උතුරේ ධීවරයෙකුගේ මරනයට ශ්‍රී ලංකා නාවික හමුදාව සම්බන්ධ බවට සැකයක්

ජනවාරි 11 වන දා, දෙදරු පියෙකු වන 31 හැවිරිදි එඩ්වඩ් මරියසීලන්, හිසෙහි බරපතල තුවාල සහිතව යාපනයට ආසන්න මාදගල් වෙරල තීරයේ මියගොස් සිටියදී ප්‍රාදේශීය ධීවරයින් විසින් සොයා ගන්නා ලදී.

ඔහුගේ බෝට්ටුව වෙරලේ සිට මීටර් 200 ක් පමන දුරින් ගිලී ඇති බව සොයාගෙන ඇත. මාධ්‍ය වාර්තාවලට අනුව ඔහු පෙරේදා මසුන් ඇල්ලීමට පිටත් ව ගොස් ඇති අතර එදින රාත්‍රී 7.30 ට ඔහුගේ සොහොයුරාට ඔහුගෙන් අවසන් දුරකථන ඇමතුම ලැබී ඇත. ඉන් පසුව ඔහු සමඟ කිසිඳු සම්බන්ධයක් නොතිබූ බැවින් බියට පත් ඥාතීන් පසුදා උදෑසන ඔහු සොයා ගියවිට, ගොඩට ගසාගෙනැවිත් තිබූ ඔහුගේ සිරුර හමුව තිබේ.

මරනයට පත් වූ එඩ්වඩ් මරියසීලන්

මරියසීලන්ගේ රුදුරු මරනය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කර ඇති බවට ප්‍රදේශයේ ධීවරයෝ සහ ඔහුගේ ඥාතීහු සැක පල කරති. නාවික හමුදාවේ බෝට්ටුවක් හිතාමතාම මරියසීලන්ගේ බෝට්ටුවේ ගැටෙන්නට ඇතැයි ඔවුහු චෝදනා කරති.

කෙසේ වෙතත්, නාවික හමුදාව චෝදනාව ප්‍රතික්ෂේප කරන්නේ, ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවකින් මෙම අනතුර සිදුවූ බව පවසමිනි. නමුත් ප්‍රදේශවාසීන් පැවසුවේ වෙරලට ඉතා ආසන්නව ගල් සහිත බැවින් එතරම් විශාල යාත්‍රාවකට එම ප්‍රදේශයට ඇතුලු විය නොහැකි බවයි.

මරියසීලන්ගේ සිරුර සොයා ගන්නා විට ද නාවික හමුදාව එම ස්ථානයේ සිටි බවත් සිරුර ගොඩබිමට රැගෙන යමින් සිටි පිරිස පසුපස හඹා ආ බවත් මියගිය පුද්ගලයාගේ ඥාති සහෝදරියක මාධ්‍ය වෙත ප්‍රකාශ කලාය.

“මට නාවික හමුදාව හැර වෙන කිසිම කෙනෙක් ගැන සැකයක් නැහැ” යි තවත් ඥාතියෙක් පැවසුවාය. “නිසැකවම ඔහුගේ බෝට්ටුව විනාශ කලේ ඔවුන් [නාවික හමුදාව],” ඇය තවදුරටත් කියා සිටියාය.

මරියසීලන් ජනප්‍රිය සමාජ ක්‍රියාකාරිකයෙකු විය. ප්‍රදේශවාසීන් සහ බොහෝ මාධ්‍ය වාර්තාවලට අනුව, ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් දඩයම් කරන බව කියන ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා නිරික්ෂනය කිරීමේ මුවාවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව එහි නාවික කඳවුර පුලුල් කිරීම සඳහා මෑතකදී කරන ලද ඉඩම් කොල්ලයට එරෙහිව ඔහු ක්‍රියාකාරීව සම්බන්ධ වී තිබේ. නාවික හමුදාව මරියසීලන් ඉලක්ක කර ගැනීමට ප්‍රධාන හේතුව එය විය හැකි බවට ඥාතීහු විශ්වාස කරති.

වසර 30 ක් පුරා දෙමල ජනතාවට එරෙහි වාර්ගික යුද්ධයේදී සහ ඉන් පසුව ධීවරයින්ට හිරිහැර කර මරා දැමීමේ කුප්‍රකට වාර්තාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව සතුය.

මාදගල් ධීවර සමුපකාර සාමාජිකයෝ සහ ගම්වාසීහු ජනවාරි 13 දින මරියසීලන්ගේ අවමංගල්‍ය උත්සවයෙන් පසු ශ්‍රී ලංකා නාවික හමුදාවට එරෙහි ව සහ ඔහුගේ මරනයට යුක්තිය ඉල්ලා විරෝධතා දැක්වූහ. මරියසීලන්ගේ මරනය සහ උතුරේ දෙමල ජනතාවට දිගින් දිගටම කෙරෙන හිරිහැර සම්බන්ධයෙන් ධීවරයන්ගේ කෝපය ගසා කෑමට දෙමල පක්ෂ උත්සාහ කරයි.

දෙමල ජාතික පක්ෂ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් විරෝධතාවයේ දී නාවික හමුදාවට චෝදනා කරමින් කියා සිටියේ “ඔබේ ජන ඝාතන ක්‍රියාකාරකම් නවත්වන්න, නැතිනම් අපි ජාතික හා ජාත්‍යන්තර වේදිකාවල මෙම කුරිරුකම් හෙලිදරවු කරන්නෙමු” යනුවෙනි. දෙමල ජනතා පෙරමුනේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ට්විටර් පනිවුඩයක් නිකුත් කරමින්, “මෙම ඝාතනයට එරෙහි විරෝධතාවයට අපි පූර්න සහයෝගය පල කරන්නෙමු” යැයි පැවසී ය.

මරියසීලන් ඝාතනය ගැන හෝ කොලඹ ආන්ඩුව සහ රාජ්‍ය හමුදාවන් විසින් දෙමල ජනතාවට එරෙහිව දිගින් දිගටම හිරිහැර කිරීම ගැන හෝ මෙම පක්ෂවලට කවර හෝ උත්සුකයක් නොමැත. ඔවුන් උත්සුක වන්නේ දෙමල ධනේශ්වරයේ වරප්‍රසාද ගැන පමනි. ඔවුන් උත්සාහ කරන්නේ, ශ්‍රී ලංකා සහ ඉන්දීය ධීවරයින් අතර ගැටුමක් ඇති කිරීමටත් ඔවුන් එකිනෙකාට එරෙහිව තබා ආන්ඩු දෙකෙන්ම එල්ල වන සමාන ප්‍රහාරවලට එරෙහිව ඔවුන්ගේ එකමුතුව වලකා ලීමටය.

ලෝසවෙඅ වාර්තාකරුවන් සමග අදහස් දක්වමින් මරියසීලන්ගේ බිරිඳ ඇන්ටලිනා පැවසුවේ තම සැමියාගේ තුවාලවල ස්වභාවය සහ ඔහුගේ බෝට්ටුවට හානි වූ ආකාරය අනුව මෙය නාවික හමුදාව විසින් සිදු කරන්නට ඇති බවට තමා සැක කරන බවයි. මෙම ඝාතනයට විරෝධය පලකිරීම ඇතුලු සියල්ල නාවික හමුදාව විසින් වීඩියෝ කල බව පැවසූ ඇය තම ජීවිතවලට පවා තර්ජන එල්ලවේ යැයි බිය පල කලාය.

මරියසීලන්ගේ මරනයෙන් පසු ඔවුන්ට මුහුන දීමට සිදුවන අසරන තත්ත්වය ඇය විස්තර කලාය. “අපි දැනටමත් දුෂ්කර තත්වයන් යටතේ ජීවත් වෙන්නේ. අනාගතයේදී, මගේ ස්වාමිපුරුෂයා නොමැතිව මගේ දරුවන් සමඟ ජීවත් වන්නේ කෙසේදැයි මට සිතාගත නොහැකිය. ඒ ගැන සිතීම පවා භයානකයි,' ඇය පැවසුවාය.

“අපේ කර්මාන්තය දියුනු කරන්න ගත්ත විශාල නය ගෙවන්න සිද්ධ වෙනවා. අවුරුදු නවයක් ගියත් අපිට අපේ ගෙදර වැඩ ඉවර කරන්න බැරි වුනා, ඒකත් නිවාස නයක් අරගෙනයි හදන්නේ' ඇය පැවසුවාය.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි ලේවැකි යුද්ධයේදී ශ්‍රී ලංකා හමුදාව උතුරු හා නැගෙනහිර සිවිල් වැසියන්ට කුරිරු ප්‍රහාරයක් දියත් කලේය. එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවලට අනුව, යුද්ධයේ අවසන් මාස කිහිපය තුල පමනක්, මිලිටරියේ ඉවබව නැති ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් දෙමල සිවිල් වැසියන් 40,000 ක් මිය ගියහ. 2009 දී එල්ටීටීඊ ය යුදමය වශයෙන් පරාජය කල පසුවත් මෙම ඝාතන, අතුරුදහන් කිරීම් සහ වධහිංසා අඛන්ඩව සිදු විය. උතුරේ ජනතාවට එරෙහි මිලිටරි වාඩිලා ගැනීම සහ දරුනු හිරිහැර ඉන් පසුවද සිදුවෙමින් පවතී.

යුද්ධය සමයේ, 2007 මාර්තු මාසයේදී සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජික නඩරාජා විමලේශ්වරන් සහ ඔහුගේ මිත්‍ර ශිවනාදන් මදිවදනන්, නාවික හමුදාව විසින් පාලනය කරන ලද කයිට්ස් හි වේලනෙයි හිදී අතුරුදහන් විය. ඔවුන් අතුරුදහන් කිරීම සඳහා නාවික හමුදාව සම්බන්ධ බවට සසප චෝදනා කලේය.

2017 ඔක්තෝම්බර් මාසයේදී මරියසීලන් ගේ මරනය වැනි ම සිදුවීමකදී කරෙයිනගර් ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු වූ කනපතිපිල්ලේ කේදීෂ්වරන් මිය ගිය අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ බෝට්ටුවක් ඔවුන්ගේ ධීවර බෝට්ටුවේ ගැටීමෙන් එම ප්‍රදේශයේම පදිංචි තවරාසා සත්‍යරාජ් තුවාල ලැබුවේය.

ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දීය ධීවරයින්ට හිරිහැර කිරීම සහ පහර දීම සම්බන්ධයෙන් ද චෝදනා ලබයි. පසුගිය වසරේ ජනවාරි 19 වැනි දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාත්‍රාවක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් තමිල්නාඩු ධීවරයින් හතර දෙනෙකු මිය ගිය අතර, ඔක්තෝම්බර් මස අවසානයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තම බෝට්ටුව හැප්පීමෙන් මියගිය ඉන්දීය ධීවරයෙකු වූ රාජ්ක්‍රියන්ගේ සිරුර සොයා ගන්නා ලදී.

පසුගිය මාස කිහිපය තුල මුහුදු කූඬැල්ලන් ඇල්ලීමේ නිරත ධීවරයින් නාවික හමුදාවේ ශාරීරික ප්‍රහාරයන්ට නැවත නැවතත් මුහුන දුන්හ.

මරියසීලන්ගේ මාමන්ඩිය ඔවුන් යුද්ධයේදී සහ ඉන් පසුව අත්විඳින ලද මර්දනය විස්තර කලේය. “අපි අවුරුදු 40 කට ආසන්න කාලයක් තර්ජන යටතේ ජීවත් වුනා. 1992 අපේ පවුල යුද්ධය නිසා අවතැන් වුනාට පස්සේ මේ වෙනකම් ජීවත් වෙන්නේ මෙතන.” යුද සමයේදී ශ්‍රී ලංකා හමුදාව විසින් තම පුතාට එල්ල කල ම්ලේච්ඡ ප්‍රහාරයක් ඔහු සිහිපත් කලේය. “ඒ කාලය තුල ඔවුන් අපට ‘කොටි’ (එල්ටීටීඊ සාමාජිකයන්) ලෙස චෝදනා කල නමුත් දැන් ඔවුන් අපව හංවඩු ගසන්නේ කෙසේදැයි අපි නොදනිමු.”

මාදගල් පිහිටා ඇත්තේ, බොහෝ ධීවරයින් සිවිල් යුද්ධයේ කැලැල් සහ විනාශයන් තවමත් දරා සිටින යාපනය නගරයේ සිට කිලෝමීටර් 16 ක් දුරිනි. මේ බොහෝ දෙනා තම ජීවනෝපාය සඳහා ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස කරන්නේ ධීවර කර්මාන්තය සහ කරවල නිෂ්පාදනය යි.

බලයට පත් වූ අනුප්‍රාප්තික ධනේශ්වර ආන්ඩු විසින් ඔවුන් පීඩාවට පත් කෙරී ඇත. මරියසීලන්ගේ සොහොයුරා පැවසුවේ ප්‍රදේශයේ ධීවරයින් විශාල දුෂ්කරතාවන්ට මුහුන දී ඇති බවයි. “ඔවුන්ට නිසි මිලට මාලු අලෙවි කල නොහැකි අතර ඒවා විකිනීමට ඔවුන්ට නිසි වෙලෙඳ පොලක් නැහැ. වසංගතය නිසා ඔවුන්ගේ ආදායම අඩකින් අඩු වෙලා. ඉහල යන ආහාර ද්‍රව්‍ය මිල සමඟ කලමනාකරනය කිරීම ඔවුන්ට ඉතා දුෂ්කර වෙලයි තියෙන්නේ,” ඔහු පැවසීය.

ඉහල යන මිල ගනන් සහ ධීවර උපකරන හිඟකම නිසා මසුන් ඇල්ලීම සඳහා අධික වියදමක් දැරිය යුතු ය. බොහෝ ධීවරයන් නය අගාධයට වැටෙමින් සිටිති. ඔවුන්ට දැරිය හැකි ලාභයක් සහිත නිසි වෙලෙඳපොලක් නැත. මෙම තත්ත්වය තුල සමහර මුහුදු ආහාර සමාගම් විසින් අඩු මිලට ඔවුනගේ නිෂ්පාදන සූරාකන අතර, කම්කරුවන්, විශේෂයෙන් අඩු වැටුප් යටතේ මෙම සමාගම් යටතේ සේවය කරන කාන්තා කම්කරුවන්, සූරාකෑමට ලක්වේ.

කොවිඩ්-19 වසංගතයේ වසර දෙකකට වැඩි කාලයකට පසු මෙම සමාජ ප්‍රශ්න වඩාත් බිහිසුනු වේ. ඉන්ධන මිල වැඩිවීම, ඔවුන්ගේ මසුන් ඇල්ලීමට දැරිය හැකි මුදලක් නොමැතිකම, අයහපත් කාලගුන තත්ත්වය සහ ධීවර මෙවලම් මිල ඉහල යාම, ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදාවන්ගෙන් සිදුවන හිරිහැර කිරීම් මෙම දුෂ්කරතා අතර වේ. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඔවුන් මුහුන දෙන දුෂ්කරතා සඳහා ඔවුන්ට කිසිදු සහනයක් ලබා දී නොමැත.

සෑම ධීවර සමිතියක්ම සහ සමුපකාරයක්ම පාලනය වන්නේ ධීවර අමාත්‍යාංශයෙන් වන අතර, ඒවායෙන් දිලිඳු ධීවරයන්ගේ මූලික ප්‍රශ්නවලට පවා කිසිවිටෙක විසඳුම් නොලැබේ. මෙම සමිති දෙමල ජාතිකවාදී පක්ෂවලට සහාය ද දක්වති.

දෙමල ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන දෙමල පක්ෂ ද මෙම දුගී ධීවරයන් ගැන තැකීමක් නැත. ධීවරයින් පවසන්නේ එම පක්ෂ උත්සුක වනුයේ, පීඩිත ජනතාවගෙන් “මැතිවරනයේදී ඡන්දය ලබා ගැනීමට” පමනක් බවයි. මෙම පක්ෂ, සියල්ලටම වඩා, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සහ එහි කලාපීය මූලෝපායික හවුල්කරුවා වන ඉන්දියාවේ භූ දේශපාලනික අවශ්‍යතාවලට සේවය කරයි.

ධනේශ්වර ගැති වෘත්තීය සමිතිවලින් ස්වාධීනව හා එයින් බිඳී කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ අරගලයේ කොටසක් ලෙස සෑම වැඩපලකම සහ අසල්වැසි ප්‍රදේශයකම කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු පිහිටුවාගන්නා ලෙස සසප ඉල්ලා ඇත. ප්‍රදේශයේ අනෙකුත් දුප්පතුන් ඒකරාශී කිරීම සඳහා ඒ හා සමාන ක්‍රියාකාරී කමිටු ගොඩනඟන ලෙස අපි ධීවර කර්මාන්තයේ යෙදී සිටින කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

උතුරේ සහ නැගෙනහිර මිලිටරි වාඩිලෑම, එහි දෙමල ජනතාව පීඩාවට පත් කිරීමට සහ කම්කරු පන්තිය වර්ගවාදී රේඛාවලින් බෙදීමට තැත් කරන කොලඹ පාලනයේ අනිවාර්ය අංගයකි. උතුරින් සහ නැගෙනහිරින් රාජ්‍ය හමුදා කොන්දේසි විරහිතව ඉවත් කර ගැනීම සඳහා කම්කරුවන් සටන් කල යුතු බවට සසප ඉල්ලා සිටින්නේ එබැවිනි. මරියසීලන්ගේ මරනය ද මේ සත්‍ය හෙලිදරවු කරන තවත් කුරිරු සිදුවීමකි.

ධීවරයාගේ දිගුකාලීන ගැටලු ධනවාදය සමඟ ගැටගැසී ඇත. ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස, සමාජවාදී පිලිවෙත් සහ ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක රූපයෙන් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන අරගලය තුල ඒවා විසඳා ගත හැක.

Loading