ශ්‍රී ලංකාව: කටුකැලේ වතු කම්කරුවන් වැටුප් හා කොන්දේසි මත කළමනාකාරීත්ව ප්‍රහාරයන්ට එරෙහිව සටන් කරයි

[මෙය Sri Lanka: Katukelle Estate workers fight management attacks on wages and conditions යන මැයෙන් 2021 නොවැම්බර් 27 වැනි දින පල වුනු ලිපියේ පරිවර්තනයයි.]

කටුකැලේ වතු කම්කරුවෝ 130ක් පමන සඳුදා තේ වත්තේ වැඩ කටයුතු ආරම්භ කිරීමට පෙර කටුක නව ඵලදායිතා ගිවිසුමක් අත්සන් කරන ලෙස කලමනාකාරිත්වයේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කලහ. සැප්තැම්බර් 29 සිට කම්කරුවන්/ අගුලු දමා ඇත.

කටුකැලේ වතු කම්කරුවෝ සැප්තැම්බර් 29දා පෙරැට්ටු මඩුව අසල විරෝධතාවයේ යෙදී සිටිති [ඡායාරූපය: ලෝක සමාජවාදී වෙබ් අඩවියේ මාධ්‍ය]

තලවාකැලේ වතුයායේ කොටසක් වන සහ මස්කෙලිය වැවිලි සමාගම විසින් කලමනාකරනය කරනු ලබන කටුකැලේ, කොලඹ සිට කිලෝමීටර් 130 ක් පමන දුරින් නුවරඑලිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.

වැඩ බර වැඩි කිරීමට විරෝධය පාමින් අගෝස්තු 18 සිට 24 දක්වා දින හයක වැඩ වර්ජනයකින් පසුව කලමනාකාරීත්වය කම්කරුවන්ට එරෙහි ප්‍රහාරයක් ක්‍රියාත්මක කරන ලදී. කලමනාකාරීත්වය ඉල්ලා සිටියේ තනි තනි තේ දලු නෙලීමේ ඉලක්ක දිනකට කිලෝ 16 සිට 20 දක්වා වැඩි කරන ලෙසත් පලිබෝධනාශක ඉසීමේ අනුපාත දෙගුන කරන ලෙසත්‍ ය.

අගෝස්තු වැඩවර්ජනයෙන් පසු කලමනාකාරීත්වයේ හිරිහැරවලට ප්‍රතිචාර වශයෙන් කටුකැලේ කම්කරුවෝ සැප්තැම්බර් 26දා යලිත් පිටව ගියහ. වර්ජනය බිඳ දැමීම සඳහා සමාගම බාහිර සේවකයන් යොදා ගැනීමට විරුද්ධ වූ කම්කරුවක වන පී. පොන්නිර්සෙල්වි, පාලනාධිකාරියේ පලිගැනීමට ලක් වීම නිසා සැප්තැම්බර් 29 වැනි දින ඔවුහු නැවතත් වැඩ වර්ජනය කලහ.

පොන්නිර්සෙල්වි දඩයම් කිරීමට එරෙහිව සටන් කිරීම සඳහා කම්කරුවෝ පෙරැට්ටු මඩුවෙන් පිටත උද්ඝෝෂනයක් පැවැත්වූහ. එහිදී ඇති වූ ගැටුමකින් පොන්නිර්සෙල්වි සහ එස්.ශ්‍රී දේවි ඇතුලු වතු නිලධාරීන් තිදෙනෙකු සහ කම්කරුවන් දෙදෙනෙකු තුවාල ලබා ඇත. කලමනාකාරීත්වය ප්‍රකෝපකාරීත්වය නිර්මානය කල බවට කම්කරුවෝ චෝදනා කලහ.

කලමනාකාරිත්වය පොලිසිය කැඳවූ අතර ශ්‍රීකාන්ත්, සිවඥානම්, සෂිරාහෝ, එම්. සිවනේෂ්වරන්, එම්. වජිදරන් බාලචන්ද්‍රන් සහ පී. විජයලක්ෂ්මි ඇතුලු කම්කරුවෝ 11 දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලදහ. පොන්නිර්සෙල්වි සහ ශ්‍රී දේවි අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන් එදිනම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

අත්අඩංගුවට ගත් සියලුම කම්කරුවන් ඔක්‌තෝම්බර් 7 වැනිදා තෙක්‌ රිමාන්ඩ් කරනු ලැබූ අතර, සෑම මසකම අවසන් ඉරිදා දිනයේදී පෞද්ගලිකව පොලිසියට වාර්තා කිරීම සහ විරෝධතාවයක නොයෙදීම ඇතුලු දැඩි ඇප කොන්දේසි නුවරඑලිය මහේස්ත්‍රාත්වරයා විසින් පනවා ඇත. කලමනාකරන නිලධාරීන් කිසිවකු අත්අඩංගුවට ගෙන නැත.

වින්දිත කටුකැලේ වතු කම්කරුවන් ඔක්තෝබර් 7 වැනි දින දැඩි ඇප කොන්දේසි මත මුදා හැර නිවෙස් බලා යමින් සිටියදී [ඡායාරූපය: ලෝක සමාජවාදී වෙබ් අඩවියේ මාධ්‍ය]

ඉන්පසුව කටුකැලේ කලමනාකාරීත්වය එහි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග වේගවත් කරමින් අවධාරනය කලේ, මර්දනකාරී වැඩ ගිවිසුමක් අත්සන් කරන තුරු වතු කම්කරුවන් සේවයේ යොදවා නොගන්නා බවයි.

එනම්:

* කලමනාකරන නිලධාරීන්ට ශාරීරික ප්‍රහාර වැනි “නීති විරෝධී” ක්‍රියාවකට සම්බන්ධ නොවීමට කම්කරුවන් සහ වෘත්තීය සමිති නායකයින් එකඟ විය යුතුය. සැප්තැම්බර් 29 ගැටුමට සම්බන්ධ නිලධාරීන්ගේ අධීක්ෂනය යටතේ කටයුතු කිරීමට ද ඔවුන් එකඟ විය යුතුය.

* ක්ෂේත්‍ර වැඩ සඳහා බාහිර කම්කරුවන් බඳවා ගැනීමට කටුකැලේ සේවකයන් එකඟ විය යුතුය. වෙනත් වචන වලින් කිවහොත්, ඔවුන් වැඩ වර්ජන කඩන බාහිර කම්කරුවන් යොදාගැනීම පිලිගත යුතුය.

* රුපියල් 1,000 දෛනික වැටුප ලබා ගැනීමට සේවකයින් නව වැඩි කරන ලද ඵලදායිතා ඉලක්ක පිලිගත යුතුය. ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වූවන්ට ඔවුන්ගේ නිෂ්පාදන හා වැඩ කරන කාලය අනුව ගෙවනු ලැබේ.

වැඩ ආරම්භ කිරීමට පෙර සාමාන්‍යයෙන් මෙන් උදෑසන පෙරැට්ටු මඩුව අසලට රැස්විය නොහැකි බවත් කම්කරුවන්ට දන්වා ඇති අතර, ඔවුන්ගේ වැටුප් වතු කාර්යාලයෙන් හෝ ඔවුන්ගේ බැංකු ගිනුම් හරහා ලබා ගන්නා ලෙස ඔවුන්ට දැනුම් දෙන ලදී.

නොවැම්බර් 17 වෙනිදා සමාගමේ නිලධාරීන් ප්‍රාදේශීය වෘත්තීය සමිති නායකයන් සමඟ සාකච්ඡාවක් සංවිධානය කලහ. මෙම රැස්වීමට තලවාකැලේ පොලිස් ස්ථානාධිපතිට ද ආරාධනා කර තිබුනි. චෝදනා ලැබූ කම්කරුවන් 11 දෙනා හැර අනෙකුත් සියලුම සේවකයින්ට නැවත සේවයට යාමට අවසර දීමට කලමනාකාරිත්වය එකඟ වූ බව වාර්තා වේ. නමුත් නොවැම්බර් 22 දා නව ගිවිසුමට අත්සන් නොකලහොත් කිසිවෙකුට නැවත වැඩ ආරම්භ කල නොහැකි බව කලමනාකරුවෝ අවධාරනය කලහ. කම්කරුවෝ ක්ෂනික ව ම සමාගමේ අවසාන නිවේදනය ප්‍රතික්ෂේප කලහ.

කටුකැලේ කලමනාකාරීත්වයට මෙම ප්‍රහාර මුදා හැරීමට හැකි වන්නේ එයට ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී), කම්කරු ජාතික සංගමය (එන්යූඩබ්ලිව්) සහ ලංකා ජාතික වතු කම්කරු සංගමය (එල්ජේඊඩබ්ලිව්යූ) යන වතු වෘත්තීය සමිතිවල පුර්න පිටුබලය ලැබෙන බැවිනි.

සීඩබ්ලිව්සී රාජපක්ෂ ආන්ඩුවේ කොටසක් වන අතර එහි නායක ජීවන් තොන්ඩමන් ශ්‍රී ලංකාවේ වතු යටිතල පහසුකම් කටයුතු පිලිබඳ රාජ්‍ය ඇමති ය. එන්යූඩබ්ලිව් සහ එල්ජේඊඩබ්ලිව්යූ විපක්ෂයේ සමගි ජන බලවේගය සමඟ සන්ධානගතව සිටින අතර එහි නායකයින් පසුගිය පාලන සමයේ ඇමතිවරු වූහ. මෙම වෘත්තීය සමිති කිසිවක් කටුකැලේ කම්කරුවන් ආරක්ෂා කර නැති නමුත් හිතාමතාම සහ ක්‍රමානුකූලව ඔවුන් හුදකලා කර ඇත.

ඊට වෙනස්ව, වතුයායේ තවත් කොට්ඨාශ දෙකක කම්කරුවෝ වෘත්තීය සමිතිවලින් ස්වාධීනව, සැප්තැම්බර් 29 පාගමනට සම්බන්ධ වෙමින් කටුකැලේ සිය සගයන්ට සහාය දැක්වීමට තීරනය කලහ.

ප්‍රාදේශීය වතු කම්කරුවන්ගේ නැඟී එන කෝපය විසුරුවා හැරීමට උත්සාහ කිරීම සඳහා ඔක්තෝබර් මස මුලදී වෘත්තීය සමිති ආන්ඩුවේ සහකාර කම්කරු කොමසාරිස් සහ කටුකැලේ කලමනාකාරීත්වය සමග හැටන්හිදී සාකච්ඡාවක් සංවිධානය කලහ. කටුකැලේ කලමනාකරු කම්කරුවන්ගේ ඉල්ලීම් කිසිවක් සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කර රැස්වීමෙන් පිටව ගියේය.

ජ්‍යෙෂ්ඨ වතු කලමනාකරුවන් නියෝජනය කරන වැවිලිකරුවන්ගේ සංගමය, “ප්‍රචන්ඩත්වය” වැඩි වී ඇති බවට කම්කරුවන්ට චෝදනා කරමින්, “මෙම ප්‍රහාරවල අපරාධකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, මෙවැනි සිදුවීම් නැවත සිදු නොවීමට වගබලා ගන්නා ලෙසත්” ඉල්ලා සිටිමින්, රජයේ බලධාරීන්ට ලිපියක් යවා ඇත.

වතු නිලධාරීන් ද නියෝජනය කරන වැවිලිකරුවන්ගේ සංගමය, “කම්කරුවන්ගේ තර්ජන වැලැක්වීම සඳහා වත්ත තුල රාත්‍රී හමුදා මුර සංචාර තීව්‍ර කරන ලෙස” ආන්ඩුවෙන් ඉල්ලා ඇති බව සන්ඩේ ටයිම්ස් ඔක්තෝබර් 3 වැනි දා වාර්තා කලේය.

වතු සමාගම් සහ ඒවායේ කලමනාකරුවන් රාජ්‍ය මර්දනය සඳහා විවෘතව කැඳවීම කටුකැලේ වතු සේවකයන්ට පමනක් නොව සියලුම වතු කම්කරුවන්ට අනතුරු ඇඟවීමකි. අනුකම්පා විරහිත ඵලදායිතා ඉලක්ක සහ රැකියා, වැටුප් හා ජීවන කොන්දේසි මත තීව‍්‍රවන ප‍්‍රහාර, ගෝලීය වසංගතය මගින් වඩාත් නරක අතට හැරුනු ආර්ථික අර්බුදයේ සම්පූර්න බර කම්කරු පන්තිය මත පැටවීමේ උත්සාහයකි.

තේ වතු කර්මාන්තයේ ප්‍රධානීන් සහ ඔවුන්ගේ කලමනාකරුවන් දිගු කලක් තිස්සේ “ආදායම් බෙදා ගැනීමේ යෝජනා ක්‍රමයක්” අනුගමනය කරන ලෙස ඉල්ලා සිටි අතර, එහි කම්කරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට තේ පඳුරු 1,000 ක් පමන වගා කිරීමට, නඩත්තු කිරීමට සහ අස්වැන්න සඳහා වෙන් කරන අතර, සමාගම් පොහොර සහ මූලික උපකරන වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයන සමාගම් සමඟ, සමාගම් අස්වැන්න ලබා ගන්නා අතර, ඔවුන්ගේ 'වියදම්' සහ ලාභය අඩු කිරීමෙන් පසු ඉතිරිය සේවකයාට ලබා දෙනු ඇත. මෙම සමාජීය වශයෙන් ප්‍රතිගාමී අඳ ගොවි ක්‍රමයට කම්කරුවන් අතිමහත් ලෙස විරුද්ධ වී ඇත.

කටුකැලේ වතු කම්කරුවන්ට එරෙහිව සිදුවෙමින් පවතින ප්‍රහාර, රුපියල් 1,000ක දෛනික වැටුපක් ඉල්ලා වැඩවර්ජන කල ඕල්ටන් වතු කම්කරුවන්ට එරෙහිව මේ වසර මුලදී ගත් මර්දනකාරී ක්‍රියාමාර්ගවලට සමානය. ඕල්ටන් කම්කරුවන් කලමනාකාරීත්වයේ ප්‍රකෝප කිරීම් මාලාවකට යටත් විය. සීඩබ්ලිව්සී ඇතුලු වෘත්තීය සමිතිවල සහාය ඇතිව, පොලිසිය සමග වැඩ කරන සමාගම, ප්‍රචන්ඩකාරී ව හැසිරුනේ ය යන ව්‍යාජ චෝදනා මත කම්කරුවන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන පසුව කම්කරුවන් 38 දෙනෙකු දක්වා දඩයම දික් කර ඔවුන් සේවයෙන් පහ කර ඇත. මෙම දඩයම් කිරීමට එරෙහිව උද්ඝෝෂනය කල එකම සංවිධානය සමාජවාදී සමානතා පක්ෂයයි.

ඩීසයිඩ් වතු කම්කරුවන් සැප්තැම්බර් 28 වැනි දින වැඩ වැඩිවීමට එරෙහිව විරෝධතාවයක (ඡායාරූපය: කේ. කිෂාන්තන්)

කටුකැලේ වතු කම්කරුවන්ගේ අධිෂ්ඨානශීලී ක්‍රියාව, සමාගම් හා පොලිස් ප්‍රහාරවලට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කල අනෙකුත් වතු කම්කරුවන්ගෙ මෑත කාලීන වැඩවර්ජන වලින් පිලිබිඹු වේ.

නොවැම්බර් 22 දා, හැටන් ඉහල කොට්ඨාශයේ වැලිඔය වත්තේ කම්කරුවන් 200 ක් පමන වැඩ නවත්වා පිටවී, වැඩි වැඩ ප්‍රමානය අවසන් කරන ලෙසත්, ජුනි මාසයේ පැවති උද්ඝෝෂනයකින් පසුව කලමනාකාරීත්වය විසින් ඉලක්ක කර ගත් කම්කරුවන් පස් දෙනෙකු නැවත සේවයේ පිහිටුවන ලෙසත් ඉල්ලන ලදී. වතුයායට ආසාදන ඇති වූ විට, කොවිඩ්-19 වසංගත සහන ඉල්ලා විරෝධතා දැක්වීමෙන් පසුව මෙම සේවකයින් අත්අඩංගුවට ගෙන ඇත.

නොවැම්බර් 19දා, මස්කෙලියේ අප්-කොට්හි ග්ලෙනුයිජ් වතුයායේ ඩීසයිඩ් අංශයේ කම්කරුවන් 300කට වැඩි පිරිසක් වැඩ වැඩිකිරීමට සහ වැටුප් කප්පාදුවලට විරෝධය පලකරමින් මාස දෙකකින්, දෙවන වතාවටත් තුන්දින වැඩවර්ජනයක් පැවැත්වීය.

මෙම වැඩ වර්ජන, මෙම මස මුලදී ඉහල වැටුප් සහ වැඩිදියුනු කොන්දේසි සඳහා ගුරුවරුන්ගේ දින 100කට වැඩි වැඩ වර්ජන ක්‍රියාමාර්ගය, සංවර්ධන නිලධාරීන් 100,000කගේ පෙලපාලි දස දහස් ගනනක් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කම්කරුවන්ගේ වැඩ වර්ජන ඇතුලුව, ශ්‍රී ලංකාව පුරා කම්කරු අරගල රැල්ලක කොටසකි.

කටුකැලේ වතු කම්කරුවන් නොවැම්බර් 16 වෙනිදා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට ඔවුන්ගේ දුක්ගැනවිලි පැහැදිලි කිරීමට රැස්වේ [ඡායාරූපය: ලෝක සමාජවාදී වෙබ් අඩවියේ මාධ්‍ය]

ග්ලෙනුයිජ්, ඇබොට්ස්ලි සහ ඕල්ටන් වතුවල වතු කම්කරුවන් මෑතකදී වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු පිහිටුවා ඇත. නොවැම්බර් 16දා සසප දේශපාලන කමිටු සභික එම්.තේවරාජා කටුකැලේ වතු කම්කරුවන්ගේ රැස්වීමක් අමතමින්, වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු ගොඩ නැගිය යුතු බව පැහැදිලි කලේය. සමාජවාදී වැඩපිලිවෙලේ පදනම මත වැටුප් හා කොන්දේසි මත හාම්පුතුන්ගේ ප්‍රහාර පරාජය කිරීමට ඒකාබද්ධ අරගලයක් වර්ධනය කිරීම සඳහා කම්කරු පන්තියේ අනෙකුත් කොටස් වෙත හැරීම අවශ්‍ය බව ඔහු පැවසීය.

Loading