රියා කලේය.

මාකස්ගේ නිවෙකපොසේස, ජවිපෙ ට අයත් අන්තර් සමාගම් සේවක සංගමය වෘත්තීය සමිතිය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, එක්සත් කම්කරු සම්මේලනය ඇතුලු සමිති යක්කල එස්ක්වෙල් කම්කරු අරගලය හුදෙකලා කොට එම ප්‍රහාරයට දායක වූහ.

හාම්පුතුන්, කම්කරු ඇමති සහ වෘත්තීය සමිති එක්ව පසුගිය වසරේ මැයි මාසයේ පිහිටුවාගත් ත්‍රෛපාර්ශවීය කාර්ය සාධක බලකායට ඉහත සමිති සියල්ල රිංගා ගත්හ. මෙම බලකායේ කර්තව්‍ය වී ඇත්තේ කොරෝනා වසංගතයෙන් ගැඹුරු කෙරී ඇති ඇඟලුම් සහ අපනයන කර්මාන්ත අර්බුදයේ බර කම්කරුවන් මත පැටවීමේදී ධනපති හාම්පුතුන්ගේ ලාභ පිපාසිත උවමනාවන්ට කම්කරුවන් යටත් කර දීමය.

වසංගතය දඩමීමා කර ගනිමින් වැටුප් අඩකින් කප්පාදු කිරීමට, දීමනා කපා දැමීමට, වැඩ වේගවත් කිරීමට සහ කම්කරුවන් දහස් ගනනක් රැකියා වලින් දොට්ට දැමීමට සහ විශේෂයෙන්ම, වසංගතය ව්‍යසනකාරී ලෙස පැතිරෙද්දී අත්‍යවශ්‍ය නොවන ඇඟලුම් වැනි නිෂ්පාදනයන් විවෘතව තබා ගනිමින් කම්කරුවන් අන්තරායකාරී ලෙස වැඩට දැක්කීමට මෙම සමිති සියල්ල පූර්න සහයෝගය ලබා දුන්හ.

මෙම ද්‍රෝහි ක්‍රියාකලාපයට කෘතඥතාවය පුද කිරීම සඳහා ධනපති පන්තිය වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ විසින්, අරලියගහ මන්දිරයේ 15 දා පැවති “ශ්‍රමයට අභිමන්-ජනතා බුහුමන්’’ 2021 ඇගයීම් උලෙලට මාකස් ඇතුලු සමිති නායකයින් නව දෙනෙකුට මුදලින් රු.150,000 මූල්‍ය ප්‍රදානයක් සහිත “ජාතියේ උපහාර” පිරිනැමුනි.

එස්ක්වෙල් සටනෙන් යලිත් වරක් පෙන්නුම් කර ඇත්තේ, වෘත්තීය සමිති යටතේ කම්කරුවන්ට තම ප්‍රජාතන්ත්‍රීය හා සමාජ අයිතීන් ආරක්ෂා කර ගත නොහැකි බවයි. එය කල හැක්කේ වෘත්තීය සමිතිවලින් ස්වාධීනව පිහිටුවා ගන්නා කම්කරු ක්‍රියාකාරී කමිටු මගින් සංවිධානය කර මෙහෙයවනු ලබන කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් තුලින් පමනි.

***

ලෝසවෙඅ වාර්තාකරුවන් සහ කම්කරුවන් අතර සාකච්ඡා වැලැක්වීමට මාකස්ගේ සමිතිය බලහත්කාරය යොදයි.

දෙසැම්බර් 20 දා, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන් පිරිසක් වැඩවර්ජනයේ යෙදී සිටි කටුනායක එස්ක්වෙල් කම්කරුවන් සමග සාකච්ඡා කරමින් සිටියදී එතැනට කඩාවැදුනු නිදහස් වෙලඳ කලාප පොදු සේවක සමිතියේ (නිවෙකපොසේස) ගැත්තරයින් පිරිසක් බලහත්කාරය යොදා එම සාකච්ඡා වැලැක්වීමට ප්‍රකෝපකාරී ලෙස මැදිහත් වූහ.

සමිති ගැත්තරයෝ, ලෝසවෙඅ වාර්තාකරුවන්ගේ අනන්‍යතාව විමසමින් මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී මැදිහත්වීම ආරම්භ කලහ. වාර්තාකරුවන් තම හැඳුනුම්පත් පෙන්වූ විට, 'ලෝසවෙඅ අපිව විවේචනය කරමින් පාලකයින් වෙනුවෙන් පෙනී සිටින' බව අවට සිටි කම්කරුවන්ට කියා සිටි ප්‍රකෝපකාරීහු වහාම තම සමිති නායක ඇන්ටන් මාකස් දුරකථනයෙන් සම්බන්ධ කර ගත්හ.

මාකස්ගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වූ ඔවුහු, ලෝසවෙඅ ට කම්කරුවන් අතර මැදිහත් වීමට ඉඩදිය නොහැකි බව පවසමින් එම ස්ථානයෙන් ඉවත් වන ලෙස තර්ජනය කලහ. පසුව වාර්තාකරුවන් අසල පිහිටි බස් නැවතුම්පලක සිටි කම්කරුවන්ට කතා කිරීමට උත්සාහ කලවිට එතැනට ද පැමිනි ප්‍රකෝපකාරීහු, ලෝසවෙඅ වාර්තාකරුවන් සමග සාකච්ඡා නොකරන ලෙස එහි සිටි කම්කරුවන්ට අන කලහ.

තමන්ට පොලීසියේද සහාය ලැබෙන බව පැවසූ ඔවුහු, දුරකථනයෙන් පොලීසිය අමතා වාර්තාකරුවන් පොලීසියට භාර දීමට උත්සාහ කලහ. අනතුරුව එක් වාර්තාකරුවෙකුගේ දුරකථනය බලහත්කාරයෙන් උදුරාගත් සමිති ගැත්තරයෝ එහි තිබූ ඡායාරූප ඉවත් කලහ.

වෘත්තීය සමිති, කම්කරු පන්තිය තුල කාර්මික පොලීසියක් ලෙස ක්‍රියාත්මක වන බව මෙම සිද්ධියෙන් බලගතු ලෙස තහවුරු වී ඇත. මාකස් ඇතුලු වෘත්තීය සමිති නිලධරය මෙලෙස බලහත්කාරය යොදා ඇත්තේ, කම්කරුවන්ට සහ මාධ්‍යයන්ට අන්‍යෝන්‍යව කතා කිරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට එරෙහිවයි.

'පාලකයින් වෙනුවෙන් පෙනී සිටින' බවට සමිති ගැත්තරයන් ලෝසවෙඅ ට එල්ල කරන ව්‍යාජ චෝදනාවන්ට විපරීතව ලෝසවෙඅ සතුව ඇත්තේ, ධනපති ආන්ඩු, හාම්පුතුන් සහ සමිති එක්ව කම්කරුවන්ට එල්ල කරන ප්‍රහාර වලට එරෙහිව, කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ අඛන්ඩ අරගලයක ඉතිහාසයකි.

මෑතම උදාහරන ගතහොත්, 2021 අප්‍රේල් බෝනස් දීමනා කපා දැමීමට එරෙහිව කටුනායක එස්ක්වෙල් ඇතුලු කම්හල් ගනනාවක කම්කරුවන් ගෙනගිය අරගලය මධ්‍යයේ ලෝසවෙඅ මෙසේ ලිවීය:

'කර්මාන්තකරුවන්ට කම්කරුවන් නිර්දය ලෙස සූරාකෑමේ කොන්දේසි තහවුරු කෙරෙන වරදාන ලබාදෙන බවට, එනම් දැනට පවතින සීමිත සෞඛ්‍යාරක්ෂක නිර්දේශ ලිහිල් කිරීම මගින් 'නිෂ්පාදන පලදායිත්වය' සහ ගුනාත්මකබව ඉහල දැමීම සඳහා පුර්න සහයෝගය ලබාදෙන බවට, ජනාධිපති රාජපක්ෂ මාර්තු මස ඇඟලුම් හාම්පුතුන්ට පොරොන්දු විය. හාම්පුතුන් කම්කරුවන්ගේ බෝනස් දීමනා කපා දමන්නේ රාජපක්ෂ ආන්ඩුව ලබාදෙන මෙම සහයෝගයේ ගැම්මෙනි.'

යක්කල පිහිටා තිබූ එස්ක්වෙල් කම්හල 2020 මැද භාගයේ වසා දමා, සිය ගනනක් කම්කරුවන්ට රැකියා අහිමි කිරීමට එරෙහිව එම කම්කරුවන් ගෙනගිය අරගලය සඳහා ඉදිරිදර්ශනයක් සම්පාදනය කිරීමට සමාජවාදී සමානතා පක්ෂය සහ ලෝසවෙඅ ගෙනගිය වැඩකටයුතු වල කොටසක් ලෙස ලෝසවෙඅ මෙසේ ලිවීය:

'මැයි මස, මෙම වෘත්තීය සමිති, ආන්ඩුව සහ හාම්පුතුන්ගෙන් සැදුම්ලත් ඊනියා ත්‍රෛපාර්ශ්වික කාර්ය සාධක බලකාය විසින් අත්සන් කරන ලද ගිවිසුමක් මගින් ධනපති හාම්පුතුන්ට පුද්ගලික අංශයේ කම්කරුවන් දස ලක්ෂයකට වැඩි පිරිසකගේ රැකියා අහිමි කිරීමටත්, රැකියාවේ නියුක්ත කම්කරුවන්ගේ වැටුප් හා දීමනා හාම්පුතුන් ගේ තනි කැමැත්ත මත කප්පාදු කිරීමටත්, අවශ්‍ය කොන්දේසි නිර්මානය කර දෙන ලදී.'

ආන්ඩුව, හාම්පුතුන් සහ සමිති වලින් සමන්විත 'ත්‍රෛපාර්ශ්වයේ' මෙම ප්‍රතිගාමී ගිවිසුමට අත්සන් තැබූ මාකස්, 2020 ඔක්තෝබරයේ, ඇඟලුම් සහ අපනයන කම්කරුවන්ගේ “ගෞරවාන්විත රැකියා අයිතිය” තහවුරු කරන ලෙස රාජපක්ෂ ආන්ඩුවෙන් ඉල්ලා නිවේදනයක් නිකුත් කලේය. ඒ සම්බන්ධයෙන් ලෝසවෙඅ පලකල ලිපියේ මෙසේ සඳහන් වෙයි:

'මාකස් 'ඇඟලුම් සේවක සේවිකාවන්ගේ ගෞරවය හා රැකියා සුරක්ෂිතභාවය” කෙරෙහි දක්වන උනන්දුව මුලුමනින් ම වංචනික ය. ඔහුත්, ඔහු නායකත්වය දෙන නිවෙකපොසේසේස සහ ලංකා වෙලඳ කාර්මික හා පොදු කම්කරු සංගමය (ලවෙකාපොකස), එක්සත් කම්කරු සමිති සම්මේලනය (එකසස ) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් මෙහෙයවනු ලබන අන්තර් සමාගම් සේවක සංගමය (අසසේස) ඇතුලු පුද්ගලික අංශයේ සමිති කොරෝනා වසංගතයෙන් තීව්‍ර කෙරුන ඇඟලුම් හා අපනයන කර්මාන්තයේ අර්බුදය කම්කරුවන් මත පැටවීමට රාජපක්ෂ ආන්ඩුවට හා හාම්පුතුන්ට සහයෝගය දෙති.'

මාකස් සහ ඔහුගේ ගැත්තරයන් ලෝසවෙඅ සහ කම්කරුවන් අතර සාකච්ඡා බලහත්කාරය යොදා වලකාලනුයේ, ඔහු ඇතුලු සමස්ත සමිති නිලධරයේ ප්‍රතිගාමී භූමිකාව අනාවරනය කරමින්, වෘත්තීය සමිති වලින් ස්වාධීන වූ කම්කරු ක්‍රියාකාරී කමිටු සහ කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමටට සටන් වදින බැවිනි. නිවෙකපොසේස හි ඉහත බලහත්කාරී සහ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියාව හෙලා දකිමින්, කම්කරු පංතියේ එකම අව්‍යාජ මාධ්‍යය වන ලෝසවෙඅ හි මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට පෙරට එන ලෙස සියලු කම්කරුවන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

Loading