උතුරු පලාත් සෞඛ්‍ය කම්කරුවෝ එක් දින වැඩවර්ජනයක නිරත වෙති

දෙසැම්බර් 30 වැනි දා, උතුරු පලාතේ සෞඛ්‍ය සේවකයෝ ඉල්ලීම් ගනනාවක් මුල් කර ගනිමින් එක දින වැඩ වර්ජනයක සහ උතුරු පලාතේ ප්‍රධාන නගරය වන යාපනයේ පිකට් උද්ඝෝෂනයක නිරත වූහ. මෙම විරෝධතාවලට සහභාගී වීමට 500ක් පමන කම්කරුවෝ යාපනය නගරයට රැස්ව සිටියහ.

උතුරු පලාත් සෞඛ්‍ය සේවකයන් යාපනය නගරයේ පැවැත් වූ විරෝධතා පෙලපාලිය 2021 දෙසැම්බර් 30 [ලෝසවෙඅ මාධ්‍ය]

විරෝධතාකරුවන් ‘රනුක්ගේ වැටුප් කමිටු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කර වැටුප් විෂමතා විසඳනු, අතිකාල රේට්ටු වැඩි කරනු, පාරිභෝගික භාන්ඩ සහ ඖෂධවල මිල අඩු කරනු, උසස්වීම් විෂමතා අහෝසි කරනු, පාසල් ශිෂ්‍යයන්ට නොමිලයේ මුව ආවරන සම්පාදනය කරනු යන ඉල්ලීම් ඉදිරිපත් කර තිබුනි.

කම්කරු පන්තිය බෙදීම ඉලක්ක කර දියත් කෙරුනු කුරිරු වර්ගවාදී යුද්ධයෙන් විනාසයට ලක් වූ උතුරු පලාතේ වවුනියාව, මන්නාරම සහ මුලතීවු වැනි පිට දිස්ත්‍රික්කවල සිට යාපනයට පැමිනි සෞඛ්‍ය කම්කරුවෝ යාපනය ශික්ෂන රෝහල ඉදිරිපිට රැස්වූහ. පසු ව, එහි සිට නගරයේ ප්‍රධාන වීදිවල පෙලපාලියකින් ගිය ඔවුහු යාපනය ප්‍රධාන බස් නැවතුම ඉදිරිපිට විරෝධතාවක් පැවැත් වූහ. ප්‍රදේශයේ සේවයේ යෙදී සිටින සිංහල දෙමල කම්කරුවෝ පන්ති සහෝදරත්වයෙන් මෙම අරගලය සහභාගී වී සැබෑ පන්ති එකමුතුව විදහා පෑහ.

උතුරු පලාත් සෞඛ්‍ය සේවකයන් යාපනය නගරයේ පැවැත් වූ විරෝධතා පෙලපාලිය 2021 දෙසැම්බර් 30 [ලෝසවෙඅ මාධ්‍ය]

උතුරු පලාතේ පැවති මෙම විරෝධතාව, සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව විසින් කැඳවා තිබුනි. පලමුව, සේවකයන්ගේ ලෙඩ නිවාඩු වැය කරවමින් ජාතික පරිමානව වැඩවර්ජන සංවිධානය කල සමිති නායකයන් පසුව ප්‍රදේශයෙන් ප්‍රදේශයට, කඩින් කඩ වර්ජන විරෝධතා සංවිධානය කරයි. පලාත්බද වර්ජන මාලාවකට අනතුරු ව කොලඹ දී දැවැන්ත විරෝධතාවක් පැවැත්වීම සම්මේලනයේ අරමුනයි.

වෘත්තීය සමිති මෙම ක්‍රියාවන් සංවිධානය කරන්නේ පලල් විරෝධතාවලින් ආන්ඩුව නම්මා ගෙන ඉල්ලීම් දිනාගත හැකිය යන මිථ්‍යාවක් සාමාජිකයන් අතර පතුරුවමිනි. අඩුම තරමින් පසුගිය අවුරුද්ද තුල සෞඛ්‍ය සේවකයන් මෙබඳු විරෝධතා ක්‍රියා තිහක වත් යෙදී ඇත. යතා වශයෙන් නම්, ඔවුන් කරන්නේ කම්කරුවන් තම අයිතීන් දිනාගැනීමට දක්වන සටන්කාමිත්වය යටපත් කොට මැඩලා දමා ආන්ඩුවේ හා පාලක පන්තියේ ප්‍රහාරවලට කල් ලබා දීමයි.

සෞඛ්‍ය සේවකයන් සහ ලංකාවේ අනෙකුත් කම්කරුවෝ එක හා සමාන ප්‍රශ්නවලට මුහුන දෙති. ඔවුන් ඒකාබද්ධ අරගලයකට මෙහෙයවීම වලක්වා ගෙන සිටින්නේ වෘත්තීය සමිති විසිනි. එවන් අරගලයක් ආන්ඩුවට හා ධනපති පන්තියට එරෙහි දේශපාලන අරගලයක අභියෝගය මතුකරන බව ධනපති ක්‍රමයට හා රාජ්‍යයට ගැට ගැසී තිබෙන සමිති හා ඒවායේ නිලධරයා දනී.

සමිතිවල මේ කල්මැරීම තුල ආන්ඩුව පන්ති අරගලයට එරෙහි සංවිධිත ප්‍රහාරයකට සූදානම් වෙමින් සිටියි. දැනටමත් රාජ්‍ය සේවකයන්ගේ කට බැඳීමට සමාජ මාධ්‍ය වාරන දැමීම හා සූදානමේ තබා සිටින අත්‍යවශ්‍ය සේවා නියෝග මෙම සුදානමේ කොටසකි.

ශ්‍රී ලංකාවේ කම්කරුවන් සහ පීඩිත මහජනතාව මුහුන දෙන සමාජ ප්‍රශ්න, ජාත්‍යන්තර පරිමාන ව කම්කරු-පීඩිත මහජනතාව මුහුන දෙන ප්‍රශ්නවල ම කොටසකි. ශ්‍රී ලංකාවේ ද ප්‍රකාශයට පත්වී ඇත්තේ, 2019 දී හටගත් කොරෝනා ගෝලීය වසංගතය නිසා ගැඹුරුවී ඇති ආර්ථික අර්බුදයමයි. එම අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීමට පාලක පන්ති කප්පාදු වැඩපිලිවෙලවල් උග්‍ර කොට ඇත. කොරෝනා වසංගතයේ අවදානම වැඩි වන තත්ත්වයක දී පවා, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කල ඊලඟ වසර සඳහා වන අයවැයේ සෞඛ්‍ය අංශයේ ප්‍රතිපාදන රුපියල් බිලියන 6කින් කපා දමා ඇත.

වෘත්තීය සමිතිවලට විරෝධතාවන් කැඳවීමට සිදු කෙරී ඇත්තේ ඉහල යන ජීවන වියදම් සහ වසංගතය විසින් සෞඛ්‍ය කම්කරුවන්ගේ වැඩ කොන්දේසි තව තවත් පිරිහෙලා ඇති තත්ත්වයක දී ය.

නමුත් ආන්ඩුවේ පිලිවෙත්වලට මොන යම් ම හෝ අභියෝගයක් කම්කරුපන්තියෙන් එල්ල වීම වැලැක්වීමට වෘත්තීය සමිති නායකයෝ ඉල්ලීම් නොදීම, නිලධරයෙකුගේ හෝ අමතියෙකුගේ වරදක් හෝ දඩබ්බර ක්‍රියාවක් නිසා සිදුවන්නක් බව පෙන්වීමට තැත් කරති. අනෙකුත් සමිති ගෙන යන්නේ ද මෙම පිලිවෙතමයි.

යාපනය ලංගම බස් නැවතුම ඉදිරිපිට රැස් වූ සෞඛ්‍ය සේවකයන් අමතා කතා කල රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ලේකම් සමන් රත්නප්‍රිය ප්‍රකාශ කලේ ඉල්ලීම් විසඳීමට අදාල චක්‍රලේඛ සෞඛ්‍ය ලේකම් නිකුත් නොකල බවයි. 'ඔහු මේක හමුදාව කියලා හිතන් ඉන්නවා' යි රත්නප්‍රිය සෞඛ්‍ය ලේකම්ට චෝදනා කොට 'මේ අරගලය ගෙනයනවා' යයි ප්‍රකාශ කලේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය ලේකම් ලෙස හමුදා මේජර් ජෙනරාල්වරයෙකු වන සංජීව මුනසිංහ පත්කර ඇත. එය සිය පාලනය මිලිටරීකරනය කරමින් ගෙන යන වැඩපිලිවෙලක කොටසකි. සෞඛ්‍ය ලේකම් ගෙන යන්නේ ආන්ඩුවේ වැඩපිලිවෙලයි.

මෙම වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රමුඛ නායකයන් ලෙස ක්‍රියා කරන්නේ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ලේකම් සමන් රත්නප්‍රිය සහ වෛද්‍ය රසායන සංගමයේ රවී කුමුදේශ් වැනි වෘත්තීය සමිති නිලධාරීන් විසිනි. පසුගිය සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව සමයේ පන්ති අරගලවල හොරිකඩකම් කිරීමේ වාර්තාවක් ඇති මෙම සමිති නායකයන්ට එක්සත් ජාතික පක්ෂය හෝ සමගි ජන බලවේගය හෝ සමග සමීප දේශපාලන සම්බන්ධකම් ඇත. රත්නප්‍රිය 2020 පෙබරවාරියේ දී එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කෙරුනු ලැබුනි.

දැන් හෙද සේවය ඇතුලු සෞඛ්‍ය කම්කරුවන් මුහුන දෙන ගැටලු එකවර නිර්මානය වූ ඒවා නොවේ. රත්නප්‍රියමත් ඇතුලු වෘත්තීය සමිතිවල පාවාදීම්වල ආධාරයෙන් දශක ගනනාවක් තිස්සේ දියත් කෙරුනු සමාජ ප්‍රතිවිප්ලවීය පියවරයන් ගෝලීය වසංගතය නිසා ගැඹුරුවී ඇති අර්බුදය මධ්‍යයේ උග්‍ර කෙරී පවතී.

මෙම විරෝධතා පෙලපාලිවලට මැදිහත් වෙමින් සසප සාමාජිකයෝ, “සෞඛ්‍ය සේවකයන් ස්වාධීන ක්‍රියාකාරී කමිටු තනමින් තම ඉල්ලීම් දිනා ගැනීමේ සටන සියතට ගත යුත්තේ ඇයි?” යන මැයෙන් සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව ලෝසවෙඅ හරහා පල කල ප්‍රකාශය කම්කරුවන් අතර බෙදා හරිමින් ඔවුන් සමග සාකච්ඡාවන් වර්ධනය කිරීමට කටයුතු කලහ.

සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටු වෘත්තීය සමිති නිලධරය ආන්ඩුව සමග පවත්වන රහස් සාකච්ඡාවලට එරෙහි ව අරගලය සම්බන්ධ තීරන සාමාන්‍ය කම්කරුවන් සාකච්ඡා මාර්ගයෙන් ගත යුතු බවත් සෞඛ්‍ය අංශයේ කම්කරුවන් මෙන් ම ශ්‍රී ලංකාවේත් ජාත්‍යන්තර ව මත් තම ජීවන සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කර ගැනීමට අරගලවල යෙදී සිටින සෙසු කම්කරුවන් හා අරගලය ධනවාදයට එරෙහි සමාජවාදී පදනමක ඒකාබද්ධ කල යුතු බවත් කියා සිටී.

ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවන් විරෝධතාවයට සම්බන්ධ වූ කම්කරුවන් සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවලින් එලිදරවු වූ කරුනු මෙම වෘත්තීය සමිති නායකයන්ට එරෙහි චෝදනා පත්‍රයක් විය.

වවුනියා දිස්ත්‍රික් රෝහලේ රසායනාගාර සේවකයෙක් ලංකාවේ ආන්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති හේතු කොට ගෙන අද රට පාතාලයට යමින් තිබෙන බව සඳහන් කලේ ය.

“කොරෝනා වෛරස් වසංගතය මධ්‍යයේත් අපගේ කම්කරුවන්ට හරිහමන් ආරක්ෂන උපකරන නොමැති ව වැඩ කිරීමට සිදු ව තිබෙනවා. අපේ රෝහලේ ඖෂධ සහ ඇතැම් අංශවල වෛද්‍යවරු හිඟයක් පවතිනවා. අපි සටන් කරන්නේ අපේ වැටුප වෙනුවෙන් විතරක් නෙමෙයි. සෞඛ්‍ය අංශයේ පවතින සියලු ම අඩුපාඩුකම් සපුරාලිය යුතු යැයි අපි ඉල්ලා සිටිනවා' යැයි ඔහු ප්‍රකාශ කලේ ය.

තමන්ගේ ජීවන කොන්ද්සි උදෙසා සටන් වදින සෙසු කම්කරුවන් සමග ඒකාබද්ධ කෙරනු අරගලයක් උදෙසා සංවිධානයක් තමන් අතර නැති බව ඔහු පවසා සිටියේ ය. 'වෘත්තීය සමිති එය සිදු කල යුතු නමුත් ඔවුන් එය කරන්නේ නෑ.' යැයි ප්‍රකාශ කලේ ය.

පේදුරුතුඩුවේ සිට පැමිනි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු පහත දැක්වෙන ප්‍රකාශය කලේ ය. 'අද දින කොරෝනා වෛරස් වසංගතය අඩු යැයි පෙන්නුම් කෙරුනත් සියලු දෙනාට කිසිදු සෞඛ්‍ය ආරක්ෂාවක් නොමැති ව වැඩ කිරීමට සිදු ව තිබෙනවා. පෙර පරිදි දැන් පීසීආර් පරීක්ෂන සිදු කෙරෙන්නේ නෑ. ඒ සඳහා අවශ්‍ය කෙරෙන උපකරන පවා ඇත්තේ නෑ” යැයි පැවසී ය.

වෘත්තීය සමිති ගැන ඔහු මෙසේ පැවසුවේ ය: “වෘත්තීය සමිති අරගලය මෙතැන කරල යන්න යනවා. ඉල්ලීම් දිනා ගන්න වැඩ කරන්නේ නෑ. අවසානයේ කිසිවක් සිදු වන්නේ නෑ.”

යාපනය ශික්ෂන රෝහලේ රාජකාරි කරන හෙද සේවකයෙක් මෙසේ පැවසී ය: “අපි දැන් වැඩ කරන්නේ අනතුරු සහගත තත්ත්වයක. කොරෝනාවලින් ආරක්ෂා වීමට කිසිදු දෙයක් නෑ. දැන් මෙය නොසලකන තත්ත්වයකටයි වැඩකටයුතු සිදු වන්නේ. ආරම්භයේ දී දැඩි ආරක්ෂක පියවර කොරෝනා වාට්ටු සඳහා යොදවා තිබුනා. දැන් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ සාමාන්‍ය රෝගීන් සඳහා වන වාට්ටු යාබද ව කිසිදු විශේෂ ආරක්ෂක පියවර නොමැතිවයි. කොරෝනා රෝගය සමාන්‍ය උන හෙම්බිරිස්සාවක් වශයෙන් සලකන්නට පටන් ගැනීම අනතුරුදායක තත්ත්වයක්”

ඔහු යාපනය ශික්ෂන රෝහල ගැන සඳහන් කරමින් මෙසේ පැවසී ය: “අපේ රෝහලේ ඇඳන් හිඟයක් පවතිනවා. ඇතැම් අංශවල වෛද්‍යවරු හිඟයක් ද පවතිනවා. ඒ සමග ම ඖෂධ හිඟයක් පවතිනවා. එම නිසා එම ඖෂධ පිටින් මිල දී ගැනීමට තුන්ඩු ලියා දීමට සිදු ව තිබෙනවා. ප්‍රතිජීවක ඖෂධවල දැඩි හිඟයක් පවතිනවා”

ඔහු වැඩි දුරටත් මෙසේ පැවසී ය: “වැඩිවන ජීවන වියදමට සරිලන වැටුපක් ආන්ඩුව ලබා දෙන්නේ නෑ. ලැබෙන වැටුප වියදම් පිරිමහන්න ප්‍රමානවත් නෑ. පීඩිත දුගී ජනතාව විශාල පීඩාවකට මුහුන දී සිටිනවා”

වැඩෙන පන්ති අරගල රැල්ල වාර්ගික රේඛාවන් ඔස්සේ අපසරනය කිරීමට සිංහල ස්වෝත්තමවාදය කර පින්නා ගත් රාජපක්ෂ ආන්ඩුව අනෙක් අතින් කම්කරු පන්තියට එරෙහිව මර්දන යන්ත්‍රය ශක්තිමත් කරයි.

ඊට අනුපූරකව, දෙමල ජාතිකවාදී දේශපාලනය කර පින්නා ගත් දෙමල ජාතික සන්ධානය, දෙමල ජාතික මහජන පෙරමුන සහ දෙමල මහජන සභාව වැනි පක්ෂවල ජාතිකවාදී දේශපාලනය තොරොම්බල් කරන්නේ දෙමල කම්කරුවන් සිය පන්ති සගයන්ගෙන් වෙන් කිරීමටයි. මෙම පක්ෂ, දකුනේ ක්‍රියාත්මක පක්ෂ මෙන්ම කම්කරුවන්ගේ එක්සත් අරගලයක් වර්ධනය වීම ගැන භීතියට පත්ව සිටිති.

Loading