ජනාධිපති රාජපක්ෂ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් කොවිඩ්-19 ට දොස් පවරයි

[මෙහි පලවන්නේ, 2022 ජනවාරි 4 දින Sri Lankan president blames COVID-19 for economic crisis යන මාතෘකාවෙන් පලවූ ලිපියේ පරිවර්තනයයි. ]

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, පසුගිය සතියේ, තෝරාගත් මාධ්‍යවල කතෲවරුන්ගේ රැස්වීමකට කතා කරමින්, ඉදිරි වසර තුන තුල තමාගේ ආන්ඩුව තම “සෞභාග්‍යයේ දැක්ම” සාක්ෂාත් කර ගනු ඇති බව ප්‍රකාශ කලේය.

2019 නොවැම්බර් මැතිවරනයේදී දුන් ඔහුගේ ව්‍යාජ පොරොන්දු සාක්ෂාත් කර ගැනීමට ඔහුගේ ආන්ඩුව අපොහොසත්වීම සම්බන්ධයෙන් ඔහු දොස් පැවරුවේ “වසංගත ප්‍රේරිත පසුබෑම්” වලටය.

තෝරාගත් මාධ්‍ය ආයතනවල කතෲවරුන්ගේ රැස්වීමකට රාජපක්ෂ කතා කලේ, ඉහල යන මිල සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟය පිලිබඳව කම්කරුවන් හා දුප්පතුන් අතර නැගෙන කෝපය වෙනතකට හරවා යැවීම සඳහා සහ තවත් කප්පාදු පියවරයන්ට පසුබිම සකස් කිරීම සඳහා ඔවුන්ගේ සහය ලබා ගැනීමේ උත්සාහයක් ලෙස ය.

2022 ජනවාරි 4 වන දින, කොලඹ තදාසන්න ප්‍රදේශයක් වන මහබාගේ ප්‍රදේශයේ, ගෑස් සිලින්ඩර් මිලදී ගැනීමට උදෑසන සිටම බලා සිටින ජනතාව (ඡායාරූපය: ලෝසවෙඅ මාධ්‍ය)

සතියකට පෙර ජනාධිපතිවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ සේවයෙන් පහ කලේ, “අප මුහුන දී සිටින වත්මන් ආර්ථික හා සමාජීය ප්‍රශ්න හේතුවෙන් ආහාර හිඟයක් ඇති වීමට ඉඩ තිබේ” යයි ඔහු කල අනතුරු ඇඟවීම නිසා ය.

දෙසැම්බරයේ දී, ආහාර උද්ධමනය සියයට 22 දක්වා වැඩි වීමත් සමඟ නිල වාර්ෂික උද්ධමන රේට්ටුව සියයට 12 දක්වා ඉහල ගියේය. ආන්ඩුව ඔක්තෝබර් මාසයේදී මිල පාලනය සියල්ලම පාහේ ඉවත් කර විශාල ව්‍යාපාරිකයින්ට මිල වැඩි කිරීමට නිදහස ලබා දුන්නේය. දැන් එය, ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා දැඩි උත්සාහයක් දරයි.

කිරිපිටි, සීනි, පිසින ගෑස්, භූමිතෙල්, ඖෂධ හිඟයට මහජනතාව මුහුන දී සිටිති. දිවයිනේ සෑම ප්‍රදේශයකම දිගු පෝලිම් සෑදී තිබේ. වැඩි වැටුප් සඳහා වන ඉල්ලීම් මත පසුගිය වසර පුරා පෞද්ගලික හා රාජ්‍ය අංශයේ කම්කරුවන්ගේ වැඩ වර්ජන සහ විරෝධතා රැල්ලක් පුපුරා ගියේය. රජය විසින් පොහොර ආනයනය තහනම් කිරීම හේතුවෙන් කෘෂිකර්මාන්තයට සිදු වූ හානි සඳහා වන්දි ලබා දෙන ලෙස ඉල්ලා ගොවීන් ගෙනයන උද්ඝෝෂන මේ වසරේත් ඉදිරියට ඇදී යයි.

කෙසේ වෙතත්, කතෲවරුන් සමඟ ඔහුගේ රැස්වීමේදී, මහජනතාවගේ නොඉවසිය හැකි කොන්දේසි ගැන රාජපක්ෂ වචනයකුදු කීවේ නැත. වැඩකරන ජනතාව මුහුන දෙන දරුනු තත්වය පිලිබඳව අභියෝග කිරීම තබා, යටහත් සංස්ථාපිත මාධ්‍යයේ කිසිඳු කතුවරයෙකු ඔහුගෙන් ප්‍රශ්න කලේ හෝ නැත.

කොරෝනා වෛරසය පාලනය කර ඇති බව අඟවමින්—එන්නත් කිරීමේ ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමේදී සහ “නරකම ව්‍යසනය වැලැක්වීමේදී” තම ආන්ඩුව “සාර්ථක” වූ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කලේය. කෙසේ වෙතත්, අවතක්සේරු කල සහ විශ්වාස කල නොහැකි නිල සංඛ්‍යාලේඛනවලට අනුව, ඉරිදා, මුලු ආසාදන සංඛ්‍යාව 600,000 දක්වා ලඟා වූ අතර මරන සංඛ්‍යාව 15,000 ඉක්මවා ගියේය.

රටේ බොහෝ ප්‍රදේශවලින් මේ වන විට සොයාගෙන ඇති, අතිශයින් බෝවනසුලු ඔමික්‍රෝන් ප්‍රභේදයේ අන්තරායන් ගැන රාජපක්ෂ කිසිවක් කීවේ නැත. “ප්‍රජාව තුල හඳුනා නොගත් තවත් ඔමික්‍රොන් රෝගීන් සිටිය හැකි” බව සෞඛ්‍ය නිලධාරීන් ඊයේ පිලිගත්තේය.

ඇත්ත වශයෙන්ම වසංගත රෝග විද්‍යාඥයින්ගේ අනතුරු ඇඟවීම් වසර ගනනාවක් තිස්සේ ලොව පුරා ආන්ඩු විසින් නොසලකා හැර තිබියදී, “වසංගතය පැමිනෙන බව කිසිවෙක් පෙරදුටුවේ නැත” යනුවෙන් ඔහු ව්‍යාජ ලෙස ප්‍රකාශ කලේය. සූදානම් වීම වෙනුවට, අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු මහජන සෞඛ්‍ය වියදම් කප්පාදු කර ඇත—එය පසුගිය වසර දෙක පුරා රාජපක්ෂ විසින් දිගින් දිගටම අනුගමනය කල ප්‍රවනතාවයකි.

ගෝලීය වශයෙන් අනෙකුත් ආන්ඩු මෙන්ම, රාජපක්ෂ පාලනයේ ප්‍රතිපත්තිය,—“වෛරසය සමඟ ජීවත් වීම”—වැඩ කරන ජනතාවගේ සෞඛ්‍ය හා ජීවිතයට වඩා ලාභය ඉදිරියෙන් තබයි. එහි ප්‍රමුඛ උත්සුකය වන්නේ රටේ ගැඹුරු ආර්ථික අර්බුදයේ බර කම්කරුවන්, ගොවීන් සහ දුගීන් මත පැටවීමයි.

පසුගිය දෙවසර තුල සංචාරක ව්‍යාපාරය කඩා වැටීමෙන් ඩොලර් බිලියන 10 ක විදේශ විනිමය අහිමි වීම ගැන රාජපක්ෂ ලතව්ය. වසංගතයේ මුල් මාසවල අපනයන බරපතල පසුබෑමකට මුහුන දුන් අතර විදේශගත කම්කරුවන්ගේ ප්‍රේෂන පහත වැටී ඇත.

ෆිච් රේටින් ඇතුලු ජාත්‍යන්තර ශ්‍රේනිගත කිරීමේ ආයතන, ශ්‍රී ලංකාව විසින් විදේශ නය පැහැර හැරීමේ විභවය ගැන අනතුරු අඟවයි. විදේශ සංචිත ඩොලර් බිලියන 1.6 දක්වා අඩු වී ඇති අතර, එය ප්‍රමානවත් වනුයේ යන්තම් සති දෙකක ආනයන සඳහා මුදල් සැපයීමට ය.

නය පැහැර හැරීමක් වැලැක්වාගැනීම සඳහා නය ලබාගැනීමට ආන්ඩුව මංමුලා සහගත ලෙස උත්සාහ කරයි. පසුගිය මාසයේ චීනය ඩොලර් බිලියන 1.5 ක මුදල් හුවමාරුවකට එකඟ වීමෙන් පසුව, මහ බැංකුව නිවේදනය කලේ එහි සංචිත ඩොලර් බිලියන 3.1 දක්වා වැඩි වී ඇති බවයි.

ඉරිදා, මෝනිං පුවත්පත වාර්තා කලේ, ඩොලර් මිලියන 400 ක මුදල් හුවමාරු ගිවිසුමක් ද, ඩොලර් මිලියන 500 ක ක්ෂනික ඉන්ධන නයක් සහ ඉන්ධන සහ ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා පසුව ඩොලර් බිලියන 1 ක් ද ඇතුලුව ඩොලර් බිලියන 1.9 ක පැකේජයක් ඉන්දියානු මූලාශ්‍ර විසින් තහවුරු කර ඇති බවයි.

මෙම පියවර අර්බුදය නොවිසඳන අතර, එය වඩාත් පුපුරන සුලු බවට පත්කරයි.

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් 'අනවශ්‍ය ආනයන' තහනම් කිරීමට ආන්ඩුවට බලකෙරුනු බව රාජපක්ෂ කතුවරුන්ට පැවසීය. මෙම ඊනියා අනවශ්‍ය ආනයන අතර අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරන ද ඇතුලත් වේ. ඒවා කපා දැමීමෙන් කම්කරුවන්ගේ රැකියා ද අහිමි වී ඇත.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙලෙඳුන්ගේ සංගමයට අනුව මහ බැංකු සීමාකිරීම් නිසා විදේශ විනිමය මුදා හැරීම අවහිර වී ඇති බැවින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර් 1000 කට වැඩි ප්‍රමානයක් ඒවායේ ගෙවීම් කරගත නොහැකිව වරායේ සිරවී තිබේ.

'කාබනික කෘෂිකර්මය දිරිගැන්වීමේ' මුවාවෙන් ආන්ඩුව පසුගිය වසරේ රසායනික පොහොර ආනයනය තහනම් කලේය. වී වගාව, එලවලු සහ භෝග වගාව, දුප්පත් ගොවීන්ගේ ජීවිත මෙන්ම විනාශ වී ඇත.

විදුලි සැපයුම පවත්වා ගැනීමට ප්‍රමානවත් ඉන්ධන සහ ගල් අඟුරු ආනයනය සඳහා ගෙවීමට නොහැකි වූ රාජපක්ෂ හදිසියේම “පුනර්ජනනීය බලශක්තිය ඉහල නැංවීමට” සිය කැපවීම ප්‍රකාශ කර ඇත. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට (සීපීසී) බොරතෙල් ආනයනය කිරීමට නොහැකි වීම හේතුවෙන් එහි එක් පිරිපහදුවක් සඳුදා වසා දැමුනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (ජාමූඅ) ඇප ලබා ගන්නේද යන්න පිලිබඳව ආන්ඩුව සාකච්ඡා කරමින් සිටී. එවන් ඕනෑම ගනුදෙනුවකට, නොවැලැක්විය හැකි ලෙසම, දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින කප්පාදු පියවරයන් සහ කම්කරු පන්තියට නව බර පැටවීම් ද ඇතුලත් වනු ඇත.

වැඩකරන ජනතාව ඉහල යන උද්ධමනයට හා රැකියා අහිමිවීම් වලට මුහුන දෙමින් සිටින අතරේ, මහා ව්‍යාපාරිකයන් හා ධනවත් ප්‍රභූව වෙත මුදල් ගලා ආ බව ආන්ඩුව සහතික කර ඇත.

මහ බැංකුව, ලාභ ඉහල නංවමින් සහ සමපේක්ෂනයට ඉන්ධන සපයමින් මූල්‍ය පද්ධතියට රුපියල් ට්‍රිලියන තුනක මුදලක් ලබා දී ඇත. පසුගිය වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කොලඹ කොටස් වෙලෙඳපොලේ ලැයිස්තුගත සමාගම් රුපියල් බිලියන 292 ක වාර්තාගත ශුද්ධ ලාභයක් සාක්කුවට දමා ගෙන ඇත. ප්‍රධාන කොටස් දර්ශකය සියයට 80 කින් ඉහල ගොස් 2021 අවසන් වන විට වාර්තාගත 12,226 දක්වා ලඟා විය.

පසුගිය මාසයේ නිකුත් කරන ලද මහ බැංකු සමීක්ෂනයකට අනුව, පසුගිය වසරේ ජූලි සිට සැප්තැම්බර් දක්වා කාලය තුල ඉහල වෙලෙඳපොල සහාධිපත්‍ය අලෙවිය ඉහල ගොස් ඇති අතර වැඩිපුරම මිලදී ගෙන ඇත්තේ ශ්‍රී ලාංකිකයින් ය. එය සමාජයේ ඉහල ස්ථරයන් විසින් ගොඩ ගසා ඇති අධික ධනය පිලිබඳ තවත් ඇඟවුමකි.

විරුද්ධ පක්ෂ—එක්සත් ජාතික පක්ෂය (එජාප), සමගි ජන බලවේගය (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)—ආන්ඩුවට එරෙහි මහජන කෝපය ගසාකෑම සඳහා වැඩෙන ආහාර අර්බුදය පිලිබඳව රාජපක්ෂ විවේචනය කරයි. නමුත්, ඒ කිසිවෙකු කම්කරු පන්තියට විසඳුමක් ඉදිරිපත් නොකරති.

එජාප සහ සජබ සෘජුවම ආන්ඩුව කැඳවා ඇත්තේ ජාමූඅ ඇපදීමක් ඉල්ලා සිටීම සඳහා වන අතර, එය වැඩකරන ජනතාව තවදුරටත් පීඩනයට පත්කරන බව ඔවුහු හොඳින්ම දනිති. මෙම පක්ෂවල නායකයින්ට ජාමූඅ කප්පාදු ඉල්ලීම් නිර්දය ලෙස ක්‍රියාවට නැංවීමේ දිගු වාර්තාවක් තිබේ.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මාධ්‍ය වෙත පැවසුවේ, ජාමූඅ ආධාර සඳහා වන ඕනෑම ඉල්ලීමක් 'ප්‍රවේශමෙන්' කල යුතු බවත් එය විසින් දුෂ්කර කොන්දේසි පැනවිය හැකි බවත් ය. එහෙත් ඔහු එවැනි පියවරකට විරුද්ධ වූයේ නැත. එය ප්‍රවේශමෙන් කලත් නැතත්, බැරෑරුම් කොන්දේසි නියම කරනු ලබන්නේ ශ්‍රී ලංකා ආන්ඩුව නොව ජාමූඅ ය.

වසංගතය ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව ධනවාදයේ අර්බුදය තවත් උග්‍ර කර ඇති අතර ධනේශ්වර පන්ති සහ ඔවුන්ගේ ආන්ඩු ජනගහනයේ ජීවිත හා සෞඛ්‍යය ඇතුළුව අන් සියල්ලටම වඩා ලාභය ඉදිරියෙන් තබන බව පැහැදිලි කර ඇත.

දේවල් තමන්ගේ අතට ගැනීම කම්කරු පන්තියට භාර ය. ආන්ඩුවේ පිලිවෙත්වලට විරුද්ධ වීමට සහ සංවිධානය වීමට ද කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ජීවිත ආරක්ෂා කිරීමට ද අවශ්‍ය පියවර ගැනීම සඳහා කර්මාන්තශාලාවල සහ කම්කරු පන්තියේ තදාසන්න ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට සසප කැඳවුම් කර ඇත. එවැනි අරගල මෙහෙයවිය යුත්තේ, සුපිරි ධනවතුන්ගේ ලාභය නොව, වැඩකරන ජනතාවගේ බහුතර සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා සමාජය ප්‍රතිසංවිධානය කිරීමේ සමාජවාදී වැඩපිලිවෙලක් මගිනි.

Loading