දුගීම රටවල් රාජ්‍ය නය අර්බුදයට මුහුන දෙති

[මෙය Poorer countries facing sovereign debt crisis යන මැයෙන් 2022 පෙබරවාරි 4 වැනි දා පලවූ ලිපියේ පරිවර්තනයයි.]

ඉහල යන උද්ධමනයට ප්‍රතිචාර ලෙස පොලී අනුපාත ඉහල දැමීමට එක්සත් ජනපදයේ ෆෙඩරල් රිසර්ව් බැංකුව හා අනෙකුත් ප්‍රධාන මහ බැංකු ගත් පියවර, ඊනියා මතු වෙමින් පවත්නා වෙලඳපොල ආර්ථිකයන් හා අඩු-ආදායම් රටවල් තුල රාජ්‍ය නය අර්බුදයක් මුදා හැරීමට තර්ජනය කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානය, වොෂින්ටන් (මූලාශ්‍රය: විකිමීඩියා)

මාර්තු මාසය තරම් නුදුරේදී ම පොලී අනුපාතයේ “ඉහල දැමීමක්” සිදු කිරීමට ෆෙඩ් බැංකුව සැලසුම් කරමින් සිටින බව පැහැදිලි ව ඇති තතු තුල, වසරාරම්භයේ පටන් මේ පිලිබඳ ව ගනන් නැති අනතුරු ඇඟවීම් සිදුකර ඇත.

එක්සත් ජනපදයේ අර්ධ-නිල චින්තන තටාකයක් වන බ්‍රෙට්න් වුඩ්ස්හි රාජ්‍ය නය ක්‍රියාකාරී කන්ඩායමට නායකත්වය දෙන, විලියම් රෝඩ්ස් හා ජෝන් ලිප්ස්කි යන ආර්ථික විද්‍යාඥයන් දෙදෙනා, රාජ්‍ය නය වෙලඳපොලෙහි වැඩෙන “අභියෝගයන්” පිලිබඳ ව මේ සතියේ වෝල් ස්ට්‍රීට් ජර්නල් පත්‍රයට ලියූ හ.

“අර්බුදයක අනතුරුදායක සංඥා දැනට මත් පැහැදිලි” යැයි ඔවුහු සඳහන් කල හ. “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) ගනන් හිලවුවලට අනුව, අඩු-ආදායම් රටවල් තුල රාජ්‍ය නයෙහි පොලී ගෙවීම් රාජ්‍ය ආදායමේ ප්‍රතිශතයක් ලෙස ගත්කල, දියුනු ආර්ථිකයන් හි මෙන් හතර ගුනයක් වන අතර, මතු වෙමින් පවත්නා ආර්ථිකයන් තුල එම අනුපාතය දෙගුනයකි.”

දශකයකට පෙර මෙම අනුපාතය සියලු රටවල එක හා සමාන වූ නමුත්, ලෝක බැංකුවට අනුව අද වන විට “අඩු-ආදායම් සහිත රටවලින් සියයට 60ක් පමන නය නොමැති කමින් හෝ එලෙස කිරීමේ ඉහල අනතුරුදායකත්වයකින් පීඩා විඳිමින් සිටිති.”

නයගැති රටවලට නිල වසයෙන් නය දෙන්නන්ගේ විධිමත් නොවන කන්ඩායමක් වන, ඊනියා පැරිස් ක්ලබ් හරහා නය ප්‍රතිව්‍යුහගත කිරීම සමග ගනුදෙනු කිරීමේ යාන්ත්‍රනයන්, “අකාර්යක්ෂම හා නිෂ්ඵල” වී ඇති බවත්, නය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියා දාමයක් නොමැතිකම “මූල්‍ය වෙලඳපොලට සහභාගිවන්නන්ගේ පලල් පරාසයකට හානි කරමින්, වෙලඳපොල අස්ථාවරත්වය හා අනතුරුදායක බව” නිර්මානය කල බවත්, රෝඩ්ස් හා ලිප්ස්කි සටහන් කල හ.

වෙනත් වචනවලින් කියන්නේ නම්, “ප්‍රතිව්‍යුහගත කිරීමේ” සැලැස්මක් නැති තතු යටතේ, රාජ්‍ය නය අර්බුදයක් ගෝලීය මූල්‍ය පද්ධතියට බලපෑම් ඇති කල හැකි ය.

පසුගිය සතියේ දී, ආජන්ටිනාව ඩොලර් බිලියන 57ක නයක් මත ජාමූඅ සමග “ප්‍රතිව්‍යුහගත කිරීමේ” එකඟතාවකට එලඹුනේ, නය පැහැර හැරීමක් වලක්වා ගැනීම සඳහා ය. මෙම ගනුදෙනුව, හුදෙක් ආජන්ටිනාවේ ගැටලු සම්බන්ධයෙන් පමනක් නො ව, “මේ වසරේ දී සෙසු ලෝකයෙහි අර්බුද ග්‍රස්ත රාජ්‍ය නයවලට සිදුවනු ඇත්තේ කවරක් ද” යන ප්‍රශ්නය මතුකල නිසා, එය “නින්දෙන් ඇහැරවන” පනිවුඩයක් බව, ෆයිනෑන්ෂල් ටයිම්ස් (එෆ්ටී) පුවත්පතේ ගිලියන් ටෙට් ලීවේ ය.

පසුගිය මාසයේ පලකරන ලද එෆ්ටී වාර්තාවක්, ලෝකයේ දුප්පත් ම රටවල් මේ වසරේ දී ඩොලර් බිලියන 10.9ක නය ආපසු ගෙවීම් වැඩි වීමකට මුහුන දෙන බව සටහන් කලේ ය. නිල හා පුද්ගලික අංශයේ නය දෙන්නන්ට එම රටවල් ඩොලර් බිලියන 35ක් ආපසු ගෙවිය යුතු ව ඇතැයි තක්සේරු කරන අතර, 2020ට සාපේක්ෂ ව එය සියයට 45ක වැඩි වීමකි.

මින් වඩාත් ම බලපෑමට පත් රටක් වන්නේ ශ්‍රී ලංකාව යි. එරටෙහි ස්වෛරී බැඳුම්කරවල ශ්‍රේනිගත කිරීම් පහත හෙලූ එස්ඇන්ඩ්පී ශ්‍රේනිගත කිරීමේ ආයතනය, මේ වසරේ දී ලංකාව භව්‍ය නය පැහැර හැරීමකට මුහුන දෙන බවට අනතුරු ඇඟවී ය.

ජනවාරි අග දී එෆ්ටී සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වූ ශ්‍රී ලංකාවේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, නය පැහැර හැරීමක් වලක්වා ගැනීම සඳහා, ආන්ඩුව “සෑම කෙනෙක් සමග ම සාකච්ඡා කරමින්” හා “අපේ සියලු විකල්ප සලකා බලමින්” සිටින බව කීවේ ය.

ශ්‍රී ලංකාව මේ වසරේ දී ඩොලර් බිලියන 7ට ආසන්න ප්‍රමානයක නය ආපසු ගෙවිය යුතු වුවත්, එහි විදෙස් සංචිත ප්‍රමානය ඩොලර් බිලියන 3ට අඩු ය. නයවලින් තුනෙන් පංගුවකට වඩා, ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්ට ගෙවිය යුතු අතර, ඉන්ධන හා කිරිපිටි වැනි ආනයනික භාන්ඩ හිඟයකට හා විදුලි කප්පාදුවලට අර්බුදය දැනටමත් තුඩු දී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය එහි පෙට්ටගම් තුලට මුදල් ගලා ඒම අඛන්ඩ ව සිදුවිය යුතු යයි අනවා සිටිද්දී, ඉහලින් නයගැති අනෙක් රටවල් තුල මෙන් ශ්‍රී ලංකාවේ ද “ප්‍රතිව්‍යුහගත කිරීමක්” හෝ පූර්න නය පැහැර හැරීමක්, කම්කරු පන්තියට එල්ල කරන ප්‍රහාර ගැඹුරු කිරීමක් සමග අත්වැල් බැඳගනු ඇත.

ප්‍රධාන පෙලේ ජාත්‍යන්තර ආයතනවල නිලධාරීහු, වැඩෙන අර්බුදයක් පිලිබඳ ව අනතුරු අඟවා ඇත. ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මැල්පාස් මෙසේ කීවේ ය: “නය හිමියන්ගේ විධානවල අර්ථය වන්නේ, අවුල් සහගත නය පැහැර හැරීමක අනතුර වැඩෙමින් පවතින බව යි.

“රටවල් නය ගෙවීම යලි ආරම්භ කිරීමකට මුහුන පාමින් සිටින්නේ, හරියට ම එලෙස කිරීමට අවශ්‍ය සම්පත් ඔවුන්ට නො තිබෙන කාලයක යි.”

වසංගතයේ බලපෑම්වලට මුහුන දීමට, බොහෝ රටවලට වඩ වඩා නය ගැනීමට සිදු වෙද්දී, 2020 දී නය ආපසු ගෙවීම් අත්හිටුවනු ලැබිනි. එහෙත්, මේ වන විට එම කාලය අවසන් වී තිබෙන්නේ, නය බර සැහැල්ලු කිරීම ඉලක්ක කෙරෙන බවට උපකල්පිත ආරම්භකත්වයක්, එෆ්ටීහි වචනවලට අනුව, “පුස්සක්” වන බව තහවුරු කරමිනි.

ඩොලර් බිලියන 23ක් පමන වූ නය ආපසු ගෙවීමට බැඳී සිටි රටවල් 73කට ඒ සඳහා කල්දීම ඉලක්ක කර ගනිමින්, 2020 අප්‍රේල් මාසයේ දියත් කරනු ලැබ පසුගිය වසරාවසානය දක්වා දීර්ඝ කරන ලද නය අත්හිටුවීමේ සැලැස්මක ප්‍රතිඵලය වූයේ, රටවල් 42ක් සමස්තය ඩොලර් බිලියන 12.7ක් වූ නය බරින් නිදහස්වීම පමනකි.

වෙලඳාම හා සංවර්ධනය පිලිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ මහ ලේකම් රෙබෙකා ග්‍රින්ස්පෑන්, එෆ්ටී වෙත මෙසේ කීවා ය: “නය ගැටලු ඉහල යමින් පවතිද්දී, සංවර්ධනය වන ලෝකයේ මූල්‍ය අවකාශය අඛන්ඩ ව හැකිලී යාවි. අප දැන් සිටින්නේ සංවර්ධනය වන රටවල් සඳහා තවත් අහිමි දශකයක අනතුර අද්දර.”

ප්‍රධාන පෙලේ මහ බැංකුවල අතිශයින් ම ලිහිල් මූල්‍ය පිලිවෙත් හේතුවෙන් ලෝකය මුදල්වලින් උතුරා ගිය 2020 හා 2021 දී, අරමුදල් සඳහා ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙලඳපොලවල් කරා ප්‍රවිශ්ට වීමට සංවර්ධනය වන රටවලට හැකි විය. එහෙත් දැන් ලොව පුරා උද්ධමනය වේගයෙන් ඉහල නගිද්දී, එම තත්ත්වය ක්ෂනික ව වෙනස් වෙමින් පවතී.

ලෝක බැංකුවෙහි පුරෝකථන ඒකකයේ ප්‍රධානී අය්හාන් කෝසේට අනුව: “ලාභ මුදල් පවතිද්දී වෙලඳපොලට ප්‍රවිශ්ට වීම පුදුම සහගත දෙයක් වුවත්, කොන්දේසි දැඩි වන වන විට පවතින දෘෂ්ටිය වෙනස් විය හැකි යි.”

දුගීම රටවල් උභතෝකෝටිකයක පටලැවී ඇත. නව කොන්දේසි සුරක්ෂිත කරගැනීමට, ජාමූඅ හා ද්වි-පාර්ශවික නය දෙන්නන් සමග වන එකඟතාවක් හරහා සහන නය ලබාගැනීමට උත්සාහ දරා, එම එකඟතාව ම පුද්ගලික නය දෙන්නන්ගෙන් ලබාගැනීමට ඔවුන්ට උත්සාහ දැරිය හැක. එහෙත්, ග්‍රින්ස්පෑන් සටහන් කල පරිදි, රටක් තමන්ට නය ආපසු ගෙවීමේ ගැටලු පවතී යයි පිලිගත හොත්, “පුද්ගලික අංශය ඔවුන්ට දඬුවම් කරනු ඇත.”

විශේෂයෙන් ම බිට්කොයින්හි වටිනාකම ප්‍රචන්ඩ ලෙස උච්ඡාවචනය වීම ඇතුලු මූල්‍ය වෙලඳපොලවල වියවුල ද ප්‍රධාන ගැටලු නිර්මානය කරයි.

මේ සතියේ දී එෆ්ටී සමග සාකච්ඡාවක් පැවැත්වූ ජාමූඅහි මූල්‍ය හා ප්‍රාග්ධන වෙලඳපොල අංශයේ ප්‍රධානී ටොබියාස් ඒඩ්‍රියන්, ගුප්ත මුදල් වර්ගවල මිල උච්ඡාවචනය වීම්, මතුවෙමින් පවතින වෙලඳපොලවල් තුල ප්‍රාග්ධන ගලා යාම “අස්ථාවර කරමින්” පවතී.

“(සමහර බාහිර ආයෝජකයන්) අස්ථාවර යයි සලකනු ලබන රටවලින් මුදල් ඉවතට ගැනීම පිනිස ගුප්ත මුදල් යොදාගනු ලැබෙමින් පවතිනවා” යි ඔහු සඳහන් කලේ ය. මෙය “සමහර රටවල පිලිවෙත් සම්පාදකයන්ට විශාල අභියෝගයක්” ඉදිරිපත් කලේ ය.

මතු වෙමින් පවතින හා සංවර්ධනය වන ආර්ථිකයන්ගෙන්, ඒවායේ ස්ථාපිත මුදල්, ගුප්ත වත්කම් විසින් විස්ථාපනය කරමින් පැවතීම නිසා, ඒවා “ක්ෂනික හා තියුනු අන්තරායන්ට” මුහුන පාන බව ඒඩ්‍රියන් කීවේ ය.

ගුප්ත මුදල් වර්ගවලින් කරන විකුනා දැමීම් වත්කම් වෙලඳපොලවල් තුලට ගලා ඒම හා එහි අනෙක් පැත්ත, අතිශයින් නයගැති ආර්ථිකයන්ගේ මූල්‍ය අවදානම් ඉහල දමන කැලඹිල්ලක් නිර්මානය කිරීමේ අන්තරායක් ද පැවතුනි.

Loading