ආර්ථික අර්බුදය මධ්‍යයේ ජනාධිපතිවරයා ජාමූඅ සමග වැඩකිරීමට ප්‍රතිඥා දෙයි

[මෙය Amid economic crisis, Sri Lankan president pledges to work with IMF යන මැයෙන් 2022 මාර්තු 19 වැනි දා පල වූ ලිපියේ පරිවර්තනය යි.]

රටෙහි ආර්ථික අර්බුදයත් එහි බියකරු විදෙස් විනිමය තත්ත්වයත් විසඳීම සඳහා, තමන් “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩකිරීමට” තීන්දු කර ඇති බව, බදාදා රාත්‍රීයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිවේදනය කලේ ය.

බ්‍රිතාන්‍ය විජිත පාලනයෙන් රට නිදහස ලැබීමේ සංවත්සර උත්සවයකට සහභාගි වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ (ස්තුතිය: ඒපී ඡායාරූප/ එරංග ජයවර්ධන)

ජාමූඅ ආධාර ලබා නො ගැනීමට ඔහු කලින් දැරූ ආස්ථානය ආපසු හරවමින්, ජාතිය අමතා කල විනාඩි 15ක කතාවක දී රාජපක්ෂ මේ බව නිවේදනය කලේ ය. කප්පාදු පියවරයන් අනුකම්පා විරහිත ලෙස පැටවීමටත්, ගැඹුරු වන ආර්ථික අවුලට කම්කරුවන් හා දුගීන් ගෙන් වන්දිය ගැනීමටත් ඔහුගේ පාලන තන්ත්‍රය දැන් සූදානම් වෙයි.

ඔහුගේ කතාවට දිනයකට පෙර, රාජපක්ෂ ජාමූඅ ආසියා හා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චැන්යොන් රී හා නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ඈන්-මාරියා ගුල්ඩේ වුල්ෆ් මුනගැසුනේය. ලංකාව විදෙස් නය හා ස්වෛරී බැඳුම්කර සඳහා ආපසු ගෙවීම පැහැර හැරිය හැකි යයි ජාත්‍යන්තර ආයෝජකයන් හා ශ්‍රේනිගත කිරීමේ ආයතන අනතුරු අඟවන තත්වයක මෙම නිලධාරීහු කොලඹට සංචාරය කල හ.

“අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟය හා මිල ගනන් ඉහල යාම මෙන් ම...ගෑස් හිඟය, ඉන්ධන හිඟය හා විදුලිබල කප්පාදු ගැන” තමන් “හොඳින් දන්නා” බව, ජාතිය අමතා කල කතාවේ දී රාජපක්ෂ ප්‍රකාශ කලේ ය. ඔහුගේ ආන්ඩුව “හැකි උපරිම උත්සාහයන් දරා” ඇතත්, මෙම තත්ත්වය ඇතිවී තිබෙන්නේ “අපේ පාලනයෙන් පිටස්තර හේතු නිසා දිගට ම පවතිනු ඇත” යි ඔහු කීවේ ය.

වැඩකරන ජනයා පිලිබඳ ව්‍යාජ උත්සුකතාවන් පලකරන ඔහුගේ ආන්ඩුව ආහාර හා ඖෂධ ඇතුලු අත්‍යවශ්‍ය භාන්ඩ ආනයනය කපාහරිමින් ද ඒවායේ මිල ඉහල දමමින් ද මහජනතාවගේ සමාජ කොන්දේසිවලට එක දිගට පහර දී ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස, සැප්තැම්බරයේ සිට දෙගුන වී ඇති උද්ධමනය වාර්ෂික පදනමින් ගත් කල , පෙබරවාරියේ දී සියයට 15ක් වූ අතර ආහාර ද්‍රව්‍ය වල මිල උද්ධමනය සියයට 25.7ක් වි ය. අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ හා ඉන්ධන සැපයුම් හිඟයෙන් සහ විදුලිබල කප්පාදුවෙන් හා ප්‍රවාහනය බිඳ වැටීමෙන් මිලියන ගනන් ජනයා පීඩා විඳිමින් සිටිති. මේ ප්‍රහාරවල එරහිව සෞඛ්‍ය, දුම්රිය, අධ්‍යාපන, තැපැල්, ඛනිජ තෙල්, වරාය හා වතු ක්ෂේත්‍රවල ලක්ෂ ගනන් කම්කරුවන් වැටුප් හා දීමනා ඉල්ලමින් සිදු කරන වැඩ වර්ජන හා විරෝධතා පසුගිය මාස 12 තුල පැන නැගුනි.

“මහජනයා අත්දකිමින් සිටින දුෂ්කරතාවන්ට විසඳුම් සොයා ගැනීමට” තමන් “දැඩි තීන්දු ගන්නා” බව රාජපක්ෂ සිය කතාවේදී ප්‍රකාශ කලේ ය. එහෙත් මේ “දැඩි තීන්දු” මොනවා දැයි, ඔහු විස්තර කලේ නැත.

එහෙත්, මාර්තු 2දා නිකුත් කල ජාමූඅ විධායක මන්ඩල වාර්තාව අයවැය හිඟය කප්පාදුව, පොලී අනුපාත ඉහල දැමීම්, රුපියල අවප්‍රමානය කිරීම, රාජ්‍ය අංශය ප්‍රතිව්‍යුහගත කිරීම සහ අනෙකුත් යෝජනා ඇතුලු රුදුරු පියවරයන් මාලාවක් යෝජනා කලේ ය.

මෙම විධානයන්ට අනුව, මාර්තු 7දා රාජපක්ෂ ආන්ඩුව රුපියල පා කලේ, දැවැන්ත අවප්‍රමානය වීමකට වේදිකාව සකසමිනි. සියලු භාන්ඩ හා සේවාවල මිල ඉහල දමමින් ද දැනට මත් උග්‍ර උද්ධමන ගින්න අවුලුවමින් ද එතැන් පටන් එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ ව රුපියල අවම වසයෙන් සියයට 37කින් ඇද වැටී ඇත.

තමන් ජාතික ආර්ථික කවුන්සිලය (එන්ඊසී) හා උපදේශක සභාවක් පිහිටුවා ඇති බවත්, ඒවායේ තීන්දු හා ඒවා ක්‍රියාත්මක තමන් අධීක්ෂනය කරන බවත්, රාජපක්ෂ නිවේදනය කලේ ය. අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සහ මහ බැංකුවේ හා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ට නිලධාරීන් කිහිප දෙනෙක් ද සමග තවත් ඇමතිවරු කිහිප දෙනෙක් එන්ඊසීයේ සාමාජිකයන් අතරට අයත් වෙති.

හේලීස්, සොෆ්ට්ලොජික්, කීල්ස්, සන්ෂයින් හා කාගිල්ස් ඇතුලු රටෙහි විශාලතම සංගතයන් සමහරකගේ ප්‍රධාන විධායක නිලධාරීන් හා අයිතිකරුවන් මෙන් ම තාක්ෂනික විශේෂඥයන් උපදේශක සභාවේ සිටී. මේ සංගත ප්‍රභූව කලින් ජාමූඅ සහයෝගය ලබා ගන්නා ලෙස ආන්ඩුවට බලකරමින් සිටියවුන්ගෙන් සමන්විතය.

“කුරිරු ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයෙහි පෙරමුනේ සිටි සොල්දාදුවන් මුහුන දෙන සියලු දුෂ්කරතාවන් තමන්ට හොඳින් අවබෝධ කරගත හැකි හා කලමනාකරනය කල හැකි වූ” බව ප්‍රකාශ කල ජනාධිපතිවරයා, දැන් මහජනතාව වෙනුවෙන් ඒ හා සමාන පියවර අනුගමනය කරන බව කීවේ ය.

රාජපක්ෂ මෙහි දී බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි කොලඹ ආන්ඩුවල වාර්ගික යුද්ධය ගැන කල සඳහන ඇඟ කිලිපොලා යන්නකි. සිවිල් වැසියන් දසදහස් ගනනකගේ මරනවලට තුඩු දුන් හා මිලිටරිය පාලනය කරන කඳවුරු තුල සිවිල් වැසියන් 300,000ක් රැඳවීමට හේතු වූ ලේවැකි යුද්ධය, 2005 සිට 2009 මැයි දී එහි රුදුරු අවසානය දක්වා අධීක්ෂනය කලේ ලංකාවේ ආරක්ෂක ලේකම් ලෙස සිටි රාජපක්ෂ ය. ජාමූඅ කප්පාදු විධානයන් ක්‍රියාවට දමනු ඇති ඔහුගේ පාලන තන්ත්‍රය ඕනෑ ම විරුද්ධත්වයකුරිරු ලෙස මඩිනු ඇත.

කෝවිඩ්-19 හේතුවෙන් ඉහල යන නැව් ගාස්තු, නැගෙන භාන්ඩ මිල ගනන් හා භාන්ඩ හිඟයන් උපුටා දක්වමින්, “මෙම අර්බුදය” තමන් විසින් “නිර්මානය කල එකක්” නො වන බවත්, එය “ඔහුගේ පාලනයෙන් පිටස්තර” එකක් බවත්, රාජපක්ෂ පුනපුනා කීවේ වගකීමෙන් අත් සෝදා ගැනීමේ විලිලජ්ජා නැති උත්සාහයක යෙදෙමිනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය මුල පටන් ම විස්තර කර ඇති පරිදි, සමස්ත ධනපති පද්ධතියේ ඒවනවිටත් පැනනැගී තිබූ ගැඹුරු අර්බුදය, කෝවිඩ්-19 වසංගතය නිසා දැවැන්තව වේගවත් වී ඇත. සෑමතැනක ම -දියුනු හා පසුගාමී රටවල- ධනපති ආන්ඩු, බැංකු හා සංගත තුලට යෝධ අරමුදල් පොම්ප කිරීම මගින් ලාභ පද්ධතිය ආරක්ෂා කරගැනීමට උත්සාහ දරා තිබේ. ඉන් සිදුව ඇත්තේ මෙම අර්බුදය තවත් ගැඹුරු කිරීම පමනි.

ලංකාවේ විනිමය අර්බුදය විස්තර කිරීමටත්, එයට ආමන්ත්‍රනය කරන්නේ කෙසේදැයි පැහැදිලි කිරීමටත්, රාජපක්ෂ සංඛ්‍යා ලේඛන ගෙනහැර පෑවේය. ඒ අනුව, පසුගිය වසරේ ඩොලර් බිලියන 8.1ක් වූ වෙලඳ හිඟය, මේ වසරේ දී ඩොලර් බිලියන 7 දක්වා අඩු කිරීමට ඔහු ඉලක්ක කරයි. රුපියල පා කිරීමෙන්, “අපි මේ එල්ලය ජය ගත යුතු” යි ඔහු ප්‍රකාශ කලේ ය. ඒ අතර ම, මේ වසරේ දී විදේශ නය හා ස්වෛරී බැඳුම්කර නය සඳහා ඩොලර් බිලියන 6.9ක් ආපසු ගෙවීමට ඇත.

තම ආන්ඩුව, “අපේ නය වාරික ආපසු ගෙවීම පිලිබඳ ව, ජාත්‍යන්තර මූල්‍ය ආයතන මෙන් ම අපේ මිත්‍ර රටවල් සමග සාකච්ඡා අරඹා ඇත” යි ද ජනාධිපතිවරයා නිවේදනය කලේ ය.

ජාමූඅ වැඩපිලිවෙල සහ ඒ හා සමාන මූල්‍ය සැලසුම් ඉලක්ක කරනු ලැබ ඇත්තේ, නය ආපසු ගෙවීම් ප්‍රතිව්‍යුහකරනයට හෙවත් එසේ ආපසු ගෙවීම සඳහා යම් වැඩි කාලයක් ලබාගැනීම සඳහා යි. එවැනි සියලු සැලසුම් කප්පාදු නියෝග ඈඳා පැමිනෙන අතර, පුද්ගලීකරනය සහ නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය හා සුභසාධන මත සමාජ වියදම් කපාහැරීම් ඇතුලු ජාමූඅ විසින් දැනට මත් යෝජනා කර ඇති පියවරයන් බඳු සැලසුම් ඒවා අතර තිබෙනු ඇත.

මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් පසුගිය නොවැම්බරයේ දී මාධ්‍ය අමතා මෙසේ කීවේ ය: “රුපියල අවප්‍රමානය කිරීමට, සියයට 30කින්, 40කින්, 50කින් පොලී අනුපාත ඉහල දැමීමට, රාජ්‍ය අංශ සේවක ප්‍රමානය අඩු කිරීමට, විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ අඩු කිරීමට හෝ කපා දැමීමට මෙන් ම විවිධාකාර රාජ්‍ය වත්කම් විකුනා දැමීමට ජාමූඅ අපට කියනු ඇති.”

කැබිනට් තනතුරක සමාන තත්වයක සිටින කබ්‍රාල්, මෙලෙස ජාමූඅ වෙත හැරීමට කලින් මැලිකම් දැක්වූයේ, ඔහු හා ඔහුගේ ආන්ඩුව කප්පාදු පියවරයන්ට විරුද්ධ නිසා නොවේ. කම්කරුවන්ගේ හා දුගීන්ගේ අනිවාර්ය විරුද්ධත්වයට බිය නිසාය.

රාජපක්ෂ සිය කතාව තුල දී මංමුලා සහගත ජාතිකවාදී ආයාචනයක් නිකුත් කලේ ය. “බොහෝ දුෂ්කරතාවන් අත්දැක ඇති ජාතියක් වන අපි, ඒ අතර ම එම අභියෝගයන් ජයගෙන තිබෙනවා...විදෙස් ආක්‍රමන, මහා සාගත, ස්වාභාවික විපත් හා ත්‍රස්තවාදයේ තර්ජනයන්ට අපි මුහුන දී තිබෙනවා” යි ඔහු ප්‍රකාශ කලේ ය.

“ප්‍රශ්නවලට විසඳුම් ක්‍රියාත්මක කිරීමේ දී යම් කාලයක් යන තෙක් දුෂ්කරතාවන්ට මුහුන දීමට සිදුවන බව” මහජනතාව අවබෝධ කරගත යුතු යයි ඔහු තවදුරටත් කීවේ ය.

වෙනත් වචනවලින් කියතොත්, ජාත්‍යන්තර ආයෝජකයන් හා මහ ව්‍යාපාරිකය වෙනුවෙන්, ආන්ඩුව කම්කරුවන්ගේ හා දුගීන්ගේ කොන්දේසි මතට ප්‍රචන්ඩ ප්‍රහාරයක් එල්ල කරද්දී, මහජනයා කැපකිරීම් කල යුතු ය. මෙම ප්‍රහාර සාමකාමී ව පැටවිය නො හැකි ය. ආන්ඩුව මර්දනීය ප්‍රහාර උත්සන්න කරනු ඇත.

කම්කරුවන්ගේ හා දුගීන්ගේ වැඩෙන උත්සුකතා මධ්‍යයේ, ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (සජබ) 20,000ක පමන ජනකායක් බලමුලුගැන්වූ රැලියක් කොලඹ දී අඟහරුවාදා පැවැත්වී ය. රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙසත්, නව ජනාධිපතිවරනයක් පවත්වන ලෙසත් එය කැඳවුම් කලේ ය.

සජබ යනු රාජපක්ෂට එරෙහි දේශපාලන විකල්පයක් නො වේ. සත්‍ය වසයෙන් ම, ජාමූඅ වැඩපිලිවෙලක් ක්‍රියාවට දමන ලෙස, එය මෑත මාසවල දී ආන්ඩුවට ආයාචනා කර ඇත. දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයෙන් බිඳී ගිය කන්ඩායමක් වන සජබ, කම්කරු පන්තිය මත වෙලඳපොල-ගැති ප්‍රතිසංස්කරන පැටවීමේ එහි දීර්ඝ ඉතිහාසය බෙදා හදා ගනී.

ඒ අයුරින් ම, වෘත්තීය සමිති යලි යලිත් ආන්ඩුව සමග පෙලගැසී ඇත. පසුගිය වසරේ පැවති වැඩ වර්ජන හා විරෝධතාවල දී වෘත්තීය සමිති නායකයන් පුනපුනා ප්‍රකාශ කලේ, තමන්ට “ආර්ථික අර්බුදය ගැන අවබෝධක් ඇති” බවත්, ක්ෂනික වැටුප් වැඩිකිරීම් සඳහා තල්ලුව නො දෙන බවත් ය.

තරුනයන් හා ගම්බද දුගීන් සමග සන්ධානගත ව, සිය කාර්මික හා දේශපාලන ශක්තිය බලමුලු ගන්වමින්, කම්කරු පන්තිය සිය ජීවන කොන්දේසි හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කරගැනීමට වහවහා සූදානම් විය යුතු ව ඇත. ධනපති-ගැති වෘත්තීය සමිතිවලින් හා විරුද්ධ පක්ෂවලින් ස්වාධීන ව, සෑම වැඩපොලක ම ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම මේ සඳහා අවශ්‍ය කරයි.

රාජපක්ෂ තන්ත්‍රය ක්‍රියාවට දමන ජාමූඅ උසිගන්වන ප්‍රහාරවලට එරෙහි ව සටන් කිරීම සඳහා, සියලු විදෙස් නය ප්‍රතික්ෂේප කරන, විශාල වතු හා මහා සමාගම් කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කරන, සමාජවාදී ක්‍රියා මාර්ගයකට කම්කරු පන්තිය සටන් වැදිය යුතු ය. සුලුතරයකගේ ලාබ-පිපාසිත අවශ්‍යතා වෙනුවට, සමාජයේ බහුතරය සඳහා ආර්ථිකය ප්‍රතිසංවිධානය කල හැක්කේ ඒ ආකාරයෙන් පමනි.

කම්කරු පන්තියට මෙම ක්‍රියා මාර්ගය ක්‍රියාත්මක කල හැක්කේ, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් වදිමින් සහ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ගෝලීය කම්කරුවන් සමග එකමුතුව තුල මෙම ක්‍රියා මාර්ගය ඉදිරියට ගෙන යාමෙන් පමනි. සෑම රටක ම කම්කරුවෝ දැන්, ඔවුන්ගේ කොන්දේසි හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මතට එල්ල කරනු ලබන තීව්‍ර ප්‍රහාරයන්ට මුහුන දෙති. මෙම ජාත්‍යන්තර ඉදිරි දර්ශනය ඉදිරිපත් කරන එක ම සංවිධානය වන්නේ සමාජවාදී සමානතා පක්ෂය යි. සසපට බැඳෙන ලෙසත්, මෙම ඓතිහාසික අරගලය සියතට ගන්නා ලෙසත් අපි ඔබෙන් ඉල්ලමු.

Loading