ඉදිරිදර්ශන

එක්සත් ජාතීන් හමුවේ බ්ලින්කන් - කොලින් පවෙල් වැනි අවස්ථාවක්

[මෙය Blinken at the UN: A Colin Powell moment
යන මැයෙන් 2022 පෙබරවාරි 20 වැනි දින පල වූ ලිපියේ පරිවර්තනයයි.]

පසුගිය පැය 24 වර්ධනයන් පැහැදිලි කරන්නේ, ඇමරිකානු පාලක පන්තියේ අධිකාරවත් කොටස් වෙනුවෙන් කථා කරන බයිඩන් පාලනය, ලෝක යුද්ධයක් ඇවිලවීමේ තතු යටතේ පවා, රුසියාව සමඟ ගැටුම පතුරවා හැරීමට අදිටන් කරගෙන ඇති බවයි.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් 2022 කැප්ෂන්:පෙබරවාරි 17 බ්‍රහස්පතින්දා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අමතයි. (AP ඡායාරූපය/ රිචඩ් ඩෲ Richard Drew)

බයිඩන් පරිපාලනයට සම්මුතිවාදී විසඳුමක් අවශ්‍ය නොවේ: එය මිලිටරිමය මාධ්‍යන්ද සහිතව රුසියාව මුලුමනින්ම යටත් කර ගැනීම හෝ කැබලි කිරීම පවා අපේක්ෂා කරයි. පසුගිය සියවස් කාල තුල යුගෝස්ලාවියාව දෙකඩ කර, ඉරාකය, ඇෆ්ගනිස්ථානය, සිරියාව සහ ලිබියාව විනාශ කර දැමූ එක්සත් ජනපදය නැවත වරක් යුද්ධයේ මාවත පිවිසී ඇත.

මුලු ලෝකය අලලාගත් යුද්ධයක් අන්තරාය උත්සන්න වෙමින් පවතී. නිසැකයෙන්ම එක්සත් ජනපදය විසින් සම්බන්ධීකරනය කරන ලදුව, යුක්‍රේන හමුදාව බ්‍රහස්පතින්දා, ඩොනෙට්ස්ක්හි රුසියානු හිතවාදී බෙදුම්වාදී ස්ථාන වලට ෂෙල් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කල අතර, පෙරලා වෙඩි තැබීමට රුසියානු හිතවාදී හමුදා පොලඹවන ලදී. යුක්රේන ජනාධිපති වොල්ඩොමියර් සෙලෙන්ස්කි නැගෙනහිර යුක්රේනයේ හමුදා බැහැ දුටු දිනට පසු දින මෙම ප්‍රහාරය සිදු විය.

පසුගිය සති කිහිපය පුරා එක්සත් ජනපද මාධ්‍ය, රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමනය කිරීම අත “ලඟම” යන ප්‍රකාශය නිමක් නැතිව හොරනෑ පිම්බේ, පෙබරවාරි 16 වන බදාදාට දිනය පවා නියම කරමිනි. දිනය පැමින ආපසු ගියේය. යුක්රේනයට රුසියානු ආක්‍රමනයක් සිදු නොවීය. ඒ වෙනුවට රුසියාව, ක්‍රිමියාවෙන් සහ බෙලරුස්හි නියමිත හමුදා අභ්‍යාස අවසන් කිරීමෙන් පසු සිය හමුදාවෙන් කොටසක් ඉවත් කර ගත්තේය.

එක්සත් ජනපදය හමදා ඉවත්කර ගැනීමට ප්‍රතිචාර දැක්වූයේ, රුසියාව හෙලාදැකීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය වෙත රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පිටත් කර යවමිනි.

බ්ලින්කන්ගේ කාර්‍යය, එවකට රාජ්‍ය ලේකම් කොලින් පවෙල් විසින් ඉරාක යුද්ධයට පෙරාතුව 2003 පෙබරවාරියේ කරන ලද කුප්‍රකට කතාවේ අද්භූත පුනර්කරනයක් විය. ගනන් බලා ඇති පරිදි මිලියනයක් ඉරාක වැසියන්ගේ ජීවිත බිලිගත් නීතිවිරෝධී ආක්‍රමනික යුද්ධයක් සාධාරනීකරනයට පවෙල් ජාතික මට්ටමෙන් විකාශය කෙරුනු රූපවාහිනී වැඩසටහනක පෙනී සිටිමින් අමූලික බොරු ගෙතීය.

බොරු සහ කුහකත්වය ප්‍රදර්ශනය කිරීමේදී බ්ලින්කන්ගේ කටයුත්ත, ඔහුගේ පූර්වගාමියාට වඩා නිර්ලජ්ජිත විය.

'ලෝක යුද්ධ දෙකක් සහ සීතල යුද්ධයෙන් ඉක්බිතිව තහවුරු කරන ලද සාමය සහ ආරක්ෂාව පවත්වා ගන්නා මූලික මූලධර්ම තර්ජනයට ලක්ව ඇත' යනුවෙන් බ්ලින්කන් ප්‍රකාශ කලේය. ඒවා නම් “එක් රටකට තවත් රටක දේශසීමා බලහත්කාරයෙන් වෙනස් කෙල නොහැක යන මූලධර්මය; එක් රටකට තවත් රටක තෝරා ගනීම් හෝ ප්‍රතිපත්ති නියම කල නොහැක යන මූලධර්මය හෝ එයට සම්බන්ධ වන්නේ කවුරුන්ද යන්න; එනම් ජාතික ස්වෛරීත්වයේ මූලධර්මයයි.'

බ්ලින්කන් හිතන විදිහට ඔහු සමච්චල් කරන්නේ කාට ද? ඔහු කතා කලේ, දශක ගනනාවක් තිස්සේ ලොව පුරා රටවල් ඉලක්ක කර ගනිමින් අඛන්ඩ මැදිහත්වීම්, කුමන්ත්‍රන, යුද්ධ සහ සීඅයිඒ පිටුබලය ලබන පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුම් මාලාවක නිරත වූ ආන්ඩුවක නියෝජිතයා ලෙස ය.

1990 ගනන් වලදී, ක්ලින්ටන් පරිපාලනය යටතේ එක්සත් ජනපදය එහි නැටෝ සහචරයින් සමග, ක්‍රොඒෂියාව, බොස්නියාව, සර්බියාව, ස්ලෝවේනියාව වැනි කුඩා රාජ්‍ය ගනනාවකට යුගෝස්ලාවියාව බිඳ දැමීම සඳහා බලය යෙදීය. 1999 දී එක්සත් ජනපදය සහ නැටෝව, කොසෝවෝ වෙන්වීම පිලිගන්නා ලෙස බල කිරීම සඳහා දින 78 ක් සර්බියාවට බෝම්බ හෙලීය.

එක්සත් ජනපදය ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් කලාපයේ නිමක් නැති කුමන්ත්‍රන ඇවිලවීය. ගෝතමාලාවේ ජනාධිපති ජැකොබෝ ආබෙන්ස් (1954) පෙරලා දැමීම ඇතුලුව, 'ඔවුන්ගේ තේරීම් සහ ප්‍රතිපත්ති නියම කිරීම' ඒවායේ අරමුන විය. චිලී ජනාධිපති සැල්වදෝර් ඇලෙන්ඩේ (1973) පෙරලා දැමීම සහ ඝාතනය කිරීම; ග්‍රෙනෙඩා ආක්‍රමනය (1983); 1994 දී එක්සත් ජනපද මිලිටරිය යෙදවීම සහ 2004 දී සීඅයිඒ පිටුබලය ලත් කුමන්ත්‍රනය ද ඇතුළුව හයිටියේ නැවත නැවතත් මැදිහත්වීම්; යනාදි වශයෙනි.

පසුගිය වසර 30 පුරා එක්සත් ජනපදය ඉරාකය, සෝමාලියාව, ඇෆ්ගනිස්ථානය, ලිබියාව සහ සිරියාව තුල සිවිල් යුද්ධ, ආක්‍රමන, බෝම්බ හෙලීම හෝ උසිගැන්වීම මගින් 'ජාතික ස්වෛරීත්වයේ මූලධර්මය' සහ මූලික ජාත්‍යන්තර නීතිය ක්‍රමානුකූලව උල්ලංඝනය කර ඇත. 2020 ජනවාරි මාසයේදී ඉරාන ජෙනරාල් කසීම් සුලෙයිමානි ඇතුළු, තමන් කැමති ඕනෑම අයෙකු ඝාතනය කරමින්, ඕනෑම රටක් තුල ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කිරීමේ අයිතිය එ විසින් ප්‍රකාශ කරනු ලබයි.

රුසියානු ආක්‍රමනයක චෝදනාවක් ආකාරයෙන් බ්ලින්කන්, රුසියාව සමග ගැටුමක් අවුලුවාලීමට එක්සත් ජනපදය සැලසුම් කරන ආකාරය දැක්වීය. 'පලමුව රුසියාව, තම ප්‍රහාරය සඳහා කඩතුරාවක් ගොතා ගැනීමට සැලසුම් කරයි. මෙය රුසියාව යුක්රේනයට දොස් පැවරිය හැකි ප්‍රචන්ඩ සිදුවීමක් විය හැකිය, නැතහොත් යුක්රේන ආන්ඩුවට එරෙහිව රුසියාව එල්ල කරනු ඇති අමූලික චෝදනාවක් විය හැකිය, එයට “රුසියාව තුලට එල්ල කෙරෙන ඊනියා ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයක්”, “සිවිල් වැසියන්ට එරෙහිව ඩ්‍රෝන් ප්‍රහාරයක්” ඇතුළු හා 'රසායනික ආයුධ භාවිතා කරමින් ව්යාජ හෝ සැබෑ ප්රහාරයක් පවා' ඇතුලත්ය.

වෙනත් වචන වලින් කිවහොත්, රුසියානු ගැති බෙදුම්වාදීන්ට එරෙහිව හෝ රුසියාව තුලම ඕනෑම ආකාරයක අපරාධයක් කිරීමට යුක්රේන රාජ්‍යයට සහ මිලිටරියට ඒකාබද්ධ කර ඇති ෆැසිස්ට් පැරාමිලිටරි කන්ඩායම්වලට කමති පරිදි කටයුතු කිරීමේ අවසරය බ්ලින්කන් ලබාදෙයි. රුසියාවෙන් ඊට ලැබෙන ඕනෑම ප්‍රතිචාරයක්, [යුක්‍රේනයට වරද පැටවීමේ]“බොරු කොඩි ඔසවන” මෙහෙයුමක් එරට ක්‍රියාත්මක වන බවට සාක්ෂියක් ලෙස සඳහන් කරනු ඇත.

ඇත්ත වශයෙන්ම, බ්‍රහස්පතින්දා ඩොනෙට්ස්ක්හි රුසියානු ගැති බෙදුම්වාදීන්ට යුක්‍රේන හමුදාව විසින් එල්ල කරන ලද ෂෙල් ප්‍රහාරයට එක්සත් ජනපද මාධ්‍ය ප්‍රතිචාර දැක්වූයේ හරියටම මෙසේය. නිව් යෝර්ක් ටයිම්ස් ප්‍රකාශ කලේ, “ෂෙල් ප්‍රහාරවල නාටකාකාර වැඩිවීම… දැන් මොස්කෝවට තමන්ආක්‍රමනය කිරීමට බලාපොරොත්තු වන, එක්සත් ජනපදය පවසන ආකාරයේ, කඩතුරාවක් ඉදිරිපත් කල හැකි” බවයි.

රුසියාවේ ආක්‍රමනශීලී අභිප්‍රායන් පිලිබඳව, එක්සත් ජනපදය 'ඉතා සවිස්තරාත්මකව ඉදිරිපත් කරන' බව ප්‍රකාශ කරමින්, රුසියාව යුක්රේන ආක්‍රමනයක් යුක්ති සහගත කිරීමට සැලසුම් කරන ආකාරය පිලිබඳ ඔහුගේ වාර්තාව බ්ලින්කන් අවසන් කලේය. ඇත්ත වශයෙන්ම බ්ලින්කන්, කිසිවක් ගැන 'විස්තර' පැවසුවේ නැත. ඔහුගේ කථාව මුලුමනින්ම සමන්විත වූයේ 'ඇමරිකානු ඔත්තුසේවා' නිගමන වලින් උපුටා ගත් තහවුරු නොකල ප්‍රකාශයන්ගෙනි.

යුද්ධය යුක්තිසහගත කිරීම සඳහා බොරු කීමෙහි ඇමරිකානු අධිරාජ්‍යවාදයේ වාර්තාව කෙතරම් කුප්‍රකට ද යත්, බ්ලින්කන්ට පවා එය පසුගාමී ආකාරයෙන් පිලිගැනීමට බල කෙරුනි. 'ඇතැමුන් අපගේ තොරතුරු ප්‍රශ්න කර ඇති බව දැන් මට මතකයි,' ඔහු පැවසීය. 'අවසානයේ බුද්ධි අංශ වලට දරාගත නොහැකි වූ පෙර අවස්ථා සිහිපත් කරමිනි. නමුත් මම පැහැදිලිව කියන්නම්: මම අද මෙහි සිටින්නේ යුද්ධයක් ආරම්භ කිරීමට නොව එවැන්නක් වැලැක්වීමට ය'.

මියගිය ඉරාක ජාතිකයන්ගේ අවතාර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩල රැස්වීම තුල හොල්මන් කලේය. කෙසේ වෙතත්, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පෙර කී බොරු නිසා ගලා ගිය රුධිරය - “අවසානයේ [එම] බුද්ධි අංශ වලට දරාගත නොහැකි වූ” - එතරම් පහසුවෙන් සෝදාගත නොහැකි ය. ඔහු පැමිනියේ 'යුද්ධයක් ආරම්භ කිරීමට නොව, එවැන්නක් වැලැක්වීමට' බවට වූ බ්ලින්කන්ගේ ප්‍රකාශය, ඔහුගේ මුලු කතාවේම වඩාත්ම පට්ටපල් බොරුව ලෙස කැපී පෙනුනි.

තරයේම නොසැලකිලිමත් ලෙස එක්සත් ජනපදය, ලෝකය නව ලෝක යුද්ධයක් දෙසට තල්ලු කිරීමට තර්ජනය කරයි. බයිඩන් පරිපාලනයේ ක්‍රියාවන් තුල උමතුවේ අංගලක්ෂන ඇත, නමුත් නිශ්චිත තර්කයක් සහිත එකකි.

යුද වාදී උමතුවේ මූලික සහ අන්තර් ඡේදනය වන හේතු දෙකක් තිබේ.

පලමුව, භූ දේශපාලනික ගනන් බැලීම්ය. දැන් දිග හැරෙමින් පවතින මිලිටරි මෙහෙයුම වසර ගනනාවක් නැතිනම් දශක ගනනාවක් තිස්සේ සකසන ලද දෙයකි. වසර 30 කට පෙර සෝවියට් සංගමය විසුරුවා හැරීම එක්සත් ජනපදය දුටුවේ, එහි ගෝලීය මිලිටරි මෙහෙයුම් මත ඇති සියලු සීමා බාධක ඉවත දැමීම සඳහා ලැබුන අවස්ථාවක් ලෙස ය. යුරෝපය සම්බන්ධයෙන් ගත් කල එක්සත් ජනපදය, රුසියාව වට කිරීමට උත්සාහ කරමින් නැටෝව අඛන්ඩව නැගෙනහිර දෙසට ව්‍යාප්ත කිරීම අධීක්‍ෂනය කර ඇත. 1941 හිට්ලර් කලාක් මෙන්, එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදය කොල්ලකෑම සඳහා රුසියාව තුල විශාල පරාසයක් දැක ගනී.

දෙවනුව, සහ ඊටත් වඩා තීරනාත්මක කාරනය ලෙස, එක්සත් ජනපදය හා එහි නැටෝ සහචර රටවල වඩ වඩාත් පුපුරන සුලු සමාජ හා දේශීය අර්බුදය පවතී. නිල සංඛ්‍යාලේඛනවලට අනුව කෝවිඩ්-19 වසංගතය දැනටමත් ඇමරිකානුවන් මිලියනයකට ආසන්න සංඛ්‍යාවකගේ ජීවිත බිලිගෙන ඇත. කොවිඩ්-19 නිසා සෑම සතියකම ඇමරිකානුවන් 15,000ක් මිය යයි.

සෝවියට් සංගමයේ අවසාන එක්සත් ජනපද තානාපති ජැක් එෆ්. මැට්ලොක්, ජූනියර්, කොන්සෝටියම් නිව්ස් හි බදාදා පල කල ලිපියක සඳහන් වන පරිදි, “අප දකිමින් සිටින්නේ රට තුල දේශපාලනයට අන්තයකට සේවය කරමින්, ඇමරිකානු මාධ්‍යයේ ප්‍රමුඛ අංශ විසින් අමු අමුවේ පුම්බන ලද මවා පෑ ව්‍යාජයක් දැයි යන සැකය මට බැහැර කල නොහැකිය. බයිඩන් ආන්ඩුව මේ වසරේ කොංග්‍රස් මැතිවරනය සඳහා සූදානම් වන විට, ඉහල නඟින උද්ධමනය, ඔමික්‍රෝන් වින්නැහිය, ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීම පිලිබඳව දොස් පැවරීම (බොහෝ දුරට අසාධාරන), සහ යලි ගොඩනැගීමේ (Build Back Better) නීති සම්පාදනය සඳහා ඔහුගේම පක්ෂයේ පූර්න සහයෝගය ලබා ගැනීමට අපොහොසත් වී, පහත වැටෙන මහජන අනුමැතිය යටතේ කොර ගසන තැනකට පත්ව ඇත.

මැට්ලොක් සීතල යුද්ධ අවධියේ ප්‍රධාන විදේශ ප්‍රතිපත්ති තනතුරු දැරූ අතර රුසියානු හිත පක්ෂපාතිත්වය සම්බන්ධයෙන් ඔහුට චෝදනා කල නොහැක. මෙම අර්බුදය එක්සත් ජනපදය විසින් උසිගැන්වීම පිලිබඳ ඔහුගේ චෝදනාව මේ තතු තුල වඩාත් විනාශකාරී ය.

විසඳිය නොහැකි අර්බුද මාලාවකට මුහුන දෙන, ඔවුන් මෙන්ම බංකොලොත් පාලක පන්තීන් මෙන් ඇමරිකානු පාලක පන්තිය, ගැලවීමේ මඟක් ලෙස යුද්ධය කරා හැරේ. එහෙත්, වසංගතයෙන් දිනපතා දහස් ගනනක් මිය යද්දී, රුසියාව සමඟ යුද්ධයක් ඇමරිකානු ජනගහනය මුහුන දෙන සැබෑ ගැටළු වලට විසඳුම වන්නේ මන්දැයි පැහැදිලි කිරීමට පාලක පන්තිය උත්සුක වී නැත. ඒ වෙනුවට එය, වඩාත් දුරදිග යන හා විනාශකාරී ප්‍රතිවිපාක සහිත යුද්ධයකට රටත් සමස්ත ලෝකයත් ඇද දමමින්, එහි බොරු සහ ප්‍රචාර ඇවිස්සීම සඳහා වන සුවච ජනමාධ්‍ය මත රඳා පවතී.

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ යුදවාදය මූලික වශයෙන් පැන නගින්නේ, ශක්තියේ තැනකින් නොව, දුර්වලකමේ සහ මංමුලාවේ තැනකිනි. එය කම්කරු පන්තිය තුල සමාජ කෝපයේ හා විරුද්ධත්වයේ දැවැන්ත පිපිරීමක් නිර්මානය කරමින් පවතින දේශීය හා ගෝලීය තත්වයකට ප්‍රතිචාරයකි.

හදිසි කර්තව්‍යය වන්නේ මෙම වෛෂයික ක්‍රියාවලිය සමාජවාදය සඳහා සවිඥානික දේශපාලන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමයි. මේ සඳහා අන් සියල්ලටම වඩා අවශ්‍ය කෙරෙන්නේ,යුද්ධයට, අසමානතාවයට, ආඥාදායකත්වයට සහ ධනේශ්වර ලාභ පද්ධතියට එරෙහිව විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීමයි.

Loading