ව්‍යාපාරිකයන්ගේ ලාභාපේක්ෂාවන් ඉටු කරන බවට ජනාධිපති රාජපක්ෂ සපථ වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, පෙබරවාරි 21 වනදා, ඉහල පෙලේ මහාව්‍යාපාරිකයින් කන්ඩායමක් සමග පැවත්වූ රැස්වීමකදී තමන් ඔවුන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටින බව යලි යලිත් සහතික කලේය. ජනාධිපතිට කෘතඥතාවය පුදකල ව්‍යාපාරිකයෝ, කොරෝනා වසංගතය මධ්‍යයේ වූවද තමන්ගේ ලාභය විශාල වශයෙන් වැඩි කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ඔහුට ප්‍රශංසා කලහ.

ජනාධිපති කාර්යාලයේදී පැවති මෙම රැස්වීමේදී, “දේශීය කර්මාන්ත සඳහා ආයෝජනය කර රට ගොඩනගන්න එක්වන්නැයි” ඇරයුම් කල රාජපක්ෂ “පුනර්ජනනීය බලශක්තිය, හරිත කෘෂිකර්මාන්තය, තාක්ෂන උද්‍යාන, හරිතාගාර ඇතුලු ක්ෂේත්‍ර රැසක මහා පරිමාන ආයෝජනයන්ට සහ විදේශ විනිමය පාලනය කිරීමේ මහගු අවස්ථාවක් උදාවන' බව පැවසීය. 'ලෝක වසංගත තත්වයකට මුහුන දෙමින් ආර්ථිකය ගොඩනැගීමට රජය උත්සාහ දරන අවස්ථාවේ ඇතැමුන් සිය පටු අරමුනු වෙනුවෙන් ගෙන යන වැරදි මතවාද නිවැරදි කිරීමට ව්‍යාපාරික ප්‍රජාවට හැකියාව පවතින' බව ද ඔහු සඳහන් කලේය. පොහොර ප්‍රමානවත්ව සැපයීම සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම පිලිබඳවද ඉදිරිපත් කෙරිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ [අනුග්‍රහය: ඒපී ඡායාරූප]

ආන්ඩුව පාර්ශ්වයෙන් මෙම රැස්වීම්ට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ, මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල්, ජනාධිපති ලේකම්, ජනාධිපති ප්‍රධාන උපදේශක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහභාගි වූහ.

සහභාගීවූ ‍ප්‍රමුඛ පෙලේ මහාව්‍යාපාරිකයින් අතර හේලීස් සමූහයේ සම සභාපතිත්වය දරන ධම්මික පෙරේරාද, ඉහල පෙලේ ව්‍යාපාරික ආයතනයක් වන ජෝන් කීල්ස් සමූහයේ සභාපති හා ප්‍රධාන විධායක ක්‍රිශාන් බාලේන්ද්‍රද, බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්‍රොෆ් ඔමාර්ද, හේලීස් සමාගම යටතේ ක්‍රියාත්මක වන ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් පීඑල්සී සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක මොහාන් පන්ඩිතගේද, ඇක්සෙස් ඉංජිනියරින් පීඑල්සී හි සභාපති සුමල් පෙරේරාද, මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් සමාගමෙහි කලමනාකාර අධ්‍යක්ෂක ජෙරාඩ් ඔන්ඩච්චි, හාම්පුතුන්ගේ සම්මේලනය අධ්‍යක්ෂ ජනරාල් රංජිත් පන්ඩිතගේද ඇතුලු ව්‍යාපාරිකයෝ පිරිසක් වූහ.

කොරෝනා මර්දන එන්නත්කරනය පිලිබඳව ආන්ඩුවට ප්‍රශංසා කරමින් ඔවූහු කොවිඩ් වසංගතය හමුවේ තම ව්‍යාපාර බාධාවකින් තොරව ක්‍රියාත්මක වූ බවද, අපනයන මත පාදක වූ සමාගම් වසංගතයේ උච්ඡතම අවස්ථාවේදී පවා විශාල ඇනවුම් තොගයක් ලබාගත් බවද පෙන්වා දුන්හ.

රාජපක්ෂට තුති පුදමින් ලංකාවේ ඉහලම ධනපතියා ලෙස සැලකෙන ධම්මික පෙරේරා පැවසුවේ, “දැන් එතුමා [ජනාධිපති] කිව්වා ප්‍රොෆිට් [ලාභ] ඔක්කොම හම්බ වුනේ ඒ විදියට කෝවිඩ් මැනේජ් [පාලනය] කරපු” නිසාත්, “අපිට පිටරටවල් වල ඕඩර් වැඩිපුර එන්නෙත් අනෙක් රටවල් හරියට කෝවිඩ් මැනේජ් නොකරපු” නිසාත්, “ඒ ඕඩර් ටික ගැලවිලා ලංකාව වගේ රටකට ආවෙ, නැත්තං, මෙච්චර කලකට එහෙම තිබුන් නැහැ,” යනුවෙනි.

පෙරේරා ඇතුලු අනෙකුක් ව්‍යාපාරකයන් තම ව්‍යාපාර සරු වූ බවට පැවසූ විට ජනාධිපති නැවත වතාවක් සහතික කලේ තමන් මහා ව්‍යාපාරිකයන් සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනය වෙනුවෙන් කැපවී ඉදිරියටද වැඩ කරන බවයි. ඔවුන්ගේ ලාභ තර කර ගැනීම සඳහා ශක්‍යතාවය ලැබුනේ කෝවිඩ් වසංගතය පැතිරෙමින් පැවතියදී ආර්ථිකය මුලුමනින්ම විවෘත කරමින්, කම්කරු පන්තිය රුදුරු ලෙස සූරා කෑමට මාවත සලසනු ලැබ තිබීම මගිනි.

පසුගිය දිනවල පුවත්පත්වල පලවූ වාර්තාවලට අනුව හේලීස් සමූහය, ජෝන් කීල්ස් සමූහය, ඇක්සෙස් ඉංජිනියරින් පීඑල්සී සමාගම, සහ කොමර්ෂල් බැංකු සමුහයද, යූනියන් බෑන්ක්, සේලාන් බෑන්ක්, නේෂන් ට්‍රස්ට් බෑන්ක් වැනි බැංකුද, එච්එන්බී ඇෂුවරන්ස් පීඑල්සී, සෙලින්කො ලයිෆ්, යූනියන් ඇෂුවරන්ස් වැනි මූල්‍ය සහ රක්ෂන සමාගම්ද පසුගිය වසරේ මහා පරිමානයෙන් ලාභ වැඩි කරගෙන ඇත.

අපනයන මත පදනම්වූ හේලීස් සමූහය, එහි 2020-21 වාර්ෂික වාර්තාවට අනුව, රටේ සමස්ත අපනයන ආදායමෙන් සියයට 4.2 ක්, එනම් රටේ විදේශීය ආදායම්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 600 ක් ඉපැයූ බව පසුගිය වසරේ නොවැම්බර් 28 ද සන්ඩේ ඔබ්සෝවර් පුවත්පත වාර්තා කලේය.

ජනවාරී 30 දා ද සන්ඩේ ටයිම්ස් හි පල වූ වාර්තාවකට අනුව, ජෝන් කීල්ස් සමූහයේ 2021/22 තෙවන කාර්තුවේ බදු ගෙවීමට පෙර ලාභය පෙර වසරේ මෙම කාලය හා සැසැඳීමේදී සියයට 126 කින්, එනම් රුපියල් බිලියන 9.53 ක් දක්වා, ලාභය වැඩි වී ඇත.

පෙබරවාරී 14 ඩේලිඑෆ්ටී පුවත්පත වාර්තා කලේ ඇක්සෙස් ඉංජිනියරින් පීඑල්සී සමාගම මාස 9 තුල බදු ගෙවීමෙන් පසු ලාභය ලෙස රුපියල් බිලියන 2.22 ක්, එනම් පෙර වසරේ එම කාලය හා සැසැඳීමේදී සියයට 74.1 කින් ලාභය වැඩි කරගෙන ඇති බවයි.

පසුගිය වසරේ ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 15.12 ක්, එනම් පෙර වසර හා සැසැඳීමේදී සියයට 23 කින් ඉහල ගියේය. 2022 ජනවාරී මස ඇඟලුම් අපනයන ආදායම, වසංගතයට පෙර 2019 ජනවාරීයේ ආදායම වූ ඩොලර් මිලියන 452 ඉක්මවමින් මිලියන 488 දක්වා සියයට 8 න් වැඩිවිය. පසුගිය වසරේ මෙම කර්මාන්තයේ ආදායම ඩොලර් බිලියන 5.4 ක්, එනම් මෙය 2020 ට වඩා සියයට 29 කින් වැඩි විය.

ව්‍යාපාරිකයින් ලද මෙම වාසනාව පිටුපස පවතින්නේ ඔවුන්ට ආන්ඩුව විසින් පුද කරන ලද අතිමහත් සහන සහ කම්කරුවන් ගේ ජීවිත නොතකා වසංගතය මධ්‍යයේ කම්හල් මුලුමනින්ම ක්‍රියාත්මක වීමට ඉඩ සැලසීමයි.

කෝවිඩ් වසංගතය පැතිරීමත් සමග මහා ව්‍යාපාරිකයින්ගේ ලාභවලට එල්ල වෙමින් පැවැති තර්ජනය හමුවේ ආන්ඩුව අඩු පොලී සහිත නය ඔවුනට පුද කරමින්, ආයතනික බදු සියයට 14 සහ 18 දක්වා අඩු කරන ලද්දේ එය දකුනු ආසියාවේ අඩුම රේට්ටුව ලෙස වාර්තා කරමිනි.

'ජාතික ආර්ථිකය' ආරක්ෂා කිරීමේ නමින් මහධනපතියන්ගේ ලාභ ආරක්ෂා කර දීමට රාජපක්ෂ ආන්ඩුව ක්‍රියාවට දමා ඇති රුදුරු පිලිවෙත් යටතේ, කම්කරුවන්ගේ ජීවිත නොතකා ඔවුන් වැඩට දක්කනුවස්, කායික දුරස්ථකරනය, පීසීආර් පරීක්ෂන, දෛනිකව ශරීර උෂ්නත්වය මැනීම හා මුහුනු ආවරන ලබා දීම, වැනි සෞඛ්‍ය ආරක්ෂක පහසුකම් ඉතා සීමිත මට්ටමකින් මුල දී සපයා තිබුන ද කම්හල් හිමියන් විසින් මේ වන විට ඒ සියල්ලම වාගේ අත්හරිනු ලැබ ඇත.

කොරෝනා වසංගතයට මුවා වෙමින්, කම්කරුවන්ගේ රැකියා, වැටුප් සහ දීමනා කප්පාදු කිරීමටත්, ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මර්දනය කිරීමටත්, ආන්ඩුව සහ වෘත්තීය සමිති නිලධරය කම්හල් හිමියන්ට පූර්න පිටුබලය ලබා දුන්හ. වැටුප් අඩකින් කපා දැමුනු අතර 150,000 කට රැකියා අහිමි කෙරුනි. කම්කරුවන් දහස් ගනනින් ආසාදනය වී ඉන් කිහිප දෙනෙක් මරනයටද ගොදුරු වූහ.

මහජන සෞඛ්‍ය ආරක්ෂක පියවර ක්‍රමානුකූලව අත්හැර දැමූ ආන්ඩුව, 'එකම විසඳුම එන්නත්කරනය' යැයි කියමින් එය ප්‍රවර්ධනය කරනුයේ, එන්නත් ලබාදෙමින් වසංගතය මධ්‍යයේ කම්කරුවන් වැඩට දැක්කීමටයි. කෙසේ නමුත්, වසංගත රෝග විශේෂඥයන් යලියලිත් කියා සිටින්නේ, අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සහ පාසල් වසා දැමීම, මහා පරිමාන පරීක්ෂන හරහා ආසාදිතයන් හඳුනා ගනිමින් ඔවුන් හුදෙකලා කිරීම ආදී දැඩි මහජන සෞඛ්‍යාරක්ෂන පියවර වලින් තොරව එන්නතෙන් පමනක් වසංගතය මැඩලිය නොහැකි බවයි.

නිදහස් වෙලඳ කලාපයේ පිහිටි නෙක්ස්ට් මැනුෆැක්චරින් ඇඟලුම් කම්හලේ කම්කරුවකු තම කම්හලේ කොරෝනා වසංගතයට කම්කරුවන් ගොදුරු කරනු ලැබ ඇති ආකාරය පිලිබඳව පෙබරවාරි අග ලෝක සමාජවාදී වෙබ් අඩවියට කරුනු දක්වමින් පැහැදිලි කලේ “කවුරුහරි උන කියල කිව්වොත් බෙහෙත් දීලා ගෙදර යවනවා. පස්සේ දවස් තුනකින් වැඩට එන්න කියනවා,” යනුවෙනි. මෙම නිවාඩු දින 3 සේවකයන්ට හිමි නිවාඩු 14 න් කැපෙන අතර දින 14 ඉක්මවීමෙන් පසුව වැටුප් රහිත නිවාඩු ලෙස සලකුනු කෙරේ. මෙම තත්ත්වය දැන් නිදහස් වෙලෙඳ කලාපවල කම්හල් වල පවතින සාමාන්‍ය තත්වය බවට පත්වී ඇත.

කලකට පෙර සිදුකරනු ලැබූ පීසීආර් පරීක්ෂනද, අහඹු පරීක්ෂනද දැන් මුලුමනින්ම අත්හැර දමනු ලැබ ඇති බව පැවසූ ඔහු මෙම තත්ත්වය දැනට මාසයක් පුරා ක්‍රියාත්මක වන බව ද තවදුරටත් සඳහන් කලේය

දරාගග ගත නොහැකි ජීවන වියදම නිසා රුපියල් 4,000 ක වැටුප් වැඩිවීමක් ඉල්ලා ජනවාරි වැඩ වර්ජනයේ යෙදුනු නෙක්ස්ට් ඇඟලුම් කම්කරුවන්ට පාලකයන් ලබා දුන්නේ, රුපියල් 2750 ක මූලික වැටුප් වැඩිවීමක් සහ පැමිනීමේ දීමනාවේ රුපියල් 300 ක වැඩිවීමක් පමනි. නෙක්ස්ට් ඇඟලුම් කම්හලේ පිහිටි, ඇන්ටන් මාකස්ගේ නිදහස් වෙලඳ කලාප හා පොදු සේවක සංගමයේ ශාඛාව නායකත්වයේ උපදෙස් මත මෙම අරගලයට හොරිකඩකම් කලේය.

මිනිස් ජීවිත වලට ඉහලින් ලාභය තැබෙන ධනපති ක්‍රමයෙන් නිර්නිත, 'වසංගතය සමග ජීවත්වීමේ' මිනීමරු පිලිවෙත ක්‍රියාවට දමා ඇති ලොවපුරා පාලකයන් අනුයන ජනාධිපති රාජපක්ෂ පෙබරවාරි 4 වැනි දින, නිදහස් උත්සවය අමතමින් ප්‍රකාශ කලේ, “කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමට ඇති එකම විසඳුම එන්නත් කිරීම” බවයි. “ඒ අනුව ජනගහනයෙන් සියයට 85 කට වැඩි පිරිසකට මාත්‍රා දෙකම ලබාදෙමින් රෝගය පාලනය කර ජන ජීවිතය ආරම්භ කිරීමට අපට හැකි වී තිබෙනවා,” යැයි ද ඔහු පැවසීය. සරල භාෂාවෙන් කියන්නේ නම්, ඔහු පැහැදිලි කරන්නේ ඔමික්‍රොන් ව්‍යාප්තිය සහ ඉදිරියට යමින් පවත්නා සෞඛ්‍ය ව්‍යසනය වැලැක්වීමට තම පාලනය කිසිවක් නොකරන බවයි.

මෙය ප්‍රතිරාවය කරමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත්, “නව සාමාන්‍ය” වන 'වසංගතය සමග ජීවත්වීම' ට මහජනතාව සූදානම් විය යුතු යැයි ප්‍රකාශ කල බව පෙබරවාරී 28 දින ද මෝර්නින් පුවත්පත වාර්තා කලේය.

මේවන විට දිවයිනේ සමස්ත කොවිඩ් මරන 16,244 ක් වන අතර ආසාදිතයින් ලක්ෂ 6.5 ට ආසන්න වෙමින් පවතී. දින 27 ක් පුරා දෛනික ආසාදිතයින් 1,000 ඉක්මවූ අතර දැන් එය 900 කට වඩා අඩුවී ඇති වී ඇති බවත්, මරන සංඛයාව 20-30 අතර පවතින බව කියාපාමින් වසංගතය පාලනය කරනු ලැබ ඇති බවට සෞඛ්‍ය බලධාරීහු මවාපාති.

මෙම මවාපෑමට එරෙහිව පසුගිය මස මැද දී සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු ඇඟවූයේ, “සැබෑ ආසාදන සංඛ්‍යාව අපි නොදනිමු, නමුත් තත්වය සාමාන්‍ය තත්වයට වඩා බොහෝ සෙයින් වෙනස් ය. ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා ආසාදන සංඛ්‍යාව විශාල ලෙස ඉහල ගොස් ඇතැ”' යි යනුවෙනි.

Loading