ඉදිරිදර්ශන

පාලනයෙන් මිදෙමින් ඔමික්‍රොන් වේගයෙන් පැතිරේ

වෛරස සම්ප්‍රේෂනය නැවැත්වීමට, ජීවිත බේරා ගැනීමට සහ වසංගතය අවසන් කිරීමට හදිසි ක්‍රියාමාර්ග අවශ්‍යයි

[මෙය Urgent action is necessary to stop viral transmission, save lives and end the pandemic යන මැයෙන් 2021 දෙසැම්බර් 24 වැනි දින පල වූ ඉදිරිදර්ශනයේ පරිවර්තනයයි.]

ජනාධිපති බයිඩන් සහ මාධ්‍ය විසින් ව්‍යාජව සහ වගකීම් විරහිතව දිරිමත් කෙරුනු මිලියන සංඛ්‍යාත ජනකායක් ඔවුන්ගේ පවුල් සහ මිතුරන් සමඟ ප්‍රීතියෙන් නිවාඩුව ගත කිරීමට එක්සත් ජනපදය පුරා සංචාරය කරති. වසංගතයේ ස්වභාවය, පවතින එන්නත් වල ආසාදනයට එරෙහිව සඵලත්වය පහත වැටීම සහ වෛරසයට නිරාවරනය වීමේ අවදානම පිලිබඳව ඔවුන් නොමඟ යවා ඇත. වෛරස් සම්ප්‍රේෂනය නැවැත්වීමට අවශ්‍ය මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගැනීම බයිඩන් පරිපාලනය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා දරුනු වන්දියක් ගෙවීමට සිදුවනු ඇත. මිලියන ගනනක් ආසාදනය වීමේ බරපතල අනතුරක් තිබේ. ගනන් කල නොහැකි දහස් ගනනක් බරපතල ලෙස රෝගාතුර වීමට, දිගු කාලීන ප්‍රතිවිපාක විඳීමට සහ මියයාමට පවා ගොදුරු වනු ඇත.

ලියාපදිංචි හෙදියක් වන බ්‍රයන් හොෆිලෙනා 2021 දෙසැම්බර් 14, අඟහරුවාදා, ලොස් ඇන්ජලීස් හි 'ප්‍රොවිඩන්ස් හොලි ක්‍රොස්' වෛද්‍ය මධ්‍යස්ථානයේදී කොරෝනා වෛරසයෙන් මියගිය රෝගියෙකුගේ ශරීරය සහිත බෑගයක “කොවිඩ් රෝගී” ස්ටිකරයක් අමුනයි. රට පුරා බොහෝ රෝහල් වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් කම්කරුවන් දැඩි පීඩනයකින් යුතුව සාර්ථකව කටයුතු කිරීමට අරගල කරයි. (ඒපී ඡායාරූප/ජේ සී හොං)

දකුනු අප්‍රිකාවේ නව ප්‍රභේදයක් පිලිබඳ ප්‍රවෘත්ති පල වී මාසයකට පසු, ඔමික්‍රෝන් ලොව පුරා පෙර නොවූ විරූ වේගයකින් ව්‍යාප්ත වී ඇත. එය දැනටමත් ගෝලීය වශයෙන් ඩෙල්ටා ප්‍රභේදය අභිබවා ගොස්, විශේෂයෙන් යුරෝපයේ සහ එක්සත් ජනපදයේ ආසාදිතයින් සංඛ්‍යාව ක්ෂනිකව ඉහල නංවමින් තිබේ.

බොහෝ විද්‍යාඥයින්ගේ ප්‍රක්ෂේපනවලට අනුව, වසංගතයේ පෙර පැවති සියලු නැගීම් අඟුටුමිටි බවට පත්කරන ව්‍යසනයක් දිග හැරෙමින් තිබේ. මේ සතියේ, සෞඛ්‍ය ප්‍රමිතික සහ ඇගයීම් ආයතනය (Health Metrics and Evaluation-අයිඑච්එම්ඊ) අනාවැකි පල කලේ ඉදිරි මාස තුන තුල බිලියන 3 ක ජනතාවකට, එනම්, දල වශයෙන් ලෝක ජනගහනයෙන් සියයට 38 කට පමන ඔමික්‍රෝන් ආසාදනය විය හැකි බවයි.

මාධ්‍ය සහ දේශපාලන සංස්ථාපිතයේ ප්‍රකාශයන්ට ප්‍රතිකුලව, ඔමික්‍රොන් ප්‍රභේදය පෙර වික්‍රියාවලට වඩා සැලකිය යුතු ලෙස බරපතල බවින් අඩු බවට කිසිදු සාක්ෂියක් නොමැත. බ්‍රහස්පතින්දා එක්සත් රාජධානියෙන් ප්‍රකාශයට පත් කරන ලද දත්ත පෙන්නුම් කලේ ඔමික්‍රෝන් ආසාදිතයන්ගෙන් අඩු ප්‍රතිශතයක් රෝහල් ගත කර ඇති බවයි. කෙසේ වුවද, මෙය බොහෝ දුරට එන්නත් ලබාගෙන ඇති හෝ දැනටමත් කොවිඩ්-19 වැලඳී ඇති, එබැවින් වෛරසයට වැඩි ප්‍රතිරෝධයක් ඇති අයට ද ඉතා ඉහල රේට්ටුවකින් ඔමික්‍රෝන් ආසාදනය වන හෙයින් ඇතිවූ අතුරු ප්‍රතිඵලයක් වේ.

ඔමික්‍රෝන් හි 'නෛසර්ගික බරපතලකම' සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ, එය, ඩෙල්ටා වලට සමාන හෝ තරමක් මෘදු ලෙස පෙනෙන බව යි. ඔමික්‍රෝන් හි සම්ප්‍රේෂනය වඩා ඉහල බැවින්, මෙයින් අදහස් කරන්නේ එය රෝගයෙන් පෙලෙන සහ මිය යන පුද්ගලයින්ගේ සංඛ්‍යාව බෙහෙවින් වැඩි කිරීමට තුඩුදෙනු ඇති බවයි.

ලෝක ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එලඹෙන මහා ආසාදන රැල්ල ඉදිරියේ සම්පූර්නයෙන්ම අනාරක්ෂිතව සිටිති. ඇස්තමේන්තු කර ඇති පරිදි, ගෝලීය ජනගහනයෙන් සියයට 43 කට එකදු එන්නත් මාත්‍රාවක් හෝ ලැබී නොමැති අතර ඔමික්‍රොන් වලට එරෙහිව ප්‍රමානවත් ආරක්ෂාවක් සැපයීම සඳහා තුන්වන මාත්‍රාවක් ලැබී ඇත්තේ සියයට 5.7 කට පමනි. එන්නත් මාත්‍රා දෙකක් පමනක් ලබා ඇති අය බොහෝ දුරට ආසාදනයෙන් ආරක්ෂාව නොලබයි. ඔවුන්ගේ රෝහල්ගත වීමේ සහ මරනයේ අවදානම තවමත් නීර්නය කල යුත්තක් ලෙස පවතින නමුත් මාස හයකට පසු ක්‍රමයෙන් වැඩි වනු ඇතැයි විශ්වාස කෙරේ.

එන්නත් නොකල සහ එන්නත් කල පුද්ගලයින්ගේ සාමාන්‍ය ආසාදන මරන අනුපාතය දල වශයෙන් ගෝලීයව සියයට 0.5 ක් නම්, එලඹෙන ආසාදන සහ රෝහල්ගතවීම් රැල්ලෙන් මිලියන 15 ක ජනතාවක් මිය යනු ඇත. ආසාදනවල සීඝ්‍ර වැඩිවීම, ගෝලීය වශයෙන් රෝහල් පද්ධති විනාශභාග් කරනු ඇති අතර, අඩු සංවර්ධිත රටවලට නරකම ප්‍රතිපල අත්කරදෙමින්, වඩා ඉහල මරන අනුපාතිකයකට සහ වැඩිපුර මරන සංඛ්‍යාවකට තුඩු දෙනු ඇත.

ගෝලීයව, විශේෂයෙන්ම එන්නත් නොකල අවුරුදු පහට අඩු දරුවන්ට,ඔමික්‍රෝන් ප්‍රභේදය, පෙර ප්‍රභේදවලට වඩා බෙහෙවින් වැඩි අවදානමක් ඇති කරයි. දකුනු අප්‍රිකාවේ සහ එක්සත් රාජධානියේ දත්ත, ලමා රෝහල්ගත කිරීම් හි වාර්තාගත සංඛ්‍යාවන් පෙන්නුම් කරන අතර, ලමුන් අතර ඔමික්‍රොන් අවම වශයෙන් සියයට 20 ක් දරුනු විය හැකි බව පෙන්නුම් කරයි. පෙර ප්‍රභේද සමග සන්සන්දනය කිරීමේදී දකුනු අප්‍රිකාවේ ඔමික්‍රෝන් රැල්ල ආරම්භයේ දී තුන් ගුනයක් වැඩියෙන් ලමුන් මිය ගොස් ඇත.

මෙම දිග හැරෙන ව්‍යසනයට පාලක පන්තිය ප්‍රතිචාර දක්වන්නේ සාපරාධී නොතැකීමකිනි. මරනය සුලු කොට තකනු ලැබේ. ඔමික්‍රෝන් හි බලපෑමට පෙර පවා, දිනකට මිනිසුන් 1,000 කට වඩා මිය ගිය එක්සත් ජනපදයේ තරම් මෙම කරුන පැහැදිලි වූ තවත් තැනක් නැත.

මෙම සතිය මුලදී තම කතාවේදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කලේ ඇමරිකානු ආන්ඩුවේ “එන්නත පමනක්” ප්‍රවේශයේ කිසිඳු වෙනසක් නොවන බවයි. වසංගතය ආරම්භ වූ 2020 මාර්තු මාසයට වඩා එක්සත් ජනපදය දැන් ඉතා හොඳ තත්වයක සිටින බව ප්‍රකාශ කිරීමේදී, ඔහු ජනාධිපති වූ දා සිට 400,000 කට වැඩි සාඛ්‍යාවක් ඇතුලුව මෙම කාල සීමාව තුල පුද්ගලයින් 830,000 කට වඩා මිය ගොස් ඇති බව පවා බයිඩන් පිලිගෙන නැත.

සෑම සතියකම ආසන්න වශයෙන් පුද්ගලයන් 10,000 ක් මිය යන්නේය යන පුවත මාධ්‍ය තුල, බොහෝ දුරට සඳහන් නොවේ. සති දෙකකට පෙර, එක්සත් ජනපදය හරහා ටොනේඩෝවක් පැතිරගිය විට මිනිසුන් 100 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගිය අතර ඛේදවාචකයෙන් රට සැබවින්ම කම්පනයට පත් විය. නමුත් කොවිඩ්-19 හේතුවෙන් එමෙන් 10 ගුනයකටත් වැඩි ජනයා දෛනිකව මිය යන බව මාධ්‍ය විසින් වාර්තා නොකරන තරම්ය.

මෙම වාර්තාකරන වෙනස සඳහා හේතු කාරක වන්නේ කුමක්ද? ජාතික සහ ගෝලීය සමාජ ප්‍රතිපත්ති විෂයයෙ හි ලා බැලීමේදී සීමිත ප්‍රතිවිපාක සහ ඇඟවුම් සහිතව, ටොනේඩෝව සාමාන්‍ය නොවන සිදුවීමක් ලෙස වාර්තා කල හැක.

නමුත් වසංගතය යනු සමස්ත ග්‍රහලෝකයටම බලපාන අති විශාල ව්‍යසනයක් වන අතර ඒ හා සටන් කිරීමට ක්ෂනික හා දැවැන්ත ආර්ථික සම්පත් වෙන් කිරීමක් සහ සමාජ ප්‍රමුඛතාවල මූලික වෙනසක් අවශ්‍ය වේ. වසංගතය අවසන් කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම, මූල්‍ය-සංගත ධනේශ්වර ප්‍රභූන් සහ ඔවුන් පාලනය කරන ආන්ඩු විසින් සලකන්නේ, ඔවුන්ගේ පන්ති අවශ්‍යතා සමඟ නොගැලපෙන්නක් ලෙස ය.

එක්සත් ජනපදයේ සහ යුරෝපයේ මාධ්‍ය, කොවිඩ්-19 කිසි විටෙකත් තුරන් නොකරනු ඇතැයිද එය ඉදිරි වසර ගනනාව තුල පවතිනු ඇතැයිද යන සංකල්පය ප්‍රවර්ධනය කරන්නේ එබැවිනි. වසංගතය යම් ප්‍රදේශයකට ආවේනික එකක් බවට පත්වනු ඇත. වෝල් ස්ට්‍රීට් ජර්නලය බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කරන ලද ලිපියක මෙය ඉඳුරාම සඳහන් කර ඇත:

මහජන සෞඛ්‍ය විශේෂඥයින් පවසන පරිදි, ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආක්‍රමනශීලී වර්ධනය වූ කලී, එක්සත් ජනපදය තුල ආවේනික වීමේ මාවතක ගමන් කරන රෝගයක නවතම පෙරලියයි.

වෙනත් වචන වලින් කිවහොත්, කොවිඩ්-19 වසංගතයට අවසන් දිනයක් නොමැත. ඒ වෙනුවට, චීනයේ කොරෝනා වෛරසය සොයා ගැනීමෙන් මාස කිහිපයක් ඇතුලත ලෝකය ගිලගත් අර්බුදය, වේගයෙන් පැතිර ගොස් වසර ගනනාවක් පුරා සාමාන්‍ය යැයි හැඟෙන දෙයක් බවට පත්වනු ඇතැයි බෝවන රෝග විශේෂඥයෝ පවසති.

කොවිඩ්-19 ආවේනික රෝගයක් ලෙස පැවතීම යන්නෙන් ඇත්ත වශයෙන්ම අදහස් කරන්නේ කුමක්ද යන්න විස්තර කරමින් ජර්නලය මෙසේ ලියයි:

එක්සත් ජනපදයේ දිනකට පුද්ගලයින් 1,200 කට වැඩි පිරිසක් කොවිඩ්-19න් මිය යති. නමුත් මහජන සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ, බෝවෙන උන රෝගයේ සාමාන්‍ය මට්ටමට වඩා බොහෝ ඉහල මරන සහ සම්ප්‍රේෂන මට්ටම්වලදී පවා, කොවිඩ්-19 පැතිරීම ආවේනික යැයි සැලකීමට තරම් පුරෝකථනය කල හැකි රටාවකට අනුකූල වන බවයි.

ලිපිය අවසන් වන්නේ ඉර්වින් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ වසංගත රෝග විද්‍යාඥ ඇන්ඩෘ නොයෙස් විසින් කරන ලද ඇඟ කිලිපොලායන ප්‍රකාශයකින් ය: “කොවිඩ්, දැන් සාමාන්‍ය දෙයකි,” ඔහු පැවසීය. 'එය එදිනෙදා ජීවිතයේ කොටසකි.'

මිනිස් ජීවිතය කෙරෙහි මෙම නාසි පන්නයේ නොතැකීම වනාහි වසංගතය කෙරෙහි ආන්ඩුවේ ප්‍රතිචාරයට මඟ පෙන්වූ සාරයයි.

මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවිත ධනේශ්වර අවශ්‍යතා සඳහා ප්‍රාන ඇපයට තබා ගත නොහැක! ව්‍යසනයක් වලක්වා ගැනීමට නම් ප්‍රතිපත්තියේ හදිසි වෙනසක් අවශ්‍ය වේ. ලෝකයේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් එක්සත් ජනපදයේ සහ යුරෝපයේ ප්‍රමුඛ වී ඇති එන්නත්-පමනක් ප්‍රවේශය අර්බුදය විසඳීමට සම්පූර්නයෙන්ම අසමත් වී ඇත.

එන්නත්කරනය වසංගතය පාලනය කිරීමට දරන උත්සාහයේ අත්‍යවශ්‍ය සංරචකයකි. අගුලු දැමීම්වලට එරෙහි ව්‍යාපාරයට නායකත්වය දුන් ෆැසිස්ට් දක්ෂිනාංශය විසින් එන්නත් විරෝධී හැඟීම් ප්‍රවර්ධනය කිරීම, මුලුමනින්ම ප්‍රතිගාමී ය. එන්නත් සඳහා දෙගිඩියාව ප්‍රවර්ධනය කරන්නන් එන්නත් නොලද අයගේ පමනක් නොව සමස්ත ජනගහනයේ ජීවිත අන්තරායට ඇද දමයි.

කෙසේ වෙතත්, වසංගතය මූලික වශයෙන් එන්නත් නොකල අයගේ ගැටලුවක් බවට අඟහරුවාදා බයිඩන් විසින් දැඩි ලෙස ප්‍රවර්ධනය කරන ලද වත්මන් ආඛ්‍යානය අසත්‍යයකි. එන්නත් කරන ලද අය ඔවුන්ගේ සෞඛ්‍යයට සුලු අන්තරායකට මුහුන දෙන බවට වන ප්‍රකාශ මුළුමනින්ම නිරවද්‍යතාව තහවුරු කල ඒවා නොවේ. එන්නත් ලබා නොගත් අය හා දිගුකාලීන කොවිඩ් වලින් පෙලෙන ආසාදිතයින් සමඟ සැසඳිය හැකි අනුපාතයකින්, එන්නත් දෙක සම්පූර්න කිරීම පවා ආසාදනයට එරෙහිව අකාර්යක්ෂම වන බවට සැලකිය යුතු සාක්ෂි තිබේ. ශීඝ්‍රයෙන් පැතිර යන වෛරසයක් හමුවේ, ඉදිරි දින සහ සති කිහිපය තුල වෛරස සම්ප්‍රේෂනය නැවැත්වීම සඳහා එතරම් දෙයක් කල නොහැකි එන්නත්කරනය සඳහා වන, දිගු හා ඇදීයන ව්‍යාපාරයකට ක්‍රියාවන් සීමා කිරීම අපරාධයකට වඩා අඩු දෙයක් නොවේ.

එපමනක් නොව, ඔමික්‍රෝන් ප්‍රභේදයේ මතුවීම, වෛරසය සංසරනය වීමට ඉඩ දෙන තාක් කල්, නව, වඩාත් බෝවන සහ එන්නත්-ප්‍රතිරෝධී ප්‍රභේද මතුවීමේ නිරන්තර අනතුරක් පවතින බව පෙන්නුම් කරයි. තවද, විද්‍යාඥයන් අනතුරු අඟවන්නේ, ඔමික්‍රොන් මෙතරම් කෙටි කාලයක් තුල විශාල පිරිසකට ආසාදනය කරන නිසා එය විකෘති වීමේ රේට්ටුව වේගවත් කරන බවයි.

සමූහ එන්නත් කිරීම ඵලදායී වන්නේ සම්ප්‍රේෂනය නැවැත්වීම සහ වෛරසය තුරන් කිරීම සහ මුලිනුපුටා දැමීම අරමුනු කරගත් ආක්‍රමනශීලී මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග සමඟ ඒකාබද්ධ වුවහොත් පමනි.

ඉදිරි දින සහ සතිවලදී සිදු කරන දේ ඉතා වැදගත් වේ. වෛරසය පැතිරීම නැවැත්වීමට සහ ජීවිත බේරා ගැනීමට සෑම මහජන සෞඛ්‍ය පියවරක්ම ක්‍රියාවේ යෙදවිය යුතුය. මිනිසුන් අතර සම්ප්‍රේෂනය වීම සියලු ආකාර වලින් නවතා, වෛරසය ගෝලීය වශයෙන් තුරන් කරන තෙක් පුලුල් භූගෝලීය කලාපවල සාර්ස්-කොවිඩ්-2 ක්‍රමානුකූලව තුරන් කිරීම අරමුනු කරගත් ශූන්‍ය කොවිඩ් උපාය මාර්ගයක් සෑම රටකම ක්‍රියාත්මක කල යුතුය.

මෙය සාක්ෂාත් කරගත හැකිය.

බිලියන 1.4 ක ජනගහනයක් සිටින රටක් වන චීනය තුල, මරන 5,000 ට සහ රෝගීන් 100,000 ට අඩු අගයන්ට සීමා කිරීමට ඇති හැකියාව පෙන්නුම් කරන්නේ ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය ශක්‍ය බවයි. මෑත කාලීන පැතිරීම් සඳහා එහි ප්‍රතිචාරය—හදිසි අගුලු දැමීම් ඇතුලුව, සමූහ පරීක්ෂන, ආශ්‍රිතයන් සොයා ගැනීම සහ ආසාදන දාමය බිඳ දැමීම සඳහා නිරෝධායනය සමඟ ඒකාබද්ධව—ගත යුතු පියවර ආකාරයන් පෙන්නුම් කරයි.

මිලියන 13 ක් පදිංචිව සිටින චීනයේ ෂැන්සි පලාතේ අගනුවර වන ෂියාන් හි සැලකිය යුතු පැතිරීමකට චීන බලධාරීන් මේ වන විට මුහුන දී සිටී. ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත් කරන චීන පුවත්පතක් වන ග්ලෝබල් ටයිම්ස් මෙසේ වාර්තා කරයි:

බ්‍රහස්පතින්දා සිට, ෂියාන් හි මිලියන 13 ක පදිංචිකරුවන්ට නිවෙස් තුලට වී සිටීම ආවශ්‍යක කෙරුනි. සෑම දින දෙකකට වරක් දෛනික අවශ්‍යතා මිලදී ගැනීම සඳහා නිවසින් පිටවීමට අවසර ඇත්තේ සෑම නිවසකම පවුලේ එක් සාමාජිකයෙකුට පමනි. රෝගාබාධ හෝ වසංගත මර්දන වැඩවලට සහභාගී වීම වැනි විශේෂ අවශ්‍යතා හැර, මිනිසුන්ට පිටතට යාමට දිරිගැන්වීමක් නැත.

ෂියාන් ෂියන්යෑන්ග් ජාත්‍යන්තර ගුවන්තොටුපල බ්‍රහස්පතින්දා සියලුම අභ්‍යන්තර ගුවන් ගමන් අවලංගු කලේය. චීන ගුවන් ගමන් සම්බන්ධ ව එසැන තොරතුරු ලබා දෙන සේවාවක් වන ෆයිකැන්ග්ෂන් පෙන්නුම් කලේ බ්‍රහස්පතින්දා සැලසුම් කර තිබූ ගුවන් ගමන් 765 ක් අවලංගු කර ඇති බවයි. පුවත්පත් මුද්‍රන කාලය වන විට ගුවන් තොටුපලේ ජාත්‍යන්තර ගුවන් ගමන් තුනක් පමනක් ඉතිරිව තිබුනි. නගර කිහිපයකට දුම්රිය ධාවනය ද අත්හිටුවා ඇත.

මෙම පියවර පුද්ගලයන්ට සැලකිය යුතු තාවකාලික සීමාවන් පනවා ඇත. නමුත් මිනිස් ජීවිතවලට එල්ලවන සැබෑ තර්ජනයක් මගින් ඒවා යුක්ති සහගත වී ඇති අතර, ඒවායේ කාර්යක්ෂමතාවය ඔප්පු කර ඇත. චීනයේ මහජන සහයෝගය ඇති එවැනි ක්‍රියාවන්, “පුද්ගලික නිදහස” පිලිගත නොහැකි ‌ලෙස උල්ලංඝනය කිරීමක් බව ප්‍රකාශ කිරීම, මිලියන ගනනකගේ මරනයට තුඩු දුන් සහ තවදුරටත් ගෙන යන ප්‍රතිපත්තියක් සඳහා නරුම, බොරු සාධාරනීකරනය කිරීමකි.

සියලුම අත්‍යවශ්‍ය නොවන සේවා ස්ථාන වසා දැමීම සහ මාස දෙකක කාලයක් සඳහා සියලුම පාසල් දුරස්ථ ඉගෙනීම වෙත මාරුවීම මගින් වෛරස් සම්ප්‍රේෂනය ඉක්මනින් පාලනය කල හැකි අතර කොවිඩ්-19 පූර්න පරිමානයෙන් තුරන් කිරීම සඳහා පදනම සැකසිය හැකි බව නවීන විද්‍යාව පෙන්වා දී ඇත. මෙම අත්‍යවශ්‍ය අගුලු දැමීම්, පීඩාවට පත් සියලුම කම්කරුවන් සහ කුඩා ව්‍යාපාරිකයින් සඳහා පූර්න මූල්‍ය හා සමාජ ආධාර සැපයීම සමඟ සිදු කල යුතුය.

මාස දෙකක අගුලු දැමීම්, ගෝලීයව සම්බන්ධීකරනය කරන ලද එන්නත් නිෂ්පාදනය සහ බෙදා හැරීම සහ සියලුම රටවලට උසස් තත්ත්වයේ මුහුනු ආවරන මෙන්ම මහා පරිමාන පරීක්ෂන භාවිතය, සම්බන්ධතා සොයා ගැනීම, ආසාදිත රෝගීන් ආරක්ෂිතව හුදකලා කිරීම සහ ප්‍රතිකාර කිරීම සහ සෞඛ්‍ය ආරක්ෂන යටිතල පහසුකම් නාටකාකාර ලෙස පුලුල් කිරීම සමඟ ඒකාබද්ධ කල යුතුය. සෑම අත්‍යවශ්‍ය සේවා ස්ථානයකදීම සහ රෝහලකදීම, සේවකයන්ට ඉහලම තත්ත්වයේ N95 හෝ වඩා හොඳ මුහුනු ආවරන මෙන්ම නවීන පෙරන සහ වාතාශ්‍රය පද්ධති සඳහා ප්‍රවේශය තිබිය යුතුය. සෑම රටකම වෛරසය තුරන් කිරීමට ඉඩ දීම සඳහා සියලුම අත්‍යවශ්‍ය නොවන දේශීය හා ජාත්‍යන්තර සංචාර වහාම නතර කල යුතුය.

බිලියන සංඛ්‍යාත ජනතාවකට දැන් අන්තර්ජාලයට ප්‍රවේශ වීමට හැකි වීමත් සමඟ, වසංගතයේ විද්‍යාව සමාජයට ඉගැන්වීම සඳහා මහජන අධ්‍යාපන ව්‍යාපාරයක් සඳහා කොන්දේසි පවතී. වෛරසය වාතයෙන් සම්ප්‍රේෂනය වන ආකාරය ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීම් දිනපතාම, විශේෂයෙන්ම, සමාජ මාධ්‍ය සහ රූපවාහිනියේ අධ්‍යාපනික වැඩසටහන් හරහා පුලුල් ලෙස ප්‍රචාරය කර ශක්තිමත් කල යුතුය.

තුරන් කිරීමේ මූලෝපායේ මාර්ගෝපදේශක මූලධර්මය නම් විද්‍යාව සහ මහජන සෞඛ්‍යය, මූල්‍ය වෙලඳපොලවල් සහ සංගතවල ලාභ අවශ්‍යතා මත කොන්දේසි විරහිතව ප්‍රමුඛත්වය ගත යුතු බවයි. 21 වන සියවසේ දී, වසංගතය ඉක්මනින් අවසන් කිරීමට තාක්ෂනය පවතී. නමුත් ලෝක ආන්ඩුවල ප්‍රතිචාරය, 14 වැනි සියවසේදී, වැඩවසම් සමාජය හරහා ‘කලු වසංගතය’ පැතිර ගොස් මිලියන 100 කට ආසන්න ජනතාවක් මරා දැමූ කාලය දක්වා ආපසු ගමන් කිරීමයි.

ලෝකය වසංගතයේ තුන්වන වසරට ඇතුලු වන විට, වසංගතය අවසන් කිරීම මූලික වශයෙන් වෛද්‍ය හෝ විද්‍යාත්මක ප්‍රශ්නයක් නොවන බව වෙන කවරදාටත් වඩා පැහැදිලිය. එය පන්ති ප්‍රශ්නයකි. පාලක ප්‍රභූව සඳහා වැදගත් වන එකම සංඛ්‍යාව දෛනික මරන සංඛ්‍යාව නොව වෝල් වීදියේ වෙලඳාම් කෙරෙන කොටස්වල මිලයි. දිග හැරෙන ව්‍යසනය මධ්‍යයේ පවා, ෆෙඩරල් සංචිතය මගින් නිමක් නැති මුදල් සපයන බවට සහ ආයතනික ලාභවලට බාධා පමුනුවන කිසිවක් සිදු නොකරන බවට බයිඩන් දුන් ප්‍රතිඥාවෙන් පන ගැන්වූ S&P කොටස් වෙලඳපොල දර්ශකය බ්‍රහස්පතින්දා වාර්තාගත ඉහල මට්ටමකට ලඟා විය.

පාලක පන්තියට, ඔවුන් පිලිගැනීමට කැමති මරන සංඛ්‍යාවේ සීමාවක් නැත. සීමාව පැමිනෙන්නේ ඉහලින් නොව පහලින් ය: එනම් කම්කරු පන්තියේ මහජන සමාජ හා දේශපාලන ව්‍යාපාරයක් හරහා ය.

කම්කරු පන්තිය දේවල් තම අතට ගත යුතුය. ධනේශ්වර පාලක ප්‍රභූන්ට ඔවුන්ගේ ජීවිත සම්බන්ධයෙන් කිසිදු වටිනාකමක් නොමැති බව පසුගිය දෙවසරේ උකහා ගත් අත්දැකීම් වලින් කම්කරුවන් අතර වැඩෙන අවබෝධයක් පවතී. 'ඔවුහු අප දෙස බලන්නේ ගොවිපලක සතුන් දෙස බලන ආකාරයටම' යැයි ඉන්දියානාහි එක් මෝටර් රථ සේවකයෙක් සඳහන් කලේය. 'අපි මැරෙන විට, ඔවුන් වෙනත් අයව කුලියට ගනීවි.'

සේවා ස්ථාන සහ පාසල් වෛරසය සම්ප්‍රේෂනය කිරීමේ මධ්‍යස්ථාන වන අතර, ආසාදන සහ මරන, සංගත සහ නිල වෘත්තීය සමිති විසින් වසන් කෙරෙමින් පවතී. “බොහෝ කම්කරුවන් රෝගීව නිවෙස් කරා යමින් සිටින අතර වැඩ මුර ආරම්භ කිරීමට ප්‍රමානවත් කම්කරුවන් නොමැත,” යැයි මිචිගන්හි තවත් මෝටර් රථ සේවකයෙක් ලෝසවෙඅ වෙත පැවසීය. 'කම්කරුවෙකුට කොවිඩ් වැලඳුනු විට අපට දැනුම් දීමට සමාගම සහ වෘත්තීය සමිති කිසිවක් කරන්නේ නැත. සිදු ව ඇත්තේ එකිනෙකා හා කතා කිරීම මගින් මේවා අපට ම අනාවරනය කර ගැනීමට ය.'

මිලියන ගනනකගේ මරනවලට වගකිව යුතු ප්‍රතිපත්ති සාධාරනීකරනය කිරීම සඳහා වසංගතය පුරා යොදවා ඇති වසන් කිරීම, මුසාකරනයන් සහ වැරදි තොරතුරු කුඩුකර දැමීම සඳහා ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් කොවිඩ්-19 වසංගතය පිලිබඳ ගෝලීය කම්කරු පරීක්‍ෂනය ස්ථාපිත කර ඇත. කොවිඩ්-19 සම්ප්‍රේෂනය සඳහා කේන්ද්‍රගත ප්‍රදේශ ලෙස ක්‍රියාත්මක වූ සහ දිගටම ක්‍රියාත්මක වන සේවා ස්ථානවල සහ පාසල්වල තත්ත්වයන් හෙලිදරව් කිරීම සඳහා පරීක්‍ෂනය සියලු අංශවල විද්‍යාඥයන් සහ සේවකයන්ගෙන් සාක්ෂි රැස්කරමින් සිටී.

වසංගතය පිලිබඳ අවබෝධයක්, වසංගතය නැවැත්වීමට ඵලදායී ලෙස සංවිධානයවීමකට සහ ක්‍රියාමාර්ගයකට තුඩු දෙනු ඇති බව අපට ඒත්තු ගොස් ඇත.

සමාජවාදී සමානතා පක්ෂය සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය, සේවා ස්ථාන, පාසල්, මහජන සෞඛ්‍ය ආයතන සහ අසල්වැසි ප්‍රදේශවල කම්කරු ආරක්ෂන කමිටු පිහිටුවීමට කැඳවුම් කරයි.

මෙම ප්‍රකාශය හැකිතාක් පුලුල් ලෙස අතින් සහ සමාජ මාධ්‍ය තුලින් බෙදා හරින්න. මාර්ගගතව සහ සේවා ස්ථානවල සාකච්ඡා සංවිධානය කරන්න. අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සහ පන්ති කාමර අධ්‍යාපනය තාවකාලික ව නවතා දැමීමට ඉල්ලා සිටින්න. වර්ධනය වන අන්තරාය සහ එය නැවැත්වීමට කල යුතු දේ පිලිබඳව ඔබේ සගයන්, මිතුරන් සහ පවුලේ අය දැනුවත් කිරීමට ඔබට හැකි සෑම දෙයක්ම කරන්න.

අපි විද්‍යාඥයින්ට සහ සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට විශේෂ ආයාචනයක් කරන්නෙමු: කතා කිරීමට ඔබට වගකීමක් ඇත. කරුනු ප්‍රසිද්ධ කරන්න, ජනතාව දැනුවත් කරන්න. වසන් කර සහ ප්‍රතික්ෂේප කර ඇති කොවිඩ්-19 විද්‍යාවේ විවිධ මූලිකාංග පිලිබඳ සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් ගෝලීය කම්කරු පරීක්‍ෂනයට සහාය වන්න. බොහෝ විද්‍යාඥයන් මෙම වසංගතය පුරා, තුරන් කිරීමේ උපාය මාර්ගයක් සඳහා සටන් කර ඇත. ප්‍රතිපත්තිවල හදිසි වෙනසක් සඳහා අවශ්‍යතාවය පිලිබඳව මහජනතාවට කතා කිරීමට සහ පැහැදිලි කිරීමට විද්‍යාඥයින්ගේ පුලුල් ස්ථරයන් බලමුලු ගැන්විය යුතුය.

මිලියන සංඛ්‍යාත ජනතාවක්, වසංගතය පිලිබඳ විද්‍යාත්මක අවබෝධයකින් සන්නද්ධ කරමින් ඒකාබද්ධව බලමුලු ගැන්වීමෙන් පමනක්, ලොව පුරා මිලියන ගනනකගේ අනවශ්‍ය ආසාදන, දුක් වේදනා සහ මරන වලක්වා ගැනීමට අපට හැකි වනු ඇත.

Loading